|
ශෂිපබා රන්මලී |
ඒ ඉකුත් 17 වැනිදා උදෑසනයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යනාංශය ඉදිරිපිට බිම වැටී සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සිසුවියක සොයා ගැනීමෙන් මුළු විශ්වවිද්‍යාලයම කැළැඹී ගියේ නිමේෂයෙකිනි. යා හැකි උපරිම වේගයකින් ඇයව රෝහල් ගත කළේ ඇයගේ දිවි ගලවා ගැනීමේ අරමුණිනි.
උසක සිට වැටීමෙන් සිදුවිය හැකි ආකාරයේ අසාධ්‍ය බවක් ඈ තුළින් දිස් විය. ඒ නිසාම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට යොමු කළ ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු ඉමහත් වෙහෙසක් ගත්හ. මූලික ප‍්‍රතිකාරවලින් පසුව සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයක් සිදු කළේ ශල්‍යකර්මයක් සිදු කිරීමටය. ඒ ඇයගේ හිසට සහ උදරය තුළට නොකඩවා ගලන රුධිර වහනය නවතා ගැනීමටය. ඇගේ සිහිමූර්ජාවීම මේ තත්ත්වය තව තවත් බරපතළ කරවූ නිසා මුලින්ම හිසට ශල්‍යකර්මයක් සිදු කිරීමට හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු තීරණය කළහ.
හිසෙහි ශල්‍යකර්මය කරන අතරතුරදී වරක් ඇයගේ හෘදය වස්තුව නතර වූයේ ශල්‍යකර්මය සිදු කරන වෛද්‍යවරුන්ගේත් හෙදියන්ගේත් සිත් සතන් මඳකට කම්පිත කරවමිනි. ඒ මොහොතකට පමණි. ඉතාම ඉක්මණින් කෘත‍්‍රීම ස්වසනය ලබාදී ඇගේ හෘදය යළි ක‍්‍රියා කරවා ගැනීමට වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් හැකිවූයේ ඔවුන්ගේ අපරිමිත ධෛර්යය නිසාය.
|
පියා |
|
මව |
හිසෙහි ශල්‍යකර්මය සිදු කර ඇගේ සිහි මුර්ජාවෙන් ගලවා ගත්තද ජීවිතය පිළිබඳ අවදානම පහව ගියේ නැත. ඒ උදරයේ රුධිර වහනය දිගින් දිගටම සිදුවෙමින් තිබූ නිසාය. රාත‍්‍රි 10.30 පමණ උදරයේ ශල්‍යකර්මය ආරම්භ කළේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අතරට රුධිර වහනය නොකඩවාම සිදුවන නිසාය. උදරයෙන් රුධිරය ඉවත් කරන ගමන්ම ඇයට අවැසි රුධිර ප‍්‍රමාණය ලබා දුන්නද පාන්දර 2.30 පමණ ජීවිතයෙන් සමුගත්තේ වෛද්‍යවරුන්ගේ අපරිමිත වෙහෙස මධ්‍යයේය. ඒ වනතුරුම ඇයට නොකඩවා පැය 17 මුළුල්ලේ කෘත‍්‍රීම ස්වසනය ද ලබා දී තිබිණි.
ලූණුගම්වෙහෙර, නව නගරයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ ජීවත් වූ තිළිණි ශෂිපබා රන්මලී ගුණවර්ධන එලෙස මිය ගියේ රටට කුකුසක් ඉතිරි කරවමිනි. සරසවි මව් තුරුල්ලට වැදී තුන් හාර මසක් ගතවන්නටත් පෙර ඇය මෙලෙස අකාලයේ මිය ගියේ ඇයි දැයි යන්න මේ ලියන මොහොත වනතුරුත් අනාවරණය වී නොතිබිණි.
කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ජීව විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනගත් රන්මලී ගුණවර්ධන ශාක විද්‍යා අධ්‍යනාංශය ඉදිරිපිට වැටී සිටියේ ඇයි ද? කෙසේ ද? යන්න තවමත් අබිරහසකි. විශ්වවිද්‍යාල පාලනාධිකාරියත්, පොලිසියත් අනුමාන කරන පරිදි ඇය පස්මහල් ශාක විද්‍යා අධ්‍යානංශයේ උඩු මහලේ සිට පහතට පැන හෝ වැටී ඇත. ගොඩනැගිල්ලේ සිට අඩි 15ත් 20ත් අතර දුරක තිබියදී ඇය සොයා ගෙන තිබූ නිසා ඇය පස් වැනි මහලෙන් වැටෙන්නට හෝ පනින්නට ඇතැයි සැක පහළ වී තිබේ. එම අනුමානය තහවුරු වනුයේ පස් වැනි මහලේ කෙටි බිත්තිය අසල මේසයක් ද තිබීමෙනි. අඩි තුනක් උසැති බිත්තිය අසලට මේසයක් ගෙන ආවේ කවුරුන්ද යන්න තවම අනාවරණය වී නැත. එය ඇය විසින් ගෙනවිත් තබා ඒ මතට නැග පහතට පැන්නාද? නැතහොත් වෙනයම් නොදන්නා හේතුවක් මත ඇය වැටුණා ද? යන්න ගැන තවමත් පරීක්‍ෂණ සිදු කෙරේ.
පරීක්‍ෂණ සිදු කරන කුරුඳුවත්ත පොලිසිය පවසනුයේ ඇය ගොඩනැගිල්ලෙන් පහතට පැන මිය යන්නට ඇති බවට සාධක ලැබෙමින් තිබෙන බවය.රන්මලීට දිවි තොර කරගන්නට තරම් හේතුවක් නොවූ බව ඇගේ මව්පියෝ පවසති. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන රන්මලීගේ පියා වූ අමරසිරි ගුණවර්ධනත් හෙදියක වන ඇගේ මවත් තම දරු දෙදෙනාට කිසිදු අඩුපාඩුවක් නොවන්නට කටයුතු කළහ. රුහුණු විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාළ රන්මලීගේ අක්කා රැකියාවක් අපේක්‍ෂිතව නිවසට වී සිටිද්දී රන්මලී කොළොම්තොටට එන්නේ ජීව විද්‍යා අංශයෙන් වැඩිදුර ඉගෙනීමටය.
එහෙත් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන ආකාරයට රන්මලී වෛද්‍ය පීඨයට ඇතුළත් නොවීම නිසා යම් කණස්සල්ලකින් සිට ඇත. ගුණවර්ධන මහත්මියගේ එකම පැතුම වූයේ සිය දියණිය වෛද්‍ය පීඨයට තේරී පත් වනු දැකීමටය. ඇය වෛද්‍යවරික කිරීමට ඇය බොහෝ උත්සාහ කළාය. මවගේ පැතුම සඵල කරවන්නට ඇය තෙවරක්ම අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටියාය.
තෙවැනිවරද තම වෑයම අසාර්ථක වූ නිසා ඇය අවසානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට ඇතුළත් වූවාය. එහි මාසයක් දෙකක් ඉගෙන ගනිද්දී රන්මලී කිසි දින නොසිතූ පරිදි කොළඹ සරසවියට ඇතුළත් වීමට සිදු විය. ඒ ජයවර්ධන පුර සරසවියේ විද්‍යා පීඨයේ වැඩි සිසුන් ප‍්‍රමාණයක් සිිටි නිසා ඉඩකඩ ප‍්‍රශ්නයක් මත සිසු හුවමාරු ක‍්‍රමයක් යටතේ රන්මලීටත් තවත් කිහිප දෙනෙකුටත් කොළඹ සරසවියට යෑමට සිදු වීම මතය.
කොළඹ සරසවියට ඇය තේරීපත් වුවද නුගේගොඩ ඇය නැවතී සිටි බෝඩිමෙන් දුරස් නොවී එහි සිටම සිය යෙහෙළියන් හා බසයෙන් සරසවියට ගියාය. ඇය කොළඹ සරසවියට එන විට එහි සම්ප‍්‍රදායිකව සිදු කෙරෙන සිසුන් හඳුනාගැනීමේ වැඩසටහන් සියල්ල අවසන් වී අධ්‍යයන කටයුතු ද ආරම්භ වී තිබිණි.
