දළදා පෙරහර ආරම්භ වූයේ අනුරාධපුර යුගයේය. ගජබා රජතුමා සොලී රට පරදවා ලක්දිවට යළි පැමිණීමේ ජයග්‍රාහි සිද්ධිය සිහි කිරීම හා එතුමාට මේ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට ආධාර දුන් විෂ්ණු කතරගම පත්තිනි හා නාථ දෙවිවරුන්ට උපහාරය පුද කිරීම පිණිස දළදා පෙහර ආරම්භ කළ බව එක් මතයකි.
දළදාවේ හිමිකරු ලක්දිව අග රජු බවට මතයක් පැතිර ගිය පසු අත්‍යලංකාර පෙරහරකින් ඒ බව ඔප්පු කිරීමට දළදා පෙරහර ආරම්භ කළ බව තවත් මතයකි. කෙසේ වෙතත් අනුරාධපුර යුගයේ ආරම්භව පෙරහර පසුකාලීනව විවිධ වෙනස්කම් සහිතව වර්ධනය විය.
උඩරට රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයේ වසරක් පාසාම පෙරහර පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
වර්තමානයේ මෙරට පවත්නා ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර සමයයි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ඉල්ලීම මත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එකල පැවැති සතර මහා දේවාල පෙරහරට දළදා පෙරහරත් එකතු කර වර්තමාන පෙරහර ආරම්භ කළ බව ඉතිහාසයේ දැක්වේ.
දළදා වහන්සේ ලක්දිවට ගෙන ආවේ ද භාරතයේ රජවරුන් දළදාව උදෙසා යුද්ධ කිරීමට පටන් ගත් නිසාය. එලෙසම ලක්දිව දී දළදාව නිසා යුද්ධ ගණනාවක්ම සිදුවිය. මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ සිහසුනට නැගීමෙන් පසු යළිත් රෝහණය සමග මහා යුද්ධයක් කළේ ද දළදා වහන්සේ අත්පත් කර ගැනීමටය. දළදා වත් පාත්‍ර ධාතුවත් තිබුණේ රුහුණේ රජකළ සුගලා රැජින සතුවය. අගරජුවීමට නම් දළදාව හිමිකර ගත යුතුමය. රජුගේ නියමයෙන් කේඛසේනාධිපතියා මහා සටනක් කර දළඝදාව හා පාත්‍රා ධාතුව අල්ලා ගත්තේය. එම සටනේ දී රෝහණ රාජධානිය විනාශ වූ බව ද සඳහන් වේ.
වාරියපොල සුමංගල හිමියන් දළදා වහන්සේ සොරකම් කළ හැටි
උඩරට මහ කැරැල්ල සමයේ ඉංග්‍රීසින් දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස තමන්ගේ හමුදා සෙබළුන් කිහිප දෙනකු රඳවා තිබිණ. එහෙත් කැප්පෙටිපොල නිලමේ ඇතුළු ඉංග්‍රීසි විරෝධි උඩරැටියන්ට දළදා වහන්සේ අත්පත් කර ගැනීමට අවශ්‍ය විය. මේ ඉල්ලීම ඉටු කළේ එකල මාලිගාවේ තේවාව භාරව සිටි වාරියපොල සුමංගල හිමියන් සහ කළුගොමුවේ කාරියකරවන රාලය. ඔවුන්ගේ අනුදැනුම මත උපායක් දියත් විය.
මාලිගාවේ ඇතුළු ගබඩාව වැසීමට ආසන්නයේ කැරලිකාර සිංහලයෝ පිරිසක් දළදාව තැන්පත් කර ඇති ඇතුළු ගබඩාවට රිංගවීමට සුමංගල හිමියන්ට හැකිවිය. මුළු රැයක් එහි සිටි ඔවුහු පසුදා අලුයම් දුර තේවාවට හේවිසි නාද පවතිද්දී කරඬු විවෘත කර දන්ත ධාතුව සහිත කුඩා කරඬුව රැගෙන පලාගොස් කැප්පෙටිපොල නිලමේට භාර දුන්හ.
