අංක ශාස්ත්‍රයට අනුව ඔබගේ ජීවිතයට වඩාත්ම ගැළපෙන සහකරු හෝ සහකාරිය කවුද? බොහෝ දෙනා මෙය දැන ගැනීමට කැමතිය. ශාස්ත්රාචාරිනී ගංගා සුදර්ශනී ද සොයිසා මේ සම්බන්ධයෙන් සුවිශේෂ ප්රවීණත්වයක් ඇති අයෙකි. මේ ඇය සමග සාකච්ඡාකර සැකසූ ලිපියකි.
අංක ශාස්ත්‍රයට අනුව පුද්ගලයන්ගේ උපන් අංකය විශේෂයෙන් විශ්ලේෂණය කර, ඒ අනුව ඔවුන්ගේ ජීවිතය පිළිබඳව අනාවැකි පළ කිරීමට හැකිය. මෙහිදී මා කාලයක් තිස්සේ මේ අංක හිමි පුද්ගලයන් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයන්ද ඔවුන්ගේ ලක්ෂණ තීරණය කිරීමට යොදාගත් බව මතක් කළ යුතුය.
ඔබේ දෛව අංකය සොයා ගැනීමේ දී සලකා බලනු ලබන්නේ ඔබගේ උපන් වර්ෂය, උපන් මාසය සහ උපන් දිනය එකට එකතු කළ විට ලැබෙන තනි අංකයයි. ලැබෙන සංඛ්‍යාව ඉලක්කම් දෙකකින් යුක්ත නම්, එම ඉලක්කම් දෙක නැවත එකතු කර 1 සිට 9 දක්වා වූ තනි අංකයකට ගෙන ආ යුතුය. එම උපන් අංකයට අනුව ඔබට ගැළපෙන ජීවන සහකරු හෝ සහකාරිය පිළිබඳ විග්‍රහය පහත පරිදි වේ. මෙහිදී ස්ත%ී පුරුෂ භේදයක් නොසලකන බව සැලකිය යුතුයි.
අංක 1 - අධිෂ්ඨානයෙන් ඉදිරියට යන අය
අංක 1 යනු ඉතාමත් ප්‍රබල අංකයකි. මෙම අංකය යටතේ උපන් පුද්ගලයෝ නිරන්තරයෙන් ඉදිරියට යෑමට කැමති, තම අරමුණු කරා ළඟා වීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන පිරිසකි. තමන් අපේක්ෂා කරන දේ දිනා ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරීමේ ස්වභාවයක් ඔවුන් තුළ පවතී.
මගේ අංක ශාස්ත්‍ර විග්රහයට අනුව අංක 1ට වඩාත්ම ගැළපෙන්නේ අංක 2 සහ අංක 8 ය. විශේෂයෙන්ම අංක 1 සහ අංක 8 එකට එක් වුවහොත්, ජීවිතයේ මුල් අවධියේදී යම් යම් බාධක පැමිණියද, පසුකාලීනව තම අරමුණු කරා අධිෂ්ඨානයෙන් ගමන් කර ජීවිතය සාර්ථක කර ගැනීමේ වාසනාව ඔවුන්ට හිමි වේ.
අංක 2 - ආදරය, කරුණාව සහ පවුල වෙනුවෙන් කැපවන අය
අංක 2 යනු ඉතාමත් ආදරණීය, කරුණාවන්ත, ශීලවන්ත සහ ගුණවන්ත පුද්ගලයන් බිහි කරන අංකයකි. තම බිරිඳට හෝ සැමියාට ඉමහත් ආදරයක් හා සෙනෙහසක් දක්වන අය බොහෝ විට මෙම අංකය යටතේ උපත ලබති.
මගේ විග්රහයට අනුව අංක 2 හිමි අයෙකුට අංක 4 හිමි සහකරුවෙකු හෝ සහකාරියක ලැබීම ඉතාමත් යහපත් ගැළපීමකි. ඔවුන් දෙදෙනා එක් වූ විට ඉතා සාමකාමී පෞද්ගලික සහ පවුල් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. ඇතැම් විට එක් අයෙකු වියදම් කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවද, අනෙක් පාර්ශ්වය සකසුරුවම් ලෙස ආදායම සහ වියදම් කළමනාකරණය කර ගන්නා බැවින් යහපත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යා හැකිය. දරුවන්ගේ අධ්‍යාපනය, දියුණුව සහ පවුලේ අනාගතය වෙනුවෙන් දෙදෙනා එක්ව කටයුතු කිරීමේ වාසනාවද මෙම ගැළපීම තුළ පවතී. මීට අමතරව අංක 2ට අංක 7 මෙන්ම 1, 5, 8 සහ 9 යන අංකද ඉතා හොඳින් ගැළපේ. විශේෂයෙන් අංක 2 සහ අංක 7 එකතු වූ විට, එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් පවුලේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
අංක 3 - තම මතයේ ස්ථිරව සිටින අය
අංක 3 යනු තමන්ගේ මතයේ ස්ථිරව පිහිටා සිටින පුද්ගලයන් නියෝජනය කරන අංකයකි. ඔවුහු කිසිවෙකුට යටත් වීමට කැමැත්තක් නොදක්වන අතර, යම් තීරණයක් ගතහොත් එය පහසුවෙන් වෙනස් නොකරති.
