IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පාරෙන් අයින් වෙන්න විනාඩි දහයක් දෙන්නැයි ඉල්ලුවාම දැන්ම අයින් වෙයව්: මුන්ට ගහපියව් කියා බි‍්‍රගේඩියර

”යුද හමුදාවේ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන කියා කෙනෙකු ඇවිත් පාරෙන් අයින් වෙන්න කියා මිනිසුන්ට කීවා. අපිට විනාඩි 10ක් දෙන්න අපි පාරෙන් ඉවත් වෙන්නම් කියා මිනිසුන් කියන විට ”විනාඩි 10ක් දෙන්නේ නැහැ. දැන්ම අයින්වෙයව්.. මුන්ට ගහපියව්..” කියා කීවා. එවිට හමුදාවේ අයත් සිවිල් ඇඳුම් ඇඳගත් හමුදාවේ අයත් පොලූවලින් අපට පහර දෙන්න ගත්තා” යැයි පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව වැලිවේරියේදී සිදුකළ උද්ඝෝෂණය අවස්ථාවේදී වෙඩි තැබීමෙන් තිදෙනකු මියයෑමේ සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දුන් ජූඞ් නිශාන්ත පෙරේරා මහතා කීය.

 

(ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)

රතුපස්වල සිද්ධියේදී යුද හමුදා වෙඩි ප‍්‍රහාරවලට ලක්ව මියගිය පාසල් සිසුන් දෙදෙනා ඇතුළු තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත් 22 වැනිදා  පැවැත් විණි. එහිදී සාක්‍ෂි දීම සඳහා (වමේ සිට) ගම්පොල නිලන්ත පුෂ්පකුමාරගේ මව සහ බිරිඳ, වැලිවේරියේ පදිංචි රවිෂාන් පෙරේරා සිසුවාගේ පියා, සහෝදරයා සහ මව, අකිල දිනේෂ් සිසුවාගේ මව සහ පුංචි අම්මා අධිකරණ භූමියට පැමිණෙමින්...  

 

හමුදාවේ පිරිස එලෙස පහර දෙද්දී තවත් හමුදා භටයන් පිරිසක් වයර්වලට හා ලයිට්වලට වෙඩි තිබ්බා. හමුදා පහරදීම්වලින් බේරෙන්න වැලිවේරිය පල්ලිය තුළට යෑමට උත්සාහ කරන විට තව පිරිසක් කීවා පල්ලිය ඇතුළේදීත් හමුදාවේ අය වෙඩි තියෙනවා කියා. ඒ නිසා මා පල්ලිය තුළට නොයා වෙන පාරකින් ගෙදර ගියා යැයි ජූඞ් නිශාන්ත පෙරේරා මහතා වැඩිදුරටත් කීය.

පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් රතුපස්වල ජනතාව වැලිවේරියේ කළ උද්ඝෝෂණයකදී එල්ල වූ වෙඩි පහරවලින් වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වු අකිල දිනේෂ් හා රවිශාන් පෙරේරා යන සිසුන් දෙදෙනාද ගම්පොළ පදිංචි නිලන්ත පුෂ්පකුමාර නමැත්තාද මියගියහ.

මේ තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පැවැති මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ගම්පහ මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා හමුවේ පැවැත්විණි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අරපාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා කරුණු දක්වමින් සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

පසුගිය නඩු දිනයෙන් පසු සිද්ධියට අදාළව පුද්ගලයන් 16 දෙනෙකුගේ ප‍්‍රකාශ සටහන් කළ බවද එම පුද්ගලයන් අතර තුවාල ලැබූ අයද වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියෙන් මියගිය නිලන්ත පුෂ්පකුමාරගේ බිරිය වන වැලිගල්ල උඩඅළුදෙණියේ පදිංචි නිසංසලා ප‍්‍රසාදීනි (29) නමැති එක්දරු මව කොළඹ අපරාධ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් යටතේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මෙසේ කීවාය.

මගේ සැමියාගේ නම නිලන්ත පුෂ්පකුමාර. ඔහු උඩහේන්තැන්න ගම්පොළ යන ලිපිනයේ මා සමග පදිංචිව සිටියා.

මගේ පුරුෂයා බියගම ස්ටොම් ලයින් නමැති ආයතනයේ වැඩ කළා. ඔහු වැලිවේරිය වැලිපැන්නේ බෝඞ්වෙලා හිටියේ. පහුගිය 1 වැනිදා රාත‍්‍රියේ ඔහු රාත‍්‍රී සේවයට යන අතර රාත‍්‍රී 8.10ට විතර කතා කළා. වැලිවේරියේ වතුර සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් තියෙනවා. ඒකට ටයර් පුච්චනවා. කඳුළු ගෑස් ගහනවා. ඒ නිසා යන්න තැනැක් නැති නිසා පල්ලිය ඇතුළට යනවා කියා කීවා.

ඉන්පසු රාත‍්‍රී 7.35ට පමණ මා ඔහුට ඇමතුමක් දුන්නා. ඒ වෙලාවෙත් ඔහු පල්ලිය ඇතුළේ හිටියා. ඔහු කීවා තවම උද්ඝෝෂණය තියෙනවා, වෙඩි තියෙනවා, කඳුළුගෑස් ගහනවා., අපිට යන්න විදිහක් නැහැ ගොඩාක් අය මෙතැන ඉන්නවා කියා කීවා.

රාත‍්‍රී 8.45ට පමණ මා යළිත් ඔහුට ඇමතුමක් දුන්නත් ඔහු එයට පිළිතුරු දුන්නේ නැහැ. එතැන සිට රාත‍්‍රී 9.20 වනතුරු මා ඔහුට ඇමතුමක් දුන්නත් ඔහු කතා කළේ නැහැ. 9.30 මා කතා කරන විට දුරකතනය විසන්ධි වෙලා තිබුණා. මා පහුවැනිදා උදේ වෙනකම් පුරුෂයාට කතා කරන්න උත්සාහ කළත් එය හරිගියේ නැහැ.

පසුදා දවල් 12.00ට පමණ බෝඩිමේ අක්කාට කතා කළ විට අක්කා කීවා නංගි නිලන්ත යාළුවෙක් එක්ක වැඩට ගියා යාළුවා ආපසු ඇවිත් නිලන්තව ඇහැව්වා. නමුත් නිලන්ත බෝඩිමේ නැහැ කියා කීවා.

පසුව මා නිලන්තගේ අම්මා සහ තාත්තා සමග සවස 5.00ට පමණ වැලිවේරියට එන්න පිටත් වුණා. රාත‍්‍රී 10.00ට පමණ අපි වැලිවේරියට ආවා. පසුව අපි බෝඩිමේ ඇන්ටි සමග වැලිවේරිය පොලිසියට ගියා. එහිදී දැනගත්තා මගේ සැමියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා කියලා.

රාත‍්‍රී 12.00ට අපි ජාතික රෝහලට ගියා. නමුත් උදේ 6.00 වනතුරු බලන්න යන්න දුන්නේ නැහැ. උදේ 6.00ට අපි ගිහිං බලන විට පුරුෂයා හදිසි ප‍්‍රතිකාර අංශයේ ප‍්‍රතිකාර ලබමින් හිටියා. ඔහුගේ කටට බට දාලා යන්ත‍්‍ර සවිකර තිබුණා. මට ඔහු සමග කතා කරන්න ලැබුණේ නැහැ. 04 වැනිදා මගේ පුරුෂයා නැතිවුණා කියා මට ආරංචි වුණා. පසුව පැවැති මරණ පරීක්ෂණයේදී මං පුරුෂයාගේ මෘත දේහය හඳුනා ගත්තා.

මගේ පුරුෂයාට මොට්ට ආයුධයකින් පහරදීම නිසා ඔහු මිය ගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා කීවා. ඔහුට සිදුවුණේ කුමක්ද කියා කියන්න මා දන්නේ නැහැ.

පසුව සැමියාගේ දේහය ගමේ ගෙන ගොස් 8 වැනිදා භූමිදානය කළා.

මට මේ ගැන කියන්න දෙයක් නැහැ. නැති වුණ කෙනා නැති වුණා මං දරුවා සමග තනි වුණා.

ඇගේ සාක්කිය එතැනින් අවසන් විය.

පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මියගිය නිලන්තගේ පියා වන උඩහේන්තැන්න පොලූවල පදිංචි පී.ආර්. ධර්මසේන (60) මහතා මෙසේ කීය.

