IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාළු අඳුරු නිල් අහස මමයි

ගීවිනිස 122

 

 

මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය ඇති සැටියෙන් සුවිශද කරයි.

මානවප්‍රේමය තරම් උත්රීතර හැඟීමක්,වටිනා සම්පතක් ලොව එදා මෙදාතුර බිහිවී නොමැත.එහෙත් මෙි රුදුරු ගොරබිරම් ජුගුප්සිත නරාවළේ බොහෝ පෙම්කුසුම් සුපුෂ්පිත නො වී පර වී  යයි.මෙනයින් බලන කල මානවයාගේ පෙම් පැතුම් යථාර්ථය තුළ සපල නො වීටම හේතු කිම?යටකී පෙම් බැඳුම් බිඳුමට ප්‍රධාන හේතුව පන්ති සමාජය යි.පන්ති සමාජය නමැති යෝධ කොටුපවුරේ හැපී සුනුවිසිනුවී ගිය ආදර අන්දර ලොව කොතෙක්ද?එහෙත් වියෝගිනී හදවතක් ඇති පෙම්වතකුට හෝ පෙම්වතියකට වූව ද මෙි ජීවිතයේ සුඛප්‍රහර්ෂ,සුඛස්පර්ශ බින්දුමාත්‍රයක් හෝ ඉඳහිට විඳීමට අවකාශය ලැබෙි.
තතු එසේ වූව ද පෙම්වතුන්ගේ සිහින ලෝකවලට භෞතික පදනමක් නැත.ඒවා සාක්ෂාත් වන බවට කිසිවකුට සහතිකයක් ද නැත.එමතු නො ව ඒවායේ අන්තර්ගතය කුමක් ද කියාවත් කිසිවෙක් නො දනී.එහෙත් ප්‍රේමවන්තයෝ ඒවා හැර නොයත්.ඔවුහු සදාකාලිකව ම ඒ සිහින සමඟ සිටිත්.ඇතැම් ප්‍රේමවන්තයෝ ප්‍රේමය බිඳුණු කල කල්පනා යානයක නැගී විප්‍රලම්භ ශෘංගාරය විඳිමින් අතීත මතක පටු වතේ සැරිසරති.එහෙත් ජීවිතය කාලය හා අවකාශය හරහා නොනැවතී ගලා යයි.මෙි ගීතය අපට ගෝචර කරන්නේ සැමතැන පතළ පෙම්වතුන්ගේ ඉටු නොවූ පෙම් පැතුමක් ගැන නො වෙි ද?

සුකීර්තිමත් කිවිසුරු ගේයපද රචක මහගම සේකරයෝ යටකී පෙම් පැතුම රමණිය සංකල්පරූප පොකුරක් මගින් ගෙනහැර පාති.මෙහි ස්ථායි කොටසින් ඉදිරිපත් කර ඇති පළමු පද පෙළම රමණිය කාව්‍යෝක්තියක් නො වෙි ද?


පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි

 

මෙහි කථකයා පරාජිත පෙම්වතෙකි.ඔහුට පෙනෙන්නේ තමා පාළු අඳුරු නිල් විසල් අහස් කුස මෙනි.එහෙත් තම ප්‍රාණසම පෙම්වතිය ගනඳුරු අහසේ සුදීප්ත තාරාකාවක් සේ ඔහු දකියි.ඔහුගේ පෙම් ප්‍රාර්ථනය නිමල් ය.සුපුල් ය.උදුල් ය.එහෙයින් ඔහු සිතෙහි උපන් සදාකාලික අපේක්ෂාව ද පැතුම ද ඇය ම යි.
 

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දියදහර ඇයයි 
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

 

මෙහිදි  තමා සූර්ය රශ්මියෙන් පරිපීඩිතව  අසාර වී ගිය මහපොළොව සේ කථකයාට හැඟෙයි.එහෙත් ඒ  නිරුදක ⁣බිමෙහි උදක සපිරි ගලා බසින දියදහර ඇය ම නො වෙි ද?එපමණක් නොව යුග ගණනක් පුරා හදවත් නලවන සදාකාලික වූ සැපතත් ඇය ම ය.එහෙත් යටකී හදවත සදාකල්හි නැලවීමට නම් ඒ දියදහර තමා වෙත ගලා ආ යුතු බව නො වෙි ද කථකයා මෙි කියන්නේ?
 

කැලෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි 
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

 

මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් කථකයා තමා කැලෑව මැද කටුපඳුරකට ද තම පෙම්වතිය එහි පිපී වැනෙන මල් පොකුරකට ද සම කරයි.මෙි වූකලි දෙදෙනාගේ වෙනස ප්‍රබල සංකල්පරූප පොකුරක් මගින් නිරූපිත අවස්ථාවක් නො වෙි ද? එහෙත් මෙි පෙම් පැතුම අවසානයේදී හදවත් පාරා පුරවන අඳුරු වෙිදනා කැටියක් බවට පෙරළේ.අගනා ගේයපද මාලාවකින් ද රමණිය මියැසියෙන් හා කන්කලු ගායනයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය මුසුවූ  සිඟිති මී විතක් සේ නො දිසේ ද?



අදහස් (1)

පාළු අඳුරු නිල් අහස මමයි

රනේ Thursday, 23 January 2025 07:51 AM

ඉතා අර්ථාන්විතයි. ජය!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16930 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site