මීට මාස කීපයකට පෙර මේ රටේ ආරම්භ වූ දේශපාලන අස්ථාවරත්වය තවමත් තිබෙන්නේ නොවිසඳුණු තැනකය. මේ අස්ථාවරත්වය ආරම්භ වූයේ ආර්ථිකයේ මතු වූ බරපතළ කඩාවැටීමක් නිසාය. ඒ කඩා වැටීමට දීර්ඝකාලීන හේතු ගණනාවක් තිබූ අතර, මෑත කාලයේ සිදුවූ වැරදි තීරණ ගැනීම් ද රාශියක් විය. ඒ හේතු කවරේ දැයි මීට පෙර ලිපිවල සාකච්ඡා කර ඇති නිසා ඒ පිළිබඳව දීර්ඝව ලියන්නට අදහස් නොකරමි.

මෙවර කිවිඳා දැක්මෙන් සාකච්ඡා කරන්නේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ කඩා වැටීමෙන් මතු වූ මෙම දේශපාලන අස්ථාවරත්වයෙන් එළියට යන්නේ කෙසේද යන කාරණයට වැඩි අවධානයක් ලබා දෙන්නටය.

 

ජනාධිපතිවරයා තේරීම

මේ අර්බුදයේ එක් බරපතළ සිදුවීමක් වූයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් ඉවත් කිරීමට කටයුතු කිරීමය. ජනාධිපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු කළ බලපෑම නිසා ඔහු රටින් එළියට ගිය අතර, තනතුරින්ද ඉල්ලා අස්විය. රටේ මිලියන 15 පමණ වූ ඡන්දදාකයන් අතරින් මිලියන 7 ආසන්න පිරිසක් ඡන්දයෙන් පත් කළ ජනාධිපතිවරයා ඉවත් වූ අතර, මීළඟ වසර දෙක හමාර සඳහා ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට බලය පැවරුණි.

මේ මොහොතේ රටේ ජනතාවගේ හැසිරීම සහ පාර්ලිමේන්තුවේ සංයුතිය අතර යම් නොගැළපීමක් තිබෙන බව ද තවත් පැත්තකින් පැහැදිලි වන කාරණයකි. ඒ කින්යන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන ජනමතය මීට වඩා වසර 02කට පෙර පැවැති එකක් බවය.

රටේ ජනමතය හරියටම පාර්ලිමේන්තුවෙන් නියෝජනය නොවෙනවා වගේම රටේ ජනමතය හරියටම අරගලයෙන් නියෝජනය වන්නේ ද නැත. ඒ නිසා අරගලයෙන් ගන්නා තීරණවලට අනුව ජනාධිපතිවරයා ඉවත්වීමත්, පාර්ලිමේන්තුවෙන් ගන්නා තීරණවලට අනුව ජනාධිපතිවරයකු පත් කිරීමත් යන දෙකම රටේ ජනමතයේ පැහැදිලි ප්‍රකාශනයක් වන්නේ නැත. එහෙත් ඒ දෙකම දැන් සිදුවී ඇත.

පසුගියදා පැවති පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි ඡන්දයක් හිමි වීම නිසා ඔහු රටේ ජනාධිපති බවට පත්විය. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද බලයක් තිබෙන්නේ පොහොට්ටු පක්ෂයට. එහෙත් ඒ පක්ෂයේ අයෙක් ජනාධිපති ධුරයට පත් කරන්නට ඒ පක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම අකමැති වූ බව ඉතාමත් පැහැදිලි විය. ඒ තීරණයට විවිධ හේතු තිබිය හැකිය. තමන්ගේ ආරක්ෂාව රැක ගන්නට දරදඬු ආකාරයෙන් බලය පාවිච්චි කළ හැකි ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව සමහර මන්ත්‍රීවරුන්ගේ අදහස වූ බව පෙනේ. තවත් සමහරුන්ගේ තීරණවලට හේතු වූයේ තමන්ගේ ආරක්ෂාවට වඩා තම පවුල්වල දේශපාලන ආරක්ෂාව යැයි සිතීම නිවැරැදි බව ද පෙනී ගිය කාරණයකි. එසේම තවත් සමහරුන් විවිධ හුවමාරු වටිනාකම් සහිත සම්බන්ධතාවලට යටත් වෙමින් තම තමන්ගේ තීරණ ගත් බව දේශපාලන කතා බහ තුළ ඇසෙන කතාය. ඒ සියල්ලම හමුවේ නව ජනාධිපතිවරයෙක් පත් කෙරුණු අතර, මේ අරගලයේ බලපෑමෙන් සිදුවූ දේවල් අතර එය තවත් එක් බරපතළ සිදුවීමක් විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාව වූ රටේ දේශපාලනයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ සංවාදයක් ගොඩනැගීම පිළිබඳ කාරණාව රටේ පිළිගන්නා අදහසක් බව මා මුල සිටම දැරූ මතයය. එවැනි මහජන සංවාදයක් සහ සම්මුතියක් ගොඩනගා ගැනීමකින් තොරව රට මෙතැනින් ඉදිරියට ගෙන යා හැකි නොවන බව ද මගේ විශ්වාසයයි.

 

පාර්ලිමේන්තුව, අරගලය සහ ජනතාව

මෙහිදී අපගේ අවධානය යොමු කළ යුතු දෙයක් වන්නේ මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ කොතැන ද යන කාරණයත්, ජනතාවගේ ස්ථාවරය අරගලය විසින් හෝ පාර්ලිමේන්තුව මගින් නියෝජනය වන්නේද යන කාරණයයි. මා මුලින් සඳහන් කළ ආකාරයට, මගේ අදහස වන්නේ පාර්ලිමේන්තුවත්, අරගලය යැයි ඉදිරිපත් වන කණ්ඩායමත් සමාජයේ මහා පොදු සාධකය නියෝජනය වන්නේ නැති බවයි.

රටේ මහජන මතය එක ස්ථාවරයක පවතින්නේ නැති බව සැබෑවක්ය. එහි විවිධ ස්ථාවරයන් තිබෙන බවත් සැබෑවක්ය. එහෙත් ඒ ඒ කාලයන්ට සාපේක්ෂව සමාජයේ දේශපාලන වශයෙන් පවතින මහා පොදු සාධකය හඳුනා ගැනීම ඉතාමත් අවශ්‍යය. මගේ තේරුම් ගැනීම වන්නේ මේ සමාජයේ ක්ෂණික පළමු අවශ්‍යතාව ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලුකාරිත්වය සටහන් කර ගනිමින් පහසු ජීවිතයක් හා සමාන අවස්ථා ගොඩනගා ගැනීමයි. මේ ආර්ථික අවශ්‍යතාව සමාජය හමුවේ ඇති අංක එකේ වුවමනාවයි.

දෙවනුව මේ සමාජයේ අභ්‍යන්තරිකව විළිලමින් මතුවන කාරණාව වන්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා රට ඉදිරියට ගෙනයාමයි. 2015 ජනාධිපතිවරණයේදීත්, 2019 ජනාධිපතිවරණයේදීත් මෙරට වෘත්තීය ප්‍රජාව සහ තරුණ ප්‍රජාව උත්සාහ කළේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පත් කිරීම හරහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට බව මගේ අදහසයි. එහෙත් කනගාටුවට කාරණය මේ ජනාධිපතිවරයන් දෙන්නම බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටු නොවූ බවයි.

2015 පටන් ගත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලනය නිමා වූයේ සෑහෙන පිරිසක් පාස්කු ප්‍රහාරය හරහා ඝාතනයට ලක් වෙමින් සහ එවකට පාලනයේ සිටි ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එජාපය එක පාර්ලිමේන්තු ආසනයකට සීමා වෙමින්ය. සිරිසේන මහතාගේ ශ්‍රීලනිපය යන්තමින් සායම බේරා ගත්තේ එවකට ජනප්‍රිය වෙමින් පැවති පොහොට්ටුව සමග ඒකාබද්ධ වීමෙනි.

2019 පටන් ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය දැනටමත් නිමාවට පත් වී තිබෙන්නේ බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන්ය. එපමණක් නොව එතුමා බලයෙන් පහ වූයේත් ජනතාවගේ බලපෑම හමුවේ පසුපස දොරින් බලා යන තරමේ අර්බුදයක් නිර්මාණය කරගනිමින්ය. මීළඟ මැතිවරණය ළඟ නැති තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව තවමත් පවතින අතර, දැනට තිබෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවෙන් විසඳා ගැනීමට ගොස් ඇතිවී තිබෙන්නේ තිබුණටත් වඩා ගැටලුකාරිත්වයක්ය.

ජනතාව එකක් සිතන අතර, අරගලකරුවන් තවත් එකක් කරති. ජනතාව එකක් සිතන අතර පාර්ලිමේන්තුව තවත් එකක් කරයි. අරගලකරුවෝ පාර්ලිමේන්තුව විශ්වාස නොකරති. පාර්ලිමේන්තුව අරගලකරුවන් විශ්වාස නොකරයි. ජනතාව මේ දෙකම විශ්වාස නොකරන ඉතාමත් ගැටලුකාරිත්වයකට ගමන් කර තිබේ.

මේ අවුල්සහගත තත්ත්වයේ ඉතාමත් විහිලුසහගත යථාර්ථය වන්නේ 2019 (ගෝඨාභය) පාලනයේ වැරැද්දට ප්‍රතිචාර වශයෙන් 2015 පාලනයේ වැරැද්දත් එක පාර්ලිමේන්තු අසුනක් හිමි වූ පක්ෂයට රටේ පාලනය බාරදීමය.

 

ප්‍රතිසංස්කරණ දේශපාලනයක්

මගේ අදහස වන්නේ දැන් රටට අවශ්‍ය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොව ප්‍රතිසංස්කරණ දේශපාලනයක්ය. රටේ ක්ෂේත්‍ර ගණනාවක් බරපතළ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් ඉල්ලමින් තිබේ. ඒ කියන්නේ Reform Agenda එකක් මුළු රටම බලාපොරොත්තු වෙන බවයි. 2015 පාලනයත්, 2019 පාලනයත් (මෛත්‍රී/ගෝඨාභය) යන ජනාධිපති තනතුරු දෙකේම කඩාවැටීමෙන් පෙන්නුම් කරන කාරණය වන්නේ ඒ දේශපාලන 02කම අසාර්ථක බවයි. ඒ නිසා වර්තමාන අර්බුදය විසඳුම තිබෙන්නේ ඒ දේශපාලන දෙකෙහි හෝ ඒ දේශපාලන ව්‍යාපෘති දෙක එකතු වී හදන ආණ්ඩුවක නොවන බව මගේ අදහසයි.

ප්‍රතිසංස්කරණ දේශපාලනය ප්‍රධානම පදනම විය යුත්තේ රටේ ගැටලු විසඳිය හැක්කේ ආචීර්ණ කල්පිත පවුල්වාදී දේශපාලන ආකෘතියෙන් හෝ සිල්ලර සටන් පාඨ විප්ලවවාදයෙන් නොවන බව තේරුම් ගැනීමයි.

එහි දෙවන වැදගත් කාරණය වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ උපාය මාර්ග නිවැරැදිව තෝරා ගැනීමයි. කෘෂිකර්මාන්තය, අපනයන ආර්ථිකය, සේවා ආර්ථිකය හා නව උත්පාදන ආර්ථිකය (Agowldge Econoy) යන ක්ෂේත්‍ර 04න් ඉදිරියට ගන්නේ කුමක්ද යන කාරණය තෝරා ගැනීම ඉතාමත් වැදගත්ය.

තුන්වෙනුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ බරපතළ අලුත්වීමක් අවශ්‍ය වී තිබෙන බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය. රාජ්‍යයේ ස්වරූපය හා ජාතීන් අතර එකඟතාව ගොඩනගා ගැනීමට එය ඉතාමත් අවශ්‍යයි.

හතරවෙනුව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රවල ශක්තිමත් ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම අවශ්‍යය.

පස්වෙනුව නීති ක්ෂේත්‍රයේ ග්‍රාමීය පරිපාලනය ඇතුළත් රාජ්‍ය සේවයේ ඵලදායක ප්‍රතිසංස්කරණයක් හා ඩිජිටල් ශක්‍යතාව සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීම අවශ්‍යය.

හයවෙනුව රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ.

හත්වෙනුව පෞද්ගලික අංශය සඳහා වූ නිදහස් වපසරිය ආරක්ෂා කරන නීති ප්‍රතිසංස්කරණ ගෙන ඒමත් අවශ්‍ය බව මගේ මතයය.

 

(***)


මහාචාර්ය
චරිත හේරත්