IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අතෙන් ගැලවුණු අය අනාගත සැලසුම් හදති

විජයදාස සාගලගේ අතින් අදියි 

ජනපති එදින රාත්‍රියේ කෝට්ටේ රාජමහා විහාරය වෙත ගියේ කෝට්ටේ දළදා පෙරහරේ මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කිරීමට ය. එහෙත් කරඬුව තැන්පත් කිරීම වෙනුවෙන් ස්ථිරව සකස් කර තිබූ ගොඩනැගිල්ල අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් ඉකුත් ජනපතිගේ පාලන සමයේ කඩා ඉවත් කළ ද මෙතෙක් එය පිළිසකර කර නොතිබුණි.
එම නිසා කරඬුව තැන්පත් කිරීම වෙනුවෙන් තාවකාලික අට්ටාලයක් සකස් කර තිබූ අතර ජනපති රනිල් වික්‍රමසිංහ එහි නැංවීමට ආරක්ෂක අංශ අදිමදි කළේය. ඒ අනුව ජනපති රනිල් කරඬුව රැගෙන අට්ටාලය තෙක් රැගෙන ඒමටත් එහි සිට අට්ටාලයට නැඟ කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම සාගල රත්නායක විසින් කිරීමටත් තීන්දු කෙරිණි.

කරඬුව රැගෙන ජනපති අට්ටාලය අසලට එද්දී එය ශක්තිමත් අට්ටාලයක් බව දුටු ජනපති සැලසුම වෙනස් කළේ කාර්ය මණ්ඩල ප්‍රධානි කියූ දේ ඔහුට ද අවබෝධ වී තිබීම නිසාය. “සර් මේ අට්ටාලය ස්ථිර ගොඩනැගිල්ලක් වගේ හදලා තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. උඩට යමු” සාගල කියූ දේ අනුමත කළ ජනපති කරඬුව රැගෙන අට්ටාලය මතට ගොඩ වැදුණේ ආරක්ෂකයන්ගේ බිය දුරු කරමිනි.

ජනපති කරඬුව තැන්පත් කිරීමෙන් පසු ඒ අසලට සමන් පිච්ච මල් පූජා කිරීමට ඇමැති විජයදාස රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන්ටත් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටත් ආරාධනා කර තිබුණි. පළමුව මල් පූජා කළ ඇමැති විජයදාස දෙවැනියට මල් පූජා කරන්නට ගිය සාගලගේ අතින් අදින්නට වූවේ අට්ටාලයේ කෙළවරටම පැමිණ ඔහු කරඬුවට මල් පූජා කරද්දීය.


කිහිප විටක්ම ඇමැති සාගලගේ අතින් ඇද ඔහුව පසු පසට ගත්ත ද සාගල කරඬුවට මල් පූජා කොට අවසන් කළේ ය. ඇමැතිවරයා කළ දේ සාගලට හිතා ගැනීමට නොහැකි වූ අතර ඔහු කිහිප දෙනෙකු සමඟ ද මේ ගැන කියා තිබුණි.


සඳුදා උදෙන්ම සාගලගේ දුරකතනට ඇමැතුමක් දුන්නේ ඇමැති විජයදාසය. දුරකතනයට සම්බන්ධ වෙමින් සාගල ඇමැතිගෙන් විමසා සිටියේ “ආ ඇමැතිතුමා මොකද ඊයේ මට කරඬුවට මල් පූජා කරන්න නොදී පස්සට ඇද්දේ?” කියාය.


“ඔයා දන්නව ද මට වෙච්ච දේ..” ඇමති විමසද්දී සාගල විමතියට පත් වූවේ තමන්ගෙන් යම් අතපසුවීමක් වුණාදැයි සිතමිනි.
“ඇයි මොකක්ද වුණේ ඇමැතිතුමා.” සාගල පෙරළා ප්‍රශ්න කළේ ය.
“නෑ මම අට්ටාලයේ වැටට අත තියලා මල් පූජා කරද්දී ඇතා මගේ අතට හේත්තු වුණා.” ඇමැති විජයදාස කියද්දී සිදුවූ දේ තේරුම් ගත් සාගල ඇමැතිගේ සුවදුක් වීමසන්නට වූවේ ය. ඇමැතිට වූ අකරතැබ්බය ගැන කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ජනපති රනිල්ව ද දැනුම්වත් කළේ ය.

තාමත් නොලිහුණු ශ්‍රීලනිප අර්බුදය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අර්බුදය තවමත් විසඳී නැත. එය මේ වන විට  තිබෙන්නේ අධිකරණය හමුවේ ය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමඟ ඔහුට මහලේකම් ධුරයේ වැඩ කිරීමට නොහැකි වී ඇති අතර, වැඩ බලන මහලේකම් ලෙස පත්කරනු ලැබූ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායකට ද එම තනතුරේ වැඩ කිරීම අධිකරණය මගින් අත්හිටුවා ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ඉකුත් සඳුදා හැන්දෑවෙ කැඳවනු ලැබිණ, ඊට මධ්‍යම කාරක සභාව සභාවේ සියලු‍‍ දෙනාටම ආරාධනා නොකළ අතර, සමහරු ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට චෝදනා කළහ.

 

විශේෂත්වය වූයේ වෙනදා මධ්‍යම කාරක සභාව කැඳවීමේ දී දැනුම්දීම් කළේ පක්ෂ කාර්යාලයෙන්  වුවද මෙවර එම දැනුම් දීම කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන හිටපු  ජනාධිපතිවරයාගේ නිවෙසෙන් වීමය.
මේ රැස්වීමට ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්  නවදෙනාගෙන් රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක සහ ශාන්ත බණ්ඩාර යන තිදෙනා හැරෙන්නට, නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු  කණ්ඩායමේ  හය දෙනෙක්  සහභාගී වූහ. පක්ෂය සමඟ සිටින ෂාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් ඇතුළු කණ්ඩායම ද ඊට සහභාගි වූහ.
මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට පැමිණි බස්නාහිර පළාත් සභා සභාවේ හිටපු ඇමති ගාමිණී තිලකසිරි සද්දයක් දැම්මෙ තමාට මධ්‍යම කාරක සභා රැස්වීමට ආරාධනා කර නොමැති බව පවසමිනි. පක්ෂ කාර්යාලයට ගිය ඔහු කීවේ තමා ද මධ්‍යම කාරක සභිකයකු බැවින් තමාට ද ඒ සඳහා සහභාගි වීමට  අවස්ථාව දිය යුතු බවය. ඔහු මේ වන විට සිටින්නේ දයාසිරි කණ්ඩායම සමඟ ය. 


ඔහුට මධ්‍යම කාරක සභා රැස්වීමට  සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි පක්ෂ නායකයා පසුව දැනුම් දී තිබිණි. ඔහු ඒ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ද ප්‍රශ්න කෙළේ ය. ඔහු එය ඉදිරිපත් කළේ දුක් ගැනවිල්ලක් ලෙස ය.
“එහෙම අපව කපල පක්ෂයක් ඉස්සරහට යන්නේ කොහොම ද ඔහු විමසීය. ඔහුගේ දුක් ගැනවිල්ල ගැන වෙනත් කිසිවකු කතා කළේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙකු නොමැති නිසා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම කළේ ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මය. ඔහු කීවේ කලින් සභා වාර්තාව ඇත්තේ හිටපු ලේකම්වරයා ළඟ බැවින් එදින වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි බව ය. අනෙක මෙය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් නිසා කලින් වාර්තාව ඊට අදාළ නොමැති බව ද ඔහු කීවේ ය.


ඔහු පැවැසුවේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවූයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඉවත් කිරීමේ තීරණයට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගැනීම සඳහා බව ය. එහි දී නිමල් සිරිපාල ඇමැතිවරයා කීවේ පක්ෂයේ ඕනෑම කෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයාට පක්ෂ ව්‍යවස්ථාව අනුව බලය තිබෙන බව ය. පක්ෂයේ ව්‍යස්ථාව අනුව මහ ලේකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත්, එය මධ්‍යම කාරක සභාවට දැනුම් දීම පමණක් ප්‍රමාණවත් බවත් ඔහු කීවේ ය. මෛත්‍රී ද කීවේ එය දැනුම්දීම සඳහා මධ්‍යම කාරක සභාව කැඳවූ බව ය.

 

 

මෛත්‍රී, දයාසිරි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ කාරණා ගැන දිගින් දිගටම පැහැදිලි කළේ ය. ඔහු කීවේ පක්ෂයේ කටයුතුවලදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටලු‍‍ තිබූ බව ය. ඒ අතර ඔහු කීවේ දයාසිරි ජයසේකර ඉවත් කිරීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ පිරිස ද අත්සන් කර තමාට ලිපියක් යවා ඇති බව ය. එය තමාට යොමු කර ඇත්තේ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයා බවද ඔහු කීවේ ය. එවෙලේ තිලංග ද සභාවේ සිටියේය.

“මේක අස්සන් කිරීමේ සාකච්ඡා තිබුණේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ. ඒක කැඳෙව්වෙ තිලංග කියලත් මම දන්නවා. ඒ සාකච්ඡාවේ දී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩිලාන් පෙරේරා මට පහර ගහලා  කතා කළා. පහර ගහල කතා කළාට ගැටලු‍‍වක් නැහැ. හැබැයි ඩිලාන් කතා කරපු විදිය ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනවා. මම  2015 ජාතික ලැයිස්තුවෙන් අරන් ඩිලාන්ට ඇමැතිකමකුත් දුන්නා. ඔහුගේ තාත්තට ආණ්ඩුකාරකමකුත් දුන්නා. එහෙම තියෙද්දිත් ඩිලාන් කතා කරපු විදිය වැරදියි”‍ මෛත්‍රී කීවේ ය.
සරත්  ඒකනායකට  වැඩ බලන  මහලේකම් ධුරයේ කටයුතු කිරීම ද අධිකරණය මගින් වළක්වා ඇති බැවින් තාවකාලිකව මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට දුෂ්මන්ත මිත්‍රපාල පත් කිරීමට යෝජනා කරන බව මෛත්‍රී පැවැසීය. ඊට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබිණි.
සාකච්ඡාව යන අතරේ තිලංග සුමතිපාල ද අදහස් දැක්වී ය. ඔහු කතා කළේ නිදහස ජනතා සභාවෙන් එවන ලද ලිපිය සම්බන්ධයෙනි. ඔහු මධ්‍යස්ථ ආකාරයෙන් කතා කළ අතර, පක්ෂය මේ ගමන යා යුත්තේ සියලු‍‍ දෙනා එකතු කරගෙන මිස කිසිවකුත් හලා නොවන බව ඔහු අවධාරණය කළේය.
තිලංග  සිටින්නේ දයාසිරි සමග ය. දයාසිරි ඉවත් කිරීමට විරුද්ධව නිදහස ජනතා සභාවේ නායකයන්ගේ අස්සන් සහිත ලිපිය ජනාධිපතිවරයාට යොමු කිරීමට මූලිකත්වය ගත්තේ ද තිලංග ය. එහෙත් මේ රැස්වීමේ දයාසිරි ගැන විශේෂයක් කරන්නට ඔහු නොගියේ ය. කතා කළේ පක්ෂයේ එකතුව ගැන ය.
කෙසේ හෝ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම වැඩි වෙලාවක් නොපැවැත්විණ.


මේ අතර මාධ්‍යවේදීන් ෂාන්  විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් අසා තිබුණේ ඔබ සිටින්නේ පක්ෂයේ සභාපතිවරයාගේ සමග ද නැතිනම් දයාසිරිගේ කණ්ඩායම සමඟ ද’ යනුවෙනි. ඔහු කීවේ මම හැමදාමත් සිටියේ පක්ෂයේ පැත්තෙ ඉස්සරහටත් එහෙම තමයි කියා ය. ‘දැන් නෙමෙයි  මීට වැඩිය  අර්බුද තියෙන කාලෙත් මම පක්ෂයත් එක්ක හිටියා’ ඔහු කීවේ ය.

අනුර යාපා වැඩට බහී

නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිතයන්ගේ හමුවක් ඉකුත් සති අන්තයේ පැවැත්වුණේ කුලියාපිටිය ඊරියගොල්ලේ පිහිටි අනුර ප්‍රියදර්ශන යාපාගේ නිවසේ ය. දැන් එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ අනුර යාපා ය. පොහොට්ටුවෙන් කැඩුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටියහ. අනුර යාපා එහි දී කියා සිටියේ  නව සන්ධානයක් පිළිබඳ කතාබහ ඇති වී තිබෙන බවය.

අමරවීරගේ නිවසේ හදිසි හමුව

මේ අතර, නිමල් ලන්සලාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ පිරිස අතර හමුවක් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ දී ඉකුත් සඳුදා හැන්දෑවේ පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ  විශේෂ රැස්වීම පැවැත්වුණේ ද එදින සවස ය. මධ්‍යම කාරක සභා රැස්වීමට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මියුරු   ඇතුළු කණ්ඩායමක් සහභාගි වූ අතර  ලන්සලාගේ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා සහ නලීන් ප්‍රනාන්දු යන තිදෙනා සහභාගි වූහ.
ඉදිරියේ දී ගොඩ නැඟෙන සන්ධානය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී  කතාබහට  ලක්වූ අතර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ කාරණය ද එහි දී වැඩියෙන් කතාබහ විය.


එහිදී අයකු කීවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරා ම පක්ෂ නායකත්වය විවේචනය කළ බව හිටපු ජනාධිපතිවරයාට ආරංචි වී ඇති බව ය. “එතුමා මෙහේදී විතරක් නෙමෙයි ජපානයේ  ගිහිල්ලත් නායකයාට බැනලා තියෙනවා ‘යැයි මියුරු භාෂිත  කීවේය. නායකයාට අරින්න ගත්තොත් ඒක කරන්න බෑනේ. එහෙමනම් බැන බැන ඉන් නැතුව තමන් යන්න  ඕන’ නලීන් ප්‍රනාන්දු කියද්දී අමරවීර කීවේ ‘දැන් නං දයාසිරි වැඩිපුරම බනින්නෙ මට කියා ය . ඒ  ගැන මාධ්‍යවලින් මගෙන් අහනවා. හැබැයි, මම නම් ඒවට උත්තර දෙන්න යන්නෙ නෑ”‍ ඔහු කීවේ ය.

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පී එකට  හේත්තු කරන්න යන්නේ කියලා  එහෙම වෙන්නේ නැති බව දැන දැනත් දයාසිරි කියාගෙන යනවා. ”‍දුමින්ද කියද්දී ලසන්ත අලගියවන්න ද කිව්වේ එහෙම  වෙන්නේ නෑ කියලා දයාසිරි දන්නව. නමුත් එයා දිගටම කියාගෙන යනවා කියා ය. පිරිස මැදියම් රැයට ආසන්න වන තෙක් එහි රැඳී සිටි අතර අමරවීරගේ නිවසේ  ඔවුන් වෙනුවෙන් රාත්‍රී ආහාරය ද සූදානම් කර තිබිණි.

 

 මේ අතර දයාසිරි ජයසේකරගෙන් හිස් වී ඇති පක්ෂයේ මහලේකම් ධුරය ලබා ගැනීමේ  අදහසක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිටින බව වාර්තා වේ. යහපාලන ආණ්ඩුව ආරම්භක සමයේදී ද දුමින්ද පක්ෂ ලේකම් ධුරයේ කටයුතු කළේ ය. දැන් ඔහු සිටින්නේ පක්ෂයේ  ජාතික සංවිධායකවරයා ලෙස ය. ඔහු පසුගිය කාලයේ පක්ෂයේ  කටයුතුවලට එතරම් සම්බන්ධ නොවී ය. සමහරු කීවේ ඔහු ආණ්ඩුවට යාමට සූදානමින් සිටින බව ය. එසේ වුව ද දැනගන්නට ඇත්තේ ඔහු පක්ෂයේ ලේකම් ධුරය ගැනීමේ මෙහෙයුමක මේ වන විට යෙදී සිටින බව ය.

 

කැරම් ගහන්න බැරි සාගර දාම් අදින්න ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල  මණ්ඩල රැස්වීම් ඉකුත් සතියේ පැවැත්විණි. ඊට  සහභාගිවීමට ගිය සාගර කාරියවසම්, ඩී. වීරසිංහ, ඩී. වී. චානක ඇතුළු පිරිස වෙනුවෙන් දිවා භෝජනය සූදානම් කර තිබුණේ තංගල්ල කාල්ටන් නිවසේ ය. දවල් කෑම ගැනීමෙන් අනතුරුව රැස්වීම පටන් ගැනීමට වේලාව තිබූ නිසා ඩී.වී.  චානක යෝජනා කළේ, ‘ලේකම්තුමා අපි කැරම් ගහමු’ කියා ය. “අනේ මම නම් කැරම් ගහන්න දන්නෙ නෑ. ඕන්නම් දාම් අදින්න එන්නම්”‍ සාගර කීවේය. “අපෝ ඒක නම් කරන්න බෑ. දාම් අදින කොට කපා ගෙන ඉස්සරහට යන්න වෙනව. ඉත්තෙක් වුණත්  කපාගෙන ඉස්සරහට යන්න මම කැමැති නෑ’ යැයි නාමල් කීවේ ය. මේ කුමන අර්ථයකින් කීවේ දැයි දන්නේ නාමල් පමණි. කෙසේ හෝ දාම් ඇදීමේ අදහස යටපත් කරගත් සාගර අන්තිමට නොදන්නා කැරම් ගහන්න ට එකතු විය.

රනිල්ගේ ගුණ ගයන ප්‍රසන්න පොහොට්ටුවෙන්  නොයන බව කියයි

ගිය සතියේ පැවති  මුල්කිරිගල පොහොට්ටුවේ  ආසන බල මණ්ඩල රැස්වීමට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද සහභාගි විය. ප්‍රසන්න පසුගිය කාලය පුරා ම ජනාධිපතිවරයා සමඟ ළඟින් කටයුතු කරමින් ඔහුගේ ගුණ ගයමින් සිටි නිසා බොහෝදෙනා කියන්නට වූයේ ප්‍රසන්න අලියා පිටියේ නඟින්න යන බව ය.
මුල්ගිරිගල රැස්වීමට ගිය ඔහුගෙන් බොහෝ දෙනෙක්  ඒ ගැන ඔහුගෙන්  විමසී ය. “රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගුණ  වයන එක ඇත්ත. හැබැයි, මල්ලි අපි මහින් ද මහත්තයා දාලා යන්නේ නෑ. පොහොට්ටුව හැදුවෙත් අපි. මහින්ද මහත්තයා නැවත ගේන්න වැඩ කරපු කෙනෙක් මම. ඒ නිසා පොහොට්ටුවත් මහින්ද මහත්තයත් දාල යන්නෙ නෑ.” ඔහු කීවේ ය. රැස්වීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රමාදය නිසා ප්‍රසන්න ඔහුට දුරකථන ඇමතුමක් ගත්තේ ය. නාමල් වෙනත් රැස්වීමක සිටි බැවින් එනකොට ප්‍රමාද වන බව කීවේ ය. ”‍මල්ලි ඔයා එනකම් මට ඉන්න වෙලාවක්  නෑ. ඒ නිසා මම රැස්වී​ෙම් කතා කරල යනවා කියා ප්‍රසන්න රැස්වීම අමතා පිටව ගියේ ය. මේ රැස්වීමට පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහභාගි වූහ.

නිදහස  ජනතා සභාව  ඩලස්ගේ  ගමට යයි

මේ අතර, නිදහස ජනතා සභාවේ මාතර ආසන බලමණ්ඩලය ඉකුත් සති අන්තයේ කැකණදුර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණේ නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් ගණනාවකගේ සහභාගිත්වයෙනි. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ආචාර්ය නාලක ගොඩහේවා,  ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. මහාචාර්ය ජී.එල්. පීරිස්  වෙනත් කටයුත්තක් හේතුවෙන් එම රැස්වීමට සහභාගී නොවීය.

