වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට අවශ්‍ය දේශපාලනික මනෝභාවය රටේ සකස් වූයේ අරගලයත් සමග ය. පැරැණි දේශපාලන සංස්කෘතියෙන් ඉවත් වීම, ජාතිවාදය මත පදනම් වූ දේශපාලනය වෙනුවට එයින් බැහැර වූ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම හා දූෂණ විරෝධය මේ ආදි කේන්ද්‍රීය සංවාද කිහිපයක් මහජන අරගලය විසින් මතු කරනු ලැබීය. මේවා භාවිත කරමින් සමාජයේ සහයෝගය ලබා ගත් දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ජාතික ජන බලවේගය මතු විය. සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් තිබූ ජනතා විමුක්ති පෙරමුණට අරගලයෙන් පසු පැවැත් වූ ජනාධිපතිවරණයේ දී සියයට 40 ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ද මහා මැතිවරණයේ දී සියයට 60 ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගැනීමට හැකි විය. එය විශාල රැල්ලකි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කරන ලදී. එම බලය අප හඳුන්වන්නේ පූර්ණ බලයක් …Total power ලෙසය. එය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ක්ෂේත්‍ර දක්වාත් ඉන් ඔබ්බට සිවිල් සමාජය දක්වාත් බලය විහිදුවාලිය හැකි ධුරයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට මෙම ධුරයෙහි බලය කිසිවකුත් අපේක්ෂා නොකළ කණ්ඩායමක් අතට ලැබිණි. ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ ඔවුන් නව සංස්කෘතියක් මේ රටේ ඇති කරන බව ය. එහි එක් අංගයක් වන්නේ වංචා, දූෂණ හා වෙනත් වැරැදිවලට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමය. ඒ පොරොන්දුව පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ ආණ්ඩුව ඒ පැත්තෙන් විශාල වැඩ කොටසක් කරගෙන යන බවය. එසේ ම ආණ්ඩුවේ දේශපාලනඥයන් වංචා දූෂණවලට සම්බන්ධ වන බවක් ද පෙනෙන්නට නැත. වත්මන් ආණ්ඩුවට තිබෙන ප්‍රධාන අභියෝගය වන්නේ ද නව සංස්කෘතියක් බිහි කිරීමේ ව්‍යායාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමයි.
ආණ්ඩුව රටේ ගොඩනගමින් සිටින නව සංස්කෘතියට අභියෝග කළ හැකි විපක්ෂයක් මතු විය යුත්තෙත් එම සංස්කෘතියෙනි. එකී සංස්කෘතියෙහි නියාමයන් ඉදිරියට ගෙන යා හැකි විපක්ෂයක් විය යුතු ය. එහෙත් අද සිටින විපක්ෂය ආණ්ඩුව ගොඩනගමින් සිටින සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන පිරිසකි. මේ සන්දර්භයේ විපක්ෂය එකතු වූ පමණින් විශාල බලපෑමක් කළ නොහැකිය. මගේ අදහස අනුව විපක්ෂය මේ අලුත් සංස්කෘතිය ග්‍රහණය කරගෙන නැත. එසේ ග්‍රහණය කරගන්නේ නම් දැන් විපක්ෂයේ සිටින නායකයන් සියලු දෙනා ඉවත් වී ඒ වෙනුවට අලුත් අය පත් කළ යුතුය. දැනට විපක්ෂයේ සිටින සියලු අය ප්‍රතික්ෂේපිත දේශපාලන සංස්කෘතියෙහි නියෝජිතයෝ වෙති.
එකී ප්‍රතික්ෂේපිත සංස්කෘතියෙහි ප්‍රධාන නියෝජිතයා හැටියට රනිල් වික්‍රමසිංහ හඳුනා ගැනිණි. ඔහු ප්‍රතික්ෂේප කරන ලද්දේ ද රනිල් රාජපක්ෂ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමිනි. එපරිදි ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් විපක්ෂයේ සන්ධානයක් ගොඩ නැගිය හැකිදැයි කියා මම ප්‍රශ්න කරමි. නීතිඥ ශිරාල් ලක්තිලකගේ ප්‍රධානත්වයෙන් දිනන දකුණ නමින් යම් න්‍යායවාදයක් නිර්මාණය කර ඇත. එහි මූලික ඇඟවුම රටේ දේශපාලනය වමට ගමන් කර ඇති බැවින් දකුණක් අවශ්‍යය යන්න ය. ඒ ආකාරයේ හෝ නව න්‍යායික දැක්මක් ඉදිරිපත් කරන විපක්ෂයක් රටට අවශ්‍ය වේ. එහෙත් පැරැණි දේශපාලන සංස්කෘතියෙහි ගැලී ජීවත් වූ අයගේ මූලිකත්වයෙන් විපක්ෂ සන්ධානයක් ගොඩනැගීම නිෂ්ප්‍රයෝජනය.
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම විපක්ෂ කණ්ඩායම් අතර නව සන්ධානයක් බිහි කිරීමේ උත්සාහයෙහි ආසන්නතම හා කේන්ද්‍රීය නිමිත්ත යි. මගේ විශ්වාසය හැටියට ඒ ආකාරයේ සන්ධානයක් ගොඩ නැගීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සම්පූර්ණ වී නොමැත. යම් දේශපාලන තත්වයක් ඇති වීමට දේශපාලන කොන්දේසි තිබිය යුතු ය. විපක්ෂයේ පිරිස් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව අමතක නොකළ යුතුය. එවැනි පසුබිමක වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන් ම ජනතා අප්‍රසාදයට ලක්වුවහොත් පමණක් විපක්ෂ කණ්ඩායම්වලට එකතු වී පෙරට පැමිණිය හැකිය. එසේ වුවත් සාම්ප්‍රදායික තට්ටු මාරු දේශපාලනයට ජනතාව කැමැති නැත.
එබැවින් මා කියන්නේ රටට අලුත් විපක්ෂයක් අවශ්‍ය බවය. ඉදිරි කාලයේ දී එවැනි විපක්ෂයක් රටේ මතුවනු ඇත. වෙනස් වෙමින් තිබෙන මේ දේශපාලන සංස්කෘතිය ඉදිරියට යා යුතුය කියා අප සිතන්නේ නම් වත්මන් ආණ්ඩුවත් සමග විකල්පීය සාකච්ඡාවක් කළ හැකි හා මතවාද ඉදිරිපත් කළ හැකි විපක්ෂයක් මතු විය යුතුය. අරගලයෙන් පසු ගොඩනැගුණු දේශපාලන සංස්කෘතිය විසින් මිනිසුන් දේශපාලනය විශ්වීය ප්‍රවේශයකින් දකින තැනකට තල්ලු කරනු ලබනු ඇත. එබැවින් මේ ආණ්ඩුවට අභියෝග කිරීමට නම් මෙම සංස්කෘතියට සම්බන්ධ වූ දේශපාලනයක් පැමිණිය යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරන භාවිතයක් එකී දේශපාලනයෙහි ඇතුළත් විය යුතුය. දැනට විපක්ෂය වශයෙන් සංවිධානය වී සිටින කණ්ඩායම දේශපාලනික වශයෙන් අවලංගු බව මගේ අදහසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් බිහි වූයේ ද්වීපක්ෂ ක්‍රමය ඉදිරියට ගෙන යෑම සඳහාය. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය බලයට පැමිණීමත් සමග ද්වීපක්ෂ යැයි සැලකූ කණ්ඩායම් දෙකම (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සමගි ජන බලවේගය) එකම ගොඩකට වැටී තිබීම ය. ගොඩ නගන්නට යන විපක්ෂ සන්ධානය මගින් ද ඔවුන් පෙන්වමින් සිටින්නේ තමන් එක ගොඩේ සිටින බවය. එම කණ්ඩායමේ ජාතිවාදය ඇවිස්සූ පිරිස් ද සිටිති. දේශපාලනික වශයෙන් අතරමං වූ පිරිසක් එකට එකතු වීමට දරන උත්සාහයක් හැටියට එය හැඳින්විය හැකිය.
විපයේ එකතු වීමේ උත්සාහය ආඬි හත්දෙනාගේ කැඳ හැළියට සමාන කළ හැකිය. මෙම පිරිස විපක්ෂයේ සන්ධානයක් ලෙස ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කළ ද එහි සිටින කිසිවකුට දිය හැකි දායකත්වයක් නොමැත. කැඳ හැළියේ උදාහරණයෙන් කිවහොත් කැඳ හැළියට දැමීම සඳහා ඔවුන් අතේ කිසිවක් නොමැත. ඔවුහු නිස්කාරණේ ළිප රත් කරමින් සිටිති. විපක්ෂ බලවේගයක් බවට පත්වන්නේ නැත. විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් අභ්‍යන්තරයේත් ප්‍රශ්න හා මතභේද තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් කිහිපයකට ඛණ්ඩනය වී ඇති අතර ඔවුන් අතර නිතර රණ්ඩු ඇති වේ. සමගි ජන බලවේගය අභ්‍යන්තරයේත් නායකත්වය අරබයා ප්‍රශ්න මතුවෙමින් ඇති ස්වභාවයක් දිස් වේ. මේ සියලු තත්ව සැලකීමේ දී අද තිබෙන විපක්ෂ කණ්ඩායම්වලින් ශක්තිමත් විපක්ෂ බලවේගයක් නිර්මාණය වීමට ඉඩක් නොමැත.
සැබෑ විපක්ෂයක් අනාගතයේ දී බිහි වුවහොත් ගොඩනැගෙමින් තිබෙන දේශපාලන සංස්කෘතිය පිළිගැනීමටත් සහ ඉදිරියට ගෙන යෑමටත් එයට හැකියාව තිබිය යුතු ය. එමෙන් ම එකී විපක්ෂය වංචා දූෂණවලට විරුද්ධ සහ ඒවාට සම්බන්ධ නැති පිරිසකගෙන් සමන්විත විය යුතු ය. වත්මන් ආණ්ඩුව සමග ප්‍රතිවාදී හා මතවාදී වශයෙන් ගැටිය හැකි විපක්ෂයක් ද විය යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව විකල්ප මතවාදයක් ඉදිරිපත් කිරීමට හැකි වීමද වැදගත්ය. වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ සංයුතියෙන් එවැනි විපක්ෂයක් අපේක්ෂා කළ නොහැකි අතර විපක්ෂයට පාර්ලිමේන්තුවේ සංයුතිය එතරම් වැදගත් වන්නේ ද නැත. ආණ්ඩුවට තව වසර හතරකට වැඩි කාලයක් ඉතිරිව තිබේ. ආණ්ඩුව දැන් ගත කරමින් සිටින්නේ එහි මධුසමයයි. ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වූ පසු පළමු වසර දෙක මධුසමය ගත කරයි.
විපක්ෂය විශාල දාර්ශනික දරිද්‍රතාවකින් පෙළෙයි. ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ද මේ දිළිඳු බව දැකිය හැකිය. ප්‍රශ්න හඳුනාගැනීමට නොහැකි බවක් ද පෙන්වයි. විපක්ෂය සිතන්නේ ඒ වටා සිටින පුද්ගල චරිත එකතු කළ සැණින් විශාල බලවේගයක් වශයෙන් ගොඩ නැගිය හැකි බවය. එහෙත් ඒ පුද්ගල චරිත සම්බන්ධයෙන් ජනතාව අතර විශාල විශ්වාසයක් හා පිළිගැනීමක් නැත. සැබෑවටම ජනතාව අතර ඔවුන් පිළිබඳ විශ්වාසයක් තිබේ නම් ද්වීපක්ෂ ක්‍රමය පිළිගැනීමට බඳුන් විය යුතුය. එසේ වුවත් එවැන්නක් සිදුවන්නේ නැත. ජාතික ජන බලවේගය පොරොන්දු වූ සංස්කෘතික වෙනස ඇති කිරීමට අපොහොසත් වුවහොත් එයට අභියෝග කළ හැක්කේ අදාළ සංස්කෘතික වෙනස තමන්ට කළ හැකි බවට මතයක් ඉදිරිපත් කළ හැකි සහ රටේ සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකි පිරිසකට පමණි.
ශ්‍රී ලංකාවේ සමාජය අසංවර්ධිත තත්වයක පසුවේ. අශිෂ්ටත්වය සමාජය පුරා පැතිර ඇති බවක් ද නිරීක්ෂණය වෙයි. මේ තත්වය හැඳින්වීමට මා භාවිත කරන යෙදුම දුර්විනීත සමාජය…Unpivil Society යන්න යි. සිවිල් යන්නෙහි අර්ථය හොඳ සමාජය යන්න යි. මිනිසුන් සිවිල් වී අනෙකාගේ අදහස් පිළිගන්නා යහපත් ජීවිතයකට එළැඹුම එයින් අදහස් වේ. මේ සංස්කෘතිය වෙනස් කිරීම පහසු නැත. එහෙත් එය කළ යුතුය. එය කිරීමට හැකියාව ඇති පිරිසක් විපක්ෂය වශයෙන් මතු විය යුතුය.
ඇතැම් පාර්ශ්ව පවසන පරිදි ඉදිරියේ දී ජාතික ජන බලවේගය කේන්ද්‍ර වූ ඒක පාක්ෂික දේශපාලන ක්‍රමයක් ඇති වීමට යම් නැඹුරුවක් තිබුණ ද එවැන්නක් යථාර්ථයක් වීමට අවැසි කොන්දේසි ශ්‍රී ලංකාවේ නොමැත. මෙරට සමාජය බහුවාර්ගික වන අතර විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන ජනතාවගේ දේශපාලන චර්යාව වෙනස්ය. එකී චර්යාව සම්පූර්ණයෙන්ම ප්‍රධාන දේශපාලන ක්‍රමයට එකතු කර නැත. ඒ සඳහා ඉවහල්වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කළේ ද නැත. 1978 ව්‍යවස්ථාව සකස් කර තිබෙන්නේ ප්‍රධාන ජනවර්ගයට ආධිපත්‍ය හිමි වන පරිදිය. සාම්ප්‍රදායිකව මැතිවරණවල දී ආණ්ඩු හදන්නෝ සිංහල බෞද්ධ ඡන්දදායකයෝය. එසේවතුදු වත්මන් ආණ්ඩුවට උතුරු නැගෙනහිර පළාත්වලින් ද යම් ආසන ප්‍රමාණයක් දිනාගත හැකි විය. එහෙත් ඒක පක්ෂ ආධිපත්‍යයක් ගොඩනැගීමට හැකි වෙතැයි මම විශ්වාස නොකරමි. ඇතැම් විට මැතිවරණ ක්‍රමය ඔස්සේ ඒකපක්ෂ ආධිපත්‍යයක් පවත්වා ගෙන යෑමට පුළුවන.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව සංස්කෘතිය විපක්ෂයේ අභියෝගය