IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


වෙසක් පහන

 


 

විශාල අට පට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහි ය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයවූවෙමු.

අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනෙහි මැද කූඩුව සාදන්නට වූයේ ය. ඔහු ගෙයි කෑම කන සාලයේ මේසය අසල බිම කඩදාසියක් එලා හිඳගෙන උණ කැබැල්ල පලා සිහින් පතුරුවලට ඉරන්ට විය. එකල අයියා වයසින් අවුරුදු දහහතරක් පමණ ද නංගී හයක් පමණ ද මම හතක් පමණ ද වීමු. උණ කැබලි එක් කොට අට පට්ටම් කූඩුවක් සාදන සැටි නංගී හෝ මම හෝ නොදැන සිටියෙමි. එහෙයින් අයියා උණ කැබැල්ල පතුරු වලට ඉරන සැටි අප බලා සිටියේ ඔහු විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නාක් මෙනි.

ඔහු පහන සාදන සැටි බලා සිටින නංගීත් මාත් අතර නොයෙක් විට කලහ ඇති විය. අයියා සැස මට්ටම් කොට පසකින් තබන උණ පතුරු ඔහු ළඟින් හිඳ සිටි මම මා අසලින් තබා ගතිමි. ඔහු කපන උණ පතුරු මා ළඟින් තබා ගැනීම නංගීට රුචි නොවීය. අයියා සැස පසක තැබූ උණ පතුරක් මා දකින්නට පෙර නංගී තම දෙකකුල යටට කොට සඟවා ගත්තාය. මා අසල බිම හිඳ සිටි ඈ මා පතුරු දකිතියි සැකයෙන් තමා හැඳ සිටි ගවුමෙන් දෙකකුල් වසා ගැනීමට එය බිම විදහන්නට විය. ඇය තම දෙකකුල් වසා ගැනීමට තැත් කරන සැටි මගේ සැකයට හේතු විය. ඈ උණ පතුරක් සඟවා ගන්නට ඇතැයි මට සිතිණි. පතුරක කොනක් ඇයගේ දෙදණ අතරින් මෑත් වී තිබෙනු මා දුටුවේ එවිට ය. මම එය ඇද දා අසලින් තබා ගතිමි. නැගණියගේ රත් පැහැති සිඟිති මුවෙහි යටි තොල කෝපයෙන් දික් විය. ඇයගේ නෙත් යුවළට කඳුළු පිරෙන්නා මට පෙනිණ.

සිත ද ඇස ද එකසේ යොදා සිටි අයියා නංගී උණ පතුර සඟවා ගත් සැටි හෝ මා එය උදුරා ගත් සැටි හෝ නුදුටුවේ ය. නංගීගේ දෙනෙතට පිරුණු කදුළු ක්‍රමයෙන් කොපුල් ඔස්සේ පහතට බසින්නට විය. දෙනෙතින් කඳුළු වැගිරීම සොහොයුරියගේ කෝපය වැඩි වීමට හේතු විය. ඈ තමා හිඳ සිටි තැනින් නැගිට මා පිටිපසට අවුත් මගේ හිසට දැඩි සේ පහරක් ගසා ගෙට දිව ගියා ය. අම්මා මට බැණ ඇය සනසනු මට ඇසිණ.

අයියා උණ පතුරු එක් කොට විශාල සම සතරැස් රාමු සයක් සාදා ඒවා එක් කොට බැඳීමෙන් අට පට්ටම් කූඩුවක් සෑදුවේ ය. එය විශාල කූඩුවකි. එය සාදන ලද්දේ කුඩා කුඩු විස්සක් ඇති විශාල පහනක මැද කූඩුව වශයෙනි. එය සාලයේ පිහිටි කෑම කන මේසය පමණ උස් විය. අයියා එය මේසය අසලින් ගෙන ගොස් කෑම කන සාලය ද ගෙයි මැද සාලය ද අසල පිහිටි බෝක්කුව යට තැබුවේ ය. කූඩුව එහි තැබූ ඔහු දිගහැරී එල්ලෙන තම කමිසයේ අතකින් නළලෙහි ඩහඳිය බිඳු පිස දමමින් යළිත් මේසය කරා අවුත් කුඩුව දෙස බැලුවේ ය. නළලට වැටුණු දික් වූ කෙස් රොදකින්ද, එකිනෙකට තද වූ දෙතොලින් ද දෙනෙත වෙහෙස වීමෙන් දෝ රැළි කොට ගත් දෙබැමින් ද යුතුව ඔහු කූඩුව දෙස බැලුවේ බොහෝ කලක් වෙහෙස ගෙන නෙළා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියකු මෙනැයි මට සිතේ.

නංගී මුළුතැන් ගෙට දිව ගොස් අම්මා කැඳවාගෙන ආවාය.

අයියා වෙසක් කූඩුව සාදා නිම කරන තෙක් නංගීත් මාත් බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඔහු ශාඛා කුඩු සඳහා පතුරු බඳින සැටි ද ඒවා සැස මට්ටම් කරන සැටි ද බලා සිටි මට ඔහු සෑහෙන පමණ ඉක්මන් නොවේ යැයි සිතිණ.

මැද කූඩුව වටේ එල්ලීමට කුඩා කූඩු හතරක් ද ඒ කුඩු වටේ එල්ලීමට ඊටත් කුඩා කුඩු දහයක් ද සාදන ලදී.

පොල් අතුවලින් හෙවුණු විශාල මඩුවක් අපේ ගෙයි වත්තේ වී ය. එය සාදන ලද්දේ ප්‍රධාන වශයෙන් ම අප පාඨශාලාවට ගෙන යන බක්කි කරත්තය තැබීම සඳහාය. එහෙත් බක්කි කරත්තය හැරෙන්ට, කැඩුණු හාන්සි පුටුවක් හා සෝපාවක් ද ලී දඬු ගොඩක් එහි විය.

මැද කූඩුවට අතු සවි කළ විට එය ගෙයින් එළියට ගත නොහැකි වන තරම් විශාල වන හෙයින් අයියා අතු බැඳීමට එය වත්තේ පිහිටි මඩුවට ගෙන ගියේය. ඔහු මඩුවෙහි පැදුරක් එළා කූඩුව එහි තබාගෙන ඊට අතු බඳින්ට විය.

කූඩුවට අතු බැඳීම සඳහා අයියා ඇතැම් විට එය තුළට බැස්සේය. ඔහු උසින් මට අඟල් දහයකට වඩා ඇති නොවුව ද ඔහුට ඇතුළට බැස සිටිය හැකි වන තරම් කූඩුව විශාල වීම අපේ ප්‍රීතියට හේතු විය.

කුඩුවල කඩදාසි ඇලවීමෙන් පසු එහි ඇලවීමට බීක්කු සෑදීම ආරම්භ කරන ලදී. බීක්කු සාදනු ලබන්නේ සතරැස් කොට කැපූ කුඩා කඩදාසි කැබලිවල කොන් දෙකක් නවා එක් කළ තැනු කුඩා සරුව පිත්තල කැබැල්ල ඇලවීමෙනි. මෙය අපට පහසුවෙන් ම කළ හැකි කාරියක් වූ හෙයින් බීක්කු සෑදීම අප දෙදෙනාට භාර කරන ලදී.

අපි පැය කීපයක් සහයෝගයෙන් වැඩ කළෙමු. නංගී සන්ධ්‍යාවෙහි මුහුණ සෝදා එහි පියරු තවරා ගෙන වටේ රැලි ඇල්ලූ අලුත් ගවුමක් හැඳ බීක්කු සෑදීමට මා අසලින් හිඳ ගත්තාය. ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂයාවක් නිසා දෝ ඇය කෝප කරවීමට මට සිතිණ.

මම අලවමින් සිටි කඩදාසි කැබැල්ල පසකින් තබා නහය රැලි ගස්වා "හරි ගඳයි” කීවෙමි. පියරු තවරා තිබුණු මුහුණ මා දෙසට හරවා නංගී විමසුම් සහිතව බැලුවා ය.

" පියරු දැම්මට මුහුණේ ගඳ යනවාදැ?" යි මම කීවෙමි. නැගණියගේ සිඟිති මුහුණ කෝපයෙන් ඇද විය. "කටේ හැටි කිරි අප්පුගෙ හොඔු කට වගෙයි " මම කීමි.

