මහනුවර තරම් රණකාමීන්ගේ ලේ වැකුණු රණබිමක් ලක්දිව අන් පෙදෙසක නැත. පරංගි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන යුරෝපීය ජාතීන් තුනම මහනුවර යටත් කර ගැනීමට අවස්ථා ගණනාවකදීම දරන ලද වෑයම අවසන් වූයේ එම විදේශීය සේනාංක සහමුලින්ම උඩරට සේනාංකවලට බිලිවීමෙනි. ඒ සටන්වලදී මියගිය උඩරැටියන් ගණනද අතිවිශාලය.
මේ සියලු රණවිරුකම් අවසන් වූයේ උඩරට නිලමේවරුන් කිහිප දෙනකුගේම පාවාදීම මත අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංගිරිසීන්ට යටත්වීමෙනි. ඉන්පසු ඉංගිරිසීන් යටතට පත්වූ උඩරට රාජධානියේ මාලිගා සහ වටිනා කියන දේපොළ ඔවුන් භාවිත කළේ ආක්‍රමනික යුද නිලධාරීන්ගේ පෞද්ගලික බූදලයක් පරිදිය. අවසන් රජ සමයේ කන්දෙනුවර ලෙසත් ඉංගිරිසීන් විසින් මහනුවර ලෙසත් හඳුන්වන ලද නගරය 1817 වනවිට තිබූ තත්වය ගැන දළ සරල චිත්‍රයක් අපට ඉංගිරිසි යුද නිලධාරියකු විසින් ලියන ලද මෙම සටහනෙන් මනසට නගා ගත හැකිය.
උඩරට ප්‍රදේශය අභ්‍යන්තරයෙහි ඇති ප්‍රධාන යුද කඳවුර මහනුවර නගරය වේ. ඒ වනාහී මාලිගාව යනුවෙන් හැඳින්වුණු පැරණි ස්වදේශික ගොඩනැගිල්ලක් වටා පිහිටි ගොඩනැගිලි සමූහයකින් යුත් විවෘත ස්ථානයකි. මාලිගාවේ දකුණු ප්‍රාකාරය පැත්තේ ඇති උස් භූමියෙහි නැගෙනහිර හා බටහිර කඳු ගැට මත 1815 වර්ෂයෙහි ඉදිකරන ලද කුඩා මුර කොටු දෙකක් තිබේ.
ඉංගිරිසීන් උඩරට රාජ්‍යය යටත් කර ගන්නා ලද්දේ කරට කර ගැටුණු යුද ගැටුමකින් නොවේ. කරට කර ගැටුණු හැම අවස්ථාවකම ඉංගිරිසි හමුදා සේනාංක විනාශ විය. යුරෝපීය ජාතීන් තුනටම යුද බලයෙන් උඩරට අල්ලා ගත නොහැකි විය. එනිසා ඉංගිරිසීන් උඩරට අල්ලා ගන්නා ලද්දේ රජ සමග විරසක වී සිටි උඩරට නිලමේවරුන් වූ කුලීනයන්ට අල්ලස් ලබාදීමෙනි. රජ මාලිගය සහ රජුගේ මාහැඟි වස්තුව වූ රාජ්‍යත්වයේ සංකේතය වන දළදා මාලිගාව හැර නුවර සුවිසල් වූ අන් ගොඩනැගිල්ලක් නොවීය. නිලමේවරුන්ගේ නිවාස හෙවත් වලව් යනුවෙන් හැඳින් වූ නිවාසද රජ මාලිගාවට වඩා විශාලත්වයෙන් අඩුය. ඉංගිරිසි ලේඛකයන්ගේ සටහනින් විස්තර කරන්නේ නගරය අල්ලාගත් අලුතම වූ තත්වයයි.
ඉන්පසු ඉංගිරිසීහු 1818 මහ කැරැල්ල ලෙස හැඳින්වෙන කලකිරුණු නිලමේවරුන්ගේ අරගලයට මුහුණ දුන්නෝය. එම අරගලයට මුවාවී උඩරට රාජ්‍යය තුළ සිටි තමන්ට එරෙහිව ගිය සහ අනාගතයේ එරෙහිව යා හැකි සියලුම මුලාදෑනින් මරා දමා සහ රටින් පිටුවහල් කළ ඉංගිරිසීහු තමන්ගේ තනි මතයට රට පාලනය කළ හැකි ක්‍රමයක් සකසා ගන්හ. ඒ යටතේ පැරණි නගරයේ ඓතිහාසික ස්ථාන බොහොමයක් කඩා දමා සහ වෙනස් කර තම හමුදා සේනාංකවල ස්ථිර නැවතුම්පොළ බවට පත් කළහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගයට අයත් සියලුම ගොඩනැගිලි ඉංගිරිසි යුද හමුදා සේනාංකවල භටයන්ගේ බැරැක්ක බවට පත් කෙරිණි. එම රජමාලිගා පරිශ්‍රය පිහිටියේ මාලිගාවට පිටුපසින් වර්තමානයේ කෞකුකාගාරය පිහිටි ගොඩනැගිල්ලට ඉදිරියෙනි. වර්තමානයේ කෞතුකාගාරය පිහිටි ගොඩනැගිල්ල රාජසිංහ රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් සිටි ගොඩනැගිල්ලකි. මාලිගා පරිශ්‍රයෙන් අද වනවිට ඉතිරිවී ඇත්තේ එම ගොඩනැගිල්ල පමණය.
රජුගේ බිසෝවරුන් හා ඥාතීන් දකුණු ඉන්දියාවේ මලබාරයෙන් පැමිණි අය වූ හෙයින් අන්තඃපුර මාලිගා ආදිය තිබුණු දළදා මාලිගාව පිටුපස උස් බිම හැඳින්වූයේ ‘මලබාර් කන්ද’ යන නමින්ය. නුවර නගරය අල්ලා ගත් ඉංගිරිසීන් ඔවුන්ගේ යුද බැරැක්ක ඉදිකරන ලද්දේ මෙම මලබාර් කන්දේ තිබූ මාලිගා ගොඩනැගිලි ආශ්‍රිතවය. ඔවුන් පරාජය කළ සතුරාගේ හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත් සියලුම ගොඩනැගිලිවල (මාලිගා) නුවරට ගිය ඉංග්‍රීසි හමුදාවේ නිලධාරීහු ලැගුම් ගත්හ. තවත් සමහර ගොඩනැගිල්ලක ඉංගිරිසි ආණ්ඩුවේ පරිපාලන කාර්යාලය පිහිටුවීය. මාලිගාව ඉදිරිපිට මහමළුවේ ඉංගිරිසි හමුදා ආචාර පෙළපාලි පවත්වන ලදී. 1818 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු මහනුවර නේවාසික කොමසාරිස්වරුන් ලෙස පත්කළ ජෝන් ඩොයිලිගේ නේවාසික ස්ථානය වූයේද රජුගේ මාලිගාවය. උඩරට නිලමේවරුන්ට අයත්ව තිබූ නිවාසවලට අත්වූයේද එම ඉරණමය. මහ මළුවට ඔබ්බෙන් තිබූ ඇහැලේපොල වලව්ව පළමුව යුද බැරැක්කයක් ලෙසත් ඉන්පසුව සිරගෙයක් ලෙසත් භාවිතා කෙරිණි.
ඉංගිරිසි යුද නිලධාරියකු වූ ජෝන් ඩේව් 1818 කාලයේ දුටු දර්ශනය අනුව ලියූ කෘතියක උපුටනයක් මහනුවර ජනාධිපති මන්දිරය ගැන ලියූ නිහාල් කරුණාරත්නගේ මහනුවර ජනපති මැදුර ගැන ලියූ කෘතියේ මෙසේ සඳහන් වේ.
‘‘මෙතෙක් කල් අප මහනුවර ගොඩනගා ඇත්තේ ස්ථිර ගොඩනැගිලි තුනක් පමණි. ඉන් දෙකක් ගෙවල්ය. එකක් ආණ්ඩුකාරයාටය. අනෙක හමුදාපතිටය. ස්වදේශිකයන්ගේ මහත් පුදුමයට හේතුවී ඇති කරුණක් නම් මෙය රටේ තිබෙන අතිශය විශිෂ්ට පෙනුමෙන් යුත් ගොඩනැගිල්ල වීමය.’’
‘‘හමුදාපතිවරයාගේ නිවස සාදන ලද්දේ එදා ‘මවුන්ට එයරි’ යනුවෙන් හැඳින් වුණු බහිරව කන්දේ අස්ගිරි විහාරයට සමීපවය. එහි වාසය කළේ ජනරාල් මැක්ඩෝවල්ය. අද දින එහි අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහස්ගේ නිල නිවාසය බවට පත්ව තිබේ’’ යැයි නිහාල් කරුණාරත්න කියයි.
උඩරට අල්ලාගත් මුල් කාලයේ ඉංගිරිසීන් දළදා මාලිගාවේ පත්තිරිප්පුව පුද්ගලයන් සිර අඩස්සියේ තබන කරුවල කාමරයක් බවට පත් කළේය. බිසෝ මාලිගය වෙඩි බෙහෙත් ගබඩාවක් කළේය. මල්වතු විහාරයද සෙබළුන්ගේ ආරෝග්‍ය ශාලාවක් බවට පත් කර ගත්තේය.
අප මේ සඳහන් කළේ ඉංගිරිසීන් කන්ද උඩරට අල්ලා ගත් පළමු අවුරුදු කිහිපය ගැනය. ලොව පුරාම යුද ආක්‍රමණ ආදියේදී සිදුවන පරිදි තමා යටත් කරගත් රාජ්‍යයේ රාජකීයයන්ගේ මැදුරු හා බඩු භණ්ඩ පළමුව පරිභෝජනය කළේ යුද නිලධාරීන්ය. රට ටිකෙන් ටික ස්ථාවරවී යුද සේනාංක අඩු කෙරෙද්දී යුද සේනාංකවලට ඒ කිට්ටුවම වෙනත් ගොඩනැගිලි ඉදිවිය. එහෙත් රජමාලිගාවට වැඩි දුරකින් නොවේ. වර්තමානයේ නුවර දළදා මාලිගයට පෙනෙන දුරින් ජනාධිපති නිල නිවසට පිටුපසින් ඇති යුද හමුදා කඳවුර එසේ ඉංගිසීන්ගේ බැරැක්ක මාලිගා පරිශ්‍රයෙන් ඉවත් කරගත් පසු ඉදිකරන ලද ස්ථිර ගොඩනැගිල්ල වේ.
(- *** ප්‍රේමකීර්ති රණතුංග)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සුදු හමුදා බැරැක්ක වූ රාජසිංහ රජුගේ අන්ත:පුර මාලිගා
සත්‍ය ගවේෂී. Tuesday, 11 June 2024 08:34 AM
මේ රටට මේ වැනි කිසිදා සමාව දිය නොහැකි විපත් සිදුකළ ඉංග්‍රීසීන් අද මේ රටේ යුධ අපරාධ ගැන හොයනවා.ඔවුන්ට ලැජ්ජාව කියන එක ඇඟේ ගෑවිලාවත් නැහැ.
හීන් එකා Wednesday, 12 June 2024 06:32 AM
සුද්දට බැන්නට, සුද්ද නැත්තන් කියයි මේ ටික හරි...
Menaka Thursday, 13 June 2024 04:44 PM
සුද්දා ආව නිසා තමයි ජනතාව පීඩාවට පත් කරගෙන හිටපු රදල අධිපතියන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් උනේ . සුද්දා මේ රටේ සම්පත් යම් ප්‍රමාණයක් අරන් ගියා තමයි . ඒ එක්කම මේ රටේ දියුණුවට , යටිතල පහසුකම් දියුණු කිරීමට බොහෝ වැඩ කටයුතු කලා . මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් සෑහෙන දෙයක් කලා . සුද්දා 1948 දී අපිට බාරදීලා ගියේ ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකය . අදටත් අපි භුක්ති විදින බොහෝ පහසුකම් සුද්දා නිසා ලැබුන දේවල් . සුද්දා එන්න කලින් හිටපු රජවරු , රදල වරු ජනතා සුභසාධනය වෙනුවෙන් මෙලෝ දෙයක් කලේ නැහැ
ranjith Saturday, 15 June 2024 11:45 AM
"ඉංග්‍රීසින් උඩරට අල්ලා ගන්නා ලද්දේ රජා සමග විරසක වී සිටි උඩරට නිලමේවරුන් වූ කුලීනයින්ට අල්ලස් ලබාදීමෙනි" අදත් රටේ සම්පත් කොල්ල කන්නේ මේ විදියට තමයි. මෙහෙම ගියොත් නැවතත් රටක් නැති වේවි...!