IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


​මුල් පුටු තේරීමේ අභියෝග

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ බහුතර බලය නැතහොත් සියයට 50කට වැඩි ආසන සංඛ්‍යාවක්  ලැබී නැති පළාත් පාලන ආයතනවල (සභාවල) සභාපතිවරුන් හා උප සභාපතිවරුන් තෝරාපත් කර ගනු ලබන්නේ එම සභාවේ පැවැත්වෙන ඡන්ද විමසීමකිනි.

එම ඡන්ද විමසීම රහස් ඡන්ද විමසීමක්ද නැත්නම් විවෘත ඡන්ද විමසීමක්ද යන්න තීරණය කෙරෙන්නේද එම සභාවේ පැවැත්වෙන තවත් ඡන්ද විමසීමක් මගිනි.

දෙවැනුව සඳහන් කරන ලද එනම් සභාවේ මුලින් පැවැත්වෙන ඡන්ද විමසීම රහස් ඡන්ද විමසීමක් නැත්නම් විවෘත ඡන්ද විමසීමක් දැයි තීරණය කරන ක්‍රමය නීතියේ හෝ වෙනත් මාර්ගෝපදේශයක සඳහන් නොවේ. පසුගියදා කොළඹ මහනගර සභාවේ සහ වෙනත් ඇතැම් පළාත් පාලන සභාවල පළමු රැස්වීමේදීම කලබලකාරී තත්වයක් ඇති වූයේ මේ නිසාය.

සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී කිසිදු මන්ත්‍රීවරයකු පිල්මාරු කර ඡන්ද ප්‍රකාශ කරන්නට සූදානමක් නැත්නම් මෙම ඡන්ද විමසීම් දෙක රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක් ද යන්න මතභේදයට ලක් වන්නේ නැත. උදාහරණයක් වශයෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී තමන්ගේ පිලේ මන්ත්‍රීවරුන් අනෙක් පිලේ අපේක්ෂකයාට ඡන්දය නොදෙනු ඇතැයි පිල් දෙකේම මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් ඇත්නම් එම ඡන්ද විමසීම විවෘත එකක්ද රහස් එකක්ද යන්න පිල් දෙකටම වැදගත් නොවේ.

එහෙත් තම පිලේ මන්ත්‍රීවරුන්ගෙන් එකකු දෙදෙනකු හෝ අනෙක් පිලේ අපේක්ෂකයාට ඡන්දයක් දෙන්නට ඉඩ ඇතැයි එක් පිලක හෝ ප්‍රාධානීන් හට සැකයක් ඇත්නම් ඔවුන් රහස් ඡන්දයකට එකඟ නොවනු ඇත. පසුගිය 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයට එරෙහිව  කණ්ඩායම රහස් ඡන්දයකට විරුද්ධ වූයේ ඔවුන් තුළ ද එවැනි සැකයක් තිබු හෙයිනි.

තම පිලේ ජාජබ.ට ඡන්දය දෙන්නට සුදානම්  පුද්ගලයන් සිටී නම් එම පුද්ගලයන්  කැමැති වනු ඇත්තේ රහස් ඡන්දයකින් නගරාධිපති  තෝරා ගන්නට යැයි ද එහෙයින් එම ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම ද රහස් ඡන්දයක් වුවහොත් එම සැක කටයුතු පුද්ගලයන්  නගරාධිපති තෝරා ගැනීම සඳහා  රහස් ඡන්දයක් ලැබෙන  අයුරින් එම ඡන්ද විමසීමේදී ඡන්දය දෙනු ඇතැයිද ජාජබ විරෝධී පිල සීතීය. ඔවුන් ඡන්ද විමසිම් දෙකම විවෘත ඡන්ද විමසීම් විය යුතු යැයි ද කියා සිටියේ එබැවිනි.

