
කෘතිය - කෑම්ප් එක වත්ත
කර්තෘ - ගුණසිරි සිල්වා
ගුණසිරි සිල්වා විසින් චිරචිත "කෑම්ප් එක වත්ත " නවකතාව නම් කර ඇත්තේ ගුණසිරි සිල්වාගේ චරිතාපදාන නවකතාවක් ලෙසිනි. ගුණසෝම නම් ප්‍රධාන චරිතය කේන්ද්‍ර කර ගනිමින් කිරුළපන ප්‍රදේශයේ මුගලන් පාර ආශ්‍රිත නාගරික ජන ජීවිතය ඇසුරින් හැත්තෑව දශකයේ සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය හා එහි විපර්යාසයන් මනාව කැටි කරගත් නවකතාවක් ලෙස
' කෑම්ප් එක වත්ත' නවකතා ක්‍ෂේත්‍රය තුළ පැහැදිලිව ස්ථානගත කළ හැකිය.
කෘතියේ සමස්ථාර්ථය එක්තරා යුගයක සමාජ පැතිකඩ නිරූපණය කිරීම වුවත් , ගුණසෝම නම් කේන්ද්‍රීය චරිතය ගුණසිරි නමින් විචාරක භූමිකාව, ලේඛක භූමිකාව ,මාධ්‍යවේදී භූමිකාව සමාජ ක්‍රියාකාරී භූමිකාව තුළ ස්ථාපිත වීම සඳහා සිදුවූ සමාජ බලපෑම කෘතිය හරහා විද්‍යමාන වේ .
මුගලන් පාරේ හැත්තෑව දශකයේ සනීපාරක්ෂක කටයුතු සිදුවූ ආකාරයත් රජයේ චිත්‍රපට අංශයෙන් වාර්තා චිත්‍රපට හරහා සෞඛ්‍ය පණිවිඩ බෙදා දුන් අයුරුත් එකල අධ්‍යාපන සංස්ථාවේ ස්වභාවය හා එය ක්‍රමිකව වෙනස්කම්වලට බඳුන් වූ ආකාරයත් පොදු නාන ළිඳත් බජව් ඇසෙන රණ්ඩු සරුවල් ගහන ඝෝෂාකාරී කඨෝර පරිසරයත් මුල් අර්ධය තුළ පාඨකයාට සම්මුඛ වේ. එකී පරිසරය තුළ විනයවත් කුටුම්භයක් සකසන්නට පොර බදින පියෙක් සම සමාජයක් පතන ධනවාදය තුළ අතරමං වූ සොහොයුරෙක් පුරුෂ තීරණ හමුවේ තම හඬ යටපත් කරගත් ගැහැනුන් යන මේ සියලු දේ දකිමින් ඒවා දැඩිව නිරීක්ෂණය කරමින් ඒවාට අරුත් දෙමින් ඒවා විචාරක ඇසින් විමසමින් සමාජයෙන් පරාරෝපණය වූ ගුණසෝමගේ චරිතාපදානය එක් පැත්තකින් සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයකි. අනෙක් පසින් මිනිස් සබඳතාවලට සියුම්ව විවරණ සපයන අපූරු නවකතාවකි.
ගුණසිරි සිල්වා නම් විචාරකයා සිය විචාර භූමිකාව තුළ සිනමාවේ භාවතිශය කලාපය අතිශෝක්තියට නංවා සමාජයේ සැබෑ ප්‍රශ්න යටපත් කරනවාට විරුද්ධව නැගී සිටි විචාරකයෙකි.' කෑම්ප් එක වත්ත' නවකතාව තුළද මෙකී ලක්ෂණය අඩංගුය. සමාජ විසමතාව , සමාජ ස්වභාවය ගෙනහැර දක්වනවා විනා ඒවා අතිශය භාවතිශය ලෙස ස්පර්ශ කිරීමට කතුවරයා උත්සාහ නොගනියි. එය කෘතියේ මුල් අර්ධයේ ප්‍රධාන ලෙසම හඳුනාගත හැකි ලක්ෂණයකි.
විචාරකයා නිරපේක්ෂ නැත. ගුණසිරි සිල්වා නම් විචාරකයා නිර්මාණය වීම සඳහා බලපෑ සාමාජීය කාරණා සහ එකී විචාරකයා වර්ධනය වූ ආකාරය ගුණසෝමගේ චරිතය ඇසුරෙන් විද්‍යාමාන වේ. 'සිනමා'යන වචනය ඉවත් කළ විට විචාරකයා යන භූමිකාව සංවර්ධනය වීම ගුණසෝමගේ ළමා විය හා තරුණ විය ඇසුරෙන් සොයා ගත හැකිය.
" ඒ යන ගමන් හමුවන ස්ටේෂන් ගණනත් බිම් ගෙවල් ගණනත් ගණන් කර කර ගුණසෝමත් අක්කලාත් පොතක සටහන් කරගත්තා.'( පිටුව 29)
" හරි මෙතන තමයි අම්මා මාව නාවල තුවාය ඔළුවේ දාලා අම්මා නාල එනකම් බස් ගණන් කරන්න කියලා තිබ්බ තැන" ( පිටුව 146)
මේ සමීක්ෂණයක මූලික පියවරයි. සෑම කුඩා දරුවකුටම එසේ සිතෙන්නේ නැත.එසේ කරන්නේද නැත. විශ්ලේෂණයේ ඇරඹුම ඇත්තේ එතැනයි.
පියාගේ සහ වැඩිමහල් සොහොයුරාගේ දැඩි විනයවත් පරිසරය තුළ තමන්ට තමන් වීමට නොහැකි වන තත්වය හමුවේ ඇතිවන හුදෙකලාව තුළ ගුණසෝමගේ අන්තං පුද්ගල සන්නිවේදනය වැඩි දියුණුවේ. ප්‍රශ්නත් ඔහුගේය. පිළිතුරුත් ඔහුගේය. සිතුවිලි අතර ගුණසෝම තනිවේ. ලේඛකයා බිහිවන තැනත් විචාරකයා බිහිවන තැනත් 'කෑම්ප් එක වත්ත ' කෘතියෙන් සොයා යාම අපහසු නැත.
තාරුණ්‍යයට ප්‍රේමය කාවදින ආකාරය තල කිහිපයකින් කතුවරයා ගෙන හැර දක්වයි.සමදරා, චිත්‍රා, අශෝකා හරහා තරුණ සිතේ ආකර්ෂණය මතුවුවද වත්සලා හා ගුණසෝම අතර හටගන්නා ගැඹුරු ආදරය තුළ ගුණසෝම ගැහැනිය කියවන්නට පටන් ගනී. ගුණසෝම සැබෑ ලෙසම ගැහැනිය කියවා ගත්තාද ?පිළිතුර ඇත්තේ 'කෑම්ප් එක වත්තේ' ය.
කෘතියේ අවසන් භාගයේදී කතුවරයා පාඨකයාව දාර්ශනික තලයකට යොමු කරවයි. සිනමාත්මක ගුණ තැවරුණු කලාත්මක චිත්‍රපටයක අවසාන දර්ශනය පාඨකයා ඉදිරියේ මැවේ. කෑම්ප් එක වත්තේ ඒ සියලු විපර්යාසයන් දරා ගත් නුග රුකත් වෙනස්වන සමාජය තුළ වෙනස් වන්නට උත්සාහ කළ නොකළ ගුණසෝමත් උළු සෙවිලි කළ ගෙවල් 300 න් ඉතිරි වූ එකම නිවෙසත් කලාත්මක චිත්‍රපටයක අවසන් දර්ශනය විය නොහැකිද ?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd