IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සාහිත්‍යකරුවා මේ මොහොතේ නිහඬව සිටීම බරපතළ අපරාධයක්

ප්‍රකට පරිවර්තකයකු, ලේඛකයකු මෙන්ම කවියකු ද වන චූලානන්ද සමරනායක මහතා චිංගීස් අයිත්මාතොව් සම්මානය ඇතුළු විවිධ සම්මානවලින්ද පිදුම් ලැබූ නිර්මාණ රචකයෙකි. ඔහුගේ නවතම කෘති පහක් පසුගියදා එළිදැක්විණි. සේකරගේ කතා, ගස්නඟින්න කියාපු දවස, ආමි බාප්පා, කඩ ඉරි සහ දිග ඉරි, විත් සහ විත්’ එම කෘති පහයි. කඩ ඉරි සහ දිග ඉරි, විත් සහ විත් යන කෘති ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහ වන අතර මේ සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ එම කෘති එළිදැක්වීම නිමිති කොටගෙනය.

• ඔබේ නව කවි පොත් දෙකෙහිම බොහෝ කවිවල යටි පෙළින් දිවයන සමාජ, දේශපාලනික සහ සංස්කෘතික විරෝධාකල්පයක් හඳුනාගත හැකියි. මේ අත්දැකීම් ගැන යමක් කතා කරමු.

අපි ජීවත් වෙන්නෙ සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික යන මේ සියලුම ක්ෂේත්‍ර අර්බුදයෙන් අර්බුදයට යමින් තිබෙන වකවානුවක. ඒත් අපිට මේ කිසි දෙයක් ගැන වගේ වගක් නෑ. අපි ජීවත් වෙනව කියල හිතාගෙන ගෙවන සෑම දවසක්ම තවත් දවසක් පහු කරගන්න දරන තිරශ්චීන අරගලයක් විතරයි. තවදුරටත් අපේ සමාජයට අනෙක් මනුෂ්‍යයාගේ ජීවිතය වැදගත් නෑ. තමන්, තමන්ම පමණයි. තමන්ට අවශ්‍ය ජීවිතය කුමක්ද කියන එකවත් අද අපට අදාළ නෑ. අවම තරමින් අපට අපේ ශාරීරික පැවැත්ම නඩත්තු කරගන්න අවශ්‍ය කෑම වේලවත් ලබාගන්න හැකියාවක් තවදුරටත් නෑ. 

අධ්‍යාපන සෞඛ්‍ය මේ සියල්ල තුළ තත්ත්වයත් ඒ වගේම තමයි. කලාව කියන්නෙ ඉතිං ඒ සියල්ලටම ඔබ්බෙන් තියෙන අපේ බොහෝ අයට හිතෙන්නෙවත් නැති ක්ෂේත්‍රයක්. මෙච්චර කලක් මිනිස්සුන්ට අවම මිලක් ගෙවල ඉහලම ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගන්න තිබ්බ බිත්තරයත් මේ වෙද්දි සුඛොපභෝගී භාණ්ඩයක් වෙලා ඉවරයි. පුරවැසි සමාජය තමන් විඳවන ඛේදවාචකය තේරුම් ගන්නවට වඩා කරමින් ඉන්නෙ තමන් මත දේශපාලකයා විසින් පටවනු ලබන වියගස් සියල්ලම කරගහන්න අනුවර්තනය වෙන එක. ඒ වගේ තත්වයක් මග හැර යන්න අපට බෑ. මට මේ ඛේදය දැනෙනව වගේම මට ඊට මගේ විරෝධය පළ කරන්නත් අවශ්‍යයි. මට කවිය  මේ මොහොතේ වඩාත් සමීප වෙන්නෙ ඒ නිසා. 

• නූතන කවියකුගේ නූතන සමාජ කියවීමක් මේ කවි හරහා හෙළිදරවු කෙරෙන බවට කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඔබට ඒ ගැන යම් අදහසක් තියෙනවද?

ප්‍රකට රුසියානු කිවියර ඔසිප් මන්දෙලෙෂ්තාම්ගේ මිය යාමෙන් පස්සෙ එයාගෙ බිරිඳ නදෙෂ්දා ඔහු ගැන ඉතා වැදගත් කෘති දෙකක් පළ කරනවා. ඔසිප් රෝගීව මිය යන්නෙ පාලකයන් විසින් දෙවන වරටත් ඔහු දරුණු මර්දනයකට ලක් කරල තියෙන අවස්ථාවක. ඔහු එවක පැවති සෝවියට් පාලනයේ උදහසට ලක් වෙන්නෙ පාලකයන්ට අභිමත දේ ලියන්න පිළිකෙව් කිරීම නිසා. පාලකයො ඔහුගෙන් අපේක්ෂා කරන්නෙ ආයු බෝ වේවා නායක සහෝදරයා කියල කවි ලියව ගන්න. 

