IMG-LOGO

පුංචි අම්මාගේ මුදල් කොල්ල කෑ පුතාගේ රංගනය

 10-page-7-s2-1  

 

 

දිනය ඉකුත් අගෝස්තු මස 22 වැනි සඳුදාය. ස්ථානය අම්බලන්ගොඩ මහජන බැංකුව ඉදිරිපිට. වේලාව පෙරවරු එකොළහට පමණ ඇත. කහ ඉරි පෙනි පෙනී ගාලු පාර හරහා පාර මාරුවෙන බෑගයත් තුරුළු කරගත් කාන්තාවකි. ඇය සමග ත්‍රිරෝද රථයෙන් බැස ආ තරුණයා කාන්තාව පාර මාරුවන අයුරු පාරේ පසෙකට වී විමසිල්ලෙන් බලා සිටියේය.


ඒ අතර ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට ආ රතුපාට පල්සර් වර්ගයේ යතුරුපැදිය පාර මාරුවෙමින් සිටි කාන්තාව ළඟ නතර කරන්නේ ක්ෂණයෙනි. 
යතුරුපැදියේ ආ නාඳුනන පුද්ගලයා එක්වරම පිහියක් පෙන්වා කාන්තාව බියවද්දා ඇය අත තිබූ බෑගයද උදුරාගෙන ආපසු ගාල්ල දෙසට යතුරු පැදිය ධාවනය කරන්නේ ඔහු වැළැක්වීමට ඉදිරියට ආ තරුණයාටද පිහිය දිගු කරමින් ඔහුද බියට පත් කරමිනි.


මේ චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක දර්ශනයක් රූගත කිරීමක් නොවේ. ජනාකීර්ණ අම්බලන්ගොඩ නගරයේදී සිදුවූ රුපියල් දහ අට ලක්ෂයේ කොල්ලයේ තත්පර ගණනකදී සිදුවූ සත්‍ය දර්ශනයක උච්චතම අවස්ථාවකි.


හිඟුරක්ගොඩ - මැදිරිගිරිය පන්සල පාරේ පදිංචිව සිටි 56 හැවිරිදි ප්‍රදීපා විජයන්ති මෙන්ඩිස් මහත්මියගේ එකම පුතු ඉතාලියේ රැකියාවක් කරන අතර දියණිය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින්නීය. 


ස්ථිර වාසස්ථානයත් නොතිබූ ඇය බලපිටිය, පොළොන්නරුව හා වාරියපොල යන ප්‍රදේශවල සිය ඥාතීන්ගේ නිවෙස්වල වරින්වර ජීවත්වෙමින් සිටියේ ඇයගේ ස්වාමිපුරුෂයා මියයාම නිසාය.


ඇය පසුගිය දිනක බලපිටියට එන්නේ ගොඩගෙදර වෙසෙන සිය වැඩිමහල් සහෝදරියගේ නිවසට ගොඩවැදීමේ අදහසිනි. 


ඇය මෙවර අක්කාගේ නිවසට පැමිණියේ කාලයක් තිස්සේ ඇයගේ හිතේ තිබූ බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමේ අදහසිනි. ඒ ඉතාලියේ රැකියාව කරන සිය පුතු එවූ මුදල්වලින් නව නිවසක් මිලදී ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමේ නොතිත් ආශාවෙනි.


අක්කාගේ පුතුවන ප්‍රගීත් කෙරෙහි ඇයගේ හිතේ තිබුණේ අසීමිත විශ්වාසයකි. ආදරයකි. ඔහු කියන ඕනෑම ඉල්ලීමක් ඉටු කිරීමට තරම් විශ්වාසයක් පුංචි අම්මා වුණ ඇයගේ සිත තුළ තිබුණාය.

 

07-Page-2]4-M-02

 


-ප්‍රගීත්ගේ කීම පරිදි ඇය ඉකුත් 22 දා පෙරවරු 10ට පමණ අම්බලන්ගොඩ නගරයට ගොස් දුම්රියපොළ ඉදිරිපිට පෞද්ගලික මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට ගොඩවැදෙන්නේ ඉතාලියේ වෙසෙන සිය පුතු වරින් වර එවා තිබූ මුදල් එකවර ආපසු ගැනීමේ අදහසිනි. විජයන්ති සමග ඇයගේ ඥාති පුතාවන ප්‍රගීත්ද සිටින බැවින් ඇයට කිසිදු බියක් හෝ චකිතයක් නොදැනේ. 


මේ අතර ජා-ඇලින් එදින උදේ පහහමාරට පමණ යතුරුපැදියේ නැගි පුද්ගලයකු එදින උදේ හත හමාරට අටට පමණ අම්බලන්ගොඩ නගරයට පැමිණෙන්නේ දින කිහිපයකට පෙර කළ සැලසුමක් අනුවය. නාඳුනන පුද්ගලයා ඒ අසල ආපන ශාලාවකට ගොස් උදෑසන ආහාරය ගෙන පැය දෙකකට තුනකට පෙර කල් ඇතිවම ලක ලෑස්තිවූයේ සැලසුමේ ප්‍රධානම කොටස ඉටු කිරීමටය.


අම්බලන්ගොඩ දුම්රියපොළ අසල පෞද්ගලික මුදල් ගනුදෙනු ආයතනය පෙනෙන නොපෙනෙන මානයට වී සිටි මේ නාඳුනන පුද්ගලයා ප්‍රගීත් හා පුංචි අම්මා පෞද්ගලික ආයතනයෙන් පිටව එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි.


මුදල් ගනුදෙනු කරන පෞද්ගලික ආයතනයෙන් පිටතට ආ ප්‍රගීත් හා ඔහුගේ පුංචි අම්මා අසල තිබූ ත්‍රීරෝද රථයක නැගී පෞද්ගලික බැංකුවට ගොස් චෙක්පත මාරුකරගත් පසු පුංචි අම්මා ඇය අත තිබූ බෑගයේ දමා තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදල රැගෙන යළි එන්නේ මහජන බැංකුවේ ගිණුමේ එම මුදල යළි තැන්පත් කිරීමේ අදහසිනි.


ඒ සමග පණගැන්වූ රතු පැහැති යතුරුපැදිය ත්‍රිරෝද රථය පසුපස හෙමිහිට ඇදෙන්නට විය. ප්‍රගීත්ගේ පුංචි අම්මා අත රුපියල් ලක්ෂ ගණනක මුදල රැඳුනේ විනාඩි පහක් තරම් සුළු කාලයකි. විනාඩි පහක් ගතවෙන්නටත් පෙර බැංකුවට ඇතුල්වීමට ඔන්න මෙන්න කියා තිබියදී මුදල් බෑගය කොල්ලකෑමෙන් පසු ප්‍රගීත් හා පුංචි අම්මාට නතර වීමට සිදුවන්නේ අම්බලන්ගොඩ පොලිසියෙනි.


පුංචි අම්මාගේ හා ඇයගේ ඥාති පුතාවන ප්‍රගීත්ගේ කට උත්තර පොලිසිය සඳහන් කර ගත්තේය. -එම කටඋත්තරවල පරස්පරතාවය නිසා අපේ සැකය මුලින්ම යොමුවුණේ ඥාති පුතාට. ඔහු බයවෙලා හිටියේ. අපගේ සැකය හරියටම හරි. ටික වේලාවක් යද්දී ඥාති පුතා සියල්ල වැමෑරුවා”යි පරීක්ෂණ මෙහෙයවූ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


ඒ අනුව පැමිණිලිකාර කාන්තාවගේ ඥාති පුතා වහාම අත්අඩංගුවට ගැනුනි.


-මම ජපානයේ ඉඳලා ඇවිත් ආපහු ජපානයට යන්න හිතාගෙන කොළඹදී භාෂා පුහුණු පාඨමාලාවක් හදාරනවා. 


ජපන් භාෂා පාඨමාලාව හදාරද්දි තමයි මට අමිල මුණගැහෙන්නේ. එහිදී අප දෙන්නා අඳුනාගෙන මිතුරන් බවට පත්වෙනවා.


අමිලයි මමයි පහුගිය 18 දා කොළඹදී හමුවුණා. එදාම අපි දෙන්න බයික් එකේ අම්බලන්ගොඩට එනවා. ඇවිත් පුංචි අම්මා සල්ලි ගන්න පෞද්ගලික බැංකුව හා සල්ලි දාන්න ආපහු යන බැංකුවත් පෙන්වනවා. එහෙම තමයි වැඬේ ප්ලෑන් කරන්නේ. 

 

10-page-7-s2-2

 


-ඔක්කොම සැලසුම් කරල 22 දා උදේ දහයට වැඬේ යොදා ගන්නවා. එදා දවසේ මමවත් අමිලවත් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ තරම් සූක්ෂ්මව මේක සැලසුම් කරන්නේ. අමිල පුංචි අම්මාගේ සල්ලි බෑගය උදුර ගන්නකොට පිටිපස්සෙන් ගිය මමත් කොල්ලකාරය අල්ලගන්න ළඟට දුවන්නේ කාටවත් සැකයක් ඇති නොවන්න. අපි දෙන්න පස්සෙ දවසක හමුවෙලා සල්ලි බෙදාගන්න තමයි කථා කරගෙන හිටියේ” යැයි කොල්ලය සැලසුම් කළ ඥාති පුත්‍රයා පොලිසියට ප්‍රකාශ කර තිබුණි.


ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අම්බලන්ගොඩ පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරා ආරච්චි මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් ජා-ඇල බලා පිටත්ව යන්නේ මුදල් කොල්ලයේ අනිත් සැකකරුවා අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. පොලිසිය මහ රෑම ජා-ඇල තුන්පෑලියේ පිහිටි අමිල නමැත්තාගේ මහගෙදරට යන්නේ අමිල පදිංචි නිවස හරිහැටි නොදැනය. මහගෙදරට පොලිසිය යනවිට සිටියේ අමිලගේ පියා හා මව පමණි.
අමිලගේ පියාද රැගෙන පොලිසිය ඉන්පසු යන්නේ උදම්මිට රජවත්තේ නිවස කරාය. අසනීපයි දොර අරින්න කියා අමිලගේ පියා කියූ සැණින් අමිල දොර අරින්නේ කිසිවක් නොදැනය. 


දෙදරු පියෙකු වූ අමිල එහිදී පොලිසියට සියල්ල හෙළි කළා පමණක් නොව සියලු මුදල් හා බැංකු කුවිතාන්සි ලබාදෙන්නේ පොලිස් අත්අඩංගුවට පත්වෙමිනි. 


-ප්‍රගීත් අපි යාලුවන් වුණේ බොරලැස්ගමුවේ ජපන් භාෂා පන්තියේදි. ඔහු මම ඉන්න තැන දන්නෙත් නැහැ. වැඬේ ප්ලෑන් කරල අම්බලන්ගොඩට මම උදේම ගියා. මේක දන්නේ මමයි ප්‍රගීතුයි විතරයි. ප්‍රගීතුයි පුංචි අම්මයි සල්ලි ගන්න ගිහිල්ල එළියට එනකම් ඉඳලා සල්ලි බෑග් එක උදුරගෙන මම ආපහු ගාල්ල පැත්තටම ගියා. බයික් එක අතුරු පාරකට දාලා ආපහු එළියට ආවේ ප්‍රධාන පාරට. ටික දුරකදි පොලිසිය පසුකළා. පාරේ අයිනේ හිටි අයකුගෙන් ඇල්පිටියට යන පාර අහගෙන ඇල්පිටියේ පෞද්ගලික බැංකුවක රුපියල් ලක්ෂ පහක් තැන්පත් කළා. වෙනත් ජොයින්ට් එකවුන්ට් එකක රුපියල් එක් ලක්ෂ හැට දහසක් දැම්මා.” යැයි අමිල එකක් නෑර සියල්ල පොලිසිය ඉදිරියේ වැමෑරුවේය.


අම්බලන්ගොඩ නගරයේ මහ දහවලේ දෙනෝදාහක් බලා සිටියදී සිදුවූ මේ රුපියල් දහ අට ලක්ෂයේ කොල්ලයේ සැකකරුවන් දෙදෙනා මුදල් සියල්ල සමග පැය විසිහතරක් නොව පැය දොළහක් ගතවීමට පෙර කොටුකර ගැනීමට පොලිසිය සමත්වීම ගැන ජනතාව ප්‍රශංසාව පළ කරති. 


ඒ අනුව කොල්ලය මෙහෙයවූ දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් නිල නිවසට ගෙන යන්නේ ඉකුත් 23 දා රාත්‍රියේමය.


එහිදී සැකකරුවන් දෙදෙනා ලබන මස 05 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස නියෝග කළ බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය අමිල නමැති සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළාය.


ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරා ආරච්චි, උපපොලිස් පරීක්ෂකවරුන්වන හේමන්ත ජයසූරිය, බාලේන්ද්‍රසීහ, කොස්තාපල්වරුන් වන ධනුෂ්ක (72701), ප්‍රේමරත්න (72629), බටුවත්ත (13215), සඳරුවන් (68914), තරංග (72995), රංගන (3011), පොලිස් කොස්තාපල් රියැදුරු චතුරංග (17180) යන මහත්වරු මෙම පරීක්ෂණවලට සහභාගි වූහ.

m



අදහස් (0)

පුංචි අම්මාගේ මුදල් කොල්ල කෑ පුතාගේ රංගනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14346 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 412 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 250 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site