(බදුල්ලේ පාලිත ආරියවංශ සහ චමිල ප්‍රියදර්ශන)

බණ්ඩාරවෙල පාරමීගම  කරමඩුගස්කැන්න කසල අංගනයේ කසල ගොඩ ගැසීම නිසා   නිසා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති අවට නිවාසවල පවුල් 15 ක් ඉවත් කර ඔවුන් සුදුසු ස්ථානවල පදිංචි කරවීමට කටයුතු කරන බව ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහතා ලංකාදීපයට  පැවසීය.

කඩිනමින් ආරක්ෂිත බැම්මට තර්ජනයක් වී ඇති  කසල කන්ද තාප්පයට බරක් නොවන සේ කසල ප්‍රතිචක්‍රීකරණ අංගනය දෙසට තුනී කිරීමට  කටයුතු කරන බවද රාජකරුණා මහතා  පවසයි.

අඩි 100 ක් පමණ උසට ගොඩගැසී ඇති කසල කන්දේ බරට තාප්පය පුපරා ඇති ඇති අතර එය කොයි මොහොතේ කඩාවැටී ඇනතුරක් වේදැයි බියෙන් පසුවන බව ප්‍රදේශවාසීහු පවසති.

අනාරක්ෂිත  තත්වයට පත්ව ඇති නිවාස වලට නිවේදන යවා ඇති අතර ඔවුන් පදිංචිකරවීමට විකල්ප ස්ථාන හදුනාගැනීම සදහා බණ්ඩාරවෙල  ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කරන  බවද  ප්‍රධානලේකම් වරයා ප්‍රකාශ කරයි.