1818 ජුලි මස 5 වැනිදා හඟුරන්කෙතදී කැප්පෙටිපොල නිලමේ විසින් දළදා වහන්සේ මහ ජනතාවට ප්‍රදර්ශනය කළේය. 1818 නොවැම්බර් 1 වැනිදා පුබ්බිලියේ දී දළදා වහන්සේ යළි අල්ලා ගැනීමට ඉංග්‍රීසින්ට හැකිවිය. ඒ සමගම වාරියපොල සුමංගල හිමියන් ද අත්අඩංගුවට ගනු ලැබ යාපනයෙන් සිරිගත කෙරිණි.
මෙයින් පසු කාලයක් වන තුරුම දළදා මාලිගයේ කටයුතු ඉංග්‍රීසි රජයේ පරිපාලනය යටතේ සිදුවිය. පෙරහර පැවැත්වීම පුරාණයේ සිරිත අනුව ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් සිදුවිය. මිෂනාරින් මේ කටයුතුවලට විරුද්ධවීම නිසා 1852 දී වික්ටෝරියා රැජිනගේ නියමයෙන් දන්ත ධාතුව දියවඩන නිලමේ හා මහානායක හිමිවරුන් දෙනමට භාර දෙන ලදී.
උඩරට රජ සමයේ සිට ඒ වනතුරුම දිනපතා දළදා වහන්සේට පුද පූජා කිරීමට පොදු රටවැසියාට හිමිකමක් නොලැබිණ. උඩරට ඉංග්‍රීසින්ට යටත් වූ පසු මාලිගාව පෙනෙන දුරින් පුටුවක් තබා එහි මල් පූජා කිරීමට රටවැසියන්ට අවසර ලැබිණ. එහෙත් වික්ටෝරියා අධිරාජිණිය ඒ සිරිත වෙනස් කර දිනපතා මාලිගාව තුළට ගොස් වැඳපුදා ගැනීම පිණිස අවසර දෙමින් මුරකාවල් ලිහිල් කළාය.
දියවඩන නිලමේවරු තිදෙනෙක්.
උඩරට රජසමයේ දී දියඩන නිලමේවරු තිදෙනක් රාජකාරි කළහ. මහ දියවඩන නිලමේ, පල්ලේවාහල දියවඩන නිලමේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ යනුවෙනි.
මහ දියවඩන නිලමේ රජුගේ උල්පැන්ගෙන් භාර නිලධාරියාය. එකල උල්පැන්ගෙන් වර්තමාන නාන කාමරයකට සමකළ හැකිය. රජුගේ ස්නානය කරවීමේ සියලු කටයුතු මහ දියවඩන නිලමේට භාරවිය. පල්ලේවාහල යනු බිසෝමාලියාවය. බිසෝවරුන්ගේ හා කුමාරවරුන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් පැවැති උල්පැන්ගේ භාර වූයේ පල්ලේවාහල දියවඩන නිලමේටය.
දළදා මාලිගාවේ කාර්යභාරය උසුලන ලද්දෙ දළදා මාලිගාවේ දියවඩන නිලමේ විසිනි. මාලිගාව සතු ගම්බිම් පාලනය කිරීම නිලධාරීන් පත් කිරීම වතාවත් නිසි ලෙස පැවැත්වීම පිළිබඳ පරිපාලනය ආදි කුදුමහත් කටයුතු භාර වූයේ ඔහුටය. අද දියවඩන නිලමේ යනු එක තනතුරක් වුවද සිංහල රජසමයේ දියවඩන නිලමේ යනුවෙන් හැඳින් වූයේ එක් පුද්ගලයකු නොවේ. ඉහත දැක්වූ ශ්‍රේණින් සඳහා මුර ක්‍රමය අනුව රාජකාරිය කිරීමට කිහිප දෙනකු පත්කර සිටියහ.
දැන් තිබෙන දළදා මාලිගාව සාදවන ලද්දෙ පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. ඒ 17 වැනි සියවසේ අගභාගයේදීය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ (වර්ෂ 1690 සිට 1739) කලය වනවිට එම දළදා මැදුර දිරාපත්ව තිබු බවද නරේන්ද්‍ර නරේන්ද්‍රසිංහ රජතුමා එතෙක් තෙමහල් මන්දිරයක්ව තිබූ දිරාගිය ගොඩනැගිල්ල කඩවා දෙමහල් මන්දිරයක් කර නැවත ඉදිකර වූ බවද මහා වංශයේ සඳහන් වේ.
