IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථාව කණපිට පෙරළීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ 
හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බලය ක්‍රියාවට නංවන්නා වූ මධ්‍යම සහ පළාත් ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍ය/ ඔරුමිත්ත නාඩු වූ ශ්‍රී ලංකාව (ලංකාව) නිදහස්, ස්වෛරී, ස්වාධීන සමූහාණ්ඩුවක් වේ”. “මෙම වගන්තියේ ඒකීය රාජ්‍ය/ ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වූ කලී නොබෙදුණ සහ බෙදිය නොහැකි එකක් වන අතර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ හෝ පවතින ව්‍යවස්ථාව වෙනස්කොට නව ව්‍යවස්ථාවක් පැනවීමේ හෝ බලය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සපයා තිබෙන ප්‍රතිපාදනවලට අනුව ව්‍යවස්ථාදායකය සහ මහජනතාව විසින් ක්‍රියාවට නංවනු ඇත” යන්නය. 

ඉහත දක්වා තිබෙන්නේ පසුගිය ජනවාරි 11 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සලකා බැලීම සඳහා වාර්තාවක් ලෙස සඳහන් කරමින් ඉදිරිපත් කළ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකිල්ලේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය කුමක්ද යන්න විස්තර කෙරෙන පළමු වන වගන්තියයි. මෙම වගන්තිය දෙස බලනවිට පෙනී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය සිංහල භාෂාවෙන් එක් විධියකටත් ද්‍රවිඩ භාෂාවෙන් තවත් විධියකටත් වශයෙන් දෙයාකාර විධියකට හඳුන්වා දී තිබෙන බවය. සිංහල භාෂාවෙන් කරන හැඳින්වීමට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඒකීය රාජ්‍යයක් වේ. ද්‍රවිඩ භාෂාවෙන් හඳුන්වා දී තිබෙන ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍ය ඔරුමිත්ත නාඩු වේ. එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව එක්සත් රාජ්‍යයක් වන බවය. පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ මෙම හැඳින්වීම් දෙක අතර බරපතළ පරස්පරයක් පවතින බවය. හේතුව එක්සත් රාජ්‍ය හෙවත් ඔරුමිත්ත නාඩු යන පදය ඒකීය රාජ්‍ය යන පදය සමග සමපාත නොවීමය. වෙනත් ආකාරයකට කියනවා නම් එම පද දෙක එකට ගමන් නොකිරීමය. එක්කෝ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුය.

 නැතිනම් ඔරුමිත්ත නාඩු හෙවත් එක්සත් රාජ්‍යයක් විය යුතුය. ඉහත දැක්වූ වගන්තියෙන් විස්තර කරන ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍යයෙන් මේ දෙකම නිරූපණය වේ. මෙම යෙදුම සහ හැඳින්වීම මඟින් පෙන්වන යථාර්ථය වන්නේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වාර්ගික කණ්ඩායම් දෙකක් සන්තෝෂ කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් දරා තිබෙන උත්සාහය හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබෙන බවය. මෙයින් ඒකීය රාජ්‍ය යන පදයෙන් උත්සාහ කර තිබෙන්නේ සිංහල = බෞද්ධ වර්ගවාදීන් සන්තෝෂ කිරීමටය. ඔරුමිත්ත නාඩු හෙවත් එක්සත් රාජ්‍ය යන පදයෙන් උත්සාහ කර තිබෙන්නේ ද්‍රවිඩ වර්ගවාදීන් සන්තෝෂ කිරීමටය. එහෙත් රට තුළ අද වනවිට පවතින වාර්ගික හැසිරීම සහ ඒ ඒ වාර්ගික කොටස් ප්‍රකාශ කරන අදහස් දෙස බලනවිට පෙනී යන්නේ කිසිදු පාර්ශවයක්  එම යෙදුම් හේතුවෙන් සන්තෝෂයට පත්ව නොමැති බවය. එසේවූවද, එම ද්විත්ව යෙදුම එයාකාරයෙන්ම යොදා ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළහොත් ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන අනන්‍යතාව නිශ්චිත සහ ස්ථාවර ලෙස හඳුනා ගැනීම  සම්බන්ධයෙන් බරපතළ දේශපාලන අර්බුදයක් පැනනැගීම වැළැක්විය නොහැකි වනු ඇත. හේතුව ශ්‍රී ලංකාව නිල වශයෙන් හඳුනාගත යුත්තේ ඒකීය රාජ්‍යයක් හැටියට ද නැතිනම් එක්සත් රාජ්‍යයක් හැටියට ද යන්න සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් නොමැති වීමය. 

 මෙම තත්ත්වය ශ්‍රී ලංකා රාජ්‍ය දේශපාලන වශයෙන් තවත් බරපතළ අර්බුදයක් කරා ගෙනයාමට නිසැකවම මගපාදනු ඇත. මෙම හේතුවෙන් ඒකීය/ ඔරුමිත්ත නාඩු වාදය මේ දිනවල රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට පාදක වී ඇති දේශපාලන මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇති තත්ත්වයකුයි දැකිය හැකි වන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට විරුද්ධ අය ඉදිරිපත් කර ඇති අදහසක් වන්නේ ඔරුමිත්ත නාඩු යන පදය මඟින් ශ්‍රී ලංකා ජනරජයේ ඒකීයභාවය විනාශකොට ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් උත්සාහ දරන බවත් එම උත්සාහය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා භූමිය දෙකඩ වී දකුණේ සහ උතුරේ වෙනම ස්වාධීන රාජ්‍ය දෙකක් බිහිවීම වැළැක්විය නොහැකි බවත්ය. මෙම තර්කයේ සත්‍ය අසත්‍යභාවය තේරුම් ගැනීමට නම් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එයින් පළමු කරුණ වන්නේ ඒකීය රාජ්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. දෙවන කරුණ වන්නේ වර්තමාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම පද්ධතියේ ස්වරූපය සමග ගලපා බලන විට ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්වීම නිවැරැදි වනවාද යන්නය.

ඒකීය රාජ්‍ය සංකල්පය දේශපාලන විද්‍යාවේ සාකච්ඡාවට භාජන වන පැරණි දේශපාලන සංකල්පයක් වූවද එය ශ්‍රී ලංකාවේ භාවිත දේශපාලනයට එක් වන්නේ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමගය. එම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය මඟින් ශ්‍රී ලංකා රාජ්‍ය හඳුන්වනු ලැබූයේ; “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන්ය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද එම තත්ත්වය එසේම පවත්වා ගෙනගිය අතර එම ව්‍යවස්ථාවේ ද දෙවන වගන්තිය මඟින් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙන්නේ ඒකීය රාජ්‍යයක් ලෙසය. ඒකීය රාජ්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමන ආකාරයේ රාජ්‍ය ක්‍රමයක් ද යන්න කෙරෙහි මීළඟට අවධානය යොමු කළ යුතුය. දේශපාලන විද්‍යාවේ පිළිගත්  අර්ථකථන අනුව ඒකීය රාජ්‍යයක් යනුවෙන් අදහස් කරන්නේ තනි ආණ්ඩුවකින් පාලනය වන භූමියක් සහිත රාජ්‍යයක්ය. මේ අනුව ඒකීය රාජ්‍යයක දැකිය හැකි විශේෂතම ලක්‍ෂණය වන්නේ තනි ආණ්ඩුවක් පැවතීමත් රාජ්‍ය බලය හැසිරවීම සම්බන්ධයෙන් එම ආණ්ඩුව උත්තරීතර වීමත්ය. ඒකීය රාජ්‍යයක් තුළ රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා සහභාගි වන පළාත් පාලන ආයතන පද්ධතියක් දැකිය හැකි වූවද එම කුඩා ආණ්ඩු නිර්මාණය කර තිබෙන්නේ පරිපාලන පහසුව සඳහා මධ්‍යම ආණ්ඩුවේ අභිමතය පරිදිය. එම කුඩා ආණ්ඩු පිහිටුවා තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව පනවන අණ පනත් මඟින් වන අතර ඒවාට හිමිව ඇත්තේ මධ්‍යම ආණ්ඩුවෙන් අවධාරිත කරන බලයක් පමණි. වෙනත් ආකාරයකට කියනවා නම් පවරා දෙන බලයක් පමණි. මෙම කුඩා ආණ්ඩුවල බල ප්‍රදේශ මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක අඩු වැඩි කිරීමට මෙන්ම ඒවාට පවරා ඇති බලය ද අවශ්‍ය පරිදි අඩු වැඩි කිරීමට හැකි වේ. අවශ්‍ය නම් මෙම කුඩා ආණ්ඩු අහෝසිකොට ඒවාට පවරා ඇති බලය ආපසු පවරා ගැනීමට ද මධ්‍යම ආණ්ඩුවට බලය තිබේ. 

ඒකීය රාජ්‍ය ක්‍රමයේ අනෙක් පැත්ත නිරූපණය කරන්නේ ෆෙඩරල් රාජ්‍ය හෙවත් සන්ධීය රාජ්‍ය මඟිනි. ෆෙඩරල් රාජ්‍යයක් බිහිවන ක්‍රම දෙකක් තිබේ. එයින් එකක් වන්නේ අසබඩ පිහිටි කුඩා රාජ්‍යයන් කිහිපයක් එකට එක් වී ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ගැනීමය. දෙවන ක්‍රමය වන්නේ විශාල භූමියක් සහිත රාජ්‍යයක් පාලන පහසුව සඳහා කොටස්වලට බෙදා වෙන්කොට එම කොටස්වලට රාජ්‍යයන්ට හිමි නෛතික තත්ත්වය පවරා යළි ගිවිසුමක් හෝ සම්මුතියක් යටතේ එක්සත්කොට ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැගීමය. මේ කුමන ආකාරයකට ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැගූව ද එවැනි රාජ්‍යයක විශේෂ ලක්‍ෂණය වන්නේ එක් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක වන තවත් ආණ්ඩු කිහිපයක් පැවතීමය. මෙම ප්‍රාදේශීය ආණ්ඩුවලට බලය සහ කාර්ය ක්‍ෂේත්‍රය පවරා දී තිබෙන්නේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස මධ්‍යම ආණ්ඩුව විසින් පනවන අණ පනත් මඟින් නොවේ. මේ අනුව එම ආණ්ඩු අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට යටත් නොවන අතර තම තමන්ගේ බල ක්‍ෂේත්‍රය තුළ ස්වාධීන පැවැත්මක් මෙන්ම ස්වාධීන බල අධිකාරියක් ද භුක්ති විඳී. මෙයින් පෙනී යන්නේ ඒකීය ආණ්ඩුවක මධ්‍යම ආණ්ඩුවේ ආධිපතිත්ව බලයට යටත්ව ක්‍රියාත්මක වන පළාත් ආණ්ඩු මෙන් නොව ෆෙඩරල් ආණ්ඩුවක කොටස් ආණ්ඩු ස්වාධීන බල අධිකාරයක් භුක්ති විඳින බවය.

ඒකීය රාජ්‍ය සහ ෆෙඩරල් රාජ්‍ය පිළිබඳව ඉහතින් දක්වන ලද අදහස්වලින් පෙනී යන්නේ යම් රාජ්‍යයක් ඒකීය ද නැතිනම් ෆෙඩරල් ද යන්න හඳුනා ගැනීම සඳහා ඉවහල් වන ප්‍රධාන නිර්ණායකය වන්නේ දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන ආණ්ඩු සංඛ්‍යාව විනා රාජ්‍යයන්ගේ භූමි ප්‍රමාණය නොවන බවය. මේ අනුව යම් රාජ්‍යයක් පාලනය වන්නේ තනි ආණ්ඩුවකින් පමණක් නම් එවැනි රාජ්‍යයක් ඒකීය රාජ්‍යයක් ලෙස සලකන අතර යම් රාජ්‍යයක පාලන බලතල ක්‍රියාවට නැංවීම සඳහා එක් ආණ්ඩුවකට වඩා වැඩි ආණ්ඩු සංඛ්‍යාවක්  තිබෙන්නේ නම් එවැනි රාජ්‍ය ෆෙඩරල් රාජ්‍ය ලෙස සළකනු ලැබේ. රාජ්‍ය හඳුනා ගැනීම සම්බන්ධයෙන් යොදා ගන්නා මෙම ආකෘතිය පදනම් කරගෙන වර්තමාන ශ්‍රී ලංකාව දෙස බලන්නේ නම් ශ්‍රී ලංකා රාජ්‍ය අයත් වන්නේ ඉහත දැක්වූ ඒකීය රාජ්‍ය ගණයට ද නැතිනම් ෆෙඩරල් රාජ්‍ය ගණයට ද යන ප්‍රශ්නය මතුවේ. පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 13 වන සංශෝධනයෙන් පසුව වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය වන්නේ එක් මධ්‍යම ආණ්ඩුවකින් සහ පළාත් ආණ්ඩු නවයකින් බවය. මේ අනුව රට තුළ ක්‍රියාත්මක වන මුළු ආණ්ඩු සංඛ්‍යාව 10 ක් වේ. මෙම ආණ්ඩු සෑම එකක්ම පිහිටුවා තිබෙන්නේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන්ය. ඒවාට බලතල හා කාර්ය පවරා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ය. එම බලතල හා කාර්ය තමන්ගේ අභිමතය අනුව වෙනස් කිරීමේ බලයක් මධ්‍යම ආණ්ඩුව සතු නොවේ. එසේ කිරීම අවශ්‍ය වන්නේ නම් එය කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පමණි. 

මෙයින් පෙනී යන්නේ වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය වඩාත් සමීප වන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමයකට වඩා ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයකට බවය. එහෙත් එය සමපාත වන්නේ සම්භාව්‍ය ෆෙඩරල් අංග ලක්‍ෂණ අන්තර්ගත පූර්ණ ඇමරිකානු ෆෙඩරල් ක්‍රමයකට වඩා අර්ධ ෆෙඩරල් ක්‍රමයක්  නිරූපණය කරන ඉන්දීය ෆෙඩරල් ක්‍රමයටය. මේ අනුව බලන විට ලංකාවේ අද පවතින ආණ්ඩුක්‍රමය යම් ආකාර ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් වන අතර එම හේතුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් ලෙස සලකමින් ඔරුමිත්ත නාඩු ලෙස හැඳින්වීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් පෙළඹුණා ද යන ප්‍රශ්නය මතු වේ. සැබෑ තත්ත්වය එය නම් ඒකීය යන පදය ඒ සමඟ එකට යෙදීමෙන් ව්‍යවස්ථා සම්පාදකයන් කර ඇත්තේ නැති ප්‍රශ්නයක් ඇතිකොට ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල අනන්‍යතාව අර්බුදයකට ලක් කිරීමය. මෙම අර්බුදය විසඳීමට ව්‍යවස්ථා සම්පාදකයන් වහාම ක්‍රියා කළ යුතුය. එසේ නොවුණ හොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා අනුමැතිය ලබා ගැනීම අපහසු විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.



අදහස් (0)

ව්‍යවස්ථාව කණපිට පෙරළීම

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 324 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 173 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 576 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 564 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 166 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 47 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 274 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site