ඈ තමා හිඳ ගත් තැනින් පැන අවුත් මට පහරක් ගැසුවාය. මම ද ඇයට පහරක් ගැසුවෙමි. ඈ මගේ දෙවුරෙහි එල්ලී මගේ මුහුණ පතුරු ගහන්නට වූයෙන් අපි දෙදෙනා බිම පෙරළෙමින් පොර අල්ලන්ට වීමු. සාදා පසක ගොඩ ගසා තිබුණු බීක්කු සෑදීමට කපා තිබුණු කඩදාසි හා සරුව පිත්තල කොළ ද පොර අල්ලන අපට යටවී පොඩි විය. අප පොර අල්ලන ශබ්දය අසා අයියා ද දිව ආවේ ය. අම්මා කෑ ගසාගෙන එන හඬ අසා අපි දෙදෙන පොරය නවත්වා මඩුවෙන් පිටතට දිවීමු.

අම්මාගෙන් තැලුම් කා හඬන්ට වූ අපි ආලින්දයේ මුලු දෙකකට වීමු. මුල්ලට වී පැයක් පමණ කදුළු පිසිමින් සිටි නංගී සෙමින් මා ළඟට අවුත් "අයියේ කූඩුව බලන්ට යමු” යි කීවා ය.

මම කිසිවක් නොකියා හිඳ සිටි තැනින් නැගිට අම්මා ඇද්දැයි වටපිට බලා නංගී සමඟ මිඳුලට බැස්සෙමි. අයියා අප එළවා ගනිති යි අපි මඩුවට යාමට බිය වීමු. ඉතා කුඩා ගෙඩි මුත් ප්‍රයෝජනයට ගත හැකි ගෙඩි හට නොගන්නා උස්ව වැඩුණු දෙහි ගසක් මඩුව අසල ඇත. හඬ නැගෙති යි සෙමින් සෙමින් පා තබමින් දෙහි ගස යටට ගිය අපි අයියා විශාල කූඩුව ඉදිරියෙහි හිඳගෙන එහි බීක්කු අලවන සැටි බලා සිටියෙමු.

මඩුවෙහි ලත්තෑරුමක් එල්ලාගෙන එදින රාත්‍රියෙහි ද අයියා පහන සෑදූ නමුත් අපට මඬුවට යාමට ඉඩ නොදෙන ලදී. අප නින්දට යන විට ද අයියා මඩුවෙහි පහන සෑදීමෙහි යෙදී සිටියේ ය.

නංගීත් මාත් එක ම ඇඳක නිදි කරවීම අම්මාගේ සිරිත විය. "අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් වෙන කොහේ වත් නෑ නේද අයියේ?” යි අඳුරේ යහනෙහි මා අසල වැතිර සිටි නංගී ඇසුවාය.

"ඔව්, නංගී අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැහැ"යි නිදා ගැනීමට ඇස් පියා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි.

පසු දින වෙසක් පොහෝ දිනය විය. එදින අම්මා වෙනදාට වඩා උදෑසනින් අප අවදි කළාය. අම්මා අප අවදි කරත් ම ගමේ පන්සලෙහි වයන බෙර හඬ අපට ඇසිණ. වෙසක් පහන් එල්ලීමෙන් ද කොඩි වැල් හා ගොක් රැහැන් ඇදීමෙන් ද ගම මුළුල්ලම සරසා ඇතැයි මට සිතුණේය. අප දෙදෙන ඇඳෙන් නැගිටි සැටියේ ම පහන බැලීමට මඩුවට දිවූ නමුත් විශාල කූඩුව ද කුඩා කූඩු ද එක්තැන් කොට නොතිබිණ.

වෙසක් පහන එල්ලීමට මහා මාර්ගයට ගෙන එන ලදී. අපේ ගෙදර මෙහෙකරුවකු වූ කිරා උස තරුණයෙකි. විශාල කූඩුව මඩුවෙන් ගෙන එන ලද්දේ ඔහු විසිනි. කුඩා කූඩු කිරාත් අයියාත් කීප ගමනකින් මාර්ගයට ගෙන ආහ. විශාල කූඩුවෙහි අතු සතරෙහි කුඩා කූඩු සතර ද ඒවායේ අතුවල ඊටත් කුඩා කුඩු ද එල්ලන ලදී. පහන බැලීමට ආ කොල්ලන්ට ද කෙල්ලන්ට ද ඊට අත තැබීමට ඉඩ නොදී ම නංගීගේත් මගේත් විශේෂ කාරිය විය.

