IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සියල්ල අහම්බයන්ය

කෙටිකතාව

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බවකි. හැඬුම් එන්නට ආසන්න බවක් ද ඒ ස්වරයේ විය.

දීර්ඝ වෙහෙසකර ආලිංගනයක් අවසානයේදී මා සිටියේ අජටාකාශ ගතව ය. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී පාවී යන බවක් මට දැනෙමින් තිබිණ.

“කොහොමද අපි දරුවෙක් හදන්නේ…” කියා පෙරලා ප්‍රශ්න කළ යුතු වුවද මම තවත් මොහොතක් නිහඬව සිටියෙමි.

“මං කිව්වේ මට ඔයාගෙන් දරුවෙක් ඕනේ කියලා… මගේ කුළුඳුල් දරුවා ඔයාගෙ වෙන්න ඕනේ කියලා… ඊට පස්සේ ඕනෙ එකක්…”

මම දැවටෙමින් ඇගේ පහසට තවත් ලොල් වූවා හැර වචනයකුදු නොදොඩන්නට පරිස්සම් වීමි.

“අපි ඒ තරම් පින් කරලා නෑ. තව ටික දවසකින් ඔයා යන්නම යනවා” කියා කටට වචන ආ නමුදු මා විමසුවේ “ඇයි? මේ අන්තිම මොහොතෙ” කියාය.

සුවිමාලි ඕස්ට්‍රේලියාව බලා නික්ම යන්නට ඉතිරිව තිබුණේ සති දෙකකටත් අඩු කාලයකි. හරියට කියනවා නම් දින දොළහකි.

“මට කිසිදෙයක් හිතා ගන්න බෑ… අමල්… මට දැන් ඔයා නැතිව බෑ… ඒත් මට නොගොහිං ඉන්නත් බෑ… අන්තෝ ජටා .. බහි ජටා ..” සුවිමාලි මොහොතක් නිහඬව සිට දීර්ඝ සුසුමක් හෙළුවාය. අවසානයේ ඇය හැඬුම් බර ස්වරයෙන් වචන ගොනු කළාය. “ඒකට මට තියෙන එකම උත්තරේ ඔයාගෙන් දරුවෙක් ලබන එක… ඒක අපේ ආදරේ වෙනුවෙන් ඔයා මට දෙන අමරණීය සිහිවටනය”

මා පෙරළා ගෙන මගේ සිරුර මත පතිත වූ ඈ ඉකිබිඳ හඬන්නට වූවාය. මම ඇගේ හිස කෙස් අතර ඇඟිලි තුඩු යවමින් සිතට දැනෙන කම්පනය මග හරවා ගැනීමට උත්සහ ගත්තෙමි.

“අපි හෙට ඉඳල කිසිම සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් ගන්නේ නෑ… මේ මගෙ සරු කාලෙ. ඔයා ඒකට එකඟ වෙන්නෝනැ.”

සුවිමාලි හා මා ප්‍රේමයෙන් මුසපත් වී ගෙවී යමින් තිබුණේ දෙවන අවුරුද්දය. දෙවන අවුරුද්ද කීවාට එහි මුල් භාගයයි.

මා දෙපාර්තමේන්තුවේ රැකියාවට පැමිණ හරියටම අවුරුදු දෙකක් ගෙවී යන්නට ආසන්නය. මේ මගේ දෙවන රැකියාවයි. පෞද්ගලික ආයතනයක අනියම් රැකියාවක් කරනවාට වඩා විශ්‍රාම වැටුපක් හිමිවන රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවක් ලැබීම ගැන මටත් වඩා සතුටු වූයේ මගේ පවුලේ අයය.

මට සුවිමාලි මුණ ගැසුණේ එසේ අලුත් රැකියාවට පැමිණි දෙවන දිනයේදී ය.

“අමල් සර්ට ඉංජිනේරු නෝනා කතා කරනව…”

මම සුවිමාලි වැජඹුණු වීදුරු කුටියට ගියෙමි.

“ආං… මෙයාද මේ අලුත ආව ඩ්‍රාෆ්ට්මන්.? තරුණ කොල්ලෙක්නෙ…” සුවිමාලි සුහදත්වය පළ කිරීමට පැවසූ මුල්ම වදන් මට අද වගේ මතකය.

සාමාන්‍යයෙන් ඉංජිනේරුවරියන් වන්නේ සුන්දර කාන්තාවන් නොවන බවට පොදු මතයක් ඇත. ඒත් සුවිමාලි සැබැවින්ම රූමත් වූවාය.

අපගේ රැකියා ස්වාභාවය අනුව හැම විටම අයත් වුණේ ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණයටය. වෙනත් ආකාරයකින් කියනවා නම් “ඉමීඩියට් බොස්” වුණේ ඉංජිනේරුවෙකි.

සුවිමාලි දත්ත වගු කිහිපයක් දී පිඹුරක් සකස් කරන්නැයි උපදෙස් දුන්නාය.

“මොනව හරි නොතේරෙන තැනක් ඕනේ වෙලාවක ඇවිත් අහන්න. මං ෆීල්ඩ් ගියෙ නැත්තං මේ සීට් එකේ ඉන්නවා…”

“හොඳමයි මැඩම්…” මා එසේ ඇමතුවේ මගේ ආයතන ප්‍රධානියාට එසේ ඇමතීම සම්ප්‍රදාය වූ බැවිනි. සුවිමාලි පෙනුමෙන් මටත් වඩා ළා බාල විය යුතු යැයි මම අනුමාන කළෙමි. “වෙන්න බෑ… ඒ පෙනුම ළා බාල වුණාට ඩිග්‍රියක් කරල ඔය පුටුවට එන්න යන කාලෙ බැලුවම මට වඩා අවුරුද්දක්, දෙකක්වත් වැඩිමල් ඇති… “ මම තනිවම සිතා ගත්තෙමි.

අටුවා ටීකා අවශ්‍ය නැත. වහෙන් ඔරෝ වර්ණනා ද අවශ්‍ය නැත. අපි දෙදෙනා ප්‍රේමයෙන් බැඳුනෙමු.

දවසට කීප වතාවක් සුවිමාලිගේ කාමරයට යාමට මට සිදු වූ අතර සමහර අවස්ථා වල උපදෙස් දීම සඳහා ඇය මගේ මේසය වෙත ආවාය.

“අමල්… මං ඔයාගෙ මේසෙට නෑවිදිං මගෙ කාමරේට එන්න කියන්නෙ ලොකු කමකට හෙම නෙවි. මේකෙ ඉන්න උං මං එතෙන්ට ගිය වෙලාවෙ ඉඳං සේරම වැඩ නවතල මං දිහා කන්න වගේ බලා ඉන්න බව හොරැහට පේනව. අමලුත් ඒක නෝටිස් කරල ඇතිනෙ….”

“ඔව් මැඩම්! මැඩම් ඉතිං කොහොමත් සිරියාවන්තයිනෙ….” මට කියන්නට අවශ්‍ය වුණේ ඇය බෙහෙවින් රූමත් නිසා හැමෝම ඇය දෙස බලන බව වුවද මා කීවේ සිරියාවන්ත කතාවකි.

“අනෙක අමල් මට මැඩම් කියද්දි අපි දෙන්න ගොඩක් දුරයි වගේ දැනෙනව. ඔයා තරුණ කෙනෙක්. අපි අතරෙ වැඩි වයස පරතරයක් නෑ. ඉතිං මට අනෙක් ගොඩක් දෙනා වගේ මිස් කියල කතා කළාම ඇති.”

මට සුවිමාලි මිස් වූයේ ඒ ආකාරයටය. මිස් කෑල්ල හැලී සුවිමාලි වෙන්නට වැඩි දවසක් ගත වුණේ නැත.

මම දවසින් දවස ඇගේ රුපශ්‍රීයටද, ඇය වැඩ කරන ආකාරයටද, ඇගේ ගමන බිමන හා කතා බහටද ආශක්ත වෙමින් සිටියෙමි. ඇය මා පිළිබඳ බොහෝ තොරතුරු විමසුවාය. මට එසේ විමසන්නට ශක්තියක් නොවීය.

“පුදුමයි…. මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක් වෙලත් කෙල්ලෙක් නෑ කිව්වම අපි විශ්වාස කරයි කියල හිතන්නෙපා… මට නිකන් බොරු කරනව නේද?” ඇය විමසුවේ මගේ දෑස දෙස එක එල්ලේ බලා ගෙනය. කොහොමත් කුලෑටි තරුණයෙකු වූ මම ඒ දෑසේ කාන්තියට අවනතව බිම බලා ගත්තෙමි.

සුවිමාලි විවාහක බවද, ඇගේ ස්වාමි පුරුෂයා ගෙවී ගිය භීෂණ සමයේ ජීවිතය බේරා ගැනීම සඳහා රටෙන් පැන යාමට පෙර විවාහය ලියා පදිංචි කළ බවද මා දැන ගත්තේ ඇයගේ නවාතැනට පැමිණෙන්නැයි ආරාධනා ලැබ, එහි ගොස්, අඹු සැමියන් ලෙස හැසිරෙන්නට මොහොතකට පෙරය.
“මට කර ගහන්න වෙයි කියල ඔයා බය වෙන්නෝනැ නෑ…. මං ඔයාගෙ කරේ එල්ලෙන්නෙ නෑ…. ඒත් මං ඔයාට ආදරෙයි. “ එසේ පැවසූ ඈ මා වියරුවෙන් සිප වැළඳ ගත්තාය.

“මේ ගෙවල් අයිති අයට මං කිව්වා අද බෝයි ෆ්‍රෙන්ඩ් එනව, අපි ළඟදි කසාද බඳිනව කියලා. මං බැඳල බව ඒ ගොල්ලන් දන්නෙ නෑ..”

සුවිමාලි ඉතා කෙටි කාලකින් මාරුවීමක් ලැබ වෙනත් ආයතනයකට ගියාය. එයට හේතුව එකම තැන රැකියාව කළහොත් අප අතර පැවති සම්බන්ධය තව දුරටත් රහසක් නොවනු ඇති බව අනුමාන කිරීමය. අකමැත්තෙන් වුවද මම ඇගේ තීරණයට එකඟ වීමි.

ඒ වන විට ඇය නොදැක ඉන්නට නොහැකි තරමේ ආශක්ත බවකින් මම ඇය හා බැඳී සිටියෙමි.

“මේකයි අමල්… එකක් තමයි ඉංජිනේරු නෝනා ඩ්‍රාෆ්ට්මන් කොල්ලව අල්ල ගත්ත කියල කතාවක් හැදෙන එක හොඳ නෑනෙ. අනෙක් කාරණේ තමයි පියල් මාව බැඳලා රටෙන් ගිය බව දන්න කීප දෙනෙක් ඉන්නව. විශේෂයෙන් ඩිසයින් ඔෆිස් එකේ ඉන්නව පියල්ගෙ බැච් මේට් කෙනෙක්. පියලුත් ඉංජිනේරුවෙක්නෙ. කැම්පස් එකේ මට අවුරුදු හතරක් සීනියර්..”

සුවිමාලි සරසවියට යන විට පියල් උපාධිය අවසන් කර තිබූ බවද මහවැලියේ රැකියාව කරමින් සිටි පියල් මුල් කාලයේ ඇය දකින්නට සතිපතා පේරාදෙනි ආවා වුවද භීෂණ සමයේ විශ්වවිද්‍යාලය නිතරම වසා දැමුණු බැවින් ඒ හමු වීම් සීමා වූ බවද සුවිමාලි පැවසුවාය.

“කොටින්ම මගේ කාමරේ අපි දෙන්න ඉන්න ඉඳිල්ල මට පියල් එක්ක ඉන්න ඉඩක් ලැබුණෙ නෑ. පස්සෙ පස්සෙ අපේ ගෙදර ඇවිත් සාලෙ ඉඳං කතා කරල ගියා. දන්නවනෙ අම්මලාගේ හැටි.”

ඇය නොදැක ඉන්නට නොහැකි බව කියමින් මා ‌‌තොඳොල් වෙද්දී සුවිමාලි තීරණයක් ගත්තාය. අපේ සම්බන්ධතාවය අරභයා බොහෝ තීන්දු තීරණ ගත්තේ සුවිමාලිය.

“ඔයා කැමති නැද්ද එකට ජීවත් වෙන්න. මං කියන්නෙ මේ… එක ගෙයක් අරගෙන… ඈත පළාතකින් ඇනෙක්ස් එකක් හරි කාමර දෙකක විතර පුංචි ගෙයක් හරි හොයා ගනිමු. ඔයා වීක් එන්ඩ් එකට එන්න. අපි අලුත බැඳපු දෙන්නෙක් කියමු. ආයෙ ගෙවල් කුලියට දෙද්දි කසාද සහතිකේ බලන්නෙ නැහැනෙ….” සුවිමාලි ඇඟට පතට නොදැනී කීවාය.

