IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දැසිදැස්සෝ

කෙටිකතාව

වෛරස් උණක් යැයි සැක කළ කුසුමාවතීගේ උණ රෝගය ඉතා උත්සන්න විය. මුල් දින දෙක තුනේ දී ඉඟුරු කොත්තමල්ලිවලින් සුව කිරීමට උත්සාහ කළ රෝගය දැන් චැනල් කොට ගෙනා බෙහෙත්වලින්වත් සුව නොවන සෙයකි. ඇඳෙහි උඩුබැලි ව වැතිර ඇස් ලොකු කරගෙන දිව එළියට දමාගෙන මොනවදෝ කියන්නට තතනන මව දෙස බලා සිටින සුමනසිරිගේ ශෝකය විශාල ය.

“ඩෙන්න ඩෙනා ඩෙනෝ – කට්ටඬි රාළ එනෝ…” කියාගෙන ම හදිසියේ ම කුසුමාවතී නැගී සිටියා ය. තිගැස්සීමෙන් බියට පත්වූ සුමනසිරි වහා ම තම මව ඇඳෙහි පෙරළා තදකොට අල්ලා ගත්තේ ය. බිරිඳ ද දුවවිත් සුමනසිරිගේ ඇඟේ ම එල්ලිණ. බියට පත් කුඩා දරුවා බෙරිහන් දී හඬන්නට විය.

“ගෑනියේ බය නො වී දරුව ව බලාපන්…” සුමනසිරි මවගෙන් දෑත් ඉවත් නො කර ම බිරිඳට කෑ ගැසුවේ ය.

දරුවා වඩාගත් පද්මිණී ඊ ළඟ මොහොතේ ගෙයින් එළියට පැන උදව් ඉල්ලා කෑ ගසන්නට වූවා ය. ඇගේ ඉල්ලීම හිස් සුළඟේ ගසාගෙන ගියේ හිත්පිත් නැති ලෙස ය.

බලන බලන හැම අත ම වූයේ පාළුවට ගිය හිස් ඉඩම් සහ ජරාවාස ව ගරාවැටෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක් පමණකි. අහල පහළක මිනිසුන් සිටි බවට විනා සිටින බවට කිසිදු ලකුණක් ඉතිරිව ඇතුවා නො වේ.

මේ සුමනසිරිගේ පරම්පරාවේ ඉඩම් ය. සුමනසිරි කුඩා කල ම පියා වූ චාර්ලිස් මිය ගියේ ය. පොල් අක්කර දෙකක් වූ මහ ගෙදර ඉඩමේ ආදායම කුසුමාවතීට සුමනසිරි ව ජීවත් කරගෙන නිවී සැනසිල්ලේ සිටින්නට ප්‍රමාණවත් විය.

ආර්ථික අතින් ප්‍රශ්නයක් නො වී ද හත්දොහේ දානෙට පසුදින සිට ම කුසුමාවතී හමුවේ වූයේ බරපතළ ප්‍රශ්නයකි. මහගෙදර අයිතියට චාර්ලිස්ගේ බාල සහෝදර සහෝදරියෝ එක කඳවුරක් ව නැගී සිටියෙන් කුසුමාවතී අන්ත අසරණ වූවා ය. වැඩි ම කරදරය වූයේ බාල ම සහෝදරයා වූ ගිරිගෝරිස්ගෙනි. විවිධ විසඳුම් සොයා වෙහෙසට පත්ව සිටි කුසුමාවතීට අවසන විසඳුමක් හමු විය. ඇයට නොම්මර එකේ කට්ටඩි රාළ කෙනකු  මුණගැස්සුවේ ඇගේ මාමා විසිනි.
කුසුමාවතී සේක්කු ගෙදරින් ඉදිරි පොල් මුර දෙකක ම සල්ලි ණයට ඉල්ලාගත් මාසයේ අවසන් දිනයක දී ගිරිගෝරිස් තම වත්තේ ම වූ වෙරළු ගසේ එල්ලී සිටියේ නිරුවතිනි. කුසුමාවතීට සැනසුම් සුසුමක් පිටවිණි.

ඒ සැනසුම් සුසුම සතියකට දෙකකට සීමා විය. ගිරිගෝරිස්ගේ මරණය සම්බන්ධ සැකය නම් වැව්දිය ගංගොඩ යට කරගෙන ගලා ගියේ විය. ඉතිරි සහෝදරයෝ කුසුමාවතී ව එළිපිට ම මරන්නට පැමිණි දා කැලෑ පැන තමාගේත්, සුමනසිරිගෙත් දිවි රැක ගත්තා ය. වෙනත් විසඳුම් කුමට? එවර ඒ පොල් අක්කර දෙකෙන් එකක් සේක්කු ගෙදරට විකුණා තම ජීවිතත්, පොල් අක්කරයක් සහිත මහ ගෙදරත් රැක ගැනීමට සමත් වූවා ය.

චාර්ලිස්ගේ ඉතිරි සහෝදරයෝ මැරී ගියේ නියඟයකට හසු වූ පොල් ඇට්ටි හැකිලෙන්නාක් මෙනි. සියල්ලට ම මාස හයක් ගත නොවිණි. කුසුමාවතී මහ ගෙදර පදිංචියට පැමිණියා ය. ඇයට අරියාදු කරන්නට කිසිවකුත් මිහිපිට ඉතිරිව නොසිටියහ.

දින, සති, මාස, අවුරුදු බවට පත්ව ගෙවී ගියේ වේගයෙනි. දෙවැන පරම්පරාව උස්මහත්ව සිටියේ ය. කුසුමාවතීගේ ජීවිතය ආයෙම නොසන්සුන් විය. එවර සුමනසිරිගේ ජීවිතයට තර්ජන ආවේ චාර්ලිස්ගේ සහෝදරයන්ගේ දරුවන්ගෙනි. සුමනාවතීට එවරත් පිහිටට සිටියේ කට්ටඬිරාළ ම පමණකි. ඇයට ඒ සඳහා ගාස්තුවක් ගෙවීමට අනවශ්‍ය විය. ගෙවුණු වසර කිහිපය පුරාවට ම ඇය ගාස්තු ගෙවා තිබුණි. එය පහසු ය. තරමක අපහසුවකට තිබුණේ කට්ටඬිරාළ සමඟ දුර ඈත හොර වෙදාගෙන් බෙහෙත් ගන්න ගිය වාර දෙක තුනේ දී වෙදා කියන කතා අසා සිටීම පමණකි. ඉවසා සිටීම පමණකි. වෙදාට ද අවනත වන්නට වීම පමණකි. “මොකද උඹ පත්තිනි අම්ම ද?” වෙදා නොබියව ම ඇසී ය.

ගිරිගෝරිස්ගේ ලොකු පුතා ද එල්ලී මළේ තාත්තා එල්ලී මළ වෙරළු ගසේ ම එල්ලීමෙනි. කලබලේටත්, කේන්තියටත් පත්ව ගස කපන්නට ගිය බාල පුතා ද ගසට ම යට වී ඔත්පල විය. වටා සිටි අනෙකුත් සහෝදර පවුල්වලට ද නොවැළඳුන ලෙඩක් දුකක් නොවන තරම් ය. අවසන සියල්ලන් ම පරාජය පිළිගෙන ඒ ඒ තැන පලා ගියෙන් සුමනසිරි සමඟ කුසුමාවතී මහ ගෙදර සියලු ඉඩම්වලට හිමිකාරිය වූවා ය.

සේක්කු ගෙදරට අඩු මුදලට විකුණූ පොල් ඉඩම් අක්කරය ද නැවත කුසුමාවතීට ම ලැබෙන තැනට ම කටයුතු සැලසූයේ ද කට්ටඬිරාළ විසින් ම ය. කුසුමාවතීගේ දෙවියන් ද අන් සියල්ල ද කට්ටඩිරාළ ම විය.

“ඩෙන්න ඩෙනා ඩෙනෝ – කට්ටඩිරාළ එනෝ..”

කුසුමාවතී දිගට ම එය කියයි. වරෙක එය දැඩිව නැගේ. වරෙක කෙඳිරි ගෑමකි. පද්මිණි යටි සිතින් සිනාසිනි. සුමනසිරි වික්ෂිප්තව බලාසිටියේ මේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නො හැකි ව ය.

“කට්ටඬිරාළ මට කතා කරනවා. මට යන්න වෙනවා. ඔව් මට යන්න ම වෙනවා.” කෑගැහිල්ල නැවතූ කුසුමාවතී  දොඩවන්නට වූවා ය. සුමනසිරි යටිතොල විකාගෙන හිස සලන්නට විය.

“කට්ටඬිරාළට කියලා අම්මට නූලක් දාමු” පද්මිණි කීවේ අවංකව ම ය. ඇය දුක් ගත්තේ නැන්දනියටත් වඩා ස්වාමියා පිළිබඳ ව ය.

“ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ. මේක මේ වෛරස් උණක් නෙමෙයි. දැනුයි මටත් තේරෙන්නේ.”

පසුදා උදෑසන ම සුමනසිරි කට්ටඬිරාළ සොයා ගියේ මව ළඟ තම සේවකයන් දෙදෙනෙකු ව ම රැඳවීමෙන් අනතුරුවයි. රැය පුරා දොඩමින්, දඟලමින් වෙහෙසට පත්ව සිටි කුසුමාවතී එවෙලෙහි සිටියේ තද නින්දේ ය. සුමනසිරිට ද පුරුදු පාරකි. කට්ටඬිරාළගේ නිවෙස සොයා ඔහු යතුරුපැදිය වේගයෙන් පැදවූයේ ය. නිවෙසට ළං වෙත් ම කිසියම් කලබලකාරී බවක් සුමනසිරි දුටුවේ ය. යතුරුපැදිය නතර කොට නොබැස ම සුමනසිරි නිවැසියෙකුව ඇමතුවේ ය.
“ගුරුන්නාන්සේ ව මුණගැහෙන්නයි.”

සුමනසිරි දෙස විමසුම් බැලුම් හෙළුෑ නිවැසියා සුමනසිරිට වඩාත් ළං විය.

“ඇයි.. ආරංචි වුණේ නැද්ද?”

“නැහැ.. මොකක්ද?”

“ගුරුන්නාන්සේ මළා. හත්දොහේ බණ අදනේ”

කිසිවක් ම නො කී සුමනසිරි යතුරුපැදිය පණගන්වා ගියාටත් වඩා වේගයෙන් තම නිවෙස බලා යතුරුපැදිය පැදෙව්වේ ය.

සුමනසිරි යතුරුපැදිය වත්තට ඇතුළු කරත් ම ඉදිරියට දිව ආවේ පද්මිණී ය. හිටිවන ම තිරිංග තද කළ සුමනසිරි පද්මිණී දෙසට විමසුම් නෙත් යොමු කළේ කලබලයෙනි.

“අම්මා ගියා” පද්මිණී හඬාගෙන ම කීවා ය.

“කොහේද? ඇයි අරුන් දෙන්නා හිටියෙ නැද්ද?” සුමනසිරි යතුරුපැදිය තදින් අල්ලාගෙන පොළොවේ සිට ගත්තේ ය.

“නැහැ දෙයියෝ.. අම්මා නැති වුණා. කට්ටඬිරාළ ගෙනියන්න ඇවිත් ඉන්නවා කියලා ඇස් දෙක පියාගත්තා. එච්චරයි.”

සුමනසිරි දෑතින් ම හිස බදාගනිද්දී ග්‍රහණයෙන් ගිලිහුණු යතුරුපැදිය ඉදිරිපසට විසි වී බිම පෙරළිණ.

 



අදහස් (0)

දැසිදැස්සෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site