ඇඳිරි යාමයයි. නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයන්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස් වැසුමුත් වසාගෙන තුනී තට්ටුවක්ව පවතී. තනි සුදු පැහැය ගෙන සිටි ඉයෝනා පොටපොෆ් නම් රියකරු අවතාරයක් මෙන් පෙනෙයි. ඔහු සිරුර හැකිළීමට පුළුවන් තරම් දෙකට නැමී ආසනයේ නිශ්චලව ඉඳගෙන සිටියි. ඔහු ඉන්නේ හිම කන්දක් තමා වෙත කඩා වැටුණත් ඉන් ගැලවීමට වුවමනාවක් නැත්තකු ලෙසිනි. එසේ ම තනි සුදු පැහැති ඔහුගේ අශ්වයා ද නොසෙල්වෙයි. උගේ නිසොල්මන් ගතියත්, කෙට්ටු සිරුරත්, දළදඬු දික් කකුලුත් නිසා ඌ තඹයකට වඩා වටිනාතමක් නැති පාන්පිටි අශ්වයකුගේ ආකාරය උසුලයි. ඌ බර සිතිවිල්ලකින් පසුවන බවට සැකයක් නැත. පාළු පෙදෙසක පිහිටි කුඹුරක සී සෑම උදෙසා නගුලක යොදවා සිටි එකකු ඉන් මුදා, කලබලයෙන් ඒ මේ අත හැසිරෙන මිනිසුන්ගෙන් හා තොරතෝංචියක් නැති ව නැඟෙන ශබ්දයෙන් යුත් මේ බිය උපදවන එළිය සහිත හිම වගුරට දැක්කුවොත් ඌට මෙලෙස සිතිවිල්ලකට නොවැටී සිටීම දුෂ්කර වෙයි. ඉයෝනාත් ඔහුගේ කුඩා අශ්වයාත් බොහෝ වෙලාවකින් එතනින් සෙලවුණේ නැත. ඔවුන් රිය නැවතුම් පොළින් පිටත්වූයේ සැන්දෑවේ ය. එතෙක් මෙතෙක් ඔවුන්ට එක ම කුලියකුදු නොලැබිණ. සැඳෑ මීදුම නගරය වෙත ගලා යමින් බැබළෙමින් පැවති පහන් එළිය සුදුමැලි කරයි. වීදියේ ඝෝෂාව ද අධික වෙයි. '' විබෝර්ග් පාරට යන්නට කරත්තයක් යි ඉයෝනාට හදිස්සියෙන් ඇසෙයි. " ඔයි කරත්තේ " ඉයෝනා තිගැස්සෙයි. ලොකු කබායක් ඇඟ ලාගෙන, හිස් වැස්මක් පැළඳ සිටි
යුද්ධ නිලධාරියකු ඔහුට හිමෙන් වැසුණු ඇහි පිහාටු අතරින් පෙනෙයි. "විබෝර්ගේ පාරට, " යි නිලධාරියා නැවතත් කියයි.
"ඒයි. උඹ නිදි ද ? විබෝර්ග් පාරට යමන්"
ඉයෝනා කැමැත්ත හැඟවීමට හිස සොලවා, තෝන්පට අතට ගත්තෙන් අශ්වයාගේ බෙල්ලෙන් හා පිටෙන් හිම කට්ටු ගැලවී වැටෙන්ට වෙයි. නිලධාරියා හිම කරත්තයෙහි ඉඳගනියි; රියැදුරා "ජා" කියා කොකකු මෙන් ගෙල දික් කොට, දළ දඬු කකුල් නවා, අවිනිශ්චිත ව ගමන් කරන්නට මෙන් සැරසෙයි.ගමන පිටත් වූවාත් සමග ම,
" කොහේ ද යකෝ යන්නේ? යනුවෙන් අඳුරෙන් නැගුණු කෑ ගැසීමත් ඉයෝනාට ඇසෙයි.