සරසවි ජීවිතයේදී හෝ පෞද්ගලික ජීවිතයේදී යම් සිසුවකුට හෝ සිසුවියකට මුහුණ දීමට සිදුවන ආර්ථික දුෂ්කරතා, මානසික පීඩන, ශාරීරික දුර්වලතා ආදි නේක ප‍්‍රශ්න සිසුන් තුළම සිරකරගෙන තබාගන්නට කොළඹ සරසවියේ පාලනාධිකාරිය ඉඩ තබා නැත. ඒ සඳහා ඔවුන් ‘‘අත්වැල’’ නමින් අත්පොතක් භාෂා තුනෙන්ම මුද්‍රණය කර සෑම සිදු සිසුවියකටම ලබා දෙන්නේ අධ්‍යයන කටයුතු ආරම්භයටත් පෙර පැවැත්වෙන හඳුනා ගැනීමේ වැඩසටහන්වලදීය.
එක් එක් විෂය භාර ආචාර්ය මහාචාර්ය වරයාගේ පටන් ඒ ඒ පීඨය භාර ආචාර්ය මහාචාර්යවරුන්ගේත්, ශිෂ්‍ය උපදේශක විනය භාර උපදේශකවරුන්ගේ පටන් උප කුලපති දක්වා වූ සෑම තනතුරකම අයගේ කාර්යාල හා ජංගම දුරකථන අංකත්, එම අත්පොතට ඇතුළත් කර තිබේ. පැය 24 පුරාම සෑම ආචාර්යවරයකුම තම ජංගම දුරකතනය විවෘතව තබා ගන්නේ නවක සිසු සිසුවියන්ට පමණක් නොව දෙටු සිසු සිසුවියන්ට ද එළැඹෙන නේක ගැටලූවලට විසඳුම් ලබා දීමේත් මානසික සෞඛ්‍ය ඉහළින්ම පවත්වා ගැනීමේත් අරමුණිනි. ඒ සෑම දෙයක් සම්බන්ධවම ගුරු සිසු හඳුනා ගැනීමේ වැඩසටහන්වලදී සිසුන්ව දැනුවත් කළද රන්මලීලාගේ කාණ්ඩයට එම පණිවිඩය ගලා නොගිය බව කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මහතා පැවසුවේය.
ඒ රන්මලීලා මාස කිහිපයක් පරක්කු වී සරසවියට බැඳුණු නිසාය. ඒ නිසාමදෝ රන්මලීගේ සිතට උපන් කරදරකාරී හැඟීම් එළි දක්වන්නට නිසි කෙනෙක් සිටියේ නැත. ඉඳහිට තම මිතුරියන්ගෙන් ‘‘කෝච්චියට පැන්නොත් එක පාරම මැරෙයිද?, වස බීවොත් මැරෙයිද?’’ යනාදී වශයෙන් විමසුවේද ඒ කරදරකාරී හැඟීම් තව දුරටත් ඇයට කරදරයක් වූ නිසාම විය හැකිය.
ඇයගේ සිතට මේ තරම්ම කරදරකාරී ලෙස මානසික පීඩනය උග‍්‍ර වූයේ ඇයිදැයි? යන්නද විමසිය යුතු කරුණකි. ජයවර්ධනපුර හා කොළඹ සරසවියේ අධ්‍යයන ක‍්‍රමයට හා විෂයමාලා වෙනස්කම් ඇයට බරපතළ පීඩාවක් එල්ල කළා විය හැකිය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වඩා කොළඹ සරසවියේ විෂය මාලාවන් ‘‘අමාරු’’ බැව් ඇය කිහිප විටක්ම යෙහෙළියන් හා පැවසුවාය.
ඇය කොළඹ සරසවියට විත් කෙටි කළකින්ම පළමු සෙමෙස්තර විභාගයට මුහුණ දීමට සිදුවීම නිසා ඇගේ මානසික ව්‍යාකූලත්වය තව තවත් වැඩි වූවා විය හැකිය. පාඩම් වැඩකටයුතු නිසි පරිදි කළද ඇගේ හිතට එය කරදරකාරී වූවාට නිසැකය. ඒ නිසාමදෝ ඇය නිරන්තර හිසරදයකින් පෙළුණු බවත් මිතුරියන්ට කියා ඇත. මිතුරියන්ද ඇගේ දැඩි මානසික ව්‍යාකූලබව නිසි ලෙස අවබෝධ කර නොගත්තා විය හැකිය. මන්ද ඔවුන්ද රන්මලී පත්වූ ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි නිසා එය සාමාන්‍ය දෙයකැයි සළකන්නට ඇතිවාට සැක නැත. රන්මලීට මෙන් ඔවුන්ට ද විභාගය අමාරු විය. එහෙත් රන්මලී එය පමණට වඩා සිතන්නට යෑම නිසා ඇගේ ව්‍යාකූලබව තව තවත් උග‍්‍ර වන්නට ඇත.
කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. විසිතුන් වසරක් ජීවිත ගමනේ පියමන් කළ රන්මලී ජීවිතයේ පැන නැගුණු ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගත නොහැකිව මෙලොව හැර ගොස් ඇත. ඇගේ නිසල දේහය දකින අහස උසට බලාපොරොත්තු දරා හැදු වැඩූ මව්පියන්ට ඇතිවන දුක්ඛ සන්තාපයන් ගැන විස්තර කිරීමට වචන නැති තරම්ය. තමන්ගේ ප‍්‍රශ්නයක් කිසිවකුට හෝ නිසි ලෙස කියා උපදෙසක් විසඳුමක් ලබාගනු වෙනුවට ජීවිතයෙන් පලා යෑමට සිතන්නට තරම් තරුණ ජීවිත මේ තරම් අකාරුණික වන්නේ ඇයිදැයි සිතෙන්නේ ඔවුන්ගේ වියෝවින් පීඩා විඳින අය දෙස බලන විටය.
කෙසේ හෝ රන්මලීගේ මරණය ගැන තවමත් අවසන් තීන්දුවක් ලැබී නැත. මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ හදිසි නාගරික මරණ පරීක්‍ෂක මොහොමඞ් අෂ්රොෆ් රූමි මහතාත්, පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන්.එම්. රාහුල් හක් මහතාත් මරණය ගැන අවසන් තීන්දුව දීම ලබන 25 වැනිදා දක්වා කල් තබා ඇත. හිසට හා උදරයටත්, කොඳු ඇට පෙළට හා ඉල ඇටවලට සිදු වූ බරපතළ හානී හේතුවෙනුත් සිදුවූ රුධිර වහනයෙන් රන්මලී මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ.
කොළඹ දකුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමලාල් රණගල මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති කපිල පේ‍්‍රමදාස මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක ජානක සමන් කුමාර, උ.පො.ප. කරුණාරත්න හා සැරයන් පේ‍්‍රමතිලක (1210) යන නිලධාරීන් රන්මලීගේ මිය යෑම ගැන තව දුරටත් පරීක්‍ෂණ පවත්වති.
මේ වන විට අනාවරණය වී ඇති සාක්‍ෂිවලින් බහුතරයකින් හෙළිව ඇත්තේ ඇය සිය දිවි නසා ගත් බව යැයි පොලිස් ස්ථානාධිපති කපිල පේ‍්‍රමදාස මහතා පවසයි. ඇයගේ යෙහෙළියන් නිසිලෙස සාක්‍ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා පරීක්‍ෂණ කටයුතුවලට බාධා වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් දැනට ලැබී ඇති සාක්‍ෂි අනුව එළැඹෙන 25 වැනිදා ඇගේ මරණය ගැන නිශ්චිත තීන්දුවක් ලැබෙනු ඇත.
සටහන පුෂ්පා වීරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි!! මගේ පැතුම (නි)
යූජීසී එකේ අය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාසික ක්‍රමය මේ සියදිවි නසාගැනීමට වග කියන්න ඕනෑ කියලා මට හිතෙන්නෙ. යුජීසී එකෙන් මුලදි ළමයින් වැඩිපුර ජපුරට යැව්වෙ එතන වැඩකරන අයගෙ නොසැලකිල්ල නිසයි. විභාගෙ කට ළඟට තියලා ළමයින් කොළඹට මාරු කරල මානසික වියවුලක දැම්මෙ යූජීසී නොවේද? විශ්ව විද්‍යාලෙට ආපු ගමන් ඒ ළමයින්ට විභාගෙ ලිවිය යුතුයි කියලා නීති දාපු කොළඹ විශ්ව විද්‍යාලෙ සමාසික ක්‍රමය පිස්සුවක්. හරිම අශාස්ත්‍රියයි. මං දන්න විදිහට සමාසික ක්‍රමය ආවෙ නම්‍යශීලිත්වය වැඩියෙන් ළමයින්ට දෙන්න. මේ ළමයින්ට තව කල් දීලා ආවරණ පරීක්ෂණයක් පසුව දෙන්නයි තිබුණෙ. මෙහි නොකියවෙන පැත්තකුත් තියෙනවා. ජපුරෙ රැග් කාලා මේ ළමයින්ට ආපහු කොළඹදිත් රැග් කන්න සිදු වෙන්න ඇති. ඔය උඩින් පනින වෙලෙත් රැග් කරමින් හිටියද කියලා හොයා බලන්න වෙනවා. මොකද මං දන්නව රැග් එකේ එක පාට් එකක් තමයි උඩ තට්ටුවෙන් පැනපං කියලා බල කරන එක. මේ ළමය බයට සහ මෝඩකමට නැත්නම් ඒ වෙලාවෙ ඇතිවුන මානසික ආතතියට මොලේ වැඩ නොකරපු නිසා හෝ හදිසි මාරුව නිසා සහ ගෙදර අය සතුටු කරලා වෛද්‍ය පීඨ යා ගන්න බැරිවෙච්චි නිසා මේ ආදි හේතු නිසා ඇතිවෙලා තිබුණු වියවුලෙන් කරන දේ නොදැන බල කරන නිසා පැන්නද දන්නෙත් නැහැ. (නි)
දරුවන් යනු තමන්ගේ සිහින ඉටුකරදීමට සිටින සත්ව කොට්ටාශයක් නොවේ. ඔවුන්ද සිතුම් පැතුම් ඇති මනුෂ්‍යයෝය. (ස)
ඔව් ශෂී, මම දන්නවා ඔයා හැම එකම අම්මට කියන බව. ප්‍රශ්නවලට මැරෙන එක නෙමෙයි විසදුම. ඒකට මුහුණ දෙන එකයි. මැරෙන කෙනා අනිත් හැමෝටම ප්‍රශ්ණ ගොඩක් ඇති කරලා මේ වගේ මෝඩ වැඩ කරගන්නේ. එක්කෝ එයා මේක විහින් කරගත් දෙයක්. නැතිනම් කව්රු හරි කරපු දෙයක්.(නදී)
මමත් මාධවීගේ අදහසට එකග වෙනවා . අනිත් කාරනය දැන් බිහිවෙන්නේ ගොඩක්ම පොත්ගුල්ලෝ විතරයි. බාහිර ලෝකයක් ගැන අවබෝදයක් නැහැ. ජීවිතයේ සරල ගැටලුවකටවත් මුහුණ දෙන්න අවබෝදයක් නැහැ. වැඩිහිටියෝ මීට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ අද සමාජයේ. (නි)
දරුවෝ අම්මා තාත්තා ගැන හිතන්න ඕනෑ. මෙච්චර ලොකු කරලා ඇයි මේ වගේ දුක් ගින්දර දෙන්නේ? දරුවෝ උගතුන් කරන්න ඉස්සරවෙලා ඥානවන්තයින් කරන්න. දහම් පාසල් යවන්න. මුරන්ඩු දරුවෝදෙමව්පියෝ ගැන හිතන්න. මෙවන් දුකක් අම්මෙකුට නොම වේවා! (නි)
අයියෝ සල්ලි.(නදී)