සියල්ල සිදු වූයේ ඉතා කෙටි කාලයකදීය. ඒ ඉතා කෙටි කාලයක් සඳහාය. ඒ සුවිමාලිට ඕස්ට්‍රේලියානු වීසා ලැබෙන තෙක් පමණක්ය.

සුවිමාලි සිය සැමියාගේ සෙවනට යන මොහොත දක්වා මම ඇයට අවශ්‍ය සෑම උපකාරයක්ම කළෙමි. පදිංචියට යන නිසා ඇයට ගෙන යන්නට බොහෝ දේ තිබිණ. ඒ හැම දෙයක්ම පාර්සල් කොට බෑග් වල අසුරා නැව්ගත කිරීමටද මම උදව් කළෙමි.

මට සුවිමාලි සමඟ ගුවන් තොටුපළට යාමට නොහැකි වූයේ ඇගේ මව හා සොයුරු සොයුරියන් මා ගැන කනින් කොනින් අසා තිබූ නිසාය. දන්නා බව අප දැන නොසිටියාට අපේ සම්බන්ධතාව වෙනත් අය දැන සිටි බව සහතිකය.

වතාවක් අප දෙදෙනා “සිසිල ගිනි ගනී” චිත්‍රපටය නරඹන්නට මැජෙස්ටික් සිනමා ශාලාවට ගිය අවස්ථාවක මගේ දෙපාර්තමේන්තුවේ සුළු සේවකයකු අපට මුණ ගැසිණ. අප දෙදෙනා චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියදී මුණ ගැසුණු බවක් කාර්යාලයේදී නොපවසන ලෙස කළ ඉල්ලීම මා දන්නා තරමින් ඔහු පිළිපැදි නමුදු අපව එලෙස දුටු තව අය කොතෙක් විය හැකිද?

තම ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට ඔස්ට්‍රේලියාවට ගිය සුවිමාලි එහි ගොස් මාසයකට පමණ පසු මට දිගු ලිපියක් එව්වාය. තමන් ගැබ් ගෙන ඇති බව සඳහන් කරමින් මට සූක්ෂම ලෙස පණිවුඩය ලබා දුන්නද එය කිසිසේත්ම ප්‍රේමනීය ලියැවිල්ලක් නොවීය. එම ලිපිය අන් අයෙකු අතට පත් වුවහොත් ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීමට ඇය සිතුවා විය යුතුය.

“දැන් උඹේ කලවයසත් පැන ගෙන යන්නෙ. නාඩගං නැටුවා මදෑ…. අර හීං නැන්ද අපූරු මඟුලක් කතා කරල තියෙනවා. මෙදා පාර නං ඔන්න කට්ටි පනින්න බෑ…” මා ගමේ ගිය වතාවක අම්මා නිලය ඇල්ලුවාය. “මං නටපු නාඩගං මොනවාදැ”යි විමසන්නට ගොස් කොහෙන් කෙළවර වේදැයි භීතියට පත් මම මෙවර මඟුලට කැමති වීමි.

සුවිමාලි මගේ මතකයෙන් ඉවත්ව ගොස් සිටියේ නැත. සෑම රාත්‍රියකම මා කොට්ටයක් තුරුළු කොටගෙන නිදා ගත්තේ ඒ සුවිමාලි බව සිතමිනි. නින්දත්, නොනින්දත් අතර කොට්ටය සිප ගත්තේ ඒ සුවිමාලිගේ මුහුණ සිප ගන්නවා යැයි සිතමිනි. ඒ තරමට ඇය මගේ හද සන්තානයේ ජීර්ණය වී සිටියාය.

නිමාලි, සුවිමාලිට වඩා රූපශ්‍රීයෙන් යුතු වීම මගේ හිතට සහනයක් ගෙන දුනි. මතු යම් දවසක අහම්බෙන් හෝ සුවිමාලි හමුවීමේ ඉඩකඩ ඉතා අල්ප වුවද එවන් අවස්ථාවක් උදා වුවහොත් ඇගේ සිතේ ඊර්ෂ්‍යාවක් ජනිත වන ආකාරයේ රූප සොබාවක් ඇත්තියක හා විවාහ වන්නෙමැයි මම සපථ කොට ගෙන සිටියෙමි.

මා නිමාලිට වහාම කැමැති වන්නට ප්‍රධානතම හේතුව වූයේ ඇය විවාහයෙන් පසු පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදෙස් ගත වන්නට නියමිත වීමයි. එවිට මට තවත් කලක් සුවිමාලි සමඟ සිහින ලෝකයේ සැරිසරන්නට අවකාශ සැලසෙනු ඇති බව මගේ අනුමානය විය.

නිමාලි, සුවිමාලි තරම් උස් නොවුවාය. ඇය තරම් කෙසඟ නොවුවාය. ඇගේ සිනාව හා දෙනෙතේ කාන්තිය සුවිමාලි පරයා ආකර්ශනීය විය. විවාහ වී විදෙස් ගත වන්නට නියමිත වීම දක්වා වූ සීමිත දින කිහිපයේදී මා වඩාත් බිය වූයේ නිමාලිට, සුවිමාලි කියා ආමන්ත්‍රණය කෙරේවි යැයි කියාය. විශේෂයෙන්ම යහනේදී මම වඩාත් ප්‍රවේශම් වීමි.

මම හැකිතාක් දුරට ඇය නමින් ආමන්ත්‍රණය කිරීමෙන් වැළකී සිටියෙමි. “මං ඔයාට බන්ටි කියන්නම් ආදරේට…” මම සම්‍යක්ප්‍රයෝගයක යෙදුනෙමි. “ඇයි ඔයාට බන්ටි කියල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද…?
එසේ විමසූ නිමාලි හඬනගා හිනැහුණාය.

කෙසේ හෝ සුවිමාලි ලෙස ආමන්ත්‍රණය කරන්නට පෙර බන්ටි නවසීලන්තය බලා නික්ම ගියාය.

බන්ටි සතියකට වතාවක්වත් මට දුරකථනයෙන් කතා කළාය. ජංගම දුරකථන ප්‍රචලිත නොවූ එකල ඇය මට කතා කළේ කාර්යාල දුරකථනයටය. ඊට අමතරව ඇය මට ලියුම් එව්වා සේම ඒවාට පිළිතුරු යැවීමද අනිවාර්ය විය.

එක් දිනයෙක මට විදෙස් දුරකථන ඇමතුමක් ආ විට මා පිළිතුරු දුන්නේ බන්ටි ගැන සිතා ගෙනය. එහෙත් අනෙක් පසින් කතා කළේ සුවිමාලිය.

“මට පුතෙක් ලැබුණා. අපේ පුතා ඔයා වගේමයි. දැං ඔයා තාත්තා කෙනෙක්. පුතා ලැබුණු බව තාත්තට කියන්න මාසයක් ගිය එකට සමා වෙන්න. මට කතා කරන්න විදියක් තිබුණේ් නෑ. ඒ ගොල්ලන්ගේ අම්මා ඇවිත් උන්න. එයා හැම වෙලාවෙම මං ළඟමයි උන්නෙ. අනෙක මේ පුංචි අපාට්මන්ට් එකක්…” දුරකථන ඇමතුම ඉතා කෙටි එකක් වීමටත් වඩා මගේ සිත රිදවූයේ ඇය කතා කළ රාජකාරීමය ස්වාභාවයයි.

රැකියා ස්ථානයේදී අප එකිනෙකා මුණ ගැසුණු මුල් අවදියේ ඇය මට වැඩ පැවරීමේදී කතා කළ ආකාරය මට සිහිපත් විය. ඇය මා නොසලකා හැර ඇති බවක් හදිසියේ සිතට නැගුණෙන් මා විවාහ වූ බව ඇයට කියා සිටියෙමි.

“ඒක හොඳයි අමල්… ඔයා ගැන හිතල මං ගොඩක් දුක් වුණා. හැමදේම සිද්ධ වුණේ මගේ උවමනාවටනෙ. ඔයාගෙ පළවෙනි දරුවගෙ අම්ම මම. මගෙ පළවෙනි දරුවගෙ තාත්ත ඔයා. ඒ මට ඇති. මට ජීවිතේ එක වතාවක් හරි ඔයාට පුතාවයි, පුතාට ඔයාවයි පෙන්නන්න ලැබුණොත් ඒ ඇති.”

සුපුරුදු ඕලාරික ගතියෙන් කාලය ගෙවී ගියේය. බන්ටි පශ්චාත් උපාධිය හමාර කොට ආපසු ලංකාවට පැමිණි කෙටි නිවාඩුවක් ගත කොට නැවතත් විදේශගත වූයේ ආචාර්ය උපාධිය සඳහාය. ඒ කාලය අතරතුර දරුවෙකු පිළිසිද නොගන්නට පරෙස්සම් වීම මගේ හිතසුව පිණිසම විය. මම මගේ පුතා සිහිනෙන් දුටුවෙමි.

ගත වූ වසර හතර ඇතුළත මා දෙවතාවක් නවසීලන්තයට ගෙන්වා ගැනීමට බන්ටි උත්සුක වූයේ පවුල රැක ගැනීම සඳහා වැඩිහිටියන්ගෙන් ලද උපදෙස් අනුවද, සැබෑ ලෙසම ඇය පෙළුෑ කාන්සිය නිවා ගැනීම සඳහාද කියා තේරුම් ගැනීමට මම උත්සහ නොකළෙමි.

ආචාර්ය උපාධි අධ්‍යයනය හමාර කොට ලංකාවට එන ගමනේදී සිංගප්පුරුවේ සංචාරයක් කරමු යැයි යෝජනා කළේ බන්ටිය. තමන් සිංගප්පුරුවට පැමිණෙන දිනයේ මට ද එන ලෙස ඉල්ලා සිටි ඇය මා වෙනුවෙන් ගුවන් ටිකට්පත් වෙන් කොට ගත්තාය. දින තුනක් නවතින්නට හෝටල් පහසුකම් වෙන් කොට ගත්තාය. සෙන්තොසා දූපතේ යුනිවර්සල් ස්ටුඩියෝව නැරඹීමට යාමට මා තුළ වූ ආශාව නිසා මම මේ ගමනට එක හෙලාම එකඟ වීමි.

මා කියන්නට උත්සහ ගන්නේ මේ සංචාරය අතරතුර සිදු වූ සිද්ධීන් හේතුවෙන් අපේ ජීවිතවලට කිසියම් තීරණාත්මක බලපෑමක් එල්ල වූයේ නම් ඊට මුළුමනින්ම වගකිව යුත්තේ බන්ටි බවය.

එකල ජංගම දුරකථන නොතිබූ හෙයින් අපේ හමුවීම නිශ්චිත පිළිවෙළකට කළ යුතු විය. එනම් ඇය නවසීලන්තයේ සිට පැමිණෙන ගුවන් යානය චැංගි ගුවන් තොටුපොළට ළගා වීමට කලින් මා එහි ගොස් අදාළ ටර්මිනලයේ පිටවන දොරටුව අසල රැඳී සිටිය යුතු විය.

මගේ ගුවන් ටිකට් පත ඇණවුම් කළේ ඇය පැමිණෙන ගුවන් යානය චැංගි වෙත ළඟා වීමට පැය පහකට පෙර සිංගප්පුරුවට ළඟා වන ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මට පිටත්ව යා හැකි පරිදිය. සියල්ල සැලසුම් කළ ආකාරයෙන් සිදු විය.

බන්ටි රැගත් ගුවන් යානය නියමිත වේලාවට ළඟා වූ බව තිරයේ සටහන් විය. එය අප දෙදෙනාටම හැඟීම් බර මොහොතක් වූයේ අප එකිනෙකා දුටුවේ අවුරුද්දකටත් වැඩි කාලයකට පසුව නිසාය. ඇය නොනවත්වා මා සිප ගත්තාය. වටේ පිටේ සිටින මගීන් අප දෙස බලා සිටිනු ඇතැයි ලැජ්ජාවට පත් මම නෙත් කොනින් හාත් පස සිසාරා බැලුම් හෙලද්දී දුටුවේ කිසිවෙකුටත් වගේ වගක් නැති බවය. හැම දෙනාම කඩිමුඩියේ තමන්ගේ ගමන යනු විනා ඔවුන්ට අප දෙස බලා සිටින්නට කිසිදු උවමනාවක් නොවීය.

මම ද රිසි සේ බන්ටිව සිප ගත්තෙමි. ඇත්තෙන්ම මා ඇයට බොහෝ සෙයින් ආදරය කරන බව ජීවිතයේ පළමු වතාවට හැඟී ගියේ ඒ මොහොතේය. ඉක්මනින් දරු සුරතල් බැලිය යුතු යැයි මම සිතා ගත්තෙමි.

අපි කලින් වෙන් කොට ගෙන තිබූ හෝටලයට ගියේ මදක් විවේක ගෙන සංචාරය ඇරඹීමටය. දීර්ඝ ගුවන් ගමනක යෙදී වෙහෙසට පත් වී සිටි ඈ කමසුව විඳීමෙන් පසු සැපදායක දීර්ඝ නින්දකට පත් වූවාය.

රාත්‍රී තුනක් සිංගප්පුරුවේ ගත කොට රිසි සේ සංචාරය අවසන් කළ අප සිව් වන දිනයේ උදෙන්ම මුස්තාෆා මෝල් එකට ගියේ ලංකාවට ගෙන ඒමට අවශ්‍ය තෑගි බෝග ඇතුළු විවිධ දේ මිලදී ගෙන එතැනින්ම ගුවන් තොටුපොළට යන්නට සිතා ගෙනය. ලංකාව බලා පිටත් වන ගුවන් යානය පිටත් වීමට නියමිත වූයේ මධ්‍යාහ්නයේදීය.

අපි චැංගි ගුවන් තොටට පැමිණියේ අවසාන මොහොතේදීය. කලබලයෙන් ආගමන විගමන කටයුතු අවසන් කොට ගත් අපි නියමිත ටර්මිනල් එකට පැමිණියෙමු. ආසන පේළි වල තැනින් තැන මගීන් රැඳී සිටිය අතර අපි හාත්පස සිසාරා බලමින් ඉඩකඩ ඇති තැනක් සොයා ගෙන අසුන් ගත්තෙමු. දන්නා හඳුනන කෙනෙක් අසුන් ගෙන සිටියේ නම් අපව හොඳින් හඳුනා ගන්නට ඒ කාලය හොඳ හැටි ප්‍රමාණවත්ය.

“මං වොෂ් රූම් එකට ගිහිං එන්නම්. ඔයා මේ බෑග් වලට ඇහැ ගහගෙන ඉන්න. මේවයෙ කියල නෑ… බෑග් උස්සන අය ඉන්නවා….” බන්ටි මදක් එපිටින් වූ විවේකාගාරය වෙත ගියාය.

මම ඈතට ඇවිද යන බන්ටි දෙස බලා සිටියෙමි. ඇය සුන්දර කාන්තාවකි. මෙතැන් පටන් අප ජීවත් වනු ඇත්තේ එක් වහලක් යටය. ජීවිතයේ දුක්ඛ දෝමනස්ස බෙදා ගනු ඇත්තේ එකටය. වසර හතරක් නාමික විවාහ දිවියක් ගත කළ අප මෙතැන් පටන් පූර්ණ විවාහක අත්දැකීමක් ලබනු ඇත.

“ඒ ඔයාගෙ වයිෆ්ද… එයා ලස්සනයි….” ඈත අතීතයේ සිට හද හද සන්තානයේ දෝංකාර දෙන හුරුපුරුදු කටහඬින් තිගැස්සී ගිය මා ඒ හඬ පැමිණි දෙස බැලූ විට ඇස්මානයේ දුටුවේ පියකරු පිරිමි දරුවෙකි.

වයස අවුරුදු පහක් පමණ වූ ඒ දරුවාගේ දෙනෙත් සමඟ මගේ දෙනෙත් මොහොතකට ගැටිණ. මා හිස ඔසවා බැලුවේ මගේ බාල කාලය සිහිපත් කර ගෙනය. මට දැනුණේ මා ඉදිරියේ සිටින්නේ මා බවකි.

සුවිමාලි…. ඇය දරුවා අතින් අල්ලාගෙන මා අසල ප්‍රාතුර්භූතව සිටියාය. මම ක්ෂණයෙන් ඊ ගසක් සේ නැගී සිටියෙමි.

“සුවිමාලි… ඔයා…. ?”

“අමල්… මං ටික වෙලාවක් ඔයාල දිහාවෙ බලන් උන්න. දෙන්න ඉඳ ගන්න සීට් එකක් හොයද්දිමයි මං අඳුන ගත්තෙ. ඇවිත් කතා කරනවද නැද්ද කියල හිතද්දි එයා ගිය නිසයි මට එන්න ශක්තියක් ආවෙ… මේ පුතා…” ඇය ඉතා හැඟීම් බරව කීවාය.