එබැවින්, අංක 3 සහ අංක 3 අතර විවාහයක් එතරම් සුදුසු නොවන බව මම විශේෂයෙන් සඳහන් කරමි. මුල් කාලයේදී ආදරය සහ සෙනෙහස පැවතියද, පසුකාලීනව දෙදෙනාට දෙදෙනා එපා වීම, කලකිරීම සහ මතභේද ඇති වීමේ අවදානමක් පවතී. එසේම, මගේ විග්රහයට අනුව අංක 3 හිමි අය 1, 5, 6 සහ 7 වැනි අංක සමඟ ඇති කර ගන්නා සබඳතා පිළිබඳවද වඩාත් සැලකිලිමත් විය යුතුය. දෙදෙනා අතර මතභේද පවතී නම්, එකිනෙකාගේ සහයෝගය නොලැබේ නම් සහ පවුලේ දියුණුව වෙනුවෙන් එකම මතයකට පැමිණ තීරණ ගත නොහැකි නම්, එවැනි තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. අංක 3 හිමියන්ට ගැළපෙනම අංක ලෙස සදහන් කළ හැක්කේ 4 සහ 8 යි. මේ අංක ඉතා හොදින් අංක 03 ට ගැළපේ .
අංක 4 - සාමකාමී සහ ඉවසිලිවන්ත අය
අංක 4 යනු බොහොම සාමකාමී, ඉවසිලිවන්ත සහ වාසනාවන්ත අංකයකි. ජීවිතයේ මුල් අවධියේදී මෙන්ම විවාහ ජීවිතයේ මුල් කාලයේදීද යම් යම් කරදර බාධක ඇති විය හැකි වුවත්, පසුකාලීනව තම ජීවිතය ස්ථාවර කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.
අංක 4ට වඩාත් සුදුසු අංක ලෙස අංක 2,3,5,7,8 සහ 9 හැඳින්විය හැකිය. විශේෂයෙන්ම අංක 2 සමඟ ඇති වන සබඳතාව පවුල් සාමය, සකසුරුවම් බව සහ දරුවන්ගේ දියුණුව සඳහා ඉතා වැදගත් වේ. දෙදෙනා අතර යම් මතභේද ඇති වුවද, ඒවා සමථයකට පත් කර ගනිමින් ඉදිරියට යෑමේ හැකියාව ඔවුන් සතුය.
අංක 5 -ජයග්‍රහණයත් අභියෝගත් එකට ගෙන එන අංකයක්
අංක 5 යනු ඉතා වාසනාවන්ත සහ භාග්‍යවන්ත අංකයකි. ඔවුන්ට බලාපොරොත්තු නොවූ අයුරින් ජයග්‍රහණ හිමි වන අතරම, ඇතැම් අවස්ථාවලදී හදිසි කඩාවැටීම්වලටද මුහුණ දීමට සිදු විය හැකිය. ලැබූ ජයග්‍රහණ දිගින් දිගටම පවත්වාගෙන යෑම ඇතැම් විට ඔවුන්ට අභියෝගයක් වේ.
අංක 5ට සුදුසුම සහකරු හෝ සහකාරිය ලෙස අංක 8, 2, 4 සහ 6 යන අංක හඳුන්වා දිය හැකිය. ඔබ අංක 5 හිමි අයෙකු නම්, ඔබගේ ආදර සබඳතාව හෝ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම ගැළපීම් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
අංක 6 -පවුලට ආදරය කරන හදවත
අංක 6 යටතේ උපන් ඇතැම් පුද්ගලයෝ හුදෙකලාව සිටීමට කැමැත්තක් දක්වති. තමන්ට ගැළපෙන නිසි සහකරු හෝ සහකාරිය නොලැබුණහොත් විවාහයෙන් පසුව පවා තනිව ජීවත් වීමට පෙළඹෙන අයද මේ අතර වෙති. නමුත් සුදුසුම සහකරු හෝ සහකාරිය හිමි වුවහොත් ඉතාමත් යහපත්, සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
තම පවුලට දැඩිව ආදරය කරන, පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කැපවන සහ දරුවන්ට නිරන්තරයෙන් උදව් උපකාර කරන ගුණාංග අංක 6 හිමි අය තුළ බහුලව දැකිය හැකිය. විවාහය සඳහා අංක 6ට වඩාත්ම ගැළපෙන්නේ 5, 7 සහ 9 යන අංකයන්ය.