ලංකාවේ කෙල්ලොත් දැන් ඉන්දියන් අය වගේ හැම දේම ඕනවට වඩා හිතනවා. මේ හැමදේටම හේතුව තරගකාරිත්වය සහ එකිනෙකා අභිබවා යාම. ඔය වගේ සිතුවිලි ගොඩක් තියෙන්නේ ගැහැණු ලමයිට. තරූ සහ ශෂිනි සමහර විට එයාගේ දෙමව්පියෝ එයා ගැන පමණට වඩා බලාපොරොත්තු තියන් ඉන්න ඇති.(නදී)
මෙයට සම්පුරණයෙන් වග කිව යුතු වන්නේ දෙමව්පියන්. දරුවනට හැකි ආකාරයකට ඉන්න නොදී බලපෑම් කරලා අන්තිමට දැන් ඔය උනේ දොස්තර කෙනෙක්. අනේ මන්දා කව්ද්ද මේ දේවල් මිනිස්සු ඉගෙන ගන්නේ. දෙවියනේ,අපරාදේ මේ ලස්සන,ජීවිතේ. දෙමව්පියන්ටත් ඕනේ දරුවන්ව තරගෙට ඉගෙන ගන්න අරින්න. මෙච්චර උගත් දරුවන්ටත් ඕනේ ඒකමයි. අන්තීමට කරගන්න බැරුව කොර උනාම දිවිනහ ගන්නවා. අනේ මන්දා.(නදී)
අතිශයෙන්ම කනගාටු වෙනවා. නමුත් මේ දෙමව්පියන් මධ්‍යම පාන්තික සිහිනයක ජීවත් වුනු අය වගේ රැකියාවෙන් කතාවෙන් සහ පින්තුර වලින් හිතෙනවා. කරලා තියෙන ලොකුම වරද දරුවන්ට ජීවිතයට මුහුණ දෙන්න උගන්නපු නැති එක (අ)
ගුනවර්දන මහත්මියගේ එකම පැතුමේ ප්‍රතිපල දැන් ලැබී ඇත.තමන්ට කරන්න බැරිඋන දේවල් දරුවෝ ලව කරවගන්න උත්සහ දරන්න දෙමව්පියන්ට මේ හොඳ පාඩමක්. දරුවෝ වුනන්දු කරවන්න ඕනේ නමුත් එයාල ගේ කැමැත්ත ආශාව ගැනත් හිතන්න ඕනේ.එයාලට හැකියාව තිබෙන පැත්තෙන් ඉදිරියට යන්න උදව් කර නම් මෙවැනි මානසික වියකුලත්වයකට පත් වෙන්නේ නැහැ. අ)
සසරේ නැවත මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා! (නි)
දෙමවිපියන්ට හැම වෙලේම ඇගිල්ල දිගුකරන එක වැරදියි. ළමයි දැනගන්න ඕනා දෙමව්පියන්ට මේ වගේ දුකක් නොදී ඉන්න. අම්මලා කොච්චර අමාරුවෙන්ද අපිව ලොකු මහත් කළේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි අම්මට කියන්ඩ බැරි. මේ වගේ දෙයක් කරගන්නේ නැතිව ඉන්න තිබුනා. පව් අසරණ දෙමව්පියෝ තමයි හැමදේටම බැනුම් අහන්නේ.(නදී)
පවු අසරණ දෙමවුපියෝ. :(
දැන් තියන අධ්‍යාපන ක්‍රමයෙනුත් පුදුමාකාර පීඩනයක් දරුවන්ට දෙන්නේ. ඒ වගේම දෙමුපියනුත් බලන්නේ ළමයින්ව වෛද්‍යවරු , ඉංජිනේරුවෝ කරන්න. ඉතින් මේ පීඩනය දරුවන්ට දරාගන්න බැහැ. දරුවෝ ගොඩදෙනෙක් මානසික රෝගියෝ. පහුගිය කාලේ උගත් ළමයි කී දෙනෙක් මානසික රෝග නිසා අපරාධ කළාද? මේවට හැමෝම වග කියන්න ඕනෑ (නි)
මෙම ප්‍රතිචාර බොහොමයක් පශ්චාත් මරණ පඬි වදන් මිස දෙමව්පියන් සමග දුක බෙදා ගැනීමක්, මිය ගිය දුවණිය වෙනුවෙන් ශෝක වීමක් නොවේ! බොහොම දෙනෙක් දෙමව්පියන්ට ගුරුහරුකම් දීම තමා කරන්නේ.දුවට කිසිම ආත්මයක මෙවැනි ඛේදාන්තයක් සිදු නොවේවා.!! (නි)