(ඉකුත් සතිය හා සම්බන්ධයි)
කඳ සුරිඳුන් ප්‍රිය කරන සුදන චර්යාධර්ම මොනවාදැයි හඳුනාගෙන තිබේ. සැබවින්ම දෙවියන් ඉදිරියට එන බැතිමතා තුළ ප්‍රබල පෞරුෂයක් තිබිය යුතුය. නිවටයන්ට උදව් කරනු නොලැබේ. ඊට හේතුව දේවශාන්තියකින් නිවටකම පිසදා දැමීම කළ නොහැකිවීමයි. අසරණ අයට පිහිට වීම ආදී උදාර වූ චර්යාධර්ම කිහිපයක්ම මේවාට ඇතුළත්ය. එක්තරා පුද්ගලයෙකු (දිසාපතිතුමෙකු) විපතකින් මුදවා ගැනීමට කඳ සුරිඳුන් මැදිහත් වූ සත්‍ය සිද්ධියක් දක්වමි.

ඒ 1988--89 භීෂණ සමයයි. සති අන්තයේ සිකුරාදා ස්වකීය රාජකාරි නිමවා මේ දිසාපතිතුමා බදුල්ලේ සිට තම නිවස පිහිටි මාතරට යාමට එමින් සිටියා. ඔහුගේ කාරය දැන් තණමල්විල පසුකොට ඉදිරියට එයි. රාත්‍රී අටත් පසුවී ඇති නිසා කලුවර දැඩිය. මේ දිනවල මිනිස් ඝාතනද බහුල විය. සවස හයෙන් පසු මංමාවත් වල මිනිස් පුලුටක්වත් නැත. තරමක ඈතින් පාරේ කවුදෝ හිටගෙන සිටියි. කාරය ළං වෙනවාත් සමගම පාරේ මැද සිටි අයෙකු වහා අයිනට ගොස් කාරයට අත දිග දැමීය. ඒ පන් මල්ලක් අතින් ගත් මහලු අයෙකි. හාත්පස ඝන අඳුරින් වසාගෙනය. හැම අතින්ම පරිසරය බියජනකය. මේ වියපත් මගියා කෙරෙහි දයානුකම්පාවෙන් කාරය නවතා පසුපස දොර ඇර දී ඔහුද හිඳුවාගෙන ඉදිරියට එයි. එතැන සිටම මේ මගියා දිසාපතිවරයා සමග කතා කරයි. කතරගමට වඳින්නට යමුයි දිගින් දිගටම මගියා කියයි. ඔහුගේ කීමට අවනත වූ දිසාපතිවරයා කාරය පන්නගමුව හන්දියෙන් හරවා දිගටම කතරගම පැමිණ රථගාලක රිය නතර කළේය. දෙදෙනාම ගොස් කිරිවෙහෙර වැඳ එයින් පහතට බැස බෝධියට ද වැන්දහ. ඉන්පසු මහා දේවාලයේ ඉදිරිපස මිදුලේ රැඳී දේවාලය දෙසට හැරී දෙවියන්ට පින් දී දැන් ආපසු එති. මෙකී සියලුම වන්දනා කටයුතුවලදී මහලු මගියා කී පරිද්දෙන් කිරීමට දිසාපතිවරයාට සිදුවිය. දැන් දෙදෙනාම කාරයට නැගී තිස්සමහාරාම දෙසට එති. පාරේ විදුලි පහන් කණුවල එළියෙන් කාරයේ රියදුරුට පසුපස අසුනෙහි සිටින්නා ඉදිරිපස කණ්නාඩියෙන් පෙනේ. දැන් දිසාපතිවරයා සිතනුයේ මාතරට සැතපුම් හැට පහක පමණ දුරක් යාමට ඇති බවත් වේලාව රාත්‍රී දොළහට ආසන්න බවත්ය. ඔහු සුපුරුදු වේගය වැඩි කොට තිස්සමහාරාම චෛත්‍යය පෙනෙන ඉසව්වට පැමිණියේය. නිකමට මෙන් රියදුරු ඉදිරිපස කණ්නාඩියෙන් පසුපස අසුන බැලීය. ඊළග විදුලිකණුව ළඟදී හොඳින් බැලීය. පුදුමයකි. මහලු මිනිසා කාරය ඇතුළේ නැත. දිසාපතිවරයා කාරය නතර කළේය. පසුපස දොර ඇර බලන විට මහල්ලාගේ පන් මල්ල පමණක් අසුන උඩ තිබුණි. පුද්ගලයා තිස්සමහාරාම මහසෑය ආසන්නයේදී අතුරුදන් වී ඇත. එම පන්මල්ලද කිසියම් නිවසකින් ඉවත දමන ලද දිරාපත් එකකි. සිත දැඩි කර ගත් දිසාපතිවරයා ස්වකීය ගමන ආරම්භ කළේය. තංගල්ල ආසන්නයේදී පොලිසිය විසින් කාරය නතර කරන ලදී. ඔවුන් මෙතුමා ගැන විස්තර විමසා ප්‍රකාශ කළේ “සර්, මීට ටිකකට කලින් මෙතනට ආව නම් මේ කාර් එකටත් වෙන්නේ අර වගේ දෙයක් තමා යයි ගිනි තබනු ලැබූ කැබ් රථයක් පෙන්වා ඇත. ඉන්පසු නිරුපද්‍රිතව නිවසට පැමිණි දිසාපතිවරයා ස්වකීය නිවැසියන්ටද කාර්යාලයට ගියපසු එහි කාර්ය මණ්ඩලයටද ප්‍රකාශ කොට තිබුණේ අතරමගදී තමන්ට සිදුවීමට තිබූ මාරකයකින් මා මුදවාගත්තේ කතරගම දෙවියන් මිස අන් කවුරුවත් නොවන බවයි. එදා සිට අද දක්වා සෑම වර්ෂයකම අර මහල්ලා හමුවූ දිනය දාට මේ දිසාපතිවරයා කතරගමට වන්දනාව පිණිස එයි.
සී. කුමාරසූරියර් මහතා විසින් සුරිඳුනි කතරගම 2011 සඟරාවෙහි දක්වනු ලැබ ඇති පරිදි කතරගම දෙවියන් යනු මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින අසාමාන්‍ය දෙවි කෙනෙකි. ඔහු දක්වන කතාව මෙසේය. සෙල්ල කතරගම පදිංචි වැදි තරුණියක වන වල්ලි අම්මා සොයමින් යන කතරගම දෙවියන් වයසක මිනිසෙකුගේ වේශය මවාගත් බව කියයි. එම වයසක මිනිසා අතරමගදී සාමාන්‍ය මිනිසුන් සමග සුහදව කතාබහ කළ බව ද සඳහන් කරයි. වල්ලි අම්මා සොයා ගත් මහල්ලා ඇයව විවාහයට ගනියි. ඉන්පසුව ඔහු මහලු මනුෂ්‍ය වේශය අත්හරියි. එදා දිසාපතිවරයාට මුණ ගැසුනේද පන් මල්ලක් ගත් මහල්ලෙකි. ඇමරිකාවේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන රත්නායක මහතාද මෙවැනි කතරගම මහල්ලෙකු පිළිබඳව අප සමග කියා තිබේ.
මහාචාර්ය රත්නායක මහතා තමන්ගේ ගම වන තිස්සමහාරාමයට පැමිණ සිටියේ ඇමරිකන් ජාතික මහාචාර්යවරයෙකු සමගය. මෙයින් ඇමරිකන් ජාතික මහාචාර්යවරයාගේ පර්ස් එක කතරගමදී නැති විය. කිරි වෙහෙරට ගොස් ආපසු එන අතරේදී පර්ස් එක නැති බව දැනගෙන තිබේ. එදින සෙනග ද තරමක් වැඩිපුර සිටි බවද පැවසීය. නැවත දෙදෙනාම ගොස් කිරිවෙහෙර අවට සහ පාර දිගට පරීක්ෂා කළ නමුත් පර්ස් එක හමු නොවීය. දෙදෙනාම මහ දේවාලයේ මිදුලෙහි රැඳී සිටියහ. ඇමරිකන් ජාතිකයා දැඩි කනස්සල්ලට පත් වී සිටි බවද තමන්ට ලොකු ලජ්ජාවක් ඇති වූ බවද රත්නායක මහත්මා පැවසීය. පුදුමයකි. සෙනග අතරින් පැමිණි වයසක අයෙකු ඇමරිකානු මහාචාර්යතුමාගේ අතට පර්ස් එක දී සෙනග අතරේම නොපෙනී ගිය බවත් එකී පර්ස් එකෙහි තිබූ කිසිවක් අඩු වී නොතිබූ බවත් මහාචාර්ය රත්නායකයන් අපත් සමග කීය. ඉතිහාස කතාවේ වල්ලි අම්මා කරකාරයට ගත්තේද මහලු අයෙකි.
මේ මහ පොළොව අති විශාලය. ඒ කුඩා ජීවීන් වන අපට දැනෙන හැටිය. ඒ එසේ වන්නා සේම පෘථිවිය විශ්වයෙහි ඇති කුඩා තරුවක් පමණි. මේ සූර්යය හා සමාන තවත් සූර්යයන් බොහෝ ගණනක් ඇත. ඒ අනුව තාරුකා ප්‍රමාණයද අති විශාල සංඛ්‍යාවකි. එසේ බලන විට තවත් පෘථිවීන් සහ ජීවින් ද ඉමහත් සංඛ්‍යාවකි. ඒ එසේ නම් එම පෘථිවීන්හි මනුෂ්‍යයන් සිටීමද ඒකාන්තය. මේ අනන්ත වූ විශ්වයද විශ්වයේ ඇති බලයද මේ මෙසේ යයි කොටස් කිරීමට හෝ මිම්මකට ගැනීමට හෝ කළ හැකි නොවේ. ඉතා ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලි මහතාගේ පරීක්ෂණ වාර්තා අනුව ජීවීන් වාසය කරන ග්‍රහලෝක ලක්ෂ ගණනක් බව පැහැදිලි වෙයි. පොළොවෙහි ද සාගර ජලයෙහි ද වායු ගෝලයෙහිද ජීවත් වන සියලුම ජීවීන් පවා මෙතෙක් හඳුනාගෙන නැත. මිනිස් ඇසට පෙනෙන සහ නොපෙනෙන එහෙත් හඳුනා නොගත් ජීවීහු කෙතරම් සිටිත්ද? තවද ඇසට නොපෙනෙන පමණින් අදෘශ්‍ය සාධක අභෞතික වෙයිද? සියලුම විද්‍යාත්මක ගවේෂණවල ප්‍රධානම අරමුණ මිනිසුන්ගේ දීර්ඝායුෂය රැකගැනීම සහ සුඛ විහරණය වැඩි දියුණුවයි. එහෙත් එක් ක්ෂණයකින් සියලු ජීවීන් එකවර විනාශ කිරීමට විශ්වයේ ඇති බලයට හැකියාව තිබේ. සත්ත්ව සන්හතියේ අධිකතාව හෝ ඌනතාව හෝ පාලනය කරන්නේද ඒවා සමතුලිතව තබාගන්නේද ස්වභාවධර්මයයි. අනාගත ව්‍යසනයන් පිළිබඳ කිසිදු පෙර නිමිත්තක් නොදක්වා ජීවින්ගේ වැඩි කොටස (මොනයම් අයුරකින් හෝ) විනාශ කොට සමතුලිතතාව ඇති කරනු ලබයි. මෙබඳු අවස්ථාවන්හිදී මිනිසුන්ට පිහිටක් ලබා දී තිබෙන්නේ අදෘශ්‍යමාන බලවේගයන්ය. හදිසි ආපදා සහ විපත්වලින් මිදී සැනසීමක් ලැබුවෝ කඳසුරිඳුන් ඉදිරියෙහි පූජෝපහාර තබා දෙවියන්ට ස්තූති කළහයි විස්තර කතා කියන අය අපට හමුවී තිබේ.
