සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ


කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත "කව් සිළුමිණ`" හෙවත් කුසදාවත  නමැති මහා කාව්‍ය ග්‍රන්ථයේ  ඉහත සඳහන් කවිය අර්ථ ගන්වන්නේ මෙසේය. සරස්වතියගේ මඳ බැලුමකිනිදු ජනයා කවීහු වෙත්වා. කාව්‍යයෙහි රස හා භාව විඳිය හැක්කා වූ අය නම් ඉතා දුර්ලභයෝය.

සුකීර්තිමත් සුගේය පද රචක කළුආරච්චිගේ දොන්. කුමාරසිරි ධර්මවර්ධන හෙවත් කේ.ඩී.කේ ධර්මවර්ධන  යනු සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබූ  පෙදෙහි රසහව් සොයාගිය සුදුර්ලභ කිවිසුරෙකි. කේ.ඩී.කේ වූකලි  ලාංකේය සුභාවිත ගීතාවලියේ භාෂානන්දයයි. ඔහු ලියූ බොහෝ ගීත සංස්කෘත මිශ්‍ර සිංහල සුබස සුරස ගුලාවකි. ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ.විජේතුංග, කේ.ඩී.කේ ධර්මවර්ධන ආදීහු  යුගකාරක මෙහෙවරක නියැළුණු ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ගීත ලියූ ගුවන් විදුලියේ නිවෙිදන කාලාවෙි ද පතාක⁣යෝය. ⁣සුභාවිත ගීතයේ මෙන්ම නිවෙිදන කාලාවෙි ද  භාෂා අාකෘතික හරඹ කළ තිදෙනා ම ගුවන් විදුලි රජදහනේ ඔටුනු නොපළන් කුමාරයෝය. ගුවන් විදුලි සේවයට දිවිහිමියෙන් කැපවුණ ද ඔවුහු නිසි ඇගැයුම් නොලැබූහ. අවසානයේදී ධර්මවර්ධනයෝ සිය රාජකාරී ජීවිතයෙන් සහමුලින් ම කලකිරී රට හැර ගියහ. අඩසිය වසකට වැඩි ජීවිතයෙන් නොකල්හි සමුගෙන ගිය ධර්මවර්ධනයන් මෙරට බිහිවූ විශිෂ්ටතම ගේය පද සිත්තරුවෙකි. බොහෝ පත⁣පොත පරිශීලනය කොට දැනුමෙන් සන්නද්ධ වූ ධර්මවර්ධනයෝ  පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා ද ප්‍රගුණ කළෝය. ධර්මරාජයේ ආදි සිසුවකු වූ ධර්මවර්ධනයෝ කලක් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සහාකාර පුස්තකාලාධිපති ධුරය ද හෙබවූවෝය. පොතපතට ලොබ බැඳි ධර්මවර්ධනයෝ  එකල මල්වතු පාර්ශ්වයේ වෑඋඩ දේවමිත්‍ත වැනි යතිවරුන් ඇසුරේ පාලි හා සංස්කෘත භාෂා මැනවින් හැදෑරූහ.

පසුකාලයේදී ඔහුගේ භාෂා ඥානය පුළුල් වූයේ සම්භාව්‍ය සාහිත්‍ය  ආනූභාවයෙනි. සිංහල ගීතයේ මතුපිට කලාත්මකභාවය ස්පර්ශ කරමින් ඒ සමඟ අනන්‍යවීමෙි ලක්ෂණයක් ධර්මවර්ධනයන් තුළ නොවීය. විශේෂයෙන්ම ජීවිතය, සමාජය හා සාහිත්‍ය ඔහුට වැදගත් වූ බැවින් ගීතය සාහිත්‍යයක් ලෙස දැකීමෙි ශක්‍යතාව ඔහුට තිබිණි. පණ්ඩිත් අමරදේවයන්ගේ පටන් මිල්ටන් මල්ලවාරච්චි දක්වා ඔහු ගීත ලියුවෙිය. අමරදේවයන්  ගැයූ  කුමරියක පා සලඹ සැලුණා, කබාය ඉරිලා වැනි ගීත මෙරට සම්භාව්‍ය සංස්කෘතිය පමණක් නොව ජනප්‍රිය  සංස්කෘතිය ද වැළඳ ගත්තේය.

සාම්ප්‍රදායික සිංහල ගීතය සමතික්‍රමණය කරමින් ඊට ඇවැසි උසස් ප්‍රමිතිය ද සොයා පාදා දෙමින් සුභාවිත ගීතය දියුණු තියුණු කිරීමෙහිලා අවංකව වෙහෙසුණු ප්‍රතිභාපූර්ණ ගවෙිෂණශීලි ගේය පද රචකයකු වූ කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ කාව්‍ය චින්තනය සහෘද රසික ප්‍රජාව තුළ මෙි සා චලනයක් ඇති කිරීමට හේතුභූත වූ කරුණු  කාරණා කවරේද? ඔහුගේ ගී සංකල්පනාවල අර්ථසාරය කුමක්ද ? ධර්මවර්ධනයන්ගේ ගී පෙළහර හැත්තෑව දශකයේ ප්‍රධාන ගීත ධාරාව නියෝජනය කළේය. කේ.ඩී.කේගේ ගී පද සංකල්පනා රස නොවින්දෝ කලාවිහීනයෝය. පණ්ඩිත් අමරදේවයන් ගැයු කුමරියක පා සලඹ සැලුණා, කබාය ඉරිලා, ආචාර්ය වික්ටර් රත්නායක ගැයූ හෝපලු වනපෙත, නීල බිඟු කැල, දිනෙක හිරු බැස ගිය සැඳෑවක, මර්වින් පෙරේරා ගැයූ රන් මීවිත පුරවා, නිලුපුල් යුවළේ, මා සනසා, මිල්ටන් මල්ලවාරචිචි ගැයු දෙයදර විලකුන් සුරත්පලේ, ඉවුරු තළා, රන්මසු නෑ කියා, රනබර ඉඳුදුණු සිතුවම් වෙලා, සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්, දයාරත්න පෙරේරා ගැයූ බිඟු බමා බමා, ඔබට සිත ආදරේ කරයි, රූකාන්ත ගුණතිලක ගැයූ සුවඳ දෙන මල් වනේ වැනි අතිශය ජනප්‍රිය ගීත ගොන්නක හිමිකරුවෝ ද ධර්මවර්ධනයෝය. සරල ශාස්ත්‍රීය ගීත මෙන්ම චිත්‍රපට ගීත ද විශාල ප්‍රමාණයක් ධර්මවර්ධනයෝ රචනා කළෝය.


මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්.රත්නායක වැනි  මහා ගේය පද රචකයන්ගේ බුද්ධිවාදී ගීත එළැඹුමෙන් පසු ගී සංකල්පනාවක් පහළවීම සහ ගීතයක් නිර්මාණයවීම අතර කලාත්මක ශ්‍රම වෙනස හඳුනාගත් ගේය පද රචකයා වනුයේ කේ.ඩී .කේ ධර්මවර්ධනයන්ය. සුභාවිත ගීතයට නව්‍ය වින්දනයක් හා චින්තනයත් කැටුව ආ අතළොස්ස අතර ධර්මවර්ධනයෝ කලාත්මක ගීතය තුළ ගීයක පරිශ්‍රමය (Labour of Song) යනු කුමක්දැයි මොනවට සුපැහැදිලි කළහ. විදග්ධ සංස්කෘත සාහිත ශෝත්‍රස සමකාලීන සුභාවිත ගීතයට සුක්ෂම ලෙස ගළපාගැනීමට ඔහු දැරූ ප්‍රයත්නය අනභිභවනීයය. මෙි සියල්ලටම හේතුභූත වූයේ කේ.ඩී.කේ තුළ තිබූ දැඩි කාව්‍ය සාංකාවය. කාව්‍ය සාංකාව ( Poetical Anxiety ) ඇති ගේය පද රචකයකුට කලාත්මක ගීතයේ කූටයට ළංවීම එතරම් දුෂ්කර නොවෙි.

ගීතයට ඇවැසි සංක්ෂිප්තතාව, ශ්‍රැති රම්‍යත්වය, ඖචිත්‍ය, චිත්තරූපික බස කේ.ඩී.කේ සංස්පර්ශ කරනුයේ බුහුටි කවියකු මෙනි. ප්‍රවීණ ගේය පද රචකයකු ගීතයක් රචනා කරනුයේ පෙරනොවූ විරූ සුදුර්ලභ කල්පනා මතුකර ගැනීමෙි මහඟු ආරම්මණයකිනි. එහෙත් ඒ සඳහා ඔහුට විචාර බුද්ධිය ඇවැසිය.ගීතයකට යෝග්‍ය වාග්මාලාවක් තෝරාගැනීමත් ඒ වචන වෙසෙසි අරුත් නැගෙන සේ සංයෝජනය කිරීමටත් රචකයාට අනුබල දෙනුයේ ඔහු සතු මෙි විචාර බුද්ධියයි. මෙයට අමතරව ඔහු සතු භාෂා ඥානය සහ කලාත්මක අන්තර්ඥානය ද හේතුවෙන් ඔහු රචනා කරන ගීතය ද උත්කෘෂ්ට භාවයට පත්වනු නොඅනුමානය.

මෙවර ගී විනිස හැඩගැන්වෙන්නේ කේ.ඩී.කේ- වික්ටර් රත්නායක සුසංයෝගයෙන් බිහිවුණු හෝපලු වනපෙත නමැති මහඟු ගීමිණිරුවනෙනි. භාගේශ්‍රී රාගයෙන් සුසැදි මෙිගීමිණෙහි ස්වර සංරචනය ද හඬ මාධුර්ය මෙන්ම සුමිහිරිය. මෙහි එන කාව්‍යමය පද රචනාව ඉල්ලා සිටින අයුරේ සංගීත නිර්මාණයක් කිරීමට වික්ටර් රත්නායකයෝ  සමත්වී සිටිති. විටෙක ධර්මවර්ධනයන්ගේ පද රචනය ඉක්මවා මෙහි සංගීතය නැගී සිටියි. සංක්ෂිප්ත පද සංයෝජනය ප්‍රබල වූව ද ආචාර්ය වික්ටර් රත්නායකයෝ  ගීතයේ වැඩිබර උසුලමින් එහි ආධිපත්‍යය දරති. සරස්වතී සෝත්‍ර කලාවට නව මානයක් අත්කර දුන් මෙි සුවිශිෂ්ට ගීමිණිරුවන ලාංකේය සුභාවිත ගීතාවලියේ හැරවුම් ලක්ෂ්‍යයකි. මෙි වනාහී ශ්‍රී චන්දරත්න මානවසිංහයන් පණ්ඩිත් අමරදේවයන්ට ලියූ ජගන් මෝහිනී පන්නයේ සරස්වතී අභිනන්දනයක් නොවෙි. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ඇසුරින් නිර්මිත මෙි ගීමිණ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයේ රසික ආකර්ෂණය දිනූවකි.

හෝපලු වනපෙත කම්පිත කරවන
මන්මඳ නර්තන රංගන කළ මැන


මෙි ගීතයේ කථකයා කලා ලෝකයේ අධිපතිනිය ලෙස නම් දරා සිටින සරස්වතී දේවියට සොඳුරු නර්තනයක් ඉදිරිපත් කිරීමට ඇරියුම් කරයි. හෝපලු වනපෙත යනු හිමාලයේ  පිහිටි අසෝක මල් වනයයි. හිමාලයේ යමුනා ගංතෙර අසබඩ පරිසරය අතිසුන්දරය. නිල්වණින් සුදිළෙන, යොහොඹු කුසුම් (අසෝක මල් ) හිස පළන් මී බී මත් බිඟුලොල් නදින් පැහැසර පරිසරය සුවඳ සිහිල් පවනින් ඔකඳ වී නැළවෙි. ඈත කෙළවර තෙක් විහිදී යන අනෝතප්ත විලයි. ගුවන ⁣මුදුන සිඹින හිමාල කඳු වැටියයි. මෙි කථකයා  සරස්වතියට ඇවිටිලි කරනුයේ මිහිලිය නළවන හෝපලු වනපෙත කම්පිත කරවමින්, සිත ප්‍රහර්ෂයෙන් විකසිත කරනසුලු සොඳුරු නැටුම්, රැඟුම් පෑමටයි. මෙහි කවුරුන් තුළ නම් ⁣සුඛප්‍රහර්ෂය පුබුදු නොවෙිද? කාමී හැඟුම් නූපදීද? මෙි ප්‍රේමණීය ඇරියුම මහාබ්‍රහ්මයාගේ පාදපරිචාකාව වූ සරස්වතියටයි.

ළැමවිල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී


සරස්වතිය වූකලි සර්වනාරි ලාලිත්‍යයෙන් ද සකලකලා කෞෂල්‍යයෙන් ද සුවිභූෂිත වූ අභිරූපිකාවකි. රූපශ්‍රීයෙන් අගතැන්පත් ඇයගේ මදහසින් පිරි උවන සුන්දරය. අැගේ ළැමවිල සුරැකිව තිබෙන්නේ පියකරු පීන පයෝධරය. සිහින් ඉඟක් මෙන්ම පුළුල් උකුලක් ඇයට හිමිය.


මෙි ගීතයේ යොදා ඇති ආරම්භක  හා අන්තර් වාද්‍යඛණ්ඩ, සුගායනීය ස්වර පෙරැළි, රාග තාල සමස්ත ගීතශරීරය අලංකාර වූ මිණිමුතුබරණින් සරසනු ලබන කලෙක මෙන් කර්ණරසායන සරින් සවනත මීබිඳු ඉසියි. කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් සුගේය පද මාලාවේ ගැබ්වී තිබෙන කාව්‍යෝක්ති පොකුර ද ස්වර සංරචනයට පිටිවහලක් සපයයි.

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී


පංකජ යනු සංස්කෘත භාෂාවෙන් නෙළුම් මලට කියන තවත් නමකි. ඇසේ අඳුන් තවරා සිටින වීණාව වයන සංගීතයට අධිපති දියණිය ඔබටයි මෙි සුහද ඇරියුම. මෙි උපමා රූපක මාලාව ඇසෙන කල්හි ඒවා අප වෙනත් බොහෝ ස්ත්‍රි වර්ණනාවල දැක හා අසා ඇති බව සිහිවෙයි. එහෙත් මෙය නීරස ගතානුගතික ලිය වැනුමක් නොවෙි. මෙහි උපමා රූපක අපූරු වූ නැවුම් ආකාරයකට සංකලනය කර ඇත. පැරැණි යෙදුම් වුව නව රසයක් නිර්මාණය කිරීම සඳහා නැවුම් විලාසයකින් නිර්මාණාත්මකව යෙදු කල්හි නවතාවක් කවිතාවක් උද්වහනය කරයි. මෙබඳු රාගධාරී සංගීත ආශ්‍රිත ගීත රස විඳීමට පුරුදු පුහුණු කළ රසිකත්වයක් තිබිය යුතුය.
එබඳු රසිකත්වයක් නොමැති සාහිත්‍ය කලා වීහිනයකුට මෙි මොන මළඉලව්වක් දැයි සිතිය හැකිය.


 


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