IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගුරුවරයා‍

කෙටිකතාව

"තමුසෙ ළමයින්ගෙ ජීවිත නැති කරලා. මෙච්චර කල් තමුසෙ කරලා තියෙන්නෙ එපමණයි ' යන කියමන ඔහුගේ සිතෙහි යළිත් ක්‍රියා කරන්නට විය. දෑස පිස දා ඇර තබන ලද ජනේලයෙන් පිටතට දෑස හැර වූ ඔහුට එළිය වැටීමට ඇත්තේ තව ස්වල්ප වේලාව-කැයි සිතිණ. ඉස්තෝප්පුවට ඇරුණු ජනේලයෙන් වැහිබර අහසින් විශාල කොටසක් පෙනෙයි. එළිය වැටීමට පෙර මෙසේ අහස දෙස බැලීමෙන් වේලාව කීමෙහි සමත් ඔහු හැමවිටම ඔරලෝසුව දෙස බැලුවේ අහස දෙස බැලීමෙන් පසුවය. ගස් අතරින් සිය නෙතට හසුවුණු වැහිබර අහස ඔහුගේ සිතෙහි වූ කනස්සලු භාවය වැඩි කරන සුලු විය. අවුල් සහිත කල්පනාවෙන් ගෙවුණු පසුගිය රාත්‍රියෙහි ඔහුට පැයක්වත් නින්ද නොගියේය.

ඇඳෙන් නැගිට ඉස්තෝප්පුවට වුත් පාර දෙස බැලූ ඔහුට කල්පනා වූයේ කරෝලිස් ගැනය. තමා බැලීමට එළිවුණු විගස පැමිණෙන කරෝලිස් අද වෙනදාට වඩා ප්‍රමාද යයි ඔහුට සිතිණ. එහෙත් එය අද වෙනදාට වඩා කලින් ඔහුට ඇහැ ඇරුණ නිසාද? නො එසේ නම් තමා තුළ වූ උවමනාවේ බලවත්කම නිසාදැයි ඔහුට කිව නොහැකිය.

ඔහු ඉස්තෝප්පුවේ ඒ මේ අත ඇවිදින්නට විය. ඉස්තෝප්පුවෙහි එක් පැත්තක වූ බූරු ඇඳක් යට, වක ගසාගත් කඳින් යුතුව බල්ලෙක් නිදා සිටියේය. බුරුඇඳ රෙද්දෙහි පැල්ලම් ද ඉරි ගිය තැන් කීපයක්ද
ඇත. කළු පැහැති කුරුමිණියෙක් ඉස්සරහ බිත්තිය අසල 'රුං රුං ගාමීන් කරකැවෙයි. ඌ ගෙට ඇතුළුවන්ට ඇත්තේ පෙර දින රාත්‍රී විය යුතු යයි ඌ දෙස බැලූ ඔහුට සිතිණ.

