(තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග)
ජාති බේදයකින් තොරව විද්‍යා දැරියට සාධාරණය ඉටු කිරීම සඳහා වෙහෙස වු සියලූම දෙනාට විද්‍යා වෙනුවෙන් තමන් ස්තුතිය පුද කරන බව විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය ලංකාදීපයට කීවාය.
විද්‍යා ඝාතනය වූ නිසා සිත්තැවුලට පත් ඇගේ පියා දැඩි ලෙස රෝගතුර වූ බවත්, එදායින් පසු ඔහුට කතා කිරීමට පවා නොහැකි බවත් ඇය පැවසුවාය.
යාපනය කයිට්ස්හි පුංකුඩුතිව් ගම්මානයේ පදිංචිව සිටි විද්‍යා දැරිය 2015 මැයි මස 13 වැනි දා අපයෝජනය කර මරා දමා තිබිණි. නඩු තීන්දුවෙන් පසු ලංකාදීපයේ අප ඊයේ (28) ඇගේ නිවසට යන විට විද්‍යාගේ මව අසනීපයෙන් සිටින විද්‍යාගේ පියාට කෑම පිළියෙළ කරමින් සිටියාය.
විද්‍යාගේ සිදුවීම සම්බන්ධයෙන් සරස්වතී මහත්මිය අදහස් දැක්වීම ආරම්භ කළේ අතීතය සිහිපත් කරමින් කතා කළාය.
‘අපි පදිංචිවෙලා සිටියේ පුංකුඩුතිව්. යුද්ධය නිසා අනූව දශකයේ මුල් කාලයේ සමහරු යාපනයට ගියා. අපි මාන්කුලම්වලට ගියා. විද්‍යා ඉපදුණේ 1996 නොවැම්බර් මාසයේදි මාංකුලම්වලදියි. එයාගේ අක්කා ඉපදුණේ 1991දි. අයියා 1993දි ඉපදුණේ. විද්‍යා දුව මුලින් ගියේ තුනුක්කායි දෙමළ මිශ‍්‍ර පාසලට. එහෙදි ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉහළින් සමත් වුණා.
ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ආපු දවසේ ඒ ඉස්කෝලේ පිරිමි ළමයෙක් එයාට ඩස්ටරෙන් මූණට ගහලා තිබුණා. ඔයා මට වැඩි ලකුණු ගත්තා කියලයි ගහලා තිබුණේ. ඞ්ස්ටරේ තිබුණු හුණු විද්‍යාගේ ඇස්වලට ගිහින්. දවස් දෙකක් විතර යද්දි විද්‍යාගේ පෙනීම අඩු වෙලා ඇස් අමාරුවක් ආවා. ඒ කාලේ යුද්දෙත් තිබ්බා. බොහොම අමාරුවෙන් මම විද්‍යාව කොළඹ අරගෙන ගියා. අපේ ඥාතියෙකුගේ ගෙදර තියාගෙන ඉ`දලා ඉන් පස්සේ සුලෙයිමාන් ඉස්පිරිතාලෙට ඇතුළු කළා. එහෙදි ඇහැට ශල්‍යකර්මයක් කළා. ඒකට බේත් කරන්න එහෙම ඕන නිසා විද්‍යාව අපේ ඥාති ගෙදර නවත්වලා මම ආවා.
ඒ අතරතුර යුද්ධය දරුණු වෙද්දි අපි ආයෙත් පුංකුඩුතිව් එන්න ආවා. එද්දි ෂෙල් එකක් වැදිලා විද්‍යාගේ තාත්තා අසනීප වුණා. එයා කුලී වැඩ කරලයි ජීවත් වුණේ. යුද්දෙට කළින් එයා කඩයක මුදල් අයකැමි විදියට හිටියා. ෂෙල් එක වැදුණට පස්සේ එයා එකතැන් වුණා.
විද්‍යා කොළඹ ඉන්න කාලේ එහේ ඉස්කෝලවලට ඇතුළු කරන්න හැදුවත් අස්වීම් සහතිකයක් නැති නිසා බැරි වෙලා තියෙනවා. ඉන් පස්සේ අපේ ඥාතීන් විද්‍යාව ටියුෂන් පන්ති ඇරලා ඉගැන්නුවා. එහේ අවුරුදු හතරක් ඉඳලා දුව පුංකුඩුතිව් ආවා.පස්සේ පුංකුඩුතිව් මහා විද්‍යාලයට විද්‍යා දුව ඇතුළු කරන්න ගියා. එයා අවුරුදු හතරක් ඉස්කෝලේ ගිහින් නැති නිසා ගන්න බැහැ කිව්වා. ඉන් පසු කොහොම හරි අපි පැරැත්ත කරද්දි විදුහල්පතිතුමා විභායක් තිබ්බා. ඒ විභාගෙන් විද්‍යා හොඳට ලකුණු ගත්තා. ඉන් පස්සේ විදුහල්පතිතුමා දුවව 9 වසරට ඇතුළත් කර ගත්තා.
දුව ඉන් පස්සේ විභාගවලට හොඳට ලකුණු ගත්තා.සාමාන්‍ය පෙළත් සමත් වුණා. එයා කැමැත්තෙන් හිටියේ කවදා හරි මාධ්‍යවේදිනියක් වෙන්න. ඉන්දියාවේ ගිහින් ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න එයා කැමැත්තෙන් හිටියා. ඒ නිසා හින්දිත් ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ සමත් වෙලා එයා උසස් පෙළට කලා විෂයන් තෝරාගත්තෙත් ඒ නිසයි.
දුවට මේ අපරාධය කළේ දුව උසස් පෙළ පළවෙනි අවුරුද්දෙදි. මේ අපරාධය කරන්න දවස් කීපයකට කලින් දුව සුදු ගවුමක් මහන්න දුන්නු එකක් බලන්නයි තවත් වැඩකටයි ගියා. ගිහින් එද්දි ස්විස් කුමාර් ඇතුළු කට්ටිය දුව එනකං හංදියට වෙලා වෑන් එකක බලාගෙන ඉ`දලා තියෙනවා.
සිද්ධිය වුණු දවසේ දුුවට පරක්කු වෙලා තිබුණේ. එයාට තේ එකත් එළියට ගිහින් දුන්නා. දුව ඉස්කෝලේ ගියාට පස්සේ ආවේ නැති නිසා කුරිකට්ටුවාන් පොලිස් මුරපොළට ගියත් ඔවුන් පැමිණිල්ල බාර ගත්තේ නෑ. ඉන් පස්සේ කයිට්ස් පොලිසියට ගියා. කයිට්ස් පොලිසියට ගියාම ඔවුන් මාව ගණන් ගත්තේ නෑ.
දුව තරුණයි නේද, ලස්සනයි නේද, එයා කොහේ හරි යන්න ඇති. දවස් දෙක තුනකට පස්සේ කොල්ලෙ
ක් එක්ක ගෙදරට එයි කියලා කයිට්ස් පොලිසියෙන් එක එක ඒවා කිව්වා. ? වෙලා නිසා මම ගෙදර ආවා. ගෙදර ඇවිත් පහුවදා උදේම පුතාත් එක්ක දුව හොයන්න පටන් ගත්තා. හංදියේ කඬේ අය කිව්වා කලින් දවසේ දුව එතැනින් ඉස්කෝලේ යනවා දැක්කේ නෑ කියලා. ඒ නිසා ගෙදරත් ඒ හංදියත් අතර හොයන්න කිව්වා. අපි හැම තැනම හෙව්වා.
අපේ දුව ‘කුට්ටි’ කියලා බල්ලෙක් හැදුවා. ඒ බල්ලත් ඇවිත් දුවව හෙව්වා. බල්ලා දුවගේ සපත්තුවක් උස්සං ඇවිත් පුතාගේ (විද්‍යාගේ අයියා) ළඟින් දාලා ආයෙත් දිව්වා. ඉන් පස්සේ පුතත් ඒ පැත්තට යද්දි දුවව දැකලා කෑ ගැහුවේ. එදා පුතාට කලන්තය වගේ හැදුණා. එදා ඉඳන් අද වෙනකම්ම විද්‍යාව මතක් කරන හැම වෙලාවකට පුතාට කළෙන්තේ හැදෙනවා. එයා පන්නා පන්නා මේක ගැන හොයන්න ගත්තා. ඒ නිසාම තර්ජන ආවා. පසුව ඔහුව රට යැව්වා.
දුවගේ මිනිය ගේන්න කලින් සැකකාරයෝ කීප දෙනෙක් අපේ ගෙදරට ආවා. අපි හිතුවේ නෑ ඔවුන් මේක කළේ කියලා. දුව හදපු එළුවා ගාවට ඔවුන් ගියාම එළුවා නලලට ඇනලා තිබුණා. ඒ සැකකාරයාගේ නංගි
කෑ ගහගෙන ආවා අපේ අයියට එළුවා අනිනවා කියලා. මම ගිහින් ඇහුවා ඇයි දුවගේ එළුවා ගාවට ගියේ කියලා. මෙයාලා ඉන් පස්සේ එළුවට කෝටුවලින් ගැහුවා. මම ඔවුන්ට බැන්නා එළුවට ගහන්න එපා කියලා.
