ආදර්ශමත් පවුලකට උදාහරණයක් ඕනෑ වුණු වෙලාවට මුළු ගම ම ඇඟිල්ල දික් කළේ පීරිස් පවුල දිහාවට.මුළු ගමේම විතරක් නෙවෙයි මුළු ප්‍රදේශයේම පැතිරිලා තිබුණා පීරිස් පවුලේ කීර්ති නාමය.

බීගෙන ආපු සැමියා බිරිඳට තඩිබාන ගමන් කිව්වේ

" බලපන් පීරිස් නෝනා දිහාව
උදේට දැක්කත් ඇති.දවසම කිරි උතුරනවා.
ඒකට උඹ.දවසම අඬෝවැඩියාව."

පඩි ගත්ත දවසට බාර් ගානේ ඇවිදලා පඩි පැකට් එක බාර් එකටම පූජා කරපු සැමියට බිරිඳ කිව්වේ

" බලනවා පීරිස් මහත්තයා දිහාව.
අන්න නියම පිරිමියෙක්.
වැස්සකටවත් ගොඩවෙලා නැතිව ඇති බාර් එකකට."

ළමයෙක් වැරැද්දක් කෙරුවාම අම්මලා කිව්වේ,

බලපල්ලා පීරිස් ගෙදර ළමයි දිහාව.
සිරිමත් වගේ දරුවෝ.
ගමන බිමන,කතා බහ,ඇඳුම් පැළඳුම්,කෑම් බීම් හරියට වෙලාවට කලාවට පිළිවෙලට.
             පීරිස් පවුලේ ළමයි හතර දෙනාම ගියේ ගමේ ඉස්කෝලෙට .ඒ ළමයින්ගේ කීර්තියෙන් ඉස්කෝලේ බැබළුණා.ඉස්කෝලේ කීර්තියෙන් විදුහල්පති , ගුරු මණ්ඩලය විතරක් නෙවෙයි, ගුරු දෙගුරු සංගමයත් බැබලුණා.
        ඉරිසියාකාර කතා තැන තැන නොකියවුණාමත් නෙවෙයි.
           බීගත් දවසක ප්‍රනාන්දු කඩේ ගාවදී කියලා තිබුණා,

" ඔය පීරිසා ගෑනිට බයයි.
ඒකයි ඔය හැටි සිල්වන්ත."
          එහෙම කියලා ගෙදර යනගමන් පාරේ වැටිලා දත් දෙකකුත් හලාගත්තා.

" අපි නොදන්න පීරිස් නෝනගේ පතිවෘත්තාව.
කැත ගෑනිගේ පතිවෘත්තාව ඉබේ රැකෙනවයි කියලා කියනවනේ ."
          නාන තොට ළඟදී එහෙම කියලා තිබුණේ සියඹලා ගහ ගාව ගෙදර රාණි.
           පහුවදා උදේ වෙනකොට නසරාණි ගැන ගම පුරා  කැලෑ පත්තර ඇලවිලා තිබුණේ කසිප්පු අල්ලද්දී රාණිගේ මිනිහා වසන්තගේ කසිප්පුපොළ මගහරින පෙරේරා සාජන් මහත්තයව අල්ලලයි.

" හොඳ මිනිස්සුන්ට කතා හදන එක සහගහන වැඩක් "
        එහෙම කිව්වේ හතර පෝයටම සිල් ගන්න සුමනාවතී උපාසකම්මා.
                පීරිස් මහත්තයා වැඩ කළේ නගරසභාවේ තක්සේරු නිලධාරියෙක් විදියට.අකුරට වැඩ.මොන තරම් හම්බකරන්න පුළුවන් රස්සාවක්ද?
පීරිස් මහත්තයා එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නැහැ.වැඩි වැඩ නැහැ.පාරේ බස් එකේමයි ගමන.
         රාණි මොනවා කිව්වත් පීරිස් නෝනා හැඩයි සිරියාවන්තයි.මුළු පවුලකම බර සැමියාගේ ඔළුව උඩ තියලා ගෙදරට වෙලා කකුල් පද්ද පද්ද ඉන්න ගෑනියෙක් නෙවෙයි පීරිස් නෝනා.ඉවුම් පිහුම්,කැපිලි කෙටිලි,හේදිලි අතරම ඉඩ ලැබෙන විදියට මැහුවා.ඒ කුලියට.ගමේ විතරක් නෙවෙයි පිට ගම්වලිනුත් ඇඳුම් මහගන්න පීරිස් නෝනා හොයාගෙන ආවා.
                අවුරුද්දට හිස තෙල් ගාන්න,නෑගම් යන්න,පෝයට පන්සලට යන්න පීරිස් පවුල පාරට බැස්සහම පාර දිගටම ගෙවල්වල දොරවල්වලින්, ගේට්ටු වලින් විතරක් නෙවෙයි කවුළුවලිනුත් මිනිස්සු එබි එබී බලනවා.ඒක බැලිය යුතුම දසුනක් විදියට ගමේ මිනිස්සු පිළිගත්තා.
             පවුලම ඇඳගෙන යන්නේ පීරිස් නෝනා මහපු ඇඳුම්.එකම රෙද්දෙන් එකම මෝස්තරයට මහපු ඇඳුම්.පෝයට නම් සුදු පාට.වෙන ගමනක් බිමනක් යනකොට ඒකට සුදුසු පාට.ඒ තියා පීරිස් මහත්තයා වැඩට ඇඳගෙන යන කමිස මැහුවෙත් පීරිස් නෝනා.එදාට පීරිස් නෝනා ගෙදරට ඇඳගෙන ඉන්නෙත් ඒ මෝස්තරයෙම ගවුමක්.ඒ පවුලේ ආදරය , සෙනෙහස ගැන තව මොන කතාද ?
                   වැඩ ඇරිලා එන ගමන්ම හන්දියේ සේකරගේ කඩයට ගොඩවෙන පීරිස් මහත්තයා ගෙදරට ඕනෑ කරන බඩුමුට්ටු ටික සිලි සිලි මල්ලක දාගෙන එල්ලගෙන එනවා.ලැම්බට්ගේ මාළු ලෑල්ලෙන් කපන මාළු පන්සීයක් හරි ,මේබල්ගේ මස් කඩෙන් පොඩි කුකුළෙක් හරි අරගෙන එන්නත් අමතක කරන්නේ නැහැ.
                උදේට එකටම ගෙදරින් පිටවන දරුවන් පයින්ම ළඟ තියෙන ඉස්කෝලෙට යනවා.හවස පන්ති , ටියුෂන් පන්ති ඉවරවෙලා තනි තනිව පාර අයිනෙන් ගෙදර එනවා.පාරේ යන එන හැම ගෑනු ළමයටම විහිළු කරන හන්දියේ සැලුන් එක ළඟ රස්තියාදු වෙන කොලුනඩේවත් පීරිස් ගෙදර ගෑනු ළමයින්ට මොකුත්ම කිව්වේ නැහැ.උන්ට ඒකට හිත් දුන්නේ නැහැ.තරුණ වියට එළඹුණත් නියම පාසල් ගතියෙන්ම ඇඳලා පැළඳලා බිම බලාගෙන යන ඒ ගෑනු ළමයි දෙන්නව දැක්කම කොල්ලන්ට මතක් වුණේ තමන්ගේ අක්කලා ,නංගිලාව .
              පීරිස් ගෙදර පිරිමි ළමයි දෙන්නා ගමේ පිරිමි ළමයි එක්ක වෙනසක් නැතිව ආශ්‍රය කළා.සෙල්ලම් කළා.හවසට පිට්ටනියේ බෝල ගැහුවා.ඒත් තාත්තා එන්න කලින් ගෙදර ගියා.මළ ගෙවල් වල,පින්කම්පොළේ රස්තියාදු වෙන්න ඒ ළමයින්ට වෙලාවක් තිබුණේ නැහැ.පොතේ පතේ වැඩ තිබුණා.හොරෙන් සිගරැට් බොන, මත් වෙන විට කන  කොල්ලෝ අතරේ පීරිස් ගෙදර පිරිමි ළමයි බෝ පැළ දෙකක් වගේ හැදුණා.
