IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිනිස් වටය

 

ගොඩබිමටත් මුහුදටත්, අහසටත් එකවර ඇසෙන තරම් හයියෙන් නැගුණු ඒ හඬ ශ්‍රී පල්ලි තොටුපළේ අබලන් ධීවර යාත්‍රාවල භූ දෝංකාර දුන්නේ ය.

ඉරිදා භවස බැවින් වැඩ නැති තොටුපොළත්, මාළු වෙළෙඳ පොළත්, සුඛසිංහ යුගයේ ධීවර සමූපකාරයත් නිහඬව පසු වෙයි. වතුරේ මළ බැඳි දිරා යන ලොකු බෝට්ටුවක කුඹයේ ලැග සිටි කේරළ මුහුදු උකුස්සෙක් ඒ මිනිස් හඬින් කලබල වී වඩදිය කලඹන මෝය කට උඩින් ඉඟිලි ගියේය.

හිත හොඳකම නිසා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු වැඩකර දුවන අතරවාරයේ දී මෙයාකාරයෙන් මුළු ලොවට ඇසෙන ලෙස පාච්චල් කිරීම ලයියාට වේදනාවකි. ඔහු මේ දිව යන්නේ නැංගුරූ ගැලවුණු තෙරේසා මල්කාන්ති බෝට්ටුව මුහුද දෙසට පාවී යහ බව එහි අයිතිකාරයන්ට කියන්නටය.

තෙරේසා බෝට්ටුව මුහුදට ඇදී යන්නේ ශ්‍රී පල්ලි ගැරේජ් තොටුපළ සමඟ අමනාපයක් ඇ ති කර ගත් අයුරිනි. තමාට අයිති නැතත් එය ඈත නන්නාඳුනන මුහුදක අතරමංවනු දැකීම ඔහුට වේදනාවකි. සමහර විට එය ඈත රටකට පාවී යනු ඇත. ගලින් නෙළන ලද විශාල මිනිස් ඔළු ගෙඩි ඇති පාස්කු දූපත ඔහුට සිහිපත් විය. බැස යන හිරු එළිය ජලය මත වැටී පරාවර්තනය වූයේ එය යා යුතු මඟ ඈත දියඹ මැදින් වැටී ඇති අයුරිනි.

තෙරේසා මල්කාන්ති බෝට්ටුවේ අයිතිකාරයන් සිටින්නේ ලාසරුස් පල්ලිය සහ ප්‍රාථමික පාසල අතර පිහිටි සර්පින් ගෙදර ය. කාලාන්තරයක් මුළුල්ලේ පල්ලියේ සර්පිනාව භාරව සිටින මේ ගෙදර ඇත්තන් කාලය ගත කළේ ධීවරයන් සමග සම්බන්ධයක් නැති අයුරිනි. ඒ නිවසින් බිහි වන්නේ එක්කෝ ගුරුවර ගුරුවරියන් ය. එසේ නැති නම් පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ය. තෙරේසා බෝට්ටුව ඔවුන්ට ඉතාලි රටෙන් ලැබුණු ත්‍යාගයකි.

ලැයියා මේ ගෙදර තරුණියකට දිවි හිමියෙන් ආදරය කළේ අහසේ රැඳුණු තරුවකට ගල් ගසන මෝඩයකු ලෙසිනි.කවදාවත් සඵල නොවන ආදරයක් වූ එය ලැයියාගේ හදවත හා පෙණහලු පසාරු කළ අවියක් හා සමාන විය. වාසනාවකට මෙන් ඔහු සෑම ඉරිදාවකම තෙරේසාගේ රුව දැක ගත්තේ ය. ඇය ඔහුට ඇවිදින ප්‍රතිමාවක් විය. තෙරේසා ඉතාලි ගිය පසු ඔහු මුහුදු වෙරළ දිගේ ගීතිකා කියමින් දකුණේ දෙවුන්දර තුඩුව දක්වා ගමන් කළේය. හය මසකට පසු ආපසු ගමට පැමිණෙන විට ඔහු කිසිවකින් පසු නො බසින අපරාජිත මිනිසෙයි.

උපහාස අපහාස රාවය යළිත් තොටුපළ පුරා පැතිර ගියේ ය.

"සතයෝ

ලැයියා සිය ගණන් ලොකු කුඩා බෝට්ටු නතර කළ තොටුපළ දෙස තරගින් බැලුවේ ය. කෑ ගසා ඇන්ජින් කාමරයට රිංගා ගත් එකා නැපෝලියන් බවත්, ඌ සමඟ සිටින අනෙකා වැඩ්ඩා බවත් ලැයියා දුටුවේ ය. ප්‍රමාද වන මොහොතක් මොහොතක් පාසා බෝට්ටුව මුහුදට ගසාගෙන යන බව සිහිපත් කළ ඔහු ගල්වැටිය පසු කර හුණු ගල් පාරට වැටුණේ ය.

දවසේ අන්තිම හිරු රැස් අල්පය කඩොල් කැලෑව මුදුනේ පැටැලිණ. කුඩා කුරුල්ලෝ සැඳෑ අඳුරේ සැඟවුණෝ ය. මුහුද ආසන්නයේ පිහිටි සුදු හුණු හා පිරියම් කළ විශාල සමර බිත්ති සහිත සාන්ත මොනිකා මඩමේ මල්වල සුවඳ සුළඟේ රැඳී තිබිණ. කන්‍යා සොහොයුරියන් මහ රෑ මුහුදේ ගල්පර අතර දෙබුක්කාවල සැඟවී නානතොට ඔහුට මතක් විය.

ඔහු විශාල ගල්පර රැසක් පසු කළේ ය. කලපුවේ කට්ටු දැල් කාරයින්ගේ ලන්තැරුම් ඈතින් දිස් විය. මුහුදට කලින් කලපුවට අඳුර ගලා ඒම ලෝක ස්වභාවය සහ දෙවියන්ගේ ලෝක නිර්මාණයේ ස්වභාවය විය. රණවිරු බෙනඩික් ප්‍රනාන්දු ප්‍රතිමාව පසු කරත් දී පාසල් කාලය ඔහුගේ සිතේ ඇඳුණේය. අලිමංකඩ දී අතුරුදන් වුණු බෙනඩික් ඔහුගේ පාසල් මිතුරෙකි. සමුපකාර බිල්ඩිමේ වහලේ සෙලවෙන ඉරුණු ජාතික කොඩියේ සිංහයා දිව එන ප්‍රාණවත් රූපයක් සේ ඔහු තුළ වීර හැඟීමක් ජනිත කළේ ය . ගල්පර අතර කැළතෙන මුහුද, වඩදිය බාදිය අනුව උදේ හවා වෙනස් වන කළපුව, මීට අවුරුදු එකසිය පණහකට පෙර වෙරළට පල්ලිය පොසත්තනි කරන කන්‍යා සොහොයුරියන්ගේ ⁣මොනිකා මඩම අසල ගුරුතුමා වහලේ මහ පරාලේ දෑකැත්ත සහ මිටිය ලකුණ යෙදු පසු අභාවයට ගොස් ප්‍රාථමිකයට සීමාවුණු පාසල සහ මුනිරු දෙදෙනකුට කැප කළ තොටුපළ සහිත ගම ලැයියාට කවදත් පෙනෙන්නේ පැණි පිරුණු උක් කැලෑවක් ලෙසිනි. ස්ථිර රස්සාවක් නොකළ ලැයියා සිතුණු සිතුණු පරිදි ඉන් උක් මිරිකා යුෂ ගත්තේය.

ගමේ සිටින විට ඔහු මාළු වෙන්දේසියට හවුල් විය. අහේනිය දැනුණු විට පාලමේ බිලී බෑවේ ය. දිග සර්පයන් වැනි ආඳාවන් ඇල්ලීමේ අත්ගුණය ඔහුට තිබේ. පල්ලියේ කානික්ක හෙවත් පිංකාසි සොරකම් කළ අවස්ථා ද තිබිණ. සතයා නම පටබඳින ලද්දේ බෝට්ටු වැඩපළේ මැකැනික්ලා විසිනි. සුළං රැලිවල අනුභාවය මත යැපුණු ඔරු තෙප්පම් ආදිය මෝටර් බෝට්ටු නිසා අභාවයට යමින් තිබුණත් තෙප්පම් ධීවරයෝ කිහිප දෙනෙක් ගමේ සිටියහ. ලැයියා තෙප්පම් වැඩපළේ අත් උදව්කාරයෙක් විය. තෙප්පම් තනන විට තඹ සත පහේ දහයේ කාසි තබා ඇණ ගැසීම සම්ප්‍රදායකි. එක තෙප්පමකට තඹ කාසි සිය ගණනක් වුවමනා විය. ලැයියා කඩ ගානේ රස්තියාදු වෙමින් තඹ කාසි එකතු කළේ ය. තඹ කාසි දුර්ලභ නිසා සෑම සිල්ලර කාසියකටම රුපියල් පහක මුදලක් ලැයියාට ලැබුණේය.

තෙරේසා පිළිබඳව ආදර සිතක් පහළවීම ලොතරැයි දිනුමක් ලැබීම වැනි වාසනාවක් බව ලැයියා කල්පනා කළේ ය. කවුරුත් වුව ඒ ගැන විමසන විට ඔහු සතුටු විය. අහසේ පායන කෝටි ගණන් තාරකා යට තමා ද තාරකාවක් වුණු බව ඔහුට සිතිණ. සර්පිනා ගෙදර ලජ්ජාවට පත් කරමින් තෙරේසා බඩදරු වූ පසු ද ඔහුගේ තාරකාව නොනිවී දැල්විණ. සර්පිනා ගෙදර එළිපත්ත පාගා තෙරේසා අමාරුවේ දැමූ පිරිමියා තමා නොවීම ගැන ලැයියා දෙවියන් ඉදිරියේ සතුටු විය.

ඔහු බෝට්ටුවේ පණිවුඩය කියන්නට සර්පිනා ගෙදරට දිව ගෙන එන විට තෙරේසා ඉතාලියට ගොස් පස් අවුරුද්දකි. එහි පැමිණි ඔහු ලෑලි ගේට්ටුවට ඉහළින් පෙනෙන සොල්දරය දෙස බැලුවේ ය.

එහි සැඳැල්ලේ රැඳි තෙරේසා පොතපත කියවන සැටිත්, ඕගන් නාදය උඩුමහලින් නිකුත්වන සැටිත් ලැයියාට සිහිපත් විය. ආරූඪ කර ගත් මහන්තත්තකම තවමත් එහි රැඳී තිබුණි. සර්පිනා ගෙදර ලජ්ජාවට පත් කළ ප්‍රේම පලහිලව්වක්වත් නැතිව තෙරේසා හිටි හැටියේ බඩදරු වීම ප්‍රාතිහාර්යක් බව ඔහුට එවේලෙහි සිතිණි. ගේට්ටුවට ඉබියතුරු දමා ඇති බවත්, සර්පිනා ගෙදර කිසිවකු නැති බවත් ලැයියා දුටුවේ ය. එය ටික කලකට පෙර අත්හැර දමන ලද නිවසක් වැනි ය. හාත්පස ගහකොළ පවා වියැළි යමින් තිබිණ. සර්පිනා ගෙදර සිදුවුණු සියල්ල ගැන ඔහු තුළ කනගාටුවක් ඇති විය. ඔහු අඬ අඬා ආපසු දිව ගියේ තෙරේසා බෝට්ටුව සොයා ගෙනැවිත් තොටුපළේ ගැට ගසන අදහසිනි.

තෙප්පමක් සහ හබලක් සොයා ගෙන මුහුදට ගිය ඔහු බොහෝ දුර පාවී ගොස් තිබුණු තෙරේසා බෝට්ටුව කඹයකින් ඇද ගෙන තොටුපළට රැගෙන එන විට අඳුර වැටී තිබිණ. ඔහු උඩුබැලිව බෝට්ටුවේ වැතිරෙන විට දහස් ගණන් තාරකා අහසේ දිලිසුණේ ය. ඔහුට බෝට්ටුවේ පහස දැනුණේ ඇඟේ නූල් පොටක්වත් නැති ගැහැනියක ලෙසිනි. ඔහු ඒ රැය බෝට්ටුවේ ගත කර අලුයම අවදි විය.

තොටුපළින් පිටත් වීමට සුදානම් වන ට්‍රෝලරයක හඬ ඔහුට ඇසුණේ අමනුස්ස හඬ ලෑමක් ලෙසිනි. ගමේ සිටින්නේ ලේ නෑකම් ඇති උදවිය වුවත් ඒ කිසිවකු තුළ තමා ගැන කරුණාවක් නැතැයි ඔහුට සිතිණ. ගමෙන් බොහෝ දුර ගොස් තේ කඩයක හෝ හේනක කැලෑවක හෝ නතර වීමේ වුවමනාව ඔහු තුළ ඇති විය. එවේලෙහි ඔහු තුළ ගම ගැන ඇතිවුණු අප්‍රසාදය අසීමිත එකකි. පහත් ගති ගුණ හොරමැරකම් නඩුහබ යනාදියෙන් ගම පිරි ඇත. කාම රෝග සහිත මිනිස්සු හා අවජාතක ළමෝ ගමේ සිටිති. මන්දිරයක් වැනි තුන් මහල් නිවෙස මයිකල් බාප්පා ඉදි කළේ කුඩු සල්ලිවලිනි. නගර සභිකයකු වුණු පණ්ඩි රුබේරු අද කෝටිපතියෙකි.

මුහුද සහ ගොඩබිම අතර ඇති වුණු මහා භාරත යුද්ධය වැනි සටනකින් ගොඩබිම පැරදී විනාශ මුඛයට ගියා වැනි හැඟීමක ඔහුගේ සිතට පිවිසියේ ය. අහසේ රැඳී තිබුණේ දුබල එළියක් විහිද වූ මාළු කුණක් වැනි හඳ පාළුවකි. දිග වරලසකින් යුතු තෙරේසිගේ පියකරු ශරීරය සහ කිරිගරුඬ දේවමාතා ප්‍රතිමාවක් වැනි සිරුර ඔහුට මතක් විය. එය සොරුන්ට, වංචාකාරයන්ට අඹුවන් වූ අම්මණ්ඩිලාගේ සිරුරු මෙන් අප්පිරියා සහගත නැත. තෙරේසාට අවජාතක දරුවකු ලැබුණු බව ලැයියාට එවේලේ අමතක විය.

වටයක් සැදීමට තැත් කරන අයුරින් එහා මෙහා වන මිනිසුන් පිරිසක් ඈත වෙරළේ සිටින බව ඔහු දුටුවේ ය. තවත් ළං වී බැලු විට ඒ පිරිස ජැන්ඩියට ඇඳ පැළඳ සිටින බවද ඔහු දුටුවේ ය. බියෙන් සහ කුතුහලයෙන් යුතුව ලැයියා ඔවුන් වෙත ළං විය.ඔවුන් කොටි ත්‍රස්තවාදීන් විය හැකි යැයි ඔහුට සිතිණ.

එනමුත් ඔවුන් අතර එක් අමුත්තකු හෝ නැති බවත්, සියල්ලත් උදේ භවා දකින ධීවරයන් බවත් ලැයියා දුටුවේ ය. ටයි කෝට් ඇඳ සිටීම නිසා ඔවුන් සතු වුයේ සම්පුර්ණයෙන් වෙනස් පෙනුමකි. මුනිශ්චරී බෝට්ටුවේ ලෝරන්ස් අයියාගේ පෙනුම ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයාගේ පෙනුමට සමාන විය. මාෂල් අයියා අනුර බණ්ඩාරනායක මහත්තයා මෙන් බෙල්ලේ මප්ලරයක් ගැට ගසා ගෙන හරි කෙළින් මුහුද දෙස බලා සිටියේ ය. කිළිටු සරොම් කඩමාලු සහ තල්කොළ තොප්පිවලින් සැරසී සිටින්නට පුරුදු වුණු තම හිතවතුන් එලෙස පාන්දර ජාමේ වෙස් මාරු කරගෙන සිටීම ලැයියාට ප්‍රහේළිකාවක් විය. ඔහු මිනිස් වටය මැදට පැන කැරකි කැරකී තම මිතුරන් සහ ඥාතීන් දෙස බැලුවේය.

" උඹලා ටවුමේ මැක්ඛුල් රෙදි සාප්පුව බින්ද නේද? උඹලා සේරම පල්හොරු. " ‌ලැයියා දෙනෙත අදහාගත නොහැකිව කීවේ ය.

කෝට් බෑයක් සහ ට්‍රන්ක පෙට්ටියක් එල්ලා ගත් තවකෙක් මිනිස් වටයට එකතු විය. දැන් පිරිස දහඅට දෙනෙකි.

" අපි ඉතාලි යනවා . උඹ කාටවත් එහෙම කියන්න එපා.අපි එනකන් අපේ ගෙවල් දොරවල් බලාගෙන හිටපන්. ' මාකස් පීරිස් සුදු ලේන්සුවක් සහිත තම අත ලැයියාගේ උරපත මත තබමින් කීවේ ය.

පීරිස් මලයාගේ දෙඇස කඳුළින් පිරි ඇති බව ලැයියා සඳ එළිය නිසා දුටුවේ ය. ඔවුන් කාගේත් ජීවිත ගැන ලැයියා තුළ ඇති වුණේ බියකි. ඒ අනතුරුදායක ගමන නතර කළ යුතු බව ඔහු කල්පනා කළේ ය.

බෑ. මං උඹලා එකෙකුටවත් ඔය භයානක ගමන යන්න දෙන්නෙ නැහැ. මං ෂෙල්ටන් රාළහාමිට කියල උඹලව ලකප් කරනවා. ලැයියා වැල්ලෙන් වැලි මිටක් අතට ගෙන තර්ජනය කරමින් කීවේ ය.

ටවුමේ ගැවසෙන මුස්ලිම් තරුණයකු ද පිරිස අතර සිටින බව ලැයියා දුටුවේ ය. ඔහු වැලි මීටෙන් මුස්ලිම්කාරයාට ගැසුවේ ය.

" අයියා මං යන්නෙ මක්කම. ඔහු බිය පත්ව පැවසුවේ ය. අනිත් උන් යන්නෙ රෝමෙ පාපුන්නාන්සේ බලන්න ද? ලැයියා උඩ බලා අහසේ කුරුසිය ලකුණ ඇන්දේය.

විශාල මුහුදු උකුස්සෙක් ඔවුන්ගේ හිසට ඉහළින් ඉගිළ ගියේය. අලුයම් අහසේ වලාකුළු බියජනක පෙනුමකින් දර්ශනය විය. රාත්‍රියේ රැකවරණය ඔවුන්ට අහිමි වී යමින් තිබිණ.

" පිස්සු නටන්න එපා.ටීවී රෙපයාර් කරන අශෝක් පැවසුවේ ලැයියාට අනතුරක් සිදු කරන තරමේ කෝපයකිනි.

ලැයියා නැවතත් එහාමෙහා වුණු මිනිස් වටයට මැදි විය. එය ඔහුට බිඳ හෙළිය නොහැකි සවිමත් පවුරකි. කිසිවෙක් ඔහුගේ බෙල්ලෙන් අල්ලා මිරිකා ගෙන සිටියේ ය. තවකෙක් ඔහුගේ පෙකනිය මිරිකුවේ ය. ඊළඟට අත්පිහියක් හෝ කෙටේරියක් හෝ මතු වීමට නියමිත විය. තමා ඥාතියකු හෝ යහළුවකු හෝ අතින් මිය යෑමට ආසන්න බව ලැයියාට කල්පනා විය.

ඒ සමඟ සුරදූතයකු අහසින් මතුවුණු අයුරින් කරුණාවන්ත හඬක් ශ්‍රවණය විය.

සතයා.... මේ අහපන්. සල්ලි එපා උඹත් වරෙන් අපිත් එක්ක යන්න, ඔය ජංගි කොටේ ගලවල මේ වස්තරේ ඇඳ ගනිං. ඉක්මන් කරපන්. වෙලා ගිහින් තියෙන්නෙ. අපිට නැව මිස් වෙයි."

එසේ කියමින් ජොනී බට්ටා ලැයියාට ටුව්ඩ් දිග කලිසමක් දුන්නේය.

මට බෑ. ඕක භයානක ගමනක්. උඹලා සුවස් ඇළේ ගිලිලා මැරෙනවා...... පාරාවෝ රජ්ජුරුවන්ගෙන් බේරුණත් උඹලට මුසලෝනියා වෙඩි තියෙනවා. අනේ රජෝ උඹලා යන්න එපා. උඹලට මුදු රස්සාව තියෙනවා. උඹලට ඔරු පාරු තියෙනවා. ගෙදර ගැනු ඉන්නවා. ළමයි ඉස්කෝලෙ යනවා... උඹලා හාම..තේ.. වතුරේ "

ලැයියා විකාරෙන් දොඩවත් දී එකෙක් ඔහුගේ ජංගි කොටය උඩින් කලිසම අන්දවා, අත් නැති බැනියං කබල උඩින් දමා කබාය ඇන්දවී ය. සුළු මොහොතකින් ඔහු කඩවසම් තරුණයකු බවට පත් විය. බාබර් අතකින් ඔහුගේ මුහුණේ සැන් පවුඩර් ද හිසකේ මත වෙස්ලින් ද තවරනු ලැබිණ. ඒ බාබර් අත මුස්ලිම් තරුණයාගේ බව ලැයියා දුටුවේ ය. දෙපයට දැමු අලුත් බාටා සපත්තු ජෝඩුව සඳ එළිය වැටී දිලිසුණේ ය.

" යමු. අපි යමු... තෙරේසා ඉන්නේ ඉතාලියේ. ඒකී එහේ රෙස්ටුරන්ට් එකක් කරනවා." ලයියාගේ ඥාති සොහොයුරෙකු වූ ජැක්සන් කීවේ ය.

ගමට වඩා හොඳ පරිසරයක දී, ඉතාලිකාරයන් මැද තමාට තෙරේසා හමුවනු ඇති බවත්, මේ පෙනුමෙන් සිටින තමාට ඇය කැමති වනු ඇති බවත් ලැයියාට සිතිණ.

"යමු"



අදහස් (0)

මිනිස් වටය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site