පහත් වී පුතා බදාගත් මම සිප වැළඳ ගත්තෙමි. මගේම ජීවන සුවඳ මට දැනෙන්නට විය. “මගෙ පුතේ…” මම තොල් මැතිරුවෙමි.

බන්ටි ආපසු පැමිණෙන්නට කල්ප කාලයක් ගත වන්නේ නම් කොපමණ අගේදැයි මට සිතිණි. ඇය ආපසු පැමිණෙන අතරතුර සුවිමාලි කියවාගෙන ගිය දිගු කතාවක සාරාංශය නම් ඇය මගෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවට යන විට විවාහක සැමියා වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වෙමින් සිට ඇත. ඔහුට දාව ඒ කාන්තාවට දරුවෙකු ද සිටින බව ඇය දැන ගෙන ඇත්තේ මාස කිහිපයකට පසුවය. එතැන් පටන් සුවිමාලි ගත කොට ඇත්තේ ඉතා අප්‍රසන්න කාල පරිච්ඡේදයකි. පුතා ඉපැදුණු පසුව ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී ඇත. පියල් ඉතා කැමැත්තෙන් ඊට එකඟ වී ඇත.

ඇය දරුවා හදා වඩා ගැනීම සඳහා සිය මව එරටට ගෙන්වා ගෙන ඇත. ඇයට ඔහුගෙන් ලැබුණු එකම දායාදය ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට ඉල්ලුම් කිරීමට අවශ්‍ය නීතිමය සුදුසුකම පමණි. මේ කිසිවක් මට නොදන්වන්නට ඇය වග බලාගෙන ඇත්තේ ඈ දුරකථනයෙන් කතා කළ මොහොතේ මා විවාහ වූ බව පැවසූ නිසාය.

මට සුවිමාලි සමඟ කතා කරන්නට බොහෝ දේ තිබිණ. එහෙත් අගක් මුලක් සිතා ගන්නට නොහැකි විය.

ඒ සමඟම ගුවන් යානයට මගීන් ඇතුළත් කර ගැනීමේ නිවේදනය ප්‍රචාරය විය.

“ඉඩක් ලැබුණොත් ප්ලේන් එකේදි කතා කරමු. ඔයා මා ළඟට එන්න. හැබැයි අම්ම ඉන්නව. ඒ හංදා ඔයාගෙ නම කියන්නෙපා. අම්මලා ඔයාව නමින් දන්නව” ඈ පුතා අතින් අල්ලා ගෙන මව වෙත ගියාය.

“මං මේ ඩිස්ටර්බ් නොකර ඈතින් බලා උන්නෙ. සෑහෙන වෙලාවක්නෙ, හෝ ගාල කියවනව ඈතින්ම දැක්ක.” ඒ සමඟම පැමිණි බන්ටි කීවාය.

“කවුද අනේ ඒ… ලස්සන ලේඩි කෙනෙක්. පැංචත් හරිම කියුට්…”

“ආ… ඒ … පුතාගෙ අම්ම….” මට කියැවිණ.

 

හෙන්රි වර්ණකුලසූරිය



අදහස් (2)

සියල්ල අහම්බයන්ය

lionel Tuesday, 25 March 2025 01:21 PM

ලස්සන කතාවක්...

:       0       4

චතුරි Wednesday, 26 March 2025 08:05 PM

ඇත්තටම. මේ වගෙ සුරන්ගනා කතා. උගත්, බුද්ධිමත්... අවංක ආදරය හඳුනන අය අතරේ වෙන එක හොඳයි. සැමියා නැතත්. දරුවා හදා ගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දුප්පත් මිනිස්සු. අතරේ තමයි. ගොඩක් මෙවැනි සිදුවීම් සිදුවෙන්නේ. ඒකෙන් අම්මත්, දරුවත්, සැමියාත් දුක් විඳිනවා. ජීවිත තුනක මරණයක්... වෙන්නත් ඉඩ තියෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

අවුරුදු
2025 අප්‍රේල් මස 29 34 0

ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ


රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 552 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 490 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 165 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 495 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


සියල්ල අහම්බයන්ය
2025 මාර්තු මස 25 694 2

“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 316 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1109 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site