IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රහස් සොයා ජර්මනියට යයි

මීට වසර දහයකට පෙර අපට මුහුණ පාන්නට සිදුවූ දුක්වේදනා, කරදර හා අගහිඟකම්වලට යළිත් මුහුණ දීමට සිදුවිය. එකම වෙනස වූයේ අපේ දරුවන් වයස අවුරුදු පහක් හෝ හයක් කාල සවිඥානව දැන සිටි දෙය ඊට වසර දහයකට පසුව ඔවුන් අවුරුදු පහළොවක් හෝ දහසයක් වූ කල සවිඥානව ඔවුනට විඳ දරා සිටීමට සිදුවීමය. මේ අනුව “පුංචි ළමයි, පුංචි කරදර, ලොකු ළමයි, ලොකු කරදර” යන ජර්මන් ප්‍රස්ථාව පිරුළේ අරුත අපි භාවිතයෙන් උගතිමු. 1860 ගිම්හානයේදී දැඩි ලෙස රෝගීව සිටි එක්කරියස් මාස දෙකක් අප නිවසේ සිට ප්‍රතිකාර ගත්තේය.


මුදල් ආධාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වූ බැවින් 1861 වසන්තයේදී කාල් ජර්මනියට ගියේය. “ප්‍රඥාවන්තයා” යයි නම් කරනු ලැබූ ප්රුසියාවේ රජු නත්තල් දිනයේදී මියගිය අතර ඔහුගේ සිහසුන “කඩවසම් විල් හෙල්ම්ට” උරුම කර දෙන ලදී. කෝප්‍රල් තැන සියලු වරදකරුවන්ට සමාව දෙන ලදින්, ඉන් ප්‍රයෝජන ගත් කාල් ජර්මනියේ නියම තතු දැන ගැනීමට එහි ගියේය. බර්ලින් හි ලස්සාල්ගේ නිවසෙහි නැවතී සිටි කාල් නිතරම පාහේ ගාට්ස්ෆෙල්ඞ්ට් සිටුවරිය හමුවිය. ඉන්පසු තම මාමා වන ලියෝන් ෆිලිප්ස් හමුවීමට කාල් ඕලන්දයට ගියේය. ඔහු ඉතාමත් ත්‍යාගශීලි ලෙස කාල්ට පොලී රහිත ණය මුදලක් දුන්නේය. හරියටම ජෙනීගේ 17 වැනි උපන් දිනයට සහභාගි වීම සඳහා ඔහු බොමිමෙල් සිට ජැක්වේස් ෆිලිප් සමග ගෙදර පැමිණියේය. ණය මුදල අපේ මුදල් තත්ත්වය නමැති යාත්‍රාව පණගැන්වීය. මේ අනුව අපි සෑහෙන කලක් ප්‍රීතියෙන් යාත්‍රා කළෙමු. කෙසේ වුවද නිතරම ගල්පර සහ වැලි කඳු අතරින් ඇදී ගිය අපේ යාත්‍රාව පැදවුනේ සිලා යක්ෂයා හා චැරිබ්ඞ්ස් දිය සුළිය අතරිනි.


1860 ගිම්හානයේදී පාසල අවසන් කළ අපේ වැඩිමහල් දියණියන් දෙදෙනා පාසල් සිසුන් සඳහා නොවූ විද්‍යාලයේ උගැන්වූ පාඨමාලා කීපයක් හැදෑරූහ. ඔවුහු එම්. ද කෝල්වෙ මහතාගෙන් හා මැජියෝනි මහතාගෙන් ප්‍රංශ හා ඉතාලි බස ඉගෙන ගත්හ. ජෙනි 1862 වනතුරුම ඕල්ඞ්ෆීල්ඞ් මහතාගෙන් චිත්‍රශිල්පය ඉගෙන ගත්තාය. ශීත සෘතුවේදී ඔවුහු හෙන්රි බැනර් මහතාගෙන් ගීත ගායනා ඉගෙන ගත්හ.


1863 මුළු වසන්තයම ජෙනි අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ අතර නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තාය. කාල්ගේ සෞඛ්‍ය තත්ත්වයද අන්තයටම පිරිහී තිබිණි. 1850 සිට නොකඩවාම වාර්ෂිකව එංගල්ස් හමුවීමට ගිය කාල් මෙවර ඔහු හමුවීමට ගොස් පැමිණියේ රෝගාතුර තත්ත්වයකිනි. අපි නැවතත් හේස්ටිංග් හි මුහුදු වෙරළ අසල සති තුනක් විවේක ගතිමු. එච්. බැනර් සමගද එහිදී දින 12 ක් ගත කළෙමු. අප කැටුව යාමට මෙහි පැමිණි කාල්ගේ පෙනුම ඉතාමත් අසතුටුදායක විය. නිතර නිතරම ඔහුගේ සෞඛය තත්ත්වය අයහපත් විය. එම අවුරුද්දේ නොවැම්බර් මස ඔහුට “ලේ ගඩුවක්” යනුවෙන් හඳුන්වනු ලැබූ භයානක අසනීපයක් වැලඳිනි. නොවැම්බර් 10 වැනිදා භයානක ගඩුවක් පලා සැත්කමක් කළ නමුදු ඉන් අනතුරුව සෑහෙන කලක් ගතවන තුරුම අන්තරාදායක තත්ත්වයක පසුවිය.

පුරා සති 4ක් මුළුල්ලේ පැවැති මේ රෝගය හේතුකොටගෙන හේ බලවත් කායික පීඩාවන්ට ගොදුරු විය. මේ කායික පීඩාවන් හා සමග අත්වැල් බැඳගෙන නොයෙකුත් ආකාරයේ මානසික පීඩාවන්ද පැමිණියේය. දේශගුණය වෙනස් වීමෙන් කාල්ගේ සෞඛ්‍ය තත්ත්වය හිතකර අතට හැරේ යැයි වෛද්‍යවරයා තීරණය කළ අතර තවමත් හරිහැටි සුවයක් නොලද කාල් අපේ උණුසුම් සුබපැතුම් මධ්‍යයේ ශීත කාලය පවා නොතකා ජර්මනියේ ටී්‍රර් නගරයට ගියේ තම මවගෙන් තමාට උරුම වූ දේපළ ගැන සොයා බැලීමටය. ඔහු තම මස්සිනා වන කොන්රඞ් සහ සොහොයුරිය වන එම්ලි සමග ටික කලක් ගතකොට ෆ්‍රන්ක්පර්ට් හි තම පියාගේ සොහොයුරිය වන සිය නැන්දණිය වෙත ගියේය. එතැනින් පිටත්ව ගිය ඔහු සිය මාමා බැලීමට බොම්මෙල් නගරයට ගියේය. ඔහුගේ මාමා සහ නෙට්හෙන් ඔහුට හොඳින් සත්කාර කළෝය. අවාසනාවකට මෙන් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සහ සුපරික්ෂාකාරී හෙදකම් අවශ්‍ය වූ හෙයින් හෙතෙම බොම්මෙල් නගරයට පැමිණි විගසම සම්පූර්ණයෙන් සුව නොවී තිබූ පැරණි රෝගය යළිත් බලවත් ලෙස මතුවී ආ හෙයින් ඔහුට නත්තල් සමයේ සිට පෙබරවාරි 19 වැනිදා දක්වා ඕලන්දයේ නතර වී සිටීමට සිදුවිය.


ඒ හුදකලා සහ සැනසුමෙන් තොර ශීත සමය අති බිහිසුණුය. මාමාගේ උරුමයෙන් කාල් ට ලැබුණු කොටස වෙනුවෙන් ගෙනා සුළු මුදලින් අපට ණය හා උගස්කරුගේ මුදල් ආදී වශයෙන් තිබූ සියලුම ණය තුරුස්වලින් නිදහස් වීමට හැකි විය. අපට ඉතා සැපපහසු හා සාපේක්ෂ වශයෙන් කදිමට ජීවත් විය හැකි සිත්කලු සනීපදායක නිවහනක් සොයා ගැනීමට තරම් වාසනාවක් පෑදුණි. 1864  පාස්කු සමයේදී අපි ප්‍රසන්න හිරු එළියෙන් නැහැවුණු  සහ ඉඩකඩ හා වාතාශ්‍රය සහිත විශාල කාමරවලින් සැදුම්ලත් එම පසන් නිවසට පදිංචියට ගියෙමු.


අපේ යහපත්, විශ්වාසවත් පැරණි මිතුරා, ලුපුස් අසාධ්‍ය ලෙස රෝගාතුර වී සිටින බව දැනුම් දෙන ලිපියක් 1864 මැයි 2 වැනිදා එංගල්ස්ගෙන් අපට ලැබුණි. කාල් වහාම ඔහු බැලීමට ගියේය. හිත මිතුරු ලුපුස් ඔහු මොහොතකින් හඳුනාගෙන ඇත. මැයි 9 වැනිදා ලුපුස් අවසන් හුස්ම හෙළීය. ඔහුගේ අන්තිම කැමැති පත්‍රයට අනුව කාල් අපේ දරුවන් සහ මාද ඒ සමග බාලයන් කීප දෙනෙක්ද ඔහුගෙන් ප්‍රධාන  තෙස්නමේන්තු දායාද ලාභීන් වශයෙන් නම්කර තිබුණි. සරල හා චාම් ජීවිතයක් ගත කළ මේ මිනිසා තම දැඩි වෙහෙස මහන්සියෙන් හා පරිශ්‍රමයෙන් සෑහෙන තරම් විශාල මුදලක් වන රන් පවුම් 1000 ක් එකතු කර තිබුණි. සිය ජීවිතයේ ඵල තම නිසංසල, සැපපහසු මහලු වියේදී බුක්ති විඳීමට තරම් සැනසුමක් ඔහු නොලද්දේය. ඔහු අපට පුරා වසරක්ම කරදරයකින් තොරව ජීවත්වීමට ආධාරයක් හා සහනයක් සැලසීය. තවමත් ඉතාමත් අහිතකර සෞඛ්‍ය තත්ත්වයකින් පසුවුණු කාල් ට මුහුදු වෙරළේ විවේක ගැනීම බෙහෙවින් අවශ්‍ය විය. ඔහු ජෙනි සමග රැම්ස්ගේට් බලා ගියේය. ලෝරා සහ ටුසී ද පසුව එහි ගියහ.


එම අවුරුද්ද ඇතුළත, ඔහුට ආර්ථික විද්‍යාව පිළිබඳ සිය විශාල කෘතිය (ප්‍රාග්ධනය) සඳහා මුද්‍රණකරුවකු සොයා ගැනීමට හැකි විය. හැම්බර්ග් හි මෙයිස්නර් සෑහෙන දුරට හිතකර කොන්දේසි යටතේ එය ප්‍රකාශයට පත්කිරීමට පොරොන්දු විය. කාල් දැන් එම කෘතිය අවසන් කිරීමට වෙහෙස දරා වැඩ කරමින් සිටියි.

(මෙම ලිපිය මාක්ස්ගේ බිරිය ජෙනි මාක්ස් විසින් 1865 දක්වා ලියන ලද තම ජීවන චරිතයේ සටහන්වලින් උපුටාගත් කොටස්වලින් යුක්ත වේ.)

එම්. තාරික්



අදහස් (0)

රහස් සොයා ජර්මනියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site