මියගිය නිලන්ත පුෂ්පකුමාර මගේ පුතා. ඔහු බියගම කර්මාන්ත ශාලාවක රැකියාව කළා.

පහුගිය 02 වැනිදා නිලන්තගේ භාර්යාව වන නිසංසලා ප‍්‍රසාදිනි මට ඇමතුමක් දීලා වැලිවේරියේ කලබලයක් තියෙනවා නිලන්ත ගැන කිසිම ආරංචියක් නැහැ කියා කීවා. පසුව මා ලේලිය සමග වැලිවේරියේ පුතා නතර වෙලා හිටපු බෝඩිමට ආවා.

පසුව බෝඩිමේ ඇන්ටි සමග වැලිවේරිය පොලිසියට පැමිණි විට අපි ජාතික රෝහලට ගියා. 03 වැනිදා උදේ මා පුතා දැක්කා. පුතාගේ ඔළුවෙන් කටෙන් බට දාලා අත් දෙක මැෂිමකට සවිකර තිබුණා. ඔහුට කතා කරන්න පුළුවන් වුණේ නැහැ. නිලන්ත මියගිය බව 04 වැනිදා මට මගේ පොඩි පුතා කීවා.

පුතා මියගිය විදිය මා දන්නේ නැහැ. පුතාට මොට ආයුධයකින් පහරදීලා කියලා මරණ පරීක්ෂණයේදී කීවා. ඔහුගේ හිසේ පිටුපසට ලොකු ප්ලාස්ටරයක් දාලා තිබුණා.

 

 

ප‍්‍ර.පො.ප. සිල්වා: ඔබට තව මොනවත් කියන්න තියෙනවද?

සාක්කිකරු: මේ වගේ දේවල් මින් ඉදිරියට කාටවත් නොවෙන්න වගබලා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.

නීතිඥ උපුල් දේශප‍්‍රිය: මේ වගේ දේවල් කියන විදියෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සාක්කිකරුගෙන් විමසන්න.

මරණ පරීක්ෂණයේ විමර්ශන නිලධාරියා ලෙස සාක්කිකරුගෙන් ප‍්‍රශ්න කළ හැකි නිසා ”මේ වගේ දේවල්” යනුවෙන් සාක්කිකරු අදහස් කළ දේ ඔහුගෙන් විමසලා දැනගන්නා ලෙස නීතිඥ උපුල් දේශප‍්‍රිය මහතා ඉල්ලා සිටියේය.

මහේස්ත‍්‍රාත්වරයා: ”මේ වගේ දේවල් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද?

සාක්කිකරු: මවුපියන්ට සලකන්න බිරිඳට දරුවන්ට සලකන්න හිටියේ පුතා. එයාගේ මාමා නැති වූ දිනට දානේ දෙන්න හිටපු දවසේ පුතා නැති වුණේ.
ගම්පහ නැදුන්ගමුවේ පදිංචි ජනප‍්‍රිය චින්තක පෙරේරා (21) මහතා සාක්කි දෙමින් මෙසේ කීය.

පළමුවැනිදා උද්ඝෝෂණය කරන අවස්ථාවේදී උදෑසන සිටම මාත් එතැන. හවස් වනවිට ඒ තැන කලබලකාරී තත්ත්වයක් ඇතිවුණා. මා ගෙදරට යන්න හදන විට වෙඩි ශබ්දයක් ඇසුණා. එතැන හිටපු අයට මෙන්ම මටත් වෙඩි වැදුණා. එච්චරයි මට මතක.

මහේස්ත‍්‍රාත්වරයා: කොතැනදීද ඔබට වෙඩි වැදුණේ?

සාක්කිකරු: වැලිවේරිය හතර මංහන්දියේදී.

මහේස්ත‍්‍රාත්වරයා: කීයට විතරද?

සාක්කිකරු: හවස 6.30ට විතර

මහේස්ත‍්‍රාත්වරයා: වෙච්ච සිද්ධිය හරියට කියන්න.

සාක්කිකරු: සාමාන්‍ය අය හා හමුදාවේ අය හිටියා. දෙගොල්ලන් අතර බහින්බස්වීමක් වුණා. ආමි එකේ අය වෙඩි තියන්න ගත්තා. මගේ කකුලට වෙඩි වැදුණා.

