IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ක්ලිනික් පෝලිමේ මිතුරිය

කෙටිකතාව

  අමරාවතී හාමිනේ යතුර දෙවරක් කරකවලා දොරේ අගුල දැම්මා.දොරත් හොල්ලලා බැලුවේ හරියට වැහිලද බලන්න.කවදාවත්ම හොරෙක් හතුරෙක්ගෙන් කරදරයක් නූනත් ළඟදී ඉඳලා පොල් ගස් දෙකතුනේ ගෙඩි හිටිගමන් අතුරුදන් වෙන්න පටන්ගෙන.

" ඔය කුඩුකාරයෝ "
අල්ලපු ගෙදර නිමල් මල්ලිනම් කිව්වේ එහෙම.
වැලක රෙද්දක්වත් තියාගන්න බැරි බව පැවසුවේ ගං ගොඩේ ඇවිදලා පලා ටිකක් අල බතල ටිකක් එකතුකරගෙන පොළට ගෙනියන තිලකා.අමරාවතී හාමිනේට ඕනම ආරංචියක් ලැබෙන්නේ පමා වෙලා.ඒකට හේතුව තමයි වැඩිය එළිපහළියට බහින්නේ නැති එක.තිලකා ආවොත් තමයි ගමේ වෙන සිද්ධියක් වත් කනට වැටෙන්නේ.

අමරාවතී හාමිනේ එළියකට පහලියකට කියලා බහින්නේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකට යන්නයි මියගිය රාලහාමිගේ පැන්ෂන් එක ගන්න වාඩියමංකඩ තැපැල් කන්තෝරුවට යන්නයි විතරමයි.ගෙදරට ඕන බඩුත් ඒ ගමන්ම අරගෙන එනවා.
අසනීපයක් නැත්නම් පෝයට සිල් ගන්නවා. ඒත් පෝය තුනහතරකින්ම පන්සල පැත්තේ යන්න බැරි වුණේ කකුල නවාගෙන වාඩිවෙන්න බැරි නිසයි.එහෙම ඉන්නකොට සුලැඟිල්ලෙන් පටන්ගන්න කැක්කුමක් කකුල දිගේම ඉහළට ගිහින් කොන්දේ නවතිනවා.එතකොට ඉවසන්න බැරි තරම් කොන්ද ඇදුම් දෙනවා.සිල් පුටුවක ඉඳගෙන  දෙතුන්වරක් සිල්ගත්තත් ඒක ගැළපෙන වැඩක් නෙවෙයි කියලමයි අමරාවතී හාමිනේට හිතෙන්නේ.ඒත් ළඟ එන පෝයට එහොමවත් සිල් ගන්නයි ඇගේ කල්පනාව.
හයහමාර පහුවුණා විතරයි.බස් එක තව ටිකකින් වංගුවෙන් මතුවේවි.ඉස්පිරිතාලෙට යනකොට හත පහුවෙනවා.ලෙඩ්ඩු බලන්න පටන්ගන්නකොට අට විතර වෙනවා.ලෙඩ්ඩු පාන්දරින්ම ඇවිත් පෝලිමේ ඉස්සරහා අල්ලගන්නවා.මොන තරම් වේලාසන ලෑස්ති වෙන්න පටන්ගත්තත් හැමදාම යන්න වෙන්නේ මේ බස් එකේමයි.
ක්ලිනික් යන්න වෙලත් දැන් අවුරුදු දහයක් විතරම වෙනවා.රාලහාමි හිටිය දවස්වල දෙන්නා එක්කමයි ගියේ.රාලහාමිට නම් ලෙඩ ගොඩක් තිබුණා.අමරාවතී හාමිනේට ලොකුවටම තියෙන්නේ සීනි අමාරුව  තමයි.මොන තරම් බෙහෙත් බිව්වත් කට පරිස්සම් කරගන්න බැරි එකයි ගැටලුව.තේකට හොඳට පිටි, සීනි දාලා බිව්වෙ නැත්නම්  ඇඟට පණ නෑ  වගේ.තුන් වේලටම කන්නෙත් බත්.ඔය ඇට ජාති නම් බඩට අල්ලන්නෙම නෑ.
හන්දියට ඇවිල්ලා හුස්මක් ගන්න වුණේ නැහැ.බස් එක ආවා.කාලෙක ඉඳන්ම අඳුනන නිසා කොන්දොස්තර මහත්තයා බිමට බැහැලම නගින්න උදව් කළා.සීට් එකකුත් ලැබුණා ඉඳගන්න. දෙන්නත් එක්ක යන කාලේ නම් පාළුවක් නැහැ.උදේම උයලා බත් මුලකුත් බැඳගෙනයි යන්නේ.ඒක ඉස්පිරිතාලේ මිදුලේ ගහක් යට බංකුවක ඉඳගෙන කාලම එනවා.ග්‍රාම නිලධාරියෙක් වුණු රාලහාමිව කවුරුත් අඳුනනවා.මග දිගේ කතාකරකර ඇවිත් ගෙට ගොඩ වෙනකොට හවස් වෙනවා.පරණ සිද්ධි මතක් වෙලා ඇහැට කඳුළක් ඉනුවා.
බස් එක මොරොන්තුඩුව පහුකරනවාත් සමගම නැගිටලා පිටිපස්සෙ දොරටුව ළඟට ගිය අමරාවතී හාමිනේ කොන්දොස්තර මහත්තයට කිව්වා ඉස්පිරිතාලේ ළඟින් බස්සවන්න කියලා .කිව්වත් නැතත් කොන්දොස්තර මහත්තයා අමරාවතී හාමිනේට සලකනවා. ඒ රාළහාමිට තවමත් තියන සැලකිල්ල නිසා කියලයි අමරාවතී හාමිනේ හිතන්නේ.

ගේට්ටුවෙන් ඇතුඵ වෙලා ක්ලිනික් එක තියෙන තැනට යනකොටත් තුණ්ඩු දෙන්න පටන් අරන්.ලෙඩ්ඩු පෝලිමට බංකුවල වාඩිවෙලා ඉන්නවා.අමරාවතී හාමිනේ වටපිට බැලුවේ සිරියලතා පේන්න ඉන්නවද කියලයි.සිරියලතා තමයි හැමදාමත් තුණ්ඩු දෙන නෝනට යාප්පු වෙලා අමරාවතී හාමිනේටත් එක්කම තුණ්ඩුවක් ගන්නේ.රාලහාමි නැතිවුණු කාලෙ ඉඳලම ඒක එහෙමමයි.පෝලිම දිහා කීප වරක් බැලුවත් සිරියලතා හිටියේ නැහැ.

" තව ටිකකින් එයි "

එහෙම හිතලා පෝලිමේ අන්තිමට වාඩි වුණේ  මල්ල තියලා සිරියලතාටත් ඉඩ අල්ලගෙන.ඉඩ අල්ලනකොට නෝනලා කෑගහනවා.ඒත් දෙන්නගෙ යාළුකම දන්න නිසා මොකුත් කියන්නේ නැහැ.
සිරියා හිටියේ ඉස්පිරිතාලේ ඳලා පයින් යන දුරින්.සිරියටත් රාලහාමිට වගේම ලෙඩ ගොඩක් තියෙනවා.සීනි අමාරුව තමයි ලොකුවටම තියෙන්නේ.ඒත් සිරියලතා නෙවෙයි ඔය ලෙඩ තඹේකට සලකන්නේ.හොඳට සීනි කෑම කෑවා.වැඩිපුර කාපු දවසට පෙති දෙකක් බිව්වා.දොස්තර නෝනා හැමදාම දොස් කියනවා.කලින් පාර ක්ලිනික් එකේදි කිව්වා සීනි අඩුකරගන්නේ නැතිව මේ පැත්ත පළාතේ එන්න එපාය කියලා.

" ඒකට බයවෙලා ආවේ නැද්ද දන්නේ නැහැ "
අමරාවතී හාමිනේට හිතුණා.
හොඳට ඇඳ පැළඳගත්ත තරුණියක් වයසක අම්මා කෙනෙක් එක්කගෙන ඇවිත් අමරාවතී හාමිනේ ළඟ වාඩිකරවන්න හැදුවා.

" මෙතන එක්කෙනෙක් ඉන්නවා "
 හිනාවෙලා කියපු අමරාවතී හාමිනේ තමන්ගේ මල්ල තව ටිකක් තල්ලු කළා. 
      " සොරී " කියපු තරුණිය තමන්ගේ අම්මව ටිකක් එහාට වෙන්න වාඩිකෙරෙව්වා.

" ඒ දුවද "
තරුණිය යනකන් ඉඳලා අමරාවතී හාමිනේ ඇහුවා.

" නෑ ලේලි
දුව වගේ තමයි
ඉස්කෝලේ යන්න පරක්කු වෙන නිසා ගියා.අද කලින් එනවා කිව්වා මාව එක්කගෙන යන්න."
අමරාවතී හාමිනේට හීල්ලුනා.තමන් දෙන්නා මොනතරම් ආදරෙන් හිටියත් දරුඵල ලබන්න තරම් වාසනාවක් නොතිබුණු එක ගැන පුදුමයි.

" දරුවෙක් අරගෙන හදාගන්නයි අපිට තිබුණේ
එහෙම නම් අද මේවගේ තනි වෙන්නේ නැහැ. "
ඒත් එහෙමම කියන්නත් බැහැ.පුත්තු තුන්දෙනෙකුයි දුවෙකුයි ඉන්න සිරියත් ඉන්නේ තනිවෙලා.
අමරාවතී හාමිනේ ගේට්ටුව දිහාම බලාගෙන හිටියේ සිරියා දැන් එයි ,දැන් එයි කියලමයි.රෙදි මල්ලත් එල්ලගෙන කොර ගහමින් එන සිරියගේ රූපය අමරාවතී හාමිනේට මැවිලා පෙනුණා.
ක්ලිනික් දවස එනකම් සිරියලතා බලාගෙන ඉන්නේ වන්දනාවේ යන්න වගෙයි.ඒත් ඒ බෙහෙත් ගන්නම නෙවෙයි කියලා අමරාවතී හාමිනේ දන්නවා.සිරියා වැඩිපුරම එන්නේ අමරාවතී හාමිනේව හම්බවෙන්න. මාසෙකම විස්තර කතාකරන්න.දුක් අඳෝනාවල් කියන්න.ඒ අතරම කාගේ හෝ ඕපාදූපයක් කියලා පොඩ්ඩක් හිනාවෙන්න.මාසයක්ම කට අගුල් දාගෙන ඉන්න අමරාවතී හාමිනේත් හොඳට කට ඇරලා හිනාවෙන්නේ සිරියා හමුවුණහමයි.
සිරියා හිටියේ බාල පුතා එක්ක.ඒත් තනිවම උයාගෙන කෑවා.රජයෙන් දෙන ආධාරත් වැඩිහිටි දීමනාවත් ඇරෙන්න වෙන ආදායමක් සිරියට නැහැ.
"ගෙදර ඉන්න පුතාගේ ගෑනි යකිනක් " 
සිරියා කියන්නේ අප්පුඩියකුත් ගහලා මහ හයියෙන් හිනාවෙලා.සිරියා ඉන්න කාමරේට ලයිට් එකක්වත් නැතිලු.ලේලී පුතයි උයා පිහාගෙන වැඩට ගියාට පස්සේලු බතක් මාළුවක් උයාගන්නේ.ඒත් ක්ලිනික් දවසට ලේලිට කලින් නැගිටලා වෑංජන දෙක තුනක් එක්ක බත් උයාගෙන එන්නේ අමරාවතී හාමිනේටත් එක්කමයි.ඒ බත්මුලේ තෙබු කොළ සම්බෝලය වරදින්නේ නැහැ.
ක්ලිනික් එන්නට කලින් දවසේ අමරාවතී හාමිනේ මොනවා හරි රසකැවිල්ලක් හදනවා.ඒ සිරියලතා කැමති නිසා.ඕන රසකැවිල්ලක පදම  අමරාවතී හාමිනේ හරියටම දන්නවා.තමන්ට ටිකක් තියාගෙන ඉතිරි ටික සිරියලතාට ඔතාගෙන ගෙනිහින් දෙන්නේ තියාගෙන කන්න කියලයි.

 " නෝනලා දන්නවානම් අපිව එලවයි "
 සිරියා කියන්නේ වටපිට බලලා කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්.
සිරියලතාගේ වැඩිමල් පුත්තු දෙන්නෙක් පදිංචි වෙලා හිටියේ ඈත ප්‍රදේශවල .අවුරද්දට රෙදි කෑල්ලක් අරගෙන එනවා ඇර වෙන යුතුකමක් ඉටුවෙන්නේ නැහැ. මොනවා හරි හදාගෙන මාසෙකට සැරයක්වත් අම්මා බලලා යන්න ආවේ දුව විතරයි.දුවට ඒතරම් සරු නැහැ.රස්සාවක් නොකරන දුව යැපුනෙත් සැමියාගෙන් .

" බෑනත් පොඩි ලේලිගේ ජාතියෙමයි "
 සිරියා කීපවරක්ම කියලා තියෙනවා.
            
දැන්නම් දහයටත් කිට්ටුයි.

" අදනම් එන්නේ නෑ වගේ "
 අමරාවතී හාමිනේ තමන්ටම මුමුණගත්තා.
 පෝලිමත් එන්න එන්නම කොට වෙනවා.අද ලෙඩ්ඩු බලන්නේ සීදේවී දොස්තර නෝනා කෙනෙක්.හැමෝටම ආච්චියේ,සීයේ කියලා කරුණාවෙන් කතාකරනවා.

" මටත් මෙහෙම මිනිපිරියක් හිටියනම් "
  ආයෙත් යටි හිත කුරු කුරු ගානවා.
 අඳුනන මිසී කෙනෙක් අමරාවතී හාමිනේ දැකලා නැවතුණා.

" අද මොකද තනියම
යාළුවා නැද්ද "

" ඒකනේ නෝනා
දූලගේ ගෙදර ගියාද දන්නේ නෑ "

" දැන්නම් එන වෙලාව පහුවෙලා " කියාගෙනම මිසී ගියා.
 අමරාවතී හාමිනේට යන්තම් නින්දයාගෙන එනකොටයි නොම්මරය අඬගැහුවේ.නෝනා හොඳට හරව හරවා බැලුවා.ප්‍රශ්න ඇහුවා.විහිළු කළා.පැණිරස කෑමේ ආදීනව කියලා දුන්නා.
තමන්ගේ බෑග් එකේ තියෙන අලුවා පාර්සලය ගැන දැනිලද කියලා අමරාවතී හාමිනේට සැක හිතුණා.
 ඉස්පිරිතාල ගේට්ටුවෙන් පාරට බහිනකොට ඉර මුදුනෙමයි.හොඳටම බඩගිනී.සිරියගේ බත් මුල බලාගෙන ආපු නිසා උදේටත් හරියට කාලා නෙවෙයි දොට්ට බැස්සේ.කඩයකට ගොඩවෙලා බනිස් ගෙඩියක් කාලා තේකක් බිව්වේ ඇඟට පණනෑ වගේ දැනුණු නිසයි.එතනින්ම දවල්ට කන්න බත් මුලකුත් ගත්තා.
 මොන දේ කලත් අමරාවතී හාමිනේගේ ඔළුවේ හිටියේ සිරියලතා.
 
" ඉන්න තැනක්වත් හරියට අහගත්තේ නැහැනේ මෙච්චර දවසකට.
නැත්නම් ගිහින් බලන්නවත් තිබුණා."
බස් නැවතුමට ආවේ කළුතර බස් එකකට නගින්න හිතාගෙන.

 " ඉස්කෝල අරින්න කලින් බස් එකකට නැගගත්තොත් හොඳයි "

 එහෙම හිතලා වටපිට බලද්දී දැකපු දෙයින් අමරාවතී හාමිනේ එහෙමම ගල් ගැසුණා.හෙමි හෙමින් ළඟ තිබුණු ලයිට් කණුව ළඟට ගියා.ඒකේ ඇලවිලා හිටියේ අඳුනන මුහුණක්.

" සිරියලතා "

කණ්ණාඩිය ගලවලා අතට ගත්ත අමරාවතී හාමිනේ,දැන්වීමට ළංවෙලා  බැලුවා.නැවත කණ්ණාඩිය දාලත් බැලුවා.
 අවසන් කටයුතු කරලා තිබුණේ ගිය සෙනසුරාදා.මීට දවස් හතරකට කලින් .
 ඇස් නිලංකාර වීගෙන එන බවක් දැනුණු අමරාවතී හාමිනේ අමාරුවෙන් සිරුර වාරුකරගොන ගිහින් බස් නැවතුමේ සිමෙන්ති බංකුවේ ඉඳගත්තා.

 


 



අදහස් (0)

ක්ලිනික් පෝලිමේ මිතුරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 445 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16903 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site