පසුගිය ජීවිතය ගැන සලකා බලන තමාට දැන් එදෙස බැලිය හැක්කේ දුකින් මිස සතුටකින් නොවෙතියි ඉස්තෝප්පුවෙහි වූ දුබල හාන්සි පුටුවක දිගා වූ ඔහු තමාටම කියා ගත්තේය. දැන් ජිවිතයේ බලාපොරොත්තුවලින් යුතු කාලය අවසාන වී ගොස් ඉවරය. ඔහුගේ ගත මෙන් ම සිත ද පසුගිය අවුරුදු කීපය තුළ වූ විවිධ විපර්යාසයන් උදාසිනත්වයෙන් ඉවසා සිටීම නිසා අව් වැසි ආදියෙන් පීඩා ලබන දිරාපත් ගෙයක ස්වරූපය ගෙන තිබේ. එහෙත් ඒ විපර්යාසයන් හා ඇති වූ දුක් කම්කටොලු ආදිය තමාට නොදැනුනේ ඇයි? එය තමා සිය ජීවිතය එකම ක්‍රියා මාර්ගයක බැඳ තිබු නිසාද? ශරීරය මෙන් ම සිත ද ඒ ක්‍රියාමාර්ගයෙහි බැඳී තිබෙන්නට ඇත. මෙසේ ජීවිතය ගෙවන්නකු තුළ අවට ලෝකය නොපෙනෙන්නාක් මෙන් ම එදෙස උදාසිනත්වයෙන් යුතුව බැලීමට ද පුරුදු වේ. තමා මෙන් ම තමා අවටැති ගස් කොලන් ද පසුගිය අවුරුදු කීපය තුළ බිඳකුදු වෙනස් වූ බවක් ඔහුට කිව නොහැකිය. උදයෙහි එළිවීමට පැය දෙක තුනකට පමණ පෙර හැමදා ඇහැ ඇරෙන ඔහුට ඉන්පසු නින්ද නොයයි. කාමරයේ මේසය උඩකුඩා චිමිනි ලාම්පුව දැල්වේ. විමිනියෙහි උඩ කොටසෙහි බෙහෙවින් දැලි බැඳී තිබේ. කල්පනාවේ වැටෙන ඔහුට මේ ඈ දේ ගැනද සිහි වේ. ඔහු තුළ ඇතිවන සිතුම් පැතුම් විවිධය. එහෙත් ඒවා සියල්ලක් ම ආත්ම වශයෙන් එකම රටාවක් මත ගොඩ නැඟු ඒවා වේ. එදින තමාට ඇති පාඩම් ගැන ද ඔහුට සිහිවන්නේ ඉබේටය. පසුගිය දින නැවැත්වූ තැන ගැන මෙන් ම මෙදින පටන් ගත යුතු තැන ගැන ද ඔහුට හොඳට මතකය.

"නයිල් ගඟ අප්‍රිකාවේ මැද කොටසින් පටන්ගෙන කෙමෙන් පළල්ව ගොස් රතු මුහුදට ඇදවැටේ. ලෝකයේ ප්‍රථම ශිෂ්ටාචාරය ඇති වූයේ නයිල් ගඟ අසලය. එහි වූ මිනිස්සු ගඟෙන් වතුර ගෙන ගොවිතැන් කළහ. ලෝකයේ ඉතාම දිග ගඟ නයිල් ගඟයි."

මේ සියල්ල ඔහුගේ තුළ රැව් දෙන්නේ නිතැතිනි. අවුරුදු ගණනක් ලත් ආශ්‍රය නිසා ඒවා ඔහුගේ සිත තුළ ලබා ඇත්තේ නාම රූප දෙකෙන් යුතු ජීවයන් ය. මෙසේ විවිධ කල්පනාවේ යෙදුණ ඔහුට
බොහෝ විට තමාගේ මරණය ගැනද සිහි විය. එදින ඉස්කෝලය වසා තබනු ඇත. සුදු ඇඳගත් ළමයි කොඩි ආදිය රැගෙන පෙරහරින් යනු ඇත. තමාගේ ගෝලයන් විසින් පත්‍රයට යවන ලද විස්තරයක් එදින මුල් පිටේ පළවීමට බැරි නැත. ඔහුගේ සිත තුළ රැව් දුන්නේ මෙවැනි එකාකාර දෙයය.

උදයෙහි පාසලට යාම පිණිස පිටත් වූ ඔහුගේ දෙනෙත් ඇදගත්තේ එකම දේවල්ය. ගල් බොරළු මතු වූ පාර දෙපැත්තෙහි සිට කතා කළේ ද සිනහ වූයේද එක මුහුණුය.

'' මහත්මයා අද වෙනදාට වඩා කලින් වගෙ '' යි කිසිවකු ඔහුගෙන් ඇසුවේ ඇසීමට වෙන කිසිවක් නොවූ බැවිනි.

" නෑ වෙනදා වේලාවමයි. දැන් උදෙන් ඉර පායනවා." මෙය ඔහු විසින් අවුරුදු ගණනක් තමාගෙන් අසන ලද ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් පමණකි. ඇතැම් විටක ඔහු මොවුන් සමඟ කතා කළේ තමාගේ ගෝලයන් ගැනය.

'' පියසේනට ගණිතය වැඩිය බැහැ. ගෙදෙද්දී චක්කරය පාඩම් කරවන්න ඕන. ළඟදී ගණිතය අනිවාර්යය විෂයක් වේවී.''

