IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සැප්තැම්බරය සාහිත්‍යය විකුණන මාසයක්

දේශපාලන විචාරකයකු, ගීත රචකයකු, කවියකු මෙන්ම සාහිත්‍ය කලා විචාරකයකු ද වන ධම්ම දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

මීට දශක කිහිපයකට පෙර ලංකාවේ නව සාහිත්‍ය මතවාදයක් හා ප්‍රබල සංවාදයක් මතු කිරීමට සමත් වූ X කණ්ඩායම ගොඩනැගීමට පුරෝගාමී කාර්යයක් ඉටුකළ ධම්ම මෑතකාලීනව මෙරට සාහිත්‍ය කලාවේ නව මතවාදයක් මතු කිරීමට උත්සාහ ගත් අයෙකි. ධම්ම දිසානායක රචනා කළ ‘ඉලු‍ක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළි’ කාව්‍ය සංග්‍රහය කොළඹ විශ්වවිද්‍යාලයේදී පසුගිය දා එළි දුටු අතර මෙවර වීමංසා සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ එම කෘතිය පදනම් කරගෙනය.

ප්‍ර   කාව්‍ය කෘති හැටියට පළ නොවුණත් ඔබේ නිර්මාණ ජීවිතය ඇරැඹෙන්නේ අද ඊයේ නොවේ. පුද්ගලයකුගේ නිර්මාණාත්මක හැකියාවන් සහ පරිකල්පන ශක්තීන් පිළිබඳව ඔබේ මතය කුමක්ද?

මම හිතන්නෙ ඕනැම මනුෂ්‍යයකුට නිර්මාණකරණය සම්බන්ධයෙන් ඉතාම සුළු හෝ හැකියාවක් තියෙනවා. ඒත් පොදු සමාජයට ගියාට පස්සෙ බොහෝදෙනා දන්නෙ නෑ තමන් නිර්මාණකරුවෙක් කියලා. නිර්මාණකරණය සම්බන්ධයෙන් පොදු සමාජයේ ඇතිකරලා තියෙන බිය සහ කොන්දේසි නිසා සමාජයක් එක්ක ගනුදෙනු කරන නිර්මාණ බිහි කිරීමට බොහෝ දෙනා මැළි වෙනවා. නිර්මාණ රචකයා පොදු සමාජයේදී වෙනත් කෙනෙකුට වඩා යම් ආධිපත්‍යයක් සහිත අයකු හැටියට සමාජයේ පිළිගන්නවා. ඒත් බොහෝ විට එබඳු ආධිපත්‍යයක් ගොඩනගාගත් අයට වඩා නිර්මාණකරණයේ දක්ෂ අය නිර්මාණ රචනයට සම්බන්ධ නොවී ඉන්නා බවක් පෙනෙනවා.

පුද්ගලයෙක් විදියට ගත්තාම මම එහෙම ආධිපත්‍යයක් ගොඩනගාගත් නිර්මාණකරුවෙක් නොවෙයි. වෘත්තිය විදියට ගත්තාමත් මම දේශපාලන විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද ගුරුවරයෙක් හැටියටයි වැඩ කරන්නෙ. ඒත් මට හිතෙන දෙයක් තමයි හැම විෂයයක් අතුළෙම නිර්මාණාත්මක ගුණයක් සහ පරිකල්පනීය ඇසකින් වැඩ කරන මිනිස්සු ඉන්නවානම් ඒ විෂය ක්ෂේත්‍රවලට ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණය.

 

ප්‍ර   නිර්මාණ රචනයේදී ඔබ වඩාත් දල්වා තැබූ ජීවනානුභූතීන් කවරාකාරද?

