IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බැසිල්ට ආවඩපු පොහොට්ටු මන්ත්‍රීවරු 51ක් අගෝස්තු වෙද්දි ස්වාධීන වෙනවා

කාලීන දේශපාලන ආර්ථික කාරණා රැසක් සංවාදයට බඳුන් කරමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර වෙන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. මේ ගැන සමගි ජන බලවේගයේ අදහස කුමක් ද?

පිළිතුර:- ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා. රට බංකොළොත්භාවයට පත් වෙලා තියෙන්නෙ. හැම අර්බුදයකටම හේතුව කොවිඩ් වසංගතය කියලා බොරුවට පෙන්නන්න උත්සාහ කරනවා. කොවිඩ් කියන්නෙ මුළු ලෝකයටම බලපාන වසංගතයක්. එහෙනම් ලෝකයේ අනිත් හැම රටකම මේ විදියට වෙන්න ඕන. ආණ්ඩුව බලයට පත් වුණු ගමන්ම ගජමිතුරන්ට දොල පිදේනි දෙන්න රුපියල් බිලියන 800 ක බදු සහන දුන්නා. එතනින් තමයි ආර්ථිකය විනාශ කිරීම ආරම්භ කළේ. ඊළඟට උද්ධච්ඡකමට විශේෂඥ මත පවා නොතකමින් රසායනික පොහොර තහනම් කළා. සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 2400 ක් විතර කෘෂි නිෂ්පාදන අපනයනයෙන් රටට ලැබෙනවා. ඒ මුදල් තමයි අපිට අවශ්‍ය බේත් හේත් හා වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්නන්න වියදම් කරන්නෙ. 2021 අවුරුද්දෙ කෘෂි නිෂ්පාදන ආදායම් නිසි පරිදි රටට ආවෙ නෑ. අනිත් කාරණය තමයි රුපියල බලෙන් අල්ලගෙන සිටීම. ඒ නිසා සාමාන්‍යයෙන් වසරකට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් මිලියන 600 ක මුදල් ඩොලර් මිලියන 200 ක අගයක් දක්වා පහත වැටිලා තියෙනවා. මේ හේතු කාරණා නිසා තමයි ආර්ථිකය නන්නත්තාර වෙලා තියෙන්නෙ. ඒකට වගකියන්න ඕන ආණ්ඩුව මිසක් කොවිඩ් වසංගතය නෙවෙයි.

 

ප්‍රශ්නය:- ඒත් ආණ්ඩුව පැත්තෙන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියන්නෙ යහපාලන ආණ්ඩුව කාලේ ඇති කරපු ආර්ථික විනාශය නිසා අද රටට මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා කියලා. ඒ ගැන ප්‍රතිචාරය මොකක් ද?

පිළිතුර:- බන්දුල ගුණවර්ධන කියන දේවල් කවුරු පිළිගන්නවද දන්නෙත් නෑ. ඒ නිසා මම එතුමට උත්තර දීලා වැඩක් නෑ.

 

ප්‍රශ්නය:- මේ අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ කියල ද ඔබලා කියන්නෙ ?

පිළිතුර:- ගොඩ ගන්න තියෙන එකම වැඩපිළිවෙළ තමයි ණයහිමියන් ළඟට ගිහින් කතා කරලා රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එක. අපේ සමස්ත ණය වලින් ඩොලර් වලින් අරන් තියෙන මුළු ප්‍රමාණය ඩොලර් බිලියන 30 ක් විතර වෙනවා. ණයහිමියන්ට ඩොලර් ආදායම් වැඩි කර ගන්න විදිය කියන්න ඕන. කළු සල්ලි සුදු කරන පනත අහෝසි කරන්න ඕන. ආයෝජකයන් රටට ගෙන්වීම දිරි ගැන්වීම සඳහා තියෙන වැඩපිළිවෙළත් එයින් ආදායම් වැඩි කරගන්න විදිය ගැනත් දැනුම්වත් කරන්න ඕන. ඊළඟට රුපියලේ පාලනය අතහැරලා විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න විදිය ගැන පෙන්නන්න ඕන. අපනයන ආදායම් වැඩි කර ගන්නෙ කොහොමද කියන දේ පිළිබඳවත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. රසායනික පොහොර නැවත ගෙන්නලා කෘෂි අපනයන භෝග අපනයන ආදායම් වැඩි කරගන්න විදිය පෙන්නන්න ඕන. එහෙම කරලා ණය නැවත ගෙන්වීම සඳහා අවුරුදු දෙක තුනක සහන කාලයක් ඉල්ල ගන්න අවශ්‍යයි.

 

ප්‍රශ්නය:- හැබැයි මුදල් අමාත්‍යවරයා මේ ඊයේ පෙරේ දා දවසක අන්තර් ජාතික මාධ්‍යයකට පවසලා තිබුණෙ මේ වෙන කොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් ඉන්නෙ කියලා. ඒක සාධනීය පියවරක් නෙවෙයි ද?

පිළිතුර:- සාකච්ඡා කරන්නෙ මුල්‍ය අරමුදල සමග ද නැත්නම් ලෝක බැංකුව සමග ද කියන එක නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නෙ. නිවැරදි පීල්ලෙ ආර්ථිකය ගෙන යාමයි වැදගත් වෙන්නෙ. අර්බුදය මෙච්චර ඔඩු දුවනකන් හිටියේ ඇයි? මුල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්න. ණයහිමියන් ළඟට ගිහින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡා කරන්න ඕන. එවැනි සාකච්ඡාවලට යද්දී ලංකාව මානව නිදහස පුරවැසි නිදහසට, මාධ්‍ය නිදහසට ගරු කරන ස්ථාවර රටක් බව තහවුරු කරන්න ඕන. මීනි මැරුම් චෝදනාවලට දඬුවම් ලබපු අය නිදහස් කරලා ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ගේ පරීක්ෂණ අඩපණ කරලා ගෙන යන පාලනයක් මගින් ඒ වැඬේ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නාර්ථය මතු වෙනවා. මේ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරයට කිසිම විශ්වාසයක් නෑ. මේ අයගෙ අරමුණ දූෂණයයි, වංචාවයි විතරයි. ඒක ජාත්‍යන්තර ප්‍රජාව දන්නවා. නැවත බලයට එන්න නොලැබෙන බව දන්න නිසා දැන් පුළුවන් තරම් දූෂණයට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නෙ.

 

ප්‍රශ්නය:- මේ අර්බුදයේ මුල මොකක් වුණත් ජනතාව දැන් ඉන්නෙ ඉතාමත් දුෂ්කර තත්ත්වයක. වෙන රටවල මෙවැනි ව්‍යසන ඇති වූ විට ආණ්ඩුවයි විපක්ෂයයි එකට එකතු වෙලා ජාතික වැදගත්කමකින් යුතුව කටයුතු කරන තත්ත්ව අපි දකිනවා. ඒත් ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්න ලැබෙන්නෙ නෑ. මේක ප්‍රශ්නයක් නොවෙයි ද?

පිළිතුර:- ඒක ආණ්ඩුවේ වරදනෙ. අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න කැමතියි. මිනිස්සු බඩගින්නෙ තියලා පෝලිම්වල තියලා ඒ මතින් බලයට ඒමේ කාලකණ්ණි ආශාවක් අපිට නෑ. කොවිඩ් ආපු කාලෙ අපි කිව්වා එන්නත් ගේන්න කියලා. ආණ්ඩුව අපිට හිනා වුණා. ඒ වෙනුවට පැණි ප්‍රමෝට් කළා. ඒත් අන්තිමට අපි කියපු දේ කරන්න සිද්ධ වුණා. මේ ජනාධිපතිවරයාගෙ ධූර කාලය ඇතුළත මේ දක්වා රුපියල් මිලියන 3000 කට වැඩි ණය අරන් තියෙනවා. ඒ වුණාට කරපු දේකුත් නෑ. මේ ණය අර්බුදය කලින්ම දැකපු නිසා තමයි අපි කිව්වෙ ජාත්‍යන්තරයට ගිහින් ණය හිමියන් සමග සාකච්ඡා කරන්න කියලා. අපි කිසිම විදේශ තානාපති කාර්යාලයකට ගතු කියලා මේ රටවත් ආර්ථිකයවත් වට්ටන්න කුමන්ත්‍රණය කරලා නෑ. ඒත් මේගොල්ලො විපක්ෂයේ ඉන්න කාලෙ එහෙම කළා.

 

ප්‍රශ්නය:- විපක්ෂයේ කාර්යභාරය ගැනත් විවිධ විවේචන මතු වෙලා තියෙනවා. ඔබලා ආණ්ඩු කරපු කාලේ විපක්ෂය දවසට මාධ්‍ය සාකච්ඡා දෙක තුන තියලා මහජන මතය සංවිධානය කළා. හැබැයි රටේ මෙතරම් අර්බුද තියෙද්දී විපක්ෂය සක්‍රීය ලෙස ක්‍රියා නොකරන බව පැවසෙනවා. ඒක පිළිගන්නවා ද?

පිළිතුර:- මේ රටේ සමහරක් පෞද්ගලික මාධ්‍ය තමන්ගෙ ව්‍යාපාර අරමුණු වෙනුවෙන් රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන නිසා විපක්ෂය කරන සාධනීය කටයුතු ප්‍රචාරය කරන්නෙ නෑ. ඒ ආයතනවලට තියෙන සෙසු ව්‍යාපාරවල වංචා හෙළි කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡා ප්‍රචාරය කරන්නෙ නෑ. එක්තරා මාධ්‍යයක් අපේ හඬට තැනක් දෙන්නෙ නෑ වංචා ගැන කියන නිසා. බිම් මට්ටමේ ජනතාව මේ දේවල් ගැන අවධියෙන් ඉන්නෙ. අපි අපේ දේශපාලන කටයුතුවල නිරත වෙනවා. දැන් මේ යන්නෙ 1976 දී රටේ තිබුණා වගේ තත්ත්වයක්. ඒ නිසා නැවත රටට එන්නෙ 1977 දී ආවා වගේ යුගයක්.

 

ප්‍රශ්නය:- මේ අර්බුදවලින් රට ගොඩගන්න සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් තියෙනව ද?

පිළිතුර:- පුද්ගලයෙක් මාරු කරලා තව පුද්ගලයෙක්ට බලය දෙන්න දැන් ජනතාව සූදානම් නෑ. දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙළක්.  මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධාන අර්බුදය තමයි ඩොලර් හිඟය. ඒ නිසානෙ අපිට ඉන්ධන ඖෂධ පොහොර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ දේවල් ගෙන්නන්න බැරිවෙලා තියෙන්නෙ. අද විදුලිය කපන්නෙත් ඒ නිසා තමයි. ඒ අනුව මේ ඩොලර් අර්බුදයට තමයි පළමුවෙන්ම විසඳුම් හොයන්න ඕන. ඒක කරන්න නම් ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමට ලක් වෙච්ච වංචා දූෂණ නැති තරුණ කණ්ඩායමක් බලයට එන්න ඕන. අපිට ඒ පිළිගැනීම තියෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි රුපියලේ පාලනය අතහරින එක. දෙක ණය ප්‍රතිව්‍යුහගතකරණයට සාකච්ඡා කිරීම. අපනයන ආදායම් වැඩි කරගැනීමේ දීර්ඝ කාලීන ඉලක්කයකට වැඩ කරන්න ඕන. මොකද සංචාරක කර්මාන්තයෙන් විතරක් අපිට දුවන්න බෑ. ලබන මැයි මසය වෙන කොට රැස් වෙන යුරෝපා පාර්ලිමේන්තුවේ දී ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි කිරීමට අදාළ යෝජනාවක් ගෙන ඒමේ අවදානමක් තියෙනවා. මේ අභියෝගවලට මූහුණ දීලා ඩොලර් ආදායම වැඩි කිරීමෙන් පමණයි මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නෙ. ඊට අවශ්‍ය හැකියාව අපේ කණ්ඩායමට තියෙනවා. මේ වගේ වැටිච්ච රටවල් යළි නැගිටීම සඳහා අනුගමනය කරපු ක්‍රමෝපාය අපි මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නවා. මොකද බලයට ආපු ගමන් අපිට හුස්ම ගන්න වෙලාවක් නෑ. වැඩ කරන්න සිද්ධ වෙනවා.

 

ප්‍රශ්නය:- ඔබ කියනවා ඔබලට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒත් ඔය කණ්ඩායමම තමයි 2015-2019 යහපාලන ආණ්ඩුවෙත් හිටියෙ. මිනිස්සුන්ට විශ්වාසයක් තියන්න පුළුවන් ද?

පිළිතුර:- 2015-2019 කාලෙ ආණ්ඩුවේ හිටපු වංචා දූෂණ චෝදනා තියෙන කිසි කෙනෙක් අපි අපේ පක්ෂයට අරගෙන නෑ. ඒගොල්ලො වෙන තැනක ඉන්නෙ. අපි අලුත් වෙනස් කණ්ඩායමක්. ඒ ආණ්ඩුව කාලෙ ඩීල් දාපු හොරකම් කරපු පල් හොරු ටික වෙන තැනක ඉන්නෙ.

 

ප්‍රශ්නය:- මේ වෙද්දි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සමගිය දෙදරලද තියෙන්නෙ?

පිළිතුර:- සමගි ජන බලවේගයේ කිසිම අසමගියක් නෑ. අපේ වැඩ ටික පිළිවෙළට කරමින් ඉදිරි ආණ්ඩුව කරන විදිය ගැන සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒත් අද ආණ්ඩුව ඇතුළෙ ප්‍රබල ඉරි තැලීම් මතුවෙලා තියෙනවා. ආණ්ඩුව කොටස් තුනකට කැඩිලා තියෙන්නෙ. ඉතාම නුදුරු දිනෙක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි වාමාංශික පක්ෂයි වෙනම එකතු වෙනවා. බැසිල් රාජපක්ෂට ආවඩපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 51 දෙනෙක් පමණ අගෝස්තු මාසෙ වෙන කොට ස්වාධීන වෙනවා. ඊළඟ මැතිවරණය වෙන කොට රාජපක්ෂ පවුලයි ඒ අයගෙ කටු කන අයයි විතරක් ඉතුරු වෙන තත්ත්වයක් තියෙන්නෙ.

 

ප්‍රශ්නය:- පාඨලී චම්පික රණවක 43 වැනි සේනාංකයත් සමග වෙනම දේශපාලන ගමනක ඉන්න බවක් තමයි පේන්නෙ. ඒක එහෙම නෙවෙයි ද?

පිළිතුර:- එතුමා තරග කළේ සමගි ජන බලවේගයෙන්. එතුමා ඉන්නෙ අපිත් එක්ක තමයි. විවිධ අනුබද්ධ සංවිධාන හදනවා. ඒක තමයි විපක්ෂයේ ඉන්න කොට සිදු කරන දේශපාලන ක්‍රියාකාරීත්වය. සමගි ජන බලවේගයේ විතරක් ඉන්න අය අරගෙන අපිට ආණ්ඩු බලයක් ගන්න බෑනෙ. නොයෙකුත් සිවිල් සංවිධාන හා කණ්ඩායම් එකතු කරගෙන තමයි ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නෙ. ඒ වෙනුවෙන් විපක්ෂයේ ඉන්න හැම මන්ත්‍රීවරයාම තම තමන්ට පුළුවන් විදියට වැඩ කරනවා.

 

ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මාර්තු 19 වැනිදා දක්වා ආණ්ඩුව කල් දැම්මා. මේ ගැන පක්ෂයේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර:- මොළ හතක් තියෙනවයි කියන බැසිල් රාජපක්ෂ එච්චර වැඩකාරයෙක් නම් ජනවරම ටෙස්ට් කරන්න තිබුණනෙ. අපි බිම්මට්ටමේ ජනතාවත් සමග දේශපාලනයකරන නිසා දන්නවා එදා යහපාලන ආණ්ඩුවට මහ බැංකු සිද්ධිය හා පාස්කු ප්‍රහාරය නිසා ඇති වුණු මහජන අප්‍රසාදය වගේ තුන් හතර ගුණයක අප්‍රසාදයක් අද මේ ආණ්ඩුවට තියෙනවා. ඒ නිසාම තමයි අපි දිගින් දිගටම අභියෝග කළේ මේ මැතිවරණය තියන්න කියලා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් ඡන්දය තියන්න කියලා.

 

ප්‍රශ්නය:- ඇයි විපක්ෂ නායකවරයා මෙවර නිදහස් දින සැමරුම් උත්සවය වර්ජනය කළේ?

පිළිතුර:- රටේ මිනිස්සු බඩගින්නෙ ඉන්න කොට ළමයි කිරිපිටි නැතුව අඬන කොට ගොවියො පොහොර නැතුව ඉන්න කොට මුළු රටක් බංකොළොත් වෙලා තියෙද්දී පාලකයන් උද්ධච්ඡකමට රටම අඳුරෙ තියනවා තෙල් නෑ කියලා. ඒත් ගුවන් යානා තෙල් ලීටර් දහස් ගණනින් පුච්චමින් මේ නිදහස් දින සැමරුමට යොදා ගන්නවා. අපි ඒක කළ යුතුද? නිදහස් උත්සවය සැමරිය යුතුයි. ඒත් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් කාබාසීනියා කරමින් මේ වගේ අමාරු අවස්ථාවක පවත්වන නිදහස් උත්සවයකට අපිට සහභාගී විය හැකිද?

 

ප්‍රශ්නය - රන්ජන් රාමනායකට නිදහස් දින දවසේ දී ජනාධිපති විශේෂ සමාවක් යටතේ නිදහස ලැබෙනු ඇති බව පැවසුණා. ඒත් එවැන්නක් සිදු වුණේ නෑ. ඒ ගැන අදහස මොකක්ද?

පිළිතුර:- මේ ආණ්ඩුව රන්ජන් රාමනායකට බයයි. රන්ජන් හොරකම් කරලා නෑ. මිනී මරලා නෑ. කුඩු විකුණලා නෑ. එතුමගෙ කට වැරදුණාට අධිකරණයෙන් දඬුවමක් දීලා තියෙනවා. රන්ජන්ට බය නැත්නම් නිදහස දෙන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- දුමින්ද සිල්වා හිරෙන් නිදහස් වෙලා ආවා. ඉදිරි මැතිවරණ දේශපාලනයේ දී ඔහු කොළොන්නාවෙන් ආවොත් ඒක ඔබට අභියෝගයක් නෙවෙයිද?

පිළිතුර:- ඒක මැතිවරණ වෙලාවෙදී බලාගන්න පුළුවන් වෙයි. දුමින්ද සිල්වා හිරේ යන්න කලින් තමයි මම 2015 ජනාධිපතිවරණයෙ දී හා මහා මැතිවරණයෙ දී මේ ආසනය වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනෙව්වෙ. ඒ වෙන කොට මම කොළොන්නාව ආසනයේ ජනතාවට වැඩ කරලා තිබුණෙත් නෑ. ඒත් මේ වෙන කොට මම මේ ආසනයෙ ජනතාවට රුපියල් මිලියන 26,000 ක වැඩ කරලා තියෙනවා.

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)



අදහස් (5)

බැසිල්ට ආවඩපු පොහොට්ටු මන්ත්‍රීවරු 51ක් අගෝස්තු වෙද්දි ස්වාධීන වෙනවා

Senarath Monday, 07 February 2022 12:47 PM

ඔයාලා රටේ කිසිම වසංගතයක් නොතිබුණු 2015 සිට 2019 දක්වා ආර්ථිකය හරි පීල්ලේ ගෙන ගියාද? ඒකද රටේ සංවර්ධනය 6% සිට 2.3% දක්වා ක්‍රමයෙන් පහළ බැස්සේ? අවුරුද් 5 ටම ඒකපුද්ගල ආදායම වැඩිවුණේ ඩොලර් 5කින් පමණයි. ඒකද එහෙම වුණේ...? මොනවද රටට කරපු සංවර්ධන ව්‍යාපෘති ඒ කාලෙදී...?

:       4       58

podi hamineThursday, 10 February 2022 10:37 AM

ඔක්කොටම කලින් උත්තර දෙන්න සීනි වලින් රජයට මිලියන් 13000 පාඩු කරපු එක කොහොමද නැවත අය කර ගන්නේ කියලා .මෝඩ කතා වලත් සීමාවක් තියෙන්න ඕනේ

:       0       3

liyanage Monday, 07 February 2022 01:44 PM

හැම කෙනෙක්ම විපක්ෂයේ ඉන්නකම් සුද්දවන්තයෝ. ආණ්ඩු කරනකොට වෙන කතාවක්...!

:       2       24

Raveendra Monday, 07 February 2022 03:37 PM

226ම ගිල්ලවන්න ඕනේ බඩවල් පිරෙන්නම ඌරන්ගේ වසුරු.... මේ නොකියා කියන්නේ අපි පට්ටියේ බලයේ හිටියා නම් හරි පිලේ යනවා කියලනේ... නොදකින් විතරක්... අතේ පැලවෙන බේගල් කියන ලස්සන. තොප්පිය හැරෙන හැරෙන පැත්තට තම වාසිය වෙනුවෙන්ම කෑමොර දෙනවා..

:       4       26

fairoos Wednesday, 09 February 2022 03:37 PM

බයියන්ට හොඳටම රිදිලා වගේ... අදහස් බැලුවාම පේනවා...

:       1       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 139 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 130 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 442 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 691 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 669 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 120 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site