               එදත් වෙනදා වගේම දවසක්.අල්ලපු ගෙදර ජෙනිටා කියන විදියට පාන්දර හතරට පීරිස් ගෙදර කුස්සියේ ලයිට් දාලා තිබිලා තියෙනවා .රේඩියෝ එකේ පිරිත් ඇහිලත් තියෙනවා.ප්‍රෙශර් කුකර් එකත් කෑගහලා නිවෙනවා.උදා ගීත යන වෙලාවට ළමයි ඉස්කෝලේ යන්න පිටත් වෙලත් තියනවා.වෙනදා වගේම වැඩට යන්න ලෑස්ති වෙලා දොර පඩිය උඩදී පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට හාද්දක් දෙනවා තමන් දෑහින්ම දැක්ක බව ඉස්සරහා ගෙදර ඩල්සි දිවුරලාම කියනවා.
                 උදේ දහයට විතර මහන්න දීපු ගවුමක් ගෙනියන්න ආපු ඉන්ද්‍රාණි පැය බාගයක් විතර ඉඳලා ගවුමේ තිබුණු අඩුපාඩුවකුත් හදාගෙනයි ගිහිං තිබුණේ.ඒ වෙලාවෙදි නම් පීරිස් නෝනා වෙනදා වගේම හොඳ සිරියාවට,කඩිසර කමට හිටියා කියලා ඉන්ද්‍රාණිට විශ්වාසයි.
             දොළහා කිට්ටු වෙලා එන හැමදාමත් පරක්කු වෙලා ලියුම් බෙදන පෝස්ට්මන් කපිල කියන විදියට නම් ලියාපදිංචි නොකළ තැපෑලෙන් ටිකක් බර ලියුමක් ඇවිත් තියනවා පීරිස් මහත්තයා නමට.ඒක ඇවිත් තිබුණේ කොහෙන්ද කියලා අනුමාන වශයෙන් වත් තමන්ට මතක තියාගන්න බැරි වීම තමන්ගේ වරදක් බවත් කපිල පිළිගන්නවා.
                එදා හවස ඉස්කෝලේ ගිහිං,පංති ගිහිං, සෙල්ලම් කරන්න ගිහිං පීරිස් ගෙදර ළමයි වෙනදා වෙලාවටම ගෙදර ඇවිත් තියෙනවා.පහමාරට හන්දියේ නවත්වන බස් එකෙන් බැහැපු පීරිස් මහත්තයා කඩේට ගොඩවෙලා රට ලූනුයි,අලයි ,එළවළු දෙක තුනකුයි අරගෙන තියෙනවා.එනගමන් මේබල්ගේ කඩයට ගොඩවෙලා කුකුළු මස් කිලෝ එකක් ගත්ත බව මුදලාලී ,මේබලුයි අහන අහන අයට කිව්වා .
             හන්දියේ ඉඳලා ගෙදර එන අතරමගදී පිං ළිඳ ළඟදී තමන්ව නවත්වලා පීරිස් මහත්තයා මාළු පාන් හයක් ගත්ත බව චූන් පාන් රථයේ ළහිරු අහන්නෙත් නැතිව කිව්වා.
            පීරිස් ගෙදර පැත්තෙන් පිඟානක් හරි කෝප්පයක් හරි බිඳෙන සද්දේ ඇහෙනකොට හරියටම රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන්ගත්තා විතරයි කියලා ජෙනිටාට විශ්වාසයි.ඒ එක්කම තමයි පීරිස් මහත්තයා හයියෙන් හයියෙන් කතාකරන හඬ ඇහිලා තියෙන්නෙත්.ඒ වෙලාවේ මුළු ගමේම රූපවාහිනී විසන්ධි වෙලා , ගුවන් විදුලි යන්ත්‍ර නිහඬ වෙලා අඩුම තරමින් රැහැයියෙක් කෑගහන හඬක් වත් තිබිලා නැහැ.ඒ හින්දම ඊට ගෙවල් විස්සකට විතර එහායින් ඉන්න ඉන්ද්‍රතිස්සටත් පීරිස් මහත්තයාගේ සැර හඬ ඇහිලා තියෙනවා.හැබැයි, අහගෙන හිටපු කාටවත්ම කිව්වේ මොනවද කියන එක නම් වැටහිලා නැහැ.
             හැන්ද, හැඳිගගා හිටපු හොද්දටම අතහැරලා වැට ළඟට දුවගෙන ආපු ජෙනිටාට විතරක් පීරිස් නෝනගේ හීන් හැඬුම් හඬ ඇහිලා තියෙනවා.ඒ අඬන අතරෙම

