IMG-LOGO

සරුංගලයේ නූල දිගේ ආ මාරයා

21_Nimthera_P1_Back   

 

මලීෂ පෙරේරා දාහතර වියේ පසුවූ කුඩා දරුවකු වුව ද විවිධාකාරයේ සරුංගල් නිර්මාණය කිරීමට අති දක්ෂයෙක් වූයේය. පාසල් නිවාඩු කාලයේදී සරුංගලයක් සාදා ගැනීමට බොහෝ ළමෝ මලීෂ සොයා පැමිණියහ. අනුනට සරුංගල් සාදා දීමෙන් සතුටක් පමණක් ලද මලීෂට සරුංගලයක් නිසාම මරණයට පත්වන්නට සිදුවිය. මේ මරණය බොහෝ දෙනාගේ හදවත් පැලී යන්නට තරම් වේදනාබර එකක් වූයේ මලීෂ යනු කාගේත් හිත් දිනාගත් අහිංසකයකු වූ නිසාය.

85
දොම්පේ, දෙමළගම පදිංචිව සිටි මලීෂට මල්ලී කෙනෙක්ද, නැගණියක්ද සිටියහ. දෙකටන පද්මාවතී විදුහලේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි මලීෂ පාසල් අධ්‍යාපනයට අමතර ලෙස කළ ප්‍රධාන කාර්යය වන්නේ අම්මාට උදව් කිරීමය. අම්මාට උයන්නට පිහන්නටත්, පුංචි නැගණිය බලා ගැනීමත් සිදුකළේ මලීෂය. සරුංගලයක් නොමැති අසරණ දරුවකු මලීෂ සොයා පැමිණියේ නම් කෙසේ හෝ මවගෙන් මුදල් ඉල්ලාගෙන කඩයට ගොස් සව් කඩදාසිද රැගෙන ඒ ළමයාට තම වියදමින්ම සරුංගලයක් තනා දීමට තරම් වූ උණුවන හදවතක් මලීෂට තිබුණේය.


 නිවස අසල පදිංචි තම මිතුරෙකුට -මොනර” සරුංගලයක් සාදා දුන්නේ මලීෂය. එම සරුංගලය මිතුරා පසුගිය 10 වැනිදා මලීෂගේ නිවස අසල පිහිටි වෙල්යායේදී ගුවන්ගත කරමින් තිබුණි. මලීෂටත්, මල්ලීටත් සරුංගල් තිබිණි. තම සරුංගල් දෙකද රැගෙන සොහොයුරන් දෙදෙනා වෙල්යායට පැමිණියේ මිතුරාත් සමඟ සරුංගල් යැවීමටය. අසල නිවෙස් කීපයකම ළමෝද එතැනට එක්ව සිටියහ. මොහොතින් මලීෂගේත් මල්ලීගේත් සරුංගල්ද ගුවනට එසවුණේය.


 මලීෂගේ පියාවන සම්පත් පෙරේරා යුදහමුදාවේ සේවය කළේය. නිවසට කිලෝ මීටර් 3ක් දුරින් අහුගම්මන කඳවුරේ සිට සේවය නිමවී සම්පත් නිවසට පැමිණෙන විට වෙල්යායේ සරුංගල් යවමින් සිටි මලීෂත්, මල්ලීත් වහා තම සරුංගල්ද රැගෙන නිවසට දිව ගියහ. ඒ පියා එම ස්ථානයේ සරුංගල් නොයවන ලෙස මලීෂට අවවාද කර තිබූ නිසාය. මලීෂගේ පියා තම දරු දෙදෙනාට එසේ අවවාද කර තිබුණේ සරුංගල් යවන වෙල්යාය හරහා අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් වැටී තිබූ නිසාය. සරුංගලයක නූල විදුලි රැහැන් පද්ධතියේ ගැටුණහොත් යම් විපතක් සිදුවන බව ඔහු නිරීක්ෂණයකොට තිබුණි.


නිවසට පැමිණි දරු දෙදෙනාට පියා යළිත් අවවාද කළේය. ඒ විදුලි රැහැන් යට සරුංගල් නොයවන ලෙසටය. මඳ වේලාවකින් තම යතුරුපැදිය අලුත්වැඩියා කර ගන්නට මලීෂගේ පියා නිවසින් පිටත්වූයේය. ඒ යන විටත් මලීෂටත් මල්ලීටත් ඔහු කියා ගියේ වෙල්යාය පැත්තටවත් නොයන ලෙසටය.