ඒත් ඔහු ලියන්නෙ පාලකයා දරුණු විවේචනයකට ලක් කරන කවියක්. ඒ කවිය ඔහුගෙ මරණය තීන්දු කරනව. නදෙෂ්දා පසුව එක තැනක මෙහෙම ලියනව. මිනිසකුට තමන් ගේ විරෝධය පළ කරන්න කිසිම ආකාරයක ඉඩක් නැත්නම් අඩු ගානෙ ඔහු හයියෙන් හඬන්නවත් උත්සාහ දරන්න ඕනැ. මං හිතන්නෙ සෑම නිර්මාණ කරුවෙකුටම තමන්ගේ සමාජය කියවගන්න ශක්තිය තියෙන්න ඕනැ. එය නිරාවරණය කරන්න අවංකකම තියෙන්න ඕනැ.

ඔසිප් ගැන මතක් වෙන සෑම මොහොතකම මට සිහිපත් වෙන අපේ චරිතයක් තමයි දයාසේන ගුණසිංහ. ඔහු ජේ.ආර්ගෙ පාලන සමයේ තීරණාත්මක කතුවැකියක් ලිවීම නිසා දඬුකඳට යැවෙන අපේ මාධ්‍යවේදියා. ඔහු තම රැකියාවෙන් පිටමං කෙරුණහම තෝර ගත්තෙ කවිය. ඒ කවිය එකල සමාජය කියවන්න ගත්ත ප්‍රබල තැතක්. ඒ වගේම ඉතාම ඉහළ නිර්මාණාත්මක ප්‍රයත්නයක්. ඉතිං අවම තරමින් ඒ මාර්ගයේ එක පියවරක් යන්න උත්සාහයක් දරන්න පුළුවන් නම් මට ඒක සතුටක්. උදේ පාන්දර අවදි වෙන මොහොතෙ ඉඳල චෞර රාජධානියක ගෙවෙන සෑම මිනිත්තුවක්ම දරන්න බැරි පීඩනයක්.

මගේ කවි හරහා මං උත්සාහ දරන්නෙ අන්න ඒ පීඩනය යම් විදිහකින් පිට කරන්න. සමාජය සමග මගේ හැඟීම් බෙදා ගන්න. අපට වෙනස් ලෝකයක් අවශ්‍යයි. අපි ඒක වෙනුවෙන් ක්‍රියාශීලී විය යුතුයි කියල කියන්න. කවිය කියන්නෙ ප්‍රබල දේශපාලන මැදිහත්වීමක්. අපට ඒ කවිය තුළ මේ සියලු ඛේදයන් මගහැර යන්න පුළුවන්. ඒ කියන්නෙත් දේශපාලනය, මගහැර යාමේ දේශපාලනය. මං ඉන්නෙ කවිය හරහා ඒ වෙනුවට ඊට මුහුණ දෙන උත්සාහයක. 

• ඔබ පරිවර්තනය, කවිය ඇතුළු විවිධ සාහිත්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන කෙනෙක්. ඒ අතරින් කවිය වඩාත් සංවේදී කලා මාධ්‍යයක් ලෙස ඔබ විශ්වාස කරන්නෙ ඇයි?

සෑම අවධියකම වගේ කවිය මිනිසුන් අතර සමීපවම පැවති මාධ්‍යයක්. අද තත්වයත් ඒ විදිහම තමයි. ත්‍රීවීල් එකේ පිටුපස ඇලවෙන ස්ටිකරයේ, බස්රියේ වගේම විවිධ වාහනවල දක්නට ලැබෙන විවිධ ප්‍රකාශන කවියේම විවිධ ස්වරූපයන්ට ළඟයි. හුඟක් මේ පොදු ජන මාධ්‍ය තුළ දක්නට ලැබෙන ස්ටිකර් කවි හරහා සමාජගත වෙන්නෙ නිෂේධාත්මක හැඟීම්. උදාහරණයක් හැටියට අපේ පරණ ජන කවියක් ඇසුරින් තියෙන එක ස්ටිකරයක් දක්වන්න පුළුවන්. 

වේයයි මීයයි නෑයයි තමයි අපිව කන්නෙ. 
තව එකකින් කියන්නෙ
පෙර කල වැරදුණේ හිත හොඳ වැඩි හින්දා- 
දෙවරක් හිතනවා අද මං ඒ හින්දා. 
ළිඳ මගේ නම් මා ළිඳේ නම් කාටවත් ඇයි වේදනා. 

