IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අමුත්තා

කෙටිකතාව

 

 

" හතටත් කිට්ටුයි.
 ජජ් කොහොමත් එන්නේ හෙට උදේට තමයි.
මබොඩි එක ඔහොම තියෙන්න අරින්න.
රෑට වහින්න පුළුවන් .  බොඩි එක වහලා දාන්න.
සාජන් පෙරේරයි,පී සී මධුරයි අද රෑ මුරට නවතින්න."

" කවුරු හරි පැට්ට්‍රෝල් ලාම්පුවක් ගෙනත් එල්ලන්න මේ මහත්තුරුන්ට.
වාඩිය තියන නිසා වැස්සත් ප්‍රශ්නයක් නැහැ.
ඒක ඇතුළේ ඉන්න පුළුවන්."

" කෝ මේ ග්‍රාම නිලධාරී මහත්තයා.
මේ දෙන්නට රෑ කෑමයි කෝපි ටිකකුයි දෙන්න පිළිවළක් කරන්න."

           ඉන්ස්පෙක්ටර් මහත්තයා පිටත් වෙන්න කලින් තම බලතල පාවිච්චි කරලා නියෝග නිකුත් කළා.

" මම හෙට පාන්දරින්ම එනවා.කාලෙකින් තමයි මගේ වසමේ මෙහෙම අපරාධයක් වුණේ.හෙට පොලිස් බල්ලෙකුත් ගේනවා.ඇනපු ආයුධය හොයාගන්න ඕනෑ මුලින්ම.කරපු කෙනා හොඳට ප්ලෑන් කරලයි මේක කරලා තියෙන්නේ.ඒකනේ ආයුධයත් අරගෙනම ගිහින් තියෙන්නේ."
            ජීප් එකට නගින්න කලින් පෙරේරා සාජන් මහත්තයව ළඟට කැඳවලා  ඉන්ස්පෙක්ටර් මහත්තයා කිව්වා.
          පෙරේරා සාජන් මහත්තයා අකමැතිම වැඩේ  තමයි මිනීවළට තනි රැකීම.පෙන්ෂන් යන්නත් තව අවුරද්දකට වැඩිය නැහැ.ඕකට පස්ස ගහලා නැති ලෙඩ දාගන්නේ මොකටද කියලා සද්ද නැතිව වැඩේ බාරගත්තා.සේවා කාලය අවුරුදු හතළිහට පොඩ්ඩයි අඩු.රටේ විවිධ ප්‍රදේශවල සේවය කරලා තියෙනවා.මතක හිටින අත්දැකීම් විඳලා තියනවා.  
              මධුර කොස්තාපල් මහත්තයා නම් පොඩි කොල්ලෙක් .මුල්ම පාරටයි මෙහෙම රාජකාරියක් පැවරුණේ.යකාටවත් බය නැති බව පෙන්නුවට මේක නම් ටිකක් අප්‍රසන්න රාජකාරියක් කියලා තමයි හිතුවේ.
              මැරිලා ඉන්නේ ජනක.කරලා තියෙන්නේ කසිප්පු වෙළෙඳාම.
අවිවාහකයි.වයස අවුරුදු තිස් පහයි.
මිනිය හම්බවෙලා තියෙන්නේ හවස වාඩියට කසිප්පු බොන්න ආව කෙනෙකුට.ලේ විලක් මැද්දේ වැටිලා ඉන්නවා දැකලා කෑ ගහගෙන ගිහිං ගමට කියලා.පන්සලේ හාමුදුරුවෝ තමයි පොලිසියට කතා කළේ.
             මිනිය වැටිලා තිබුණේ මුනින් අතට.වාඩියේ ඉඳලා මීටර් කීපයක් දුරින් ඇළ අයිනට වෙන්න.ඒ වෙලාවේ ජනක ඉඳලා තියෙන්නේ  ගෝඩා   හැලියට ගින්දර දමමින්.අත් උදව්වට ඉන්න චාමර බෝතල් කටුවකට කකුල කපාගෙන අද වාඩියට ඇවිල්ලා නැහැ.
         ඈතට වෙන්න පොළොවේ පස් කකා අඬන වයසක උන්දෑ ජනකගේ අම්මා.
                කලින්ම අඳුර ගැලුවේ වැහි බීරුම හින්දයි.වියාපු පොල් අතු කීපයක් ගෙනැල්ලා මිනිය වැහුවේ ග්‍රාම නිලධාරි මහත්තයා මුල් වෙලා.ගමේ කෙනෙක් පැට්‍රෝල් ලාම්පුවක් ගෙනත් එල්ලුවා.වාඩියේ මැස්සක් තිබුණට කොහෙන්ද ප්ලාස්ටික් පුටු දෙකකුත් ගෙනත් තියලා තිබුණා.අඳුර දැඩි වෙනකොට වටවෙලා හිටපු මිනිස්සු එකා දෙන්නා ගෙවල් වලට ඇදුණා.ජනකගේ සහෝදරියෝ දෙන්නෙක් වදෙන් පොරෙන් අම්මව වත්තම් කරගෙන එක්කගෙන යනකොට රෑ අටට විතර ඇති.
               වැඩිපුරම දුක ඇත්තේ ගමේ කසිප්පුකාරයන්ට වෙන්න ඇතී කියලා මධුර කියපු කතාවට සාජන් මහත්තයට ලොකු හිනාවක් ගියා.නවයට විතර උණු උණු බත් පාර්සල් දෙකකුයි කෝපි බෝතලයකුයි ගෙනත් දීලා ග්‍රාම නිලධාරි මහත්තයත් යන්න ගියේ,

" උදේට එන්නම් "
                 කියාගෙනයි.

           ලොකුම කරදරය තිබුණේ මදුරුවන්ගෙන්.කිසිම අනුකම්පාවක් නැතිව මධුර මදුරුවෝ මරණ හැටි පෙරේරා සාජන් මහත්තයා බලාගෙන හිටියේ පිළිකුලෙන්.වැරදි කාරයන්ට සැර වැර වුණත් ,දත් කැඩෙන්න පාරක් දෙකක් ඇන්නත් සාජන් මහත්තයා මදුරුවෙක් තියා කූඹියෙක් වත් මරන්නේ නැහැ.යුද්දේ කාලේදි මඩකළපුවේ රාජකාරි කරද්දී තුවක්කුව පාරක් දෙකක් පාවිච්චි කරපු එක වෙනම කාරණයක්.
                දහය විතර වෙනකොට වැස්ස අලුත් කළා.ඉතිරිවෙලා හිටපු දෙතුන් දෙනත් ගෙවල්වලට දිව්වා.අන්තිමට බලනකොට ඉතිරිවෙලා හිටියේ පොලිසියේ දෙන්නයි මිනියයි විතරයි.හැම තැනම තිබුණේ පාළු මූසල ගතියක්.අහසේ තරුවක්වත් පේන්න නැහැ.වැහි වලාකුළු ඒ තරමටම.මහ හයියෙන් පටන්ගන්න වැස්ස හිටි හැටියෙම නවත්වනවා.ආයෙත් පටන්ගන්නවා.හෙට උදේ වෙනකොට නඩු කාරයට බලන්න සාක්කි මොකවත්ම ඉතිරි වෙන එකක් නැහැ කියලා සාජන් මහත්තයා මධුරත් එක්ක කිව්වා.
               බත් කන්න පිරියක් නැහැ කියපු මධුර කෝපි කෝප්පයක් වක්කරගෙන බිව්වා.සාජන් මහත්තයා නම් බත් එක ඉවර වෙනකම්ම කාලා වැස්සට අල්ලලා අත හෝදගත්තා.ආයෙමත් වැස්ස අඩු කළා.ඇළ ගලන හඬයි කන් කීරිගස්සන රැහැයියන්ගේ හඬයි එකට එකතුවෙලා රැයට ගෙනාවේ ගුප්ත ස්වභාවයක්.ගං ගොඩේට වෙන්න සැරින් සැරේ බලු රංචුවක් බිරුවා.බිරුම් හඬ හිතට ගෙනාවේ මිනිස් වාසයක් ළඟ තියෙනවා කියන හැඟීමක්.වචනයෙන් නොකීවට දෙන්නටම දැනුණේ සහනයක්.
               දොළහා පහුවුණත් දෙන්නටම නිදිමතක් දැනුණේ නැහැ.එකම පොලිසියේ රාජකාරි කළත් මධුරට මේ තරම් ළඟින් පෙරේරා සාජන් මහත්තයව ආශ්‍රය කරන්න ලැබිලා නැහැ.පෙරේරා සාජන් මහත්තයා කියන්නේ අත්දැකීම් සම්භාරයක් කියලා මේ ටිකටම මධුරට වැටහුණා.වැස්සත් එක්කම තද සීතලකුත් දැනුණා.ඇළ අයිනේ නිසා සීතල දෙගුණ වුණා.දෙන්නම තමන්ගේ රේන් කෝට් ඇඳගත්තේ වැහි හිරිකඩෙන් වගේම සීතලෙනුත් බේරෙන්න.යුද්දෙ කාලේ උතුරේ සිදුවුණු සිදුවීම් මධුර අහගෙන ඉන්නේ ඇස් උඩ ඉන්දවගෙන.මිනී මුරකරන්න ගිහින් වෙච්ච දේවල් සාජන් මහත්තයා කිව්වේ අතිනුත් එකතුකරලා.
                පාන්දර එක විතර වෙනකොට වැස්ස තුරල් කළා.අව පසේ මලානික හඳ පළුවක් පායාගෙන ආවා.තමන්ට මීටර් දෙක තුනක් ඈතින් මළ මිනියක් තියෙනවා කියලා එක පාරටම මතක් වෙළා මධුරගේ ඇඟ කිළිපොලා ගියා.අඩි පාර දිගේ හෙමිහිට තමන් දෙසට එන මිනිස් ඡායාව මුලින්ම දැක්කේ මධුර.එක පාරටම තිගැස්සුණත් හිතුණේ කෝපි බෝතලයක් වත් හදාගෙන එනවා ඇතී කියලයි.ඒත් ඒ මිනිස් රුව ආවේ හිස් අතින්.කකුලක පොඩි කොරේකුත් තිබුණා.පිජාමා සරමකට සුදු අත් දිග කමිසයක් ඇඳලා හිටියේ.කමිසයේ අත් දෙක වැනුණේ හරියටම රූකඩයක අත් දෙකක් වගෙයි.
            