උත්තර ලංකා සභාගය  නියෝජනය කරන  වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ද  පැමිණ සිටියේ ය. ඒ සඳහා විශාල පිරිසක් ද සහභාගී වී සිටි අතර ඩලස් කිව්වේ, ‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද? නොව, වැදගත් වන්නේ මේ පාලමෙන් එගොඩ වන්නේ කවු ද කියා බවය.

 

 

 මේ අතර, නිදහස ජනතා සභාවේ කටුගම්පොළ ආසන බල මණ්ඩලය ද අද දිනයේ පන්නල දී පැවැත්වෙන අතර, එහි  සංවිධාන කටයුතු භාර ගෙන ඇත්තේ මහාචාර්ය චරිත හේරත් ය.

 

රාජිතගෙන් යූ ටර්න් එකක් 

පසුගිය දිනවල ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියේ රාජිත සේනාරත්නය.බොහෝ දෙනා විවිධ කටකතා යවමින් සිටියේ ඔහු ආණ්ඩුවට එක්වන බවට ය.
එහෙත් හිටි හැටියේම පහුගිය දා රාජිත දරුණු ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කළේය.
රනිල්ට මොළයක් තිබුණට හදවතක් නෑ! වැඩපිළිවෙළකුත් නෑ! ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ ඉදිරි ගමනකුත් නෑ! කල්ලි දෙකක් දෙපැත්තට වෙලා කාගන්නවා! ඒකට එකතු වෙනවා කියන්නේ මහ මුලාවක්! රාජිතගෙන් ජනපතිටයි ආණ්ඩුවටයි දැඩි ප්‍රහාරයක්! සජිත් බොහොම ජනහිතකාමී නායකයෙක්! තාත්තගේ ගුණාංග සජිත්ටත් පිහිටලා තියෙනවා.
රාජිත එහෙම කීවේ ය. රාජිත එන්නේ මොකාටදැයි සජිත්වත් දන්නවාදැයි දන්නේ නැත.

සජබ යන්න හිතපු අයත් නවතී

පසුගිය සතියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා හදිසියේම නින්දෙන් නැගිට්ටා සේ සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ ගයන්නට වීම නිසා ජනාධිපතිවරයාගේ සැලූන් දොර අසලට යනවාද නැද්ද යන ප්‍රශ්නයෙන් සිටි ඇතැම් සජබ මන්ත්‍රීවරු තමන්ගේ අදහස වෙනස් කර ගෙන ඇතැයි වාර්තාවේ. රාජිත මේ යූ ටර්න් එක ගැසුවේ ඇමතිකමක් නොලැබෙන බව ටක්කෙටම තේරුම් ගැනීමෙන් පසුව බව බොහෝ දෙනෙකුගේ අදහසයි. 

 

 

මේ අවස්ථාවේ දී තමන්ගේ පිළ වැඩි කර ගැනීමට සජබ මන්ත්‍රීවරුන් තමන්ගේ පැත්තට ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වුවත් එසේ කිරීමට ඔහුට නොහැකි වී තිබෙන බවත් එසේ සජබෙන් ගන්නා අයට ඇමතිකම් දුන්නොත් පොහොට්ටුවේ පිරිසටද ඇමතිකම් දීමට ජනාධිපතිවරයාට සිදුවන නිසා ජනාධිපතිවරයා සජබ කිසිවෙකුට ඇමතිකම් නොදෙන බවත් සජබෙන් යන්න හිටිය මන්ත්‍රීන්තුළ කතාවක් පැතිර ගොස් තිබේ. මෙය තර්කානුකූල කතාවක් නිසා මේ අවස්ථාවේ ඉල්ලන් කෑම යෝග්‍ය නොවන බව පනින්න පෙර සිතා බැලූ මන්ත්‍රීන් පිරිසකට තේරුම් ගොස් තිබේ.

■ ගජබා

 

 

 

 

 

 



අදහස් (0)

අතෙන් ගැලවුණු අය අනාගත සැලසුම් හදති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31194 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13354 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10969 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 900 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site