පෙර දින රාත්‍රියෙහි කිරා විසින් මාර්ගය අයිනේ උස උණ ගසක් සිටවා තිබුණේය. මාර්ගයෙහි විශාල කොටසක් වසාගෙන තිබුණු කුඩු සමූහයකින් යුත් වෙසක් පහන උණ ගසෙහි කෙළවර දවටන ලද ලණුවකින් උඩට ඇද එල්ලන ලදී.

දිලිසෙන සරුව පිත්තල කැබැලිවලින් ද සුළං වැදී සර සර යන හඬ නගමින් ඔවුනොවුන් වැළඳ ගන්නා සුදු කඩදාසි පටිවලින් ද යුත් විශාල පහන පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂි ධේනුවක වැන්නැයි මට සිතිණ. වෙසක් පහන්වල අතුවල එල්ලෙන කුඩා පහන් වලට පැටවුනැ යි කීම සාමාන්‍ය සිරිත හෙයින් කුඩු සමූහය පක්ෂි සමූහයක් වැන්න යන අදහස මගේ සිතෙහි ඇඳිණ.

දවස මුළුල්ලේ ම නංගීත් මමත් විටින් විට මාර්ගයට දිව අවුත් අහසෙහි එල්ලෙන පහනෙහි සෞන්දර්යය බලා ප්‍රීති වීමු.

වෙසක් පහනක සුන්දරත්වය පරිසමාප්තියට පැමිණෙන්නේ එහි ඉටිපන්දම් දැල්වූ විට ය. පහනෙහි ඉටිපන්දම් දැල්විය හැකි වන සේ අඳුරු වැටෙන තෙක් නංගී ද මා ද බලා සිටියේ මහත් නොඉවසිල්ලෙනි.

රාත්‍රී අන්ධකාරය පැතිරෙන්නට විය.මල්තෙල් ගෙන පන්සලට යන්නවුන්ගෙන් මාර්ගය ගැවසුණේ ය. අයියා කිරා ද කැඳවාගෙන පහනෙහි ඉටිපන්දම් දැල්වීමට සැරසුණේ ය. නංගීත් මමත් ආලින්දයෙහි තිබුණු ඉටිපන්දම් මාර්ගයට ගෙන ආවෙමු. කිරා පහන පහතට බෑවේ ය. පළමු කොට කූඩුවල ඉටිපන්දම් දැල්වීම ආරම්භ කරන ලද්දේය.

අයියා විශාල කූඩුවෙහි ඉටිපන්දම් දල්වා අතුවල කුඩුවල ද ඉටිපන්දම් දල්වන්ට විය. දැල්වූ ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මට කුඩා ම කූඩුවක ඉටිපන්දම් දැල්වීමට සිතුණේ ය. මම අයියාට නොදන්වා කූඩුවක ඉටිපන්දමක් දැල්වූවෙමි. මා තවත් කූඩුවක ඉටිපන්දමක් දැල්වීමට තැත් කරන විට එහි කඩදාසි පටියකට ගිණි ඇවිලිණි. කටින් පිඹ එය නිවීමට මා කළ උත්සාහය සාර්ථක නොවීය. කඩදාසි පටියෙන් කූඩුවට ගිනි ඇවිලුණේ ය. මම බියපත් වී කෑගසන්ට වීමි. මට මදක් ඈතින් සිට කිරා ගිනිගත් කූඩුව නිවීමට දිව ආ නමුත් ඔහුට එය වහා කළ නොහැකි විය. ඒ කූඩුවෙන් තවත් කූඩුවකට ගිනි ඇවිලුණේය.

එවිට අයියා දිව අවුත් ගිනි ගත් කූඩු සෙසු කූඩු අතරින් වෙන් කිරීමට උත්සහ කළේ ය. අයියා නැඹුරු වී කූඩුවක් මහ කූඩුවේ අත්තකින් ඉවත් කිරීමට තැත් කරන විට ඔහු ඇඳ සිටි බැනියමෙහි අතට ගිනි ඇවිලුණේය. ඔහු කූඩු අතරින් මෑත් ව අනික් අතින් ගසමින් බැනියම් අත නිවීමට තැත් කළ නමුත් ඔහුට එය නිවා ගන්නට නොහැකි විය. අයියාගේ බැනියමට ගිනි ඇවිලෙනු දැක අප කෑ ගසන ශබ්දය අසා අම්මාත් තාත්තාත් ගෙයි සිට දිව ආහ.