" සර්ලට හරිම කරදරයක් නේද වුණේ මම නිසා "
             ආපු පුද්ගලයා ඇහුවා.ඒ හඬේ තිබුණේ අමුතුම ගොර ගොර සද්දයක්.

" මොන කරදරයක්ද ඕයි .
අපි දෙන්නත් මේ කම්මැලි කමට පරණ කයියක් ගැහුවා.
            සාජන් මහත්තයා කිව්වා.
                පැට්ට්‍රෝල් ලාම්පුවෙන් ගලාගෙන ගිය එළියෙන් මිදුලේ හිටගෙන ඉන්න පුද්ගලයගේ මුහුණ පෙනුණා.ඒක මහ පාණ්ඩු පාට මූණක්.ඇස් හරිම මලානිකයි.වයස හිතාගන්න බැහැ.ඒත් තරුණ  පාටයි.මොකක්දෝ ලොකු වේදනාවකින් ඉන්න බවකුත් පේන්න තිබුණා.

" එළියේ පිනි බානවා නේ.
ඇතුළචට ඇවිත් වාඩිවෙනවා."
           සාජන් මහත්තයා මැස්ස පෙන්නුවා.
             හීන් සීරුවේ වාඩිය තුළට ආ අමුත්තා මුහුණ අඳුරට හරවාගෙන මැස්සේ ඉඳගත්තා.

" කෝපි ටිකක් බොමුද "
          සාජන් මහත්තයා ඇහුවේ ලොකු උණුවතුර බෝතලෙන් කෝපි ටිකක් කෝප්පයකට වක්කරගන්නා ගමන්.
          හිස දෙපසට වැනීමෙන් අමුත්තා එය ප්‍රතික්ෂේප කළා.

" තමුසේ මේ ගමේමද ?
 
" ඔව් ,කපුහේනේ "

" එහෙමනම් මේ මැරුණු මිනිහව අඳුනනවා ඇතිනේ "

" හොඳට අඳුනනවා 
හිත හොඳ මිනිහා.ඒකම තමයි මිනිහට වැරදුණේ "
        ඔහු මිමිණුවේ අඳුර දෙස බලාගෙන.
 
