(මනෝප‍්‍රිය ගුණසේකර , රන්ජන් කටුගම්පොළ)

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්ව පැමිණී වර්ෂය තුළ මහ බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් 500 කට වඩා වැඩි පිරිසක් මාරූ කළේ යැයිද  මහ බැංකු ඉතිහාසයේ කවරදාකවත් බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් මේ අයුරින් ස්ථාන මාරූකර නැතැයිද බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ  ලේකම්  එච්.ඒ.කරුණාරත්න මහතා අද (16) පැවසීය.

මේ තත්වය නිසා මහා බැංකු නිලධාරීන් දැඩි නොසන්සුන් තාවයකට පත් වු බවත් ඉන් පසු අංශ ප‍්‍රධානීන් හා නිලධාරීන් කණ්ඩායම් වශයෙන් ගොස් අර්ජුන් මහේන්ද්‍රන් මහතා හමුවී සාකච්ඡා කළේ යැයිද කී එච්. ඒ. කරුණාරත්න මහතා 2015 වසර තුළදී මහා බැංකුවේ අංශ 30 සේවය කළ නිලධාරීන් 34 දෙනෙකු ස්ථාන මාරූ කළේ යැයිද කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ  ලේකම්  එච්. ඒ. කරුණාරත්න මහතා මහතා මෙසේද කීය.

මා ශ‍්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපතිවරයෙක්. ඒ වගේම ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ  ලේකම්වරයා ලෙසත් කටයුතු කරනවා.

මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරීයෙක්, ඊට අමකරව ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ  විද්‍යාපති  උපාධිධාරීයෙක් සහ වරලත් ගණකාධිකාරීවරයෙක්.

ප‍්‍රශ්නය - ඔබ ශ‍්‍රී ලංකා මහා බැංකුවට සම්බන්ධ වුයේ කවදාද?

පිළිතුර - 1986 ජනවාරි 16 වැනිදා.

ප‍්‍රශ්නය - කිනම් තනතුරකටද?

පිළිතුර - පරිවාස මාණ්ඩලික නිලධාරීයකු ලෙස පසුව 1987 ජනවාරී මස 17 වැනිදා මාගේ සේවය ස්ථීර කළා.

ප‍්‍රශ්නය - ඊට පසු ඔබ සේවය කළේ කුමන අංශයේද?

පිළිතුර - මාව සහකාර ගණකාධීකාරීවරයෙකු ලෙස විදේශ විනිමය අංශයට අනුයුක්ත කළා.

ප‍්‍රශ්නය - ඔබ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ සේවය කළාද?

පිළිතුර - ඔව්, වසර තුනක් වැනි කෙටි කාලයක් මා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ සේවය කළා.

ප‍්‍රශ්නය - ඔබ විදේශගතව සේවය කර තියෙනවාද?

පිළිතුර - ඔව්. 2005 වසරේදී මා සිංගප්පුරූවේ මුල්‍ය ක්‍රේෂ්ත‍්‍රයේ රැකියාවකට ගියා 2007 වසරේදී මා යළි ලංකාවට පැමිණීයා.

ප‍්‍රශ්නය - ඉන් පසු ඔබ මහා බැංකුවේ සේවයට එක් වුණාද?

පිළිතුර - ඔව් මා මහා බැංකුවේ බුද්ධිමය මුල්‍ය අංශයේ ප‍්‍රධානියා හැටියට පත්වුණා.

ප‍්‍රශ්නය - ඔබ මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් හැටියට පත් වුණේ කවදාද?

පිළිතුර - 2015 පෙබරවාරී 15 වැනිදා?

ප‍්‍රශ්නය : මුල්‍ය නීතී පණතේ මුලික පරමාර්ථ සඳහන් වෙනවා නේද? ඒවා මොනවාද?

පිළිතුර : මුල්‍ය නීතී පණතට අනුව මුලික පරමාර්ථ දෙකක් සඳහන් වෙනවා එහි පළමුවැන්න වන්නේ ආර්ථික සහ මිල ස්ථාවර භාවයයි. දෙවැන්න වන්නේ මුල්‍ය ස්ථාවර භාවයයි.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයේ සංයුතිය විස්තර කිරීමට ඔබට පු`ථවන්ද?

පිළිතුර : ඔව්. ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වෙනවා. මුල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහා බැංකු අධිපතිවරයාත්, භාන්ඩාගාර ලේකම්වරයාත් නිල බලයෙන්  පත්වෙනවා.  ඉතිරි  සාමාජිකයින්  තිදෙනා  පත්  කරනවා.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා  මහා  බැංකුවේ  මුල්‍ය මණ්ඩලයේ ඝණපූර්ණය කුමක්ද?