මහේස්ත‍්‍රාත්වරයා: ඉදිරියෙන්ද වෙඩි වැදුණේ.

සාක්කිකරු: නැහැ පැත්තකින්. ඒ වෙලාවේ මං නැදුන්ගමුවේ පැත්ත බලාගෙන හිටියේ.

මහේස්ත‍්‍රාත්වරයා: ඒ ගැන තව මුකුත් කියන්න තියෙනවද?

සාක්කිකරු: නැහැ.

මහේස්ත‍්‍රාත්වරයා: වෙඩි පහර එල්ල වුණේ කොයි පැත්තෙන්ද?

සාක්කිකරු: වම් පැත්තේ හිටපු ආමි එකේ අය වෙඩි තියනවා මා දැක්කා.

මහේස්ත‍්‍රාත්වරයා: රැස්වෙලා හිටපු අය මොකද කළේ.

සාක්කිකරු: කට්ටිය ගල්වලින් ගැහැව්වා. වෙඩි තියනවා කියමින් තවත් සමහරුන් දිව ගියා.

මහේස්ත‍්‍රාත්වරයා: වෙඩි තැබීමට අමතරව ආමි එකේ අය තව මොනවත් කළාද?

සාක්කිකරු: හමුදාවේ අය පොලූවලින් ගහනවා මා දැක්කා. එතැන ආමි එකේ අය පමණයි හිටියේ. කලබල වෙලාවේ පොලිසියේ අය එතැන හිටියේ නැහැ.

මහේස්ත‍්‍රාත්වරයා: මුල් අවස්ථාවේදී පොලිසියේ අය හිටියේ කොහේද?

සාක්කිකරු: වැලිවේරිය ෂෙඞ් එක ළඟ සාමාන්‍ය මිනිසුන් හා හමුදාවේ අය බහිස් බස් වෙනකොට පොලිසියේ අය පොලිසිය පැත්තට ගියා.

මහේස්ත‍්‍රාත්වරයා: ඔබට තව මොනවත් කියන්න තියෙනවාද?

සාක්කිකරු: ආමි එකේ ට‍්‍රක් දෙකක් ඇවිත් ෂෙඞ් එක ළඟ සිට ඉදිරියට ඇවිත් ඒකේ හිටපු අයත් වෙඩි තියනවා මා දැක්කා.

මහේස්ත‍්‍රාත්වරයා: ට‍්‍රක් කියන්නේ මොන වගේ දේවල්ද?

සාක්කිකරු: යුද්ධ ටැංකි වගේ දෙකක්.

 

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් නැදුන්ගමුව ඌරුවල පදිංචි ජූඞ් නිශාන්ත පෙරේරා (45) මහතා මෙසේ කීය.

වැලිවේරියේ සිද්ධියෙන් මාත් තුවාල ලැබුවා. මා ත‍්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සභාවේ මංසන්ධියේ රැකියාව කරනවා.

අගෝස්තු පළමුවැනිදා උදේ 9.00ට විතර මා වැලිවේරිය නගරයට ගිහින් ෂෙඞ් එකට ගිහිං ඉන්න විට වතුර ඉල්ලා වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක් කළා. ඌරුවල, නැදුන්ගමුව, ඇටිකෙහෙල්කන්ද, ඇඹරලූව, වැලිවේරිය ප‍්‍රදේශයේ අය වැලිවේරිය හතරමං හන්දියේ පැවැති උද්ඝෝෂණයට පැමිණ සිටියා. එහි 1000ක් 1500ක් විතර හිටියා. ත‍්‍රිරෝද රථය ෂෙඞ් එක ළඟ නවත්වලා මාත් උද්ඝෝෂණයට සහභාගි වුණා. පාර වහගෙන අපි සවස 4.30, 5.00 පමණ වනතුරු උද්ඝෝෂණය කළා.

පාසල් ළමයි ගෙන යන වෑන් රථවලට හා ගිලන් රථවලට එතැනින් යන්න අපි ඉඩ දුන්නා. මේ උද්ඝෝෂණයට කිසිවකු ආරක්ෂාව සලසලා දුන්නේ නැහැ. ඒත් පොලිසියේ අය හිටියා.

උද්ඝෝෂණය කරන අය වගේම පොලිසියේ අයත් බැරියර් දාලා පාර වහලා තිබුණා.

හවස 5.00ට විතර අපිට ආරංචි වුණා බැලූම්මහර හන්දියේ උද්ඝෝෂණය කළ අයට හමුදාව පහර දී පන්නා දැම්මා කියා ආරංචි වුණා.

සවස 5.30ට පමණ යුද හමුදාවේ දාහක් පමණ පිරිසක් සමග බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන කියලා කෙනෙක් ආවා. ඔහු සෑහෙන දේශනයක් දෙන අතර තුර එතැන හිටපු හමුදාවේ අය මාධ්‍යවේදියෙක් ඇදගෙන යනවා අපි දැක්කා.

මා හිටියේ බි‍්‍රගේඩියර්වරයා ළඟමයි. ඔහු කීවා ඔය ගොල්ලන්ගේ ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙයි පාරෙන් අයින් වෙන්න කියා කීවා.

එතැන හිටපු අපේ කෙනෙක් කීවා විනාඩි 10ක් දෙන්න අපි අයින් වෙන්නම් කියලා. එතකොට ඔහු කීවා වෙලාව දෙන්නේ නැහැ අයින් වෙයව් කියා කීවා. ඒත් එක්කම ඔහු කීවා ගහපියව් කියලා. ආමි එකේ අය අතර සිවිල් අඳුම් ඇඳගත් ආමි එකේ අයත් පොලූවලින් පහර දුන්නා.

ආමි එකේ අය ඔවුන් අත තිබු තුවක්කුවලින් ලයිට්වලට හා වයර්වලට වෙඩි තිබ්බා. මා ඇඹරුලූව පාරේ  ගොඩනැගිල්ලක් මතට නැගගත්තා.

ප‍්‍රශ්නය ඉවර වුණාට පසු මා එම ගොඩනැගිල්ලෙන් බිමට බැහැලා යන විට මගේ බඩට වෙඩිල්ලක් වැදුණා. ඒ වෙලාවේ පළාතම අඳුරුවෙලා තිබුණා. බෆල් එකක එළිය පමණක් තිබුණා.

වෙඩි වැදුණාට පසුව මා ඇඹරළුව පැත්තටම දුවන්න හදනකොට දැක්කා ආමි එකේ අය එනවා. එතකොට මං වත්තකට පැනලා වතු අස්සෙන් වැලිවේරිය පල්ලියට ගියා. පල්ලියේ ගේට්ටුවෙන් ඇතුළට යන්න හදන විට එතැන හිටපු අය කීවා යන්න එපා පල්ලිය ඇතුළේ වෙඩි තියනවා කියලා කීවා.
පස්සේ මං වෙන පාරකින් ගෙදරට ගියා. රාත‍්‍රියේම බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ යන්න මා සූදානම් වුණත් ගමේ අය කීවා හමුදාවේ අය ගම වටකරලා ගහනවා වෙඩි තියනවා කියා කීවා.

ඒ නිසා මගේ තුවාලයට ”සර්ජිකල්” දාලා බැන්ඬේජ් කරලා පසුදා උදේ වනතුරු හිටියා. ඒ වනවිට ගොඩාක් ලේ ගිහිිං තිබුණා. පසුදා උදේම මා ගම්පහ රෝහලට ගියා. මේ ගැන රෝහල් පොලිසියට කටඋත්තරයක් දුන්නා.

 

මහේස්ත‍්‍රාත්වරයා: මේ උද්ඝෝෂණයට කවුරු කවුරුද ඇවිල්ලා හිටියේ.

සාක්කිකරු: ගමේ හැමෝම ඇවිත් හිටියා. හතර වටේ ගම්වල අය කිසිවකුගේ බල කිරීමකින් තොරව මෙම උද්ඝෝෂණයට පැමිණ හිටයා. ගැහැණු වයසක අය පොඩි ළමයින් පවා උද්ඝෝෂණයට පැමිණ සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්ෂක කෝරළගේ සමග සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා පෙනී සිටියේය.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් පාර්ශ්වවල අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ පද්මා අමරතුංග හා හේමමාලි පෙරේරා යන මහත්මීන් හා නීතිඥ හරිස්ක කරණාරත්න සමග නීතිඥ උපුල් දේශප‍්‍රිය මහතා පෙනී සිටියේය.

 

 

මනෝප‍්‍රිය ගුණසේකර, පුෂ්පකුමාර මල්ලවආරච්චි, ගම්පහ අනුර වික‍්‍රමසිංහ සහ දෙල්ගොඩ තිලක් නිමලසූරිය

 



අදහස් (0)

පාරෙන් අයින් වෙන්න විනාඩි දහයක් දෙන්නැයි ඉල්ලුවාම දැන්ම අයින් වෙයව්: මුන්ට ගහපියව් කියා බි‍්‍රගේඩියර

ප්‍රියංග Thursday, 29 August 2013 04:40 AM

ඔක්කොම හෙන පොඩි අපිට තමා වැරදි කල සැමට දඩුවම් දිය යුතුය (අ)

:       0       0

ගමගේ Tuesday, 27 August 2013 07:38 AM

උවමනා එක්කෙනා ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ නැතුව අහිංසකයෝ මඩවනවා. නියම නීතිය නේද? (නදී)

:       0       0

කේ එස් ප්‍රනාන්දු Thursday, 29 August 2013 07:21 PM

වරදකරුවන්ට ඉක්මනින් උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

කුමුදු මේනකා Saturday, 31 August 2013 09:49 PM

හමුදාවේ අයට දඬුවම් කරන ගමන් ඔව්න්ට මෙතනට පැමිණීමට බලය දුන් අයද සොයා බලා දඬුවම් දෙන්න . හමුදාව මෙතනට පැනලා ආවේ නැහැනේ . මෙය පිටු පස සිටින අදුර්ශ්මාන හස්තය සොයා බලන්න (අ)

:       0       0

අරුණ Saturday, 31 August 2013 10:59 PM

මේ ලෝකේ ඉන්න විනයගරුකම කියපු හමුදාවද? නැත්නම් ඉන්දීය හමුදාවද? (නි)

:       0       0

නිෂානි Thursday, 29 August 2013 09:57 AM

හැමදාම අහිංසක මිනිසුන් වුන අපි තමා තැලෙන්නේ................ (ස)

:       0       0

අශාන් Wednesday, 28 August 2013 09:37 AM

හමුදාවේ උසස්වීම් දෙන කොටවත් මොලේ පරීක්ෂා කලොත් හොඳයි. නැත්නම් ඔය වගේ මෝඩයෝ හමුදාවම කනවා. (ස)

:       0       0

සූරියප්පෙරුම Monday, 26 August 2013 04:18 PM

දැන්නම් ආශ්චර්යය බේරෙනවා හසන්ත.(නදී)

:       0       0

මධු Tuesday, 27 August 2013 10:49 AM

ඇයි අදාල පුද්ගලයින්ව උසාවි නොගෙනෙන්නේ කරුණාකර දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න .මින් පසු හෝ මෙවැනි අපරාධ නොවෙන්න. (ස)

:       0       0

දර්ශන් Wednesday, 28 August 2013 05:11 PM

අහිංසකයන්ගෙන් ප්‍රශ්න අහනවා විතරද?එයාලට සහන සලසන්නේ නැද්ද? (නි)

:       0       0

නිලන්ත Tuesday, 27 August 2013 03:27 PM

අනේ පිල්ලේට නම් කියන්න එපා මේවා........උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා..... තිරිසනුන්ට කවද හරි ඕව පල දෙයි .....ලෝකේ දෙවියෝ කියල කොටසකුත් ඉන්නවනේ......ඔය වගේ පහර වැඩ කරපු අයට හෙන හතම වදිනවා...... (දී)

:       0       0

දසුනි Tuesday, 27 August 2013 10:12 PM

කෙල ටිකක් වැදුන වගේද,මෙයාල පුරුද්දට වෙඩි තියන්න ගත්තම. හැම හෙනයක්ම අහින්සකයින්ට තමයි. (දී)

:       0       0

ඉන්දික Saturday, 31 August 2013 11:34 AM

මේ ලංකාවේ ඉපදීම කරුමයකි. මේ රටට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 135 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 321 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 852 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 551 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 434 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1762 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site