" හොඳ මිනිහෙක් නම් මෙහෙම මැරුම් කයිද ඕයි .
තමුසේ නොදන්නවාට මොකක් හරි ලොකු අවුලක් තියෙන්න ඇති "

" එකම අවුල මිනිහගේ හිත තද නැහැ.
ඉක්මනට උණු වෙනවා.
උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා."

" මිනිහට තරහාකාරයෝ හිටියද ? කසිප්පු කාරයෙකුට තරහාකාරයෝ නැතිවෙන්න බැහැනේ ."

" කසිප්පුකාරයා තමයි.ඒත් දන්න තරමින් තරහාකාරයෝ හිටියේ නැහැ."

" එහෙනම් කවුද මිනිහට මේ අපරාධය කළේ ."

" මිනිස් හිත කියන්නේ පුදුමාකාර දෙයක් සර්.නොහිතන වෙලාවක ඇතුළේ හැංගිලා ඉන්න යක්ෂයා එළියට එනවා."

" යක්ෂයා, ඒ කවුද ?"

               සීතලක් හමාගෙන ගියේ ඇඟ වෙව්ලවාගෙන.

" සර්ලට මං නිසා  කරදරයි නේද?"
        අමුත්තා දෙවන වරටත් ඇහුවා.

" පිස්සුද ඕයි?
තමුසේ මේ ගැන මොනවාහරි දන්න පාටයි  .බය නැතිව කියනවා.ඒක අපිට මිනීමරුවා අල්ලගන්න හෝඩුවාවක් වෙන්නත් පුළුවන්."

 " වෙන කවුද ඉතිං?
මූණ හැංගුවහම අඳුනන්න බැරිවෙයි කියලා හිතන්න ඇති.මිනිහා දවස් ගාණනක්ම තරහා හිතේ තියාගෙන ඉඳලා තියෙනවා.අද තමයි වෙලාව ආවේ.

" තමුසේ හරියට කතාකරන්නේ බලාගෙන හිටියා වගේනේ."
 සාජන් මහත්තයා කිව්වේ පුදුමයෙන්.

" තාත්තා අන්තරා වෙනකොට ජනකට අවුරුදු දාහතක් විතර ඇති.තාත්තා කළේ ගොවිතැන.ඒකත් අඳේට.බාල නංගිලම තුන්දෙනයි .අම්මත් ඒතරම් හයියක් තිබුණු ගෑනියෙක් නෙවෙයි.නිතරම පපුවේ හතිය.එදා ඉඳලා ඉස්කෝලේ ගමන නැවතුණා.අතට අහුවෙන ඕනම කුලී වැඩක් කළා.අත්වැඩ දුන්නා, තණකොළ කැපුවා, කුඹුරු කාලෙට කුඹුරු වැඩ කළා.කාලයක්ම කොළඹ පැත්තේ කොන්ත්‍රාත්කාරයෙක් ළඟ නැවතිලා වැඩකළා.කොහොම හරි නංගිලාවත් ඉස්කෝලේ ඇරියා .
           එහෙදි පලංචියකින් වැටිලා කකුලක් කැඩුණා.මාස ගානක් එක තැන ඉන්න සිද්ධ වුණාට පස්සේ ඒ රස්සාවත් නැතිවුණා.ආයෙමත් ගමේ ඇවිත් කුලී වැඩ කර කර ඉන්නකොටයි අනුරත් එක්ක එකතු වුණේ.දෙන්නම ඉස්කෝලේ ගියේ එකට .එකම පන්තියේ.අනුර කියන්නේ නහයට අහන්නේ නැති එකෙක්.රස්සාවට කළේ කසිප්පු පෙරන එක.අම්මලා තාත්තලා ඉඳන් කළේ ඒ රස්සාව.අනුරගේ අතේ යහමින් සල්ලි ගැවසුණා.ඒක දැකපු ජනකටත් හිතුණා කුලී වැඩ කරනවට වැඩිය වාසී අනුරත් එක්ක එකතුවෙන එක කියලා.
            අමුත්තා නොනවත්වා කැස්සා.බොහොම අමාරුවෙන් වගේ හුස්ම ගත්තේ.හරියට මහා වේදනාවකින් පෙළෙන කෙනෙක් වගේ.මූණේ සුදුමැලි පාට තවත් වැඩිවුණා .

" තමුසේ අසනීපයෙන්ද?"
   සාජන් මහත්තයා ඇහුවා.