උඩරට රජවරුන් සෑම විටම දළදා මාලිගාව ඉදි කළේ තමාගේ රජ මාලිගයට වඩා උසින් සිටින සේය. මහනුවර පැරණි රජ මාලිගා කිසිවක් දළදා මාලිගාව තරම් උස නැත. එතරම් විශාල ද නැත. දළදා මන්දිරය යනු විහාරයක් නොව රාජ්‍යත්වයේ සංකේතය ප්‍රදර්ශනය කළ මැදුරක් විය.
ත්‍රිසිංහලේශ්වර හෙවත් ලක්දිවට අග රජු ලෙස සැලකුණේ දළදා වහන්සේගේ භාරකාරත්වය තිබූ තැනැත්තාය. ඒ නිසා රජවරු තමා වාසය කරන මාලිගයට සමීපවම දළදා මැදුර ඉදිකර ජීවමාන බුදුන් වහන්සේ රැකබලා ගන්නා තැනැත්තා යන ගෞරවය ජනතාවගෙන් ලබාගත්හ. රජමාලිගය තුළම වූ දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ හිඳින මාලිගය ඉදිරියට යාමට එකල රටවැසියන්ට අවසර හිමි නොවීය.
පත්තිරිප්පුව
දළදා මාලිගය අලංකාර කරන පත්තිරිප්පුව කොන් අටක් ඇති (පැති අටක) ගොඩනැගිල්ලකි. පත්තිරිප්පුවේ කොන් අට මගින් විශ්වයේ පැති අටක සංකේතවත් වන බවත් එහි මැද ඊශ්වරයා මෙන් රජු සිටි බවත් කියැවේ. පත්තිරිප්පුව දමිළ ගෘහ නිර්මාණ ශිල්පයෙන් උකහා ගත් ගොඩනැගිල්ලකි.
දමිළ භාෂාවෙන් පාර්තු (දැකීම) ඉරිප්පු (ඉඳගෙන) යන අදහසින් ඉඳගෙන අවට බලන තැන යන අර්ථයෙන් පත්තිරිප්පුව යන වදන නිර්මාණය වී ඇත.
1812 දී ඉදිකළ මෙම ගොඩනැගිල්ල රජමාළිගයේ කොටසක් මිස දළදා මාලිගයෙන් කොටසක් නොවේ. රජතුමාට ජනතාව ඉදිරියේ පෙනි සිටීම සඳහා පත්තිරිප්පුව ගොඩනැංවූ බව ඉතිහාසයේ සඳහන්ය.
සුවිශේෂී කාර්ය මණ්ඩලය
දියවඩන නිලමේ
දළදා මාලිගාවේ ප්‍රධාන ගිහි භාරකාරයා දියවඩන නිලමේය. දළදා වහන්සේ රඳවා ඇති කරඬු ආරක්ෂිතව විවෘත කළ හැකි එක් යතුරක් ඇත්තේ දියවඩන නිලමේ සතුවය. තවත් යතුරු දෙකක් ඇති අතර ඒවා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් භාරයේ පවතී. මාලිගාවේ රාජකාරි කරන නිලධාරීන් පත් කිරීම ඔවුන් පාලනය කිරීම, මාලිගයට අයත් ගම්වර පාලනය කිරීම දියවඩන නිලමේට අයත් රාජකාරී අතර වෙයි.
මාලිගයේ රාජකාරි කරන පාරම්පරික පවුල්වලින් සුළු මුලාදෑනින් පත් කරන්නේ ද දියවඩන නිලමේවරයාය. එම සුළු මුලාදෑනින් පත් කරන්නේ මවු පාර්ශ්වයෙන් නොව පිය පාර්ශ්වයෙනි. පරම්පරා රාජකාරිය අවිච්ජින්නව පවත්වාගෙන ඒම සඳහා එසෝ පිය විසින් පත්වීම් කෙරෙයි. අතීතයේ මේ පවුල් පත් කරන ලද්දෙ අග රජු විසිනි. මාලිගාවේ රාජකාරි කරන නිලධාරීන් පොදුවේ හැඳින්වෙන්නේ ‘‘ඇතුල් කට්ටලේ’’ රාජකාරි කරන අය’’ වශයෙනි
කාරිය කෝරාල
සුළු මුලාදෑනින්ගේ නායකයා ‘‘කාරිය කෝරාල’’ නමින් හැඳින්වේ. මාලිගාවේ සියලු සේවා හෙවත් ‘‘රාජකාරි’’ සංවිධානය කරන්නේ ඔහුය. පෙරහර වීථි දක්ෂිණා කරන විට දළදා කරඬුව වැඩමවන හස්තියාට ඉදිරියෙන් හස්තියා පිට ගමන් කරන්නේද ඔහුය.
පෙරහරක් හෝ වෙනයම් උත්සවයක් පැවැත්වීමට ඇතිවිට මාලිගයට අයත් ඉඩ කඩම්වල පදිංචිව සිටින අයට ඒ බව දැනුම් දී ඔවුන්ට නියමිත රාජකාරි කරවයි. වර්තමානයේ දී රාජකාරි සඳහා නොඑන අය ඒ වියදම සැපයිය යුතුය. මාලිගයට ලැබෙන සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍ය භාරගෙන පාලනය කරන්නේ ද ‘‘කාරිය කෝරාල’’ය. මාලිගයෙන් සියලු රන් භාජන ඇත්තේ ඔහු භාරයේය. රාජකාරිය කරන අටලෙස් මුලාදෑනින්ගෙන් යම් කිසිවකුගේ හෝ තනතුරක් පුරප්පාඩු වූ විට ඒ සඳහා කෙනකු දියවඩන නිලමේට යෝජනා කරන්නේ ද ‘‘කාරිය කෝරාලය. මාලිගයේ කළමනාකරු ලෙස ද ‘‘කාරිය කෝරාල’’ හැඳින්විය හැකිය.
‘‘කත්රාලවරු’’හෙවත් කත් ගෙන යන්නෝ දෙදෙනෙකි. ‘‘වට්ටෝරුරාල’’ යැයි තවත් මුලාදානියෙකි. ඔහු තේවාව භාර හිමියන්ගෙන් ‘‘වැඩ සිටින මාලිගාවේ’’ යතුරු රැගෙන ගොස් තේවාව පැවැත්වීමට දොරහැර තේවාව අවසන් වූ පසු යතුර රැගෙන ගොස් නැවත තේවාව භාර හිමියන්ට භාර දෙයි.
තේවාව පවත්වන අවස්ථාවේ දී ඇතුළු මාලිගාවට පිවිසීමට අවසරය ඇති එකම නිලධාරියා ඔහුය. ඔහු නොපැමිණි විටක ඇතුළු මාලිගාවේ පිරිසුදු කිරීම් ආදි කටයුතු හිමිවරුන් අතින්ම කෙරෙයි.
මුළුතැන් රාලලා
මුළුතැන් රාලවරුන් දෙදෙනෙකි. දානය පිළියෙළ කිරීමේ නායකයන් වන්නේ මේ දෙදෙනාය. දිනපතා බුද්ධි පූජාව සකස් කරන මුළුතැන්ගෙයි සියලු කටයුතු ඔවුන් භාරයේ තිබේ. අලුයම බුද්ධ පූජාව වෑංජන 32ක් සමග දහවල් මුළුතැන් පූජාව මුළු තැන් රාල යටතේ සිදුවේ.
බුද්ධ පූජාව සඳහා තුනපහ ඇඹරීම, දර පැලීම, වතුර සැපයීම ආදිය ඔහුට පැවරී ඇත.
පල්ලේ මාලේ රාල
පල්ලේ මාලය හෙවත් පහළ මාලයෙන් කටයුතු භාරව ඇත්තෙ ‘‘පල්ලේ මාලේ රාල’’ නමැති නිලධාරියාටය. ඔහු පහළ මාලයේ ප්‍රතිමා මන්දිරයේ ඇති ආහාර පූජාවේ කඳ ඔසවා ගෙන යාම ද ගබඩාවේ භාරකාරකම ද එහි පාලනය ද සිදු කරයි. වටකුරු රතු තොප්පියක් පළඳියි. පල්ලේ මාලය පිරිසුදු කර නියමිත වේලාවට පහන් දැල්වීම හා ගබඩාවේ තැන්පත් කර ඇති වටිනා දෑ සුරැකීම ඔහුගේ කාරියකි.
පල්ලේ මාලේ සේවා කරන හිමිවරුන්ට සහාය වීමද රන්දෝලි පෙරහරේ අදාළ ඇතකු පිට නැගී දළදා වහන්සේට මල් ඉසීම ද පල්ලේ මාලේ රාලේගේ රාජකාරියට ඇතුළත්ය.
ගෙපරාල
‘‘ගෙපරාල’’ හෙවත් ‘‘ගෙබෝරාල’’ නමැති තවත් නිලධාරියෙක් ඇතුල් මාලිගාවේ රාජකාරි කරයි. ඔහුට ද විශේෂිත බලතල ඇත. වැඩ සිටින තැන ගඳ කිළියට යාබද ගෙපලුම් බරාදය භාරව කටයුතු කිරීම ගෙපරාලගේ ප්‍රධාන වගකීමය. ගෙ- බලන රාල- ගෙපරාල ලෙස හැඳින් වූ බව සැලකේ.
රිදී පහන්, පින්පෙට්ටි ආදිය ආරක්ෂා කිරීම ඔහුගේ රාජකාරියට අයත් වේ. තේවා කටයුතු සඳහා උණුපැන් ගෙනයාම ද බුද්ධ පූජාව ‘‘කත්තියන බරාදය’’ (දංකද තියන බරාදය) දක්වා ගෙන යාමද අලුත උපන් දරුවන් දළදා වහන්සේ ළඟ තබා ආශිර්වාද ලබාදීම ද ‘‘ගෙපරාල’’ගේ රාජකාරියට අයත්වේ. වට්ටෝරුරාල තෝරා ගන්නා පවුල්වලින්ම ‘‘ගොපරාල’’ද තෝරා ගනු ලැබේ.
කත් තියන රාල
දංකද තබන ස්ථානයේ භාරකරු වන්නේ කත් තියන රාළය. දානය පාත්‍රවල තැන්පත් කර කදෙහි තබාගෙන මුළුතැන්ගෙයි සිට උඩමාලයේ කත් තියන බරාදයට ගෙන ඒම කත්තියන රාලගේ රාජකාරියට අයත්ය. සේවා භාණ්ඩ පරෙස්සම් කිරීම දන් ගෙනයන පූජා භාණ්ඩ පිරිසුද කිරීම ආදි කටයුතු ‘‘කත්තියන රාලගේ’’ භාරයේ පවතී.
පනික්කි හෙවත් බෙරකාරයෝ
පුරාණ රජ කාලයේ පටන්ම ශබ්ද පූජාවෙන් දළදා වහන්සේ ද පුද පූජා කිරීමේ සිරිත පැවතුණි. පත්තිනි හෙවත් ප්‍රධාන බෙරකාර පවුල් හතරක් මහනුවර රජ කළ මාලිගාවේ සේවයේ යෙදී සිටියහ. අදද එම පරම්පරා හතර සේවයේ යෙදී සිටියි. ඔවුහු හය වර්ගයක හේවසි භාණ්ඩ වයති. මේ නිසා ඔවුන් ‘‘සිංගාරක්කාර පත්තිනි’’ යන නමින්ද හැඳින් වේ.
සිංගාරක්කාරයන්ගේ ඇඳුමට හිස වසා බඳින ‘‘උරමාලේ’’ නමැති තලප්පාවක් ද බඳ වටේ බඳින රෙදි වෙළුමක්ද අයත්වේ. මෙහිදී හිස වසා බඳින ජටාව සිංහාරක්කාරයන්ට හැර අන් කිසිවකුට බැඳ සිටිය නොහැකිය.
උඩුමාලේ මොහොට්ටාල
උඩුමාලේ මොහොට්ටාල යනු ලේකම්වරයෙකි. මාලිගාවට පුදනු ලබන වටිනා කියන දේ ලේඛන ගත කරන්නේ ඔහුය. ‘‘ගබඩාවේ මොහොට්ටාල’’ නමැති නිලධාරියා ‘‘කාරිය කෝරාලගේ’’ ලිපිකරුය.
හඳුන් කපුරාල
හඳුන් කල්කය සම්පාදනය කිරීම හඳුන් කපුරාලගේ රාජකාරියයි. හඳුන් ගල ගෑමට පිළියෙළ කරන ලද ගලක් පුරාණ රජ කල සිටම මුලුතැන්ගේ තිබිණ. මෙම කපුරාලලා දෙදෙනක් සිටිති. ඔවුහු අවුරුද්දෙන් අවුරුද්ද මාරුවෙන් මාරුවට සේවය කරති. ඔවුන්ගේ රාජකාරිය බදාදා දිනවලට පමණක් වෙන්ව ඇත.
රජතුමා නියම කළ වතාවත්
කුරුණෑගල රජකළ 4 වැනි පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේට කළ යුතු වතාවත් රාශියක් නියම කළ බව දළදා සිරිතේ සඳහන් වේ. අදටත් එම වතාවත් ඒ ලෙසම සිදු කෙරේ. එතුමා පැන වූ නීති අනුව දිනපතා දානය පූජා කළ යුත්තේ මේ ආකාරයටය.
රාජ භෝජන වැනි භෝජන දිනපතාම දළදා වහන්සේට ද පුජා කරන ලදී. මේ බෝජන ගෙන එන ලද්දේ විසිතුරු ලෙස සරසන ලද කත්ලීයක දෙකෙළවර එල්ලා ගෙනය. ඒ මත වියනක් අල්ලන ලදි. තූර්ය වාදන සහිතව භෝජන ගෙන එනවිට සේවකයන් මුඛවාඩම් බැඳ සිටිය යුතුය. දාන වාස්තු ගෙන එනවිට රැස්ව සිටින හැම දෙනාම නැගිට සිටිය යුතුය. එම දාන වාස්තු රැගෙන විත් හෝරා භාගයක් ගතවීමට පෙර (සිංහල හෝරාවක් වර්තමාන මිනිත්තු 24කි. ඒ අනුව වර්තමාන මිනිත්තු 12ක් ඉක්මවීමට පෙර) බඳුන්වල බහා ආහාර පුජා කළ යුතුය.
දේවාලයෙන් ඇරැඹෙන පෙරහර
පළමුව ආරම්භ වන්නේ සතර දේවාල පෙරහරය. කප් සිටුවීමෙන් පසු සතර දේවාලයේම පෙරහර ඇරැඹේ. දින පහක් මෙම පෙරහර දේවාල භූමියේ පමණක් පැවැත්වේ. පිටත විථි සංචාරය ආරම්භ වන්නේ ඉන් පසුවය. සයවැනි දිනයේදී දළදා මාලිගාවේ පෙරහර පෙරටුකරගෙන සතර දේවාල පෙරහර දළදා මාලිගයේ දොරටුව සමීපයට පැමිණෙයි. මාලිගාවේ පෙරහර,නාථ,මහවිෂ්ණු,කතරගම හා පත්තිනි පෙරහර ලෙස දළදා පෙරහර ප්‍රධාන කොටස් පහකට බෙදා තිබේ.
දළදා පෙරහරෙන් අලංකාරවත් පෙරහර රන්දෝලි පෙරහරය. එම පෙරහර පුරා රාත්‍රී පහක් අලි ඇතුන් හා නැටුම් ගැයුම්වලින් යුතුව අලංකාරවත්ව පැවැත්වේ. අතීතයේ දී රජතුමාද තම රාජකීය වාහනය වන රන්දෝලියේ නැගි (රන්දෝලාවේ) පෙරහරේ ගමන් කළ බවත් මේ නිසා එම පෙරහරට රන්දෝලි පෙරහර ලෙස නම් ලැබී ඇති බවත් ඉතිහාසයේ සඳහන්ය.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දළදා වහන්සේගේ සුවිශේෂ ඉතිහාසය
lionel Sunday, 10 August 2025 07:27 AM
වටිනා ඉතිහාස කතාවක්...