රිය අනතුරකින් මියගිය බවට වසර තුනකට පෙර පොලිසිය තීරණය කළ සුප‍්‍රකට රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය. තාජුදීන් මරා දමා ඇත්තේ දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි ද බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වසීම්ගේ මරණය රිය අනතුරකින් වාහන ගිනි ගැනීම නිසා සිදුවූවක් නොව එය මිනීමැරුමක් බව කියාපෑමට අවශ්‍ය තරම් සාධක ඇති බව ඉරිදා ලංකාදීපය පසුගිය මාර්තු 08 වැනි දා වාර්තා කළේය.

වසීම් තාජුදීන් කවුද?
ඔහු නමින් මොහොමඞ් වසීම් තාජුදීන්ය. පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසකය. හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක‍්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
2008 දී ශ‍්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට වසීම්ට අවකාශය හිමි විය. එතැන් සිට ඔහු කැපී පෙනෙන චරිතයක් විය. එම කණ්ඩායමේ උප නායකයා වීමේ වාසනාව ද වසීම්ට ලැබිණි. 2009 වසරේ දී ජනප‍්‍රියම රගර් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ලැබුණේ ද ඔහුටය.
මීට කලකට පෙර ඔහුගේ රගර් පුහුණුකරුවකු ඔහු ගැන මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි අදහසකි.
”2001 ඉඳන් 2003 වෙනකම් ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් සෙල්ලම් කර 2004 විතර හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ සෙල්ලම් කරන්න ආවා. ඔහු 2009 හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළා. ක‍්‍රීඩකයකු ලෙස ඔහු ඉදිරියෙන්ම හිටියා. ඔහු හැමෝම එක්ක හොඳින් හිටියා. ඔහු ලංකාවේ කොඩියට හරි ආදරෙයි. තමන්ගේ රට ගැන කැපවීමෙන් සෙල්ලම් කළා. ඔහුගේ දණහිසේ පොඩි ආබාධයක් තිබුණා. ඒ නිසා වසර දෙකක් පමණ සෙල්ලම් කරන්න බැරිවුණා.”
2012 මැයි 16 වැනිදා සන්ධ්‍යාවේ වසීම් සිය නිවසින් පිටත් වූයේ නාරාහේන්පිට මිතුරකුගේ නිවසක සාදයකට සහභාගි වන බව කියමිනි.
මැයි 17 වැනිදා උදෑසනම කන වැකුණේ දුක් බර පුවතකි. ඒ අධික වේගයෙන් පැමිණි කාරයක් වේගය පාලනය කර ගත නොහැකිව නාරාහේන්පිට ප‍්‍රදේශයේ තාප්පයක හැපී ගිනිගත් පුවතකි.
එහි රියැදුරු අසුනේ සිටි පුද්ගලයා දැවී අඟුරු වී තිබිණි. මුලින් ආරංචි පැතිර ගියේ එහි සිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු බවයි. පසුව ආරංචි වූයේ එම සිරුර අන් කාගේවත් නොව සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ බවයි.
අනතුර නාරාහේන්පිට : මුදල් පසුම්බිය කිරුලපන
කිසිදු පරීක්ෂණයක් නැතිව පොලිසිය එක හෙළා කීවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි. වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක හැපී කාරය ගිනිගෙන මරණය සිදුවී ඇති බව පොලිසිය කීවේය. ඉන් එහා විමර්ශන සිදු නොවිණි.
එම මරණය සැක සහිත බවට වෙබ් අඩවි වාර්තා කරද්දී, මරණය සැක බව බොහෝ දෙනකු කියද්දී විමර්ශන කිරීමට පොලිසිය පෙළඹුණේ නැත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීම නිසා බව බොහෝ දෙනෙක් කීහ. එම පොලිස් නිලධාරියා මැදිහත් වූයේ එකල ප‍්‍රබලයකුගේ මැදිහත් වීම නිසා බව ද කීහ.
නිකම්ම නිකන් රිය අනතුරකින් වසීම් මිය නොගිය බව කීමට සරලම කාරණා කිහිපයක් මින් පෙර ද ඉදිරිපත් කළේය. ඉන් පළමු වැන්න නම් තරමක් පාළු ස්ථානයක ආසන්න වන්නට රිය අනතුර සිදුවීමයි. දෙවැන්න නම් ඔහු ගියේ නාරාහේන්පිට සාදයකට වීමත්, අනතුර සිදුවූයේ ද නාරාහේන්පිට වීමත්ය. සාදය තිබුණැයි කියන ස්ථානයේ සිට එම ස්ථානයට ඒමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. ඊළඟ කාරණය නම් කාරය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ හැපීමයි. පොලිසිය මුලින් මවා පෙන්වූ පරිදි එය මහා විශාල අනතුරක් විය යුතුය. එසේ නම් අඩු තරමේ තාප්පයේ විශාල ප‍්‍රදේශයක් කැඞී යා යුතුය. නමුත් එසේ වී නොතිබිණි. එවැනි අනතුරක දී මහා විශාල ශබ්දයක් ඇසිය යුතුය. නමුත් එවැනි ශබ්දයක් ඇසුණු කෙනෙකු ද නැත. පොලිසිය මේ සියලූ කාරණා මග හැර තිබිණි. එනම් හිතා මතා යම් සිද්ධියක් වසන් වන අන්දමට විමර්ශන සිදු කර තිබිණි. පූර්ව නිගමන මත පිහිටා පරීක්ෂණ සිදු කර තිබිණි.
අනිත් බරපතළම කාරණය නම් මියගිය රගර් ක‍්‍රීඩක වසීම්ගේ මුදල් පසුම්බිය කිරුලපන පැත්තේ තිබී හමුවීමය. වසීම් රිය අනතුරකින් මිය ගියේ නම් ඔහුගේ මුදල් පසුම්බිය තිබිය යුත්තේ ද ඔහුගේ වාහනයේ හෝ ඇඳ සිටි කලිසමේ සාක්කුවේ ය. නමුත් එය කිරුලපනට ගියේ කෙසේද? පොලිසිය ඒ ගැන විමර්ශන සිදු නොකළේය. කෙසේ වෙතත් රිය අනතුරක් සිදුවී යැයි කියන තැනට කිලෝමීටර ගණනක් දුරින් වසීම්ගේ මුදල් පසුම්බිය හමුවීම ගැන විමර්ශන සිදු කැරුණේ නැත.
සිද්ධිය වූ දිනට පසු දින එනම් 2012 මැයි 18 වැනි දා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා (එවකට* නියෝග කළේ සිද්ධිය ගැන විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මුදල් පසුම්බිය එක් තැනකත්, පිළිස්සුණු සිරුර තවත් තැනකත් තිබී හමුවීමත් සමඟ පොලිසිය කළ යුතුව තිබුණේ ස්ථාන දෙක අතර සීසීටීවී පරීක්ෂා කිරීමය. එසේ වී නම් සැකකටයුතු කිසිවක් ගැන තොරතුරු සොයා ගැනීමට ඇතැම් විට හැකියාව තිබිණි. එනමුත් පොලිසිය එය කළේ නැත.
ඊළඟ ගැටලූව ලෙස මතු කළේ ගින්නෙන් බේරීමට වසීම් කිසිවක් නොකළේ ඇයි ද යන්නයි.
වසීම් ගිය කාරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී තිබිණි. කෙතරම් දැවී තිබුණේ ද යත් වසීම් හදුනාගත නොහැකි ලෙස අඟුරු වන තුරු දැවී තිබිණි. එහි සිටියේ වසීම්ම බව හඳුනා ගත්තේ ඔහුගේ පාදයක ආබාධයක් නිසා යොදා තිබුණු යකඩ ආධාරකයක් නිසාය.
කාරය ගිනි ගැනීමට නම් අනතුර වඩාත් විශාල විය යුතුය. වාහනය ගිනි ගනිද්දී වසීම් ඉන් බේරීමට උත්සාහ නොකළේ ඇයි දැයි ඊළඟට ප‍්‍රශ්නයක් මතු වෙයි. සිය නොකැමැත්තෙන් ගින්නකට හසු වන ඕනෑම අයකු ඉන් බේරීමට උත්සාහ කරන බව අධිකරණ වෛද්‍ය මතයයි.
වසීම් යනු සාමාන්‍ය පුද්ගලයකු නොව හොඳ දක්ෂ රගර් ක‍්‍රීඩකයෙකි. ඔහුගේ කාය ශක්තිය ද සාමාන්‍ය කෙනකුට වඩා වැඩි විය යුතුය. ඔහු නින්දේ සිටිය ද කාරය හැපෙද්දී හෝ ඇහැරිය යුතුය. කාරයට පෙට‍්‍රල් වත්කර ගිනි නොතිබ්බා නම්, ගින්න ස්වභාවිකව ඇති වූවා නම් කාරය මුළුමනින්ම ගින්නෙන් වැසීමට තරමක කාලයක් ගත වෙයි. වසීම් වැනි දක්ෂ ක‍්‍රීඩකයකුට ගින්නෙන් බේරීමට කාරයෙන් ඉවතට පැනීමට හෝ මොන යම් දෙයක් කිරීමට හෝ එම කාලය තරමක් ප‍්‍රමාණවත්ය.
කාරය ගිනි ගනිද්දී වසීම් පණපිටින් සිටියේ නම් ඔහු ඉන් බේරීමට කිසිවක් කළ යුතු නමුත් වසීම් අඟුරු වන තුරු රියැදුරු අසුන මතට වී සිටියේ ඇයි? එසේ නම් ගිනි ගත්තේ පණපිටින් සිටි වසීම් ද? එසේ නැතිනම් කිසිවකු විසින් ඝාතනය කැරුණු වසීම්ගේ මළ සිරුරද?
කෙනකු මරා පිළිස්සුවා ද, පිළිස්සීම නිසා මැරුණා ද යන්න අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මූලික වශයෙන්ම නිගමනය කළ හැකි එක් සාධකයකි කාබන් මොනොක්සයිඩ ශරීරගත වීම. මූලික ලෙස පිළිස්සුණු මළ සිරුරක පෙනහළු පරීක්ෂා කරද්දී කාබන් මොනොක්සයිඞ් හෝ අළු වැනි ද්‍රව්‍ය තිබීම හෝ නොතිබීම මත මරණය සිදු වූ ආකාරය ගැන අධිකරණ වෛද්‍යවරු නිගමනය කරති. ඒ අනුව සමහරුන් සිතන පරිදි ගිනිගෙන ඇත්තේ වසීම්ගේ නිසල සිරුරය.
2015 මාර්තු මාසයේ දී පොලිසිය කීවේ රගර් ක‍්‍රීඩක වසීම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ආවේ වසර දෙක හමාරකට පමණ පසු බවයි. එහි ඇති යම් යම් දත්ත අනුව වසීම්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවාදැයි සැක සහිත බව පොලිසිය කීවේය. ඒ අනුව වසීම්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට පැවැරිණි.
එම පරීක්ෂණයේ දී අනාවරණය වූයේ වසීම්ගේ මරණය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව හා අධිකරණ වෛද්‍ය වාර්තාව පරස්පර බවයි. එනම් ඉන් එක් වාර්තාවක් කිසියම් හේතුවක් නිසා කාගේ හෝ කීමට වෙනස් කළාදැයි සැකයක් මතු විය.
ඒ අනුව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.
වසීම් තාජුදීන් දස වධ දී මරා දමා ඇතැයි හෙළි වූයේ ඉන්පසුය. ඔහුගේ දත්, ඉළ ඇට හා පාද කඩා දමා තිබිණි. ඔහුගේ ගෙලට උල් අයුධයකින් ඇණ ඇති බවත්, හිසට මොට ආයුධයකින් පහර දී ඇති බවත් සොයා ගෙන තිබේ.
මේ සියලූ කාරණා සොයා ගත්තේ තාජුදීන්ගේ මරණයෙන් වසර තුනකට පසුය. ඊළඟට ගැටලූව වන්නේ වසීම් මරා දැමුවේ කවුද? කාගේ උවමනාවට ද යන්නයි. ඒ ගැන ද රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අප දන්නා පරිදි වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පෙම් පලහිලව්වක් නිසා වසීම් මරා දැමූ බව ඔහුගේ හිතමිත‍්‍රාදීහු කියති.
වසීම්ගේ මරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් ද සැක කෙරෙන බව දැන ගන්නට තිබේ. වසීම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ළඟදීම කිහිපදෙනකු අත්අඩංගුවට පත්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අපරාධ කළවුන්ට නිදහසේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත්වන්න හැකිද? (නි)
සත්‍ය ජය ගනී ....වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබේවා කියා පතමි .(ම)
වහාම එල්ලුම් ගස යලි ක්‍රියාත්මක කරන්න. (නදී)
අපරාධකරු කවුරු වුණත් කමක් නැහැ, එල්ලුම් ගහට යවන්න (නි)
සත්‍යනම් වහාම අත්ඩංගුවට ගන්න (නදී)
මේ තමයි ආසියාවේ ආස්චර්ය (නදී)
සත්‍ය කවරදාක හෝ ජය ගනී. මෙම අපරාධය ලොවටම හෙළිකරන්න (නි)
මෙවන් අපරාධ කළ අයගේ හෘද සාක්ෂිය කෙසේ වෙතත් ස්වභාවධර්මය තුළින් ඔවුනට නිසි පරිදි දඩුවමක් ලැබේවි! (ම)
රිය අනතුරකින් ඇට කටු බිඳෙන්නයි, ඔලුවට යකඩ වදින්නයි පුළුවන් නේද? (නදී)
දැන් ඔය ප්‍රබලයන්ගේ බලය නැත. රාජකාරි නොකළ ජ්‍යෙෂ්ඨයනුත් නැත. ඔවුන් සියල්ලටම දඬුවම් කළතුය. අහිංසක මිනිසාට නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟිය යුතුය. (නි)
යහපාලනය කියන එක දැන් ලංකාවේ ඇති බව ආශ්චර්ය සිහිනේ ඉන්න අයට පෙන්නවා , දැනේවා (ම)
රටට අවශ්‍ය වටිනා ක්‍රීඩකයෙක් මැරූ මිනිසුන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතු වේ. නැත්නම් ඔවුන්ටත් එවැනිම ආකාරයට දඬුවම් ස්වභාව ධර්මයෙන් හෝ ලැබිය යුතු වේ. (නි)
මිනිසුනේ, දැන්වත් ඇස්හැර බලාපල්ලා! (නි)
කොටි/භීෂණ වධකාගාර තිබුන යුගය සිහිවේ (නි)
මෙම මරණය සම්බන්ධයෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කළ ඉහළ පොලිස් නිලධාරියාගෙන් කට උත්තර ලබා ගෙන මෙම සාහසික ක්‍රියාවට සම්බන්ධ වුවන් පිලිබඳ සියලු විස්තර සමාජයට එළී කළ යුතුයි. (ම)
කවද බලමු අපරාධකාරයා? (නි)
පවු වටිනා ජීවිතයක්! (නි)
ජනාධිපතිතුමනි, වහාම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. නැත්නම් නුදුරේදීම අපේ දරුවන්ට පාරේ බැහැලා යන්නන බැරි තත්වයක් උදාවෙනවා. ඔබතුම විධායක බලතල නැතිකළා වගේ එල්ලුම්ගහ සක්‍රිය කළොත් ඉතිහාසගත වෙනවා (නි)
දැන්වත් අපේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා කියල පතනවා. ඔය වගේ අහිංසක කීදෙනෙක් බිලිගන්න ඇද්ද? මේවා හෙණගහන අපරාධ. නීතිය ක්‍රියාත්මක කරන්න (නි).
දක්ෂතාවය සහ හැකියාවද මරන්න හේතුව? අනේ වගකියන මහත්වරුනි, සාධාරණය ඉටුකරන්න. මේ වගේ අපරාධ වෙන්න දීලා බලා ඉන්නද අපි? (නි)
මෙහි සුළමුල අපිට ඉක්මණින්ම දැනගන්න ලැබේවා! (නි)
සත්‍ය එළිදකින්න !!! ගරු ජනාධිපතිතුමනි, අප රටට දැඩි නීති ක්‍රියාත්මක කරන්න (නි)
ඔබ ඔබේ හදවතින් අහන්න........ තමන්ගේ හෘද සාක්ෂියට හඬ නගන්න කාටවත් බැහැ (ම)
වහාම අත්අඩංගුවට ගන්න. (නි)
අයියෝ මෙහෙමත් අපරාධ! (නි)
සුළමුල අපිට ඉක්මණින්ම දැනගන්න ලැබේවා (අ)
ගරු ජනාධිපතිතුමනි, වහාම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න.මෙවන් අයට කිසිම සමාවක් දිය නොහැක. මෙයට සම්බන්ධ සියලු දෙනාට මොන දේශපාලකයාගේ කෙනෙක් වුණත්,කාගේ කවුරු වුණත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)
ඔබේ නෙත් වසා ඇති තිමිර පටලය විවර කර හෘද සාක්කියට එකගව හිතා බලන්න කාලය ඇවිත් ලේ සාගරයක ගිල්වා දෙමුවද සත්‍යය යටපත් කළ නොහැකි බව මිනි මරුවන්ට ඔවුන්ට සහය දුන්නන්ට දඩුවම් දෙනු (බ)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)