මෙසේ කී විට ඇතැම් ගැමියකු ඔහු දෙස බැලුවේ කෘතඥතා පූර්වක බැල්මකිනි.

මග දෙපස වූ ඇතැම් පැරණි ගෝලයෙක් ඔහු එනු දැක පසෙකට වී හිසෙහි වූ ලේන්සුව අතට ගෙන බැගෑපත් සිනහවක් පෑවේය.

'' මහත්තයා දැන් හුඟක් නාකිවෙලා."

'' නෑ දැන් හුඟක් වැඩ වැඩියි. දැන් අලුතෙන් නොයෙක් දේවල් උගන්වන්න තියෙනවා. වැඩ දැන් හුඟක් අමාරුයි. ජෝතිපාලගේ පැමිණිම හොඳ නැහැ. "

ස්කෝලයෙහි දී ද ඔහු කීවේද සිතුවේ ද එක ලෙසමය. කුමක් වුවද ඔහු එකම උදාසීනත්වයෙන් සැලකුවේය. හැම දිනයෙක්හිම ඔහු සිය ගැඹුරු කටහඬ විහිදුවා එකම දෙය එකම තාලයෙන් කීවේය.

" සමසිතොෂ්ණ කාල ගුණයකින් යුත් මධ්‍යධරණී මුහුද අවට පලතුරු ගස් හොඳින් වැවේ. ඒ අවට මිනිස්සු පලතුරු වැවීමෙන් ජීවත් වන්නෝය. එහි දේශ ගුණය පලතුරු වැවීමට ඉතා යොග්‍යය. මධ්‍යධරණි මුහුද අවට ඇති රටවලින් ගෙන්වනු ලබන පලතුරු ඔබ දැක ඇතැයි සිතමි. ''

මෙලෙස දවසින් බාගයක් පමණ ස්කෝලයෙහි ගත කිරීමෙන් පසු ආපසු පැමිණෙන ඔහු ඇඳිරි වැටෙන තුරුද කාලය ගත කළේ මේ ආකාරයෙනි. ඉස්තෝප්පුවෙහි හැම දිනම වාඩි වන හාන්සි පුටුවෙහි වැතුරුණ ඔහු පත්‍රයෙහි එක් අකුරක් අත් නොහැර බැලුවේය. මෙසේ ගත වන ඇතැම් දිනයක සවස් වීමටත් පළමු අහස අඳුරු කඩක පැහැය උදුරා ගනී. දෙතොල් වියළවමින් පැවති හිරු රැස්හි චණ්ඩ භාවය හදිසියේම නැතිවෙයි. මොහොතකින් මහ හඬින් වසින්නට පටන් ගනී. වේගයෙන් විසිරෙන වැසි බිඳු ' කිස් ' ' කිස් ' යයි හඬ නගමින් ඉස්තෝප්පුවෙහි ඉස්සරහ පඩියත් හාන්සි පුටුව අසල කවුළුවත් මතඇද වැටෙයි. වැසි බිඳු ඇද වැටෙනු දැනුණු ඔහු සෙමෙන් නැගිට පුටුව අන් තැනකට ඇද යළිත් දිගා වෙයි. ' ඔහොම තමයි. මේ දවස්වල අකාල වැහි තියෙන්නට ඕනෑ' ඔහු අලසකමින් යුතුව සියල්ල සැලකුවේය.

මෙසේ එක ලෙස සිතීම හෝ ජීවත් වීම මෙතෙක් ඔහුට හිරිහැරයක් ලෙස නොසිතුණේ තමා එයින් ලැබූ ආස්වාදයක් නිසා විය යුතු යයි යළිත් පුටුවෙන් නැගිට ඉස්තෝප්පුවෙහි සක්මන් කරන්නට වූ ඔහුට සිතිණ. ඔහුගේ සිත පෙර කිසි කලෙක නොසිදු වූ ලෙස පැහැරී තිබේ. මතු කිසි දවසක ද එය මෙලෙස පැහැරෙතියි ඔහුට සිතිය නොහැකිය. වාතයෙහි වෙනදා නොමැති සිසිල් බවක් ඇති කරමින් සීතල සුළඟක් හමයි. බිත්තිය අසල ඉහළ පහළ යමින් සිටි කුරුමිණියා තවමත් එලෙසම පියාඹයි. වාතයෙහි සිතලය ඉවසාගතනොහැක්කා සේ ලැග සිටි බල්ලා කීප විටක් කෙඳිරි ගෑවේය.

ඉස්තෝප්පුවෙහි ඒ මේ අත ගමන් කළ ඔහු යළිත් කල්පනා කරන්නට විය. අවුරුදු විසි ගණනක් මෙසේ ජීවිතය ගෙන ගිය ඔහු තුළ තමා අවටැති දේ කෙරෙහි ඇතිවූයේ තද ඇල්මකි. ඔහු පාසලෙහි වූ ළමයකු හට තැලුව ද ඒ ගැන දුක් විය. ඇතැම් දිනක ඔහු

එසේ තැලුම් කා හඬන දරුවකුගේ හිස අත ගා සැනසුවේය. තමාට මෙවැනි එ්කාකාර ජීවිතයක ඇති නිසරු බව පිළිබඳ හැඟීම මෙතෙක් ඇති නොවුයේ ඒ සිතෙහි වූ තද ඇල්ම නිසා යයි දැන් ඔහුට සිතෙයි. ඔහු තුළ වූ ඒ ඇල්ම සැම දෙයක් කෙරෙහි මෙන්ම තම නිවෙස ද අවට ද කෙරෙහි පැතුරුණක් විය. ඔහු කාලය විසින් කඩා බිඳ දමන ලද බිත්තිවලින් යුතු සිය නිවෙස දෙස ද බැලුවේ ඒ ඇල්මෙන් යුතුවය. මිදුලෙහි බඳින ලද තාප්පය පසුගිය කාලය තුළ වූ දෙදරුම්, විනාශ වීම්, නිසා ගරා වැටී තිබේ. දියසෙවලින් වැසී ගිය ගල් පෑදුණු එහි තැනින් තැන වල් පැලෑටි වැඩීගෙන එයි. මිදුලෙහි වැඩුණු මුල් පෑදී ගිය වතු සුද්ද ගස් කීපය පසුගිය අවුරුදු කීපය තුළ අව් වැසි සුළඟින් පීඩා වඳිමින් ජීවත් වෙයි. ඔහු ඒ සියල්ල කෙරෙහි අනුකම්පා කෙළේය. ඔහු ඒ සියල්ල මනැසින් ස්පර්ශ කෙළේය. ඇතැම් නින්ද නොයන රාත්‍රියක් ඔහු සිහිනෙන් දුටුවේද ඒ සියල්ලය. ස්කෝලයෙහි පිණි බෑමෙන් තෙන් වු පැල්ලම් සහිත බිත්ති ද ගේට්ටු ද ඔහු දුටුවේ ය. ඇතැම් දිනයක, අහස කළු වී මහ හඬින් වසින්නට පටන් ගනියි. අවට වාතයෙහි නිශ්චලතාවක් පවතී. බංකුවක් මත වාඩි වු ළමයෙක් ගණන් බැරි නිසා අඬමින් සිටියි. ඔහුගේ ඇඬීම කොයි වේලාවේ නවතිදැයි කිව නොහැකිය. දිරා ගිය බිත්ති ද වහලද දෙදරා ගොස් ඇදවැටෙයි. එවැනි මොහොතක ඔහු ශොකයෙන් කම්පිත වෙමින් අවදි වෙයි. තමා මෙන්ම ඔවුන්ද උදාසිනත්වයෙන් යුතු ජීවිතයක් ත කරතියි ඔහු සිතුවේය.

