IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊ.පී.එෆ් බැඳුම්කර වාර්තා ගැන දැනුම් දුන්නත් අප යැවූ වාර්තාවවත් යළි එව්වේ නෑ

ඊ.පී.එෆ් හිටපු අධිපති සහ මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් සාක්කි දෙමින් කියයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මාසයක කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 710ක මුදලක් එක්රැස්වන්නේ යැයිද එහි පරිපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 12 1/4ක මුදලක් වැය වන්නේ යැයිද සේවක අර්ථසාධක අරමුදලේ හිටපු අධිපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.

සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ  වාර්තා  පිළිබඳ  ඒ කාලයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නත් අඩුම තරමින් අපි විසින් යැවූ වාර්තාව හෝ යළි අපට එවීමට ඔහු කටයුතු කළේ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා වැඩිදුරටත් කීය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදුකෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සේවක අර්ථසාධක අරමුදලේ හිටපු අධිපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා මෙසේද කීය.

ප්‍රශ්නය:- සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් මුදල් මණ්ඩලයට වාර්තා යවනවාද?
පිළිතුර- ඔව්.

ප්‍ර: සේවක අර්ථසාධක අරමුදලෙන් දිනපතා වාර්තා යවනවාද?
පිළි. ඔව්.

ප්‍ර: සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් මණ්ඩලයට යැවූ වාර්තාවල නොගැලපීම් තියෙනවාද?
පිළි. ඔව්. සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් මණ්ඩලයට යැවූ වාර්තා සහ දිනපතා වාර්තා අතර සුළු නොගැලපීම් තියෙනවා.

ප්‍ර: මේ කාලයේදී සේවක අර්ථසාධක අරමුදලේ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර තිබුණද?
පිළි. යන්ත්‍ර තිබුණා. ඒත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.

ප්‍ර: ඔබ සේවක අර්ථසාධක අරමුදලේ කවුරු හැටියටද කටයුතු කළේ ?
පිළි. සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරීවරයා හැටියට.

ප්‍ර: ඔබ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරීවරයා හැටියට කටයුතු කරන සමයේ ඉදිරි කාර්යාලයේ සේවය කළ අය කවුද කියා ඔබට මතකයක් තියෙනවාද?
පිළි. ඔව්.

ප්‍ර: ඔවුන් කවුරුන්ද?
පිළි. සමන් කුමාර, උදය ශීලන් එහි කටයුතු කළා.

ප්‍ර: සමන් කුමාර සමඟ ඔබ සහයෝගයෙන් වැඩකළාද?
පිළි. නැහැ. ඔහු මට පාලනය කරන්න පුළුවන් අයෙක් නොවෙයි.

ප්‍ර: ඔහුට ඔබ යම් යම් නියෝගයන් නිකුත් කර තිබුණද?
පිළි. ඔව්.

ප්‍ර: එම නියෝගයන් මොනවාද?
පිළි. කාර්යාලය තුළ ජංගම දුරකතනය භාවිත නොකරන ලෙසත් කාර්යාලයේ නියමිත ස්ථානයේ සිටින ලෙසත් මා ඔහුට දැනුම් දී තිබුණා.

ප්‍ර: ඔහු එම නියෝග පිළිපැද්දාද?
පිළි. නැහැ. ඔහු මා කරන නියෝග වලට අවනත වුණේ නැහැ.

ප්‍ර: සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ගනුදෙනුවල නිරතවුණාද?
පිළි. ඔව්.

ප්‍ර: සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කළ  වාර්තා  පිළිබඳ  මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන්නාද?
පිළි. ඔව්. ඒ කාලයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මා සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ වාර්තා පිළිබඳව දැනුම් දුන්නා.

ප්‍ර: සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ වාර්තා පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ප්‍රතිචාරය කුමක්ද?
පිළි. අඩුම තරමින් අප විසින් යැවූ වාර්තාව හෝ ඔහු යළි අපිට එව්වේ නැහැ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් සේවක අර්ථසාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී රෝහිණී ලියනගේ මහත්මිය මෙසේ කීවාය.
මූලික අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තා.

සේවක අර්ථසාධක අරමුදල 2015 පෙබරවාරී මාසයේදී බැඳුම්කර වෙළඳ පොළේ සිදුකළ බැඳුම්කර ගනුදෙනු හතකට අදාළ තොරතුරු මේ අවස්ථාවේදී දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්කිකාරිය කොමිසමට ඉදිරිපත් කළාය.

ප්‍ර: මාසයක කාලයක් තුළ සාමාන්‍යයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොපමණ මුදලක් රැස් වෙනවාද?
පිළි. රුපියල් බිලියන 71ක් (රුපියල් කෝටි 710ක්)

ප්‍ර. සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලන කටයුතු සඳහා කොපමණ මුදලක් වියදම් වෙනවාද?
පිළි. රුපියල් මිලියන 125ක් (රුපියල් කෝටි 12 1/4ක්)

ප්‍ර: ඔබ සේවක අර්ථසාධක අරමුදලේ කුමන අංශයේද සේවය කරන්නේ?
පිළි. පසු කාර්යාලයේ.

ප්‍ර: එතකොට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සේවක අර්ථසාධක අරමුදලේ කුමන අංශයෙන්ද?
පිළි. ඉදිරි කාර්යාලයෙන්.

ප්‍ර: ඔබ සේවය කරන්නේ පසු කාර්යාලයේ නම් ඉදිරි කාර්යාලයේ සිදුවන කටයුතු පිළිබඳව ඔබ දන්නවාද?
පිළි. නැහැ.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව කොමිසමට ඉදිරිපත් කරමින් මෙම සාක්කිකාරිය වන සේවක අර්ථසාධක අරමුදලේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී රෝහිණී ලියනගේ මහත්මිය මෙම කොමිසමට ඉදිරිපත් කළ දත්තවල ඇති පරස්පරතාවන් පිළිබඳව කොමිසමට කරුණු ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේදී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට නියමිත බවත් අදාළ ගනුදෙනු වලට අදාළ දත්ත මෙම කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා තමන්ට සතියක පමණ කාලයක් ගතවන බවත් දැනුම් දුන්නේය.

වැඩිදුර සාක්කි විමසීම සිදුකෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබාදෙයි.

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමග ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමග නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතාද, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (1)

ඊ.පී.එෆ් බැඳුම්කර වාර්තා ගැන දැනුම් දුන්නත් අප යැවූ වාර්තාවවත් යළි එව්වේ නෑ

samantha Monday, 07 August 2017 01:48 PM

කෝටි බිලියන ගණන් හරියටම හරිද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 549 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site