අවසන් වශයෙන් තව කරුණක් සඳහන් කරමි. යුරෝපීය මනෝවිග්රහාත්මක ප්‍රබන්ධ කතාවල සඳහන්ව තිබෙන ගුප්ත බලවේග සහ අසාමාන්‍ය සිද්ධීන් සියල්ලම පාහේ නිර්මාණය වී තිබෙන්නේ සත්‍ය අත්දුටු සිද්ධීන් පාදක කරගෙනය. ඒකී ග්‍රන්ථවල එන පූර්විකාවන්හි ඒ බව සඳහන් වේ. ඒවා නිබොරු නම් කඳ සුරිඳුන් පිළිබඳව සහ එතුමන්ගේ බලපරාක්‍රමය රජයන පුදබිම පිළිබඳව සත්‍ය අත්දුටු දේ ඉදිරිපත් කරන්නට යම් දැනීමක් ලබා සිටිමු. සැමට කඳ සුරිඳුන්ගේ දේව ශාන්තිය ද ආරක්ෂාවද ලැබීමෙන් සැනසීම හා සතුට ලැබේවා යනු අපගේ ප්‍රාර්ථනයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුන්, ඔයා වගේ අය තවමත් ඉන්න නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට කපිල, 88-89න් පස්සේ ඉතුරු අය දැන් කරන දේවල් බැලුවහම ඔවුනුත් හිටියා නම් ලංකාවට මෙහෙමවත් ඉන්න ලැබෙන්නේ නැහැ (නි)
88-89 කාලේ නිරපරාදේ අහිංසක තරුණ තරුණියෝ මරාදානවා ඇත්තටම දෙය්යෝ දැක්කේ නැද්ද?? (බ)
මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)
"දැක, විමසා, විශ්වාස කරන්නෝ පින්වන්තයෝය." (නි)
මමත් විශ්වාස කරනවා කතරගම දෙවියෝ ගැන ඔබ සැමටත් දෙවිපිහිටයි.! (ර)
මා අසා ඇති පරිදි, යම් කාන්තාවකට පිරිමියෙක්ගෙන් අසාධාරණයක් වෙලා එම කාන්තාව කාලි මෑණියෝ ඉදිරියට ගොස් පලි ගැසුවොත් අනිවාර්යයෙන්ම කෙටි කාලයකින් දඩුවම් ලැබෙනවා. කාන්තාවගේ ශීලවන්ත ගුණය වැඩිවෙන තරමට ප්‍රතිඵලය ඉක්මන් හා දඩුවම් බරපතලයි. ගැහැනු අනාත කරලා පැනල යන පිරිමින් ප්‍රවේශම් වෙන්න ඕනේ.දඩුවම් එන්නේ අනතුරටක් විදිහට.පොඩ්ඩක් විමසිල්ලෙන් හොයල බලන්න ඔය හිටිගමන් බෙල්ල කඩා ගෙන යන විදිහේ නැත්නම් වාහනයකට යටවෙලා යන ,ගස් වලින් වැටෙන වගේ අනතුරුවලින් මිය ගිය පිරිමින් ගැන. ඇතැම් විට එහෙම ශාපයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්, කෙසේ වෙතත් එහෙම පලි ගහපුවම ඒ පලි ගහන යටත් එකෙන් පවක් සිද්ද වෙනවා.මොකද වෛරය ඇතිව තමයි එක කරන්නේ. එහෙම තමාට අසාධාරණයක් වුණාම කරන්න තියෙන හොදම දේ ඒක තම කළ කර්මයක පලයක් ලෙස සලකා ,මෛත්‍රි කරන්න බැරිනම් අඩුගානේ වෛර කරන එකෙන් මිදෙන්න. කොහොම වුණත් මේවා හොයල බලල පිළිගන්න.(අ)
මමත් කතරගම දෙවිඳුන් අදහන කෙනෙක්. මේ කතා මමත් පිළිගන්නවා (නි)
මම නම් විශ්වාස කරන්නේ දෙවියන් යනු තම සිතයි. (නි)
රොෂාන්, මගේ නම් අවබෝධය විශ්වාශය නොවේ වැදගත්, අවබෝධය කියලයි. විශ්වාසයකට පදනමක් අවශ්‍ය නැත. බලන්න නිර්මල කෙතරම් විශ්වාසයකින්ද අර උඩ දාලා තියෙන අදහස ලියලා තියෙන්නේ. ඒත් වැඩක් තියෙනවද? අවබෝධය නැහැ. චත්ත මානවකට බුදුහාමුදුරෝ වෙන පාරකින් යන්න කියලා කියන්න තිබුනානේ කියලා කියන්නෙත්, අංගුලිමාල ඇඟිලි දාහක් කපනකම් බුදු හාමුදුරුවෝ දැක්කේ නැද්ද කියලා අහන්නෙත්,දළදා මාළිගාවට බෝම්බ ලොරියක් එනකම් දෙවියෝ දැක්කේ නැද්ද කියලා අහන්නෙත් ඔය වගේ අවබෝධයක් නැති අය තමා (නි)
ලංකාව දුප්පත් වෙලා තිබෙන්නේ සුපුන් වගේ අය ලංකාවේ උපත ලබා පිට රටවලට ආවඩන නිසා. ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන මිනිසුන් අපේ රටට මහා ඛේදවාචකයක්. (නි)
වැදගත් ලිපියක් (නි)
කපිල, දෙවියන්ට වුණත් පොඩි මිනිහගේ දුක පෙනෙන්නේ නැහැ (නි)
සෑම දෙයක්ම පිලිබදව ප්‍රතිපල ලැබෙන්නේ ඇති විශ්වාශය, කැපවීම මත, ඉස්ලාම් භක්තිකයන් අල්ලාහ් දෙවියන් වෙනුවෙන් සලත කිරීමෙන්, ඔවුන් විශ්වාසකරන්නේ සෑම දෙයක්ම අල්ලාහ් දෙවියන් ලබාදෙන බවටත්, ලබුන බවටත්.......(බ)
මම නම් මේ දේවල් ගැන එච්චර හිතන්න යන්නේ නැහැ (නි)
එක බවයකින් සසර කෙලවර වේ යනුවෙන් සිතාගෙන සිටින මිත්‍යා දෘෂ්ටිකයන්ට අනුව නම් ඇමෙරිකාවේ හෝ එංගලන්තේ දියුණුව පරම දියුණුවයි. එම නිසා එම රට වල මිනිස්සු සසර දුක කෙලවර කර ඇත. එහෙත් එසේ දියුණු රටවල් වල මිනිසුන් දැන් දැන් බුදු දහමේ සරණ සොයා යන වේගය වැඩියි. අප මේ බවයේ ගත කරන්නේ සසරේ ගමන් කරන කාලයට සාපේක්ෂව ඇසි පිය ගසන මොහොතකටක් අඩු කාලයක් බව අවබෝධ කරගත හැකි ප්‍රඥාවන්තයන්ට වැදගත් වන්නේ චතුරාර්යය සත්‍යය අවබෝධ කිරීමට අභ්‍යන්තරයෙන් අතික්රන්ගන්න ආධ්‍යාත්මක දියුණුවයි. පෙර කල වූ පි පව් අනුව ඒ ඒ අයට ඒ ඒ දෘෂ්ටි ඇතිවෙනවා. (ර)
කතරගම දෙවියන් ගැන මට පුදුම භක්තියක් තියෙන්නේ. (ර)
දෙවියන් ගැන විස්වාස කිරීම් හෝ නොකිරීම පුද්ගලික කාරණාවක්. නමුත් තවත් කෙනෙකුගේ විශ්වාසයට අපහස කිරිමට කාටවත් අයිතියක් නැත. මගේ විශ්වාසයට අනුව දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ දෙවි පිහිට පතන සහ ඒඅනුව ජීවත් වන අයට පමණි. එසේ නොවන අයට දෙවි පිහිට නොලැබේ. (හේ)
හොඳ ලිපියක් (නි)
මගේ අදහස නම් චිරාත් කාලයක් පවතින කිසිම ආගම් ඇදහිලි විශ්වාස යනාදිය කිසිම පදනමක් නැතුව බිහිවූ දේ නොවේ. මිනිස්සු චිරාත් කාලයක් අත්විඳින දේ අනුව විශ්වාසයන්ට එළඹෙනවා. වෙලා තියෙන්නේ හැම ජන කණ්ඩායමක්ම ඒ ඒ දේවල් තම තමා අල්ලා ගන්නා විදිහට විස්තර කර ගන්නවා. බුදු දහම තමයි ඒ හැමදේම නිවැරදිව විස්තර කරන ධර්මය. (නි)
මගේ නම් හිතේ තියෙන්නේ කතරගම දෙවියන් ගැන ඉතාමත් බක්තියක් සහ විස්වාසයක් .. ජීවිතේ අන්තිම කාලය ගෙවන මා හට කතරගම දෙවියන් පිහිටවුන අවස්ථා එමටයි. බයිබලයේ සඳහන් පාටයක් මෙහි ලා දක්වමි .. " නොදැක විස්වාස කරන්නෝ බාග්‍යවන්තයෝය" .. කතරගම දෙවියන් ජීවමානය. විශ්වාසයෙන් පුද සත්කාර කරන්න. "ඕම් සරවනබවාය නමක් " (ර)
දෙවියන් යනු බුදුන් සරණ ගිය භාවනා වැඩු දියුණු මනසකින් යුතු පිරිසකි. නමුත් බුදුපියාණන් දෙසු කර්මය සහ කර්ම පලය අභිබවා යන්නට ඔවුනට නොහැක. කපිල කියන ලෙස මමත් ඒ දවස් වල සිතුවා. සියලු දෙනාට කතරගම දෙවි පිහිටත් තෙරුවන් සරණත් වේවා ! (නි)
කතරගම දෙවියන් ඇත්තම ඇත්ත. මට පිහිටවුණ අවස්ථා හුඟක් තිබෙනවා. මේක නියම සත්‍යයක්. කතරගම දෙවි පිහිටයි හැමෝටම. (නි)
දෙවියන්ට කියා සිටියේ හිරි හැර කරන කාන්තාවට කරුණා මෛත්‍රී සිත් ඇති වෙන්න කියා. නරක නපුරක් යට වෙන්න කියලා නම් නෙවි. (අ)
හොඳ ලිපියක් (නි)
දෙවියන් ගැන මගේ හිතේ තිබුණු ශ්‍රද්ධාව මේ ලිපිය කියවීමෙන් පසු තවත් වැඩිවුණා (නි)
කටරගම දෙයියෝ හොර වැඩක්නේ කරලා තියෙන්නේ. හිගන්නෙක් වගේ වෙස් වලාගෙන එන්නේ මෙයාට පුළුවන් නේ ඇත්ත වේශයෙන් ම ඇවිත් මනුස්සයින්ට උදව් කරන්න, අනික නැගල යන්නේ අහිංසක මොනරෙක් ගේ පිට උඩ. මේක මහා සත්ව හිංසනයක්. (බ)
ඇමෙරිකාව වගේ රටවල් හොඳට මොලේ වෙහෙසවල ලෝකෙම දියුනු රට බවට පත් වුණා. ඒත් ලංකාවේ අය තවමත් ඉන්දියන් කාරයෝ පස්සේ යමින් දෙයියෝ මත්තේ මැරෙන්න හදනවා ඔය හැටි දෙයියෝ ඉන්නවනම් මේක ලෝකේ දුප්පත් ම රටක් වෙලා තියෙන්නේ ඇයි? (බ)
මට එක්තරා කාන්තාවක් කිසි හේතුවක් නැතුව හිංසා කළා. මගේ මව බෙල්ලන්විල ගොස් තෙරුවන්ට මල් පහන් ආදිය පුදා තෙරුවන් වැඳලා භාවනා කරලා දෙවියන්ට පින් දීලා එහි කතරගම දේවාලයට ගොස් මගේ හිරිහැරය ගැන කියා සිටියා. මගේ මව සිල්වත් ගුණවත් දැහැමි කාන්තාවක්. පුදුමයකට මෙන් ඉන් දින 2, 3 කින් වගේ අර කාන්තාවගේ හිරිහැර නැතිවුණා. ඉන්පසු මට කතරගම දෙවියන් ගැන විශ්වාසය වැඩිවුණා (නි)
කතරගම දේව සංකල්පය ඉපැරණි දේව සංකල්පයක් වන අතර, එය වර්තමාන දෙවියන් ඇදහීමේ හුදු පිහිට යැදීමේ මිථ්‍යා පරමාර්ථයෙන් බිහිවූවක් නොවේ. කතරගම ප්‍රදේශයේ එකල විසූ මිනිසුන්ට ඉතාමත් හිතවත්ව මිනිසුන්ගේ යහපත වෙනුවෙන් බොහෝ දෑ කළ ප්‍රාදේශීය නායකයෙකු මියගිය පසු, ඔහු කළ සේවය වෙනුවෙන් ඔහුට දේවත්වයෙන් පිදීමකි (මහසෙන් රජු, මින්නේරි දෙවියන් වූ ආකාරයෙන්ම). එය ඔහු ජීවත්ව සිටියදී මිනිසුන් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් වූ කෘතගුණ සැළකීම මත පදනම් වූ අහිංසක දේව සංකල්පයකි. (නි)
කපිල, චන්දික, සියල්ල කර්ම පලයට යටත්. දෙවියන්ට එය අභිබවා යා නොහැකියි. ඔවුන්ද යම් පාලනයකට යටත් සත්ව කොට්ටාසයක්. ඉල්ලු පලියට සියලු දේ ලබා දෙන්න ඔවුන්ට බැහැ. මන් හිතන්නෙනම් එහෙම. අනෙක අපිට පෙන්නේ අපිට නොලැබෙන දේ විතරයි. ලැබෙන දේ සම්භාවිතාව අනුව හෝ තමාගේ ස්ව උත්සාහය පමණක් නිසා හෝ කියල හිතනවා, ඒ වෙලාවට දෙවියෙක්ගෙන් හෝ තම මියගිය ඥාති කෙනෙක් උදවු කරන්න ඇති කියලා අපිට හිතෙන්නේ නැහැ, ඒ අපේ හැටි. (ර)
1971 මරාදාපු සිද්දීන් ගැන දන්නෙම නැත්නම් 71 කතරගම රෑප රාජිනියගේ සිද්දිය කියවන්න. මොනරු මරණ මුවන් මරණ උදවිය ඔය පළාතෙත් ඉන්නවා. රටේ අනිත් පළාත් වල වගේම.(කෞ)