නිර්මාණ රචනය මගේ ළමා කාලය දක්වාම දුවන එකක්. මම ගමක ඉතාමත් පීඩිත ගොවිපවුලකින් ගොඩනැගුණු කෙනෙක්. මම පවුලේ හයවැනියා. මම මගේ පැත්තෙන් ගොඩක් දේවල් අත්දැකපු කෙනෙක්. ඉතාමත් ආදරණීය දේවල් වගේම ඉතාම දුක්ඛිත දේවලු‍ත් ඒ අතර තියනවා. බොහෝ දේවල් උපේක්ෂාවෙන් දරාගන්නට සිදුවුණ පරම්පරාවක් අපි. අපේ ළමා කාලයේ සහ තරුණ කාලයේ සමාජය මීට වඩා යහපත් තැනකට ගෙනියන්න ඕනෑ කියන අදහස ඇතිව නිර්මාණකරණයේ යෙදුණු විශාල පිරිසක් හිටියා. එබඳු සමාජ කතිකාවක් අපේ තරුණ කාලයේ ගොඩනැගී තිබුණා. ඒ බොහෝ දෙනා එකල සිතුවා නිර්මාණකරණය හරහා යම් දෙයක් සමාජගත කළ යුතුයි කියලා.

මගේ අත්දැකීම් ඇතුළෙ ගත්තොත් කවි ලියන්න මම පෙළැඹෙන්නෙ පාසල් කාලය තුළ. ඒ කාලෙ අපිට මාධ්‍යයේ ඉඩක් තිබුණෙ නෑ. නිර්මාණ රචනයත් එක්ක සමාජය හමුවේ ගනුදෙනු කරන්නට පටන් ගත්තෙ කොළඹ විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ. කලා ක්ෂේත්‍රයේ විවිධ වැඩ කටයුතු කිරීම සඳහා එයින් යම් ප්‍රහර්ෂයක් ඇති වුණා. විශාල මිත්‍ර පරම්පරාවක් එහිදී අපට මුණගැසුණා. අපි කවි කෙටිකතා විචාර ලියන්න ගත්තෙ ඊට පස්සෙ. අපි ලැබූ අත්දැකීම් මේ නිර්මාණවලට වඩාත් බලපෑවා.

 

ප්‍ර ‘ඉලු‍ක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළි’ කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණවලටත් අත්දැකීම් සපයන්නේ එබඳු දීර්ඝකාලීන අත්දැකීම්වල ප්‍රකම්පනයන්ද?

මේ පොතේ කවි කිහිපයක් හැරෙන්නට බොහෝ කවිවලට එබඳු දීර්ඝකාලීන ඉතිහාසයක් නැහැ. ඒත් කලකට පෙර ලියපු කවි කිහිපයකුත් මේ අතර තිබෙනවා. උදාහරණයකට භීෂණ කාලෙ මම මගේ ජීවිතය බේරාගන්නට යම් යම් තැන්වල හැංගිලා හිටියා. ‘නංගිට’ කියන කවිය ලියැවුණේ ඒ අත්දැකීම් පදනම් කරගෙන. ඒ කාලෙ තරුණයන් ටයර් සෑයවල පිච්චුණා. එක්කො මරලා ටයර් සෑයට දාල පුච්චනවා. නැත්නම් ටයර් එක බෙල්ලට දාල වෙඩිතියලා පෙට්‍රල් වක්කරලා බාගෙට මැරෙද්දි ගිනි තියනවා. මම ඒකාලෙ රන්දෙනිගල හැංගිලා හිටියෙ. ඒ 1988 විතර කාලෙ. මේ කවිය මම නංගිට ලිව්වෙ.

