පසුගිය වසර කිහිපය තුළ ආන්දෝලනාත්මක රිය අනතුරු කිහිපයක් සිදු විය. කැලණිය හිටපු ප‍්‍රාදේශීය සභාපතිට මරු කැඳවූ අනතුර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රීපති සූරියආරච්චිට මරු කැඳවූ අනතුර, රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ට මරු කැඳවූ අනතුර සහ සරසවි සිසුන් දෙදෙනකුට මරු කැඳවූ ඉඹුල්ගොඩ අනතුර ඒ අතර ප‍්‍රධාන තැනක් ගනියි.
එලෙස රිය අනතුරකට ලඝු කැරුණු අනතුරු දෙකක් ගැන නැවත විමර්ශන කරන්නැයි පසුගිය ජනවාරි අටවැනි දා රාජපක්ෂවරුන්ගේ පරාජයත් සමග ආ යහපාලන ආණ්ඩුවට ඉල්ලීම් ලැබිණි. ඉන් පළමුවැන්න නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට සහාය පළ කරමින් මහනුවර සිට කොළඹට සංවිධානය කළ අන්තරයේ පාගමනේ ඉදිරි පෙළ සාමාජිකයන් දෙදෙනකු වූ ජනක බණ්ඩාර ඒකනායක හා සිසිත ප‍්‍රියංකර සිල්වාගේත් මරණයි. අනෙක නම් රගර් ක‍්‍රීඩක වසීම්ගේ මරණයයි.
වසීම් තාජුඞීන් කවුද?
ඔහු නමින් මොහොමඞ් වසීම් තාජුඞීන් ය. පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසක ය. හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට වසීම්ට අවකාශය හිමි විය. එතැන් සිට ඔහු කැපී පෙනෙන චරිතයක් විය. එම කණ්ඩායමේ උපනායකයා වීමේ වාසනාව ද වසීම්ට ලැබිණි. 2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ලැබුණේ ද ඔහුට ය.
මීට කලකට පෙර ඔහුගේ රගර් පුහුණුකරුවකු ඔහු ගැන මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි දෙයකි.

”2001 ඉඳන් 2003 වෙනකම් ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් සෙල්ලම් කර 2004 විතර හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සෙල්ලම් කරන්න ආවා. ඔහු 2009 හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළා. ක‍්‍රීඩකයකු ලෙස ඔහු ඉදිරියෙන් ම හිටියා. ඔහු හැමෝම එක්ක හොඳින් හිටියා. ඔහු ලංකාවේ කොඩියට හරි ආදරෙයි. තමන්ගේ රට ගැන කැපවීමෙන් සෙල්ලම් කළා. ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා. ඒ නිසා වසර දෙකක් පමණ සෙල්ලම් කරන්න බැරිවුණා.”
2012 මැයි 16 වැනි දා සන්ධ්‍යාවේ වසීම් සිය නිවසින් පිටත් වූයේ නාරාහේන්පිට මිතුරකුගේ නිවසක සාදයකට සහභාගි වන බව කියමිනි.
මැයි 17 වැනි දා උදෑසනම කන වැකුණේ දුක් බර පුවතකි. ඒ අධික වේගයෙන් පැමිණි කාරයක් වේගය පාලනය කර ගත නොහැකිව නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී තාප්පයක හැපී ගිනිගත් පුවතකි.
එහි රියදුරු අසුනේ සිටි පුද්ගලයා දැවී අඟුරු වී තිබිණි. මුලින් ආරංචි පැතිර ගියේ එහි සිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු බවයි. පසුව ආරංචි වූයේ එම සිරුර අන් කාගේවත් නොව සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ බවයි.
අනතුර නාරාහේන්පිට: මුදල් පසුම්බිය කිරුළපොන
කිසිදු පරීක්ෂණයක් නැතිව පොලිසිය එක හෙළා කීවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි. වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී කාරය ගිනි ගෙන මරණය සිදුවී ඇති බවට පොලිසිය කීවේය. ඉන් එහා විමර්ශන සිදු නොවිණි.
එම මරණය සැක සහිත බවට බොහෝ දෙනකු කියද්දී විමර්ශන කිරීමට පොලිසියි පෙළඹුනේ නැත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසා බව බොහෝ දෙනෙක් කීහ.
එම රිය අනතුරේ වැදගත් කරුණු රැසකි. ඉන් පළමු වැන්න නම් තරමක් පාළු ස්ථානයකට වන්නට ආසන්නයේ රිය අනතුර සිදු වීමයි. දෙවැන්න නම් ඔහු ගියේ නාරාහේන්පිට සාදයකට වීමත්, අනතුර සිදුවූයේ ද නාරහේන්පිට වීමත්ය. සාදය තිබුණැයි කියන ස්ථානයේ සිට එම ස්ථානයට ඒමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. ඊළඟ කාරණය නම් කාරය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ හැපීමයි. පොලිසිය මුලින් මවා පෙන්වූ පරිදි එය මහා විශාල අනතුරක් විය යුතුය. එසේ නම් අඩු තරමේ තාප්පයේ විශාල ප‍්‍රදේශයක් කැඞී යා යුතුය. නමුත් එසේ වී නොතිබිණි. එවැනි අනතුරක දී මහා විශාල ශබ්දයක් ඇසිය යුතුය. නමුත් එවැනි ශබ්දයක් ඇසුණු කෙනෙකු ද නැත. පොලිසිය මේ සියලූ කාරණා මග හැර තිබිණි. එනම් හිතා මතා යම් සිද්ධියක් වසන් වන අන්දමට විමර්ශන සිදු කර තිබිණි. පූර්ව නිගමන මත පිහිටා පරීක්ෂණ සිදු කර තිබිණි.
අනිත් බරපතලම කාරණය නම් මියගිය රගර් ක‍්‍රීඩක වසීම්ගේ මුදල් පසුම්බිය කිරුලපොණ පැත්තේ තිබී හමුවීම ය. වසීම් රිය අනතුරකින් මිය ගියේ නම් ඔහුගේ මුදල් පසුම්බිය තිබිය යුත්තේ ද ඔහුගේ වාහනයේ හෝ ඇඳ සිටි කලිසමේ සාක්කුවේ ය. නමුත් එය කිරුලපොණට ගියේ කෙසේ ද?
ඒ ගැන පොලිසිය විමර්ශන සිදු නොකළේ ඇතැම් විට කිසිවකුගේ බලපෑමක් නිසා විය හැකිය.
කෙසේ වෙතත් රිය අනතුරක් සිදුවී යැයි කියන තැනට කිලෝමීටර ගණනක් දුරින් වසීම්ගේ මුදල් පසුම්බිය හමුවීම ගැන විමර්ශන සිදු කැරුණේ නැත.
සිද්ධිය වූ දිනට පසු දින එනම් 2012 මැයි 18 වැනි දා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා (එවකට) නියෝග කළේ සිද්ධිය ගැන විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මුදල් පසුම්බිය එක් තැනකත්, පිළිස්සුණු සිරුර තවත් තැනකත් තිබී හමුවීමත් සමග පොලිසිය කළ යුතුව තිබුණේ ස්ථාන දෙක අතර සීසීටීවී පරීක්ෂා කිරීමය. එසේ වී නම් සැකකටයුතු කිසිවක් ගැන තොරතුරු සොයා ගැනීමට ඇතැම් විට හැකියාව තිබිණි. එනමුත් පොලිසිය එය කළේ නැත.
ගින්නෙන් බේරීමට වසීම් උත්සාහ නොකළා ද?
වසීම් ගිය කාරය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන දැවී තිබිණි. කෙතරම් දැවී තිබුණේ ද යත් වසීම් හඳුනාගත නොහැකි ලෙස අඟුරු වන තුරු දැවී තිබිණි. එහි සිටියේ වසීම් ම බව හඳුනා ගත්තේ ඔහුගේ පාදයක ආබාධයක් නිසා යොදා තිබුණු යකඩ ආධාරකයක් නිසාය.
කාරය ගිනි ගැනීමට නම් අනතුර වඩාත් විශාල විය යුතුය. වාහනය ගිනි ගනිද්දී වසීම් ඉන් බේරීමට උත්සාහ නොකළේ ඇයි දැයි ඊළඟට ප‍්‍රශ්නයක් මතු වෙයි. සිය නොකැමැත්තෙන් ගින්නකට හසු වන ඕනෑම අයකු ඉන් බේරීමට උත්සාහ කරන බව අධිකරණ වෛද්‍ය මතයයි.
වසීම් යනු සාමාන්‍ය පුද්ගලයකු නොව හොඳ දක්ෂ රගර් ක‍්‍රීඩකයෙකි. ඔහුගේ කාය ශක්තිය ද සාමාන්‍ය කෙනකුට වඩා වැඩි විය යුතුය. ඔහු නින්දේ සිටිය ද කාරය හැපෙද්දී හෝ ඇහැරිය යුතුය. කාරයට පෙට‍්‍රල් වත්කර ගිනි නොතිබ්බා නම්, ගින්න ස්වභාවිකව ඇති වූවා නම් කාරය මුළුමනින් ම ගින්නෙන් වැසීමට අඩු තරමේ විනාඩි පහක්වත් යනු ඇත. (ඊට වඩා වැඩි විය යුතුය). වසීම් වැනි දක්ෂ ක‍්‍රීඩකයකුට ගින්නෙන් බේරීමට කාරයෙන් ඉවතට පැනීමට හෝ මොන යම් දෙයක් කිරීමට හෝ එම කාලය තරමක් ප‍්‍රමාණවත්ය.
කාරය ගිනි ගනිද්දී වසීම් පණ පිටින් සිටියේ නම් ඔහු ඉන් බේරීමට කිසිවක් කළ යුතු නමුත් වසීම් අඟුරුවන තුරු රියදුරු අසුන මතට වී සිටියේ ඇයි? එසේ නම් ගිනි ගත්තේ පණ පිටින් සිටි වසීම් ද? එසේ නැතිනම් කිසිවකු විසින් ඝාතනය කැරුණු වසීම්ගේ මළ සිරුර ද?
පෙණහලූවල කාබන් මොනොක්සයිඞ් තිබුණා ද?
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මූලික වශයෙන් ම කෙනකු මරා පිළිස්සුවා ද, පිළිස්සීම නිසා මැරුණා ද යන්න නිගමනය කළ හැකි එක් සාධකයකි කාබන් මොනොක්සයිඞ් ශරීරගත වීම. කෙනෙකු පණ පිටින් ගිනි ගනිද්දී ඔහු ආශ්වාස කරන වායුවත් සමග කාබන් මොනොක්සයිඞ් වායුව සහ අලූ වැනි ද්‍රව්‍ය පෙණහලූ කරා යා යුතුය. කෙනකු මරා පුළුස්සද්දී ඔහුගේ ආශ්වාසයක් සිදු නොවන නිසා පෙනහලූවලට කාබන් මොනොක්සයිඞ් හා අලූ ගමන් කරන්නේ නැත.
මූලික ලෙස පිළිස්සුණු මළ සිරුරක පෙනහලූ පරීක්ෂා කරද්දී කාබන් මොනොක්සයිඞ් හෝ අලූ වැනි ද්‍රව්‍ය තිබුණා නම් ඔහු පණ පිටින් පිළිස්සී ඇති බවටත්, එවැනි ද්‍රව්‍ය නැති නම් ගිනි ගන්නා අවස්ථාව වන විට ඔහු මියගොස් සිටිය යුතු බවත් අධිකරණ වෛද්‍යවරු නිගමනය කරති.
අප දන්නා පරිදි වසීම්ගේ පෙනහලූවල කාබන් මොනොක්සයිඞ් වායුව තිබී නැත. එය සත්‍යයක් නම් නියත වශයෙන්ම ගිනි ගෙන ඇත්තේ වසීම්ගේ නිසල සිරුර ය.
අවුරුදු දෙකහමාරකට පසු අධිකරණ වෛද්‍ය වාර්තාව එයි.
මීට සතියකට පමණ පෙර පොලිසිය කීවේ රගර් ක‍්‍රීඩක වසීම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ආවේ වසර දෙකහමාරකට පමණ පසු බවයි. එහි ඇති යම් යම් දත්ත අනුව වසීම්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවාදැයි සැක සහිත බව පොලිසිය පවසයි. එම වාර්තාවේ ඇත්තේ මොනවා දැයි පොලිසිය නොකියයි.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව එළියට නිකුත් කළේ වසර දෙකහමාරකට පසු ද නැති නම් පොලිසිය එය එළියට දැම්මේ වසර දෙකහමාරකට පසු ද යන්න සැක සහිතය.
ඝාතනයට මුල පෙම් පලහිලව්වක්?
පෙම් පලහිලව්වක් නිසා වසීම් මරා දැමූ බව ඔහුගේ හිතමිත‍්‍රාදීහු කියති. ඔවුන් කියනුයේ මෙවැනි කතාවකි.
වසීම් යනු ශ‍්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ කැපී පෙනෙන තරුවක් බව මීට පෙර ද සඳහන් කළෙමු. ඔහුගේ දක්ෂතාවන් නිසා බලවතකුගේ පුත‍්‍රයකු ද ඔහුගේ මිතුරකු බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැත. එම බලවතාගේ පුත‍්‍රයාගේ පෙම්වතිය වූයේ කලාවට සම්බන්ධ පවුලක කතකි. එම බලවතාගේ පුත‍්‍රයාට අයත් ආයතනයක ඉහළ තනතුරක් ද ඇය දැරුවාය.
වසීම් හා ඇය අතර පෙම් පලහිලව්වක් ඇතිවී ඇතැයි කන වැකුණු බලවතාගේ පුත‍්‍රයා වසීම් සමග දැඩි අමනාපයකින් සිටි බව කියති. රගර් පිටියේ බොහෝ දෙනකු එය හොඳින් දැන සිටියහ. ඒ ආරවුල දුරදිග ගොස් වසීම් ඝාතනය වන්නට ඇතැයි පිරිසක් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝාතනයට හේතුව බලවතෙක්ද ?(දිල්)
පුතාල නිසා රජකම නැති වුන රජවරු හිටියා- මෙරට -පිටරට (බ)
මොන බලවතෙක් වුණත් ආදරය බලෙන් දිනාගන්න බැරි බව තේරුම් ගන්න ඕනෑ.මිනීමරන එක මොන මෝඩකමක්ද ? (නි)
මොන තරම් මෝඩ වැඩක්ද ගැනියක් හින්ද මිනී මරා ගන්නේ. ඕන කෙනෙක්ට නටාගන්න කියලා අලුත් එකක් හොයාගන්න තිබුනේ. (නදී)
ඉතින් මේවා ගැන පොලිසිය හොයන්න ගියහම කියාවි දේශපාලන පලි ගැනීම් කියලා (නදී)
කව්රුත් දන්නවා කව්ද පුතා කව්ද කියල. (අ)
පෙම්වතියගේ අලුත් ප්‍රේමයට ඉඩ දීලා බලවතාට තිබුණේ ඊට වඩා හොඳ පෙම්වතියක් හොයා ගන්නනේ (දිල්)
හිතා මතා සිදු කළ දෙයක් විය යුතුයි.(හේ)
දන්නෝ දනිති.(හේ)
අනේ අම්මපා කාට කියන්නද, බවලත් උදවිය වෙනුවෙන් බලවත් අය කරන වැඩ,(හේ)
ඔහු ලංකාවට අහිමිවූ සුපිරි රගර් ක්‍රීඩකයෙකි . මෙය මීනිමරුමක් මිස මෙය අනතුරක් නොවේ යැයි මම පවසමි. මේ සිදුවීම වූ ස්ථානයට මගේ යහළුවෙක් ගොස් තිබුණි. තාප්පයේ වැදුනා නම් තාප්පයට හානිවිය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුවී නැත. ක්‍රීඩාවට දේශපාලනය ගාවාගන්න දෙන්න හොඳ නැහැ. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (බ)
දැන් සිදුකරන පරික්ෂණ වලින් පසුව බලමු මේ සිද්ධියේ සැබෑ වැරදි කරු කවුද කියලා.(හේ)