“ පුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්‍යාප්‍රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්ටුඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්‍යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.”

පියල් කාරියවසම්ගේ ‘රිදී රැයකි කළු දිවියෙකි ’ නම් කෙටිකතා සංග්‍රහය සංරචනා පරෙස්සම සමග පුළුල් වූ තේමාත්මක වපසරියක් බව කිව යුතු ය.ආචාරි සීයා දුටු දිදුලන අන්ධකාරය සහ සැඳෑ සක්මනක සැහැල්ලුව වැනි කෘති සමග කුරිරු සුරංගනා කතාවක් එතී ආ විට අප ඒ ව්‍යුහ සංරචන පරිස්සම ඔහුගෙන් ඉන්තේරුවෙන් ම අත්දැක ඇත.ඔහුගේ ආඛ්‍යනය යනු අංගච්ඡේදනය කළ එකක් නොවෙයි.එ’නිසා ඔහුට කිසිදු ආකාරයේ ප්ලොට් එකක් සදහා සීමා නො වන්නේ ය. කොදෙව්වාදී ළදරු වලිප්පුකරුවන්ගේ භාෂා පැකේජ ලෙස දඟලන්නට ද වුවමනා නැත.ඔවුහු අඳ - දෑසින් යුතුව ලෝකය දෙස බැලීමේ දැක්ම වෙනුවට අන්ධකාරය තුළින් අනාගතය ද, වත්මන් දේශපාලන අභග්ගය ද දැක්මෙන් යුක්ත වන්නා හ. සැබැවින් ම නම්, ශිල්පීය තාක්ෂණික ප්‍රයෝග ලෙස පාඨකයාට හසු නොවන පරිද්දෙන් ප්‍රබන්ධ ව්‍යුහය සමග සියුම්ව වැඩ කරන පියල් කාරියවසම් පඨිතය තුළ නොයෙක් හිතුවක්කාරමේ යෙදෙන්නෙක් බව කිව යුතු ය.

“ කලාකරුවා තම චරිතයේ ඒකාබද්ධතාව හා සමාධිය වෙනුවෙන් යෙදෙන අරගලය ඔහුගේ කලාත්මක වෘත්තිය සමග බැඳී ඇත.එය කිසිසේත්ම සෑම මිනිසකුටම පොදු තත්වයක් විය නොහැකි ය.සාහිත්‍යකරුවෙක් ලිවීම වෙනුවෙන් ජීවත් වෙයි.එය ඔහුට වරප්‍රසාදයකි.ජීවිතය ගොනු කොට තබා ගැනීමේ මාර්ගයකි.සෙසු ජනයෝ හුදෙකලාව, සමාජයෙන් පරත්වාරෝපණය වීම, විප්‍රවාසය ( exile ) , ජීවිතයේ අභූතභාවය ( absurdity ) , ඛණ්ඩිත පෞරුෂය ( schizophrenia ) යනාදී කොන්දේසි යටතේ සිය දුෂ්කර ආයු කාලය ගෙවයි.”
එරික් ඉලයප්ආරච්චි _ සමකාලීන සාහිත්‍ය විචාර_ පිට 29 – 30 

1990 දශකයේ මැද භාගයේ තම පළමු කෙටිකතා සංග්‍රහය ‘ දික්කසාදය ’ නමින් පළ කළ ඔහු 2014 වසරේ දී ‘ කුරිරු සුරංගනා කතාවක් ’ කෘතියෙන් වසර 11 කට පසුව ‘ රිදී රැයකි කළු දිවියෙකි ’ කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කරයි.මේ භාෂාවට කතාවෙන් වියුක්ත පැවැත්මක් නොමැති බවට තේරෙන එකී සංග්‍රහයේ කෙටිකතා හතක් වන්නේ ය.

01. ගිරිදේවි 
02. නුඹ නාඬන් උලලේනී
03. රිදී රැයකි කළු දිවියෙකි 
04. උක්පැණි සුවඳ
05. වැලිකුමාරි සහ ගොළුකුමාරයා 
06. ඇතා වෙලා හිමයේ ඔබ උපන් එදා 
07. සවලක් අතින් ගත් ගුරුවරිය 

කතා ගැන අප එකින් එක, විචාරශීලී අදහස් ඇතුව විස්තර නො කළත්, මේ සෑම කතාවක් තුළ ඇති ප්‍රශ්නවලට අනන්‍ය වූ භාෂාවක් ඇත.එය ව්‍යුහමය චිත්‍රකතා බඳු තොරණ ආලේප විලාසිතා ලියැවිල්ලක් නොවන්නේ ය.මනා භාෂා අවයව සංවිධානයක් ඇති පියල් ආකෘතිවාදය දඩයම් නොකර ගැනීමෙන් ඔහුගේ කතා වලට හුදු විචාරය වෙනුවට කියවීම ද, කෘතිය වෙනුවට පඨිතය ද, ආදේශ වීම සපයා ගත හැකි ය. ඉදින්, අපගේ රූප විඥානය අවුල් කළ සම්භාව්‍ය යථාර්ථවාදී මානසිකත්වයෙන් පියල්ගේ කතා දෙස බැලීම අප නොකළ යුතු ය.ඇතැම් ලේඛකයන්ගේ කෙටිකතා ‘කැතාසීසයක් ’ හෙවත් භාව විරේකයක් ලෙස බැහැර කිරීමට සිදු වන විට පියල් කාරියවසම් වැනි ලියන්නන්ගේ ශිල්පීය නෛපුණ්‍ය අනෙක් අතින් පශ්චාත් නූතනවාදී හෙවණට මුවා වී ඕනෑම අටමංගල්‍යයක් මුද්‍රණය කරන කෙටිකතාවලට එරෙහිව පවතින කැරැල්ලක් ය.

“මං කිවුවනේ..මං කිවුවේ නැද්ද…ෆැක්ටේරිය අහසින් වැටුණා, වගේ වැටුණා…. ඒ එක්කම මහා උක්කැලයක් වැවුණා..හෙලි…කොප්ටරයක්ද ? ආ..ඔව්..ෆැක්ටේරියට වැටෙන්න කලින් මාස තුනක් තිස්සේ හෙලිකොප්ටරයක් නම් රවුමේ ගියා අපේ ගම්මණ්ඩිවලට උඩින්…ම්..ම්….ඔව් ඉතිං වෙන මොනවා කරන්නද? අවුරුදු පහකින් හැම කොල්ලම බල්ලම ඉතිං ෆැක්ටේරියෙ වැඩට ගියා…වල් කොටන උදැල්ල අතඇරලා උක්රොටු පිහදාන්ඩ වැඩපාටියට ගියා…කොරලි වැලක්, ලූල් වැලක් කනවට වැඩිය දෙවේලම සැමන් කන්න උන්ගෙ දිව පුරුදු වුණා.මොකද්ද..? සැමන්වලට වැඩිය මිරිදිය මාළු ගුණයි…? ඔව්වා කාට කියනවද  ? මොන ගුණයක්ද…? දැන් අපේ ගම්මු සැමන් මාළුවට වැඩිය කැමති සැමන් ටින් එකට - ටින් එකේ අලවලා තියන කොළේට.කොළේ පාටට - කොළේ ඉන්න රිදී පාට මාළුවම තමා මං මේ කන්නේ කියලයි අපේ කොල්ලෝ - කෙල්ලෝ - මහ උන් පවා හිතන්නේ මහත්තයා….”

උක්පැණි සුවඳ _ පිට 85 – 86 _ 

කතරගං කැලේට උඩින් වැටෙන වැහි බිජු මැද්දෑවක් අතරින් දිවි දෙනකගේ ලුම්නස් ඇස් ද, සීනි පැක්ටරියේ ඇඹරුම් පාටිය ද, සුදුපොඩ්ඩා මොනර වර්ගයේ මිනිසාව පිට බැද හක්කලං කරන ඉලුක් පතන ද සිහිනයක වේෂයෙක්.‘ රිදී රැයකි කළු දිවියෙකි ’ කියවා ඇත්තෙකුට දැනෙණු නොහේ නම් එය මාරාන්තික පුදුමයකි.පුහුණු කියවන්නෙකු ව ඉල්ලා සිටින පියල්ගේ කෘතිය එක්තරා මායාමය කාන්සිය සමග මතුවන සැකයන් යනු අප ම නිෂ්පාදනය කර ගනිමින්, දුක් පිරිපතක් දරමින් ඉවසා වැදෑරිය යුතු ජාතියේ ඒවා ය. ගිරිදේවිය, සුනන්දාගේ නිළි ආසාව නමැති සුවඳ හමන මදාරා කැටය, සිමෙන්ති ඇන්.ඇම් සහෝදරයා, අඩන කුරුමිණි දෙවියා, සුදුපොඩ්ඩා නම් තනියා, සමනල් තටු පැළදි උපේක්ෂා වැනි චරිතවලින් අප වැනි චූල ලියන්නන්ට සහ පාඨකයන්ට ඇති කරන බරපතළ ප්‍රඥාව විලාසය වඩාත් හොදින් අවබෝධ කරන්නක් බව පැවසිය යුතු ය.පියල්ගේ කතා, ජීවිතයේ සළාවැටුම්වලින් අකම්පාල නොවන ගැමියාගේ කතා සාරය, බණ කතාත් නොවන - ජන කතාත් නොවන ගම්මණ්ඩි භාෂාව මැද්දෑවේ තැවරුම් ලද්දකි.‘ වීදුරු කුඩු කැවුණු කලෙක  නම් ආසා දනවන ආඛ්‍යනයක් සහිත නවකතානුරූපකයට අප තුළ ඇති බරපතළ ෆැලික ප්‍රමෝදය හේතුවෙන් ඔහු හඹා ගිය අප ‘ රිදී රැයකි කළු දිවියෙකි ’ කතා සාරය තුළ වන මායා යථාර්ථවාදී ඇසිඩ් හැලියක පත්ලටම දිය කර දමයි.නූතනවාදී මෙන්ම බරපතළ දේශපාලනික සහ සමාජයීය තේමාවන් සහිත පියල්ගේ ආඛ්‍යාන ක්‍රියාවලිය කතිකාවක් ලෙස සමාජගත විය යුතු යමක් බව අපි විශ්වාස කරමු.එවන් නාභිගතකරණයන් යනු සංකීර්ණ ක්‍රියාවලියකි.එය සාහිත්‍ය ශානර ගැන අරහත් වූ ඇකඩමියාවට වැටහෙන්නේ ද යන ගැටලුව පසෙක ලා ඉදිරියට ගියහොත් පිටු 164 කින් සමන්විත ‘රිදී රැයකි කළු දිවියෙකි ’ කෘතිය එයට ආවේණික වලංගුභාවයකින් හා ආඛ්‍යාන බරකින් හෙබි වන්නේ ය.ඇතැම් කාලගලනයන් පවා ස්ලෝමෝෂන් තත්වයක තිබියදී ආඛ්‍යනයෝ රසභාව කොනහන විට එකී බහු - ආකෘතික ආභාසය කවිකොළ ගයන්නා මෙන්ම ජනකතා ශෛලයේ ද බස් මුසුව අපූර්ව ය.එමෙන්ම, පියල්ගේ අලංකාර යථාර්ථවාදී රීතිය පන්ති අරගලය සහ මානව විෂය පිළිබඳ ස්වයං විවේචනාත්මක සංවාදයකට බඳුන් කරයි.
පියල්ගේ කෙටිකතාවලින් පිළිඹිබු කරනුයේ යම් ඝෝර - ප්‍රපංච මැද මනාකොට පිහිටුවන ලද අලංකාරය බිද දැමූ ආඛ්‍යන උපාය මාර්ග පිළිබඳ කතිකාවතකි.ඒ කතිකාවත ද්විපුද්ගලභාවය නොහොත් භින්නෝන්මාදයක් ලෙස උත්කර්ෂවත් නොකර හෘදය සාක්ෂිය තුළ තියුණු ලෙස නිර්මාණාත්මක වීම සමාජගත විය යුතු යමකි.කැන්ටබරි කතා, අරාබි නිසොල්ලාස කතා, ගී ද මෝපසාංගේ කෙටිකතා, බයිබල් දෘෂ්ටාන්ත කතා, ජනකතා, ආප්තෝපදේශ, ඇමෙරිකානු රචක එඩ්ගා ඇලන් පෝ ගේ අද්භූත සම්ප්‍රදායේ කෙටිකතා, රුසියානු ඇන්ටන් චෙකොෆ් කියවූ සමාජයකට මෙකී කතා කියැවීම කලී වැඩි අමුත්තක් නොවුණත්  එනයින් බඩපුරා සාහිත්‍ය ඵලවැල කෑමක් පෝෂණය වූවා ය.මෙහි පළමු කතාව වන ගිරිදේවි අපි ගෙන බලමු.ඇය, සරසවියේ අවසන් වසරේ අවසන් විභාගයට පෙනී සිටීම උදෙසා බස් රථයකට ගොඩ වන්නට බලා සිටින්නීය.ඒ අතර පියනන්ද සර්ගේ ඇමෙරිකානු සමාජයක උද්දච්ඡකම් - බලය පැතිරවීමේ මායාව - කළු ජාතිකයන් මුදා හරින පීඩාව වැනි දෑ සමග එඩ්වඩ් ඕල්බිගේ තේමාත්මක ලක්ෂණ මතක් වෙයි.බස් රථයට ගොඩ වී මද දුරක් යන විට ඉස්සරහ ‘ පොලිසියෙන් ’ යැයි කියා දොර වැසී යන විට දොරට හසු වී ඇයගේ දකුණු ඇගිල්ලේ මැද පුරුක බිඳී යන්නේ ය.දකුණතේ ඇඟිල්ල ශල්‍යකර්මයකට භාජනය කරන විට වෛද්‍යවරයා ඇයගේ හැබෑ නම ‘ සීතානි පීරිස් ’ යැයි හෙළි කර ගනියි.ඇය විභාගය ලියන්නට යා යුතුයි.පසෙකින්, ’ නූතන ඇමෙරිකානු නාට්‍ය රචනා ’ ය.
“මොකද ආයෙත් තොල් බෙරි කරගත්තේ? කම්බියක් කිව්වම බය වුණාද? බයවෙන්න දෙයක් නෑ.ඇහැට පේන්නේ නැති තරමේ කම්බියක්.ඇඟිල්ලේ පුරුක හා වුණාම කම්බිය ලේවලටම දියවෙලා යනවා…දන්නවද මේ කම්බි හදන්නේ අනෝතත්ත විල්ඉවුරේ මුල් ඇද්ද දැවන්ත කුඹුක්ගහක ජීවත්වෙන මීහරකෙක් තරම් ලොකු තාපස මකුළුවෙකුගේ කෙළවලින් පෙරාගත්ත දැලකින්..” සිනහව අතරින් දිග කතාවක් කියාගෙන යන වෛදවරයා නැවත ප්‍රශ්නයක් අසයි.