අංක 7 -විවාහය රැක ගැනීමට කැපවන අය
අංක 7 යටතේ උපන් පුද්ගලයෝ, විශේෂයෙන්ම කාන්තාවෝ, කිසිදු හේතුවක් මත තම විවාහ ජීවිතය කඩාකප්පල් කර ගැනීමට කැමැත්තක් නොදක්වති. තම ස්වාමියාට පණ මෙන් ආදරය කරන, සෙනෙහස දක්වන සහ විවාහ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් උපරිමයෙන් කැපවන පිරිසක් මෙම අංකය යටතේ උපත ලබති. පිරිමි පාර්ශ්වය තුළද මෙම යහපත් ලක්ෂණ ඒ අයුරින්ම දැකගත හැකිය.
අංක 7ට සුදුසුම අංක ලෙස අංක 4 සහ අංක 2 මෙන්ම අංක 6 සහ අංක 9 ද විශේෂයෙන් සඳහන් කළ හැකිය. එවැනි අංකයකට අයත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබීමෙන් ඉතා සාමකාමී පවුල් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඔවුන්ට උදා වේ.
අංක 8 -දියුණුව සොයා යන බලවත් අංකයක්
අංක 8 යනු ඉතා වාසනාවන්ත මෙන්ම බලවත් අංකයකි. රැකියාවෙන්, ව්‍යාපාරයෙන්, ධනයෙන් මෙන්ම සමාජයේ උසස් තනතුරු ලබා ගැනීමෙන්ද ඉදිරියට යෑමේ භාග්‍යය මෙම අංකය සතුය.
අංක 8ට වඩාත් සුදුසු අංක ලෙස 5, 8, 1, 2 සහ 4 සඳහන් කළ හැකිය. මීට අමතරව, අංක 8 සහ අංක 7 එකට එක් වුවද, අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව තත්ත්වයන් තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාව ඔවුන්ට තිබේ. එසේම, යම් හෙයකින් අංක 8 හිමි කාන්තාවක සහ අංක 3 හිමි පිරිමියෙකු අතර සබඳතාවක් ගොඩනැගුණහොත්, තම සහකරුගේ ඇතැම් දඩබ්බර ගතිපැවතුම් පාලනය කර ගනිමින් සබඳතාව සාර්ථකව හසුරුවා ගැනීමේ සුවිශේෂී හැකියාවක් අංක 8 කාන්තාව සතු වේ.
අංක 9 -ආකර්ෂණීය නමුත් අභියෝගාත්මක අංකයක්
අංක 9 පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකු එය නපුරු අංකයක් ලෙස වරදවා වටහා ගනිති. නමුත් අංක 9 තුළ සුවිශේෂී ගුණාංග රැසක් ගැබ්ව තිබේ. හිතුවක්කාරකම, දැඩි ස්වභාවය සහ ඇතැම් අවස්ථාවලදී දඩබ්බරකම වැනි ලක්ෂණ මොවුන් තුළ දැකිය හැකි වුවද, ඔවුන් සතුව අන් අය වශී කර ගන්නා සුළු විශේෂ ආකර්ෂණයක් පවතී. කථනයෙන්, ගායනයෙන්, රූප සොබාවෙන් හෝ තමන් සතු වෙනත් දක්ෂතාවකින් සමාජයේ අවධානය දිනා ගැනීමට ඔවුහු සමත් වෙති.
අංක 9ට වඩාත් ගැළපෙන අංක ලෙස 2, 7, 4 සහ 6 සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම අංක 9 හිමි කාන්තාවකට අංක 2 සහ 7 වැනි අංක හිමි අය සමඟ ඉතා යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. ජීවිතයේ පසුකාලීනව තම අතීත අත්දැකීම් දෙස ආපසු හැරී බලා, වර්තමානය නිවැරදිව සකස් කර ගනිමින් අනාගතයට යහපත් දෙයක් දායාද කිරීමට අංක 9 පුද්ගලයන් තුළ විශේෂ පෙළඹවීමක් ඇති වේ.
අංක ශාස්ත්‍රය යනු ඔබේ ජීවන ගමනට ආලෝකයක් සපයන මඟපෙන්වීමක් පමණි. අංක ගැළපීම මතම සියල්ල තීරණය නොවන බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඕනෑම විවාහ ජීවිතයක් සාර්ථක වීමට නම් අංකවල ආශීර්වාදයට වඩා දෙදෙනා අතර පවතින අවංක ආදරය, අන්‍යෝන්‍ය අවබෝධය, ඉවසීම සහ පවුල වෙනුවෙන් වන කැපවීම අත්‍යවශ්‍ය වේ. අංක ශාස්ත්රයේ මඟපෙන්වීම සමඟින් යහපත් ගුණධර්මද ජීවිතයට එක් කර ගනිමින් සාර්ථක, සාමකාමී යුග දිවියක් ගත කිරීමට ඔබ සැමට හැකි වේවා!
- කේ.ආර්. විතානගේ ( IJ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd