ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේ ද නැත. ඔහු කුඩා දරුවකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අබිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැළීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.
හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැළෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුණහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ලවලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.
“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”
“අද?”
“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”
“කවුද?”
“මගේ මාමා…”
“කවුද උඹේ මාමා?”
“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”
මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.
ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”
“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”
“එයා කොයි වගේද?”
“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.
“එයාගේ හම මොන පාට ද?”
“සුදු ම සුදුයි.”
“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”
දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.
“එයා ලස්සන ද?”
“ඔව්, ඔව්, එයා ලස්සනයි.”
දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.
“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවාද?”
“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.
“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.”අසල සිටින අයෙක් මෙය පැහැදිලි කරති.
ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.
ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිළුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනකුටම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.
මතක ඇති කාලයක පටන් තුන්වැනි වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.
වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.
දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.
“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”
“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.
“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”
“ඔව්, ඔව්”
“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”
දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවණකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වෙිළීගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැලඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.
හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.
“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”
“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.
ඊළඟ හවස් වරුවේත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවෙස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම්කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුළු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.
දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.
“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.
බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.
ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශන හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.
“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”
“මොකක්ද උඹ කියන්නේ?”
“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.
ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත්හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.
“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.
නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.
“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.
නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවෙසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුළින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.
“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහු මෙල්ල කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියකු ලෙසිනි, ගම පුරා සැණෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.
වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනකු දාසි හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි.වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීහු පැමිණ දාසි යටත් කරගත්හ.
ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහු මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහු පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුණොත් ඊට අවස්ථාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිළිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිටියේය.
ආර්.කේ නාරායන්
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Translation of the short story Dasi the Bridegroom by R. K Narayan
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මනමාලයා
laksahn Wednesday, 03 July 2024 02:25 AM
අගක් මුලක් නැති "කෙටි කතාවක්".
විරාජ් මහවෙල Wednesday, 03 July 2024 02:23 PM
මෙවන් සාහිත්‍යාංග පළ කිරීම අගනේය. සංස්කාරකට මගේ ප්‍රණාමය පුදකරමි. පරිවර්තනය කළ ලේඛිකාවටද මගේ ස්තුතිය පිරිනැමේ...