ජුඩ් සමන්ත 
 
තමන් පවුලේ අය සමඟ පෞද්ගලික සංචාරයකට විදේශ ගතවී සිටින අවස්ථාවක   ඇමති ධූරයෙන් ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බව වයඹ පළාත් හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා සදහන් කරයි.
 
ස්විට්සර්ලන්තයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළේය.
 
‘මම මේ දවස්වල බිරිඳ සහ දරුවන් සමග පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වී සිටිනවා. එවිට තමයි මට දැන ගැනීමට ලැබුනේ මා දැරූ සියළුම ඇමති ධූර වලින් ඉවත් කර ඇති බව. මා වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරය දැරූ කාලයේ ගුරු සේවය සඳහා විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. වයඹ  පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා මම විශාල වැඩ කොටසක් කළ බව ගුරුවරුන් මෙන්ම දරුවන්ද හොදින් දන්නා කරුණක්. 
 
වයඹ පළාත් සියළුම දරුවන්ට නොමිළේ ප්‍රශ්ණ පත්‍ර ලබා දී අධ්‍යාපනය තුළනය කිරීමේ වැඩ  සටහනක් මා විසින් දියත් කලා.නමුත් ඇතමුන් බලාපොරොත්තු වුනා අධ්‍යාපනය තුළින් දේශපානය කරන්න. නමුත් මම ඊට කැමති වුනේ නැහැ. 
 
වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් පවතින බව දක්නට තිබෙනවා. ජනතාවාදී නායකයින් පලවා හරිමින් ජනතාව ප්‍රතික්ෂේප කළ අයට තාන්න මාන තනතරු ලබා දීමට කටයුතු කරන බවක් දක්නට තිබෙනවා.
 
අඩුම තරමින් ඇමතිවරයා රටේ ඉන්න විට ඔහු ඉවත් කිරීමට තරම් වත් වර්තමාන නායකයින් සදාචාර සම්පන්න නොවීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. කොහොම වුනත් සදාචාර සම්පන්න බවක් නොමැති නායකයින් සමග  සිටිනවාට වඩා මේ ආකාරයට නිදහසේ දේශපාලනය කර ගෙන යාමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත් වනවා.