(අකිල බද්දෙවිතාන, විනීතා එම්. ගමගේ)

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කිසිදු කටයුත්තක් සඳහා ළමයින් හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර  එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

ඊයේ(21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබිණි.