(තරිඳු ජයවර්ධන)
(වීඩියෝ දිනේෂ් උපදේන්ද්‍ර)
විශ්ව විද්‍යාල තුල අමානුෂික නවක වදය සම්බන්ධයෙන් ලංකාදීප එසැණෙන් අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. මෑතම සිද්ධිය වයඹ විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සිසුහු 14 දෙනෙක් අධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබූහ. ඒ සිද්ධියෙන් සති තුනකට පමණ පසුවය. ඔවුන් සියලූ දෙනාම රිමාන්ඞ් භාරයට පත්කරන ලදි.
වයඹ සරසවියේ තාක්ෂණ පීඨයේ පළමු වසර සඳහා ලියාපදිංචිය සිදුවූයේ දෙසැම්බර් 16 වැනි දා ය. ඉන් දින කිහිපයකට පසු දේශන ආරම්භ විය. සුපුරුදු පරිදි එම සරසවියේ දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගෙන් නවකයන්ට නියෝගයක් ලැබිණි. ඒ සිසුන්ට කැමති සහ පහසු ඇඳුමකින් දේශන සහභාගී වීම වෙනුවට ජ්‍යෙෂ්ඨ සිසුන් නියම කරන නිල ඇඳුමෙන් සැරසී දේශනවලට සහභාගී වන ලෙසයි.
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නියමය වූයේ සිසුන් සෙරෙප්පු වෙනුවට සපත්තු පැළඳිය යුතු බවයි. ඇඳිය යුතු කලිසම කලූ පැහැ විය යුතුය. අත් කොට කමිසය කලිසමට යට කර ඇඳිය යුතු වූ අතර ඉන පටියක් (බෙල්ට්) පැළඳීමෙන් වැලකිය යුතුය.
දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණි අඟ හිඟකම් එමට ඇති සිසුහු රැසක් වයඹ සරසවියේ සිටිති. ජ්‍යෙෂ්ඨයන්ගේ නිල ඇඳුම මෙම නවක සිසුන්ට හිසරදයක් විය. නමුත් කරන්නට කිසිත් නැත. ඒ ඔවුන්ට කිසිම බලයක් නොතිබුණු බැවිනි. දිනෙන් දිනට ඇඳුමද වෙනස් ස්වරූපයක් ගත්තේය. පහතින් තිබෙන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ නියෝගයයි.


ජ්‍යෙෂ්ඨ සිසුන්ට බියෙන් ඔවුන් කී අන්දමට නිල ඇඳුම ඇඳගෙන දේශන සඳහා සහභාගී වීමට සිසුහු පිරිසක් තීරණය කළහ.
තවත් සිසුහු පිරිසක් එම තීරණයට එරෙහිව යමින් සාමාන්‍ය ඇඳුමින් සැරසී දේශන සඳහා සහභාගී වීමට තීරණය කළහ. එම පිරිසට සිසුහු 30ක් පමණ අයත් වූහ. වයඹ සරසවිය පිහිටි කුලියාපිටිය ප‍්‍රදේශයේම පදිංචි සිසුවකු ද මෙම පිරිස අතර සිටීම ඔවුන්ට පහසුවක් විය. ඔහු නමින් නවීන් සිතාර පේ‍්‍රමරත්නය. නවීන්ගේ කුඩා කල සිටම මිතුරා එම සරසවියේම දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. එම මිතුරා පසුගිය පළාත් පාලන ඡුන්දයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් වූයේය.
සිතාර සහ තවත් සිසුන් කිහිප දෙනෙක් එක්ව දෙසැම්බර් 25 වැනි දා නවක වධයට එරෙහි සිසුන් පිරිසට නවක වධයේ තිරශ්චීන බව සහ එහි පසුගාමී බව සම්බන්ධයෙන් දේශනයක් සංවිධානය කළහ. දේශනය පැවැත්වූයේ උපකාරක පන්ති ගුරුවරයෙකි. එහිදී දේශපාලනික කාරණා සාකච්ඡුා නොවූ අතර නවක වධය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුාවට බඳුන් විය.