" මට කාලෙකට හතිය හැදෙනවා."

" බොමු කෝපි එකක්"
          මධුර කෝපි බෝතලය ළං කළා.

" එපා සර්.මේක ඇරිලා යයි."

අමුත්තා තමන්ටම කතාකරනවා වගේ නැවතත් කතාව ඇරඹුවා.

" ජනක එකතු වුණාට පස්සේ කසිප්පු පෙරිල්ල වෙනදාටත් වඩා ජයට කෙරීගෙන ගියා.කසිප්පු පෙරුවට ජනක කවදාවත් කටේ තිබ්බේ නැහැ. පොඩියට වුණත් ගේ හොඳට හදාගත්තා.නංගිලා තුන්දෙනාව දෑවැද්දත් එක්කම බන්දලා දුන්නා.අම්මව බලාගෙන හිටියා මිසක් කසාදයක් ගැන හිතුවේ නැහැ.
             අනුර බිස්නස් එක කරගෙන ගියේ පොලිසියත් අල්ලගෙන.පොලිසියේ කොටස ගණනට වෙලාවට දුන්නා .ඒ නිසා අනුරගේ වාඩියට පොලිසියෙන් පැන්නේ නැහැ.පැන්නත් පනින්න ඉස්සර ඔත්තුව අනුරට ආවා.
සර්ලට මතක ඇති ජයතුංග ඉන්පෙක්ටර් මහත්තයව.ඒ මහත්තයා එක්ක ඒ සෙල්ලම් හරි ගියේ නැහැ.වාඩියට පොසිසියෙන් පැන්නා.ඒ වෙලාවේ අනුරයි කොල්ලෙකුයි විතරයි හිටියේ.ගෝඩා හැලියට ගින්දරත් දාලා.පෙරපු බූලිත් බර ගණනක් තිබුණා. ලොකු ඕඩරයක්.අනුර ජනක ගැන කටක් හෙලෙව්වේ නැහැ. අනුරට විරුද්ධ චෝදනා සැර වැඩි වුණා.අවුරුදු දෙකකට හිරේ ගියා.
               අනුර අල්ලගෙන ගියාට පස්සේ ටික කලක් හැංගිලා හිටපු ජනක මෙතනට ගෙනැල්ලා බිස්නස් එක පටන්ගත්තා.අනුර බැඳලා ඉන්නේ සඳාව.සඳා ගමේ වැදගත් පවුලක කෙල්ලෙක්.අනුර එක්ක ආවා කියලා පවුලෙන් අයින් කළා.අනුර හිරේ ගියත් අඩුගානේ සඳායි දරුවයි කන්නේ බොන්නේ කොහොමද කියලවත් හොයලා බලන්න කවුරුවත් ආවේ නැහැ.ජනක මාසෙකට සැරයක් අනුරව බලන්න ගියා.නඩුවට වියදම් කළා.සඳාටයි දරුවටයි ඕන කරන හැම දෙයක්ම ගෙනිහින් දුන්නා.ලෙඩට දුකට බැලුවා. ජනක ගැන දන්න නිසා කවුරුවත්ම කතන්දර හදන්න ආවේ නැහැ.

අමුත්තා කැස්සා

" තමුසෙගෙ නම මොකද්ද? "
         සාජන් මහත්තයා ඇහුවා.
ඒක නෑසුණු ගානට අමුත්තා කතාව පටන්ගත්තා.

" අනුර නිදහස් වෙලා ආවා.ආයෙමත් දෙන්නා එක්ක එකතුවෙලා බිස්නස් එක කරගෙන ගියා.ඉස්සර වගේ නෙවෙයි දැන් හොර හතුරෝ වැඩී.ඒ නිසා ජනකයි අනුරයි දෙන්නා තව කොල්ලෙකුත් එක්ක මාරුවෙන් මාරුවට රෑට වාඩියේ නිදාගත්තා.සතියකට විතර උඩදී දවසක රෑ, අනුර වාඩියේ ඉඳලා ගෙදර ආවා.ඒ එනකොට හුරු පුරුදු සෙරෙප්පු දෙකක් ඉස්තෝප්පුවේ මුල්ලක තියනවා දැක්කා.