කොහේද යකෝ යන්නේ? ද- කු-ණ-ට උඹ දක්කන්න දන්නෙ නෑ. දකුණෙන් පලයන්." යි නිලධාරියා කෝපයෙන් කෑ ගසයි. වාහනයක් තුළින් රියකරුවෙක් ඔහුට ශාප කරයි. පාර හරහා ගමන් කළ මහියෙක්, තමාගේ උරහිස අශ්වයාගේ නාසයෙහි හැපුණෙන් අශ්වයා වෙත වියරු බැල්මක් හෙළා කමිස අතෙහි වූ හිම පිසදමා ගනියි. ඉයෝනා කඩි කෑවාක් මෙන් ආසනයෙහි ඒ මේ අත ඇඹරෙයි. තවද ඔහු ආසනයෙන් නොවැටී සිටින්නට තැත් කරන්නාක් මෙන් වැලමිට සොලවයි. තමා එහි කුමක් නිසා සිටින්නේ දැයි තේරුම් ගැනීමට නොහැකි වූවකු මෙන් ද අන්දුන් කුන්දුන් වී හුස්ම හිර වූවකු මෙන් ද ඔහු මුව අයාගෙන බලා සිටියි.
"උන් ඔක්කෝම නැහැදිච්ච තක්කඩි !" යි නිලධාරියා විහිළු කරයි. "මට පේන්නේ උන් කතාවෙලා උඹෙි කරත්තේ හැපෙනවා. නැත්නම් අශ්වයා ඉදිරියේ බිම පෙරළෙන්නට හදනවා වගෙයි. ඉයෝනා නිලධාරියා දෙසට හැරී තොල් මතුරයි. ඔහුට කිසිවත් කීමට වුවමනා බව පැහැදිලි කරුණකි. එහෙත් ඔහුට පිට කළ
හැකි වූයේ සුසුමත් පමණි.
"මොනවා? "යි නිලධාරියා අසයි. ඉයෝනා විරිත්තමින් සිනාසී, අමාරුවෙන් රජ හඬකින් කතා කරයි.
"මගේ පුතා මේ සුමානේ මැරුණා"
ම්! මොනවා වෙලා ද මැරුණේ?" ඉයෝනා නිලධාරියා දෙසට මුළුමනින් ම හැරී කතා කරයි.
"අනේ කවුද දන්නේ සමහරු කියන්නේ සන්නිපාත උණෙයි කියලා.දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා... ඒත් මැරුණා. අපේ කරුමෙ තමයි."
බලාගෙන පලයන් යකෝ, යි අඳුරෙන් හඬ නැගෙයි. උඹ මැරිල ද බොල. නාකියෝ? පාර බලාගෙන පලයන්."
"යමු යමු" යි නිලධාරියා කියයි. "මෙහෙම ගියොත් අපට හෙටවත් යන්න වෙන්නේ නැහැ. ටිකක් ඉක්මන් කරපන්."
රියකරු නැවතත් ගෙල දික් කොට, කෙළින් වී ඉඳගනිමින්, නොකැමැත්තෙන් මෙන් කස ලෙළවයි. ඔහු කීපවරක් ම නිලධාරියා දෙස හැරී බලයි. එහෙත් ඇස් පියාගෙන සිටි නිලධාරියා තුළ කතාවට ඇනුම්කන් දීමට කැමැත්තක් නොතිබිණ. විබෝර්ග්හි දී නිලධාරියා රියෙන් බස්වා තැබෑරුම අසල රිය නවත්වා, ඔහු තමාගේ ආසනයේ උන්ඩි වී. නැවතත් නොසෙල්වී සිටියි. පැයක්... දෙකක්... ගත වෙයි. අඩිපාර ඔස්සේ තරුණයෝ තිදෙනෙක් රණ්ඩු වෙමින් හිම සපත්තු "ක්‍රීස්" යනුවෙන් අද්දාගෙන එති. ඔවුන්ගෙන් දෙදෙනකු උසයි. හීන්දෑරියි. අනෙකා මිටියි, කුදුයි.
"ඒයි. කරත්තේ, පොලිස් පාලමට!' යි
ගොරෝසු හඬකින් කුදා කෑ ගසයි. "අපි තුන්දෙනාට ම ග්‍රිවෙනික් දෙකක් දෙන්නම්!" ඉයෝනා තෝන්පට ගෙන තලු මරයි. ග්‍රිවෙනික් දෙක ගමනට නොසෑහේ. එහෙත් රුබලයක් වුවත් කොපෙක් පහක් වුවත් ඔහුට නම් වෙනසක් නැත. ඔහුගේ රියෙන් කිසිවකු යන්ට කැමති නම් දැන් ඔහුට කෝකත් එකයි. තරුණයෝ හරුප බස් කියමින්, එකිනෙකාගේ ඇඟේ හැපෙමින් හිම කරත්තය වෙත ගොස් තිදෙනා ම එක් වර ආසනයේ ඉඳගන්ට තැත් කරති. අනතුරුව. කවරකු ඉඳගත යුතු ද, කවරකු නැගිට සිටිය යුතු දැයි විවාදයක් පැන නගී. ඔවුන් එකිනෙකා බොහෝ වේලාවක් අඬදබර කර ගැනීමෙන් හා බැන ගැනීමෙන් පසු අන්තිමේ දී කුදා මිටි බැවින් නැගිට සිටිය යුතු බවත් අනෙක් දෙදෙනා ඉඳගත යුතු බවත් තීරණය වෙයි.
" දැන් ඉතින් ඉක්මන් කරපන්.' යි කුදා රියකරු අසල සිට ගනිමින් ඔහුගේ බෙල්ල දෙසට සුසුම් හෙළා, නහයෙන් කොඳුරයි. " නාකි රාළ, උඹේ තොප්පියේ හැටි මුළු පීටර්ස්බර්ග් නුවර ම නෑ ඔච්චර කබල් තොප්පියක් හොයා ගන්න..!
" ඉහි... ඉහි... ඉහි...." යි ඉයෝනා විරිත්තයි." මෙහෙම...
" උඹේ' මෙහෙම කතාව නවත්තලා ඉක්මන් කරපන්. උඹ ගමන එහෙම පිටින් ම යන්නේ මේ විදියට ද? ඈ මිනිහෝ ?........උඹට මොකුත් ඕනෑ වෙලා ද?"
"මගේ ඔළුව පැළෙන්න හදනවා ! " හීන්දෑරි තරුණයන්ගෙන් එකෙක් කියයි. "ඊයේ රෑ ඩොන්ක් මොසොෆ්ලයි ගෙදර දී. වස්කාත් මාත් බ්රැන්ඩි බෝතල් හතරක් ම හිස් කළා."
" මට තේරෙන්නේ නෑ උඹ මේ තරම් මොනවට බින්න ගහනව ද කියලා." යි අනෙක් හීන්දැරි එකා තරහෙන් කියයි. "උඹ තිරිසනෙක් වාගේ බොරු කියනවා. " දෙවියන් පල්ලා, මම කියන්නේ ඇත්ත. “
" ඒක යස ඇත්ත. ඉබ්බෙක් පියෑඹුවා වගෙයි "
ඉහි ඉහි " යි ඉයෝනා විරිත්තයි. "මෙහෙම සෙල්ලක්කාර මහත්තුරු."
" ශෂ්කට වහගෙන ඉන්න බැරි ද? " කුදා! කේන්තියෙන් අසයි.
" කරච්චලේ, ඉක්මනට යනව ද නැද්ද? ඔහොම ද මිනිහො දක්කන්නෙ ? ඔය කසය ටිකක් පාවිච්චි කරපන්. යමන් යකෝ, යමන්, ඕකට හොඳ හැටි දීපන්."
පිටිපසින් සිටි කුදා ඇඹරෙන සැටිත්, කතා කරන විට කට වෙව්ලන සැටිත්. ඉයෝනාට දැනෙයි. ඔහු තමා වෙත එල්ල කරන ලද අපහාසවලට ඇහුම්කන් දෙයි. මිනිසුන් දකියි. ටිකින් ටික ඔහුගේ හුදෙකලා ගතිය පහ වී යයි. කුදා නොනවත්වා ම කළ අවලාදය නැවතුණේ දිග සාපයක් කරන්ට ගොස් එය පටලවා ගැනීමෙන් හෝ කහින්ට ගොස් හුස්ම හිර වීමෙන් හෝ පමණි. හීන්දෑරි තරුණයෝ දෙදෙනා කිසියම් නජේඩා පෙට්‍රොව්නා නම් තරුණියක ගැන කතා කරන්ට වෙති. ඉයෝනා ඔවුන් දෙස කීප විටක් ම හැරී බලයි. ඔහු ඔවුන් මොහොතකට නිහඬ වන තුරු බලා සිට. නැවතත් ආපසු හැරී කොඳුරයි.
"මගේ පුතා... මළේ... මේ සුමානෙ."
"අපි කවුරුත් මැරෙනවා," යි
කැස්සකින් පෙළෙන්ට වී තොලකට පිසදමා සුසුම් හෙළයි. " ඉතින් ඉක්මන් කරපන්! මහත්තුරුනි! මට නම් තවත් මේ විදියට ඉන්න බැ. මේ මිනිහා අපි කෝයි වෙලාවක එක්ක යාවිද?"
" එහෙම නම් මිනිහගෙ බෙල්ලට පොඩ්ඩක් කුත්තු කරනවා!"
" ඒයි වධකයා, උඹට ඇහුණ ද, උඹේ බෙල්ල කඩනවා උඹට ඕනවට වැඩිය සලකන්න ගියොත් අපිට පයින් යන්නයි වෙන්නෙ "
ඉයෝනා වෙත එල්ල කරන ලද මේ පහරවල් ඔහුගේ සිතට වඩා කයට දැනෙයි. " ඉහි. ඉහි, " යි ඔහු සිනාසෙයි. මුන්නැහැලා සෙල්ලක්කාර තරුණ මහත්තුරු උන්නැහැලාට දෙයියන්ගේ පිහිටයි."
" ඈ මිනිහො උඹ කසාද බැඳල ද?" යි හීන්දෑරි එකෙක් අසයි.
" මම? ඉහි ඉහි, සෙල්ලක්කාර මහත්තුරුනේ මට දැන් ඇත්තේ මගේ ගෑනිත් තෙත පොළවත් විතරයි.... ඉහි ඉහි... ඒ කියන්නේ මගේ හෝම්පළයි. මගේ පුතා මැරුණා. මම තාම පණ පිටින්... එහෙම පුදුම දෙයක් මරුවට පාර වැදුණා. මා ළඟට එනවා වෙනුවට ඌ පුතා ළඟට ගියා..."
ඉයෝනා තම පුතා මැරුණ හැටි කීමට පිටුපසට හැරුණ නමුත් මේ වෙලාවේ දී ද කුදා සුසුමක් හෙළා, දෙයියන්ගේ පිහිටෙන්. යම්තම් අපි බලාපොරොත්තු තැනට ආවේ " යි දන්වයි. අඳුරේ අතුරුදන් ව යන ඔවුන් දෙස ඉයෝනා බලා සිටියි. නැවත වරක් නිසංසල භාවය හුදෙකලා වූ ඉයෝනා ගිල ගනියි. මොහොතකට යටපත් වී පැවති ඔහුගේ ශෝකය නැවතත් පැන නඟී. ඔහුගේ හදවත දැඩි වේගයෙන් පහරවයි. ඔහු උත්සුක මුහුණකින් වහා වටපිට බලා වීදියේ එහා මෙහා යන ජනයා අතර තමාට ඇහුම්කන් දීමට කැමති එක තැනැත්තකු වත් සිටී දැයි සොයයි. එහෙත් ජනයා ඔහු ගැනවත් ඔහුගේ දුක ගැනවත් කිසිදු තැකීමක් නැතිව ඉක්මන් කොට යති. එසේ වුවත් එය අනන්ත අප්‍රමාණ දුකකි. තමාගේ හදවත බිඳී, ශෝකය ගලා ගියොත්, එය ලෝකය පුරා පැතිරි යන්නට තරම් වන බව ඔහුට දැනෙයි. එහෙත් එය කිසිවෙක් නොදනිති. නොවැදගත් කුඩා සිප්පි කටුවක් තුළ සැඟවී සිටින්නට සමත් වූ බැවින් එය කිසිවකුට දවල් කාලයේ පහන් එළියකිනුදු නො පෙනෙයි.
ඉයෝනා හණ රෙදි වගයක් පොරවාගෙන සිටි ගෙවල් මුරකරුවකු දැක. ඔහු සමඟ කතා බහට සැරසෙයි.
"යාළුවා දැන් වෙලාව කීයට ඇද්ද?" යි ඔහු අසයි.
"නමය පහුවෙලා උඹ මොකද නැවතිලා ඉන්නෙ. පලයන් යන්න."
ඉයෝනා අඩි කීපයක් ඉදිරියට ගොස්, උණ්ඩි වී. ශෝකයට තමා ගිල ගන්නට ඉඩ හරියි. මිනිසුන්ගෙන් උපකාර බලාපොරොත්තු වීමෙන් පලක් නැති බව ඔහු දකියි. මිනිත්තු පහක් ගත වීමට පෙර කෙළින් වූ ඔහු හිසේ කැක්කුමක් ඇති වූවාක් මෙන් හිස ඔසවා ගනියි. අනතුරු ව ඔහු තෝන්පට ගස්වා අදියි. ඔහුට එය තවත් ඉවසිය නොහැකි ය. "ඉස්තාලය". යි ඔහු සිතයි. කුඩා අශ්වයා ඔහුගේ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙන් හෙමින් ඉදිරියට ගමන් කරයි.
පැය එකහමාරකට පමණ පසු, ඉයෝනා විශාල. අපිරිසුදු ගිනි උදුනක් අසල වැද හොවියි. ගිනි උදුන අසල බිමත්, බංකු උඩත් මිනිස්සු ගොරවමින් සිටිති. ඒ අවට ඝන, උණුසුම්, අපිරිසුදු වාතය නිසා හුස්ම ගැනීම පවා අපහසුයි. ඉයෝනා නිදන්නවුන් දෙස බලා, ඇඟ කසා ගනියි.
මෙපමණ වේලාසනින් ආපසු මෙතැනට
පැමිණීම ගැන ඔහු කනගාටු වෙයි.
" මට තාම කඩල මිලවත් හොයා ගන්න
බැරි වුණා. යි ඔහු සිතයි. " ඒක තමයි මට
වෙලා තියෙන්නෙ. මිනිහෙකුට තමන්ගේ රස්සාව හොඳට කරන්න පුළුවන් නම් නිදහසේ නිදන්ට පුළුවනි."
මුල්ලක වැතිරි සිටි තරුණ රියකරුවෙක්, මඳක් නැඟිට නිදිමතේ කාරමින් වතුර පනිට්ටුව දෙසට ඇදෙයි.
" උඹට වතුර බොන්න ඕනෑ ද?" යි ඉයෝනා ඕනෑකමින් අසයි. "නැත්නම් "
"හුම්. හොඳ සීතල වතුර නේද? මේ මල්ලී, උඹ දන්නවා ද? මගේ පුතා මැරිල දැන්... උඹට ඇහුණ ද? මේ සුමානෙ. ඉස්පිරිතාලෙ... ආ. ඒක දිග කතාවක්."
ඉයෝනා තමා පැවසූ වචනවලින් කුමන ප්‍රතිඵලයක් ඇති වූයේ දැයි දැන ගැනීමට තරුණයා දෙස බලයි. එහෙත් ඉන් කිසිම පලක් නැති බව ඔහු දකියි. තරුණයා මුහුණ වසාගෙන. නැවතත් තද නින්දෙන් පසුවෙයි. මහල්ලා සුසුම් හෙළා හිස කසයි. තරුණයා වතුර බීම සඳහා යම් පිපාසයකින් පෙළුණේ ද, මහල්ලා කතා කිරීම සඳහා එබඳුම පිපාසයකින් පෙළෙයි. ඔහුගේ පුතා මැරි සුමානයක් පිරෙන්ටත් යයි. එහෙත් ඒ ගැන කිසිවකු සමඟ නිවී හැනහිලේ කතා කරන්ට ඔහුට අවස්ථාවක් නො ලැබිණ. ඔහුගේ පුතා රෝගී වූ හැටිත්, ඔහු දුක් වින්ද හැටිත්, ඔහු මැරෙන්ට පෙර කී දේත්, ඔහු මැරුණ හැටිත් විස්තර සහිත ව හීන්සැරේ. සාවධාන ව කිව යුතු ය. භුමදානය පිළිබඳ සියලු විස්තරත්, ගිය ගමනත් දක්වා ලිවිය යුතු ය. ඔහුගේ ඇනීෂියා නම් දියණිය ගමේ නැවතුණු හැටි, ඈ ගැනත් කතා කළ යුතු ය. ඔහුට කියන්ට මොකුත් ම නැද්ද? යි නිසැකයෙන්ම තමාගේ කතාව අසා සිටින්නා ශෝකයෙන් මුව අයාගෙන සිටින්ටත්, සුසුම් හෙළන්ටත්. අනුකම්පාව පළ කරන්ටත් වේවි. ගෑනුන් සමඟ ඒ ගැන කතා කළොත් වඩාත් හොඳයි. උන් මෝඩයන් වුණත් වචන දෙක කියන විට කදුළු හෙලාවි. " ගිහින් මගේ අශ්වයා බලන්ට ඕනෑ." යි ඉයෝනා සිතයි." නිදා ගැනීමට ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.
ඔහු කබාය ලාගෙන. අශ්වයා සිටින ඉස්තාලයට යයි. ඔහු කඩල, පිදුරු හා කාලගුණය ගැන සිතයි. ඔහු තනි වූ විට පුතා ගැන සිතීමට තරම් ශක්තියක් ඔහු තුළ නොවෙයි. ඔහු ගැන ඕනෑ ම කෙනකු සමඟ ඔහුට කතා කරන්ට පුළුවනි. එහෙත් ඔහු ගැන සිතා ඔහුගේ රූපය සිතෙහි මවා ගැනීම නම් ඔහුට දැරිය නොහැකි වේදනාවකි.
ඈ බොල, උඹ බඩ පුරවා ගන්නවා දැයි ඉයෝනා ඔහුගේ අශ්වයාගේ දීප්තිමත් නෙත් යුවළ දෙස බලා අසයි. කමක් නෑ. බඩ පුරවා ගනින්, කඩල ගැනීමට තරම් මුදලක් හොයාගන්ට බැරි වුණත් අපට ඕනෑ තරම් පිදුරු තියෙනව නේද? හැබෑට, මම දැන් කරත්ත දක්කන්න නාකි වැඩියි. මගේ පුතාට නම් පුළුවන්. මට බෑ. එයා නම් කියාපු කරත්තකාරයා. ආ එයා ජීවත් ව හිටියා නම් ඉයෝනා මොහොතක් නිහඬව සිට නැවතත් කියයි.
එහෙම තමයි. ඕවා වෙන්නෙ. නේද?
බොල. දැන් ඉතින් කුෂ්මා ඉයෝනිව් ඉවරයි.එයා අපට ජීවත් වෙන්ට ඉඩහැරලා ගියා.එයා නම් ඩොක් ගාලා කම්මුතු වුණා.
හිතපන්. ඔන්න උඹට පොඩි පැටියෙක් හිටියා, ඒ පැටියාගේ අම්මා උඹයි. ඌ හිටි
හැටියෙ උඹව තනි කරලා
ගියා. ඒක දුකයි. නොවෙද බොල ? "
කුඩා අශ්වයා පිදුරු හපයි. ඇහුම්කන් දෙයි.හාම්පුතා දෙසට හුස්ම හෙළයි.ඉයෝනා තුළ ඇත්තේ උසුලා ගත නොහැකි ශෝකයකි. ඔහු කුඩා අශ්වයාට මුළුකතාව ම කියයි.
පරිවර්තනය - අමරදාස වීරසිංහ
ඒ ශිත සෘතුවේදී අත්හදා නොබැලූ කුමන ආකාරයක හෝ රැකියාවක් නොමැත යන අදහස ඇතිව ගීත ගායනා කළ මගේ මිතුරකු සමග ගිටාරය වයමින් ආපන ශාලාවල ඇවිදීමට පටන් ගත්තෙමි.
මං වැඩට යන්නෙ කළුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලේ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච
’’ මගේ හබියා ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් දහයම මට ගෙනත් දුන්නා. අපේ ඇඳ ගාව මේ බලන්ඩකො.’’
ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්
මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද
සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැලපීම