IMG-LOGO

සත්ව සංගණනයට මොකද වුණේ?

කිසිම වගාවක් බේරගන්න බෑ වල් ඌරො, ඉත්තෑවෝ, රිළව්, වදුරො, මොනරු නිසා. කොච්චර පරිස්සම් කළත් කොහොම හරි ඇවිල්ලා කාලා යනවා. මඤ්ඤොක්කා අලත් කඩෙන් ගන්න වෙලා. වස විස නැතුව දරුවන්ට දෙන්න ඕන හින්දා පලතුරු වැව්වට දැන් පලතුරු ගන්න වෙලා තියෙන්නෙත් කඩෙන්.

ඒ වගේම තමයි පොල් වතුවල මෙච්චර පොල් ගස් තිබිලත් ගිනි ගණන්වලට පොල් කඩෙන් ගන්න වෙලා. මිනිස්සුන්ටත් හිරිහැර කරලා ගෙවල්වලට පැනලා කන්න පටන් අරන්. මුලින් ගෙදරකට රිංගලා ගියාට දැන් ජනෙල් වීදුරු කඩන්න වහලවල්වල සීට් පවා කඩන්න පටන් අරන්’’ මේ වර්තමානයේ සෑම දිශාවකින්ම නැගෙන පොදු ප්‍රශ්නයකි.

මහා පරිමාණ වගාකරුවන්ට මෙන්ම ගෙවතු ආශ්‍රිත වගා කටයුතු කරන සියලු‍ දෙනාටම මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වී තිබේ. බෝග සශ්‍රීක වීම පටන් ගන්නා විට වන සතුන්ගේ තර්ජන එල්ල වීම සිදු වේ. වනඅලි, ඌරන්, ඉත්තෑවන්, මොනරුන්, රිළවුන්, වඳුරන්, ලේනුන් වැනි සතුන් නිසා වගා තර්ජනයට ලක් වී ඇත. වනජීවීන් සහ බෝග අතර සම්බන්ධය පූරාණ එකක් වන නමුත් මෑත වසරවල දී මෙම අන්තර් ක්‍රියාව වඩාත් සංකීර්ණ වී තිබේ. මිනිසා වගා සඳහා වනගත ප්‍රදේශ ආක්‍රමණය කිරීම මෙම ගැටුම තීව්‍ර කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. වන සතුන්ගෙන් තම වගා ආරක්ෂා කර ගැනීමේ අභියෝගය දිනෙන් දින දැඩි වන බැවින් ගොවියන්ට ආදායම් අහිමි වීමේ අසරණභාවයට මුහුණ දීමට සිදු වේ. මෙම වනජීවි ගැටලු‍වට මුහුණ දීමට ගොවියෝ අපොසත් වී සිටිති. වගාව ආරක්ෂා කිරීමට යැයි වන සතුන් මරා දැමීම ද කළ නොහැකි වේ. එය 1937 අංක 2 දරන වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සීමාවලට ලක් වී තිබේ. එහෙත් තම වගාවන් ද රැකගත යුතුය.

කෘෂිකාර්මික බෝග සඳහා හානි කරන වන ජීවීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සැලකිය යුතු අර්බුදයකට මුහුණ දී තිබේ. වාණිජ කෘෂිකර්මය මෙන්ම ගෙවතු වගාවලට ද මේ තත්වය හානිකර ලෙස බලපා ඇත. මෙම අහිතකර තත්වය එළවළු, පලතුරු ඇතුළු බව බෝග අස්වැන්න අඩුවීම, මිල ඉහළ යාම සිට ආහාර සුරක්ෂිතතාව හා මන්දපෝෂණ තත්ව දක්වා පුළුල් පරාසයක සෘණාත්මක බලපෑමක් ඇති කරයි. එනිසාම තම වගාවලට වනජිවීන් වෙතින් සිදුවන හානියට තිරසාර විසඳුමක් ලබාදෙන ලෙස කාලයක් තිස්සේ ගොවි සංවිධාන ඇතුළු ප්‍රජා සංවිධාන හා සමාජ කණ්ඩායම් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. හිතකර පරිසර තත්ව, සුලබ ආහාර, ස්වාභාවික විලෝපිකයන් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් පාලනයකින් තොරව ගහණ ව්‍යාප්තිය සිදුවන සත්ව විශේෂ කිහිපයක් මෙම වගා හානිවලට වැඩි වශයෙන් හේතු වී තිබේ. කෙසේ වෙතත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම මෙම ගැටලුවේ දී ද අවශ්‍ය තරම් දත්ත නොමැති වීම සාධාරණ තීරණ ගැනීමේ හැකියාවට සීමාකාරී සාධකයක් වී ඇති බව වර්තමාන රජය නිර්ණය කළේය. වසර ගණනාවක් පුරා රිළවුන් ඇතුළු සතුන්ගෙන් වගාවලට සිදුවන හානි අවම කිරීම සඳහා විවිධ විසඳුම් සහ අත්හදාබැලීම් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

රිළවුන් මර්දනය සඳහා වායු රයිෆල් ලබාදීම, රිළවුන් විදේශ රටවලට යැවීම, වන්ධ්‍යාකරණයට ලක්කිරීම ද එවැනි යෝජනා අතර විය.

වත්මන් රජය විසින් ද වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට කමිටුවක් ද පත් කරනු ලැබී ය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා අනෙකුත් අදාළ ආයතනවල සහභාගීත්වයෙන් පිහිටුවන ලද වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුව මගින් ක්‍රියාත්මක වූ ක්‍රියා මාර්ගයක් වූයේ කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයයි. මෙම සංගණනයෙන් රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගණනය කළේය. මෙම සංගණනය මාර්තු 15 වැනි දා පැවැත්වීය. එදින උදෑසන 8 සිට 8.05 දක්වා කාලය තුළ ගෙවතු, වගා බිම්, පාසල්, පන්සල් ආදි කෘෂිකාර්මිකව හෝ මිනිසුන් පරිහරණය කරන පොදු පරිශ්‍රවල හැසිරෙන උක්ත සතුන් වර්ග 04 ට අදාළ සංඛ්‍යා ගණනය මෙහිදී සිදුවිය. 

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම සංගණනය ක්‍රියාත්මක කළේය. ප්‍රදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරින්ට තම වසම තුළ වගකීම පවරාදුණි. ග්‍රාම නිලධාරීවරුන් ලබා ගන්නා දත්ත ප්‍රදේශීය ලේකම්වරුන් හරහා දිස්ත්‍රික්ක ලේකම්වරුන් මාර්ගයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබාදීමට කටයුතු කෙරිණ. එම දත්ත අනුව මිනිස් වාසස්ථානවලට වන සතුන් පැමිණෙන ප්‍රදේශ සිතියම්ගත කර වන සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම ඉදිරියේ අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මෙම සංගණනය සිදු කරන ලදි.

මෙම සංගණනය සිදු කළේ මාර්තු මස 15 වැනි දාය. සංගණනය සිදුකර මාස තුනකට ආසන්න  කාලයක් වෙමින් පවතී. එහෙත් තවමත් සංගණනය සම්බන්ධයෙන් අදාළ දත්ත වාර්තා ඉදිරිපත් වී නොමැත. දත්ත වාර්තාත් ඉදිරිපත් නොකර මෙම ගැටලු‍වට ඉදිරි පියවර ගැනීම කෙසේ සිදු කරන්නේ ද යන්න ගැටලු‍වකි. සංගණනයක් සිදු වූවා ද යන්නත් නිලධාරීන්ට අමතක වී ඇති බවක් හැඟී යයි. ඒ සම්බන්ධයෙන් කිසිදු කතාබහක් ද නොමැත. එබැවින් මෙම සත්ව සංගණනයට සිදු වූයේ කුමක්ද යන්න අපි පාර්ශව කීපයකින් විමසා සිටියෙමු.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සංගණනය සම්බන්ධයෙන් දැක් වූයේ මෙවැනි අදහසකි,

ඇත්තටම මීට කලින් ලංකාවේ එවැනි සංගණනයක් කෙරිලා තිබ්බේ නෑ. මේ තමයි එහෙම සංගණනයක් කළ පළමුවතාව. කෘෂිකර්මයට හානි කරන වන සතුන් තමයි මෙම සංගණනයට අයිති වුණේ. සත්ව සංගණන දත්ත ග්‍රාම නිලධාරීවරුන් සතුවවත් තිබුණේ නැතත් ග්‍රාම නිලධාරීන් මේ සඳහා සමබන්ධ වුණා. කිසිම ග්‍රාම නිලධාරිවරයකුට කිසිම පෙර පුහුණුවක් හෝ අත්දැකීමක් දැනුමක් සංගණනය සම්බන්ධයෙන් තිබ්බේ නෑ.

බොහොම කෙටි කාලයක් තුළ සිදු කෙරුණු කාර්යක් මේක. ඒත් රජය ග්‍රාම නිලධාරීවරුන්ගෙන් බලාපොරොත්තු වූයේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සියලු‍දෙනා අතර සංගණන පත්‍රිකාව බෙදාදීම සහ දත්ත ලේඛනය බාර ගැනීමයි. ඒ කටයුත්ත අපි කළා. ලංකාවේ සියලු‍ම ග්‍රාම නිලධාරීවරු මේ කාර්ය සඳහා සහයෝගය දුන්නා. අපි දත්ත එකතු කරලා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දුන්නා. ඉන් එහාට මොනවද ඒ දත්තවලට කළේ කියන එක අපි දන්නේ නෑ. අද වෙනකන් ඒ සම්බන්ධයෙන් පසු විපරම් වාර්තාවක් අප වෙත ලබා දීලත් නෑ. ග්‍රාම නිලධාරීන් ලබාගත් තොරතුරු දත්ත ලේඛනය පමණයි අප සතුව තියෙන්නේ. රජය මොකක්ද ගත්ත ක්‍රියා මර්ගය කියලා අපි දන්නේ නෑ. ග්‍රාම නිලධාරීන්ට තම වසම තුළ කටයුතුවලට පත්‍රිකා බෙදන්න වගේම එකතු කරන්නත් ගෙවල්වලට යන්න වුණා. ඒ වගේ දේවල්වලට පොඩි පොඩි වියදම් ගියා. ඒවට කොතනකවත් මුදල් ප්‍රතිපූර්ණය කිරීමක් වුණේ නෑ. තමන්ගේ පෞද්ගලික  මුදල් තමයි වියදම් වුණේ. ග්‍රාම නිලධාරීන්ට කිසිම ගෙවීමක් කළේත් නෑ මේ සම්බන්ධයෙන්. ජන ජීවිතයට හානි කරන සතුන්ගේ කරදරවලට මුහුණ දෙන පිරිස හරිම උනන්දුවෙන් සංගණනයට දායක වුණා. මොකද මේකෙන් යම් ප්‍රතිඵලයක් ලැබෙයි කියන බලාපොරොත්තුව නිසා. අනිත් අය එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ. සංගණනය කරලා දැන් මාස ගණනක් වෙනවා. අපි අද වෙනකන් දන්නෙ නෑ. ඒ දත්ත අරගෙන මොනවද කළේ, දත්ත උපයෝගි කරගෙන මොකක්ද ගත්ත පියවර කියලා. ඒ වගේ වැඩසටහනට අපි සහයෝගය දුන්නේ රජය කළ ඉල්ලීමට ගරු කරලා. දත්ත පදනම් කරගෙන ගත්ත ක්‍රියාමර්ගයක් නැති නිසා අපේ උත්සාහයත් වතුරේ ගිය එකක් කියලයි අපිට හිතෙන්නේ.

කෘෂි සංවර්ධන අතිරේක ලේකම් ආර්.ඩී. චිත්‍ර නයනා මහත්මිය සංගණනය සම්බන්ධයෙන් දැක් වූයේ මෙවැනි අදහසකි,

සංගණන දත්ත වාර්තා අනුව සතුන්ගේ බලපෑම යාපනය, මඩකලපුව, නුවරඑළිය යන දිස්ත්‍රික්ක හැරුණු විට අනෙක් සෑම දිස්ත්‍රික්කයකටම සුළු වශයෙන් හෝ බලපෑමක් තියනවා. ඒ අතරින් අනුරාධපුර, පොලොන්නරුව, මහනුවර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මොනරාගල යන ප්‍රදේශ සත්ව ගහණයට වැඩි වශයෙන් නතු වෙලා තියනවා.

සංගණනයේ අවසන් වාර්තාව කමිටුව හදලා ඉවරයි. එම වාර්තාව ලේකම්තුමාට ඉදිරිපත් කරන්න තමයි ඉතිරිව තියෙන්නේ. ලේකම්තුමා විදේශගත වෙලා ඉන්නේ මේ දිනවල. නැවත මෙරටට පැමිණි පසු වාර්තාව බාර දෙනවා. එම වාර්තාව මගින් අපි සිතියමක් සකස් කරනවා. මේ දිනවල සිතියමේ වැඩ කරමින් යනවා. අවසන් වාර්තාව අපි ඉක්මනින් ලබා දෙනවා. ඒ වගේම කාර්ය සාධක කමිටුව මෙම කමිටුවේ නිර්දේශ තීරණ ක්‍රියාත්මක කරන්න සහ මේ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්න කටයුතු කරනවා. කාර්ය සාධන කමිටුවක් පත් කරන්න ඕන. පත් කිරීමේ කටයුතුත් ඉදිරියේ දී කරනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත දත්ත ගෙන්වාගෙන එක් එක් දිස්ත්‍රිකකයට අදාළ දත්ත විශ්ලේෂණය මගින් සංගණනය සිදු කළා. ඒ අනුව එම දත්ත සිතියම් ගත කළා. සිතියම් ගත කිරීමෙන් මොන ප්‍රදේශවල ද වැඩි බලපෑමක් තියෙන්නේ කියා පහසුවෙන් හොයාගන්න පුළුවන්. විනාඩි 5ක් ඇතුළත තම ගෙවත්තට එන සතුන් තමයි අපි ගණනය කරන්න කිව්වේ. ඒත් සමහර පළාත්වල කරුණුවල සත්‍යතාවේ ගැටලු‍ තිබ්බා. සමහරු ලකුණු කරලා තියෙන්නේ මාර්තු 15 වැනිදා ඒ විනාඩි පහේ ආපු සතුන් නෙමෙයි. දිනපතා පැමිණෙන සාමාන්‍ය සතුන් ගණනයි. ඒකට හේතුව තමයි ඔවුන් හිතන්න ඇති ඒ විනඩි 5 තුළ සතුන් පැමිණිය නොපැමිණි බව සඳහන් කළොත් ඒ සඳහා රජය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති වෙයි කියලා. ඒනිසා එන සතුන් ගණන සටහන් කරලා තිබ්බා. ඒකෙ දී එම සංඛ්‍යාත්මක දත්ත නිවැරැදි කරන්න සිදු වුණා. ඒ සඳහා ගැමි සහභාගිත්ව පිවිසුම් ක්‍රමය භාවිත කළා. අනුරාධපුර ස්ථාන දෙකක දී තමයි ගැමි සහභාගිත්ව පිවිසුම් ක්‍රමය භාවිත කළේ. දත්තවල නිවැරදිභාවය  තහවුරු කරගන්න තමයි ඒක කළේ. සෑම ප්‍රදේශයකම එම ක්‍රමය භාවිත කරන්න යෝජනා වුණත් අනුරාධපුරයේ පමණයි සිදු කරන්න හැකියාව ලැබුණේ. අනෙක් ප්‍රදේශවල සිදු කරන්න කාලය මදි වුණා. ඇත්තටම සාර්ථකවම නිවැරැදි දත්ත ගැනීමේ අපහසුතා තිබ්බා. සමහර අයට දත්ත පත්‍රිකා ලැබිලා තිබුණෙත් නෑ. ඒ වගේ ගැටලු‍ මේ සංගණනයේ දී ඇති වුණා. අපිට අවශ්‍ය වුණේ දළ අදහසක් ගන්න විතරයි.

දත්තවල නිවැරදිභාවය තහවුරු කරගන්නත් කාලයක් ගියා. සංගණනයෙන් පස්සේ අවුරුදු, වෙසක්, ඡන්දේ වැනි අමතර කාරණා හේතු වුණා සංගණන වාර්තාව ප්‍රමාද වෙන්න. රජයේ නිලධරීන් තම සාමාන්‍ය  රාජකාරියෙන් බැහැරව තමයි මේක කළේ. ඒකත් හේතුවක් වාර්තා ප්‍රමාද වීමට. කාර්ය සාධන කමිටුව ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කරයි.  හැකි ඉක්මනින් අපි අවසන් වාර්තාව ලබා දෙනවා.

සංවර්ධන අධ්‍යකෂක කමිටු සමාජික කේ.ඒ. තුසිත නන්දන මහතා සංගණනය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි,

ඉක්මනින්ම අවසන් වාර්තාව ලබා දෙන්න බලපොරොත්තු වෙනවා. අපිට පැවරුණු කොටස ඉවර කරලා තියෙන්නේ. එනම් අපේ කාර්ය භාර්ය සියයට 99 ක්ම වගේ ඉවරයි. අවසන් වාර්තාව හදලා තියෙන්නේ. ඒ වාර්තාව අපි අමාත්‍යංශයට බාර දෙනවා. සංගණනයේ ගැටලු‍වක් වුණේ නෑ. සත්‍යාපන කටයුතු කරන්න තිබ්බා. ඒකට යම් කාලයක් ගියා. දැන් සත්‍යාපන කටයුතුත් ඉවරයි. ඔය වගේ දේවල් නිසා තමයි අවසන් වාර්තාව ප්‍රමාද වුණේ. අපි ඉක්මනින් අවසන් වාර්තාව ඉදිරිපත් කරනවා.

බලධාරීහු විවිධ හේතු ඉදිරිපත් කරති. එහෙත් තවම වන සත්ව හානිය අවසන් වී නොමැත. කාලයෙන් කාලයට විවිධ වූ ක්‍රමවේද ඉදිරිපත් කරමින් තාවකාලික විසඳුම් ලබා දුන්න ද තවම ගොවියන් ඇතුළු බහුතරය වන සතුන් නිසා පීඩාවට පත්ව සිටිති. එබැවින් මෙම සත්ව සංගණනය ද තාවකාලික පැලැස්තරයක් ද යන සැකය ජනතාව තුළ පවතී.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (1)

සත්ව සංගණනයට මොකද වුණේ?

Nimal Friday, 06 June 2025 09:17 PM

සත්ව සංගණනය මගින් සතුන් පිළිබද නිවැරැදි තොරතුරු ලබාගත නොහැකියි. සත්ව සංගණනය කළද නොකළද සතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට විසඳුම් ලබාදිය යුතුව තිබේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 731 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site