ඇත්ත වශයෙන්ම මෙම කාරණයේ දී ඡන්ද විමසීම් දෙකක් පැවැත්වීමේ තේරුමක් නැත. මන්දයත්  කලින්  පැවැත්වෙන ඡන්ද විමසීම රහස් එකක් වුවහොත් පිල් මාරු කරන්නන්ගේ ඡන්දයෙන් දෙවැනි ඡන්ද විමසීමද රහස් ඡන්දයක් වීමේ ඉඩ කඩ වැඩිය. එසේ නොවන්නේ පළමු ඡන්ද විමසීමේ දී ප්‍රමාණවත් තරම් පිල් මාරු කිරීමක් සිදු නොවුයේ නම් පමණි.

උදාහරණයක් වශයෙන් කොළඹ මහ නගර සභාවේ මුළු ආසන 117න් ජාජබට ඇත්තේ ආසන 48කි. ඡන්ද විමසීමකදී ඔවුන් ජයග්‍රහණය කරන්නට නම් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් අඩු තරමින් 11 දෙනකුවත් ඔවුනට සහාය දිය යුතුය. පළමු ඡන්ද විමසීමේ දී වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන් 50 දෙනකු පමණක් ජාජබට සහාය දැක්වූයේ නම් නගරාධිපති  තේරීමේ ඡන්ද විමසීම ජාජබ විරෝධි පක්ෂවලට අවශ්‍ය ආකාරයට සිදුවනු ඇත. එසේ නගරාධිපති තේරීමට ඡන්ද විමසීම විවෘතව සිදුවුහොත් මුල් වටයේ දී ජාජබට ඡන්දය දුන් පස් දෙනා ද අනෙක් පක්ෂ සමග එක්ව ජාජබ විරෝධී අපේක්ෂකයාට ඡන්දය දීමට ඉඩ තිබේ.

කෙසේ ඡන්ද විමසීම පැවැත් වුවත් පළමු ඡන්ද විමසීමේ දී ජයගත් පිලම දෙවැනි ඡන්ද විමසීමේදී ද ජය ගැනීම බොහෝ විට සිදුවිය හැකි නිසා මෙහිදීද ජය ගැනීම බොහෝ විට සිදුවිය හැකි නිසා මෙහිදී ඡන්ද විමසීම් දෙකක් පැවැත්වීමේ තේරුමක් නැත.

කෙසේ වෙතත් පළාත් පාලත ආයතනවල සභාපතිවරුන් හෝ නගරාධිපතිවරුන් හෝ තෝරා  පත් කර ගැනීමේ ක්‍රමය සංවාදයට ලක්විය යුත්තකි. කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීමේ දී ජාජබ නොවන මන්ත්‍රීවරුන් 13 දෙනකු ජාජබ අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට පක්ෂව ඡන්ද දී තිබිණ. ඒ මන්දැයි  යන්න පැහැදිලි නැත.

ජාජබ මෙම ඡන්ද විමසීම්වල දී වෙනත් පක්ෂවලින් මන්ත්‍රීවරුන්  මිලදී ගන්නා බවට එම පක්ෂවල නායකයෝ චෝදනා කරති. වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් එසේ ජාජබට පක්ෂව ඡන්දය දෙන්නේ ජාජබ කෙරෙහි ඇති පැහැදීම නිසා යැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ආචාර්ය  ප්‍රසන්න ගුණසේන පවසනු පසුගිය දිනෙක  රූපවාහිනියෙන් අසන්නට ලැබිණි.

හේතුව කුමක්  වුවත් ඉහත කී මන්ත්‍රීවරුන් 13 දෙනාට නිදහසේ තම හෘදය සාක්ෂියට එකඟව ඡන්දය දීයට හැකි වූයේ ඡන්ද විමසීම රහස් ඡන්ද විමසීමක් වූ නිසාය. විවෘත  ඡන්දයක දී ඔවුන් ජාජබට  ඡන්දය දුනහොත් සමහර විට ඔවුන් ඔවුන්ගේ පක්ෂවලින් නෙරපා හරිනු ලැබ මන්ත්‍රී ධුරය ද අහිමි කෙරෙනු ඇත. එසේ ජාජබට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරයකු අයත් වන්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් ජයගත් ස්වාධීන කණ්ඩායමකට නම් ඔහුට එවැනි අනතුරක් නැත.

ප්‍රධාන පක්ෂයක මන්ත්‍රීවරයකු මෙසේ විවෘත ඡන්ද විමසීමක දී පිල් මාරු කළහොත්  ඔහුට සිය මන්ත්‍රී ධූරය අහිමිවීම පමණක් නොව ඔහුගේ ආරක්ෂාවට ද එය තර්ජනයක් වීමට ඉඩ තිබේ. 

පාර්ලිමේන්තුවේ දී හෝ පළාත් සභාවක දී හෝ පළාත් පාලන සභාවක දී හෝ මන්ත්‍රීවරයකු තම පක්ෂ මතයට එරෙහිව ඡන්දය පාවිච්චි කළහොත් ඔහුට එරෙහිව නිසි පරිදි විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට අදාළ පක්ෂයේ ලේකම්වරයාට හැකියාව  තිබේ. එසේ වුවහොත් අදාළ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය ද ඔහුට අහිමි වේ. එහෙත් විනය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලැබ නැතැයි යන තාක්ෂණික පදනමින් පසුගිය කාලයේ පිල් මාරු කළ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ පක්ෂවලින් ඉවත් කිරීම නීති විරෝධී යැයි අධිකරණය තීන්දු කොට ඇත.   

එය තාක්ෂණික කරුණක් හෙයින් පොදුවේ සැලකෙන්නේ මන්ත්‍රීවරයෙකුට තම පක්ෂ මතයට එරෙහිව යා නොහැකි බවයි. ඒ නීතිය අනුව මන්ත්‍රීවරයකුට හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ නොහැකිය. රහස් ඡන්ද විමසීමේ වැදගත්කම  මතුවන්නේ මෙතැනදීය.

අනෙක් අතට තමන් ඡන්දය දී පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවකට හෝ පළාත් පාලන සභාවකට හෝ තෝරා පත් කර යැවූ මන්ත්‍රීවරයා කටයුතු කරන්නේ කෙසේ දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි ද තර්කයක් ඇතැම් පිරිස් ඉදිරිපත් කරති. එයද සාධාරණය. ඒ අනුව රහස් ඡන්දය යනු සිය ඡන්දයෙන් මන්ත්‍රීවරුන් පත් කර යවන ජනතාවගේ අයිතිය අහිමි කිරීමකි.

නගරාධිපති තෝරා ගැනීමේ ක්‍රමය යම් නිශ්චිත පක්ෂයකට ඇති වාසි අවාසිදායක බව පදනම් කරගෙන තීරණය කළ නොහැකිය. එය සෑම  පක්ෂයකටම සාධාරණ ක්‍රමයක් විය යුතුවා සේම කලින් අප සඳහන් කළ මන්ත්‍රීවරුන්ගේ හෘදය සාක්ෂිය, මන්ත්‍රීවරුන් පත්කර යවන ජනතාවගේ අයිතිය වැනි කරුණු සැලකිල්ලට ගෙන තීරණය කළ යුත්තකි. මෙය ඊළඟ පළාත් පාලන මැතිවරණවලට පෙර නීතියෙන්ම විසඳාලිය යුතුව ඇත.

හාර දහසක් පමණ වූ පළාත් පාලන මන්ත්‍රීන්  සංඛ්‍යාව 2012 දී පළාත් පාලන මැතිවරණවලට මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම නිසා අට දහස ඉක්මවා ගියේය. මෙම සංඛ්‍යාව හාර දහසකට මදක් වැඩි වන අයුරින් 2023 දී මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාව අලුතින් සීමා නිර්ණය වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණි. කුමක් හෝ හේතුවකින් මෙවර එම වාර්තාව අනුව මැතිවරණය පැවැත්වුණේ නැත. මෙම ප්‍රශ්නය ද ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී නිවැරැදි විය යුතුය.

බොහෝ තැන්වලදී කිසිම පක්ෂයකට සියයට 50කට වඩා ආසන ලබාගත නොහැකි තත්වයක් පවතින්නේ පළාත් පාලන මැතිවරණවලදී පමණි. එම මැතිවරණ සම්බන්ධයෙන් මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේදි ප්‍රසාද මන්ත්‍රී ක්‍රමය හා පක්ෂයක් ලබාගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව අහෝසි කිරීම මෙම තත්වයට හේතුවයි. මෙවර මැතිවරණ පැවැති පළාත් පාලන ආයතන 339 න් 187 කට (අඩකටත් වඩා) කිසිදු පක්ෂයකට සියයට 50ක ආසන ලබාගත නොහැකි වීමෙන් මෙම ප්‍රශ්නයේ බරපතළ බව පෙනේ. මෙයද ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර විසඳා ගත යුතු ප්‍රශ්නයකි.

යම් පළාත් පාලන ආයතනයක කිසිදු පක්ෂයක් සියයට 50ක ආසන ලබා නොගත්තද කුමක් හෝ එක් පක්ෂයක් අනෙක් පක්ෂවලට වඩා වැඩි ආසන ගණනක් ලබා මුල් තැනට පත්වේ. අනෙක් පක්ෂ ලබා ගත් ආසනවල මුළු එකතුව එසේ මුල් තැනට පත්වූ පක්ෂයේ ආසන සංඛ්‍යාවට වඩා වැඩි විය හැකිය.

උදාහරණයක් වශයෙන් කොළඹ මහ නගර සභාවේ ජාජබ ආසන 48ක් ලබා මුල් තැනට පත්විය. අනෙක්  පක්ෂ හා කණ්ඩායම් ලබාගත් ආසනවල මුළු එකතුව 69කි. එසේ වුවද අදාළ ආයතනවල පාලනය පිහිටුවීමේ සදාචාරමය අයිතිය ඇත්තේ මුල් තැනට පත්වූ පක්ෂයට යැයි ඇතැම්හු තර්ක කරති. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එසේ තර්ක කරන එක් පක්ෂයකි.

අප එය නිවැරැදි තර්කය කැයි පිළිගත්ත ද සදාචාරමය අයිතිය තිබු පමණින් මුල් තැනට පත් වූ පක්ෂයට නීතිමය වශයෙන් අදාළ සභාවේ පාලනය පිහිටුවිය නොහැකිය. ඒ සඳහා එම පක්ෂයට සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් අඩකගේ සහාය ලැබි යුතුය. එනම් මුල් තැනට පක්ෂය අනෙක් පක්ෂවල සහාය ලබාගත යුතුය.

දැන්  ජාජබ එසේ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා  ගන්නා විට එය සදාචාර විරෝධී යැයි බොහෝ දෙනා පවසති. එහෙත් සභාවක දෙවැනි තුන්වැනි ආදි තැන්වලට පත් වූ පක්ෂ වෙනත් පක්ෂවල සහායෙන් පාලනය පිහිටුවීම ද සදාචාරාත්මක නොවේ. මන්දයත් ඒ සෑම පක්ෂයක්ම පළමු තැනට පත් වූ පක්ෂය මෙන්ම මැතිවරණ කාලයේ දී එකිනෙකා විවේචනය කළහ. හෙළා දුටුවහ. අනෙක් පක්ෂ සොරුන්, දූෂිතයන් ලෙස හැඳින් වූයේ ජාජබ පමණක් නොවේ. උදාහරණයක් වශයෙන් සජබ සෑම වේදිකාවකම පාහේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සඳහන් කරමින් එජාප විවේචනය කළේය.

සියයට 50ක ආසන නොලබා කවුරුන් පළාත් පාලන ආයතනයක පාලනය පිහිටුවා ගත්ත ද එම පාලනය ස්ථාවර යැයි කිව නොහැකිය. මන්දයත් වරප්‍රසාද සම්බන්ධයෙන් පක්ෂ අතර ආරවුල් ඇති විය හැකිය. එසේම සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් තේරීමේ රහස් ඡන්ද විමසීම්වල දී තම පක්ෂ මතයට පිටුපා ඡන්දය දුන් මන්ත්‍රීවරුන් අදාළ පළාත් පාලන සභාවේ අය වැය සම්මත කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් විවෘත විමසීම් පැවැත්වෙන විට ඡන්දය දීමට මැළි විය හැකි හෙයිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

​මුල් පුටු තේරීමේ අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 248 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site