තමා හදා දුන් මිතුරාට අයත් -මොනරා” ගුවනේ ඉහළටම ගොස් ඇති ආකාරය මලීෂ තම නිවසේ සිට නිරීක්ෂණය කළේය. මලීෂගේ මල්ලීත් නොඉවසිල්ලෙන් ඒ දෙස බලා සිටියේය. -අයියේ යමුද?- මල්ලී සරුංගලය ද රැගෙන මලීෂට යෝජනා කළේය. -එපා මල්ලී තාත්තා කීවනේ මලීෂ පිළිතුරු දුන්නේය.

SLD_20160821_C001
 පියා ක්ෂණිකවම යළි නිවසට පැමිණෙන බව දරු දෙදෙනා දැන සිටියහ. ඒ නිසා ගෙදරටම වී සිටින්නට ඔවුන්ට සිදුවිය. එහෙත් ළමා මනස තුළ පිබිදගෙන එන සරුංගල් සිහිනය තවදුරටත් සඟවා තබා ගන්නට මලීෂට නොහැකි විය. -අම්මේ මට තේ ටිකක් ඕනෑ.” මලීෂ අම්මාට කීවේය. අම්මා තේ හදන්නට වතුර කේතලය ළිප මත තැබුවාය. -අම්මේ ඔයා තේ එක හදන්න. මම වෙළ පැත්තට ගිහින් ටක් ගාලා එන්නම.” කියා මලීෂත්, මල්ලීත් වෙල්යාය දෙසට ගියේ මවගේ විරෝධය හමුවේය. තාත්තා යළි පැමිණියහොත් ක්ෂණිකවම නිවසට පැමිණිය යුතු නිසා ඔවුන් ගියේ තමන්ගේ සරුංගල්ද නිවසේ තිබියදීය. තම මිතුරාගේ මොනර සරුංගලය ඉහළ අහසේ සිටින අයුරු මලීෂ නිරීක්ෂණය කළේය. එහි නූල් කෙළවර ගැටගසා තිබුණේ අධි විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණුවේය. මිතුරාගේ නිවසත්, මලීෂගේ නිවසත් පිහිටියේ මෙම විදුලි කණුව ඉතා ආසන්නයේය. විදුලි කණුවේ ගැට ගසා තිබූ නුල ඒ ආසන්නයෙන්ම අල්ලාගෙන පද්දමින් සිටියේ මිතුරාය. -මලීෂ මේ නූල අල්ලගන්න. මම වතුර ටිකක් බීලා ටක් ගාලා එන්නම්. කියමින් මිතුරා අසල පිහිටි නිවසට ගොඩවැදුණේය. සරුංගලයේ නූල අල්ලා ගස්සමින් සිටියේ මලීෂය. ඒ අතරතුර මිතුරා වතුර බී යළි එම ස්ථානයට පැමිණ සිටියේය. මලීෂ නූල අල්ලාගෙන සිටින විට බෝම්බයක් පුපුරන්නා සේ මහා ශබ්දයක් නගමින් සරංගලයේ නුල ගිනි ගත්තේය. මලීෂ සිටි ස්ථානයේ සිට අඩි 04 ක් පමණ ඈතට විසිවී ගොස් බිම ඇද වැටිණි. මේ මහා ශබ්දය කුමක්දැයි විමසමින් එම ස්ථානය අවට නිවෙස්වල පිරිස්ද දිව ආහ.


මලීෂගේ තේ කෝප්පය සාදාගෙන ඔහු එනතුරු නිවසේ සිටි මලීෂගේ මවට ද මේ ශබ්දය ඇසිණි. ඇයත් වහාම ඒ දෙසට දිව ගියාය. මලීෂගේ මල්ලීද එම ස්ථානයේ බියට පත්ව සිටියේය. -අම්මේ අයියා බිම වැටිලා.” මලීෂගේ මව ආධාර ඉල්ලා කෑගැසුවේය. නමුත් මලීෂට අවශ්‍ය ප්‍රථමාධාරයක් දීමට එම ස්ථානයේදීම කටයුතු සිදුවුණේ නම් මලීෂට යම් සහනයක් ලැබීමට ඇති අවස්ථාවද වැඩිය. එහෙත් එය සිදු නොවිණි.


 එම ස්ථානයේදී තරමක ප්‍රමාදයකින් පසුව හෝ තරුණයන් කීපදෙනෙකු මැදිහත් වී මලීෂව වහාම ත්‍රිරෝද රථයකින් දොම්පේ රෝහලට රැගෙන ගියේය. ඒ වන විටත් නැවතී තිබූ මලීෂගේ හදවත කෘත්‍රිම ශ්වසනය දී හදවත තෙරපා යළි ක්‍රියාත්මක කරන්නට දොම්පේ රෝහලේ වෛද්‍යවරු සමත් වූහ. ඔවුහු ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් කළ බව එම වෛද්‍යවරුන්ට ගෞරවයක් පිණිස ලියා තැබිය යුතුය.


එහෙත් දොම්පේ රෝහලේ වෛද්‍යවරුන් කළ ඒ කැපවීමට අරුතක් දෙන්නට රෝහලේ කාර්ය මණ්ඩලයට නොහැකි විය. වෛද්‍ය නිර්දේශය වූයේ රෝගියා වහාම ගම්පහ කොළඹ හෝ රෝහලට රැගෙන යා යුතු බවය. දොම්පේ රෝහලේ ගිලන් රථය අදාළ ස්ථානයේ නවතා තිබුණත් ගිලන්රථ රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ එදින සේවයට වාර්තා කර නොතිබූ බව රෝහලෙහි ප්‍රකාශ විය. මේ නිසා දැඩිසේ අසාධ්‍යව සිටි මලීෂගේ ජීවිතය බේරාගන්නට දැඩි සටනක් කරන්නට මලීෂගේ පියා ඇතුළු ඥාතීන්ට සිදුවිය. රෝහල මගින්ම අවට රෝහල් කීපයකට කතා කළත් ගිලන් රථයක් සොයා ගැනීමට නොහැකි විය. රෝහල අසලම පිහිටි දොම්පේ පොලිසිය වෙත මලීෂගේ පියා දිව යන්නේ මේ තත්ත්වය පවසා යම් විසඳුමක් ලබා ගන්නටය.

දොම්පේ රෝහලේ ගිලන් රථයේ රියදුරන් නොමැති බව පවසා මෙම වරද පැමිණිල්ලක් ලෙස ලියාගන්නැයි ඔහු පොලිසියෙන්ද ඉල්ලීමක් කළේය.
 පොලිසිය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ශබ්ද නගමින් ගිලන් රථයක් ධාවනයවනු ඇසී මලීෂගේ පියා ඒ දෙසට දිව ගියේය. පොලිසිය ද පසුකර ධාවනය වූ ගිලන් රථය පසුපස ඔහු දිව ගියේය. ගිලන් රථය රෝහලට හැරවීය. තම පුත්‍රයා රැගෙන ඒමට පැමිණි බව සතුටු වූ මලීෂගේ පියා එතනට යනවිටම එම 

ගිලන් රථය යළිත් යාමට සැරසුණේය. -මම වෙන රාජකාරියකට ආව ගමන්. වෙන එකකට කතා කරන්න.” ගිලන් රථයේ රියදුරා මලීෂගේ පියාට කීවේය. පිරිස ගිලන් රථය වටකර ගත්හ. -මේ දරුවා මැරෙයි. කොළඹට ගිහින් දෙන්න. ඉල්ලන ගාණක් දෙන්නම්.” මලීෂගේ පියා කීවේය. පිරිසගේ ඉල්ලීම ඉවත නොහළ රියදුරා මලීෂවත් රැගෙන පිම්මේ කොළඹ ජාතික රෝහලට ගියේය.


