IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඡන්ද ප්‍රතිඵල ගනිද්දී බැසිල්ගේ කාර්යාලයේ මෙහෙයුම

ජනාධිපතිවරණය පැවැති දින රාත්‍රියෙ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයෙ වෙනමම මෙහෙයුම් කාර්යාලයක් ක්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. රටපුරා පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි පොහොට්ටුවේ නියෝජිතයන් නිල නොවන මට්ටමින් ලැබෙන ප්‍රතිඵල නෙළුම් මාවතේ කාර්යාලයට එවීමේ වැඩ පිළිවෙළක් සූදානම් කර තිබිණි. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා රෑ එළිවන තෙක්ම නෙළුම් මාවත කාර්යාලයේ රැඳී සිටිමින් ඒ ලැබෙන තොරතුරු එක් රැස් කළේ ජයග්‍රහණය පිළිබඳ ස්ථිර අධිෂ්ඨානයෙනි. අනුර යාපා, ලක්ෂ්මන් යාපා, නිමල් ලාන්සා යන මන්ත්‍රිවරුන් වගේම නාලක ගොඩහේවා චරිත හේරත් ඇතුළු පිරිසක්ද ඒ සඳහා සහාය වෙමින් නෙළුම් මාවත කාර්යාලයේ රැඳී සිටියහ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලය, රාත්‍රි 2.00 පමණ වෙද්දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණද බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නොනිල මට්ටමින් නෙළුම් මාවත කාර්යාලයට ලැබෙමින් තිබිණි.


මුලින්ම ලැබෙමින් තිබුණු උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද ප්‍රතිඵලය. මැතිවරණ කාර්යාලය එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ප්‍රතිඵල නිල නොවන මට්ටමින් ලැබෙමින් තිබුණේ ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි නියෝජිතයන් ඡන්ද ගණන් පිළිබඳ තොරතුරු වරින් වර ලබාදී තිබූ බැවිනි. උතුරු හා නැගෙනහිර පළාත්වලින් ලැබුණ තොරතුරු අනුව ගෝඨාභයට තිබුණේ අවාසි සහගත තත්ත්වයකි. යාපනයෙ ඇතැම් ආසන ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාය. ඇතැම් ආසනවල සජිත්ට ඡණ්ද අසූ දාහ අනූ දාහ වශයෙන් ලැබෙද්දි ගෝඨාභයට ලැබුණේ ඡන්ද තුන් හාර දහසකි. උතුරු හා නැගෙනහිර ඡන්ද ප්‍රමාණයන් ගත් විට ගෝඨාභයට වඩා වැඩි ඡන්ද ලක්ෂ දහයකින් දොළහකින් සජිත් ඉදිරියෙන් සිටියේය. ගැටලුව වූයේ ඒ ලැබෙන වැඩි ඡන්ද ප්‍රමාණය දකුණේ දිස්ත්‍රික්කවලින් පොහොට්ටුවට ලැබෙන ඡන්දවලින් සමබර කර ගන්නේ කෙසේද යන්න ගැනය. බැසිල්ද ඒ හේතුවෙන් සිටියෙ තරමක කලබලයෙනි.


ඒ අතර සිංහල බහුතරය සිටින දකුණෙ දිස්ත්‍රික්කවල ප්‍රතිඵලය ගෝඨාභයට වාසිදායක බව එන ප්‍රතිඵලවලින් පෙනෙන්නට තිබිණි. පිට පළාත්වලින් ලැබෙන තොරතුරුද ලබාගෙන ගණන් හිලව් හදමින් බැසිල් ඒ ගැන ගෝඨාභයත් මහින්දත් වරින් වර දැනුවත් කළේ ජයග්‍රහණයේ පෙර ලකුණ පහළ වෙමින් තිබෙන බව කියමිනි. ගෝඨාභය ඡන්ද ප්‍රතිඵල අසමින් සිටියේ මිරිහානේ පිහිටි සිය නිවසේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බන්තොටට වී ඡන්ද ප්‍රතිඵලවලට සවන් දෙමින් සිටියේය. අලුයම 3.30 පමණ වෙද්දි ගෝඨාභය, සජිත්ට වඩා ඡන්ද ලක්ෂ 10 කට වැඩි ගණනකින් ඉදිරියෙන් සිටින බව බැසිල්ට පැහැදිලි විය. ඔහු ගෝඨාටත් මහින්දටත්, දුරකථනයෙන් කතා කර දැනුම් දුන්නේ ගෝඨාභය ජයග්‍රහණය කර ඇති බව පැහැදිලි කරමිනි.


ඒ සමගම ඔහු අසල සිටි ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රිවරයාට කතා කළේය. හෝටලයකට උදේ ආහාරය ඇනවුම්කර වහාම ගෙන්වන්නැයි බැසිල් ඔහුට උපදෙස් දුන්නේය. එවෙලේ නෙළුම් මාවත කාර්යාලයෙ සිටි සියලු දෙනාටම උදේ ආහාරය වහා සූදානම් කෙරිණි.


ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් නොකෙරුවද ඉරිද‌ා අලුයම තුන පමණ වන විට දැනගන්නට ලැබුණේ ​පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බවය. නෙළුම් මාවත කාර්යාලයේ බැසිල්ගේ මූලිකත්වයෙන් පැවැති තොරතුරු එක්රැස් කිරීමේ ඒකකයට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල නියෝජිතයන්ගෙන් ලැබුණ ගණන් හිලව්වලින්ද එය තහවුරු වී තිබිණි. ගෝඨාභය ජයග්‍රහණය කර ඇති බව දැනගත් බොහෝදෙනා ඔහුට සුබ පතන්නට වූහ. මේ අතර බොහෝ දෙනෙක් මිරිහානේ පිහිටි නිවසටද ගොස් ගෝඨා හමුවී සුබ පැතූහ. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පැවැති ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද අලුයම වෙද්දී මිරිහානට ගොස් ගෝඨාභය හමුවී සුබපැතුවේ ජයග්‍රහණයේ සතුට බෙද‌ා ගනිමිනි.  


ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමග පිරිස උදේ වන විට සාකච්ඡා කරමින් සිටියේ ගෝඨාභයගේ දිවුරුම් දීම ගැනය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨා සහ බැසිලුත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයනුත් ඒ ගැන වරින් වර සාකච්ඡා කළේ එය පසුදිනම කළ යුතු බව කියමිනි. ගෝඨාභයගේ යෝජනාව වූයේ දිවුරුම් දීම අනුරාධපුරයේ කළ යුතු බවය. මහින්දත්, බැසිල් මෙන්ම, ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයනුත් එය අනුමත කළේ ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ අනුරාධපුරයෙන් බැවින් දිවුරුම් දීමද එහිදීම කිරීම වඩාත් සුදුසු බව කියමිනි. දිවුරුම් දෙන ස්ථානය කුමක්ද යන්න ඊළඟ ගැටලුව විය. බොහෝ දෙනා කීවේ රුවන්වැලි සෑය අබියස එය සිදුකිරීම වඩාත් සුදුසු බවය. ඒ අනුව උදේ 10.00 ට පමණ බැසිල් රාජපක්ෂ අනුරාධපුරයේ එස්.එම්. චන්ද්‍රසේනට ඇමතුමක් දෙමින් කීවේ ගෝඨාභය දිවුරුම් දීම අනුරාධපුර රුවන්වැලි සෑය අබියස සිදුවන බැවින්, අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හෙට උදේ රුවන්වැලි සෑ මළුවේදී දිවුරුම් දෙන්න තීරණය කරල තියෙනවා. තව පැය 24 ක්වත් නැහැ. ඔයා දැන්ම ගිහින්, රුවන්වැලි සැයේ නායක හාමුදුරුවෝ බැහැදැකල මේ ගැන කියා උන්වහන්සේගේ අවසරය ගන්න. ඒක අරගෙන ඉක්මනින්ම මට දැනුම් දෙන්න. බැසිල් කීවේය.  


ඇමතුම ලැබීමත් සමග එස්.එම්. රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ට ඇමතුමක් ගෙන මේ ගැන දන්වා සිටියේය. එ්ක ඉතාම හොඳ දෙයක්. අපි ආශිර්වාද කරනවා හේමරතන නාහිමියෝ කියාසිටියහ. හේමරතන නාහිමියන්ගේ අනුමැතිය ලැබුණ බව එස්.එම්. වහාම බැසිල්ට දැන්වීය. ඒ අනුව බැසිල් කීවේ මම දැන් මෙහෙනුත් කට්ටියක් එවන්නම් ඔයා ඉක්මනට ගිහින් දිවුරුම් දීමේ කටයුතු ටික ලෑස්ති කරන්න යනුවෙනි. ඒ සමගම බැසිල් අනුරාධපුරයේ දුමින්ද දිසානායකටද කතාකර ඒ ගැන දන්වා ඊට සම්බන්ධ වන්නැයි කීවේය.  


ඒ අනුව එස්.එම්. චන්ද්‍රසේනත්, එස්.එම්. රංජිත් හා කොළඹින් ආ පිරිසත් රෑ එළිවනතුරුම රුවන්වැලි සෑ බිමේ රැඳී සිටිමින් දිවුරුම් දීමේ උත්සවයට අවශ්‍ය කටයුතු සූද‌ානම් කළෝය. දුමින්ද දිසානායකද වරින් වර පැමිණ ඒ සඳහා සම්බන්ධ වූයේ එස්.එම්.ලා සමග තිබූ විරසකයද අමතක කරමිනි.  
දිවුරුම් දීමේ උත්සවයට මහින්ද මුලින්ම කොළඹ සිට පැමිණි අතර, ගෝඨාභය පැමිණියේ ඉන් අනතුරුවය. ගුවන් මගින් අනුරාධපුරයට ආ ගෝඨාත් මහින්දත් රුවන්වැලි සෑය වැඳ පුදා ආශිර්වාද ලබාගෙන දිවුරුම් දීමේ උත්සවයට එක්වූහ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ සහ දයා ගමගේ, රවි කරුණානායක, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග ඇතුළු එජාප ඇමැතිවරු කිහිප දෙනෙක්ද ඊට සහභාගි වී සිටියහ. එජාප ඇමතිවරුන්ට රැස්ව සිටි පිරිසෙන් යම් විරෝධයක් මතු වුවද එස්.එම්ලා ඇතුළු මන්ත්‍රීවරු එක්ව එය වැළැක්වූහ. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ සුබ නැකත යෙදී තිබුණේ පෙ.ව 11.48 ටය. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ අගමැති, විපක්ෂනායක, ඇමැති තනතුරු හෝ අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හෝ නොදැරූ ජනාධිපතිවරයා ලෙස නව වාර්තාවක් තබමිනි.   
දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දිවා භෝජනය සූදානම් කර තිබුණේ අනුරාධපුර ජනාධිපති මැදුරේය. මහින්ද රාජපක්ෂ හා මන්ත්‍රීවරුන් අැතුළු ආරාධිත අමුත්තන් විදේශීය තානාපතිවරුනුත් දිවා ආහාරයට ජනපති මැදුරට පැමිණියේ නව ජනාධිපතිවරයාගේ ආරාධනයෙනි. එදින තවත් විශේෂ කටයුත්තක් යෙදී තිබිණි. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි උපන්දිනයද එදිනට යෙදී තිබීමය. උපන්දිනය වෙනුවෙන් විශේෂ උපන්දින කේක් ගෙඩියක්ද සූදානම් කර තිබූ අතර මහින්ද සියලු දෙනා එක්ව කේක් කපමින් උපන්දිනය සැමරුවේ සිය සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දීමේ ප්‍රීතියද බෙද‌ාගනිමිනි.  
නව ජනාධිපතිවරයාත් මහින්දත්, අනතුරුව ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදුටුවෝය. අනතුරුව රුවන්වැලි මහා විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පන්සලටද ගොස් උන්වහන්සේ බැහැදැක ඔවුන් කොළඹ බලා පිටත්ව ආවේ නව ජනාධිපතිවරයා පසුදින සිය ධුරයේ වැඩ බාර ගැනීමටද යොද‌ාගෙන තිබූ බැවිනි.  


ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති දුරයේ වැඩ බාර ගත්තේ චාම් උත්සවයකිනි. සම්ප්‍රද‌ායානුකූලව හමුද‌ා උත්තමාචාර ආදිය පිරිනැමුවද වැඩ බාරගැනීමේ උත්සවය ඉතා චාම්ව පවත්වන ලෙස ගෝඨාභයද උපදෙස් දී තිබිණි. නව ජනාධිපතිවරයා එන්නටත් පෙර හිටපු ජනාධිපති මෛත්‍රී ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියේ අභිනව ජනාධිපතිවරයා පිළිගැනීමේ අදහසිනි. සාමාන්‍යයෙන් මීට ​ඉහත කිසිදු අවස්ථාවකදී නව ජනාධිපතිවරයා වැඩ බාර ගන්නා අවස්ථාවට එතෙක් හිටපු ජනාධිපතිවරයා සහභාගි නොවීය. එය මෙතෙක් පත්වූ සෑම ජනාධිපතිවරයකු යටතේම දක්නට ලැබුණ තත්ත්වයකි. ඊට හේතුවක්ද විය. ඒ පත්වන ජනාධිපතිවරයාත් එතෙක් සිටි ජනාධිපතිවරයාත් අතර පැවැති විරසකයයි. එහෙත් මෙවර එසේ නොවීය. නව ජනාධිපතිවරයා වැඩ බාරගන්නට එන්නටත් පෙර හිටපු ජනාධිපතිවරයා බුලත් අතක්ද රැගෙන ලේකම් කාර්යාලට පැමිණ නව ජනාධිපතිවරයා එනතෙක් බලා සිටියේය.   


ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බාර ගැනීමේ අවස්ථාවට රාජපක්ෂ පවුලේ වෙනත් කිසිවකුත් සහභාගි නොවීමද විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරයාත්, ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ඊට සහභාගි වී සිටියහ. වැඩ බාරගැනීමෙන් අනතුරුව පිරිස වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි.   
රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා උදේ අගමැතිධුරයෙන් ඉවත්වූයේ ජනපති ගෝඨාභයට නව ආණ්ඩුවක් සහ අගමැතිවරයකු ඇතුළු නව ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමට ඉඩ ලබාදෙමිනි. ඒ අනුව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්ද‌ා හවස පත්කරනු ලැබීය. දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. හිටපු ජනපති මෛත්‍රී, හිටපු අගමැති රනිල් ඇතුළු දේශපාලනඥයෝ රැසක්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයෝද ඊට එක්ව සිටියහ. එහිදී ප.ව 1.10 ට යෙදුනු සුබ මොහොතින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ මෙරට දේශපාලන වංශ කතාවට නව වාර්තාවක් එක් කරමිනි. ඒ ජනපති මල්ලී ඉදිරියේ අගමැති අයියා දිවුරුම් දීමය. මහින්ද ගෝඨා ඉදිරියේ දිවුරුම්දීම ඔවුන් දෙදෙනාට පමණක් නොව එහි රැස්ව සිටි පිරිසටද හැඟුම්බර මොහොතක් වූවාට සැක නැත.   


ලබන මාර්තු 1 වැනිද‌ා තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි නිසා එතෙක් කටයුතු කිරීමට භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නට ජනාධිපතිවරයා ගිය සතියේ කටයුතු කළේය. පෙරේද‌ා ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍ය මණ්ඩලයක් 15 දෙනකුගෙන් යුතුව පත්කර ගැනුණේද ඒ වෙනුවෙනි. ඔවුන් මුහුණදුන් බරපතළම ගැටලුව වූයේ මේ 15 දෙනා තෝරා ගැනීමය. ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂවල නායකයන්ටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ඇමැතිධුර ලබාදිය යුතු නිසා ඇමැතිධුර ලැබිය යුතු බොහෝ දෙනකුට එය නොලැබී ගොස් තිබිණි. ඒ අනුව ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාලත්, මහින්ද අමරවිරත් පක්ෂ නායකයන් ලෙස දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, ඩග්ලස් දේවානන්ද, තොන්ඩමන් යන මන්ත්‍රීවරුනුත්, ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන යන මන්ත්‍රීවරුනුත් තෝරාගෙන තිබුණේ ඉතා අසීරුවෙනි. මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ඇමැතිධුරයක් නොලැබීම ගැන බොහෝ දෙනා කතා කළහ. ඔහු ගෝඨාභයගේ ජනාධිපතිවරණ සටනේ රටපුරා ගිය කථිකයෙකි. මේ අතර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබුණෙ ඇමැතිවරුන් 15 දෙනකු තෝරා ගැනීමට ඇති ගැටලුකාරී තත්ත්වය නිසා තම ස්වකැමැත්තෙන්ම ඇමැති ධුරයක් බාර නොගන්නා බවය.  


ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ ඉකුත් 18 වැනිද‌ා අලුයම කාලයේ මාතලේදී පක්ෂ දෙකේ දෙපිරිසක් අතර ඇති වන්නට ගිය ආරවුලක් වැළකී ගියේ අනූ නවයෙනි. එදින අලුයම වනවිට උතුරේ සහ නැගෙනහිර පළාත් දෙකේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබූ අතර ඉන් වැඩි වාසිය හිමිවෙමින් තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටය. සජිත් දිනනු ඇතැයි අපේක්ෂා කළ මාතලේ එජාප ආධාරකරුවන් පිරිසක් පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසකට පහර දෙන්නට සූද‌ානමින් සිටින බවට ආරංචි පැතිර ගියේය. එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුද ඊට සම්බන්ධ බවට ආරංචි වී තිබූ අතර ඒ ගැන දැනගත් වහාම ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෝ පිරිසක්ද එම ස්ථානයට ගොස් සිටියහ. මේ අතරේ දකුණේ දිස්ත්‍රික්කවලද ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිණි. ඒ සමගම ආරංචි පැතිර ගියේ සජිත් නොව ගෝඨාභය ජයග්‍රහණය කරමින් සිටින බවකි. ඒ නිසා පොහොට්ටුවේ ආධාරකරුවන්ට බියේ රාජ්‍ය ඇමැතිවරයකු හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පිටව යන්නට නොහැකිව සිටින බවට ජනකගේ පුත් ප්‍රමිත තෙන්නකෝන්ට දැනගන්නට ලැබිණි. ඔහු වහා එම ස්ථානයට ගොස් එජාප අාධාරකරුවන් පිරිසට ආරක්ෂිතව පිටව යන්නට ඉඩ සලසා දුන්නේ එජාප ආධාරකරුවන් තමන්ට පහර දුන්නද තමන් එවැනි දේට ඉඩ නොදෙන බව පවසමිනි.
මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ගිය බ්‍රහස්පතින්ද උදේ තරමක් අසනීප වී රෝහල් ගතවිය. ඔහු පසුගිය කාලය පුරාම ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළේය. පොහොට්ටු පක්ෂය හැදීමෙන් පළාත් පාලන මැතිවරණයෙන් පක්ෂය දිනෙව්වෙත් ගෝඨාභය ජනපති කරවීමේත් තිරය පිටුපස සුවිශාලම කාර්යභාරය ඉටුකරනු ලැබුවේ බැසිල් විසිනි. 
ඒ නිසාම මේ තරගයේ වීරයා බැසිල් බවද සමහරු කියති. ඔහු තරමක අසනීපයෙන් ගිය බ්‍රහස්පතින්දා උදේ පෞද්ගලික රෝහලකට ඇතුළත්විය. ඔහු බලන්නට මන්ත්‍රීවරු විශාල පිරිසක් පැමිණ සිටි අතර නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්දද හැන්දෑවේ රෝහලට පැමිණ සුවදුක් විමසමින් බොහෝ වේලාවක් රැඳී සිටියේය. ලක්ෂ්මන් යාපා නිමල් ලාන්සා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද උදේ සිටම රෝහලේ රැඳී සිටිමින් බැසිල් සමඟ ගත කළහ. 



අදහස් (0)

ඡන්ද ප්‍රතිඵල ගනිද්දී බැසිල්ගේ කාර්යාලයේ මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 793 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 1041 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 749 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 560 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 477 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 401 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1258 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1526 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site