" ඇයි මට මෙහෙම කළේ"
        කියලා කීප සැරයක්ම අහනවා ඇහුණු බවකුත් ජෙනිටා කියනවා.
               වෙනදා වගේම රෑ දහයට පීරිස් ගෙදර ලයිට් නිවිලා තියෙනවා.ඒත් වෙනදා වගේ නෙවෙයි රෑ මැදියමත් පහුවෙනකම් ගමේ අනිත් ගෙවල්වල ලයිට් දැල්වුණා.සමරුන්ට නිදාගන්න අමතක වුණා.සමහරු මහ රෑ කියලා බලන්නේ නැතිව අසල්වැසි ගෙවල්වලට ආවා ගියා.කතාබහ කළා.අනේ අපොයි කිව්වා .
              පහුවදා වෙනදා වෙලාවටම පීරිස් ගෙදර කුස්සියේ එළි දැල්වුණා.රේඩියෝව පිරිත් කිව්වා.ප්‍රෙශර් කුකර් එක හූ කිව්වා.ළමයි ඉස්කෝලේ ගියා.ප්‍රමාද වෙලා නින්දට ගිය ගමේ අනිත් ගෙවල් නින්දේම හිටියා.
                  පීරිස් මහත්තයා වැඩට යන වෙලාවට  දඩිබිඩියේ නැගිටගෙන  ජනේලය ඇරගෙන එබීගෙන හිටපු ඉස්සරහා ගෙදර ඩල්සි නම් කියන්නේ එදා පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට වෙනදා දෙන හාද්ද දුන්නේ නැහැ කියලයි.
            වෙනදා වගේම දවස් ගතවුණා.පීරිස් මහත්තයා පීරිස් නෝනා මහලා දුන්න කමිස ඇඳගෙන වැඩට ගියා.පීරිස් නෝනා ඒ ජාතියේම ගවුමක් ඇඳගෙන මැහුවා.පෝයට පන්සල් ගියා.හැබැයි පීරිස් මහත්තයා ඉස්සරහින්.පීරිස් නෝනා ඊට අඩි කිහිපයක් පිටුපසින් .ඒ පිටිපස්සෙන්  පේලියට ළමයි ආවා.කතාවක් ,හිනාවක් ඒ මූණුවල නැහැ.

" ඔය පීරිස් ගෑනිගේ හොරයක් අහුවෙලා.
කවුද කැලෑ පත්තරයක් ගෙදරටම එවලා ."
එක පාරක් මට්ටු වෙලත් නොහැදුණු රාණි ගම පුරා පැතිරුවා.

" ඔය පීරිස් කාරයාගේ හොර ගෑනියෙක් පීරිස් කාරයට ලියුමක් එවලා.
ඒක පීරිස් කාරයගේ ගෙදර ගෑනි කඩලා බලලා.
      ප්‍රනාන්දු දවසක් හන්දියේදී මහ හයියෙන් කිව්වා.
         මොකද්ද හරි මොකද්ද වැරදි කියලා හිතාගන්න බැරුව ගමේ මිනිස්සු අන්ද මන්ද වුණා.
               පීරිස් මහත්තයයි,නෝනයි දික්කසාද වෙන්න යනවා කියලා තමන්ට හොඳටම විශ්වාසයි කියලා කිව්වේ උසාවියෙන් එවපු ලියාපදිංචි ලියුමක් පීරිස් නෝනගේ අතටම භාරදීපු පෝස්ට්මන් කපිල. ගම ම හෙලවිලා ගියා.එදා දවසේ ගමේ හුඟක් ගෘහණියන්ට උයන එක අමතක වෙලා තිබුණා.බඩගිනි වෙලා අඬන ළමයි.කෑම පරක්කු වෙලා කෑගහන පිරිමි ගම ම එකම ගාලගෝට්ටියක් වුණා.පීරිස් ගෙදර විතරක් නිසොල්මනේ තිබුණා.
               කපිල කියපු කතාව ඇත්තක් බව සනාථ කළේ ටවුමේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා ළඟ වැඩකරන සුජානි.පීරිස් නඩුවේ පීරිස් මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා.දික්කසාදයට හේතුව තමන් දන්නා නමුත් එය රහසක් බවයි සුජානි කිව්වේ.ඒත් ඒ ගැන තමනුත් හරියට නොදන්නා බව දැනගෙන හිටියේ සුජානි විතරයි.
              නඩු දිනය යෙදිලා තිබුණේ විසි දෙවැනි බදාදට.විසි එක්වැනිදා හවසත් වැඩ ඇරිලා ආපු පීරිස් මහත්තයා හන්දියෙන් බඩු ගත්තා.මුදලාලි එක්ක ටික වෙලාවක් කතාකරකර හිටියා.ලැම්බට්ගේ මාළු ලෑල්ලෙන් කපන මාළු පන්සීයකුත් ගත්තා.එදත් අතරමගදී තමන්ව නතරකරලා මාළු පාන් හයක් ගත්ත බවකුත් ළහිරු කිව්වා.කිසිම සද්දයක් බද්දයක් නැතිව රැය ගෙවුණා.හතට විතර ළමයි පාඩම් කර කර හිටිය බව කිව්වේ රෝස පාට නූල් පන්දුවක් ඉල්ලගන්න මුවාවෙන් පීරිස් ගෙදරට ගොඩවැදුණු ඩල්සි.
            මුළු ගමම වෙනදාට වඩා වේලාසන ඇහැරුණා.ළමයින් ඉස්කෝලේ යවන්න අම්මලාට අමතක වුණා.වැඩට ගෙනියන්න කෑම පරක්කු නිසා මූණ බුකවගෙන පිරිමි බඩගින්නෙම වැඩට ගියා.වෙනදා නැති කසිලි බිසිලියක් හන්දියේ තිබුණා.වැඩක් නැතිවත් සමහරු කතා කරකර හන්දියේ තාවර වුණා 
           ඒ හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ කඩේ ළඟ බස් නැවතුම් පොළට.අටයි පහට හන්දියෙන් ටවුමට බස් එකක් පිටත්වෙනවා.වෙලාවට උසාවියට යන්න නම් ඒ බස් එකේ වත් යන්න වෙනවා.
                  හතයි හතළිස් පහ වෙනකොට පීරිස් පවුල වංගුවෙන් මතුවුණා.පීරිස් මහත්තයා ඉස්සරහින්.පීරිස් නෝනා අඩි කීපයක් පිටුපසින්.දරුවෝ ඊට පිටුපසින්.අලුත්ම මෝස්තරයට එකම රෙද්දෙන් මහපු ඇඳම් පවුලම ඇඳගෙන හිටියා.හන්දියේ ගැවසුණු අය හිටියේ තම තමන්ගේ කතාවල.ඒත් ඇස් බැල්ම යොමුවෙලා තිබුණේ පීරිස් පවුල දිහාවට.ඒත් කිසිම කෙනෙක් ඔවුන් ගැන තව කෙනෙක් එක්ක කතා නොකරන්න ගිවිසගෙන හිටියා වගේ.ඒ මාතෘකාව හිතලම අමතක කළා.
               කියන්න තරම් විශේෂයක් නැතිව දවස ගතවුණා.දෙකයි තිහට හන්දියට එන බස් එකේ පීරිස් පවුල ඇවිත් බැස්සා.මුදලාලි බඩු කිරිල්ල නැවැත්තුවා.මේබල් මස් කැපිල්ල නැවැත්තුවා .බාබර් කොණ්ඩයක් කපන අතර කනක ඩිංගකුත් කැපුවා.ලොතරැයි කූඩුවේ කියවිල්ල නැවතුණා .බස එකෙන් බැස්ස පීරිස් පවුල පේලියට ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා.ඒත් වෙනසක් තිබුණා.පීරිස් නෝනා ඉස්සරහින් ඔළුව කෙළින් කරගෙන ඇවිදගෙන ගියා.ඒ පිටිපස්සෙන් දරුවෝ හිනා වෙවී කතා කරකර ආවා. අන්තිමට පීරිස් මහත්තයා මුහුණ බර කරගෙන ඇවිදගෙන ආවා.කාටවත්ම මොකුත්ම හිතාගන්න බැරි වුණා.
              හවස හන්දියෙදි නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළේ ප්‍රනාන්දු.කසිප්පු නඩුවකට ගිහිං ප්‍රනාන්දුත් ඒ වෙලාවේ උසාවියේ ඉඳලා තියෙනවා.පීරිස් නඩුව කතාකරපු වෙලාවේ ජෝඩුව කූඩු දෙකකට නග්ගපු නඩුකාරයා ටික වෙලාවක් ඔවුන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා.

" මොකද්ද මේ විකාරේ
එකම ඇඳුම ඇඳගෙන ඇවිත් දික්කසාදය ඉල්ලන්න යුෂ්මතුන්ට පිස්සුද ?
මම මේ නඩුව සමථ මණ්ඩලයට යොමුකරනවා.
නඩුකාරයා තීන්දුව දීලා තියෙනවා.

සමථ මණ්ඩලයට ගියාද නැද්ද කියන්න කවුරුවත් හරියට දන්නේ නැහැ.ඒත් නඩුවට පස්සෙන්දා වැඩට යන්න ලෑස්ති වෙලා පීරිස් මහත්තයා පීරිස් නෝනට හාද්දක් දුන්න බව ඉස්සරහා ගෙදර ඩල්සි නම් දිවුරලාම කියනවා.