   “මොකද්ද නම කිව්වේ? ”
   “ ගිරිදේවි.”
  “ ගිරිදේවි..? මං අහන්නෙ ශිෂ්‍ය හැඳුනුම්පතේ තියෙන නම, කාඩ් එක නෙමෙයි.”
“ සීතානි පීරිස් ”
“ ඕ..ඕ..ඕ..පීරිස්වරු.සියවස් තුනකට කලින් රා මදින්න කැලිකට් ඉඳන් ලංකාවට ආව පරම්පරාවක්..මුළු ජීවිතේම අවදානමක් විදිහට බාරගත්ත, සටන්කාමී නෑයොනේ ඔයාට ඉන්නේ..කියවල නැද්ද ආචාර්ය කුමාරි ජයවර්ධනගේ පොත්? ” 

ගිරිදේවි _ පිට 24 – 25 _ 

මෙවැනි ස්වරූප අප ඔහුගේ ‘ කුරිරු සුරංගනා කතාවක් ’ යන කෘතිවලින් ද දුටු ලක්ෂණයකි.පියල් කෘතිය තුළ ම පවසන අයුරට මූලාරම්භය සමග කතන්දරය ක්‍රමයෙන් වර්ධනය වන විට භග්වතී විනිශ්චයකාරතුමාගේ මහජන නඩුකර නම් වූ නීති කෘත්‍යය පිළිබද ලියැවුණු සටහන් ගෙතිල්ලට බලපෑම් කරන්නට පටන් ගත් බව පවසයි.ඉන්දියානු අධිකරණය තුළ මහජන අර්ථසාධක නඩුකර පී.එන්. භග්වතී ය.මෙය සාමාන්‍ය නඩුවකදී මෙන් නොව අගතියට පත් පාර්ශ්වයකට පමණක් නොව සමාජ යහපත වෙනුවෙන් ඕනෑම අයකුට අධිකරණයට යාමට මෙමගින් අවකාශය ලැබුණි.එනයින්, ලිහිල් කිරීම ( Locus standi ) සහ ලිපි මගින් නඩු පැවරීම ආදිය ප්‍රකට වෙයි.නඩු වාර්තා, පොලිස් වාර්තා, විද්‍ය ප්‍රබන්ධ, මානව විද්‍ය ලිපි ලේඛන, දේශපාලන ලිපි ලේඛන ආදිය එක්ව ඔහුගේ හැදෑරීම කොපමණ ද යත් ‘ ගිරිදේවි ’ මගින් ප්‍රකට වීම විමතියට කරුණක් නොවන බවට අපට පසක් වෙයි.ඒ සදහා විවිධ විෂයයන්ගෙන් සන්නද්ධ වීම සහ නිශ්චිත සෞන්දර්ය විද්‍යාවක් සොයා ගැනීම ආඛ්‍යානයත් හුදු වාර්තා බසත් අතර ඇති වෙනස මොනවට පෙන්නුම් කරයි.පියල්ගේ කාබනික සමාජීය නිර්මාණ හරහා අපගේ දැනුම පවා වාෂ්පීකරණයට නතු නොවීමට වග බලා ගනුයේ එහෙයිනි.

