IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කලකිරීම

කෙටිකතාව

 

 

රාත්‍රී අන්ධකාරය පැතිරෙන්නා හා ම නගරයෙන් නැගෙනහිර දෙස පිහිටි කඳු වැටිය හරහා වැටුණු මාර්ගය ඔස්සේ එන පන්දම් වැටක් සහිත පෙරහරක් දක්නා ලදී.

පුරවැස්සෝ උස් තැන්වලට නැග එළි පෙළ දෙස බැලූහ.

පුරයේ ධනවතුන් අතර අග තැන්පත් තරුණයා කඳු වැටියෙන් ඔබ්බෙහි පිහිටි ගමක තරුණියක හා විවාහ වීමට එදින උදයේ පුරයෙන් නික්මිණ. පුරවැසියන් දුටුවේ තරුණයා තම බිරිඳ පුරයට කැඳවාගෙන එන පෙරහරෙහි එළි පෙළ ය.

ධනවත් පුරවැසියෝ උත්සව කොට ප්‍රීති වීමට තරුණයාගේ මන්දිරයට රැස් වූහ. උත්සවයක් සඳහා ඊට පෙර කිසි කලක එපමණ විශාල පිරිසක් ඒ දෙමහල් පායෙහි රැස් නොවූහ. එහෙත් තරුණයා පුරයෙහි සෙසු ධනවත් තරුණයන් හා එක් වී ප්‍රීති වීමට එහි පවත්වන උත්සව හිඟ නොවී ය. තරුණයා මසුරුකම් කොට අනුත් පෙළා ධනය රැස් කොට තබා මිය ගිය එකකුගේ පුතෙකි.

 

 

පියා ජිවත් ව සිටියදී සුඛ විහරණයට ඉඩ නොලත් ඔහු පසුව අලංකාර ජීවිතයකට පුරුදු විය.

රූප සෞන්දර්යයෙන් තරුණයාගේ බිරිඳට සම කළ එකියක මුළු පුරයේ ම නැතැයි උත්සවයට රැස් වුවෝ තරුණයාගේ බිරිඳ දැක කීහ. ඈ ඈත ගමක ඇඟ වැරසිඳ වෙහෙසී දිවි පෙවෙත සොයා ගන්නා දුප්පතෙකුගේ දුවකි. එහෙත් දුප්පත්කම නොසලකා ඇය විවාහ කොට ගැනීමෙන් තරුණයා කළේ සුදුස්සකැ යි ඇගේ සෞන්දර්යය අගය කළ තරුණයෝ ඔවුනොවුන්ට කීහ.

මන්දිරයෙහි රැස් වූවෝ කීප දෙන බැගින් තැනින් තැන එක් වී, කා බී ප්‍රීති වන්ට වූවෝය. බඳුන් එකට හැපෙන විට නගින හඬ ද නළඟනුන්ගේ පා බැඳි කිකිණි හඬ ද සුරා බී මත් වූවන්ගේ ඝෝෂය ද මන්දිරයෙහි නොයෙක් දෙසින් ඇසෙයි.

මනාලිය අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු කාන්තාවන් විසින් පිරිවරා මන්දිරයෙහි පහත මාලයෙහි විශාල ශාලාවෙහි හිඳ සිටියි. තරුණයා තැනින් තැන යමින් සෙස්සන් හා කා බී ප්‍රීති වුව ද තම බිරිඳට මිහිරි වදනක් කීමට විටින් විට ඈ කරා එයි.

රාත්‍රිය ක්‍රමයෙන් ගෙවෙයි. මන්දිරයෙහි මෙහෙකරුවෝ තෙල් පොවමින් පන්දම්වල එළිය දියුණු කළහ. සුරාවෙන් මත් වූවන් ක්‍රමයෙන් වැඩි වන හෙයින් මන්දිරයේ රැස් වූවන්ගේ ඝෝෂය ද ක්‍රමයෙන් වැඩි වෙයි. මත් වූ තරුණ නළඟනන් උස් හඬින් සෙස්සන්ගේ කෑ මුර ගැසීම මැඩගෙන නගයි.

ශාලාවෙහි පන්දම්වල එළිය වැටී රත් පැහැ ගත් තරුණ බිරිඳගේ මුහුණ හදිසියේ අඳුරු විය. මහත් වේදනාවක් පහළ වූ කලක මෙන් ඈ අතකින් උදරය අල්ලාගෙන මදක් ඉදිරියට නැමුණාය. ඈ අසල සිටි කාන්තාවෝ වහා ඈ වට කොට ගත්හ.

තරුණයාගේ බිරිඳට උදරාබාධයක් ඇති විය යන රාවය මන්දිරයෙහි රැස් වූවන් අතර පැතිරිණ. සිනා හඬ ද අත්පොළසන් හඬ ද නැවතිණ. සුරා බොන්නෝ බඳුන් පසක තබා අසුන්වලින් නැගිට්ටාහ. නළඟනෝ නැටුම් නවත්වා කිකිණි හඬ රෝගියා වෙහෙසති යි යන බියෙන් තමන්ගේ පා බැඳි කිකිණි ගැළවූහ. සියල්ලෝ රෝගියාගේ සුව දුක් දැන ගනු රිසියෙන් ඇය අසල රැස් වූහ.

රෝගියා උඩු මහලෙහි ගර්භාගාරයකට ගෙන යන ලදී. නගරයෙහි මහා වෛද්‍යවරයෝ කැඳවාගෙන එන ලදහ. රෝගය දරුණු යයි ඔවුහු කීහ.

උත්සවයට ආවෝ ක්‍රමයෙන් විසිර ගියහ. වෙදුන්ගේ බෙහෙතින් රෝගය සුව නොවීය.

තරුණයා තම බිරිඳගේ සයනය අසල දණ ඔබාගෙන හිඳ වේදනාවෙන් පහළ ඇයගේ මුහුණ දෙස බලා සිටියේ ය. අඳුර ක්‍රමයෙන් තුනී වී අරුණාලෝකය පැතිරෙන්ට වන, බිරිඳ වහ වහා ආශ්වාස ප්‍රශ්වාස කරන්ට වූවා ය. රාත්‍රී අන්ධකාරය සම්පුර්ණයෙන් බිඳී යෑමට පෙර ඈ මළාය.

එදින සවස ඇගේ මළ සිරුර දවන ලදී. මළ පෙරහර හා කැටිව සොහොන් බිමට ගිය තරුණයා නිවෙසට ආපසු නො ආවේය.

විවාහ වූ දිනම තම බිරිඳ මිය යාමෙන් උපන් ශෝකය නිසා තරුණයා ගෘහ වාසය අත් හැරීමට සිතීය. තම පියාගේ මරණයෙන් පසු තමා ඉන්ද්‍රිය සැප සෙවීමෙහි ම නිරත වූ සැටි ඔහු සිහිපත් කළේය. ඔහු වනයට වැද කෙලෙස් තැවීමට සිතුවේය.

ඈත වනයක තවුසකු දැඩි තවුස් දම් රකින බව ඔහු අසා තිබිණ. ඒ තවුසා කෙලෙසුන් සම්පුර්ණයෙන් ම දැමුවකු වැන්නැයි ඇතැමෙක් කීහ.

තවුසා සොයා ගොස් කෙලෙස් තවන සැටි ඉගෙන ගැනීමට තරුණයා ඉටා ගත්තේය.

තෙදිනක් ගමන් කිරීමෙන් පසු තරුණයා තාපසයාගේ ආරාමයට පැමිණියේ ය. තවුසා කලකින් ම එහි වාසය කොට නැති බව තරුණයාට පෙනිණ.

වනයෙන් නික්මුණ තරුණයා අසල ගමකට පැමිණියේය. තවුසා සිවු මසකට පමණ පෙර වනය අත්හැර ගිය බව ගම්වැසියෝ කීහ. තවුසා ගිය මග අසා තරුණයා ගමින් ගමට ගියේ ය. තවුසා ඈත පිහිටි පුරයකට ගිය බව ඔහුට අවසානයේදී දැනගන්ට ලැබිණ.

ඒ පුරයට පැමිණි තරුණයා තවුසා පිළිබඳ තොරතුරු විමසුවේ ය. පෙර උග්‍ර තපස් රැකි එකකු තරුණයන්ට කලා ශිල්ප උගන්වන ආචාර්යවරයකු වී සිටින බව පුරවැසියෝ කීහ. තරුණයා ඔහු සොයා ගියේය.

ආචාර්යවරයා ගණිකාවකගේ නිවාසයෙහි සිටියේ ය. තමා හමුවීමට ඇතුළට එන ලෙස ඔහු තරුණයාට කියා එවී ය. ආචාර්යවරයා ශාලාවක තුබූ සයනයක ගණිකාව ළං කොටගෙන හිඳ ඈ හා සල්ලාපයෙහි යෙදී සිටියේ ය. සුරා පිරූ කළයක් ද කුසලානයක් ද සයනය අසල බිම තබා තිබිණ.

මැදි විය පමණෙහි සිටි ආචාර්යවරයා රූමත් එකෙකි. සුරා මතින්දෝ ඔහුගේ දෙනෙත අඩවන් වී තිබිණ. දින ගණනක් ගමන් කිරීමෙන් කිලිවී වී ගිය තරුණයාගේ ඇඳුම් දෙස ද සෑහෙන පමණ ආහාර නොලැබීමත් විඩාවත් නිසා වැහැර ගිය ඔහුගේ සිරුර දෙස ද ආචාර්යවරයා බැලුවේ පිළිකුලකින් මෙනි.

" ආචාරීනි " යි සයනය අසලට ගිය තරුණයා ආචාර්යවරයාට ආමන්ත්‍රණය කළේය. ආචාර්යවරයාතමාගේ අඩවන් වූ නෙත් තරුණයාගේ වැහැර ගිය මුහුණ මත රඳවා නිශ්ශබ්දව සිටියේය.

" මා ඔබ සොයා ආවේ ඈත පිහිටි පුරයක සිට '' යයි තරුණයා කීවේ ය. " පුරයෙහි අන් සියල්ලන්ට වඩා ධනවත් වූ මම ඉන්ද්‍රිය සෙවීමෙහි ම නිරත වීමි. මීට දින ගණනකට පෙර මම විවාහ වීමි. විවාහ වූ දිනම මගේ රූමත් තරුණ බිරිය හදිසියේ වැළඳුණු ආබාධයකින් මළාය. භාර්යාවගේ මරණයෙන් ඇති වූ ශෝකය නිසා මට ගෘහ ජීවිතය එපා විය. සැප සෙවීම දුක් සෙවීමක් බව මව වැටහිණ. වනයෙහි වාසය කිරීමට සිතා මම කෙලෙස් මැඩලීමට සුදුසු උපක්‍රම ඉගෙනීම සඳහා ඔබේ තාපසාරාමයට ගියෙමි. ඔබ පුරයට ආ බව අසා මෙහි ආවෙමි.

මුවට මද සිනාවක් නගාගත් ආචාර්යවරයා මෙසේ කීවේ ය." සැප සෙවීම දුක් සෙවීමක් බව ඔබට වැටහුණේ යයි ඔබ කියයි. ඔබට එවැන්නක් වැටහුණු බව මට නොපෙනේ. ඔබ සැප අත් හැර පලා යන්නෙකි. ඔබ පුරය අතහැර වනයට ඉන්ද්‍රිය සැප එපා වූ හෙයිනි. භාර්යාවගේ මරණයෙන් ඇති වූ ශෝකය වැනි දුක් සිතින් නොවිඳ ඉන්දීය සැප ලැබිය නොහැකිය. ඔබ සිතින් සැප විඳීමට උපක්‍රම සොයන්නෙකි. සිතින් සැප විඳීම හෝ සිතට දුක් වැදීම වැළැක්වීම හෝ කළ හැක්කේ ඉන්ද්‍රියන්ට දුක් දීමෙනි. අලංකාර පට පිළි හැඳ ගණිකාවක කරා යන නාගරිකයා ද අඳුන් දිවි සම් පෙරවාගෙන දැඩි තවුස් දම් රකින තවුසා ද අතර වෙනසක් නැත. දෙදෙනා ම සැප සොයන්නෝ ය. නාගරිකයා සිතින් දුක් විඳ ඉන්ද්‍රියන් පිනවයි. තවුසා ඉන්ද්‍රියන්ට දුක් දී සිත පිනවයි.
මෙසේ කිවූ ආචාර්යවරයා සුරා කළය ඔසවා එයින් භාගයක් පමණ එක වරටම බීවේ ය. ඉක්බිති ව ඔහු සයනයෙහි දිග ඇදී ගණිකාවගේ ඇකයේ හිස තබා දෙනෙත පියා ගත්තේය.

ආචාර්යවරයාගේ වචන ඇසූ තරුණයා කිසිවක් සිතාගත නොහැකි ව නිශ්ශබ්දව සිටියේ ය.

 

මද වේලාවකට පසු ඔහු '' ආචාරිනි '' යි ආචාර්යවරයා ආමන්ත්‍රණය කළේ ය. ඔහු මළ එකෙකු මෙන් නිශ්චල වේ. නිශ්ශබ්දව සිටියේය.

මා පුරය අත්හැර ආවේ සැප සොයා ද? යන ප්‍රශ්නය නිශ්ශබ්දව සයනයෙහි වැතිර සිටින ආචාර්යවරයා දෙස බලා සිටි තරුණයා තුළ පැන නැගිණ.

ප්‍රශ්නයට පිළිතුරක් දීමට තරම් ඔහුට සිත එකඟ කොටගත නො හැකි විය.

ඔහු සෝපානය ඔස්සේ සෙමින් පහතට බැස ගෙයින් නික්ම මාර්ගයට පැමිණියේ ය.

ඔහු ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට උත්සාහ කරමින් තමා යන තැනක් නො සලකා මග යන්නවුන් හා එක් ව ගියේ ය.



අදහස් (2)

කලකිරීම

lionel Saturday, 02 August 2025 02:33 PM

හිතන්නට යමක් ...

:       0       0

lionel Sunday, 03 August 2025 12:22 PM

ජී බී ගේ තවත් රසවත් නිමැවුමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site