අපගේ අනාගත පරපුර, ජාත්‍යන්තරව පිළිගැනෙන හැකියාව සහිත ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම උදෙසා පාසල් තුළ විෂය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවිය යුතු යැයි අදහස් පළ කෙරෙමින් තිබේ. මෑත දී ඉදිරිපත් කෙරුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියෙන් මෙන්ම තම පාලනයක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සියලු පාසල්වලට හඳුන්වා දෙනු ඇතැයි විපක්ෂ නායකතුමා විසින් කර තිබෙන බවට මාධ්‍යයන්හි පළ වූ ප්‍රකාශවලින් මේ බව පෙනී යයි.
මෙම නැඹුරුව ජාතික ස්වෛරීත්වය අගය කරන සහ දේශයේ අනාගත දුවා දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම මෙන්ම ඔවුන්ගේ ස්වදේශිකවාදී ආකල්ප ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව විශ්වාස කරන අවබෝධවත් රටවැසියන්ගේ අවධානයට ලක් විය යුතුය.
ප්‍රකට අධ්‍යාපනඥයකු වූ පවුලෝ ෆ්‍රයර්ට අනුව අධ්‍යාපනය ඉලක්කගත කළ යුත්තේ තමන් සහ සෙසු ලෝකය අසාධාරණයෙන් මුදාගැනීම පිණිස ක්‍රියාත්මක වීමට සමත් විමර්ශනශීලී මනසකින් යුතු සහ මානව හිතෛශී විද්‍යාර්ථියකු බිහි කිරීමටයි. හුදෙක් රැකියා සඳහා ශ්‍රම යෙදවුම් නිර්මාණය කිරීමට පමණක් නොවේ. වඩාත් වැදගත් වන්නේ ජාතික අරමුණු හා දේශයේ අනාගත පරපුරේ ස්වෛරීත්වය වෙනුවෙන් ප්‍රයත්න දැරිය හැකි නිර්මාණශීලී චින්තනයක් සහිත රටවැසියකු බිහි කිරීමයි. ඒ උදෙසා සමාජ අන්තර්ග්‍රහණය තහවුරු කෙරෙන ගුණාත්මක අධ්‍යාපනයක් සැමට ලබා දිය යුතු බවත්, එවැනි අධ්‍යාපනයක් කාර්යසාධනයෙන් යුතුව සැපැයීම සඳහා මවු භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම ඉතා තීරණාත්මක සාධකයක් බව පර් යේෂණ ප්‍රතිඵලවලින් නිරීක්ෂණය වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දැනුම් හිදැස් වැළැක්වීම පිණිස වැදගත් පිටිවහලක් මාතෘ භාෂා මාධ්‍ය අධ්‍යාපනයෙන් ලැබෙන බව ද සමාජයේ පූර්ණ වශයෙන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය බලගැන්වීම ඒ ඔස්සේ සියලු සිසුනට ලැබෙන බව ද ඒ සංවිධානය විසින් පෙන්වා දී ඇත. ඉක්මනින් දැනුම උකහා ගැනීමට සහ නිර්මාණශීලී අදහස් ජනනය කිරීමට උපස්ථම්භක වන්නා වූ මවු බසින් විෂය අධ්‍යාපනය ලබා දීමේ ඇති අතිශය වැදගත්කම ඒ අනුව සක් සුදක් සේ පැහැදිලි වෙයි.