“ ජීවිතයේ එක්තරා කාලයක එනම් 2002 – 2004 දක්වා මට බොහෝ සතිඅන්තවල රත්නපුර, උඩවලව, තණමල්විල, වැල්ලවාය, ඔස්සේ මොනරාගල බලා දුරගමන් බස් රථයක ගමන් කරන්නට සිදුවිණි.ජනේලයක් අසල වාඩි වී යන්නට සිදුවූ ඒ ගමනේදී මට නිරන්තරයෙන් දැකගත හැකි වූයේ අවුරුද්දෙන් අවුරුද්ද වෙළද සමාගම් ග්‍රාමීය ප්‍රජාවගේ ඇස සහ රසය වසඟයට ගන්නා ආකාරයයි.ඒ වසඟය විශේෂයෙන් තරුණ පිරිස ඉලක්ක කරගනිමින් වර්ධනය වන ආකාරයත් ලිංගික ආකර්ෂණය වසඟයේ මූලික උත්ප්‍රේරණයක් බවත් න්‍යායිකව දැන සිටි මට ප්‍රායෝගිකවම දැනෙන්නට වූයේ වලවේ ජලාශයෙන් යැපෙන ගොවි පරම්පරාව සහ සුළු වෙළෙන්දන් ක්‍රමයෙන් නොපෙනී යන අයුරුයි.අපරාධකාරී ක්‍රියා සහ වංචනික දේශපාලනයේ නියැළෙන ඔවුන් පරිසර දූෂණය කරමින්, පැරාමිලිටරි ක්‍රියාකාරකම්වල යෙදෙමින්, ජනප්‍රිය ආගම අදහමින් දිවිසරි කරගන්නා අතර, ශීඝ්‍ර පරිහානියකට පත්වෙමින් සිටින බවක් පෙනිණ.ඔවුහු තමන් පීඩිතයින් බවත් තමන්ගේම පීඩකයින් බවත් ( තමන්ම) නොදත්තෝය.”

එක්තරා පසුවදනක් _ පිට 158 – 159 _

මෙලෙස ගොඩනැගුණු ඔහුගේ ‘නුඹ නාඬන් උලලේනී ’ නම් ට්‍රැජඩිමය කතාව මගින් සුනන්දා නම් තරුණිය නිළියන්ට පෙම් බැදීම අලලා සුදු අයියා කෙනෙකුගෙන් ලැබෙන කොකා කෝලා බීම හේතුවෙන් සිහි නොලද ඇය අයියලා රංචුවකින්, විපරීත ලිංගිකත්වයේ විලාසිතාමය ව්‍යාපෘතියක් ලෙසින් දූෂණය වන්නී ය.මේ කතාව අප කියැවිය යුත්තේ තේමාත්මක පණිවිඩයක් පිණිස පමණක් නොවේ.එය ගත යුත්තේ භාෂාත්මක, රූපකාර්ථීය, ව්‍යුහමය පරිසමාප්තිය ද සළකා ගෙන ය.ස්ත්‍රියට භාෂාවක් නොමැති නිසා පීඩනයට එරෙහිව කුමන නම් භාෂාවක් සොයා ගනීද යැයි අප සිතන්නෙමු.ඒ කුමන නම් භාෂාව පවා ආපහු කැරකෙමින් මතු වන්නේ පුරුෂෝත්තමවාදයට ම ය.දැන්, ඇයට හයිමන්රෙක්ටමියකින් කන්‍යාභාවය පිළිසකර කර යළිදු ස්ත්‍රී ජීවිතයකට යාම ට හැකිද?ගමෙහි වසන්නට බැරි හේතුවෙන් වේසා මඩුවකට තල්ලු වේවිද ? සුරක්ෂිත බවින් තොර වීම, කෙලෙස් ගිහිගෙය බිද වැටීම, භාෂාව අහිමි ස්ත්‍රියක් වීම, දැවී අළුව ගිය හේනක ශේෂ වූ අවසන් දුමානය මෙන් සුනන්දා පිටුපසින් ගමන් ගන්නේ නොවේද? ඇය සැබැවින්ම පිරිමි ලෝකයෙන් පිටව යන්නේ කෙසේද ? පුරුෂ හිරිහැරය යනු පිරිමියා විසින් ඉල්ලන සිංහල බෞද්ධ හෙජමොනියේ අවජාතක නිශ්පාදනයක් නොවේද ? ඉදින්, ඒවා කුලඟන සමිති සමාජ ස්ත්‍රීවාදයට සේවාවන්ට කිසිවිටෙකවත් නොපෙනෙන ඒවා ය.ජීවිතය හා මරණයෙන් මතු කාලය ඒකීයව ගලා යාම තීරණය කරන සුනන්දාගේ කතාව තුල ඇති සත්‍යතාවය නෂ්ටාවශිෂ්ඨයන් බවට පත්වූව ද එය යථාර්ථවාදය තුල බෞතීස්ම වීම වලකණු හැකි වේද? මේ ඔස්සේ ප්‍රතිනිර්මාණය වන ජීවිත වින්‍යාසය වනාහි අප ජීවත්වන යුගයේ ම හරස්කඩකි.සමාජය පුරා මමංකාරී ස්වරූප පිළිරාව නැගෙන විට මෙකී ගාම්‍ය ගුඪත්වය ස්මරණය කරනුයේ අසරණභාවයේ පැල්ම නොවේද ? ස්ත්‍රියකගේ ශරීරයේ ස්වයං නිර්ණ බලය විපත්භාවයට පත් වීම අරඹයා ගැහැණුන්ට අවශ්‍ය වන්නේ ලිංගික නිදහස නොව හිංසනයෙන් නිදහස බව නො වැටහෙන්නේ ද ? 

“ සුදු සුනන්දෝ…සුදු සුනන්දෝ.. ලබන ආත්මයේ මං වාගේ පාටවෙන්න නං හාමුදුරුවන්ට රන් තැඹිලිතෙල් පූජකරල මදි.. තෙල් එක්ක මදාරා සබනුත් පූජා කරන්න ඕන..අද මං රඟපාන චිත්‍රපටිය බැලුවට පස්සේ නොමිලේ ලැබෙන මදාරා සබන්කැට දෙකකින් එකක් ඔයා ඇඟේ ගාන්න තියාගන්න.අනික මේ මාසයේ දන් සීට්ටුවට පන්සලට අරගෙන ගිහින් ලොකු හාමුදුරුවන්ට පූජා කරන්න…ඔන්න අමතක කරන්න එපා අද පොළේ පෙන්නන චිත්‍රපටියේ මං පණපිටින් ඉන්නවා වගේ පේනවා…දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න.”

නුඹ නාඬන් උලලේනී _ පිට _ 41 – 42 

පියල්ගේ කෙටිකතා සංග්‍රහයට නම දුන් ‘ රිදී රැයකි කළු  දිවියෙකි ’ යන කතාව පැටලෙන්නේ ඉනික්බිති ය.මේ වූ කලී පුරාණෝක්තිමය ප්‍රතිනිර්මාණ විදිහෙන් ගලවා වෙන්කරගත නොහැකි ආඛ්‍යන ර‌ටාවකි.ඔහු පවසන අයුරින් රාජන් හූල්ගේ කෘති මෙන්ම මයිකල් රොබර්ට්ස්ගේ තොරතුරුමය සංග්‍රහයන් ත්‍රාසයෙන් යුතුව කියවීම ද, සංදේශ කාව්‍ය වල සිට කොළඹ යුගයේ කවීන්, විලියම් බ්ලේක්, රොබට් ෆ්‍රොස්ට් සහ හියුස් වැනි කවියන්, කියවීම ප්‍රිය කරන කතුවරයා එම කතාව ලිවීමට අනුබලය ලබා ගත්තා බව පවසයි.අද වනවිට ප්‍රවෘත්ති බහුළ වීම, ඒවා කතාන්දර බවට පත් වීම, සමාජ විපරීතභාවය, ෆේස්බුක් - ටුවිටර් - වෙබ් අඩවි - පුවත්පත් ආදිය සමග කතාකරුවන් තොරතුරු ගබඩා බවට පත් වන විට සහ ඒවා අට්ටි ගසන විට එකතු වන අනවැසි තොරතුරු වලින් කතා පිරී යාම පියල්ගේ ශෛලිය තුල නො මැත්තේ ය. එය බොහෝ කතුවරුන්ට ආවේෂ වනුයේ විඥානයේ සහ විකෘතිභාවයේ ජනප්‍රිය සංස්කෘතියක් දක්වා ය.
තම අඹුවගේ මරණයත් සමග උක් වගාව හා බැදුණු පැක්ටේරිය ගමට ගෙන ආ නස්පැත්තිය ගැන සංවේදී වන ගුණේරිස් උක් වගාවෙන් පලි ගන්නට සිතීම එය අවසන් වන අවතාරය ගැන ඉඟිය ද, අනෙක් මරණය ද ’ උක්පැණි සුවඳ ’ වැනි කථාවකින් පොලා පනියි.අප සත්ව විමනෙන් බිදී ශිෂ්ටාචාරගත වූයේ ආශයන් මර්දනය කරන්නට වූවත්, අප තුළ පවතින මනුස්ස අඩංගුව කොයි තරම් කුඩා දැයි මෙයින් දෘෂ්‍යමාන වෙයි.

“උක්යාය කෙළවරට විසි කරනු ලැබ අමතක කර දැමූ ගොවි කම්කරු මිතුරන් සැන්දෑ සමයේ ප්‍රදානය කළ උක්පැණි බීම පානය කරන අතර මම උන් හා කතාවට වැටෙමි..පිට රතු කෑරලෙක් ලන්දේ කෑගසන බව ගොවි මිත්‍රයෙක් මට කියා දෙයි.පසු දින උදෑසන උක්පැණි කුයිල මුවගින් වෑස්සෙද්දී මම ‘උක්පැණි සුවඳ ’ කතාව ලියන්නට ගනිමි.”

එක්තරා පසුවදනක් _ පිට 161 _ රිදී රැයකි කළු දිවියෙකි _ 

‘ වැලිකුමාරි සහ ගොළුකුමාරයා ’ කතාවෙහි අඟවන කතාන්දරය පහුගිය පශ්චාත් යුද සමයේ උතුරේත් - දකුණේත් සිදු වූ සමාජ දේශපාලන ගැටුම් සිහිපත් කරයි.අතිමූලික සමාජ සත්තාවන්ට පවා ප්‍රතිමුඛ වන විසකුරු සමතලවාදීන්ගේ අදුරට මෙවන් ආඛ්‍යානයක් ගොඩ නැගීම පැසසුම්සහගත කටයුත්තක් නොවේද? ඒ සියල්ල යුදමය තත්වයකට වඩා අප මිනිසුන් ද යැයි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂාවක් නොවේද?
 ‘ ඇතා වෙලා හිමයේ ඔබ උපන් එදා ’ යන කතාව ද එවන් බරපතළ වේදනාවකි.රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ආදිවාසී කැකුළෙක් පිළිබදව කතුවරයා කියැවූ ප්‍රවෘත්තිය ඇසිල්ලේ අපරාධ චෛතසිකය ගැන ඇති බිය ද, ප්‍රධාන හෙජමොනිගත පුවත්පත් කලාව දහස් මිනිස් සමූහයා ගැන නොලියන බව ද ඔහු මෙන්ම අපි ද දනිමු.ඉහත කතාව ඔස්සේ ප්‍රතිනිර්මාණය වනුයේ මෙකී ජරාජීර්ණභාවයෙහි හරස්කඩකි.ඊනියා බුද්ධිමතුන් සහ රාජ්‍ය ව්‍යුහය තුළ වන සෝදාපාළුව හෙලනුයේ කවර හීනමානයක් ද යන්න එයින් පොලා පනිනු වළකණු නො හැක්කකි.ලිවීම යනු තනි පුද්ගල කාර්යයක් නොවන වගත් ඊට සාමූහික සිම්බොලික රූපකාර්ථ අවැසි බවත් එය කතාකරුවාට මගහරින්නට නොහැකි යමක් බවත් කතුවරයා මෙන් ම අප ද දනියි.විනෝද කර්මාන්තය මත දූෂණය වූ යථාර්ථය තුළ මනෝභාව ස්පර්ශ කරන්නට නොහැකි වන විට ඒවා පටු ග්‍රාම්‍ය තැනකට තල්ලු වීම වළකණු නොහැක්කේ ය.

“ ගොයම් කිරිවදින කාලෙට හොඬේ දඬුවැටෙන් ඔබලා කිරිවදින ගොයම උරාබොන හිතුවක්කාර අලිපොඩ්ඩෝ අපේ ගම්මැදිවලට අරුමයක් නෙමෙයි මහත්තයා..එහෙම මතු වුණාම..පලයන් හත්තන්නේ පලයන්…අපේ මලේ නිල්ගල වනාන්තරයට පලයන්..උඹ ඔහොම මේ කිරිඇට ටික උරාගත්තම, අපි අපේ පැටවුන්ගේ සුදහ ගින්නට දෙන්නේ මුනා - මුනා කියලා මඩුඅත්තක් අරගෙන කෑගැහුවාම උන් ආපසු කැලේ ඇතුළට යනවා මහත්තයා…මේ අක්කර සීය වටකරාම උන්ගේ අලිමංකඩවලුයි අපේ ගම්මැදි - ලවල් අඩිපාරවලුයි සේරම අතරමං වුණා මහත්තයා…”

 ඇතා වෙලා හිමයේ ඔබ උපන් එදා _ පිට 122 _ 

‘ සවලක් අතින් ගත් ගුරුතුමිය ’ නම් කෙටි කතාවේ සවල අතට ගැනීමට තවත් අංශුවක් හෝ පමා වුණේ නම් කුමක් වන්නේ ද යත් බරපතළ වේදනාව අප ඉදිරියේ තැබෙයි.තමාරා නම් ගුරුවරිය ළමා නාට්‍ය උත්සවය සදහා වන වෙහෙස සහ කුඩා සමනලියක ලෙස රංගනයේ යෙදෙන නිළි දැරිය වටා යෙදෙන මෙම කතාන්දරයට වෙනම ආත්මයක් තිබෙන බවත් එය වේදනාවෙන් පමණක් මිනුම් කොට ගැනීම දැරියට පවා කරන අවමානයක් බවත් පැවසිය යුතු ය.දැරියගේ වේදනාව සමස්ත ජන - වේදනාවක් බවට පත් කළහොත් අප එකිනෙකා ඒ ගැන හිතන ආකාරයේ වෙනස් වෙනස් කාල මෝවිටයන් පිහිටියේ කොයිබදැයි සොයා බැලිය යුතු ය.එකල්හි ඒ සංඛේතීය සමනල් තටුව එකී කාල මෝවිටෙහි කැරකි කැරකී තිබෙනු අපට දැක ගත හැකි ය.සමනල් තටු එකලස්කරණය කළ හැකිද? ඒ තටුව වාහක කොට ගත් තාක්ෂණික උපක්‍රම මගින් පුංචි හිතක් සමනයට පත් කළ හැකිද? ඒ තටු මැද විසකුරු වන විපරීතකාමී බව, ස්වයංපීඩාකාමී බව, පුරුෂ ලෝකය තුළට ආරෝපණය වීම දැන්, දැන් අනිවාරණීය දෙයක් බදු ය.හැබෑ කරුණ නම් එය හත්මුතු දරු පරම්පරාවක් වැනසිය හැකි විසකුරු ගණයේ බැක්ටීරියාවක් වන බව ය.කතුවරයා පවසන අයුරින් ඊට ප්‍රස්තුත තැනෙන්නේ වයඹ පළාතේ නාට්‍ය උළෙලක් විනිශ්චය කරන අතරවාරයේ රංගනයට කිසිදු ආකාරයකින් සේවයක් නොවූ විශාල පිහාටු දෙකක් පැළදගත්, අදාළ රංගනයට කෙටි මොහොතකට පෙනී සිටීමකින් පසුව අනාථ වූ කුඩා නිළි දැරියක් දැක ගනිමිනි.එය තවත් පැහැදුල් ව එකී අනාථ දැරියගේ නේත්‍රාවන් පියල්ව ලුහුබැඳින්නට වූයේ එඩ්ගා ඇලන් පෝගේ ‘ ගතු කියූ හදවත ’ විලාසයෙන් බදුව යැයි පියල් පවසයි. 

“ ළමයෝ නාට්‍ය කියන්නේ නාට්‍ය. ළමාද වැඩිහිටිද වෙනසක් නෑ.වැඩිහිටියෝ තරමට ළමයිනුත් සාහසිකයි, ප්‍රචණ්ඩයි.හැරී පොටර් නවකතාව සාහසික නැද්ද ? ලෝඩ් ඔෆ් ද ෆ්ලයිස් ප්‍රචණ්ඩ නැද්ද? ආර්. කේ. නාරායන්ගේ ස්වාමි හා යාළුවෝ ප්‍රචණ්ඩ නැද්ද? ලියන විදිහ හොයාගන්න. ඒකයි කරන්න ඕන.දැන් බලමු…පිට උදාහරණ නෙමෙයි, අපේ ජනකතාවල බැලූ බැලූ අත නයි ගිලින, දෙබරු අනින අවස්ථා, ලේ ගලන රන් අසිපත් නෙමෙයිද තියෙන්නේ? ”

සවලක් අතින් ගත් ගුරුවරිය _ 141 පිට _ 

අලංකාර, වර්ණභූෂිත පට සළු, මැද බලහත්කාරය යනු පුංචි දැරියකට කවරාකාර කම්පනයක් වීදැයි රාක්ෂ ආත්මයන්ට හැංගෙන්නේ නැත.එවන් උම්මන්තක රාක්ෂයන් විවිධ වේශවලින් වෙස් ගැන්වී සිටියි. වේදනාව අප ජීවිත සමග කෙතරම් ඓන්ද්‍රීයදැයි මෙම කෙටිකතාව විසින් බරපතළ ලෙස අප අවුළුවනු ලබයි.මෙවන් ලිංගික අවුල් වලින් ඉනික්බිති අධෝ - ව්‍යුහයේ ගැටලුව උපරි - ව්‍යුහයේ ගැටලුවක් බවට පත් වීම නවතනු නොහැක්කක් සේම බලහත්කාර ලිංගිකත්වය තුළ වන අශ්ලීල විනෝදය දෙස බලා සිටින්නකුට පියල්ගේ කෙටිකතා සංග්‍රහයේ අවසාන කතාව නොහොත් හත්වන කතාව එතරම් වැදගැම්මකට ගත යුත්තක් නොවේ.අශ්ලීල විනෝදක්කාරින්ට අවැසි වෙනකකි.එනම්, එදෙස බලා ලාංකේය කලා හෙජමොනියේ ජාතික තොටිල්ල නළවමින්, මල් කැකුළු ඇතිරූ වෙන්දේසි  වෙළදපොළ කොටස් භජනය කරන්නට ය. ඔරිජිනලය අහිමි වූ, හුදු කාම සුඛල්ලිකානු -  දුරාචාරයක හෙබි එවන් වග වලසුන්ගේ ලිඟු කපා, ලිඟු මාල  ගෙලවල් තුළ ම දැවටිය යුතු නොවේද?  

“ උපේක්ෂාට සම උස වන්නට දණගසා ගෙන ශූර ලෙස බකට්කම්බි කැපූ මාමා, සමනල පිහාටු සහ රංගවස්ත්‍ර ගලවන්නට උපේක්ෂාට උදව් කළ පසු, රංග වස්ත්‍රවලට යටින් අම්මා නිදිමරමින් මසා උපේක්ෂාට ඇන්දවූ සමේ පැහැයට හුරු දිගු කලිසමට අත තැබුවේය.ඒහාම අඩවල් දොරට පයින්ගසමින් තමරා ගුරුතුමී මැවී සිටියාය.ළය පුරා හුස්මක් ගත් ඈ, උපේක්ෂා වේගයෙන් තමා කරා ඇද ගනිමින්ම බිත්තියට හේත්තු කර ඇති සවලක් දකුණතට ගත්තාය.තමා කරා මෙවන් ශක්තියක්, විභවයක් ගොනු වූයේ කිනම් බලවේගයක හේතුවෙන්දැයි තමා ගැනම පුදුම වූවාය.”

සවලක් අතින් ගත් ගුරුවරිය _ පිට 152 _

ද්‍රව්‍යමය වී ඇති විඥානය ද, මානව විෂය අහිමි විකෘතිය ද කරපින්නා යන සමාජයක සංයුතිය සකස් වූයේ කෙබඳු අන්තයන් මැලියමින් අලවාගෙන ද යැයි අප දනියි.කලාවට එරෙහිව බැරියස් දමන ධනේශ්වර පාලනයේ ආඥාදායකත්වය තුළ මෙවන් අගතිගාමී තත්වයන්  සිදු නොවිය යුතු ය.පියල්ගේ කෙටිකතා ශෛලිය තුළ ආත්මීය ලෙස ඒවා තුළම අප්‍රකටව හෝ පවතින දේශපාලන වේදනාව නොසලකා සිටිය නොහැකි ලෙස අප ප්‍රශ්න කරයි.ඔහුගේ කතන්දරවල ප්‍රධානතම දෘෂ්ටිවාදය ලෙස මතු වන්නේ එම ප්‍රශ්න කිරීම් ය.එය කතාවල සමස්තවාදයට බාධා නොකර රසවාදය ඉක්මවූ යාතුකාර්මික ගම්මණ්ඩි භාෂාවක තැවරීම විස්මයජනක ය.පියල්ගේ ටෙක්ස් එක නමැති සාහිත්‍ය පෙළ, අසන්නා විසින් ග්‍රහණය කර ගන්නා ශබ්දගත ආඛ්‍යන ඥානයට මැලියම් වීම වටිනා සංස්කෘතික දායාදයකි.එය මුද්‍රණය ආරම්භ වීමට පෙර මානව සංහතිය තුළ පැවති ක්‍රමවේදය වූවත්, ඔහුගේ ජන ආරේ භාෂාව එයට හොදින්ම ගැළපෙයි.මෙවන් සාහිත්‍ය මොරාලීය ආඛ්‍යනයෝ අප වැනි පාඨකයන්ට මොරාල් වඩවනු පිණිස දළුලෑ ම ඒවා ය. ඔහුගේ බස් - සුරුභාවය වාග් - ජන ආර, දේශපාලනිකව කියවා ගැනීම අප කළැ යුත්තේ එබැවිනි.හැම කතුවරබවකම ආඛ්‍යනයෝ සියුම්ව නිරීක්ෂණය කරන කල්හි, ඒ ආඛ්‍යනයෙහි හැඩර‌ටා, රූප, රේඛා, පෙනෙන්නට ගනියි. අතිසමීපව බැලූ කල ඊට අනන්‍ය සෞන්දර්ය කෙසේ ද යත් පැහැදිලි වෙයි.පියල්ගේ ආඛ්‍යනයෝ ඒ මායාමය තැවරුමෙන් යාවත්කාලීන වන සාහිත්‍ය මාර්ගයේ කටු දුහුල් ක්ලීන් කිරීමට සමත් වන්නේ ය.එය අප ලිපියට බට පිවිසුම් මොහොතේ දී ම සනිටුහන් කළෙමු.එය ආත්මීයව එළඹිය හැකි සාහිත්‍ය වැඩබිමක් බැවින් කලා සංස්කෘතික භාවිතාව පටු නොවන කතිකාමය අවකාශයක් නිර් - සංස්කෘතික ඈ වූ දෑ පසෙක දමා, අවැසි වන්නේ ය.සාහිත්‍ය විසින් අප සමාජය අතිශය සංවේදී කළ පදනම ඇත්තේ මෙකී ඉන්ද්‍රජාලික යථාර්ථය තුළයි.මිනිස් පැවැත්මේ අසිරිය වෙනුවට ආශාවේ හිස්ටරිකත්වය සහ ලිංගිකත්වයේ විපරීතභාවය ද, ස්වයං පරපීඩකත්වය ද, මිනිස් හැගීම් තුළ කරගස්සවා වැඩ ගන්නා විනෝද සමාජයක රෝපණය වන කලාත්මක අධිනිශ්චය කුමක්ද? ඒ පිළිබඳව මෙසේ පැවසීම හා හෙළි කිරීම කවර ක්‍රියාවලියක් ලෙස වූවත් අප විමසන්නේ නැත.මන්දයත්, අපට වුවමනා ඒ ක්‍රියාව ලොවට හෙළිකරන ටූල් සෙට් එක කතුවර අතක තිබෙනු දැකීම ම පමණකි.ටූල් අතර පිහියක් - කිණිස්සක් වූවද  අපට කම් නැත.එයින්, මිනිසෙකුගේ ගෙල කපා දමනවාට වඩා තමන්ගේ හෘදය සාක්ෂියට ඇන එයින් මතු කරගත් ලෙය, තුඩකට ගෙන කඩදහියක අකුරු බවට පත් කරනු ඇතැයි අප සිතනුයේ ඒ නිසා ය.කෘතියෙහි මතුපිට භාෂා රූපය අතික්‍රමණය කර, ප්‍රති - කියවීමක් කරා ගමන් කළ පසු භාෂාවේ සිරුර, එක්ටැමක සිරගත කර ජම්පරයක් නොවිය යුතු ය.යථාර්ථවාදී රීතිය ඉක්මවමින් කතා ලියූ පියල්ගේ කෙටිකතා ගෘහ නිර්මාණය ශිල්පය මෙන් සංස්කෘතිකව ජයක් ලබන්නේ ඒ නිසා ය. පාඨකයා ඒ නිර්මාණ අවකාශයේ පදිංචියට පත් වෙයි.සාමාන්‍ය තථ්‍ය ලෝකයේ එකිනෙකට සම්බන්ධ නොවන දෑ වෙනුවට සංකල්ප රූප තුළ අලුත් අර්ථ උපද්දන්නේ එහෙම ය.සමහර හිස් තැන් තිබේ නම් පරිකල්පනයෙන් පුරවා ගන්නට පාඨකයා සමත් වන්නේ එකල්හි ය.

“….. සිංහල කෙටිකතාව තුළ විකල්ප යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිවල ඉතිහාසය ගැන වෙනම අධ්‍යනයක් කළ යුතුය.එහෙත් හේමපාල මුනිදාස, සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර, කපිල කුමාර කාලිංග වැනි අය විවිධ විකල්ප යථාර්ථවාදී රීතිවලින් කෙටිකතා ලියූහ.අනූව දශකයෙන් පමණ පසුව එවැනි පර්යේෂණාත්මක රීතිවලින් කෙටිකතා ලිවීම ඉතා සාමාන්‍ය දෙයක් බව කීර්ති වැලිසරගේ, එරික් ඉලයප්ආරච්චි, නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම්, මංජුල වෙඩිවර්ධන, අනුරසිරි හෙට්ටිගේ, ප්‍රභාත් ජයසිංහ වැනි අයගේ කතාවලින්ද පෙනේ….”

ලියනගේ අමරකීර්ති _ කෙටිකතා කලාව _ පිට 262 _ 

කලාව තුළ ස්වයං - නාශක වැඩපිළිවෙළක් තිබිය යුතු ය.එය අවතාර දේපළක් ලෙස අකාලයේ මිය යාම මහත් වූ අභග්ගයකි.එහෙත් මේ සාහිත්‍ය දඩයමෙන් අපට ගැලවෙන්නට නොහැකි ය. සාහිත්‍ය ධනවාදය විසින් ඉටු කරනු ලබන සාහිත්‍ය අල්ලස්, ශාස්ත්‍රාලීය මානව පාඨමාලා, කලා සංගම් තනතුරු, සාහිත්‍ය ත්‍යාග, ආදී ඇණවුම් පසෙක තැබුවොත් ලාංකේය කලා හෙජමොනියේ අවජාතක පැල්ම සංයුක්ත ආයතන පද්ධතිවලින් කොන්ක්‍රීට් දමන විට මානව විෂය අහිමි වන්නේ කෙසේද යන්න අප විමසා බැලිය යුතු ය.මේවා වෙනුවෙන් අතිසරල වූ නිගමනවල යෙදෙන යථෝක්ත සාහිත්‍ය කලා හෙජමොනියේ අවජාතක කලලය වන ජනතාවාදය ද භූමිපුත්‍රවාදය ද, සමාජ විද්‍යාවේ සීමා තුළ සිරගත වීම බරපතළ අභග්ගයකි.ඉන් විනිර්මුක්තව සමාජ පන්තියේ අභ්‍යන්තර චිත්‍රය අදින මුළු මහත් සෞන්දර්යවේදයම කලාත්මක යථාර්ථවාදයට සීමා කළ නොහැකි බවට අප සිතන්නේ එබැවිනි.ශාන්තිකර්ම වේශයෙන් අලංකෘත වයිරමක් බදු පියලුන්ගේ කෙටිකතා අපට වටින්නේ එවැනි ස්ථරවලින් ඔහුගේ ආඛ්‍යාන විතැන් වූ නිසාවෙනි.එසේ නොවේ නම් ඔහුගේ ආඛ්‍යාන පැවැත්මේ විශාල පංගුවක්, ඔහු ලියන වේගය තුළ පමණක් නොව, හෘද සාක්ෂිය තුළ පවා සමපාත කර දිමි ගොටු කැවිය යුතු ය.’ දිමි ගොටු ’ සංකේතීය ය.ඉන් වරනැගෙන දේශපාලන අරුත, සමාජයක් ලෙස අප කියවා ගත යුතු ය.පියල් අපට අසු වන්නේ එතැන ය. ඒ සාහිත්‍ය මායාකාරිත්වය අපට ගෙනෙන විස්මයක් - යථාර්ථයත් අතර ඇතිරෙන අරුමැසියාව තුළ ය.මහා නාමකායන් තුළ ලෙලදෙන අඩංගුවන් කෙතරම් කුඩාදැයි දෘශ්‍යමාන වන මෙකල්හි එකී භාෂණය කෙතරම් වැදගත් පියවරක් ද යන්න අප විමසා බැලිය යුතු ය.අවසන අප පවසන්නේ පියල්ගේ ‘ රිදී රැයකි කළු දිවියෙකි ’ කෘතිය වනාහි මානව විෂය ප්‍රශ්න කෙරෙන, සියල්ලේ සාපේක්ෂතාවය ද, ජීවිත පරිඥානය ද අවබෝධ කර ගත්, තදියම්කාර නොවන අසිරිමත් යාතුකර්මයක් බව ය.

“ මං ඉතිං මොනර වර්ගයේ මිනිහ වෙච්චි…අපේ වරිගේ තමයි.. ගොවිතැනට බහින්ඩ කලියෙන් මහ රජ්ජුරුවන්ට - සංඝයාට පූජා කරන්ඩ දඩමස් කත් ඇද්දේ..ඒ උරුමෙද කොහෙද ගහන ගහන පාරට මටත් නොදැනීම මගේ උගුරෙන් පිටවුණේ මොනර කුකුළෙක්ගේ කෙකර බෑගිරිය….දෙවැනි සමයමට රාත්‍රිය ගොඩවදින්න තරු පායනකොට වතුර ඉහිනවා - පතබානවා.. වතුර ඉහින්නේ සිහිපත්තිය ගන්ඩ…පතබාන්නේ සිහිය නැතිවෙන්ඩ..”

ඇතා වෙලා හිමයේ ඔබ උපන් එදා _ පිට 123 _