විද්‍යාගේ අයියා සැරෙන් සැරේ අසනීප වෙද්දි එයාගේ ඔළුව අතගගා සනසන්නත් සැකකාරයෝ ඇවිත් හිටියා. ස්විස් කුමාර් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් එයත් මළගෙදර ඇවිත් තිබුණා.
විද්‍යා මැරුණු කණස්සල්ලට විද්‍යාගේ තාත්තාට කතා කර ගන්න බැරිව ගියා. තවම එයාට කතා කරන්න බැහැ.
මේ සිද්ධිය කයිට්ස් පොලිසියෙන් හරියට විමර්ශනය කළේ නෑ. මිනිස්සු විරෝධතා දක්වද්දි රහස් පොලිසියට විමර්ශන බාර දීලා තිබ්බා. රහස් පොලිසියේ නිශාන්ත සිල්වා මහත්තයා, රහීම් මහත්තයා ඇතුළු කට්ටියක් ඇවිත් විමර්ශන පටන් ගත්තා. නිශාන්ත මහත්තයා පුදුම විදියට මේකට මහන්සි වුණා. සල්ලිවලට යට වුණේ නෑ. එයා මේ ගමේ හැම තැනම ඇවිදලා සාක්කි හෙව්වා. අවුරුදු දෙක්ක පුරාවට රහස් පොලිසිය මහන්සි වුණා.
ඉන් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ කුමාර් රත්නම් මහත්තයා ඇතුළු පිරිස මේ නඩුවට බොහොම වෙහෙසුණා.
මේ නඩු තීන්දුව අපි පිළිගන්නවා. හරිම නඩු තීනදුව දීලා තියෙනවා. අපිට සාධාරණය ඉෂ්ඨ කරපු විනිසුරුවරුන් තිදෙනාටත් මම ස්තුති කරනවා. ඔවුන් සාධාරණ නඩු තීන්දුවක් ලබා දුන්නා.
අවුරුදු දෙකක් තිස්සේ මේ ගැන වෙහෙස වුණු සියලූම දෙනාට මම ස්තුතිය පුද කරනවා. දුවට සාධාරණය පතා උද්ඝෝෂණ කළ, විවිද දේවල් කළ සියලූ දෙනාම මතක් කරන්න කැමතියි. ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේ මතක් කරනවා.
මම නැවත වරක් කියනවා රහස් පොලිසියේ නිශාන්ත මහත්තයා සහ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහත්තයා මේ නඩුවට ගොඩක් වෙහෙසුණා. රහස් පොලිසියේ රහීම් හත්තයා සහෝදරයෙක් වගේ උදව් කළා. රහස් පොලිසියේ 15 දෙනකු පමණ මේකට මහන්සි වුණා. නිශාන්ත මහත්තයා දෙවියක් වගේ. එයා වගේ අය තව හිටියා නම් ඕනම අපරාධයක් විසඳහන්න පුළුවන්. පොලිසිය අපි වෙනුවෙන් සාධාරණය ඉටු නොකරද්දි රහස් පොලිසිය මහන්සි වුණා.
අවසාන වශයෙන් කියන්නේ විත්තිකාරයන්ගෙන් මට සත පහක්වත් එපා. මොකද මගේ දුව නැවත ලැබෙන්නේ නැහැනේ. වෙන කිසිම අම්මා කෙනකුට මට අත්වූ ඉරණම අත් වෙන්න එපා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මං විඳින දුක වෙන අම්මා කෙනකුට විඳින්න ලැබෙන්න එපා.’ යැයි විද්‍යාගේ මව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ තාත්තේ ඔබදෙපලගේ රත්තරන් දුවගේ අකල් මරණයෙන් ඔබලා විදින වේදනාව අප සියල්ලෝටම හොදින් දැනේ. ගරු අදිකරණය විසින් මෙම සාපරාදී ක්‍රියාවට සම්බන්දවූ සියළුම පාපතරයන් හට නිසි දඩුවම් ලබාදීම පිලිබදව ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන්නෙමු. තවද ඔබදෙපලගේ ආදරණිය දියණියට මතු කිසිම ආත්මයක මෙවන් කරදයක් නොවේවා යන්න අප සියලුදෙනාම ප්‍රර්ථනා කරන්නෙමු.
දයාබර දුවේ, ඝාතකයන්ට නිසි පිළිතුරු ලැබුණත් ඔබ අප අතරින් සදහට සමුගෙන ඇත. අම්මාවරුන් සහෝදරියන් නැති කයිට්ස් පොලිසියේ පින් පඩි ලබන අයට අපේ බලවත් විරෝෙධය පල කරමු. ඒ අය මේ තනතුරට නුසුදුස්සෝ වෙති. ඒ අය එළිදරව් කළයුතුව ඇත.
මගේ ආදරණිය දුවේ... ඔබ කොහේ හිටියත් ඔබ සතුටු වෙනවා ඔබට සාධාරණයක් ඉටුවීම ගැන... මේ රටේ සිංහල, දෙමල, මුස්ලිම් අපි හැමෝම එදා දුක් වුණා මේ අපරාධය ගැන... ඒ වගේම විවිධ සංවිධාන මේ වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා.. අද ඒ හැමදෙනාම සතුටු වෙනවා. මේ අපරාධකරුවන්ට දුන් දඬුවම ගැන, තවද මේ අය මහජන මුදලින් තවත් නඩත්තු නොකර, වහා දඬුවම ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට බලකර කියනවා...
අප සිංහලය, ඔබ ද්‍රවිඩය මිනිසුන් ලෙස අපේ පැතුමද ඔබගේ පතුමමය. මෙවන් දුකක් කිසිම මවකට නොදැනේවා. ඔබගේ දියණිය මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා.
හිතට දැනෙන මහා විශාල අපරාධයක්... මෙවන් දුකක් කිසිකෙනෙකුට නොවේවා... ඒ දරුවාගේ ලස්සන වගේම බුද්ධිමත් පෙනුමක් තිබුනේ.. හිටියා නම් අනාගතේ රටට කීර්තියක් ලබාදෙන දැරිවියක් වෙන්නට තිබුණා...
රහස් පොලිසියේ නීති ගරුක නිලධාරී මහතුන් කිහිප දෙනෙකුට පින්සිද්ධ වෙන්න යුක්තිය ඉෂ්ට වුණා. නැත්නම් මේ රටේ නීතිය ගැන මුළු ලෝකයම අප්‍රසාදය පල කරාවි. අනේ අපේ පොලිසියට ගිය කලක්. පොලිසියේ ඉන්න කිහිප දෙනෙක් නිසා මුළු පොලිසියම අපවාදයට ලක් වෙනවා. 1980 ගණන් වලදී උතුරේ පොලිසියේ සමහර අයගේ හැසිරීම් නිසා උතුරේ ද්‍රවිඩ තරුණයන් අවි ආයුධ අතට ගැනීම ඉක්මන් වුනා කියා එ්දවස් වල පුවත් පත්වල පළවුණා මතකයි. කාර්නිවල් එකකදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තරුණයෝ පිරිසකට නිකරුනේ පහරදීමෙන් විශාල කලබගෑනියක් වූ බව ඒ දිනවල පුවත් පත්වල පළවුණා මතකයි.
හොඳම දඬුම තමයි ඔය අපරාදේ කරපු කට්ටියගේ දවසින් දවස ඇඟිලි කපන එක. මොවුන්ට උපරිම දඬුවම දෙන්න
මට මතක් වෙනවා සෞදි වල , දරුණු අපරාධ කරපු 6 දෙනෙක්ව, මරල ප්‍රසිද්ධියේ එල්ලලා තිබ්බා. මොවුන්ටත් ඒ දඬුවම දෙන්න ඕනෑ.
තංගල්ලේ කේස් එකටත් මේ වගේ තීන්දුවක් දුන්නා නම් සිංහල අපිට ගොඩක් ආඩම්බරයි. අරයා හිටියානම් ඉතින් සල්ලි වලට හැමෝම යටවෙනවා. සී.අයි.ඩී. එකටයි විනිසුරුතුමන්ලාටයි අපේ ආචාරය !!!
තාජුඩීන්ගෙ මරණය ගැන හොයන්නත් මේ රහස් පොලිස් කණ්ඩායමට දෙන්න බැරිද ?
සමාවෙලා දන්නා කෙනෙක් කියන්න, මේ සිද්ධිය වුණු දවස්වලම ඉන්ටෙර්නෙට් එකේ තිබුණා නේද මහින්ද රාජපක්ෂ මහතා සමග ස්විස් කුමාර එකට ඉන්න පින්තුරයක්, ඒකට මොකද වුනේ? මම ඉන්නේ පිටරටක, මේ දැරියට කරපු අපරාධයට හරි තීන්දුව ලැබුණු බව දැනට පෙනෙනවා. නමුත් රාජපක්ෂ මහතාගේ සම්බන්ධයට මොකද වුණේ? ඒ කතාව යටගියේ කොහොමද? මට ලංකාවේ පත්තර ලැබෙන්නේ නැහැ, දන්නා කෙනෙක් කරුණාකර කියන්න.
එල්ලුම් ගහ, නමට පමණයි. රජය සහ මහජනතාව කැමති නම් මම හෙටම මේ අය එල්ලා මරන්න එනවා. ගැහැණු අපි...අපි වෙනුවෙන් සටන් කරන්න ඕනෑ. මට මෙයට අවස්ථාව ලබා දෙන්න.
මම සිංහල එ්ත් මටත් ඒ වේදනාව දැනෙනවා දරුවෝ කිව්වොත් කාගේත් දරුවෝ තම නමුත් ගරු අදිකරණයෙන් සාධාරනයක් වුන එක හොදයි නමුත් මේක කරපු උන්ට කවදාකවත් සැනසීමක් නැහැ අම්ම තාත්ත විදින දුකට ඔය හත්දෙනාම එල්ලලා මැරුවත් වැඩක් නැහැ දරුවා නැතුව මේ වගේ දේවල් නැවත නොවෙන්න එල්ලුම් ගහ නැවත පන ගැන්විය යුතු වෙනවා වචෙනට පමණක් සීමා නොකර අම්මේ තාත්තේ ඔබලාගේ දුක අපිට තේරෙනවා මොකද අපිත් දෙමව්පියන් නිසා
අනිල් ඒක ෆොන්සේකා හදල දාපු එකක්
මේ අම්මා කියන කතාව ඇත්ත. අපි ඉන්නේ දකුණේ. පැමිණිල්ලක් දාන්න ගියාම සමහර පොලිස් නිලධාරීන් විහිළුවට ගන්නවා. මමත් මේ අත්දැකීම් දන්නවා. මොවුන්ටත් දැඩි දඬුවම් දෙන්න ඕනෑ...
මේ අය අල්ලගන්න උදවු කරපු සැමට අපගේ ස්තුතිය !!!
සිද්ධිය වුණු දවසේ දුවට පරක්කු වෙලා තිබුණේ. එයාට තේ එකත් එළියට ගිහින් දුන්නා. දුව ඉස්කෝලේ ගියාට පස්සේ ආවේ නැති නිසා කුරිකට්ටුවාන් පොලිස් මුරපොළට ගියත් ඔවුන් පැමිණිල්ල බාර ගත්තේ නෑ. ඉන් පස්සේ කයිට්ස් පොලිසියට ගියා. කයිට්ස් පොලිසියට ගියාම ඔවුන් මාව ගණන් ගත්තේ නෑ. පේනවා නේද අපේ පොලිසියේ හැසිරීම..? දෙමළ වැසියන්ට හැමදවසකම මේ තත්ත්වය තමයි.. හොඳ වෙලාවට නිශාන්ත මහත්මයා හිටියේ..
මොහොතකට හිතමු. විද්‍යා දැරිය අපගේ නැගණිය හෝ භාර්යාව හෝ මව හෝ පුංචි අම්මා හෝ දුව හෝ වුණා නම් ... ඒ වේදනාව කොහොම ලියන්නද?
මේ නඩුවේ තව වන්දියක් හැටියට ඒ තාත්තාටයි අයියාටයි අවශ්‍ය ප්‍රතිකාරවලටත් ඔය කාලකන්නින්ගෙන් මුදල් අය කරානම් හොඳයි. ඒ වගේම අර තවත් කෙනෙක් කියලා තිබෙනවා වගේ ඔය අපරාධකරුවන්ට මහජන මුදලින් හිරේ දාලා කන්න දෙන එකත් පවක්. මුන්ගේ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනා.
බුදුබව පතනා පියවරු සිටිනා. දරු දුක දන්නා මව්වරු හඬනා ඉතාම ශෝක ජනක සිද්ධියක්...
මම පොඩි දෙයක් අහන්න ද මෙතන කොමෙන්ට් ලියපු අයගෙන්.. මේ නඩුවේ දී විද්‍යා දැරියව දූෂණය කෙරුවේ හමුදාවේ කෙනෙක් වුනා නම්, මෙහි තීන්දුව මෙලෙසම වුනා නම් කී දෙනෙක් මෙම දැරිය වෙනුවෙන් කඳුළු සලයිද ? 'රණ විරුවා' ව රකියි ද ?