ජාත්‍යන්තරයේ ශ්‍රම වෙළෙඳපොළේ සාර්ථකව තරග කිරීමට හැකි ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කිරීමට අපගේ අනාගත පරපුරේ ඉංගිරිසි භාෂා ව්‍යවහාර හැකියාව දියුණු කිරීම ප්‍රයෝජනවත් බව සත්‍යයකි. ඒ පිළිබඳව විවාදයක් නැත. ඉංගිරිසියට අමතරව ප්‍රංශ, ජපන්, ජර්මන්, හින්දි, චීන වැනි විදේශ භාෂා එකක හෝ කිහිපයක ප්‍රාගුණ්‍යය පමණක් නොව විශේෂ වශයෙන් දෙමළ දරුවන්ට සිංහලෙන් සහ සිංහල දරුවන්ට දෙමළෙන් වැඩ කිරීමේ හැකියාව අනාගත ලෝකයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි සැබෑ ස්වදේශික පුරවැසියන් බිහි කිරීම උදෙසා අත්‍යවශ්‍ය සාධක බව නොරහසකි. එහෙත්, ඒ අරමුණ හමුවේ ස්වභාෂා මාධ්‍යයන්ගෙන් විෂය අධ්‍යාපනය ලබා දීම බාධාවක් විය නොහැකි බව තහවුරු වන්නේ පාසල් අධ්‍යාපනය පමණක් නොව පශ්චාත් උපාධි දක්වා තාක්ෂණික හා විද්‍යාත්මක විෂයයන් පවා තම මවු බසින් ඉගෙන ගන්නා යුරෝපය ඇතුළු බොහෝ රටවල සිසු සිසුවියන් ඉංගිරිසි ඇතුළු වෙනත් විදේශ භාෂා පිළිබඳ ඉහළ ප්‍රවීණත්වයක් ලබාගැනීමට සමත් වී තිබීමෙනි. ඒ උදෙසා විෂය දැනුම ඒ ඒ භාෂා මාධ්‍යයන්ගෙන් ලබා දීම අවශ්‍ය වී නොතිබීමෙනි.
අපගේ ශ්‍රී ලාංකික දුවා දරුවන්ට සිය පාසල් කාලය තුළ අවම වශයෙන් වසර නවයක් පුරා සතියකට පැය තුන හතරක් බැගින්වත් ඉංගිරිසි භාෂාව විෂයයක් ලෙස ඉගැන්වෙයි. මීට අමතරව, සරසවි තුළ ද ඉංගිරිසි භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමට අවශ්‍ය ඉගැන්වීම් සිදු කෙරෙයි. එසේ වෙද්දී පවා සිසු සිසුවියන්ට ඉංගිරිසි භාෂාව වැහැරීමේ හැකියාව ප්‍රමාණවත්ව ලබා දීමට අප අසමත් වී තිබේ නම්, ඊට පාදක වූ රෝග මූල ඇත්තේ ඉංගිරිසි ඉගැන්වීමේ පවත්නා ක්‍රමවේද තුළ විනා දැයේ දරුවන්ට ස්වභාෂා මාධ්‍යයෙන් විෂය අධ්‍යාපනය දීම තුළ නොවේ. ඉංගිරිසි ප්‍රවීණතාව ලබා දීම උදෙසා විෂය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හරවන්නට කතා කිරීම පයේ බරවායට පිටේ බෙහෙත් බැඳීමක් වන්නේ එබැවිනි. එය ඉංගිරිසිත් නොහැකි, විෂය දැනුමෙහි ප්‍රමාණවත් ගැඹුරකුත් නොමැති, ස්වදේශික චින්තනය සහ නිර්මාණශීලීත්වය ද මොට වුණු, බටහිරට වහල් ආකල්ප සහිත අනාගත පරපුරකට අත වැනීමකි.
ඉංගිරිසි දැනුම වර්ධනය කිරීමේ අරමුණට අමතරව ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය මෝස්තරයක් හෝ විලාසිතාවක් වෙමින් යන බවක් ද මේ වන විට නිරීක්ෂණය වෙයි. තමන් අධ්‍යාපනය ලබන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන් යැයි කීම ආඩම්බරයක් වන තරමට සහ සිංහල භාෂාව හැසිරවීමට ඒ තරම් හැකියාවක් තමන් තුළ නැති බව පැවැසීම ලජ්ජාවක් නොවන තරමට මෙම ප්‍රවණතාව වෛරසයක් ලෙස පැතිර යමින් ඇත. ඉංගිරිසිය ස්වභාෂාවන්ට වඩා උසස් බවක් මෙවැනි ආකල්ප දරන්නන් තුළ ඇති බව ද පෙනේ. තම දරුවන් වෙනුවෙන් ඉංගිරිසි මාධ්‍ය පාසල් පමණක් නොව දහම් පාසල් ද සොයමින් යාමට මේ වන විට මධ්‍යම පාන්තික සමාජයේ මවුපියන් පවා පෙළැඹෙමින් ඇත්තේ මේ ප්‍රවණතාව තුළදීය. ඒ තුළ උදුරා දැමෙනුයේ ජාතික සංස්කෘතියේ ජීවනාලිය වන අපේ මවු බසයි.
මේ උපනතියෙන් පෙනී යන්නේ, දේශීය ජන සමාජය ආකල්පීය වශයෙන් සියවසකට පමණ පෙර අතීතයට ආපසු කරකැවී යන බවකි. ස්වභාෂාවන්ට වඩා උසස් සමාජ පිළිගැනීමක් ඉංගිරිසියට තිබූ ඒ යුගය අවසන් කෙරෙමින් දිවයිනේ හතර කොනේ විසූ දරුවන්ට දේශීයව සහ ජාත්‍යන්තරව පවා පිළිගැනීමක් ඇති මට්ටමේ විද්‍යාර්ථීන් බවට පත් වීමේ ඉඩ ප්‍රස්ථාව සැකැසුණේ ස්වභාෂාවෙන් ලබා දුන් නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය. ඒ යුග පරිවර්තනයට මූලික අඩිතාලම දැමුණේ දහනව වැනි සියවසේ මැද දී පමණ මෝදු වුණු ජාතික පුනරුද ව්‍යාපාරයෙනි. ස්වෛරීත්වය අගය කරන ජනසමාජයක් අප රටේ බිහි වීම වැළැක්වීමේ අරමුණ ද සහිතව අධිරාජ්‍යවාදීන් විසින් ස්ථාපනය කෙරුණු ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවට දේශීය අධ්‍යාපන පද්ධතියක් උදෙසා පාර කැපුණේ ඒ ඔස්සේය. වලානේ සිරි සිද්ධාර්ථ හිමියන් විසින් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන ඇරැඹීම ස්වදේශික චින්තනය කැටි වුණු ස්වභාෂා අධ්‍යාපන ප්‍රබෝධයේ එක් වැදගත් සන්ධිස්ථානයකි. ලංකාණ්ඩුවේ ලියාපදිංචි කෙරුණු පළමු බෞද්ධ පාඨශාලාව වූ පාණදුරේ උපාධ්‍යාය විද්‍යාලය සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන විද්‍යාස්ථානයක් ලෙස 1868 දී ඇරැඹෙන්නේ ද මේ විප්ලවයේ එක් කොටසක් ලෙසිනි. පාණදුරාවාදයෙන් තීරණාත්මකව පරාජය කෙරුණු එක් අධිරාජ්‍යවාදී උපායක් වූයේ ද ඉංගිරිසි ගැති වහල් මානසිකත්වය කාවැද්දූ මිෂනාරී අධ්‍යාපන ක්‍රමයයි.
ජාතික පුනරුද ව්‍යාපාරයෙන් බිහි කෙරුණු මෙම ස්වදේශිකවාදී අධ්‍යාපන චින්තනයට ආරම්භයේ පටන්ම විවිධ බාධක දැමීම් හා නොමඟ යැවීම් සිදු කරනු ලැබ ඇති බව ද මේ හා සමගම නිරීක්ෂණය කළ හැකිය. වලානේ නාහිමියන්ගේ පරමධම්මචේතිය පිරිවෙනින් සහ එහි උගත් උන්වහන්සේගේ ප්‍රමුඛ ශිෂ්‍ය යතිවරයන්ගේ මෙහෙයවීමෙන් දියත් වුණු විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යාපනයෙන් නවමු දැක්මකින් ස්වදේශිකවාදී විද්‍යාර්ථීන් බිහි වීමට ඇති ඉඩකඩ වටහා ගත් අධිරාජ්‍යවාදීන් ඉතා සූක්ෂ්මව සිය උපාය තේරුවා විය යුතුය. ස්වභාෂාවෙන් අධ්‍යාපනය දෙන දේශීය චින්තනය සහිත අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ආගමෙන් බෞද්ධ නමුත් අධ්‍යාපන රටාවෙන් බටහිර වූ සහ ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය ලබා දුන් පාසල් පද්ධතියක් ස්ථාපනය වන්නේ ඒ අනුවය.
ස්වදේශිකත්වය හිඳුණු සහ නිදහස් වෙළෙඳපොළ රටාවටම ගැළපෙන ආත්මාර්ථකාමී පාරිභෝගික ප්‍රජාවකින් බහුතරය සමන්විත වූ සමාජයක් ගොඩනැගුණේ ඒ අයුරිනි. මේ ලියුම්කරු ද ඇතුළු සුවහසක් වර්තමාන පුරවැසියන්ට දැනුම් ඉනිමගේ ඉහළ නැගීමට මහෝපකාරී වූ ස්වභාෂා මාධ්‍ය අධ්‍යාපන පිළිවෙතෙන් සහ කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන මෙහෙවරින් ප්‍රතිලාභ ලැබූ පරපුරක් විසින්ම ඒ නිදහස් අධ්‍යාපනය විකෘති කිරීමට සහ ස්වභාෂා මාධ්‍ය අධ්‍යාපනය වැනසීමට තුඩු දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කෙරෙන තැනට පීලි පැන්නීමට හැකි වී තිබෙන්නේ ඒ නිසා විය යුතුය.
රට තුළ නිදහස් අධ්‍යාපනයේ හා ස්වභාෂා ව්‍යවහාරයේ පෘථුලත්වය වඩාත් තහවුරු කරමින් සියලු විද්‍යා ක්ෂේත්‍ර ස්වදේශික චින්තන පද්ධතියක් තුළ ස්පර්ශ කරන ජාතික ස්වෛරීත්වවාදී සැබෑ ශ්‍රී ලාංකික රටවැසි පරපුරක් ගොඩනඟනු වෙනුවට ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාවක් වර්තමානයේදී අප ජනසමාජය තුළ නිර්මාණය වී ඇත්තේ මේ හැසිරීම් අනුවර්තනයේ එක් ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ථිකයේ, සමාජයේ, පරිපාලනයේ පමණක් නොව අධ්‍යාපනයේ ද මේ වන විට සිදු වන්නේ ඉංගිරිසි මාධ්‍ය ආධිපත්‍යය ක්‍රමානුකූලව දැඩි කිරීමයි. විශ්වවිද්‍යාලයේ පටන් පහළට කාන්දු වන පරිදි ජාතික අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ක්‍රමානුකූලව ඉංගිරිසිය දෙසට තල්ලු කිරීමයි.
සියයට අනූවකට වඩා රටවැසියන්ගේ මවු භාෂාව ඉංගිරිසි නොවූ රටක මිනිස් සම්පත් වෙළෙඳපොළෙහි ස්වභාෂා දැනුමට ඉල්ලුමක් නොමැති නම්, එය ගැඹුරු පරිකල්පනාවකට හේතු පාදක විය යුතු බරපතළ තත්වයකි. ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඉංගිරිසි හෝ වෙනත් විදේශ භාෂා ප්‍රාගුණ්‍යය ප්‍රයෝජනවත් වන බව සත්‍ය නමුත්, රට තුළ ආර්ථික, පරිපාලන හා සාමාජයීය කටයුතු සඳහා ඉංගිරිසි නැතිවම බැරි වන්නේ කෙසේ ද? අපේ මවු භාෂා අපටම එපා වී තිබේ ද? රටේ පරිපාලනයේ, ආර්ථික කළමනාකරණයේ හා ප්‍රතිපත්ති සම්පාදනයේ මර්මස්ථානවල සුක්කානම ස්වභාෂා අධ්‍යාපනයේ ප්‍රතිලාභීන් විසින් හසුරුවනු ලබන අවධියක එසේ වී ඇත්නම් එය ලජ්ජාවට කරුණකි. ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය අනාගත පරපුරට අහිමි කෙරෙන්නේ නම්, එය තමන් නැඟි ඉනිමගට පයින් ගැසීමකි.
අප රටේ ස්වභාෂා අතරින් සිංහල භාෂාව අවම වශයෙන් වසර තුන්දහසක පමණවත් ඈත අතීතයකට උරුමකම් කියන සංස්කෘතියක් ගොඩනැඟූ පාදමයි. ඒ භාෂාව කතා කරනුයේ ශ්‍රී ලංකාවේ පමණි. සිංහල භාෂාවට ඇත්තේ මූලික වශයෙන් භාවිතමය වටිනාකමක් බැවින්, භාෂාව භාවිතයෙන් ගිලිහී යන්නේ යම් පමණකට ද, ඒ පමණටම භාෂාවේ ජීවය ද අප්‍රාණික වනු ඇති බව මීට වසර කිහිපයකට පෙර රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ පළ වුණු කොළඹ විශ්වවිද්‍යාලයීය සමීක්ෂණයකින් පැහැදිලි වෙයි. ඉන් කියැවෙන්නේ සිංහල භාෂාවට පැවැත්මක් ඇත්තේ එය භාවිතයේ පවත්නා තාක් පමණක් බවයි.
පාසල් අධ්‍යාපන මාධ්‍යය ද ඉංගිරිසියට හැරැවුණොත්, විෂය ප්‍රාමාණික දැනුම ඇති සිංහල කතා කරන ගුරුවර ගුරුවරියන්ට ඇති ඉල්ලුම ද ඉබේම අහෝසි වී යනු ඇත. ස්වභාෂා අධ්‍යාපන පිළිවෙතින් බැහැර වන්නේ නම්, භාෂා පෝෂණය ඉබේම නතර වන්නේ ඒ අයුරිනි. භාෂාව ද සමග වැනසී යන්නේ සහශ්‍රක ගණනාවක් තිස්සේ අපගේ දිවයින තුළ පෝෂණය වූ සහ අපගේ අතීත විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් සුරකින ලද ස්වදේශික සංස්කෘතියයි, සභ්‍යත්වයයි.
යම් භාෂාවක් අතුරුදන් වන්නේ නම්, ඒ හා බැඳුණු සමස්ත සංස්කෘතික හා බුද්ධිමය උරුම පද්ධතියත් ඒ සමගම අභාවයට යන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්වභාෂා අධ්‍යාපනයේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් කෙරෙන ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඒ සත්‍යයයි.
ජාතික අධ්‍යාපනය දිශානුගත විය යුත්තේ එහි ස්වභාෂා මාධ්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කර පුළුල් කරන අතරම විශ්වීය දැනුම උකහාගත හැකි පරිදි ඉංගිරිසි ද ඇතුළු දෙවැනි - තෙවැනි භාෂා පිළිබඳ පරිචයක් සිසු සිසුවියන්ට ලබා දීමටයි. එසේ නොකර, අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවීම යනු මවු බසට මරණ වරෙන්තුව ලියමින් ජාතියේ කොඳු නාරටිය බිඳ දැමීමකි. මවු බසින් වියුක්ත වූ ජන විඤ්ඤාණය තුළ ජාතිකමය චින්තනයක් හෝ ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටීමේ හැඟීමක් ජනනය නොවේ. අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවීමට කැස කවන අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද අවශ්‍ය වී ඇත්තේ එයම දැයි දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට හා අපට උරුම ජාතික අනන්‍යතාව සුරැක පෝෂණය කිරීමට වටිනාකමක් දෙන රටවැසියන්ගේ ගැඹුරු විමසීමට අප්‍රමාදව ලක් විය යුතුව ඇත්තේ එබැවිනි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඉංග්‍රිසි හෝ වෙනත් විදේශ භාෂා ප්‍රාගුණ්‍යය ප්‍රයෝජනවත් වන බව සත්‍ය නමුත්, රට තුළ ආර්ථික, පරිපාලන හා සාමාජයීය කටයුතු සඳහා ඉංගිරිසි නැතිවම බැරි වන්නේ කෙසේ ද?" මෙ ප්‍රශ්ණය ඇසිය යුත්තෙ ඔබෙන් හා අනෙකුත් සිංහල සම්බන්ධ මහාචාර්ය වරුන්ගෙන්ම තමා. ඉංග්‍රිසි හෝ වෙනත් විදේශ භාෂා වලින් අපු පරිඝණක වලට සිංහල අවශ්‍ය වෙලවේ ඇතුල් කරන්න බැරි උනෙ, තාක්ෂණික විෂයන්ට පහසුවෙන් සිංහල පරිවර්තන දාන්න බැරි උනෙ අපෙ වරදින්ද? හෙතුවකින් හට ගත් සියල්ල හෙතුවකින්ම නැති වේයි. හෙතුව තාමන්ගෙන්ම ප්‍රශ්ණ කරලා බලනන පාලු ගෙදර වලන් බිදින්නෙ නැතුව.
අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රිසිය බවට පරිවර්තනය කිරීම මගින් සියලු ප්‍රශ්න විසදෙනවා යයි සිතිය හැක්කේ හීනමානයෙන් පෙළෙන්නකුට පමණි. සිංහල බස පිළිබඳ දැනුමක් ඇල්මක් නොමැති සිතින් සුද්දන්ට පමණි. භාෂාවක් උගෙනීම සහ තමාගේ ජීවිතයම එම භාෂාවට සහ ඊට අදාළ සංස්කෘතියට බිළි දීම එකක් නොව දෙකකි. අනෙක, සුද්දගේ කාලේ අධ්‍යාපන ලැබීමට අවස්තාව ලද සුළු පිරිස උගෙන ගත්තේ ඉංග්‍රිසියෙනි. එසේ වුවත් රටට වුනු යහපතක් නැති වග දැනුම් තේරුම් ඇති අයට වැටහෙනු ඇත.
අම්මේ මෙන්න අර එල්.ආර්.ටී එකෙක් කන්ටේනර් යන්න බෑ කියපු විශ්ව ක්‍රම බුද්ධිමතා ආයෙත් ඇහැරලා
ලංකාවේ සිටි ප්‍රවීණ විකට නළුවන් මියගිය සමයක, මහාචාරියකුගෙන් ප්‍රබුද්ධ ගනයේ විහිලු කතාවක් කියවන්න ලැබීමත් ප්‍රීතියක්...තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබන, ජපානය, ප්‍රංශය හා ජර්මනියේ ජනතාව හා සසඳන්න පුලුවන්ද මේ පිටරටවල රැකියා මත යැපෙන හිංගල ජනතාව...? සිංහලෙන් ඉගෙනගෙන, මේ වගේ විකාරකාරයින්ගේ පල් හෑලි හා දේශපාලකයින්ගේ කුණුහරුප අහගෙන ඒවා ජීර්ණය කරගන්නවා විනා, වෙන මොනවද සිංහලෙන් ඉගෙන ගෙන කරන්න පුළුවන්...ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත් දරුවෙකුට අඩු තරමේ හරවත් ලිපියක් වත් ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගැනීමට හැකි වෙනවා...එහෙම නැතිව, ප්‍රබුද්ධ කම ඉහට ගහලා මහප්‍රාණ සිංහලෙන් ලියන අපබ්‍රංශ බලලා ඔල්මාද කාරයින් විනා, වැදගත්, යහපත් පුරවැසියන් බිහි වෙනවාද..? සැහැල්ලු දුම්රියේ ටොන් ගණන් බර පටවන්න හීන මවපු මහා චාරියකුට මීටත් වඩා රසවත් දේශප්‍රේමී කතන්දර ලියන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ...
මෙහෙමත් දෙයක් තියෙනවා. අපි අපේ භාෂාව නැත්තටම නැති කර නොගත යුතුයි. මා යම් කාලයක බටහිර රටක ඉගෙන ගත්තා. ඒ රටේ අය කට්ටිය එකතු වුණාම ඔවුන්ගේ භාෂාවෙන් සට පට ගගා දොඩනවා. අන්න ඒ වගේ වෙලාවටවත් අපේ අයට අපේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් වීම ලොකු දෙයක්... මොකද හොඳින් සන්නිවේදනය කරගත හැකි භාෂාවක් අපට තිබීම ලොකු දෙයක්. සමහර අප්‍රිකානු රටවල මිනිසුන්ට කතා කරන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රංශ ස්පාඤ්ඤ වගේ භාෂාවලින්. ඔවුන්ගේ මවු භාෂාවන් නැතිවී ගොසින්....
මොලේ අමාරුව නිසා අපිට ජපානයෙන් ලැබුණු "ලයිට් රේල් ට්‍රාන්සිට්" සිස්ටම් එක නැතිවුණා. ජාතියේ අවාසනාව තමයි...
බඩු පටවන්න බාන්න බැරි නිසා ඒ ව්‍යාපෘතිය එපා.
ඕන ඕන දේවල් කියවා ගන්න පුළුවන්... ජපන් එල් ආර් ටී එකට කෙලවලා චීනෙට බාරදෙන්න පන්දම් අල්ලපු අය හින්දා මේ රටට කොච්චර හානි වෙලා ඇතිද?
භද්‍රානි, ඔයා ගොන් පඳින කණුවක් බව ප්‍රසිද්ධ කළාට ස්තුතියි. බූරු තර්ක ගේන්න එපා... ගොන්කම විදහා පාන්න එපා. ඔය හැටියට...
ඕන ඕන දේවල් කියවා ගන්න පුළුවන්... ජපන් එල් ආර් ටී එකට කෙලවලා චීනෙට බාරදෙන්න පන්දම් අල්ලපු අය හින්දා මේ රටට කොච්චර හානිවෙලා ඇතිද? බඩු පටවන්න බාන්න බැරි නිසා ඒ ව්‍යාපෘතිය එපා අම්මේ මෙන්න අර එල්.ආර්.ටී එකෙක් කන්ටේනර් යන්න බෑ කියපු විශ්ව ක්‍රම බුද්ධිමතා ආයෙත් ඇහැරලා...
6 පන්තිය වෙනකන්ම සිංහලෙන් රචනාවක් ලියන්න උගන්නන්නේ නැතිව අවුරුදු 25... සිංහල පණ්ඩිතයෝ ඔක්කොම එකතු වෙලා භාෂාව මරලා ඉවර වෙලා දැන් බණ කතා කරනවා.
භද්‍රානි කියලා සිංහල නමක් දාගෙන හිටියාට ඔය කොමෙන්ට් දාන්නේ දෙමළ කතෝලික අන්තවාදියෙක්... බොහෝ විට එල්ටීටීඊ එකේ ඉඳලා පුනරුත්ථාපනය නොවී රට පැන ගත්තු කොටියෙක්. ඒ වගේ අයට අනුකම්පා කරනව හැරෙන්න වෙන මොනව කරන්නද. මේ පුද්ගලයා තමන්ගේ දෙමළ ජාතියටත්, කතෝලික මිනිස්සුන්ටත් අවමානයක්. ගණන් ගන්න එපා.
එල් ආර් ටී එක ගේන එකට විරුද්ධ වුනේ, ඒකට ඇස්තමේන්තුගත කරපු ඩොලර් බිලියන 1.3ක අති විශාල මුදල නිසා. ගොඩක් අය කතා කරන්නේ ඒකට ගෙවන්න වෙන්නේ අඩු පොලියක් කියන එක. අඩු පොලියට වුණත් ඒක ණයක්. එක පැත්තකට විතරක් යන්න රුපියල් 700 ටිකට් එකක් දුන්නත් අවුරුදු 50කින් වත් ඒ මුදල ආවරණය කරන්න බෑ. මහින්ද කරපු රටට සල්ලි එන්නේ නැති ව්‍යාපෘතිවල වෙනස් ආකාරයක් විතරයි මේක... හම්බන්තොට වරායට ගියපු මුදලත් ඩොලට් බිලියන 1.5ක් විතර, අපේ රටට තවත් දැවෙන අවශ්‍යතා තියෙනවා... මොනෝරේල් එකකට වඩා, අපිට අලුත් තෙල් පිරිපහදුවක් ඕනෑ. සපුගස්කන්ද එක හොඳටම මදි දැන්. අපිට අලුත් බලාගාර ඕනෑ.. නොරෙච්චෝලේ එක හැදුවේ බැකප් එකක් විදියට විතරයි. ජෙප්පෝ එපිට එන්න තිබ්බ හොඳම ගල් අඟුරු බලාගාරේත් නැවැත්තුවා.
මේ කතාව ඇත්ත. ඊශ්‍රායලය බිහි වෙනකොට හීබ්‍ර භාෂාව මිය ගිය භාෂාවක්. ඊශ්‍රාලය පළමුවෙන්ම කලේ මිය ගොස් තිබූ එම භාෂාවට වහාම ජීවය ලබා දීම. මවු භාෂාවෙන් අධ්‍යපනය ලබන දරුවන්ගේ බුද්ධි මට්ටම ඉහළ බව කියැවෙනවා. අනිත් කාරණාව තමයි සිය මවු භාෂාව අතහැර වෙනත් භාෂාවකින් අධ්‍යපනය ලබා දියුණු වුණු රටක් ලෝකෙ කොහෙවත් නැත. මෙයා අවස්ථාවාදී කපටි උගත් මහත්මයෙක්. නමුත් මේ කතාව ඇත්ත...