වත්ත අද්දර කඳුරෙ ළිඳ ළඟ

කුඹුක් මල් වැටෙනවද තවත්

සිසිලි සිලි සිලි ගීය ගයමින්

අපෙ කඳුර ගලනවද දැනුත්

රණ්ඩු කරමින් තාර පාරේ

දක්කගෙන ගිය අපෙ ටයර් එක

දාල ඇති ඔහෙ මිදුලෙ පැත්තක

මතක් කරලා ඒක හංගාපන්

මං උඹේ අය්යා

මේ සංග්‍රහයේ තිබෙන බොහෝ කවි 2015න් පස්සෙ ලියැවුණු ඒවා. මේ කවි සමාජගතවීම බොහෝ දුරට සිද්ධවුණේ මුහුණු පොත හරහා. ඒත් ඒවා මුහුණුපොතේ දැකලා පුවත්පත්වල කවි පිටුවලට අරගෙන තිබුණා. බුද්ධදාස ගලප්පත්ති, කපිල එම්. ගමගේ වැනි ප්‍රවීණ නිර්මාණකරුවන් ඒ ගැන අවධානය යොමු කරලා තිබුණා. ඒ අත්දැකීම් ගොඩක් වෙලාවට දේශපාලනිකයි. උඩින් පෙනෙනවට වඩා ඒවා සමාජීයයි. අනෙක් පැත්තෙන් ඒවා උඩින් පෙනෙනවාට වඩා ඛේදනීයයි.

 

ප්‍ර කිත්සිරි ජයසේකර ගායනා කරන ‘ගිනි මලක් පිපුණාය දොරකඩ’ ගීතය රචනාවුණේ ඔබ සහ කීර්ති ආරියදාස දෙදෙනාගේ එකතුවෙන්. මේ ගීතය එකල වඩාත් ජනප්‍රිය වුණා. ඇතැම් අය මේ ගීතයට විවිධ දේශපාලන අර්ථ ලබාදෙන බව පෙනෙනවා. ඇත්තටම මේ ගීතය ලියැවුණේ මොනවගේ අත්දැකීමක් පදනම් කරගෙනද?

සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නිර්මාණයකට පස්සෙ කර්තෘ මිය යනවා කියලා. මේ ගීතය අපි දෙන්නෙක් ලියපු එකක්. මම හිතන්නෙ ලංකාවේ ගීත ඉතිහාසයේ දෙන්නෙක් එකතුවෙලා ලියපු ගීතයක් වෙන නැතුව ඇති. මමත් එක්ක මේ ගීතය ලිව්වෙ කීර්ති ආරියදාස කියන සහෝදර ආචාර්යවරයෙක්. ඔබ කිව්ව වගේම මේ ගීතයට විවිධ අර්ථකථන ලියැවිලා තිබුණා. අපි සභාවෙ ඉන්න අවස්ථාවලම සමහර විට මේ ගැන අදහස් පළවුණු අවස්ථා තිබුණා. අපි ඒවා අහගෙන ඉඳල තියෙනවා. එක අදහසක් තමයි මේකෙ කියන්නෙ ලංකාවෙ දෙවතාවක් මතුවුණු තරුණ කැරලි ගැන කියලා. ඒත් ඒක කමක් නෑ. නිර්මාණයක් කළාට පස්සෙ ඒක නිදහස් කරන්න ඕනෙ. අතහරින්න ඕනෙ. ඕනැවිදියට ඕනැ කෙනෙකුට ඒක රසවිඳින අවස්ථාව තියෙන්න ඕනැ. ඒක තමයි නිර්මාණයකට දෙන්න පුළුවන් උපරිම නිදහස.

ඒත් මේ ගීතයට පදනම් වුණේ ඉතාම සරල සිද්ධියක්. මේක ලියැවෙන්නෙ 1993 අගභාගයේ. විශ්වවිද්‍යාලයේ මගේ කාමරයේ මමයි මගේ මිත්‍රයයි වාඩිවෙලා ඉද්දි පිටින් තරුණියක් ආව. ඇය විශ්වවිද්‍යාලයේ තරුණියක් නොවෙයි. කවුරු හරි මුණගැහෙන්න ආව තරුණියක්. අපේ කාමරේ දොර ඇරලා තිබුණෙ. ඇය අපේ කාමරය දිහා බැලමින් ඇය ගියා. මමයි කීර්තියි ඒ තරුණිය දිහා ඉතා කැමැත්තෙන් බැලු‍වා. සිත් ඇදගන්නා පෙනුමක් තුබුණෙ ඇයට. ඇය ටික වෙලාවකින් ආයෙම ආපහු ආවා. ඇවිත් අපේ කාමරේ දිහා බලලා මන්දහාසයක් පාලා යන්න ගියා. මේකෙ අත්දැකීම ඔච්චරයි. මම කිව්ව කීර්තිට ‘ගින්දර වගේ නේද? කියලා. කීර්තිත් ‘ඔව්නේ’ කියල කිව්වා. ඒ අපි තනිකඩ කාලෙ. මම කිව්වා අපි ලියමුද සින්දුවක් කියලා. මම මුල් පද දෙක ලිව්වා

ගිනි මලක් පිපුණාය දොරකඩ

වරක් නොව තව වතාවක්

කියලා. මම කොළේ අනිත් පැත්තට හැරෙව්වාට පස්සෙ කීර්ති ලිව්වා

සඳක් සේ දිලිසුණා පුරපස

පිපුණි දොරකඩ රන් මලක්

කියලා. ඔය විදියට මාරුවෙන් මාරුවට පද ටික ලිව්වා. කිත්සිරිගෙන් කවුරුහරි අහපුවාම ඔබ ගායකයෙක් විදියට බෞතීස්ම වුණ ගීතය මොකද්ද කියලා ඔහු කියන්නෙ ගිනි මලක් ගීතය. කිත්සිරි ළඟට ගීතය අරං ගියේ ඔහුගේ මල්ලී දයාසිරි ජයසේකර. දයාසිරි මේ ගීතය ඉල්ලගත්තෙ ඉවාන් පවුලූසා ගීතයට සංගීතය නිර්මාණය කළ ප්‍රියන්ත ඩ්රෙක්ස් ගෙන්. ඔහු මගෙ බැචා. මේ ගීතයේ සංගීතය කළේ ලලිත් වික්‍රමරත්න. එයා අපට වඩා අවුරුදු දෙකක් ජූනියර් බැච් එකේ හිටියෙ. එහෙම බලපුවාම මේ ගීතය විශ්වවිද්‍යාලය වටේම කරකැවුණු නිර්මාණයක්. ඒවා හරිම සුන්දර අත්දැකීම්.

 

ප්‍ර සාහිත්‍ය කලා නිර්මාණ සම්බන්ධයෙන් විවිධ අයගේ කියැවීම් විවිධයි. ඔබට අනුව සාහිත්‍ය කලාවේ ඇති දේශපාලනික කියැවීම මොන වගේද?

සාහිත්‍ය කියන්නෙ මගේ අදහස අනුව නම් දේශපාලන සන්නිවේදනයේ ප්‍රමුඛ අවියක්. ඒක මම කියන්නෙ රුසියානු සාහිත්‍ය ඇසුරු කරපු නිසාම නොවෙයි. ලංකාවේ හැම කාලෙකම බරපතළ දේශපාලන වෙනස්කම්වල ආරම්භය දකින්න පුළුවන් වන්නේ කලාව සාහිත්‍ය ඇතුළෙ.

මම X කණ්ඩායමේ හිටපු ප්‍රමුඛ සාමාජිකයෙක් විදියට අපි හදාරපු දේවල් තුළ කලාවට ලොකු ඉඩක් දුන්නා. හේතුව දේශපාලනය තුළ හෝ දේශපාලන ආර්ථිකය තුළ හෝ සමාජීය දේශපාලනය තුළ හෝ පුද්ගලයකුගේ හෝ පුදගල කණ්ඩායමකගේ හැසිරීම දේශපාලන විචාරවලින්ම අල්ලගන්න බෑ. ඒ සියුම් දේශපාලනික මූලයන් අල්ලන්න පුළුවන් කදිම වැඩපොළ බවට පත්වෙන්නෙ කලාව සහ සාහිත්‍යයයි.

