IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ පස් දරු පියා

 

ඇමෙරිකා ජනාධිපතිවරයා තරම් ලොව අවධානය යොමු වූ වෙනත් නායකයෙක් නැති තරම්ය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම්, පවුලේ ඕපාදූප එකී මෙකී නොකී සියලු‍ දෑම ලොව පුරා විසිරී පවතින සියලු‍ම මාධ්‍යයන්ට ඉස්තරම් ඕපාදූප සපයන්නක් වේ. එය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ බිහිවූ පළමු ජනපති ජොර්ජ් වොෂින්ටන්ගේ සිට වත්මන් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දක්වා එකම කුලකයට අයත්වේ. මෙවර දියතේ ඉඩහසර වෙන්වන්නේ ට්‍රම්ප්ගේ පවුලේ ඕපාදූප විස්තර ගොන්නක් වෙතය.

 


ට්‍රම්ප් තෙවරක් විවාහ වුණු කෙනෙකි. ඔහු පළමුවෙන්ම විවාහ වුණේ ඉවානා සෙල්නිච්කෝවා නමැති චෙක් නිරූපිකාව සමඟය. 1977 වසරේදී සිදුවුණු මේ විවාහයෙන් ඉවානා, ට්‍රම්ප්ට දාව දරුවන් තිදෙනෙකු බිහි කළාය. ජනාධිපතිවරණ ඡන්ද සටනේදී ට්‍රම්ප් ළඟින්ම සිටි ඉවන්කා, ඉවානාගේ දියණියකි. මර්ලා මේපල්ස් සමග ට්‍රම්ප් ඇයිහොඳයිකම් පවත්වන්නට පටන් ගත්තේ මේ විවාහය පවතින අතර තුරදීමය. තමන්ට තම සැමියා කෘර ලෙසත් අමානුෂික ලෙසත් සලකන බව නීතිය හමුවේ කියා සිටිමින් ඉවානා ට්‍රම්ප්ගෙන් දික්කසාදය ලබාගත් බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. 


සිය දෙවැනි විවාහයට ඔහු තෝරාගන්නේ මර්ලාය. 1993 වසරේ මැයි මාසයේදී විවාපත් ඔවුහු 1997 වසරේ දෙසැම්බර් මාසයේදී වෙන්වූහ. නමුත් ඔවුන් අතර නිත්‍යානුකූල දික්කසාදය සිදුවන්නේ 1999 වසරේදී බව දැක්වේ. මර්ලා ට්‍රම්ප් විවාහ දිවිය කෙළවර වනවිට මර්ලා ඔහුට දාව දියණියක් බිහිකර තිබුණාය.


ට්‍රම්ප් තෙවැනි වරට විවාහ වන්නේ මෙලනියා ක්නවුස් නමැති ස්ලෝවේනියා නිරූපිකාව සමගය. මර්ලාගෙන් නිත්‍යානුකූල දික්කසාදය ලබාගන්නට පෙර සිටම ඔහු මෙලනියා සමග ඇයිහොඳයිය පටන් ගෙන තිබුණු බව ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කර තිබිණ. 2005 වසරේදී ඔවුහු විවාහ වූහ. දැන් ඔවුන් දෙපළ පුතකුගේ මවුපියන්ය. ඒ අනුව ට්‍රම්ප් දරුවන් පස් දෙනකුගේ පියා බවත් අමතක නොකළ යුතුව ඇත.

 


විජාතික පළමු කතක්
ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයට පිවිසෙන විට ජනපති ආර්යාව වශයෙන් එහි යනු ඇත්තේ හතළිස් හය හැවිරිදි මෙලනියාය. ඒ අනුව විදේශ සම්භවයක් ඇති කතක් ඇමෙරිකාවේ පළමු කත බවට පත්වුණු දෙවන අවස්ථාව මෙය වශයෙන් හඳුන්වන්නට හැකිය. බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක වූ ලොව්සා ඇඩම්ස් මෙයට පෙර ඒ අන්දමට අමෙරිකා ජනපති ආර්යාව බවට පත්වුණ බව ඉතිහාසයේ සටහන්ව ඇත.


ලොව්සා ඇඩම්ස්, 1825 - 1829 අමෙරිකා ජනාධිපති ධුරයේ කටයුතු කළ ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ බිරියයි. විජාතික දෙවැනි කත ලෙස මෙලනියා ධවල මන්දිරයට ලබන වසරේදී පිවිසෙන්නේ ලොව්සියා ඇඩම්ස් එහි පිවිස වසර 187කට පමණ පසුවය.

 


ට්‍රම්ප් පවුල් ගස 


01. මෙලනියා ට්‍රම්ප් : හිටපු නිරූපණ ශිල්පිනියක වන මෙලනියා ට්‍රම්ප්ගේ උපන් රට ස්ලෝවෙනියාවයි. ඩොනල්ඞ් ට්‍රම්ප් හා විවාහ දිවියට ඇතුළත් වූයේ 2005 වසරේදී. ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් කාන්තාවන් අලළා සිදු කරන ලද අසැබි ප්‍රකාශන දැක්වෙන වීඩියෝවක් ඡන්ද ව්‍යාපාරය අතරතුර පළ වූ අතර එහිදී ඇය සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පෙනී සිටියාය. රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අමතමින් මෙලනියා, මිෂෙල් ඔබාමාගේ දේශනයක් ව්‍යාජ ලෙසින් අනුකරණය කළ බවට එල්ල වූ චෝදනා ලොව පුරා පුවත් සිරස්තල අතරට එක්විය. 