එම දේශනයෙන් පසු 26 වැනි දා මෙම සිසුහු පිරිස සාමාන්‍ය ඇඳුමෙන් සැරසී විශ්ව විද්‍යාලයේ දේශන සඳහා සහභාගී වූහ. ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් සිටියේ නොසතුටිනි. සිතාර නම් සිසුවා ප‍්‍රදේශයේම පදිංචිකරුවකු- නිසා ඔහු සරසවියට පැමිණ තිබුණේ මෝටර් රථයකිනි. එදින රාත‍්‍රී හතත් අටත් අතර කාලයේ දී තවත් සිසුන් තිදෙනකු සමඟ සිතාර මෝටර් රථයෙන් රාත‍්‍රී ආහාරය සඳහා යමින් සිටියේය.
ඔවුන්ට වැඩි දුරක් යන්නට නොහැකි විය. ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් ඔවුන්ගේ මඟ හරස් කළහ. ඒ සමඟම සිතාර තම ජංගම දුරකතනයේ වීඩියෝ පටිගත කිරීමේ අයිතමය ක‍්‍රියාත්මක කළේය. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස සිතාරට සහ ඔහු සමඟ සිටි අනිත් දෙදෙනාට ද පහර දුන්හ. වාහනයට ද අලාභ හානි සිදු කළහ. ඔහු රෝහල් ගතව සිටිය දී තමා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
‘‘අපි හතර දෙනෙක් කෑම කන්න කැම්පස් එක ඉස්සරහට යන්න ගියේ. ඊට පස්සේ කොල්ලො 100ක් විතර ඇවිත් වාහනය වට කර ගත්තා. කැම්පස් එක ඉස්සරහා ගේට්ටුව ගාවමයි සිද්ධිය වුණේ. ‘තොපි කොහොමද නවක වදය නවත්වන්නේ? මෙච්චර කාලයක් තිබ්බ එක නවත්වන්න උඹලට පුලූවන්ද? කුලියාපිටියේ කියලා උඹලට රඟන්න දෙන්න බෑ. උඹලා මේකේ ඇතුළේ ඉන්න ඕන. අද එකෙක්වත් තියන්නේ නෑ’ කියලා වාහනේට ගැහුවා. ඔවුන් පොලූ අරගෙනයි ආවේ. මම ෆෝන් එකේ ෆ්ලෑෂ් ඔන් කරලා වීඩියෝ කරන්න ගත්තා. ඒ එක්කම වාහනේ පිටිපස්සට පොලූ පාරක් වැදුනා. ඉන් පස්සේ මම වාහනයේ දොර ඇරගෙන බැස්සා.
ඉන් පස්සේ සභාපති කෙනෙක් ඇවිත් ෆෝන් එක උදුර ගන්න උත්සාහ කළා. මම බොහොම අමාරුවෙන් ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ එක්කම කට්ටිය වට වෙලා මට ගහන්න පටන් ගත්තා. මුලින්ම ගහන්න පටන් ගත්තේ සභාපති. මම බේරිලා දුවද්දි කවුරු හරි කෙනෙක් ගඩොලකින් ගැහුවා. ගඩලො වැදුණම මාව වැටුණා. ඒත් කට්ටිය ඇවිත් ගැහුවා. දෙන්නෙක් තුන්දෙනෙක් කිව්වා මූව මැරෙයි කියලා. ඉන් පස්සේ මාව බිම දිගේ ටික දුරක් ඇදගෙන ගියා. ඇදගෙන ගිහින් ටයිල් පොලවක තිබ්බා. එතැනදිත් සමහරු ගැහුවා. එක්කෙනෙක් ඇවිත් මූනේ වත-ුර ගෑවා. ඊට පස්සේ ආයෙත් බනින්න ගත්තා. අටයි හතලිස් පහ විතර වෙනකං මම එතන හිටියේ. එයාලා මගේ ෆෝන් එකත් ගත්තා. ඉන් පස්සේ තාත්තා ඇවිත් තමයි මාව එක්කං ගියේ. ඒ කවුරුත් මාව පෞද්ගලිකව අ`දුරන්නේ නෑ. කොන්ඩ කොටට කපලා, රැුවුල කපලා එන්න කියලා තිබ්බේ. නමුත් ඔවුන් ගිය විදියටම අපිත් ගියා. නවක වදයට විරුද්ධ නිසා තමයි පහරකෑමට ලක්වුණේ. ’’
ඔහු සමඟ සිටි අනිත් සිසුන් දෙදෙනාට පහරකෑමට ලක්ව සිටි අතර ඔවුන් ද රෝහල් ගත කරනු ලැබ තිබිණි.