පුටුව අසල වූ කවුළුවෙහි පඩිය මත දෙ අත් දඬු රැඳවූ ඔහු යළිත් පාර දෙස බැලුවේය. පාරෙහි කරෝලිස් හෝ අන් කිසිවකු නොමැත. වාතයෙහි වැසි වැටීමට පෙර ඇතිවන සුළු සීතල බවක් තිබේ. ඊයේ රෑ වැසි වැටීම නිසා කවුළු පඩිය තෙත් බා ඇත. මිදුලෙහි තාප්ප කනුවක් මත වූ බිදුණු බෝතලයක ඊයේ වැටුණු වැහි ජලය එක්වී තිබේ. අඩිය පමණක් ඉතිරි වූ එය එතනට ආවේ කෙලෙසද? එය එහි තබන්නට ඇත්තේ බොහෝ කලකට පෙර විය යුතු යයි මෙවර එදෙස බැලු ඔහුට සිතිණ. මිදුලෙහි වැස්සෙන් සේදී ගිය ලකුණු රැඳි තිබෙි.

ඈත කිසිවකු එනු දුටු ඔහු දෙ අත් දඬු මැත් කොට ඕනෑකමින් එදෙස බැලුවේය. එ් කරෝලිස් ය. වෙනදා මෙන් මුළු උඩුකය වැනසෙන සේ පොරවන ලද සාළුවකින් සැරසුණු කරෝලිස් දුටු ඔහු තුළ වූ උනන්දුව දියුණු විය.

'' මොකද වෙනදට වැඩිය පරක්කු වෙලා. දැන් දැන් ඒය කියල මං හිත හිතා හිටියා '' යි කරෝලිස් ඉස්තෝප්පුවට ගොඩනැඟීමටත් පෙර ඔහු කිවේය.

මෙසේ උදේ හවස තමා සමග කා බී ජීවත්වන කරෝලිස් සමග ඔහු ආශ්‍රයට වැටුණේ මීට අවුරුදු ගණනකට පෙරය. නෑයකු මෙන් තමාගේ දුක සැප දෙක හිම පිහිට වුණු කරෝලිස් තමා මෙන් ම උදසීනත්වයෙන් යුතුව ජීවිතය ගත කිරීමට පුරුදු වූ එකෙකියි ඔහුට ⁣බොහෝ විට සිතිණ. තමන් දෙදෙන මෙසේ මිත්‍රයන් මෙන් කල් ගෙවන්නේ ජීවිතයේ එකම පක්ෂයක් වැළඳ ගත්තවුන් නිසා විය හැකිය.

වැහි අඳුර නිසා දවල් වුණා දැනුණේ නැහැ. මොකෝ අද ස්කෝලෙ යන්නෙ නැද්ද?"

'' මොකෝ අද සෙනසුරාද ද? '

" නැහැ " යි ඔහු පිළිතුරු දුන්නේ මදක් ආයාසයෙනි. ඔහුගේ කටහඬ මදක් වෙවුලුවේය. '' මම ලියුමක් අරිනවා ''

'' මගේ ඉගැන්වීම හොඳ නැතිලු. දැන් අලුත් ක්‍රමවලට උගත් වන්න මට දැනෙන්නේ නැතෙයි. ඊයේ පරීක්ෂක මහත්තයා කිව්වා "

" ඊජේ විභාග මහත්තයා ආවාද? '' යි ඔහුගේ මුහුණ දෙස මෙතෙක් බලා පිට කරෝලිස් ඇසීය. ඔහු කතා කරන්නේ බලවත් හැඟීමක් මැඬලිමට තැත් කරමින් බව කරෝලිස්ට නොරහසකි. ඔහුගේ තොල් සහ ඇස් බැම හැඟීමෙන් ආකූල වූ කලක මෙන් සෙලවෙයි. යටගිලි ඔහුගේ මුහුණෙහි හා දෙ ඇසෙහි ද චංචල වූ ස්වභාවයක් ඇත.

'' ඔව් ඇවිත් කිව්වා මට පරණ විධියට මිසක් අලුත් විධියට කිසි දෙයක් කරන්න බැරිය කියා. භූගෝල ඉතිහාස පාඩම් කටපාඩම් කරවල වැඩක් නැතිලු. මම කරලා තියෙන්නේ අවුරුදු ගණනක් තිස්සේ ළමයින්ගේ ජීවිත නාස්ති කිරීමක්ලු.හැඟීමෙන් වියවුල් වු ඔහුගේ මුහුණ දැකීමෙන් මෙවර කරෝලිස් තුළ ඇති වූයේ වීමතියකි. තමා ඔහු තුළ මෙවැනි ස්වභාවයක් කිසි විටක දැක නැත. ඔහු කථා කළේ තම සිතෙහි හටගත් දැඩි ව්‍යාකූලතාවක් සෙමෙන් සෙමෙන් පිට කරන්නාක් මෙනි.