ඒ ජනකගේ සෙරෙප්පු දෙක .
හීන් සැකයක් හිතට රිංගුවා.
               සඳා නිදාගන්න කාමරේ ජනේලයේ අගුල කැඩිලා.ඒක හදලා දාන්න අනුරට වෙලාවක් වුණේ නැහැ.අනුර හීන් සීරුවේ ජනෙල් පළුව ඈත් කරලා බැලුවා.පෝය ළඟ නිසා හොඳට හඳ එළියත් තිබුණු නිසා පැහැදිලිව පෙනුණා.ඇඳේ දෙන්නෙක් ඉන්නවා.පෙනුණු විදියට ඒ ජනක.
           හඳ වලාකුළකට හැංගුණා.අනුරගේ හිතේ අඳුර කැටිගැසුණා.තමන්ව පාවා දුන්නා වගේ හැඟීමකින් උරහිස් නවාගෙන අනුර වාඩියටම ගියා.
            කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න අනුර උත්සාහ කළා.ඊයේ උදේම හිරේදි මුණගැහුණු යාළුවෙක් හම්බවෙන්න යනවයි කියලා සඳාටත් කියලා ගෙදරින් පිටවුණා.
          ඒත් අනුර ගියේ නැහැ.හැංගිලා  ජනක තනිවෙනවා බලාගෙන ඉඳලා තමයි ඇන්නේ.මූණ බලාගෙන අනින්න බැරි නිසයි පිටිපස්සෙන් ඇවිත් ඇන්නේ.තරහකට වැඩිය අනුරගේ හිතේ තිබුණේ තමන් ගැනම මහා කම්පාවක්, දුකක්.ඒ දුක දියවෙලා යනකම්ම පාළොස් පොළකට ඇන්නා.පිහිය ඇළට වීසි කරලා යන්න ගියා.
බලන්න බොරු නම් පිහිය ඇළේ ඇති."

 පෙරේරා සාජන් මහත්තයා කොක් හඬ දීලා හිනාවුණා.

" තමුසේ අපූරු මිනිසෙක් ඕයි .
තමුසේ නියමයි චිත්‍රපට කතා ගොතන්න."

අමුත්තා වචනයක් වත් කතා කළේ නැහැ.ඉන්න ඉරියව්ව වෙනස් කළෙත් නැහැ.ඔහුගේ මුහුණේ තිබුණේ දරාගත නොහැකි යමක් සඟවාගෙන ඉන්නවා වගේ පෙනුමක්.

" එක අතකට අනුර වැරදි නැහැ.අනුරගේ තැන හිටියනම් සමහර විට මට වුණත් ඔය දේම කරන්න හිතෙන්න ඉඩ තිබුණා."
           ඔහු ඇසෙන නෑසෙන හඬින් කිව්වා.

 ඉන්ස්පෙක්ටර් මහත්තයා ඇවිත් ඇහැරවනකම්ම දෙන්නටම පුටු උඩම නින්ද ගිහින්.

" මරු මිනිස්සු මුරට තිබ්බේ."
     ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔලොක්කුවට හිනා වුණා.අමුත්තා ගැන සිහිවෙලා මධුර වට පිට බැලුවා.ඒත් ඔහු පේන්න හිටියේ නැහැ .හිටි බවට සලකුණක් වත් නැහැ.නින්ද යද්දී හිටියද මතකත් නැහැ.ඇත්තටම එහෙම කෙනෙක් ආවද නැත්නම් හීනයක්ද කියලත් විශ්වාස නැහැ.
            නඩුකාරයා එනකොට නවයට විතර ඇති .ස්ථානීය පරීක්ෂාව කරලා මිනිය උඩු අතට හැරෙව්වා විතරයි කොහෙද නැති වැස්සක් කඩාපාත් වූණා.මිනියේ මූණ හේදිලා පිරිසුදු වුණා.අහම්බෙන් මෙන් යමක් මතක්වී මධුර මිනියේ මූණ දිහා හොඳින් බැලුවා.දැනුණේ හොඳට හුරු ගතියක්.

මේ මූණ ඊයේ රෑ ආ අමුත්තගේ මූණම බව මධුරට විශ්වාසයි

" සාජන් මහත්තයා "
          කෑගහගෙන මධුර මඩ ගොඩේම ඇදවැටුණා.



අදහස් (0)

අමුත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site