රුසියානු සාහිත්‍ය රුසියානු විප්ලවයේ කැඩපත බව කිව්වා. ඒක ඇතුළෙ විශාල හෙළිදරව්වක් තියෙනවා, ගෝර්කි, තෝල්ස්තෝයි, දොස්තයෙවුස්කි වගේ අයගේ කෘති ගත්තාම ඒ තුළ අතිදැවැන්ත හෙළිදරවු කිරීමේ සාහිත්‍යයක් තියෙනවා. රුසියානු මහා අධිරාජ්‍යය ඇතුළේ ඇත්ත තත්වය කියා පානවා. කැඩපතක් කිව්වෙ ඒ අර්ථයෙන්. අපේ රටේ ගත්තත් කවිය නවකතා හැම එකක් තුළම තියෙනවා පොදුජන සමාජයේ චර්යාත්මක සබඳතාවල සියුම් තැන්. සියුම් තැන් වුණාට ඒවා බරපතළයි. තීරණාත්මකයි. සාහිත්‍ය වටින්නෙ අන්න එතනදී. සාහිත්‍ය එක අර්ථයකින් ගත්තාම ඕනෑම සමාජයක දේශපාලනික සන්නිවේදනයේ ප්‍රධානම මාධ්‍යයක්. අනෙක් පැත්තෙන් කලාව හරියට අපි විශ්ලේෂණය කළොත් දේශපාලන ආර්ථිකයේ ස්වරූපය මොකද්ද කියලා අඳුනාගන්න පුළුවන්. ඒකෙන් තේරෙනවා කලාව සාහිත්‍ය කොයිතරම් දුරට විස්මිතද කියලා. ඒත් එතෙන්දි කලාකරුවාගේ සමාජ නිරීක්ෂණය

සමාජයට ඇති හැගීම්බරතාව සානුකම්පිතභාවය බලපානවා. මේ වගේ පශ්චාත් නූතනවාදී අවදියක කලාව සාහිත්‍ය හුදු කර්මාන්තයක් වුණාට පස්සෙ කලාවේ සාහිත්‍යයේ අව්‍යාජභාවය අඩුවෙලා යන්න පුළුවන්.

 

ප්‍ර ඒත් කවිය වගේ සාහිත්‍ය මාධ්‍යයකදී එය දේශපාලන අරමුණින් කළ නොහැකි බවත් එය සෞන්දර්යයෙන් ගොඩනැගෙන්නක් බවත් එහි ඇත්තේ හද බසක් බවත් ගුණදාස අමරසේකර පැහැදිලි කරනවා නේද?

අමරසේකර මහතා මම බොහොම ගරු කරන විශිෂ්ට කවියෙක්. මට හිතෙන්නෙ කවිය තුළ කිසියම් සමාජ මැදිහත්කරුවකුගේ අත්දැකීම් හෙළිදරවු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒත් මම කියන්නෙ ෆැක්ටරි වගේ එළියට දාන කවි ගැන නොවෙයි. කාව්‍යාත්මක අත්දැකීම්වල අමරසේකර කියන හද බස තියෙනවා. අමරසේකර එක තැනකදි මෙය ජාතික හදබස ලෙස හඳුන්වනවා. යම්කිසි ජාතියක හෘද ස්පන්දනය ජාතියක් විසින් තත්ව ගත කරන ලද පුද්ගලයකුගේ හෘද ස්පන්දනය කවිය තුළ තිබෙනවා. කවිය කියන්නෙ හද බස නම් ඒ කොයි කවියද? කවිය හද බස වෙන්න නම් කවිය නිදහස් වෙන්න ඕනැ.

