මගේ අතිජාත මිත‍්‍රයෙකුගේ බිරිඳක් ඇයට කුලූඳුල් දරු උපත ලැබීමට සිටිය දී අපූරු දොළදුකක් ඇති වී එය සිය ස්වාමියාට කියා; මගේ මිත‍්‍ර ඇගේ ස්වාමියා එකී ආශාව මට කීවේ ය. ‘මචං අපේ ගෑනිට හරක් මස් කන්න  ඕන ලූ. කටු නැතුව; පස්ස ගාතය.’

දොළදුක් පිළිබඳ ව ඉතිහාසයක් තිබේ. කාලිදාස කිවිඳු ‘මේඝදුතය’ කළේ ද බ‍්‍රහ්මදත්ත රාජ්‍ය වංශයේ බිරිඳක් අරබයා හටගත් ‘නො ඉඳුල් තඩාගයක’ දිය නෑමේ ආශාවක් පිළිබඳ ව හටගත් දොළදුකක් නිසා ය. ඡුද්දන්ත ජාතක කතාවේ චුල්ල සුභද්‍රා බිසවට ද අපූරු දොළදුකක් ඇතිවන්නේ ය. ඒ සඳත් කුලේ උපන් ඡුද්දන්ත ඇත් රජුගේ විශාල ඇත් දළ ස`ගළ ලබාගැනීමට ය. ගැහැනුන්ට සහල් කෑමට, මස් කෑමට, පස් කෑමට පමණක් නො ව කිරිමැටි කෑමට ද මහපාරේ තාර කෑමට ද දොළදුක් ඇති වේ. දොළ යනු ආශාව ය. දොළ දුක යනු ආශාව නිසා හටගන්නා දුක ය. මගේ මිත‍්‍රයා බෞද්ධ පවුලක උපන් සැදැහැති උපාසක බෞද්ධ පිරිමි තරුණයෙකි. හෙතෙම විවාහ වූයේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ කතෝලික තරුණියක සම`ගයි. පේ‍්‍රමය සහ විවාහය වෙනුවෙන් බෞද්ධ හෙතෙම කතෝලික විය. බිරිඳට උපදින්නට ඉන්නා දරුවාගේ ‘ආගම’ අප දන්නේ නැත; ඔවුහු දන්නේ ද නැත. එහෙත් විවාහය වෙනුවෙන් මගේ මිත‍්‍රයා බෞද්ධ ප‍්‍රතිපදාව අතහැර කතෝලික ආගම වැළඳ ගත්තේ ය. එය බිරිඳගේ පාර්ශ්වයේ විවාහ කොන්දේසියකි. මගේ මිත‍්‍රයා කැකුළු බත් කයි; මාළු කයි; බිත්තර කයි; කිරි බොයි’ එහෙත් ‘හරක් මස්’ නො කයි; එළු මස් නො කයි. හෙතෙම හරක් මස් නො කන්නේ හරකා ‘මරණ විධික‍්‍රමය’ අශිෂ්ට නිසා සහ අමානුෂික නිසා ය. එළු මස් නො කන්නේ එළු මස් එළ රස හෙවත් කොළ රහ නිසා ය. ඔහුට එකී මස් අනුභව නො කිරීමට වෙනත් හේතුවක් නොමැත. හරක් මස්වල ද හොදි කන හෙතෙම මස් කෑලි නො කයි. ඔවුන්ට අනුව හොදි හොඳ ය. කෑලි නරක ය. 

‘අපි වෙජිටේරියන්’ යන්න ආගමික වෘතයකි. විටෙක විලාසිතාවකි; ප‍්‍රතිපදාවකි; ඇදහීමකි; විශ්වාසයකි; පිළිගැනීමකි; හෘදසාක්ෂියකි; ආඩම්බරකාර පෞරුෂයකි. මම ඒ පෞරුෂ ආඩම්බරය පිළිගනිමි; එයට ගෞරව කරමි.

මගේ බිරිඳ ‘වෙජිටේරියන්’ වී කොන්ද රිදෙනවා - දණිස් ‘ටක ටක’ ගානවා යැයි කී විට ලොකු පුතා කීවේ අමුතු කතාවකි.

‘අම්මා මස් කන්නේ නැත්නම් බිත්තර කන්න. උදේට කිරි එකක් බොන්න’ කියා ය. ඔහු අම්මාට කීවේ සංවේදී කතාවකි. මට විද්‍යාත්මක කතාව කීවේ ය.
‘අප්පච්චි; B12 තියෙන්නෙ සත්ත්ව මාංශවල විතරයි. අම්මා කාලයක් වෙජිටේරියන් වීම නිසා B12 ඌනතාවයෙන් ඉන්නෙ. ‘මස්වල’ ආගමික අර්ථය පැත්තක තිබ්බත් ‘මස්කෑම’ හොඳ නෑ තමයි. යුරෝපයේ ‘මොළේ වෛරස්’ ඇතුළු ගොඩක් ලෙඩ හැදෙන්නේ මස් කෑම නිසා. අම්මා දැන් බොන්නෙත් බෝතල් වතුර. ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් නෑ. මස් කන්නෙ නැතුව වුණත් පිරිසිදු ස්වාභාවික වතුර බොනව නම් හොඳයි. ඒවායේ ක්ෂුද්‍රජීවීන් ඉන්නවා. B12 ලැබෙනවා. අම්මා දිගට ම ආගමික වෘතයක් විදිහට වෙජිටේරියන් වුණොත් අසනීප වෙයි. ස්නායු රෝග ඇති වෙයි. ඉන්දියාවෙ මිනිස්සුන්ට වෙජිටේරියන් වෙන්න පුළුවන් වුණාට යුරෝපීයයන් සහ අපට වෙජිටේරියන් වෙන්න අමාරුයි. අපේ වෙජිටේරියන් කෑම එක දුෂ්පෝෂිතයි. අම්මට අඩු ම ගාණේ බිත්තරයක් කන්න කියන්න. හොඳට කිරි ටිකක් බොන්න කියන්න. නැත්නම් අම්ම ලෙඩ වෙයි. ස්නායු රෝග හැදෙයි.’

ලොකු පුතා මට ඊමේල් කළේ ය. 

 

 

 

‘ඉන්දියානුවාට වෙජිටේරියන් වෙන්න පහසු වුණාට අපිට අමාරුයි’ යන්න මට මහත් ප‍්‍රශ්නයකි. බුදුන් උපන්නේ ඉන්දියාවේ ය. බෝධිසත්ත්ව හෙතෙම පස්මහබැලූම් බැලූවේ ය. ‘කාලය, දීපය, දේශය, කුලය, මව’ යනු එකී පස් මහ දෘෂ්ටීන් ය. ‘කාලය’ පිළිබඳ විතර්ක ප‍්‍රතිතර්ක නැත. ‘දේශය’ ලෙස භාරතය හෙතෙම තෝරාගත්තේ ඇයි? මගේ රැඩිකල් මීමුත්තෙක් දිනක් අපූර්ව ප‍්‍රශ්නයක් නැගී ය.

‘උඹල දන්නවා ද..? ‘දේශය’ විදිහට යුරෝපය තෝරගත්ත නම් ‘පාණාතිපාතා’ දේශනා කරන්න අමාරුයි. ඇතැම් යුරෝපීය රාජ්‍ය සියයට අනූනවයක් ම මාංශභක්ෂකයි. එතකොට සත්තු මරන්න එපා කිව්ව ම කන්නෙ අයිස් ද? ජේසු දහම වැඩිපුර ම ව්‍යාප්ත යුරෝපයේ ධීවරයන්ට අනුව වැඩිපුර මාළු දැලට අහුවෙන්නෙ දෙවියන්ගේ කැමැත්තට ය. ජේසුට ඉන්දියාවෙ උපදින්න බෑ. බුදුන්ට නවසීලන්තයෙ උපදින්න බෑ. ‘දේශය’ කියන්නෙ තමන්ගේ දහම ස්ථාපිත කරන්න පුළුවන් හොඳ ම රටට. බුදුනුත් ‘දේශය’ බැලූවා. ජේසුත් ‘දේශය’ බැලූවා. ඒවා තමයි ඇත්ත’

වර්තමාන ඉන්දියානුවන් බහුතරයක් වෙජිටේරියන් ය. බුදුන්වහන්සේ පමණක් නො ව සායි බබා ද, ජෛන ආගම ද හින්දු ධර්මය ද එකී ජන විඥානයට වෙජිටේරියන් චින්තනය කාන්දු කළෝ ය. ඉන්දියානුවෝ වෙජිටේරියන් නිසා රෝගී වන්නේ නැත. ඒ ඇයි...?

ඉන්දියානු වෙජිටේරියන් කුලකයේ ආහාර මෙනුවේ දී B12 සම්පූර්ණ ය. කඩල, පරිප්පු, කොල්ලූ, කිරි, එළකිරි, මුදවපු කිරි, පස්ගෝරස, පළතුරු පමණක් නො ව පිරිසිදු ස්වභාවික ජලයෙන් ද ඔවුහු සන්නද්ධ ය. එනිසා ම ඉන්දියානුවාට වෙජිටේරියන් වීම පහසු ය. මා මේ උත්සාහ කරන්නේ ‘බිත්තර’, වෙජිටේරියන් කෑම වේලකට සුදුසු ද යන්න පිළිබඳව තර්ක කිරීමට ය. 

මගේ තර්කය නම් ‘බිත්තර’ වෙජිටේරියන් නො වන බව ය. එහෙත් ‘ජීවයක්’ නො මැත යන විද්‍යාත්මක තර්කය මත මාංස, සත්ත්ව භක්ෂණය නො කරන සිංහල බෞද්ධ ආගමික මත දරන ‘වෙජිටේරියන්ලාට’ ජීවයක් නො මැති නිසා ම බිත්තර සුදුසු බව කීම ය. මේ අදහස් ම දශක කීපයකට පෙර සුධීමත් ඊ. ඩබ්. අදිකාරම් ගෙනහැර පෑ බව මතක ය. හෙතෙම කීවේ මේ ‘ෆාම් බිත්තර’ උපාසක බිත්තර කියා ය. ඒ ගැන විස්තර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන් චන්ද්‍ර රණසිංහ ආචාර්යවරයාගෙන් අසා ගනු මැනවි. උක්ත ‘උපාසක බිත්තර’වලට එදවස ‘බෞද්ධ බිත්තර’ යැ යි කියා ප‍්‍රවාදයක් ද ගොඩනැ`ගී තිබුණා මතක ය.

ඊ. ඩබ්. අදිකාරම් මහතා ‘බෞද්ධ බිත්තර’ යැ යි කීවේ ‘ෆාම් බිත්තර ය’. ෆාම් බිත්තරවල ජීවයක් නැත. එනිසා ම වෙජිටේරියන් අයට ද යෝග්‍ය ය; සුදුසු ය; කැප ය. අනෙක් බිත්තර ‘ගම් බිත්තර’ ය. ගම්බිත්තරවල ජීවයක් ඇත; ප‍්‍රාණිත්වයක් ඇත; රිටයක් ඇත.

පොදු ව්‍යවහාරයේ දී ගම් බිත්තර හා ෆාම් බිත්තර යනුවෙන් වර්ග දෙකක් තිබේ. ගම් බිත්තර දාන්නේ ගමේ ස්වභාවික පරිසරය තුළ හැදුණ කිකිළී ය. කිකිළී බිත්තරය දමන්නට පෙර ‘කුකුළා’ සම`ග ලිංගික හැසිරීමක නියැළෙන හෙයින් ඩිම්බය, ශුක‍්‍රාණු සමග මිශ‍්‍ර ව සංසේචනය වී යුක්තානු සෑදීමට තිබෙන ඉඩ බහුල ය. එනිසා ම ගම් බිත්තර ජීවය සහිත ය. එබැවින් එකී බිත්තර කෑම; ආහාරයට ගැනීම ආගමික ප‍්‍රතිපදාවන්ට අනුව මාංශ භක්ෂණයකි. සත්ත්ව ඝාතනයකි. පරපණ නැසීමකි. පාණාතිපාතයකි.

‘බෞද්ධ බිත්තර’ යනු ෆාම් බිත්තර ය. ඒවා නිෂ්පාදනය කරන්නේ වාණිජ කුකුළු ගොවිපළවල ය. එකී බිත්තර ඩිම්බයක් පමණි. කිකිළියට බිත්තර දමන්නට කුකුළෙකු අත්‍යවශ්‍යයෙන් ම  ඕනෑ නැත. ඇතැම් වාණිජ ෆාම්වල ‘කුකුළු’ පිරිමි සතෙකු කූඩු කොට තබන අවස්ථා ඇත. ඒ සංසේචනය සඳහා නො ව කිිකිළි සතාගේ උත්තේජනය සඳහා ය. කිකිළියට බිත්තර දැමීමට පිරිමි සතෙකු අත්‍යවශ්‍ය නැත. පැටවු හදන කුකුළු ගොවිපළවල නම් කිකිළියන් පස් හය දෙනෙකුට ‘කුකුළෙකු’ යොදවනු ලැබේ. එහෙත් බිත්තර පමණක් ගන්නා බිත්තර ගොවිපළවලට කුකුළා කරදරයකි.  කුකුළා වැඩිපුර ආහාර ගන්නේ ය. කිකිළියන්ට කොටන්නේ ය. කුකුළු පොර අල්ලන්නේ ය. කුකුළු කෑම වැඩිපුර කන්නේ ය. කුකුළු වැඩ කරන්නට උත්සාහ ගන්නේ ය. එනිසා ම බිත්තර පමණක් හදන කුකුළු ගොවිපළවලට කුකුළා කරදරයක් ය. එනිසා ම බිත්තර පමණක් හදන ෆාම්වල වැරදිලාවත් කුකුළෙකු ඇද්දැයි චෙක් කරන්නේ ය. තෝරන්නේ ය. කිකිිළියන් අතර කුකුළකු සිටියොත් ඉවත් කරන්නේ ය. එනිසා ම කිකිළියන් පමණක් ම සිටින්නා වූ බිත්තර කිකිළි ගොවිපළ සියයට සියයක් ම ඩිම්බය පිළිබඳ ව සහතික ය. ඩිම්බය යනු බිත්තරයකි. සංසේචනය වී නැත. ජීවයක් නැත. බෞද්ධ බිත්තරයකි. 

ප‍්‍රාණියෙකු නැති වුවත් ‘බිත්තරය’ වෙජිටේරියන් නො වේ. එයට හේතුව එය සත්ත්ව ඩිම්බයක් වීම යි. කුකුළෙකු නැති ව වුව ද කිකිළියක විසින් වසරකට බිත්තර හෙවත් මෝරා වැඩුණු ඩිම්බ 100 - 130 අතර ප‍්‍රමාණයක් මුදා හරිනු ලබයි.

 

 

 

මගේ නිගමනය අනුව වෙජිටේරියන් අය ගම්බිත්තර නො කෑ යුතු ය. එය යුක්තානුවක් වන හෙයිනි. ජීවී ප‍්‍රාණියෙකු ඇති හෙයිනි. ෆාම් බිත්තර හෙවත් ‘බෞද්ධ බිත්තර’ යනු ඩිම්බයක් පමණි. එහි ජීවයක් නැත. කාම්බෝජය, වියට්නාමය ඇතුළු බොහෝ බෞද්ධ රටවල  ඕනෑ ම වෙජිටේරියන් ආහාර වේලක දැනටමත් බිත්තර අන්තර්ගත ය. ශාක ආහාරයක් නො වෙතත් ගම් බිත්තර තුළ ජීවයක් ඇත.

‘වෙජිටේරියන්’ ආහාර ගන්නා ආගමික මත රකින මිත‍්‍රවරුනි; ගම් බිත්තර නො කා බෞද්ධ බිත්තර ආහාර වේලට එකතු කරගමු ද? B12පෝෂක සහිත ආහාර වේලට එකතු කර ගනිමු ද? වෙජිටේරියන් වී ලෙඩ වෙන මිත‍්‍රවරුනි; අපි තර්ක විතර්ක කොට සත්‍යය සොයා යමු ද? 

”මනුෂ්‍යාගේ ‘බඩ’ තියෙන්නේ සත්තුන්ගේ මළකුණු තැන්පත් කරන සොහොන්බිම් කරගන්න නෙමෙයි” ආදී ප‍්‍රකාශන අන්තවාදි මෙන් ම භාවාතීෂ ය. සුවඳ සඳුන් කෑවත්, අමෘතය බීවත් බඩට ගිය විට අමු ම අමු කැත කුණු ය. අධෝ මුඛයෙන් පිටවන්නේ අසූචි ලෙස ය. තමන්ගේ තරුණ වයසේ දී විවිධ මාංශ තොග පිටින් ආහාරයට ගෙන වර්තමානයේ දරුවන්ට බණ කියන දෙමාපියන් ද දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ ව වඩා යථාර්ථවාදී ලෙස සිතුවොත් හොඳයි නේ ද?