මෙම සිදුවීමෙන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වයඹ සරසවියේ ශිෂ්‍ය සංගමය මෙය හුදු සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් යැයි කියමින් පටු කිරීමට උත්සාහ කළේය. එමෙන්ම පහරකෑමට ලක්වූ සිසුවාගේ මිතුරා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ කෙනෙකු බව ද කීවේය. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූවකුගේ මිතුරකු වීම පහරකෑමට සුදුසුකමක් යැයි ඇතැම් විට එම සංගම්වල ඇතැම් නියෝජිතයන් සිතනවා විය හැකිය.
මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
‘‘ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ න්‍යායපත‍්‍ර විශ්ව විද්‍යාල තුළ ක‍්‍රියාත්මක කිරීම නිසා විශ්ව විද්‍යාල තුළ කල්ලි කණ්ඩායම් බිහිකරීමට මැදිහත් වෙලා තිබ්බා. එසේ මැදිහත් වූ කල්ලි කණ්ඩායම් සමඟ සිදුවෙච්ච ආරවුලක් මූලික කරගනිමින් සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවා නවක වධය ලෙස හුවා දක්වන උවමනාවක් මේ වෙද්දි තිබෙනවා. නමුත් මෙය නවකවධ සිද්ධියක් නෙමෙයි. මෙය දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්.
කුලියාපිටිය ප‍්‍රදේශයේම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැදිහත් වීමක් තිබ්බා. ඒවගේ සිද්ධියක් උඩ තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ. සිසුන්ගේ සමඟිය බි`ද දමලා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කරන කල්ලි කණ්ඩායම් බිහි කිරීමයි ඔවුන්ගේ අරමුණ. විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අපට ප‍්‍රශ්නයක් නෑ. විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කිරීමේ පූර්ණ නිදහසක් අපි තහවුරු කරනවා. නවක වධය ආරක්ෂා කරන, නවක වධය වෙනුවෙන් පෙනී සිටින අය වගේම මේ කියන දේශපාලන කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමට මැදිහත් වෙන ඕනෑම කණ්ඩායමක් ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙන්නේ නෑ. අසාධාරණ ලෙස සිරගත කර තිබෙන අපේ සහෝදරවරුන් හැකි ඉක්මනින් නිදහස් කළ යුතුයි. නැතිනම් අසාධාරණයට එරෙහිව අරගල කරන්න අපටත් සිද්ධ වෙනවා.’’
මුල් සිද්ධියෙන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා ඡුායාරූප දෙකක් පෙන්වීය. එහි සිටියේ පහරකෑමට ලක්වූ නවීන් සිතාර පේ‍්‍රමරත්නය. එක් ඡායාරූපයක ඔහු සිටියේ ඔහුගේ පාසල් කාලයේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයේම දෙවැනි වසර ශිෂ්‍ය චමත් අර්ථනායක නම් තරුණයා සමඟය. අනිත් ඡුායාරූපයේ සිටියේ තවත් කණ්ඩායමක් සමඟය. එම ඡුායාරූපය පෙන්වමින් අන්තරය කීවේ පහරකෑමට ලක්වූ නවීන් සමඟ කුලියාපිටිය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා සිටින බවයි. කෙසේ වෙතත් නවීන්ගේ මිතුරා චමත් එම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරයි.
‘‘මෙතන ප‍්‍රාදේශීය දේශපාලනය තිබෙනවා කියන්නේ කුලියාපිටිය නගර සභාව සම්බන්ධයෙන් විය යුතුයි. හැබැයි කුලියාපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ සිසුන් මෙතන නෑ. ඔවුන් දේශපාලන චෝදනාව කරන්නේ මගේ ෆේස්බුක් එකේ තිබුණු ඡුායාරූපයක් උපුටා ගනිමින්. එම ඡුායාරූපය මගේ නිවසේ ගත්තු එකක්. එහි කුලියාපිටිය හිටපු නගරාධිපති තියා නාගරික මන්ත‍්‍රීවරයකුවත් නෑ.
අන්තරය හැමදාම කරන්නේ බොරු කියලා මොකක්හරි පටලවලා නවක වධ සිද්ධි යටපත් කරන එක. මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුවකු අන්තරේ හිටපු කැ`දවුම්කරු සමඟ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන වීඩියෝවක් අපි ළඟ තිබෙනවා. නවක වධ සිද්ධියට සම්පූර්ණයෙන් අන්තරය වග කියන්න ඕනෑ. ඔවුන් දේශපාලනය කරන්නේ නවක සිසුන් නවක වධයෙන් බය කරගෙන.
පහර කෑමට ලක්වූ නවීන් මේ ජ්‍යෙෂ්ඨයන් අඳුරන්නේ නෑ. මේ පහර කෑම වුණේ ඔහු නවකයකු ලෙස විශ්ව විද්‍යාලයට ඇතුළත් වී දවස් 10ක් යන්නත් පෙරයි. නවකයකු වෙච්ච නවීන්ට කායිකව මෙන්ම මානසිකවත් උපරිම ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස පීඩාවට පත් කරලා තියෙනවා. ඉතින් මේකට නෙමෙයි නම් වෙන මොකේටද නවක වධය කියන්නේ? අපේ වසරේ සිසුන් 40ක් විතර නවක වධය නිසා විශ්ව විද්‍යාලය දාලා ගියා. මමත් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.
දෙපිරිසක් අතර ගැටුමක් කියලා ඔවුන් කිව්වට දෙපිරිසක් අතර ගැටුමක් නෑ. එක පිරිසක් තව දෙතුන් දෙනකුට පහරදීම වුණේ.
අපි නිකමට හිතමු පහර කෑ සිසුන් දේශපාලනය කරනවා කියලා. අතින් දේශපාලන කිරීම පහරකෑමට හේතුවක්ද? අන්තරේ දේශපාලනයට පිටින් වෙනත් දේශපාලන අදහසක් දරන්න අයිතියක් නැද්ද?’’ යැයි චමත් කීවේය.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනය කවුරුන් කළත් ඊට ඉඩ දිය යුතු නැත. නමුත් නවක වධයට ද ඉඩ දිය යුතු නැත. නවක වධය ලබාදීමෙන් පසු ඉන් එම චෝදනාවෙන් බේරීමට ‘ශිෂ්‍ය මර්දනය’ නම් සටන් පාඨය තවදුරටත් ඉදිරියට ගෙන ආ යුතු නැත. එමගින් සත්‍ය ලෙසම රජයන්ගෙන් සිදු කරන ශිෂ්‍ය මර්දනය ද සාමාන්‍යකරණය වනු ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදයෙන් එක නවක ශිෂ්‍යයෙක් මැරුනොත්, නවක වදය දුන් 10 ක් මරන්න ඕන.
නවක වාදය නොදන්නවා කියන්න බැහැ පාලන මණ්ඩලය. මේවා සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕනේ. මගේ දුව යවනත් දැන් බයයි. වෙන රටකට යවනවා. සල්ලි තියෙන හින්ද නොවේ. ඉඩමක් විකුණලා. ලංකාවේ විශ්ව විද්‍යාල හදන්න දෙන්නෙත් නැහැ හොද ප්‍රමිතියකට. රට කොහේ යයිද කියලා හිතාගන්න බැහැ. එලියට ඇවිල්ලා ජීවිතේ ගැන තේරෙනකොට සේරම ජඩ වැඩ කරලා ඉවරයි. අපි මොන තරම් මහන්සිවෙනවද හොඳ පුරවැසියෝ හදන්න.
CCTV සවිකර මේ නරුමයන් අල්ලා උපරිම දඩුවම් දෙන්න. ජනපති තුමාගේ අවධානය යොමුවේවා.!
සම්භාෂනයදී මම තවත් මගේ මිතුරන් කීපදෙනෙක් සමග කතාබස් කරමින් සිටියදී එදා සවස කොළොඹ තිබු ශිෂ්‍ය විරෝදතාවයක් ගැන අදහස් හුවමාරු කරමින් සිටින අතර මාගේ එක මිතුරෙකු තම විශ්ව විද්‍යාලයේ අද්දැකීම් අපහට ප්‍රකාශ කලේ ඉමහත් ප්‍රීතියෙනි ඔහුට අත්විදින්නට වූ නවක වදගැන්වීම් ගැනද අද්දකීම්ද විස්තරකල ඔහු එයින් ළමයින්ගේ කුලෑටි බව සමාජයේ මුළුගැන්වීම පහව යනබවත් කවදා හෝ ඔහු විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්නේ එඩිතර පුද්ගලයක් ලෙස නවක වාදය අනුමත කරමින්ය ඉන් ටික කලකට පසු ඔහුගේ පුතා වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට පිටත්ව ගියහ ඊට පසු ඔහු හමුවූ මට කියා සිටියේ තම පුතා විශ්ව විද්‍යාලයට ඇතුල්කල දවසේ සිසුවා විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කලාට පසුව ජෙෂ්ට සිසුන් විසින් තම පුතාව උණුසුම් ලෙස සුහදව පිළිගත් ආකාරයත් නේවාසිකාගාරය කරා පුතාගේ ගමන් මාළුද කරපින්නාගෙන රැගෙන ගිය ආකාරයත් ඔහුගේ අධ්‍යාපනයට අවශ්‍ය විශ්ව විද්‍යාලයේ සියලු දේම පෙන්නාදී එදා සවස ජෙෂ්ට සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම සදහා සංවිධානය කරඇති සුහද හමුවටද අරාධනා කර ඇති බවයි නමුත් මගේ මිත්‍රයා දැන් නවක වදයට විරුද්ද බව ප්‍රකාශකලේ ලැජ්ජාවෙනි
මෙසේ නවක සිසුන් අමානුෂික ලෙස දඩුවම් කරන්නේ එහි සිටින ජ්‍යෙෂ්ඨයන් නොවන බව අපගේ හැගීමයි. අප එසේ පවසන්නේ ඕනෑම ස්ථානයක රැකියා කරන ස්ථානයක උවද ජ්‍යෙෂ්ඨයන් සැමවිටම තමන්ගේ කණිෂ්ඨයන් හොදින් ආරක්ෂා කරන බැවිනි. එහෙත් මෙහි සිදුවන්නේ ස්ථිර වශයෙන්ම මත්කුඩුවලට කසිප්පු,ගංජා වැනි දේවල්වලට ඇබ්බැහි වූ වැදගත් දෙමව්පියන්ගේ දරුවන් යයි පවසන රස්තියාදුකාරයන්ය.
මේ ලාංකික සමාජයේත් ඉදිරි ගමනේත් එක් ඛේදවාචකයකි. නවක වදය යනු මුලු විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම මුලිනුපුටා දැමිය යුතු රටේ අපරාද නීතිය යටතේ දඩුවම් දිය යුතු බරපතල වරදකි. මේ සම්බන්දව දැඩි නීති රීති සම්මත කර වහාම ඒවා ක්‍රියාත්මක කල යුතුයි. වරදකරුවන්ට සිර දඩුවම් සහ සදාකාලික පංති තහනම් කලයුතුයි. එවැනි අයගේ නම් ගම් අධ්‍යායාපනය ලැබූ පාසල් සහ පින්‍තූරද ප්‍රසිද්ද කල යුතුයි.
මොරටුවෙන් හදපු මේ සම්බන්ද app එක විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන්න
මේවට උඩ ගෙඩි දෙන්න දේශපාලන පක්ෂත් හවුල් ඇති
නවක වධය මම හිතන්නේ ලෝකේ කොහෙවත් නෑ. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න අය දන්නේ ඔය වධය තමයි උපාධිය කියලා. ඇස් ඇරලා බලන්නකෝ නවකයොත් මනුෂ්‍යයෝ නේද කියලා
මිතුර සිතාර නවක වදයට එරෙහිවීම නිසා ඔබට මුහුණ දීමට වූ කරදරය ගැන කණගාටු වෙමි .අහිංසක නවක සිසුන් වෙනුවෙන් ඔබ ගත් එඩිතර පියවර ශ්‍රී ලංකික සරසවි සිසුන්ට හොද ආදර්ශයකි.ඔබ ඉදිරියට තැබූ මේ පියවර ආපස්සට නොගෙන ඉදිරියට යාමට ඔබ සුබපතමි .
නවක වධය කරන්නේ ඉච්චා භංගත්වයට පත්වුණ නවකයන් නොවන ශිෂ්‍යයන් මාස දෙකක් යනතුරු විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීම තහනම් කරලා නීතිය කඩන යට දැඩි දඬුවම් දෙන්න ඕන.
අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය තහනම් කරන්න. මේකට සම්බන්ධ කාටවත් ආයෙත් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න දෙන්න එපා. විශ්වවිද්‍යාලේ එන්නේ ඉගෙනගන්න මිසක් නවක වදේ දෙන්න නෙමේ.. මේ මණ්ඩල, අර මණ්ඩල කිසිම දේකට ඉඩදෙන්න එපා. ජේවීපී අය තමයි වැඩියෙන් ඉන්නේ. පෙළ පාලි යන අයට ආයෙත් එන්න දෙන්න එපා...
හිරේට යන්න තියන අය කැම්පස් ගියාම වෙනදේ මෙන්න. මේ අයගේ ඇත්තම අම්මා තාත්තා හොයලා බලන්න ඕනේ... සමහර වෙලාවට නාටාමියෙක්ද දන්නේ නැහැ..?
මෙය හුදෙක්ම තවත් එක් සිද්ධියක් නොවේ,බොහෝ ළමයින් වතුපිටි ඉඩම් උගසට තබා පිටරට විශ්ව විද්‍යාල වලට යන්නේ යහමින් මුදල් තියෙන නිසා නෙමෙයි, රටේ උසස් අධ්‍යාපන ක්‍රමවේදය තුල ඇති ගැටළු නිසා. නිදහස් අධ්‍යාපනය සැමට සමානව ඇති අයිතියක් අතර ජ්‍යෙෂ්ඨ හෝ කණිෂ්ඨ කිසිම සිසුවෙකුට වෙනත් සිසුවෙක්ගේ එම අයිතියට වැට බැඳීමට හැකියාවක් නෑ. මන්ද යත් ඔවුන් සියලු දෙනාම මහජන බදු මුදල් වලින් අධ්‍යාපනය ලබන නිසා. මේ නවක වධ සිදුවීමට සම්බන්ධ වන සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරිය යුතුයි. මොවුන් බොහෝ අය ක්‍රියාත්මක වන්නේ අදිසි හස්තයක බලපෑමෙන්, පසුගිය වකවානුවක තහනම් කොට නැවත අටවාගත් දේශපාලන පක්ෂයක් මෙයට සෘජුව සම්බන්ධයි.
නවකවදය කියන්නේ ළමයින්ට අධ්‍යාපනය එපා කරවලා පන්ති සාමාර්ථයක් ගන්න ඉන්න කෙනාගේ මොරාල් එක කාලා... ගම්බදින් අාපු දරුවන් ඉච්ඡාභංගත්වයට පත් කරවන කොන්ත්‍රාත්තුවක්... මේක කරන මිනිස්සු තමන්ගේ අනාගතෙත් විනාශ කරන අනෙක් අයෙගේත් අධ්‍යාපනය විනාශ කරනවා. සරසවි කියන්නේ මුදානොගත් ප්‍රදේශ නෙවෙයි. වහාම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. ඔය කට්ටිය ඡන්දෙට පෝස්ටර් ගහන්න ඕනෑ වුණා කියලා නිහඬව ඉන්න එපා.. ළමයි හොඳට රෙඩිවෙලා උසස්පෙළ කරන්නේ... ඒ කවුරුත් එ්කට දඟලන්න ඕනේ නැහැ...
මේ නවක වැඩ දෙන්නේ තුප්පහි කුහක පවුල්වලින් ආපු නරුමයන්. මුන් ඉගෙනගන්න දෙයක් නැහැ. අනෙක මුන් ඉගෙනගත්තට පස්සෙත් උද්ඝෝෂණ කරලා රජයේ රස්සාවල් අරගෙන රටට කරන සේවයකුත් නැහැ අපේ බදු සල්ලිවලින් පිස්සු කෙලිනවා. වහාම මුන්ව ගහලා එලවන්න ඕනේ. මුන් රටට පිලිලක්. මම සේවකයන් 367ක් පාලනය කරන සමාගමක අයිතිකාරයෙක්. එත් මම ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට ගිය එකෙක්වත් ගන්නේ නැහැ. මගේ කොම්පැනිය 8දෙනෙකුගෙන් පටන් අරගෙන දැන් 367ක් සේවය කරන සාර්ථක කොම්පැනියක්. රහස තේරුනාද? මුන්ට නවතින්න බෝඩින් කාමරයක් වත් දෙන්න එපා. මේ වදකයන්ගේ නම් ගම පින්තුර පුවත්පත් මගින් ප්‍රචාරය කල යුතුයි.
නවක වදය ඉස්සර ප්‍රභේද දෙකයි 1 පිසිකල් රැග් 2 ගොන් පාට්... ඔය විදියට හදා ගත්ත මූලධර්ම ගොඩක් තිබුණා. මනෝ විද්‍යාත්මකව ඔය මොන විදියට කළත් මේක පරණ බංකොලොත් දේශපාලන පක්ෂයක් විසින් තම මතය අන් අය තුළ ධාරණය කරවීම සඳහා පාවිච්චි කල උපක්‍රමික මෙවලමක්... නිසි හැදෑරීමක් කර ප්‍රවිෂ්ඨ වුවහොත් නවක වදය මසකින් තුරන් කළ හැකියි. අවශ්‍ය දඬුවම් දීම නොව මතවාදය නිරුවත් කිරීමයි.
නවකවදය ලෙස හඳුන්වන්නේ ‘‘නවක නවීකරණය “ “යන අදහසයි. කිසියම් කාලපරිච්ඡේදයක් තුළ නවක සිසුන්ට ලැබෙන දෙයක් බව මේ වචනයේම ඇත. සුලු නවක වදය හා උග්‍ර නවක වදය විවිධ වි. විද්‍යාලවල සාපේක්ෂව සිදු වෙනවා (උග්‍ර නවකවදය යනු අමානුෂික වදයයි... එය මම තරයේ ප්‍රතිෂේප කරමි) ෙජ්‍යෂ්ඨ සිසුන්, නවක සිසුන්ට එහි උප සංස්කෘතිය කියාදෙමින් කරන කවටකම් හා සමච්චල් ප්‍රධාන තැනක් ගන්නවා. විශ්ව විද්‍යාල ජීවිතයේ සුන්දරම කාලය මෙම කාලය බව කැම්පස් ගිය ඕනෑ කෙනෙක් දන්නවා. අද සමාජයේ පවුල් වල ඉන්නේ දරුවෝ 1 හෝ 2 යි. ඒ අය මල් වාගේ හදන්නනේ... නැත්නම් හැඳි ගාපු නැති හොද්දක් වගේ තමයි හැදෙන්නේ. ඔවුන් සමාජ අනුකලනය වේලා නැහැ. බෝහෝ අය පොත් අතරේ පමණක් හිටපු අය බව මම අත්දැකීමෙන්ම දන්නවා. ඉතිං ජ්‍යේෂ්ඨ සිසුන් යමක් කීවාම පිළිගන්න සූදානම් නැහැ... (නම්‍යශීලි නැහැ/ ඉවසීම නැහැ/ යමක් ඉගෙන ගන්න සූදානම් නැහැ) ඉතිං එවැනි අය අතළොස්සක් හැම වසරකම කැම්පස් එනවා. උපාධියත් අරන් යනවා ඉහළ තැනක රැකියාවකට ගියත් (පොත් අතරේම නිසා) ආයතන තුළත් ගැටුම්, පහළ නිලධාරීන්ටත් රැකියාව එපා කරවනවා. මේවාට මුහුණ දුන්නහොත් ඔබ හොඳ සමාජ අනුකලනයට ලක් වේ...
ලංකාවේ මේ වගේ නරුමයන්ට දෙන දඬුවම මදි