ප්‍රශ්නෙ තියෙන්නෙ කවිය අදවනවිට යම් යම් කණ්ඩායම් අත් පත් කරගෙන ඉන්නවා. ගීතය, කෙටිකතාව, නවකතාව මේ හැම එකක්ම දැන් යම් යම් අය අයිති කරගෙන ඉන්නවා. ඒවා එක එක වැයික්කිවල හිරවෙලා තියෙනවා. ඉස්සර කරත්ත කවි කියන්න බාධාවක් තිබුණෙ නෑ. ඕනැම කෙනෙකුට කියන්න පුළුවන්. පස්සෙ කාලෙ මේ කරත්ත කවි ටික අරගෙන ඒවට තනු දාලා නිර්මාණ හදලා කිව්වා කරත්ත කවි නම් කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. පතල් කවි නම් මෙහෙමයි, නෙළුම් කවි නම් මෙහෙමයි කියලා. අපි දන්න මේ සේරම නිර්මාණ මතු වුණේ සාමාන්‍ය ජනයාගේ භාවිතා ඇතුළේ. දැන් මේ භාවිතාව ඇතුළෙ කරත්තයක් ගෙනියන කෙනෙක් කරත්ත කවියක් කියන්න කලින් සංගීත පන්තියකට යන්න වෙනවා. නිර්මාණ භාවිතාවන්ගෙන් මිනිස්සු ඈත්වෙන්න මේක හේතුවක්. කලාව ආපසු ජනසතු කළ යුතුව තිබෙනවා. ජනයාට නිදහස දිය යුතුයි. ඔවුන් කැමති විදියට ඔවුන්ගේ දුක කාංසාව හිතේ හැටියට කලාවෙන් පිට කරන්න අවස්ථව දිය යුතුයි. ඒක සෞන්දර්යාත්මකයි. ඉස්සර ගම්වල කතාවක් තිබුණා දහ ගෙදර බත් දහ රසයි කියලා. ගෙවල් දහයක බත් ඉව්වාම ඒවා රස දහයක්. කලාවෙත් ඒ විසිතුරු බව විවිධත්වය තියෙන්න ඕනැ. ප්‍රශ්නෙ තියෙන්නෙ කලාවටත් නිදහස දෙන්නෙ නැතුව අපි කොහොමද මිනිස්සුන්ට නිදහස දෙන්නෙ. කලාව දේශපාලනික වෙන්නෙ ඔන්න ඔතනදි. කලාව තුළයි අපි නිදහස ව්‍යාප්ත කළ යුත්තේ. ජනයා එදා නිදහසේ භුක්ති විඳි කලාව අද වන විට තරගකාරී වෙළෙඳපොළ ධනවාදී ක්‍රමය විසින් විනාශ කරනු ලැබ තිබෙනවා. තුට්ටු දෙකේ නිර්මාණ මත අද යැපෙන්න වෙලා තියෙන්නෙ නිර්මාණවලට ආකෘති හදලා පොදු ජනයා බය කරපු නිසා.

 

ප්‍ර මීට කලකට පෙර සාහිත්‍ය කලාවේ විවිධ සංවාද මත ගැටුම් ප්‍රබලව දකින්නට ලැබුණා. උදාහරණයකට ඔබ මැදිහත්වූ X කණ්ඩායම දක්වන්න පුළුවන්. ඒත් අද වන විට එවැනි මතවාදී මැදිහත්වීම් ඇත්තේම නැති තරම්.

අද වන විට කලාව සාහිත්‍ය මුළුමනින්ම පරිභෝජන සංස්කෘතිය විනාශ කරල තියෙන්නෙ. කලාව පෝෂණය කිරීමට ලංකාවේ මැද පන්තිය තීරණාත්මකයි. ඒත් ලංකාවේ අලු‍තින් ගොඩනැගුණු මැද පන්තිය පරිභෝජනවාදී එකක් මිස සමාජ හිතකාමී එකක් නොවේ. ඒ තුළ තියෙන්නෙ ආත්මාර්ථය පමණයි. රටක ආර්ථික කඩාවැටීම මේ සඳහා බලපා තිබෙනවා. 1947 සිටම අපි නඩත්තු කරල තියෙන්නෙ මිනිස්සු දුක්විඳින ආර්ථික පද්ධති. ආර්ථිකයක් දිගින් දිගටම කඩා වැටෙද්දි මිනිසුන්ගේ ආශාව බවට පත්වෙන්නෙ වඩාත් හොඳින් කන්න බොන්න තියෙන ජීවිතයක් හදාගන්නෙ කොහොමද කියන එකයි. ඒ සමාජය තුළ අපේ අධ්‍යාපනය හා දේශපාලනයෙන් පණිවුඩයක් දෙනවා අපි විකුණන්න පුළුවන් දේවල් ඉගෙනගන්න ඕනැ විකුණන්න පුළුවන් දේවල් නිපදවන්න ඕනැ කියලා. මේ දෘෂ්ටිවාදය ගොඩක් දුරට බලපෑවා අපේ වගේ රටවල කලාව හා බැඳුණු සංවාද ක්‍රියාකාරකම් නැතිවෙලා යන්න. පෝල් හර්ස්ට් නම් බුද්ධිමතා කියල තියෙනව ‘ඔබ විමුක්තිය ලබනවා නම් රාජ්‍යයේ මර්දනයට වගේම වෙළෙදපොළ පීඩනයට එරෙහිවද කටයුතු කරන්න’ කියලා. අද කලාවේ අර්බුද හමුවේ තියෙන්නේ ආර්ථික සාධකයක්.

