IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


​ශ්‍රීලනිප-ඒකාබද්ධ රහස් සාකච්ඡාවක්

මෛත්‍රී  නවදිල්ලියෙන් ජපානයට

පළාත් පාලන මැතිවරණය නිමවී අදට (18) හරියටම මාසයසකුත් දවස් 8 ක් ගතවී හමාරය. එසේ වුවද තවමත් පළාත් පාලන ආයතන පිහිටුවා නැත. අඩුම තරමින් පළාත් පාලන ආයතනවලට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය පවා මේ වනවිටත් නිකුත් කිරීමට නොහැකි වන තරමටම එය අවුලක් වී ඇති බව පැහැදිලිය. පළාත් පාලන ආයතන අනිද්දා (20) වන විට පිහිටුවන බව පළාත් පාලන ඇමැතිවරයාද කියා තිබිණි. තවමත් ගැසට් නිවේදනය නිකුත් නොවී තිබියදී සභා පිහිටුවන්නේ කෙසේද යන්න විසඳිය නොහැකි ප්‍රහේළිකාවකි.


ආණ්ඩුව ​ෙෆ්ස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් තහනම් කළේ තෙල්දෙණියෙ ඇතිවූ සිද්ධිය දුරදිග යාම වැළැක්වීමේ අරමුණිනි. එසේ වුවද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවූ විරෝධය නම් සුභද‌ායක නොවීය. ආණ්ඩුවේම සමහර ඇමැතිවරුන් පවා සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කළ යුතු බව කීවේ එම තහනමට එල්ලවූ සමාජ විරෝධයද සැළකිල්ලට ගනිමින් විය යුතුය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතිඅන්තයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර, බලා පිටත්ව ගියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගිවීම වෙනුවෙන් නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවාන්හි පැවැති මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවට ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඇතුළු රටවල් රැසක නායකයෝ සහභාගි වූහ. එම සමුළුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ද රාෂ්ට්‍රපති භවාන් හිදී පැවැත්විණි.


ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගිවීමට නවදිල්ලි නුවරට ගිය ජනපති මෛත්‍රී සඳුදා දිනයේ කෙළින්ම ජපානය බලා පිටත්ව ගියේ රාජ්‍ය සංචාරයක් සඳහා ජපානයට එන ලෙස කර තිබූ ආරාධනය පිළිගනිමිනි. ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, හිටපු මන්ත්‍රීවරුන් වන පියසිරි විජේනායක, අනුරුද්ධ පොල්ගම්පොළ ඇතුළු පිරිසක් ද මෙම සංචාරයට එක්වූහ. ජපානයට ගිය මෛත්‍රීට එරටින් ලැබුණේ ඉහළම පිළිගැනීමකි. ජනපති මෛත්‍රී හා බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය අඟහරුවාදා දිනයේ ටෝකියෝ අගනුවර ඉම්පිරියල් මන්දිරයේදී අකි හිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජින හමුවූහ. එහිදී ද ජනපති මෛත්‍රීට හා බිරිඳට ලැබුණේ ඉහළ පිළිගැනීමකි.


ජනාධිපතිවරයා ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල වැඩවාසය කරන ලාංකික භික්ෂූන් වහන්සේලා මෙන්ම, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමු විය.


ජනාධිපතිවරයා ජපානයේ සිටිය ද ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව වරින් වර සොයා බලමින් වැඩි අවධානයකින් සිටියේ මහනුවර ඇති වූ සිද්ධිය ද සැලකිල්ලට ගනිමිනි. වට්ස්ඇප් තහනම බදාදා ඉවත් කරන්නැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට උපදෙස් දුන් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා දිනයේ ​ෆේස් බුක් තහනම ඉවත් කරන්නැයි උපදෙස් දුන්නේය.


ජපානයේ රාජ්‍ය සංචාරයේ යෙදුණ ජනපති මෛත්‍රී හා බිරිඳ පිළිගැනීමේ රාජ්‍ය උත්සවය පැවැත්වූයේ බදාදා ටෝකියෝ අගනුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේය. එහිදී ජනපති මෛත්‍රී වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණි. ජනපති මෛත්‍රී හා බිරිඳ උණුසුම් අන්දමින් පිළිගත් ජපාන අගමැති ෂින් ෂෝ අබේ සහ ඔහුගේ බිරිඳ විශේෂ භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ. පසුගිය කාලයේ ලංකාවේද අතිශයින් ජනප්‍රිය වූ ‘‘ඔෂීන්’’ ටෙලිනාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනිය ද මේ හමුවට එක්ව සිටීම විශේෂ සිද්ධියක් විය. ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ සතිඅන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.


ජනපති මෛත්‍රී දිවයිනෙන් බැහැරව සිටි නිසා ගිය අඟහරුවාදා සුපුරුදු කැබිනට් රැස්වීම නොපැවැත්විණි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි දන්වා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබුණේ ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දීය. එය සාකච්ඡාවට ගැනීම මේ සතියට කල් තබා ඇත. එසේ තිබියදී ආර්ථික කළමනාකරණ කමිටුව ගිය බදාදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බව වාර්තා විය. මේ රැස්වීමට එන ලෙස ආර්ථික කළමනාකරණ කමිටුවේ සිටින ඇමැතිවරුන්ට ද ආරාධනා කර තිබිණි. එසේ වුවද, ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව නිසා සමහර ඇමැතිවරුන් මේ රැස්වීමට නොගිය බවද වාර්තා විය.


මේ අතර ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකු ගිය අඟහරුවාදා රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඇමැතිවරයකුගේ නිවසේ රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා විය. දැනගන්නට ඇති පරිදි මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කිරීමට යන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ශ්‍රීලනිප ඇමැතිවරුන් පස් හය දෙනකු සහභාගි වූ මේ රැස්වීමේ තොරතුරු කිසිවක් එළියට නොදෙන්නට ද එහිදී තීරණයකට පැමිණි බව වාර්තා විය.


ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද ගිය සතියේ බොරැල්ල ප්‍රදේශයේ නිවසක දී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. එම සාකච්ඡාවට ද ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නට යන විශ්‍වාසභංග යෝජනාවට ශ්‍රීලනිපයේ සහාය ගැනීම වෙනුවෙන් පවත්වා ඇති බව වාර්තා විය.



අදහස් (0)

​ශ්‍රීලනිප-ඒකාබද්ධ රහස් සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site