
------------------------------------------
(*** රංගන ශිල්පී - දිමුතු චින්තක)
------------------------------------------
ටෙලිනාට්‍ය දැන් සෑම නාලිකාවකම ප්‍රධාන කටයුත්තක් බවට පරිවර්තනය වී ඇත. ඒ අතරතුර ඉන්දීය, කොරියානු, ජපන් ආදී කොටගත් විදේශ නිර්මාණද එකිනෙකා පරයමින් සිටී. සිනමාවේ කලාත්මක සහ වාණිජ වෙනස දැන් දැන් ටෙලිනාට්‍ය කලාව තුළ ද ඇතුළු වී ඇත. ජනතා රස මනස පුබුදුවාලීමටත් ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑමට යම් ටෙලි නිර්මාණයකට හැකියාව ඇත්නම් එය ප්‍රශස්ත කටයුත්තකි.
නැවත අපිට දඬුබස්නාමානය, දූ දරුවෝ, වෙද හාමිනේ, කඬුල්ල, බැද්දෙගෙදර, ස්වයංජාත වැනි (තවත් නාට්‍ය විශාල ප්‍රමාණයක් කියන්නට ඇත) නාට්‍ය නිර්මාණ නැවත බිහිවේ ද?...
සාමාන්‍ය සරල තේමා සමඟ වර්තමාන ශ්‍රී ලාංකේය, ආර්ථික, දේශපාලන හා සාමාජීය හැඩතල උකහා ගනිමින් රූප රචන සමඟ අධ්‍යක්ෂණය පමණක් අපව ප්‍රකම්පනය කරමින් අපව සෞන්දර්යාත්මකව සුන්දර රසවින්දනයක් කරා දැහැන්ගත කරවන ටෙලි නාට්‍යයකි “නාඩගම්කාරයෝ”. එහි අධ්‍යාපනික මෙන්ම ආගමික වටිනාකමකුත් කතා කිරීම විශිෂ්ටය. නාලිකාවක ඕනෑ එපාකම්වලට වඩා නිර්මාණකරුවන්ගේ වුවමනාව සහ කැපකිරීම රටේම ජන මනස අවදි කිරීමට ගත් සැබෑම හෘදයාංගම උත්සාහයකි.
අපගේ පාරම්පරික නාට්‍ය කලාවලට පැරණි ගීත බලෙන් ඔබ්බවා නැති බව ද අපට පසක් වේ. කොමඩි නළුවෙකු වූ ගිරිරාජ් ප්‍රහසනය තබාගනිමින් හරවත් රංගනයක යෙදෙන බව කිව යුතුමය. මට හිතෙන්නේ ජැක්සන් ඇන්තනී නම් මහා රූපවේදියාට වඩා දිගු ගමනක් යා හැකි රංග ශිල්පියෙකි සජිත.
අනුරාධපුරෙන්ම තුන්දෙනක් දායකවීම ද ඔවුන් පරාස තුනක චරිතවල සිටීම සුන්දරය. සිරිසේනලා මුදලාලිලා මාස්ටර්ලා වගේම මාලන්ලා කැකුළලා ද රත්නේ කොලුවා ද මුදලාලි හාමිනේ ද ගජමෑන් ද අප අතරම සිටින බව දැන් දැන් අපට පෙනේ. ඒ විතරක් නෙවේ මේ දවස්වල රාලහාමිලා ලේකම්ලා පිනුම් ගසන හැටි අපට මතක් වෙන්නේ “නාඩගම්කාරයෝ” නැරඹූ විට.
ඕනෑම මනුස්සයෙක්ගේ සැබෑ ගති ස්වාභාවය විවිධ අවස්ථාවලදී මෙම නාට්‍ය තුළින් අපි දකින්නෙමු. සුරංග වගේම චණ්ඩි රෑන් ද දැන් හැමතැනම හතු පිපී ඇත. හෙට දවසේ මොකද වෙන්නේ ?... හිතේ තියාගෙන අපි ආලින්දයට පිවිසෙයි. මෙවැනි නිර්මාණ ගැන විචාර ලියන ඇත්තන්ගේ අත් හිරිවැටී ඇත්තේ මන්දැයි නොදනිමි. එවැනි දෙයක් ලියන්නට මෙය උත්තේජනයක් විය හැක. කොරෝනා වසංගතයෙන් හෙම්බත් වී සංචරණ සීමාවලට මැදි වී පාර්ලිමේන්තු විහිළු ප්‍රවෘත්ති නරඹමින් අනේ අපොයි කියා හිතෙන වෙලාවක “නාඩගම්කාරයෝ” මී බිඳකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියේ සඳහන් සාරගර්භ කරුණු වලට ස්තූතියි. සත්‍ය වශයෙන්ම, නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මෑත කාලයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ටෙලිනාට්‍යයක් යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, මේ නාට්‍යය බැලීමේදී අප කලා නිර්මාණයකින් අවසානයේදී ලබන උපරිම රසවින්දනය ඒ අයුරින්ම ලබනා බව ස්තුති පූර්වකව කිවයුතුව ඇත. මාස්ටර්, සරා හා පාඨලී, කවඩියා ඇතුළු මිතුරන්ද, කුකුළා ලකුණ මුදලාලි ඇතුළු සෑම දෙනා ඉතා ප්‍රශස්ත ලෙස රංගනයේ යෙදේ. පිටපත් රචකයා හා අධ්‍යක්ෂකවරයාගේ අප්‍රතිහත උත්සාහය හා ප්‍රතිභාපූර්ණ කලා කෞශල්‍යය අතිශයින්ම විශ්මය ජනකයි. කලාව මිනිසාගේ යහපත උදෙසාය යන්න මෙහිදී මනාව සනාථ කරයි. හාමුදුරුවන් හා පොඩි හාමුදුරුවන්ගේ චරිත අති විශිෂ්ටයි. මෙවන් අති විශිෂ්ඨ නාට්‍ය තව තවත් බිහිවේවා...!!! යනු අප පැතුමයි...
"මෙවැනි නිර්මාණ ගැන විචාර ලියන ඇත්තන්ගේ අත් හිරිවැටී ඇත්තේ මන්දැයි නොදනිමි." දිමුතු චින්තක මහතාගේ කතාව සහතික ඇත්තකි. එය හරියට, ගෘහණියක් දන්න සූපශාස්ත්‍ර සියල්ලම දමා පිළියෙල කළ රසවත් ආහාරයක්.., කෙනෙක් ගිජුව ගිල දමා කිසිත් නොකියා නැගිට ගියා හා සමාන යයි විටෙක මට සිතෙයි.. රංඟනය, නර්තනය, සංගීතය, උපහාසය මුසුවූ අපූරු සංකලනයකින් හෙබි ටෙලි වෘතාන්තයකි. "නාඩගම්කාරයෝ" ටෙලි නාට්‍ය. එහි රඟන "රහල් බුළත්සිංහළගේ" ලොකු හාමුදුරුවන්ගේ චරිතයට මම බොහෝ සේ ප්‍රිය කරමි. අනෙකුත් සියලුම දෙනාගේ හැකියාවන් ඉතා අගෙයි.. පිට රටවල් වල ඉන්න අයත් ඉතා ආසාවෙන් බලන මෙවන් ටෙලි නාට්‍යයන්, මෙවන් සුපිරි කලාකරුවන් අතින් තව තවත් බිහිවේවායි යනු අපගේ නිමල පැතුමයි. දරුණු වසංගතයක් පවතින මොහොතක වුවත් බොහෝ වෙහෙස මහන්සි වී අප වෙනුවෙන් කරන උදාර සේවයට බොහෝ සේ ස්තූතිවන්ත වෙමි..
මේවා හොඳයි නාඩගම් කාරයන්ට.
ඇත්තෙන්ම. මෙම නාටකයේ ඉතාම සුන්දර තාත්විකව ඒ වැඩිහිටි චරිත වලට පන පොවන, ප්‍රවීන රංගධාරීන් නව දෙනා ( හරි ඇති නේද ගනන ) සහ ..විශේෂයෙන් සෑම නව මුහුනක්ම, ප්‍රවීනයන්ට ඔන්න මෙන්න දක්ෂ රංගනයක යෙදෙන්නේ, ආධුනිකද කියා සිතන්නවත් ඉඩ නොතබමින්..
මම දිනපතා නාඩගම්කාරයෝ අසාවෙන් නරඹන ප්‍රක්ෂකයෙක් වෙමි.
විනෝදය ගෙනෙන නාට්‍යයක් ලෙස මෙය වටිනා අතර එහි තිබෙන සරල තේමාව නිසා ජනප්‍රිය වී ඇත.
ලිව්ව අදහස් ටික හරිම ලස්සනයි පුජා. ස්තූතියි ඔයාට ...
නාඩගම්කාරයොත් අනිත් හැම කතාවක වගේම අපේ ආගමට ගමට පටහැනි සමන්‍ය ටෙලිනාට්‍යක්.
බොරු නාඩගම් එපා හලෝ... තාම ටෙලිනාට්‍ය පටන් ගත්තා විතරයිනේ.. ඉස්සෙල්ලම ඉවර වෙනකන් බලලා ඉන්න. ඊට පස්සෙ දෙමු ළකුණු...
හුඟක් ටෙලිනාට්‍ය ලොකුවට පටන් අරගෙන හිටපුගමන් විකාශනය නතර වෙනවා. පටන් ගත්ත නලුනිලියන් එක්ක නෙවෙයි නාට්‍ය අවසන් වෙන්නේ.
ස්වර්ණවාහිනි නාළිකාව නොබලන අපි නාඩගම්කාරයෝ බලනවා. එහි නලු නිළියන්ගේ රඟපෑම් අති විශිෂ්ටයි
සුළු දේකටත් ගහ මරා ගැනීම අපේ සංස්කෘතියට නොගැලපේ.
කොටස් ප්‍රමාණය ඕනවට වඩා වැඩි කරොත් නාට්‍යයේ වටිනාකම නැතිව යනවා.
නාඩගම්කාරයෝ ගමක සිදුවන සරළ සිදුවීම් පිළිබදව ගැඹූරු හැදෑරිමක් සහිතව කෙරුණූ නාටකයක් යැයි හැගේ. සමාජයේ අවස්ථාවන් අහිමිවූවන්ගේ ජීවිත හා ඔවුනගේ කටයුතු සෙස්සන් විසින් අවමානයට ලක්කිරීම අද දවසේ පවා අපේ රටේ හැම ගමකම වාගේ සිදුවන දෙයක්. ඒක හරි අපුර්වතම ලෙස මෙහි නිරූපණය වනවා. අනෙක දේශපාලන බලය ගම තුළ ඇතිකරන බෙදීම් /ගැටුම්/හිත්රිදවීම් මේ සියල්ල සරළවත් ආකර්ෂණීය ලෙසත් නාඩගම්කාරයෝ තුළ ඔබ්බවා තිබේ. මෙහි රංගන කාර්යය සිදුකරන සියළු දෙනාම ඉතා හොදින් තම භූමිකාව ඉටු කරන බවත් සතුටින් සදහන් කළ යුතුය.
සමහර නාලිකාවල අද්ද අද්ද යන ගොබ්බ කතා දිහා බලනකොට නාඩගම්කාරයින් මොනතරම් අපූරුද කියලා හිතෙනවා.
නාඩගම්කාරයෝ ටෙලිය හැම අතින්ම හොඳයි. විටෙක, අතීතයේ ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ චණ්ඩි චිත්‍රපට සිහිගන්වයි.. නවකයින් ආධුනික බවක් පෙන්වන්නේම නැත.. තාත්වික බව තිබේ නම් කතාව දික් ගැස්සුණාට කම් නැත... මෙම ගමේ සෙසු ගම්මුන් සිටිය යුතුයි. ඔවුන් නොදැකීම අඩුපාඩුවකි. සෙසු බොහෝ අංග සර්ව සම්පූර්ණයි...