මේ වගේ බොහෝ ප්‍රකාශන හරහා අද  සාමූහික ශක්තිය පිළිබඳ හැඟීම වෙනුවට කේවල පැවැත්මක් යෝජනා කරමින් තියෙනව. මේක ඉතාම දේශපාලනිකයි. මං හිතන විදිහට විශේෂයෙන්ම ෆේස් බුක් භාවිතයත් එක්ක විවිධාකාරයෙන් කවිය අභ්‍යාස කරන තරුණ පරපුරක් ඉන්න සමාජයක බොහෝ අය තම ප්‍රකාශන මාධ්‍යය හැටියට කවිය තෝර ගන්නව. එහි සාර්ථක අසාර්ථක බව ගැන සංවාදයක් අවශ්‍යයි. ඒ සියල්ල අතරෙ කවිම අපට වඩා සමීප මාධ්‍ය බවට පත්වීම ප්‍රතික්ෂේප කරන්න බැරි තත්ත්වයක්. මං හිතන්නෙ අප මේ සමීපත්වය වඩා ප්‍රගතිකාරක ආකාරයකට භාවිත කරන්න උත්සුක විය යුතුය කියලයි.

• ඔබ මේ බොහෝ කවි සඳහා යොදා ගන්නා කාව්‍ය ආකෘතිය නූතනයේ වඩාත් ජනප්‍රියයි. පරිසමාප්ත කවියකට ආකෘතිය බලපාන්නෙ කොහොමද?

මං හිතන්නෙ ඔබ මේ අදහස් කරන්නෙ මගේ කවි පොත් දෙක අතරින් සංක්ෂිප්ත කවිය නියෝජනය කරන ‘විත් සහ විත්’ පොත ගැන. මං මෙවර පළ කරපු පොත් දෙනෙක් එකක් සංක්ෂිප්ත කවි. හැබැයි අනෙක් පොතේ ඒ කියන්නෙ ‘ගිනි පොකුරු පිනි පොකුරු’ පොතේ තියෙන්නෙ වඩා දීර්ඝ කවි. මම මේ දෙකම අභ්‍යාස කරන කෙනෙක්. ඒත් ෆේස් බුක් වගේ මාධ්‍යයක සංක්ෂිප්ත කවියට තියෙන අවකාශය වැඩියි. අනෙක් අතින් ඒක පරෙස්සමින් භාවිත කළ යුතු ආකෘතියක්. 

ඉතා සීමිත වදන් සංඛ්‍යාවක් හරහා පුළුල් අර්ථයක් සම්පාදනය කිරීමේ අභියෝගය එහි තියෙනව. මම කවියේ ආධුනිකයෙක්. මේ ආකෘති දෙකෙහිම සාර්ථකව මැදිහත් වෙන දැවැන්තයො අපේ සෑම පරපුරකම ඉන්නව. ඒ නිසාම අපට අභියෝගයක් තියෙනව. ඒ තමයි කවියෙහි සාර්ථකත්වය අත්කරගැනීම. ඒ සඳහා සෑම තත්පරයකම අභ්‍යාසය කියන එක වැදගත්. එක් පසෙක කවිය තමන් භාවිත කරන ආකෘතිය තුළ සාර්ථක කරගැනීම. ඒත් එක්කම ඒ හරහා ජනනය කරන අර්ථය වඩාත් දැනෙනසුළු විධිහට ඉදිරිපත් කිරීම. කවියක සාර්ථකත්වයට මේ සියල්ල අවශ්‍යයි. පරිසමාප්ත කවියක් කියන්නෙ කවියකුට ළඟා වන්න තියෙන ගිරි මුදුන. මං ඒ මාර්ගයේ කොච්චර දුරට සාර්ථකද කියන එක තීරණය වෙන්නෙ පාඨක විචාරක මැදිහත්වීම මත.

කවියා තෝර ගන්නා ආකෘතිය කුමක් වුවත් එහි පරිසමාප්තිය සඳහා ඔහු ඒ ආකෘතිය භාවිත කරන දැනුවත්භාවය ඉතා වැදගත්. අපි සංක්ෂිප්ත කවියට වැඩි ආභාසයක් ලබන්නෙ හයිකු සම්ප්‍රදාය හරහා. ඒ වගේම සීගිරි කවිය අපට අමතක කරන්න බැරි තැනක්. අනෙක් අතින් වඩා දීර්ඝව ලියන කවියක් පවා ඉන් අපේක්ෂා කරන අදහස ඉදිරිපත් කිරීමේදී සංක්ෂිප්ත කවියට වඩා දිගු වුණත් එහිත් ඊටම අදාළ සීමාවක් තියෙනව. කවියා ඒ සීමා ඉක්මවනව නම් කවිය ඉවක් බවක් නැති වදන් අපතේ යැවීමක් වෙන්න පුළුවන්. 
වර්තමානයේ සංක්ෂිප්ත කවිය හරහා වඩා තියුණු ලෙස සහ ආකර්ශනීය ලෙස පවත්නා සමාජ ඛේදවාදකය නිරූපණය කරන්න පුළුවන්. අද අපි අතර නැති ඉන්දික ගුණවර්ධන කවියා ෆේස් බුක් හරහා මේ උත්සාහය දැරූ ප්‍රමුඛයෙක්. ඔහු වරෙක ලියන
තිබුණ නං - නැටි අපට
වනල වනලම - කැඩිල මෙලහට
කියන කෙටි කවිය ඉතා සාර්ථකව පවත්නා පුරවැසි සමාජය නිරූපණය කළ නිර්මාණයක්.