මලීෂ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී. මලීෂගේ මොළයට විදුලි සැරෙන් දැඩි හානි සිදුව ඇති බව වෛද්‍යවරු නිරීක්ෂණය කළහ. එහෙත් මලීෂගේ ජීවිතය රැකගන්නට වෛද්‍යවරු මහත් උත්සාහයක් ගත්හ. දින පහක් දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වූ මලීෂ පසුගිය 15 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේය. අධි විදුලි සැරෙන් මලීෂගේ මොළය පළමුව මියගොස් තිබුණි. ඔහුගේ  පපුව හා ශරීරයට කිසිදු හානියක් සිදුව නොතිබූ බව වෛද්‍ය මතය විය. අගෝස්තු-සැප්තැම්බර් මාස දරුවන් සරුංගල් යවන කාලයයි. සරුංගලයක් ගුවනට යවා දරුවකු ලබන්නේ අහිංසක සතුටකි. එයට බාධා කිරීම මාපියන්ට යුතු නොවේ. එහෙත් තම දරුවා සරුංගලය යවන ස්ථානය හා එහි ඇති අවදානම පිළිබඳව මාපියන් වරක්, දෙවරක් නොව තෙවරක් සිතා බැලිය යුතුය. මීට පෙරද විදුලි රැහැනක පැටලුණු සරුංගලයක් ගන්නට ගිය ළමයෙකුද විදුලිසැර වැදී මිය ගියේය. එසේම නූල කඩාගෙන ගිය සරුංගල් පසුපස අහස දෙස බලමින් දිව යන දරුවන් විශාල පිරිසක්ද අනතුරට ලක්ව තිබේ.


එසේම මලීෂ අනතුරට පත් වූ සරුංගලයට යොදන ලද නූල පිළිබඳව ද යම් ගැටලුවක් තිබේ. එම නූල දරුවන් විසින් කොහෙන් හෝ අහුලාගැනුණු විශේෂිත නූලකි. ඒ මගින් විදුලිය ගමන් කිරීමේ හැකියාවද තිබී ඇත. ඒ පිළිබඳව ද මාපිය අවධානය යොමුවී නම් මලීෂ වැනි මල්කැකුළු අකාලයේ මිලින නොවනු ඇත.


 විවිධ අනතුරු මගින් ළමුන් විශාල පිරිසක් අපට අහිමි වෙයි. ඒ සෑම සිදුවීමකම අවසන් විශ්ලේෂණයේදී අනාවරණය වන්නේ මාපියන්ගේ ඇති දරුවන් පිළිබඳ වූ අඩු අවධානයයි. තම ජීවිතය පුදා මලීෂ ලබාදුන් පණිවිඩය හිස් මුදුනින් පිළිගෙන ළමා පරපුර ආරක්ෂා කරන්නට දැඩි කැපවීමක් කරන්නැයි අපි මාපියන්ගෙන් ඉල්ලා සිටිමු.


-මම අවුරුදු 16 ක් උතුරේ යුද්ධයේ හිටියා මගේ කුඩුහමවත් කැඩුණේ නෑ.” ඒත් මගේ දරුවා ආරක්ෂා කරගන්න බැරුව ගියා. රණවිරුවකු වූ මලීෂගේ පියා වැලපෙයි. -මගේ දරුවා මට ගෙනත් දෙන්න.” ඔහුගේ මව විලාප දෙයි. මේ විලාප අඳෝනා මැද මලීෂ පසුගිය 18 දින සමුගත්තේය.

m



අදහස් (0)

සරුංගලයේ නූල දිගේ ආ මාරයා

සෙනරත් Wednesday, 24 August 2016 10:44 AM

මේ දරුවාට නිවන් සුව පතනවා! (නි)

:       0       0

වෙට් ඔටර් Tuesday, 23 August 2016 03:31 PM

\මන්ජා\" නුල ගෙන අහල තියෙනවද ? මේක චීන එකක් ඉන්දියාවේ මරණ කීපයක් දැනටම වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවේ මේක ඇති...(රේ)

:       0       0

ටිකිරි Monday, 22 August 2016 04:41 PM

අර ඉන්දියාවෙන් ගෙනාපු ගිලන් රථ සේවය ට මොනවා වෙලාද ?(රේ)

:       0       0

රංග Saturday, 27 August 2016 12:25 PM

ගිලන් රථ රියදුරන් දෙදනාටම එකම දවසේ නිවාඩු ලබා දුන්නේ කවුද? පඩිය නම් අන්තිම රුපියලට ඉල්ලනවා...!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site