IMG-LOGO

බහාලුම් සිද්ධියේ අපකීර්තිය

මාලිමා ආණ්ඩුව කෙතරම් අකාර්යක්ෂම ද යන්න සහ තම ප්‍රමුඛතා හඳුනාගෙන නැති ද යන්න පෙන්වන සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අයත් මෙරටට අතිශය වැදගත් පර් යේෂණ නෞකාවක් ලංකාවට ඒමට අවසර ඉල්ලා සිටියේ ය. අදාළ ඉල්ලීම ඍජුවම ජනාධිපතිරයාට යොමු කර තිබූ අතර ජනාධිපතිවරයා විසින් නෞකාව ඉල්ලා සිටි අවසරය ලබා නොදීමට මුලින් කටයුතු කර තිබුණි.

ඒත් සමගම එම සංවිධානයේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳ ලංකාවේ හැසිරීම ගැන විමතිය පළ කර තිබුණු බව වාර්තා විය. කෙසේ වෙතත් යම් හේතුවක් මත, බොහෝ ප්‍රමාද වී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අවසරය ලබා දී ඇත. එහෙත් ඒ වන විට සිදුවීමට නියමිත සියල්ල වී හමාරය. කෙතරම් ප්‍රමාද වී තිබුණේද කිවහොත්, ඒ වන විටත් අදාළ ගෝලීය සංවිධානය මෙම නෞකාව මැඩගස්කරයට යැවීම සඳහා තීරණය කර ඇත.

මෙම පර්යේෂණ නෞකාව ලංකාවට වැදගත් වන්නේ ඇයි? වෛද්‍ය ෆ්‍රිජොට් නැන්සන් නම් මෙම නෞකාව විසින් කරනු ලබන්නේ සාගරයේ ධීවර සම්පත් සහ ඒ ආශ්‍රිත කාරණා පිළිබඳ දත්ත එකතු කොට ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට සහ එය තිරසාර කිරීමට අවශ්‍ය දත්ත සම්පාදනය කිරීමයි. ලංකාවේ මේ සඳහා සම්පත් නොමැති අතර මෙම ව්‍යාපෘතිය මගින් නොමිලේම අදාළ දත්ත රැස්කර ලංකාවේ ධීවර කර්මාන්ත සංවර්ධනය සහ පරිසර පද්ධති සම්බන්ධ ආයතනයන්ට ඒවා ලබා දෙයි. මීට අමතරව අදාළ නෞකාව ලංකාවට පැමිණ ලංකාවේ මේ සම්බන්ධ විද්‍යඥයන් කණ්ඩායමක් නැවට එක් කරගෙන ඔවුන් සමග එකතු වී මෙම ජාත්‍යන්තර මට්ටමේ පර් යේෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. ඒ අනුව, ලංකාවේ විද්‍යාඥයන්ට තම ක්ෂේත්‍රයට අදාළ දැනුම සහ අත්දැකීම් ලබා ගැනීමට ද මෙය මහඟු‍ අවස්ථාවක් විය. කෙසේ වෙතත්, නිසි කලට මෙම අවසරය ලබා නොදීම හේතුවෙන් අදාළ නෞකාවේ සේවය මේ වන විට ලංකාවට අහිමි වී තිබෙන අතර, මෙවන් අවස්ථාවක් නැවත මෙරටට ලැබෙන්නේ, 2030 වසරේ බව වාර්තා වේ. මීටත් අමතර ව මෙම අහිමි වීම නිසා ඉහත සංවිධානය යටතේ ලංකාවට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියනක මුදලක් ද ඍජුව ලංකාවට අහිමි වී ඇත. ඩොලර් මිලියනයක් යනු රුපියල් මිලියන 300ක් වන අතර ලක්ෂ 3000කි. එම කරුණෙන්ම රටට වූ පාඩුව සිතාගත හැකි ය.

මෙම අවසරය ලබා නොදීම හිතාමතාම මගහැරියා වන්නට ද පිළිවන. එසේ කොට අන්තිම මොහොතේ අවසරය ලබා දී, ඇපෙන් බේරීමට එසේ කළා ද විය හැකි ය. පසුගිය කාලයේ ලංකාවට පැමිණෙන පර් යේෂණ නැව් පිළිබඳ ඉන්දියාව ලංකාවට විරෝධය පළ කර තිබුණි. එහෙත් ඉන්දීය විරෝධය එල්ල වී තිබුණේ චීන පර් යේෂණ නැව්වලට විනා, එක්සත් ජාතීන්ගේ නැව්වලට නොවේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ මතය විමසීමට කටයුතු කිරීම නිසා පළමුව ප්‍රතික්ෂේප කොට පසුව ප්‍රමාද වී අවසරය ලබා දුන්නේ ද යන්න සැක සංකා පහළ වේ. එහෙත් ලංකාවේ මුහුදු තීරයේ පැමිණෙන මෙවන් නැව්වලට ඉන්දියාවේ අවසරය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැත.

මෙහි මූල්‍ය සහ අදාළ ක්ෂේත්‍රයේ වටිනා දත්ත සම්බන්ධ පාඩුවට අමතරව, විශාල රාජ්‍ය තාන්ත්‍රික පරාජයක් ද තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවන් අවස්ථාවල දී සහයෝගයෙන් කටයුතු නොකිරීම ඉදිරියේ දී මෙම සේවා සැපයීමේ දී ලංකාව නොසලකා හැරීමේ සැලකිය යුතු අවධානමක් ද තිබේ.

මෙවන් නොසලකා හැරීමක් නිසා රටට මේ තරම් මූල්‍යමය සහ සෙසු අංශවලින් පාඩුවක් වෙනත් ආණ්ඩුවක් යටතේ සිදු වූයේ නම් මාලිමා දේශපාලකයන් අද හැසිරෙන ආකාරය කෙනකුට සිතාගත හැකි ය. ඇත්ත වශයෙන්ම මෙවන් දේ වෙනත් ආණ්ඩුවක දී සිදු නොවුණ තරම් ය. 76 වසරක ආණ්ඩු ක්‍රමය-සිස්ටම් සපුරා වෙනස් කරන බව කියමින් ආවේ මේ ටික කිරීමට දැයි අපට ඇසීමට සිදුව තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ කතා කරන විට ලංකාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ලෝක ආර්ථික සමුළුවේ කළ සාකච්ඡාවක් නිසා පසුගිය දා සමාජ මාධ්‍ය විශාල ලෙස කැළඹී ගියේ ය. ඒ අදාළ ඇමතිවරයාගේ සන්නිවේදන ගැටලු නිසා ය. ඉංග්‍රීසි භාෂාවෙන් පැවති එම සාකච්ඡා මණ්ඩපයට නුසුදුසු අයුරින් අදහස් දැක්වීම නිසා ගෝලීය වේදිකාව තුළ ලංකාව පිළිබඳ බෙහෙවින් නිෂේධනාත්මක අදහසක් ඇති වීමට බලපෑ බවට මත පළකර තිබුණි. අපගේ නිරීක්ෂණයට අනුව නම්, අදාළ ඇමතිවරයාගේ ගැටලුව වූයේ ඉංග්‍රීසි භාෂාව නොව, ඔහුගේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමයි. පැහැදිලිවම එහි දී දුර්වල ඉංග්‍රීසි භාෂාවක් යොදාගනු දක්නට ලැබුණි. එහෙත් ප්‍රශ්නය ඊට එහා යන බව පෙනී ගියේ ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඇමතිවරයා විසින් “සුනාමි ව්‍යවසනය මිනිසා විසින්  නිර්මාණය කළ පරිසර විනාශයක්” ලෙස අර්ථ දැක්වීමෙනි.

ලංකාවේ ඇමතිවරු මතු නොව, ඕනෑම පුරවැසියකු ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම දැනගත යුතු බවට නීතියක් හෝ රීතියක් නොමැත. මන්ද එය අපගේ මව්බස නොවන හෙයිනි. එහෙත් කිසිවකු ඉංග්‍රීසි බසින් පැවැත්වෙන සාකච්ඡා මණ්ඩපයකට සහභාගී වන්නේ නම්, ඔහු හෝ ඇය එක්කෝ ඉංග්‍රීසි බස මනාව හැසිරවීම දැන සිටිය යුතුය, නැතිනම් ඒ සඳහා පරිවර්තකයකුගේ සේවය ලබාගත යුතුවේ. එසේ නොවන්නේ නම් පාඩුව සහ අපකීර්තිය සිදුවන්නේ රටට ය.

මෙම සාකච්ඡා මණ්ඩප යනු රටකට වසරකට වරක් පමණක් ලැබෙන අවස්ථාවකි. ඒවාහි දී සිදු කරන්නේ, රටේ පවතින ව්‍යපාර හිතකර තත්වය අන්තර් ජාතික ප්‍රජාව හමුවේ තබා ආයෝජන අවස්ථා සහ සෙසු සබඳතා ගොඩනගා ගැනීමයි. අප රට ගැන පැහැදීමක් ඇති වන ලෙස කරුණු ඉදිරිපත් කරන්නේ නම්, ඇතැම් විට නව ආයෝජකයන් පිරිසක් තමන්ගේ මීළඟ ආයෝජනය ලංකාවේ සිදු කිරීමට තීරණය කරනු ඇත. ඒ අනුව එහි දී විවිධ රටවල නියෝජිතයන් තම රට ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වැනි වේදිකා යොදා ගන්නවා අප දැක ඇත. එහෙත් ලංකාව සම්බන්ධයෙන් මෙවර සිදුවූයේ සපුරා එහි අනෙත් පැත්ත බව පෙනී ගියේ ය.

මෙය පාඩමක් ලෙස ගෙන ඉදිරි අවස්ථවල දී හෝ මෙවන් දේ නිවැරැදි කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය රටට හිතකර තත්වයකි. කෙසේ වෙතත්, අදාළ ඇමතිවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ තම සාකච්ඡාව විකෘති කර පළ කර තිබෙන බවයි. මෙය නම් අභූත චෝදනාවකි. ලෝක ආර්ථික සමුළුවට ලංකාවේ ඇමතිවරයකු සම්බන්ධයෙන් එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් ඇත්තේ නැත. ඇරත් අදාළ සාකච්ඡාවේ සම්පූර්ණ පටිගත කිරීම ද පළවී තිබුණි. විකෘතිය සිදුවූයේ ඇමතිවරයා අතින්මය. කෙසේ වෙතත්, තම දුර්වලතාව නොපිළිගෙන එය ද වෙනකකුගේ වරදක් ලෙස හුවා දැක්වීමෙන් පෙනී යන්නේ මොවුන්ට මේවා නිවැරදි කර ගැනීමට අවශ්‍යතාවක් නැති බවයි.

ආණ්ඩුව නිරන්තරව සිතන්නේ තමා පමණක් නිවැරැදිය යන්න ය. තමාගෙන් වැරදි සිදුවිය නොහැකි ය යන්න ය. එය ඉතා යහමින් පෙන් වූ අවස්ථාවක් නම් පසුගිය දා සිදු වූ බහාලු‍ම් නිදහස් කිරීම සම්බන්ධ ගැටලුවයි. ආණ්ඩුව නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ එහි දී තමා කිසිදු වරදක් නොකළ බවයි. ජනතාව නොමග හැරීම සඳහා විපක්ෂය මෙම චෝදනා නගන බව ආණ්ඩු ප්‍රකාශකයන් අතින් කියවුණි. කෙසේ වෙතත්, දැන් තහවුරු වී ඇත්තේ, මෙම සිදුවීම තුළ විශාල ගණයේ දූෂණයක් සහ වංචාවක් සිදුව ඇති බවයි. මේ බව හෙළි කර ඇත්තේ, සිදුවීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව විසින්ම ය.

එම කමිටු වාර්තාව උපුටා දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර, එම අදහස්වලට අනුව ඉතා භයානක වංචාවක් සිදුව ඇති බව පෙනී යයි. විශේෂයෙන් ම, රතු සහ කහ ලේබල් ඇලවූ බහාලු‍ම් පරීක්ෂාවකින් තොරව නිදහස් නොකළ යුතු බව කියා තිබිය දී ඒවා නිදහස් කර තිබුණි. ස්කෑන් පරීක්ෂාවට අමතරව, භෞතිකව ද ඒවා පරීක්ෂා කළ යුතු බවට අදාළ නිලධාරීන්  ලොග් සටහන් දමා තිබිය දීයි මේ කුමන්ත්‍රණකාරී නිදහස් කිරීම සිදුකර ඇත්තේ. මේ අතර, වරාය තදබදය ලිහිල් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට ඇමතිවරයා විසින් පත් කළ කමිටුව විසින්, මෙම බහාලු‍ම් නිදහස් කිරීමට තීරණය කළ කමිටු වාර රැස්වීමට සහභාගී වී ඇත්තේ කමිටු සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයකු පමණක් බව ද පරීක්ෂණ වාර්තාව මගින් හෙළි කර ඇත. තිදෙනකු සිටින කමිටුවක එක් පුද්ගයකුට පමණක් කිසිසේත්ම මෙවැනි බරපතළ තීන්දුවක් ගත හැකි නොවේ. ඒ අනුව, මෙම සිදුවීම මුල සිටම, එනම් වරාය තදබදය ඇති කිරීමේ සිට මෙසේ බහාලු‍ම් නිදහස් කිරීම දක්වා වංචනික ව සහ දූෂිතව සිදු කර ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ. මේ අනුව මෙය, මාලිමාවේ ආණ්ඩුවේ “මහබැංකු බැඳුම්කර වංචාව” ලෙස නම් කළ හැකි ය. 

සියල්ල මෙසේ සිදුවෙද්දී ආණ්ඩුව කරමින් සිටින්නේ, ජනතාවට හොරුන් ඇල්ලීමේ නාට්‍ය තවදුරටත් පෙන්නමින් සිටීම ය. ආණ්ඩුවට හොරු ඇල්ලීම සඳහා සැබෑ අවංක වුවමනාවක් තිබේ නම් කළ යුත්තේ මුලින්ම තමන්ගේ ආණ්ඩුව තුළ මේ ඉතා සුළු කාලයට බිහි වූ සොරුන් අල්ලා ඔවුන්ව නීතිය හමුවට පැමිණවීමයි. එහෙත් එවැන්නක් තබා, ඒ පිළිබඳ පසුතැවිල්ල ප්‍රකාශ කිරීමක් හෝ ආණ්ඩුව විසින් කරනු අප දකින්නේ නැත.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (0)

බහාලුම් සිද්ධියේ අපකීර්තිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 373 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 833 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site