දෙදෙනම කතාවෙන් තොරව නිශ්චලව සිටියහ. කරෝලිස්ට කිසිවක් කීමට වුවමනා වූ නමුදු නිශ්ශබ්දතාව ඔහුට එසේ කිරීමට ඉඩ නුදුන්නේ ය. බිත්තිය අසල පියාඹමින් සිටි කුරුමිණියා තවම එලෙසම උඩ පහත යයි. බල්ලා කීප විටක් කෙඳිරි ගෑවේය.

" ඒකට මගේ ගෝලයෝ වෙලා හිටිය අය දැන් හුඟක් ලොක්කො වෙලා ඉන්නවා. ඇයි කරෝලිස් උඹත් දන්නවා නේද?' යි මෙතෙක් පැවති නිශ්චලතාව බිඳිමින් ඔහු යළිත් කතා කෙළේය.

" ඔව් " කරෝලිස් පිළිතුරු දුන්නේ සිහින් හඬිනි.

'' අර වැල්ලියද්ද මහත්තය මගෙන් ඉගෙන ගත්තෙ. දැන් ඒ මහත්තයා කච්චේරියේ ලියන මහත්තැන් කෙනෙක්ලු ''

'' ඇයි විජේතුංග ලොකු මහත්තයාගේ පුතත් මගේ ගෝලයෙක්. දැන් ඒ මහත්තයා පොත් ලියනවා............. ඉතින් මගේ ඉගැන්වීම නරක් වෙන්නෙ කොහොමද? ''

'' ඔව් මහත්තයගෙ ගෝලයො වෙව් ව අයදැන් හුඟක් ලොක්කො වෙලා ඉන්නවා " යි කරෝලිස් කීවේ නිශ්චලව සිටීම නුසුදුසු යයි හැඟී ගිය බැවිනි.

නෑ මම ළමයින්ගේ ජීවිත නාස්ති කරලලු. මම ඊයේ හැන්දෑවේ ලියුමක් ලිව්වා. තවත් ළමයින්ගේ ජීවිත නාස්ති කරන්න බැහැ.කතාවෙන් තොරව මොහොතක් ඒ මේ අත ගමන් කළ ඔහු කාමරය දෙසට ගියේය. ඔහුගේ මුහුණ බෙහෙවින් රතු පැහැගැන්වී තිබේ. එහි එවැනි පෙනුමක් තිබිය හැකි යයි කිසිවකුට සිතීමට ද නොහැකිය.

කාමරයෙන් එළියට පැමිණි ඔහු ලියුම ගෙනවුත් කරෝලිස් අත තැබීය .

" මේක ගොහින් ලොකු මහත්තයට දෙන්න ඕන. මම මීට පස්සේ යන්නෙ නැහැ"

ලියුම රැගත් කරෝලිස් නොපෙනී යන තුරු ද ඔහු ඉස්තෝප්පු⁣වෙහි ඒ මේ අත  නොඉවසිල්ලෙන් ගමන් කෙළේය.

මෙතෙක් කෑ ගසමින් සිටි කුරුමිණියා දැන් බිත්තිය මත නිශ්චලව ලැග සිටියි. අඳුරු පැහැගත් අහස සුළඟින් ආකූල වන්නට විය. වැසි බිඳු කීපයක් කිස් කිස් යන හඬින් තරප්පුවත් ඉස්තෝප්පුවත් මත ඇද වැටිණි. ක්‍රමයෙන් පතිත වන වැසි බිඳුවල හඬ අවට නිශ්ශබ්දතාව මැඬගෙන පැන නගියි. සීතලය ඉවසා ගත නො හැක්කා සේ ලැග සිටි බල්ලා තව වරක් කෙඳිරි ගෑවේය.



අදහස් (0)

ගුරුවරයා‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 445 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16903 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site