තාත්තා අයියාගේ බැනියම ඉරා ඉවත් කළේ ය. අප අයියාගේ බැනියම් අත නිවීමට තැත් කරන අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතිරීමෙන් විශාල කූඩුව ද ගිනි ගත්තේය. ඊට පසු කූඩු නිවීමට කිසිවෙක් වෙහෙස නොවීය.
 

අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු විට නංගීත් මාත් ආරම්භ කළ ඇඬුම අපි නොනැවැත්වීමු. අයියාගේ අත පිලිස්සී තිබුණු හෙයින් ඔහු දොස්තර ගෙදරට ගෙන යා යුතු යැයි තාත්තා කීවේය. අත පිළිස්සීම නිසා අයියා මිය යා හැකැයි මා තුළ බියක් ද ශෝකයක් ද ඇති විය. පහනට ගිනි ඇවිලුණේ මා අතින් බව සිහිවීම මගේ ශෝකය තවත් වැඩි වීමට හේතු විය. කිරා අපේ බක්කි කරත්තය මිදුලට ගෙනාවේය. තාත්තා අයියා කරත්තයේ නංවා දොස්තර ගෙදරට ගෙන ගියේ ය.
 

පහනට ගිනි ඇවිලුණේ මා අතින් බව අම්මා දත් නමුත් ඈ මට බැනීමට නොසිතුවාය. ඈ එසේ නොකළේ බියපත් වී සිටි මා තවත් බිය ගැන්වීම නුසුදුසු යැයි සිතූ හෙනැයි හඟිමි. හඬමින් සිටි නංගී නිශ්ශබ්දව සිටි අම්මාට තුරුලු වී නිදා ගත්තාය. දොස්තර ගෙදර යයි ගම් වැසියන් කියන ඇපෝතිකරිගේ ගෙදර පිහිටියේ අප ගෙදරින් සැතැප්ම දෙකකට පමණ ඈතිනි. එහි ගොස් ඒම සාමාන්‍යයෙන් පැයකට වඩා නොයතත් අයියා ආපසු එන තෙක් ආලින්දයේ කණුවකට හේත්තු වී සිටි මට පැය ගණනක් ගතවූවාක් මෙන් දැනිණ. පන්සලේ වයන බෙර හඬ මහත් කරදරයක් විය. බෙර හඬ නැවතුණු විට මාර්ගයෙන් එන හඬවලට කන් තියුණු කොට යොමු කළෙමි.

කරත්තය පමා වන්නේ අයියා දොස්තර ගෙදරදී මළ හෙයිනැයි මට සිතිණ. මේ අදහස ඇති වත් ම වියළී තිබුණු මගේ ඇස් වලට යළිත් කඳුළු නැගිණ. මාර්ගයට කන් යොමු කොට සිටි මම ආලින්දයේ හාන්සි පුටුවේ හිඳ සිටි අම්මා දෙස බැලීමි. ඈ නිකටට අත තබාගෙන නිසලව සිටියා ය.

ගොනකුගේ කර බැඳී ගෙජ්ජි හඬක් ඇසෙන්නාක් මෙන් මට දැනිණ. මම වඩාත් වුවමනා කමින් මාර්ගයට කන් යොමු කළෙමි. එය ගෙජ්ජි හඬකි. දිවන ගොනෙකුගේ කුර බිම ගැටෙන හඬ ද කරත්තයක රෝද පාරේ ගල් උඩින් දිව යන හඬ ද මට ඇසෙන්නට විය. "චිං ගොනා " යි කිරා රළු හඬින් හඬගා ගොනාට කෙවිටෙන් පහරක් ගසන ශබ්දය ඉක්බිති ව ඇසිණ. අයියා මිය යන්ට ඇත යන බිය කරත්තය ළං වෙත්ම මා තුළ දියුණු විය. අයියාගේ මළ කඳ කරත්තයෙහි ගෙන එනු ලැබෙතැයි ද මට සිතිණ.

අම්මා අයියා කරත්තයෙන් බස්වා ගෙන ගෙයි ඇතුළු කාමරයකට ගෙන ගියාය. අයියාගේ අතෙහි වැලමිටෙන් පහත කොටස පුළුන් තබා රෙදි පටකින් වෙලා තිබිණ. මම ගෙට නොගොස් ආලින්දයේ හාන්සි පුටුවේ නිදා සිටි නැගණිය අසල බොහෝ වෙලාවක් හිඳ සිටියෙමි. අයියා මිය යා හැක යන බිය මට සිතින් පහ කොට ගත නොහැකි විය.

මම හාන්සි පුටුවෙන් නැගිට අයියා සිටි කාමරයට ගියෙමි. කාමරයෙහි විශාල සෝපාවෙහි අයියා වැතිර සිටියේ ය. අම්මා ද සෝපාවෙහි හිඳ ඔහුගේ වෙලා තිබුණු අත තම ඇකයෙහි තබා ගෙන සිටියාය.

"ඩිංගිරිගෙන් බත් ඉල්ලාගෙන කාලා නිදාගන්න" යි මා කාමරයට ඇතුළු වනු දුටු අම්මා පහත් ස්වරයකින් කීවාය.

ඈ කීවා නොඇසුණාක් මෙන් මම සෙමින් සෙමින් ගොස් ඇයගේ දෙපය ළඟ බිම හිඳ ගත්තෙමි. අයියා විටින් විට කෙඳිරිගාන ශබ්දය ඔහු මිය යා හැක යන බිය මා තුළ තවත් වැඩි කළේය. මම අම්මාගේ කකුල් දෙක වැළඳගෙන මගේ මුහුණ ඇගේ දෙදණ අස්සේ රඳවාගෙන හඬන්නට වීමි.

අයියා වෙළා තිබුණු තම අත අම්මාගේ ඇකයෙන් ගෙන මගේ හිස පිරිමදින්නට වීය.

"මල්ලී" යි හිස පිරිමදිමින් ඔහු මා ඇමතුවේ ය. "මල්ලී කූඩුව පිලිස්සුනාට අඬන්නට එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු.”

ඔහු මිය යා හැකැයි මා තුළ වූ බිය ද ශෝකයද අයියා තම අතෙහි වේදනාවක් ගැන හෝ තමා මිය යන බවක් හෝ නොකියා වෙසක් පහන ගැන කතා කිරීම නිසා දෝ පහ විය.

මිදුලේ දෙල් ගසෙහි බඳින ලද ගොනා තම කරෙහි බැඳී ගෙජ්ජි සොලවා හිස සලනු මට ඇසිණ. "ටිකක් හිටුයි” කිරා ගොනාට ඇමතුවේ ය. ඒ හාම බෙලෙක් පනිට්ටුවක් කිසිවක හැපී පෙරළුණේය. මහා මාර්ගයෙහි බල්ලෙක් බුරාගෙන දිවුවේ ය.

දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු වූ උණ කැබැලි විශාල සතකුගේ ඇට සැකිල්ලක් මෙන් මහා මාර්ගයෙහි පසක තිබෙන සැටි මගේ සිතට නැගිණ. දල්වන්නට පෙර වෙසක් පහන පිළිස්සී ගියේ යයි මා තුළ ශෝකයක් ඇති විය.



අදහස් (0)

වෙසක් පහන

ඔබේ අදහස් එවන්න

 

 
 

කෙටිකතා

බුදු පිළිමය
2025 මැයි මස 06 246 0

කිහිපවරක් ඇඟ තෙමා ගත්ත ද දාහයේ අඩුවක් නොවුණ නිසා මම ටකරන් දොර මෑත් කොට එළියට බැස ගතිමි. තනිකර ම ටකරන්වලින් නිමවා තිබූ නිවෙසින් එළියට බසිත් ම මට කිසියම්


අවුරුදු
2025 අප්‍රේල් මස 29 140 0

ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ


රතු රෝස මල
2025 අප්‍රේල් මස 22 564 1

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.


මගක් වසා මගක්
2025 අප්‍රේල් මස 15 497 0

’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.


මල් මිටිය
2025 අප්‍රේල් මස 08 168 0

සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ


ඩේවිඩ්ගේ උයන
2025 අප්‍රේල් මස 01 500 2

සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1007 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 248 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site