• ලංකාවේ නූතන සමාජ දේශපාලන ක්‍රමය තුළ සාහිත්‍යකරුවාගේ මැදිහත්වීම ඔබ දකින්නේ කොහොමද?

මං හිතන්නෙ අපි කතා කළ යුත්තේ සාහිත්‍යකරුවා කෙසේ මැදිහත් විය යුතුද කියන එක ගැන කියලයි. සාහිත්‍යකරුවාත් මේ සමාජයේම කොටසක්. සාහිත්‍යකරුවාට කෙසේවත් මේ දේශපාලන පරිසරය මගහැර යා නොහැකියි. මේ ඔහුගේ මැදිහත්වීම බරපතළ විදිහටම අවශ්‍ය මොහොතක්. ඔහුට දේශපාලන දැක්මක් තිබිය යුතුයි. හැබැයි ඔහු පක්ෂ දේශපාලනය ඉක්මවා දකින්න හැකි අයෙක් විය යුතුයි. කේවල පැවැත්මක අගය ඉතා ඉහලින්ම වර්ණනා කෙරෙන දේශපාලන අව සංස්කෘතියක මිනිසාගේ සාමූහික ශක්තිය සහ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සාහිත්‍යකරුවන් අද වඩ වඩාත් අවශ්‍යයි.

ඒ වගේම පවත්නා දේශපාලනයේ මජර ස්වභාවය විනිවිද දකින ඊට ඉහළින් සිටින පෙරගමන්කරුවෙකුගේ භූමිකාව සාහිත්‍යකරුවාට තියෙනව. ඔහු ඒ වගකීම දෙවුර මතට ගත යුතුයි. කවර නිර්මාණකරුවෙකුට වුණත් වැදගත් වෙන්නෙ තම නිර්මාණ හරහා කරන මැදිහත්වීම මිස ඔහුගේ භෞතික දේපළ නොවෙයි. 

බොහෝ අය ගෝර්කි සලකන්නෙ ස්ටාලින් පාලනයේ ඉත්තෙකු හැටියට. ඒත් ඔහු තම අකාල චින්තා නමින් පළවූ ලිපි හරහා විප්ලවය ආසන්නයේම සිදුවෙමින් පැවති බොහෝ අගතීන්ට එරෙහිව සටන් කළ ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම මේ අද පවා ඔහු ගැන කෙරෙන අධ්‍යයනයන් තුළ දැන් පැහැදිලි වෙමින් තියෙන සත්‍යය වෙන්නෙ ඔහු ස්ටාලින් පාලන සමයේ පාලනයේ කොන්දේසි විරහිත ඉත්තෙකු වීම පිළිකෙව් කරමින් කළ අරගලයේ තරම. 

සාහිත්‍යකරුවාගේ මාර්ගය ඉතාම දුෂ්කරයි. ගෝර්කිම වරෙක කියපු හැටියට ඒක ඇණ සවි කර ඇති මගෙක ගමනක්. ඒත් ඔහුට වෙන මාර්ගයක් නෑ. මේ සාහිත්‍යකරුවන්ද එකට එකතු විය යුතු අවස්ථාවක්. දේශපාලකයන් අපේ ගෙල සිර කළ දඬු අඬුවෙ එක් ප්‍රතිඵලයක් හැටියට අද පොතක් පළ කිරීම පවා දුෂ්කර ව්‍යායාමයක් බවට පත් වෙලා ඉවරයි. එක් පසෙක අපිට මේ අභියෝගයට විකල්ප සෙවීමේ අරගලය තියෙනව. අනෙක් පසින් සාහිත්‍යකරුවන් හැටියට නොසැලී දෙපයින් සිටගැනීමේ අභියෝගය තියෙනව. සාහිත්‍යකරුවා තම නිර්මාණ භාවිතාව වචාත්ම තීව්‍ර කළ යුතු මේ මොහොතේ නිහඬව සිටිනවා නම් ඒක බරපතළ අපරාධයක්. 
 

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ පරිවර්තක  චූලානන්ද සමරනායක



අදහස් (0)

සාහිත්‍යකරුවා මේ මොහොතේ නිහඬව සිටීම බරපතළ අපරාධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site