පිළිතුර : යම් තීරණයක් ගැනීම සඳහා යටත් පිරිසෙන් මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙක්වත් සිටිය යුතුයි. ඒ බව මුල්‍ය නීතී පණතේ 17 (3) වගන්තියේ සඳහන් වෙනවා.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය රැුස්වන්නේ කොහොමද?

පිළිතුර :  සාමාන්‍යයෙන් සතිදෙකකට වරක් රැස්වෙනවා. නමුත් හදිසි අවශ්‍යතාවයකදී නිරන්තරයෙන් රැුස්වෙනවා.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයට සාමාජිකයින් පත් කරන්නේ කවුද?

පිළිතුර : බැංකු අධිපතිවරයාත්, භාන්ඩාගාර ලේකම්වරයාත් නිල බලයෙන්  පත්වෙනවා.  ඉතිරි සාමාජිකයින් තිදෙනා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡුා කොට පත්කරනවා.

ප‍්‍රශ්නය : සාමාන්‍යයෙන් මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සේවා කාලය කොපමණද?

පිළිතුර :වසර 06යි.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයේ තීරණ ගන්නේ කොපමණද?

පිළිතුර :ඒකමතිකව තීරණ ගත්තොත් ප‍්‍රශ්ණයක් නැහැ. නමුත් බේදීමක් තිබුණොත් ඒ පිළිබඳ යළිත් වරක් සළකා බැලීමට අදාළ දෙපාර්තමේන්තුවට යවනවා.

ප‍්‍රශ්නය : මහා බැංකු අධිපතිවරයාගේ බලය සහ කාර්ය බාරය සඳහන් වන්නේ කොහේද?

පිළිතුර : මුල්‍ය නීතී පණතේ 19 වගන්තියේ සඳහන් වෙනවා.

ප‍්‍රශ්නය : ඔබ ශ්‍රී  ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කලේ කවුද?

පිළිතුර : ශ්‍රී  ලංකා මහා බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉවත් වීමෙන් අනතුරුව මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන් ඉවත් වුණාද?

පිළිතුර : ඔව්. නීල් උමගිලිය හා නිමල් වෙල්ගම යන මහත්වරුන් මුල්‍ය මණ්ඩලයෙන්  ඉවත් වුණා.

ප‍්‍රශ්නය : ඒ මහත්වරුන් මුල්‍ය මණ්ඩලයෙන් ඉවත් වුයේ කවදාද කියා කියන්න පුළුවන්ද?

පිළිතුර : ඔව්. නිමල් වෙල්ගම මහතා 2015 මැයි 07 වැනිදාත් නීල් උමගිලිය මහතා 2015 මැයි 24 වැනිදාත් මුල්‍ය මණ්ඩලයෙන් ඉවත් වුණා.

ප‍්‍රශ්නය : ඔවුන් දෙදෙනා ඉවත් වුණේ ඔවුන්ගේ නියමිත කාලය ඉක්ම වීමට පෙර නේද?

පිළිතුර : ඔව්.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුල්‍ය මණ්ඩලයෙන් ඉවත් වුයේ කවදාද?

පිළිතුර : 2016 ජුලි පළමු වැනිදා.

ප‍්‍රශ්නය :  ශ්‍රී  ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ වත්මන් සංයුතිය කුමක්ද?

පිළිතුර : ශ්‍රී  ලංකා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමී මහතා සමරතුංග, රාමනාදන්, ක‍්‍රිෂාන්ත පෙරේරා සහ නිහාල් ෆොන්සේකා යන මහත්වරුන්.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ දෙපාර්තමෙන්තු කීයක් තියෙනවාද?

පිළිතුර : දෙපාර්තමෙන්තු 30ක් පමණ තියෙනවා. බැංකු අධීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හා බැංකු නොවන අධීක්‍ෂණ දෙපාර්තමෙන්තුව ඉන් ප‍්‍රධාන වෙනවා. අභ්‍යයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමෙන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව, ඇතුළු තවත් දෙපාර්තමෙන්තු මහා බැංකුවේ තියෙනවා.

ප‍්‍රශ්නය : මෙම දෙපාර්තමෙන්තු වලට ප‍්‍රධානීන් පත් කරන්නේ කවුද?

පිළිතුර : ශ්‍රී  ලංකා මහා බැංකු අධිපතිවරයා මානව සම්පත් අංශය සමඟ සාකච්ඡුා කොට මහා බැංකුවේ දෙපාර්තමෙන්තු වලට ප‍්‍රධානීන් පත් කරනවා.

ප‍්‍රශ්නය : මහා බැංකුවේ දෙපාර්තමෙන්තු වලට ප‍්‍රධානීන් පත් කරන්නේ කුමන නිර්නායකයන් මතද?

පිළිතුර : ජේ්‍යෂ්ඨත්වය මත.

ප‍්‍රශ්නය : මහා බැංකුවේ දෙපාර්තමෙන්තු ප‍්‍රධානීන් මාරූ කරන්නේ කෙසේද?

පිළිතුර : ශ්‍රී  ලංකා මහා බැංකු අධිපතිවරයා මහා බැංකුවේ සහකාර හා නියෝජ්‍ය අධිපතිවරුන් සමඟ සාකච්ඡා කොට මහා බැංකුවේ දෙපාර්තමෙන්තු ප‍්‍රධානීන් මාරූ කරනවා.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ විශේෂඥ දෙපාර්තමෙන්තු මොනවාද?

පිළිතුර : තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුව, අභ්‍යයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව ආදීය.

ප‍්‍රශ්නය : එම දෙපාර්තමෙන්තු වල ප‍්‍රධානීන් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවද?

පිළිතුර : 30ක් පමණ.

ප‍්‍රශ්නය : අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහා බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු එම දෙපාර්තමෙන්තු වල ප‍්‍රධානීන් මාරූ කළාද?

පිළිතුර : ඔව්.

ප‍්‍රශ්නය : අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහා බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණියේ කවදාද?

පිළිතුර : 2015 ජනවාරී 23 වැනිදා.

ප‍්‍රශ්නය : දෙපාර්තමේන්තු වල ප‍්‍රධානීන් මාරූ කළේ කවදාද?

පිළිතුර : 2015 පෙබරවාරී 09 වැනිදා.

ප‍්‍රශ්නය : දෙපාර්තමෙන්තු කීයක ප‍්‍රධානීන් මාරූ කළාද?

පිළිතුර : දෙපාර්තමෙන්තු 14ක ප‍්‍රධානීන් මාරූ කළා.

ප‍්‍රශ්නය : මීට පෙර හිටපු මහ බැංකු අධිපතිවරයා ඒ ආකාරයෙන් මහ බැංකුවේ ප‍්‍රධානීන් මාරූ කළාද?

පිළිතුර :නැහැ. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු සෑහෙන වෙනසක් සිදුකළා.

ප‍්‍රශ්නය : වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමී මහතා පැමිණි පසුත් මෙවැනි මාරූවීම් සිදුකළාද?

පිළිතුර : නැහැ.

ප‍්‍රශ්නය : අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු පෞද්ගලික ලේකම් වෙනස් කළාද?

පිළිතුර : ඔව්. මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණීමට පෙර ලේකම් දෙපාර්තමෙන්තුවක් හැටියට තිබුණත් මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු එය ලේකම් කාර්යාලයක් හැටියට වෙනස් කළා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු සුවිශේෂ වැදගත් ලෙපාර්තමෙන්තු සියල්ලේම ප‍්‍රධානීන් වෙනස් කළාද?

පිළිතුර :ඔව්.

ප‍්‍රශ්නය : අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු වාර්ෂික මාරූවීම් කොපමණ ප‍්‍රමාණයක් සිදු කළාද?

පිළිතුර :වාර්ෂික ස්ථාන මාරූවීම් 500ක් පමණ කළා.

ප‍්‍රශ්නය : ඊට පෙර හිටපු මහ බැංකු අධිපතිවරුන් වාර්ෂික ස්ථාන මාරූවීම් කොපමණ ප‍්‍රමාණයක් සිදු කළාද?

පිළිතුර :වාර්ෂික ස්ථාන මාරූවීම් 200ක් පමණ කළා.

ප‍්‍රශ්නය : ශ්‍රී  ලංකා මහා බැංකුවේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව කොපමණද?

පිළිතුර :5000ක් පමණ.

ප‍්‍රශ්නය : එතකොට හිටපු මහ බැංකු අධිපතිවරුන් වාර්ෂික ස්ථාන මාරූවීම් ලෙස වරකට කොපමණ ප‍්‍රමාණයක් සිදු කළාද?

පිළිතුර : තුනක් හතරක් පමණ.

ප‍්‍රශ්නය : අර්ජුන් මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරී මාසයෙන් පසුව දෙපාර්තමෙන්තු ප‍්‍රධානීන් කීදෙනෙක් මාරූ කළාද?

පිළිතුර : ඔව්. 20ක් පමණ මාරූ කළා.

ප‍්‍රශ්නය : එතකොට අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විසින් වාර්ෂිකව දෙපාර්තමෙන්තු ප‍්‍රධානීන් 34 දෙනෙක් මාරූ කළාද?

පිළිතුර :ඔව්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙම  මාරූවීම් අසාමාන්‍ය ඒවාද?

පිළිතුර : ඔව්. අභ්‍යයන්තර මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා මාරූ කලේ සන්නිවේදන දෙපාර්තමෙන්තුවට. විශේෂඥයෙකු ලෙස සළකන බැංකු අධීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා වෙනත් දෙපාර්තමෙන්තුවකට මාරූ කළා.

ප‍්‍රශ්නය : රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියාත් මාරූ කළාද?

පිළිතුර : ඔව්. රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ධම්මික නානායක්කාර මහතා මාරූ කොට ඒ වෙනුවට සෙනෙවිරත්න මහත්මිය පත්කළා.

ප‍්‍රශ්නය : මේ මාරුවීම් සම්බන්ධයෙන් සේවකයින්ගේ ප‍්‍රතිචාරය කොහොමද?

පිළිතුර : සේවකයින් බොහෝ දෙනෙක් ඒ පිළිබඳ අප‍්‍රසාදයට පත්වුණා.

ප‍්‍රශ්නය : මේ මාරූ කිරීම් පිළිබඳව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මහ බැංකුවේ සහකාර හා නියෝජ්‍ය අධිපතිවරුන්ගෙන් විමසූ බව ඔබට දැනගැනීමට ලැබුණද?

පිළිතුර : අපි මේ පිළිබඳව මහ බැංකුවේ සහකාර හා නියෝජ්‍ය අධිපතිවරුන්ගෙන් විමසූවා ඔවුන් කීවා ඔවුන් සමඟ සාකච්ඡා නොකළ බව.

ප‍්‍රශ්නය : ඔබලා සාකච්ඡා කළ නියෝජ්‍ය අධිපතිවරුන් කවුද?

පිළිතුර : ආචාර්ය වීරසිංහ සහ ආනන්ද සිල්වා.

ප‍්‍රශ්නය : ඔබලා මේ පිළිබඳව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් විමසුවද?

පිළිතුර : මුලින් නියොජ්‍ය අධිපතිවරුන් දෙදෙනා දැනුවත් කළා. ඊට පසු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දැනුවත් කළා.

ප‍්‍රශ්නය : මෙම අසාමාන්‍ය සේවා ස්ථාන මාරූවීම් පිළිබඳව මුල්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කළාද?

පිළිතුර : නැහැ. ඒ පිළිබඳ සාකච්ඡා කළේ නැහැ.

ප‍්‍රශ්නය : ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමී මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්ව පැමිණි පසු මහ බැංකුවේ දෙපාර්තමෙන්තු ප‍්‍රධානීන් කොපමණ ප‍්‍රමාණයක් සේවා ස්ථාන මාරූවීම් කළාද?

පිළිතුර : නිලධාරීන් පස්දෙනෙකුටත් අඩු පිරිසක්.

ප‍්‍රශ්නය : මෙම සේවා ස්ථාන මාරූවීම් පිළිබඳව මුල්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කළාද?

පිළිතුර : ඔව්.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයට නියෝජ්‍ය ලේකම්වරයකු පත්කළාද?.

පිළිතුර : ඔව්.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයට නියෝජ්‍ය ලේකම්වරයෙකු පත්කළේ ඇයි?

පිළිතුර : වැඩ ප‍්‍රමාණය අධික වීම නිසා මාගේ ඉල්ලීම පරිදි මුල්‍ය මණ්ඩලයට නියෝජ්‍ය ලේකම්වරයකු පත්කළා.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලයට පත් කළ නියෝජ්‍ය ලේකම්වරයාගේ නම කුමක්ද?

පිළිතුර : නිල්මිණි දවුලගල මහත්මිය.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලය  රැස්වීම් වාර්තා වල බාරකාරත්වය ඇත්තේ කාටද?

පිළිතුර : මුල්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස මට. මා ඒ වාර්තා මා බාරයේ තබාගන්නවා.

ප‍්‍රශ්නය : මුල්‍ය මණ්ඩලය  රැස්වීම් වාර්තා ඊළඟ මුල්‍ය මණ්ඩලය  රැස්වීමේදී අනුමත තරගන්නවාද?

පිළිතුර : ඔව්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මුල්‍ය මණ්ඩලය  වීඩීයෝ සම්මන්ත‍්‍රණ පවත්වා තියෙනවාද?

පිළිතුර : ඔව්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මුල්‍ය මණ්ඩලය   බාහිර විශේෂඥයින්ගේ සහය ලබාගෙන තියෙනවාද?

පිළිතුර :සාමාන්‍යයෙන් බාහිර සහය ලබාගන්නේ නැහැ.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝ්දාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.