මේ දිනවල පැවැත්වෙන තරුණ සේවා සභා ප්‍රාදේශීය යෞවන සම්මේලන නිලවරණ පිළිබඳව ඇතැම් තරුණ පිරිස් වෙතින් දැඩි විරෝධතාවක් එල්ල වී තිබේ. විරෝධතා දක්වන පිරිස් ප්‍රකාශ කරන්නේ ජාතික ජන බලවේගය එම කටයුත්ත දේශපාලනීකරණයට ලක්කර ඇති බවය.
විවිධ උපක්‍රම යොදමින් එම පක්ෂයට අයත් පිරිස් ප්‍රාදේශීය සම්මේලනවල නායකත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව ඔවුහු ප්‍රකාශ කරති. මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක පැවැත්වූ එම සම්මේලනවල පැවැති ගැටුම්කාරී තත්වය පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණි. විරෝධතා දක්වන පිරිස් ප්‍රකාශ කර සිටින්නේ රටේ කවර දේශපාලනයක් පැවතියද යෞවන සමිති ව්‍යාපාරය තුළ මේ දක්වාම දේශපාලනයක් නොපැවති බවය.
එසේ වුවද වත්මන් රජය යටතේ ප්‍රාදේශීය යෞවන සම්මේලන පවත්වද්දී ඒවාට එම ප්‍රදේශවල මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි කරවා ගන්නා බවත්, එම සම්මේලනවල නිලතලවලට පත්කර ගැනීම සඳහා ඔවුන් දේශපාලනික වශයෙන් දැඩි බලපෑම් කරන බවත් ය. තම විරෝධය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන තරුණ පිරිස් පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරය ද මාධ්‍ය තුළින් දැකගත හැකිවිය. ග්‍රාමීය ප්‍රදේශවල සමාජයීය වශයෙන් ඉදිරියට ඒමට අවස්ථාව අවම බොහෝ පිරිස්වලට යම් යම් වගකීම් දැරීමට සහ ඉදිරි ජීවිතයට මුහුණදීම සඳහා වූ පුහුණුවක් ලබා ගැනීමට ජාතික තරුණ සේවා සභාව යටතේ ආරම්භ කරන ලද යෞවන සමාජ ව්‍යාපාරය මගින් අවස්ථාව සැලසී තිබුණි. එහෙත් ඇතැම් අවස්ථාවලදී තරුණ සේවා සභාවෙන් සිදුකළ කටයුතුවලදී සමහර දේශපාලන බලපෑම් ඇති වූ බවද පෙනෙන්නට තිබුණි.
රටේ තරුණ පරම්පරාවට රාජ්‍ය මට්ටමින් මග පෙන්වන යොවුන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මුලින්ම අවධාරණය වූයේ 1967 වසරේදී ය. එවකට එම රජයේ රාජ්‍ය කටයුතු පිළිබඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම සඳහා වූ පනතක් එම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. “ස්වේච්ඡා ජාතික තරුණ සේවා පනත” නමින් ඉදිරිපත් කළ එම පනත අනුව ජාතික තරුණ සේවා සභාව පිහිටු වූ අතර එහි පළමු සභාපතිවරයා වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියකු වූ ඩී.එම්.පී.බී. දිසානායක මහතාය. කෙසේ වුවද ඉතා සීමිත ඉඩකඩක, සීමිත කාර්ය මණ්ඩලයක් සමග ආරම්භ කළ එම ආයතනයට තරුණ පරපුර වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට මුල් අවස්ථාවේ ඉඩක් නොලැබුණු බව පෙනේ.
1970 මහ මැතිවරණයෙන් පසු සමගි පෙරමුණු රජය බලයට පත්වූ අතර අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වූ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය තරුණ සේවා සභාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූවාය. ඇගේ සැමියා වූ කුමාර් රූපසිංහ මහතා සමග ඔවුන්ගේ දේශපාලන තරුණ ව්‍යාපාරය වූ “ජනවේගයේ” අවශ්‍යතා අනුව තරුණ සේවා සභාව මෙහෙයවන තත්වයක් ඇතිවිය. එහිදී වැඩි උනන්දුවක් දැක්වූයේ රුසියාවේ සහ චීනයේ එවකට ක්‍රියාත්මක වූ සමූහ ගොවිපොළ ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමටය. එම රටවල ගොවීන්ට පෞද්ගලික ඉඩම් අහිමිකර සමූහ ගොවිපොළ වශයෙන් හැඳින්වූ ක්‍රමයට අනුව සියලු දෙනා එකතු වී ගොවිතැන් කිරීමට කටයුතු සලසන ලදී. ජනවේගය ව්‍යාපාරය තරුණ සේවා සභාව හරහා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක තරුණ සමූහ ගොවිපොළවල් ඇති කරන ලදී. එම යුගයේදී එරමිණියාය ගොවිපොළ, සිරිමාපුර ගොවිපොළ, වළකුඹුරමුල්ල ගොවිපොළ, සුනේත්‍රා ගොවිපොළ සහ චන්ද්‍රිකා ගොවිපොළ එසේ අරඹන ලද සමූහ ගොවිපොළ විය. ඒ අනුව, තෝරාගත් භූමියක තරුණ ගොවීන් සම්බන්ධ කරගෙන සමූහ ගොවිපොළ ඇති කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් ඒවා සාර්ථක වූ බවක් පෙනෙන්නට නොතිබුණි. 1977 දී නව රජයක් බලයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරය අවසන් විය. රටේ තරුණ පරපුරට ඔවුන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂා මුඳුන් පත්කරවා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යොවුන් කටයුතු පිළිබඳව අමාත්‍යාංශයක් පිහිටුවීමට ඔහු පියවර ගත් අතර එම අමාත්‍යාංශයේ ප්‍රථම අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේය. තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස චරිත රත්වත්තේ මහතා පත් කරන ලදී.
නව අමාත්‍යාංශය විසින් ගනු ලැබූ ප්‍රධාන පියවරක් වූයේ තරුණ සේවා සභාව නව ක්‍රමයකට ස්ථාපනය කිරීමත්, ඒ සඳහා අවශ්‍ය වූ නව නීති සම්මත කර ගැනීමත් ය. ඒ අනුව 1978වසරේදී ජාතික තරුණ සේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් අතර එය විශාල කාර්ය භාරයක් පැවරුණු රටේ වගකිවයුතු ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලදී. නව පනත මගින් තරුණ සේවා සභාවේ වගකීම් පුළුල් කරන ලද අතර ඒ සඳහා තරුණ සහභාගීත්වයට ඉඩ සැලසෙන හා රටට සහ සමාජයට වැඩදායි තරුණ පරපුරක් බිහිකිරීම සඳහා වූ ක්‍රියාකාරකම් පවත්වා ගෙන යෑමට පියවර ගන්නා ලදී. එම අමාත්‍යාංශ විසින් ඉටු කරනු ලැබූ තවත් ප්‍රධාන මෙහෙයක් වූයේ මහරගම නගරයේ ජාතික යොවුන් සේවා ගොඩනැගිල්ල ඉදි කිරීමයි. රටේ යොවුන් පිරිස්වලට තම නිපුණතාව එළි දැක්වීම සඳහා සුදුසු වාතාවරණයක් සහ පහසුකම් සැලසෙන අයුරින් නිර්මාණශීලී ආකාරයෙන් එම ගොඩනැගිලි පද්ධතිය ඉදි කෙරිණි.
නව ආරකින් 1978 වසරේදී ජාතික තරුණ සේවා සභාව ස්ථාපිත කිරීමෙන් පසු ගතවූ කාලපරිච්ඡේදය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදි පැහැදිලි වන්නේ රටේ යොවුන් පරපුරට තම දක්ෂතා සහ හැකියා ඔප් නංවා ගැනීමට ඉඩ ලැබෙන සංවිධාන ව්‍යුහයක් ඒ තුළින් ගොඩනැගී ඇති බවය. යොවුන් සමිති, රටම සම්බන්ධ කෙරෙන තරුණ සම්මේලන, ක්‍රීඩා කටයුතු, තරුණ ව්‍යවසායන් බිහි කෙරෙන නිස්කෝ ව්‍යාපාරය, කලාකරුවන්, සංගීතවේදීන් සහ රංගන ශිල්පීන් බිහි කරන බෙල්වුඩ් ආයතනය ආදිය ඒ යටතේ බිහිවිය. ඒ තුළින් රටට දායාද කළ දේශපාලන නායකයන්, සමාජීය ක්‍රියකාරීන්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන්, ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන්ගේ ප්‍රමාණය අතිමහත් ය. රටේ තරුණ පරපුරේ ගැටලු හා ප්‍රශ්නවලට තිරසාර සම්පූර්ණ විසඳුමක් ඒ තුළින් නොලැබුණද රාජ්‍ය ආයතනයක් ලෙස යොවුන් පරපුරේ අනාගතය හැඩගැස්වීම සඳහා අතිවිශාල කාර්ය භාරයක් තරුණ සේවා සභාව ඉටුකර ඇති බව පැහැදිලිය.
1978 සිට 2025 දක්වා වූ වසර 47ක කාලය තුළ විවිධ රජයන් බලයට පත්වූ අතර යෞවන කටයුතු භාර ඇමතිවරු කිහිප දෙනෙක්ම එම කාලය තුළ පත් කරනු ලැබූහ. ජාතික තරුණ සේවා සභාවට සභාපතිවරුන් ද සැළකිය යුතු පිරිසක් පත් කරන ලදී. එසේ වුවද එම කවර රජයකින් හෝ ඇමතිවරුන්ගෙන් හෝ සභාපතිවරුන්ගෙන් යොවුන් සම්මේලන පිහිටුවීමේදී හෝ ඒවා පවත්වාගෙන යාමේදී දේශපාලන බලපෑම් එල්ල වූයේ යැයි සමාජයේ කතාබහට ලක් වූ මාතෘකාවක් වන අයුරින් කිසිදු අවස්ථාවක ප්‍රබල චෝදනා එල්ල වූ බවක් නොපෙනේ.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදී රජයට පක්ෂපාතීව කටයුතු කිරීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ග්‍රාම නිලධාරීන් වැනි සමාජ ක්‍රියාකාරිකයන් රැසක් ඝාතනය කරන ලදී. එසේ වුවද තරුණ සේවා සභාවේ නිලධාරීන් රටේ යොවුන් පිරිස් සමග බද්ද වී කටයුතු කළද ඔවුන් ඝාතනය කිරීම් පිළිබඳව වාර්තා වන්නේ ඉතා අඩු මට්ටමකිනි. ඒ තුළ පැහැදිලි වන්නේ එම තරුණ සේවා කටයුතු සහ යොවුන් සමාජ සේවා ව්‍යාපාරය දේශපාලන බලපෑම් වලින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු කර ඇති බවයි. තරුණ සේවා සභාව ආරම්භයේ සිට ගතවූ කාලය තුළදී 1970“ජනවේගය” ව්‍යාපාරය ඔස්සේ යොවුන් සමාජ සේවා ව්‍යාපාරයට දේශපාලනය පිවිසි ආකාරය ඉහතින් විස්තර විය. 1970-1977 සිරිමාවෝ මැතිනියගේ රජයට ද ජනතා කමිටු, ජනතා සභා ආදිය පිහිටුවීම මගින් ප්‍රාදේශීය මට්ටමින් තම දේශපාලන පක්ෂය මූලික කරගත් පාලනයක් ගොඩනැගීමට කටයුතු කළ අතරම යොවුන් ව්‍යාපාරය ද දේශපාලනයට යොදා ගන්නා ලදී.
මෙම ආණ්ඩුව ද ගමේ සමුපාකාර සමිති ඇතුළු සමිති සමාගම්වල බලය තහවුරු කර ගැනීමට මෙන්ම යොවුන් සමිති බලයද තහවුරු කර ගැනීමට කටයුතු කරන බවක් පෙනේ. සිරිමාවෝ මැතිනියගේ රජය තම කාලපරිච්ඡේදය අවසානයේදී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලබාදෙමින් පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාවෙන් අටක් පමණක් ලබා ගනිමින් අන්ත පරාජයකට පත්විය. අසීමාන්තික දේශපාලන අතපෙවීම්වලට ජනතාව ලබාදුන් පිළිතුර එය විය. සෑම දේශපාලන පක්ෂයකටම ඉන් උගත හැකි පාඩම් බොහෝය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
යෞවන නිලවරණ දේශපාලන අතපෙවීම්