02. බැරන් ට්‍රම්ප් : ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිඳ මෙලනියාට දාව උපන් එකම දරුවා බැරන් ට්‍රම්ප්. බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ පෙනී නොසිටි දස වන වියේ පසුවන බැරන් සිය පියාගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙනී සිටියේ ඉතාමත් සුළු වශයෙනි. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ඔහුට සිය මවගේ මව් භාෂාව වන ස්ලෝවෙනියානු භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි බව පැවසේ.


03. ඉවන්කා ට්‍රම්ප් : ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැක. ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ හිටපු නිරූපණ ශිල්පිනියක වන ඉවානාට දාව උපන් එකම දියණියයි. ඉවන්කා, ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ධුරය හොබවන්නීය. 2009 වසරේදී ජැරඞ් හා විවාහ වූ ඇය යුදෙව් ආගම වැලඳ ගත්තාය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඉවන්කා කාන්තා අයිතීන් වෙනුවෙන් බොහෝ විට හඬ නගයි.


04. ජෙරාඞ් කුෂ්නර් : ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දෙටු දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුරුෂයා වන ජැරඞ් නිව්යෝක් නුවර ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. ඔහු නිව්යෝක් නුවර පළ කෙරෙන සතිපතා ඔබ්සර්වර් පුවත්පතේ හිමිකාරිත්වය දරයි. ඔහු යුදෙව් ජාතිකයෙකි.


05. ඩොනල්ඞ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) : ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ දෙටු පුත් ඩොනල්ඞ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ වැනීසා පළමුවරට හමු වූයේ සිය පියාගේ විලාසිතා නිරූපණ උත්සවයකදී. මරා දැමුණු දිවියකු සහ කිඹුලකු ඇතුළු වෙනත් සතුන් සමග හිඳ ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහු සහ ඔහුගේ සහෝදර එරික් සත්ව දඩයම සම්බන්ධයෙන් දක්වන රුචිකත්වය විවේචනයට ලක් විය.


06. එරික් ට්‍රම්ප් : ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ තෙවන දරුවා එරික්. සිය සහෝදර සහෝදරියන් මෙන්ම ඔහු ද ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ට්‍රම්ප් වයින් සමාගමේ සහ විදෙස් රටවල පිහිටි ගොල්ෆ් සමාජවල සභාපති ධුරය හොබවනු ලබන්නේ ද එරික් විසිනි. 2006 වසරේදී පිහිටුවන ලද එරික් ට්‍රම්ප් පදනම විසින් මාරාන්තික රෝග හා සටන් කරන දරුවන්ට උපකාර කරන පර්යේෂණ රෝහලක් වෙනුවෙන් ඩොලර් මිලියන විසි අටක අරමුදල් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබිණි. ඔහුගේ සොහොයුරු ඩොනල්ඞ් (කනිටු) මෙන්ම ඔහුත් 2010 වසරේදී සිම්බාබ්වේහි වන දඩයමේ යෙදීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. ”‍මගේ පියා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී ගෞරවයකි”‍ යනුවෙන් සටහන් කරමින් ජනාධිපතිවරණ දිනයේ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලයේ පළ කිරීම හරහා ඔහු නීතිය උල්ලංඝනය කළ බවට චෝදනාවට ලක් විය.


07. ටිෆනි ට්‍රම්ප් : ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දෙවන විවාහක බිරිඳ වූ හිටපු නිළියක සහ රූපවාහිනී ශිල්පිනියක වන මාර්ලා මේපල්ස්ට දාව උපන් ටිෆනි සිය මනමෝහනීය ජීවන රටාව හා සම්බන්ධ ඡායාරූප සමාජ ජාල තුළ නිතර පළ කරන්නීය. ඇය තවමත් 23 හැවිරිදි වියේ පසුවන අවිවාහක යුවතියකි. ඇයද ඉවන්කා මෙන් ට්‍රම්ප් ගේ ජනපතිවරණ සටනට සහාය දැක්වූවාය.


08. වැනීසා ට්‍රම්ප් : ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඞ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) සමග වැනීසා විවාහ වූයේ 2005 වසරේදී. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. ළමා වියේදීම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය හා හොලිවුඞ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ අතර පෙම් සබඳතාවක් පැවතිණි. ඇය සතුව නිවසේ ගිනි අවියක් ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.


09. ලාරා යුනස්කා : අසුන් පැදීමේ මහත් උනන්දුවක් දක්වන ඇය එරික් ට්‍රම්ප් හා විවාහ වූයේ 2014 වසරේදීය. හිටපු රූපවාහිනී නිෂ්පාදිකාවකි. එමෙන්ම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියකි. ඔවුන් දෙපලට දරුවන් නොමැත.

තිළිණි ද සිල්වා



අදහස් (0)

ඇමෙරිකාවේ පස් දරු පියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site