 

ප්‍ර සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය හැටියට නම්වී ඒ හා සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙනවා. ඔබ කියන ආර්ථික සාධකය හමුවේ සාහිත්‍ය මාසය සංකල්පයත් මේ ගොඩටම වැටෙන්නේ නැද්ද?

මම භාවිත කරන වචන දෙකක් තියෙනවා සැප්තැම්බර්වරු සහ ඔක්තොම්බර්වරු කියලා. මට ඇත්තටම දුකයි සැප්තැම්බර් මාසෙ කිට්ටුව මගේ පොත එළිදක්වන්න වීම ගැන. මම අර කිව්ව වෙළෙඳපොළ සමාජ ආර්ථික අවකශයෙන් සැප්තැම්බර් මාසය ගිලගෙන ඉවරයි. සැප්තැම්බරය බලාගෙනනම් අපි පොත් ලියන්නෙ අපි ඉන්නෙ වෙළෙඳ අරමුණක. මම ඔක්තෝම්බර්වලට කැමතියි. මොකද රුසියානු විප්ලවය නිසා. මම ආස ඔක්තෝම්බර්කාරයෙක් වෙන්න. සැප්තැම්බරය කියන්නෙ සාහිත්‍ය අලෙවි කිරීමේ මාසයක් මිස සාහිත්‍ය මාසයක් හැටියට දැනෙන්නෙ නෑ. ප්‍රගතිශීලී සාහිත්‍ය කතිකාව සැප්තැම්බරයට සීමා විය යුතු නෑ. ඒක ජන ජීවිතයේ දෛනික අංගයක්.

ඒත් මෙතැනදී වෙළෙඳපොළ පවත්වාගෙන යාමේදී ව්‍යාපාරික ප්‍රජාවට මේ අලෙවිය අවශ්‍ය බව අනෙක් පැත්තෙන් අප පිළිගත යුතුයි. ප්‍රකාශනය කඩාවැටුණොත් ඒක සාහිත්‍යයටත් බලපානවා. මේවා බොහොම සීරු මාරුවට සාකච්ජා කළ යුතු දේවල්.

 

ප්‍ර සාහිත්‍යයේ ප්‍රවර්ධනයට රජයේ මැදිහත්වීම අවශ්‍ය බව ඇතැමුන් සිතනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ලෝකයේ කිසිම ආණ්ඩුවකට හෝ රාජ්‍ය යාන්ත්‍රණයකට සාහිත්‍ය කලාවේ වර්ධනය සඳහා තීරණාත්මක මැදිහත්වීමක් කරන්න බැහැ. යටිතල පහසුකම් සැපයීම වෙනම කාරණයක්. ඕනෑම ආණ්ඩුවක් ඉන්නෙ බල ව්‍යාපෘතියක. එහිදී ඔවුන්ට ඇතැම් විට සාහිත්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම බාධාවක්. අනික ආණ්ඩුවක් එක්කම යන සාහිත්‍යයක් තියෙනව නම් එහෙම සාහිත්‍යයකින් ඇති වැඩකුත් නෑ. හැබැයි ජනතාවගේම හිත සුව පිණිස ජනතාව යම් ආණ්ඩුවක් ගොඩනගාගත්තොත් එවැනි ආණ්ඩුවක විශාල වගකීමක් තියෙනවා සාහිත්‍ය නිදහසට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට.

 

(***)

සංවාද සටහන - ගාමිණී කන්දෙපොල



අදහස් (0)

සැප්තැම්බරය සාහිත්‍යය විකුණන මාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site